කැලනි සරසවි සිසු සංගමය නේවසිකාගාර උද්ඝෝෂනය නවතා දමයි

සුරංග සිරිවර්ධන විසිනි, 2014 අපේ‍්‍රල් 15

නේවාසිකාගාර ඉල්ලා කැලනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් විසින් දින 26 ක් පුරා ගෙන ගිය වාඩිලා ගැනීමේ අරගලය එහි මහා ශිෂ්‍ය සංගමය විසින් පසුගිය 28 දා නතර කර දැමීය. 300 කට ආසන්න ශිෂ්‍යාවන් පිරිසක් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය මධ්‍යස්ථානය වාඩිලා ගනිමින්් ගෙන යනු ලැබූ මෙම අරගලය, පරිපාලනය විසින් ඉතා සුලු පිරිසකට ලබා දුන් නේවාසිකාගාර පහසුකමක් හමුවේ නවතා දැමීමට ශිෂ්‍ය සංගමය ගත් මෙම පියවර බරපතල පාවා දීමකි.

නේවාසිකාගාර සඳහා මහර ප‍්‍රදේශයෙන් ගොඩනැගිල්ලක් මිල දී ගත් බව පසුගිය 27 දා ප‍්‍රකාශ කල විශ්ව විද්‍යාල පරිපාලනය, ශිෂ්‍ය මධ්‍යස්ථානයෙන් ඉවත් වන ලෙස එහි රැඳී සිටි ශිෂ්‍යාවන්ට නියෝග කලේය. නියෝගය දන්ඩනමස්කාරයෙන් පිලිගත් මහා ශිෂ්‍ය සංගමය පසු දිනම උද්ඝෝෂනය නතර කර දැමීය. නේවාසිකාගාර නොමැති කමින් පීඩා විඳින ශිෂ්‍යාවන් සංඛ්‍යාව 800ක් වුව ද මෙම නව ගොඩනැගිල්ලේ පහසුකම් ඇත්තේ ශිෂ්‍යාවන් 80 කට, එනම් සියයට 10 කට පමනි.

ශිෂ්‍යාවන්ගේ අරගලයට බලගතු සහයෝගයක් ගොනු වූ තතු තුල, මෙම සොච්චම ලබා දී උද්ඝෝෂනය දිය කර හැරීමට රාජපක්ෂ ආන්ඩුව සහ විශ්ව විද්‍යාල පරිපාලනය දරන ලද ප‍්‍රයත්නයට මහා ශිෂ්‍ය සංගමය තම පූර්න අනුග‍්‍රහය ලබා දුන්නේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) දේශපාලන අතකොලුවක් වන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයට අයත් කැලනිය මහා ශිෂ්‍ය සංගමය, මෙම සොච්චම ජයග‍්‍රහනයක් ලෙස හුවා දක්වමින් තම වෙබ් අඩවියේ මෙසේ පල කලේය: “කෙසේ හෝ සිසුන් විසින් දිගින් දිගටම කල අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස මාර්තු 27 දින මහර ප‍්‍රදේශයෙන් නේවාසිකාගාරයක් දිනා ගැනීමට හැකි විය.”

නිවාඩු නිකේතනයක් සඳහා තැනූ, එම තෙමහල් ගොඩනැගිල්ල ශිෂ්‍යාවන් 80ක් සඳහා කිසිසේත්ම ප‍්‍රමානවත් නොවන අතර මුලු නේවාසිකාගාරයටම ඇත්තේ එක් කියවීම් ශාලාවක් පමනි. එක් කාමරයක ගාල් කොට ඇති ශිෂ්‍යාවන් 8 කට ම ඇත්තේ ඈඳන ලද එක් කුඩා නාන කාමරයක් පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක් වූ මහා ශිෂ්‍ය සංගමයේ කි‍්‍රයාකාරිකයෙකු තම පාවා දීම යුක්ති සහගත කරමින් මෙසේ පැවසීය: “අපිට එක පාරටම මේ සියලු දේවල් දිනා ගැනීමට හැකියාවක් නෑ. අපි ටිකෙන් ටික තමයි මේ දේවල් දිනා ගන්න ඕන. අපිට වෙන විකල්පයක් නැහැ.”

පසුගිය කාල පරිච්ඡේදය පුරාම අධ්‍යාපනය සඳහා යොදවන වියදම් සීඝ‍්‍රයෙන් කප්පාදු කෙරෙමින් පවතින තතු යටතේ, මෙම නේවාසිකාගාරය මිල දී ගැනීමේ දී සිදු කෙරී ඇත්තේ වෙනත් අංශයන්හි වියදම් කපා දමා එය නව වියදමට බැර කිරීම පමනකි. කපා දමන ලද වියදම් වල බර නිසැකවම පැටවෙනු ඇත්තේ දෙමාපියන්ගේ හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කර මතය. නේවාසිකාගාර ඇතුලු අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම සඳහා තව තවත් ප‍්‍රතිපාදන සපයනු වෙනුවට ආන්ඩුව කරමින් පවතින්නේ අධ්‍යාපනය ඇතුලු සමස්ත සුබසාධන ක්ෂේත‍්‍රයන් මුලූමනින්ම වනසා දැමීමයි. පසුගිය වසරේදී අධ්‍යාපනය සඳහා වෙන් කොට ඇත්තේ දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 1.5 ක් නැතහොත් රුපියල් බිලියන 38.8 ක් පමනි.

මෙම දැවැන්ත කප්පාදු පියවර යටතේ නේවාසිකාගාර හිඟය සරසවි සිසුන්ගේ දැවෙන ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති තතු තුල නේවාසිකාගාර පහසුකම් ලබා දීම වෙනුවෙන් ශිෂ්‍යයන්ගෙන් වාර්ෂිකව අය කෙරෙන මුදල සියයට 50 කින් පමන, එනම් රු. 3,000 දක්වා ඉහල දැමීමට කොලඹ විශ්ව විද්‍යාල පරිපාලනය පසුගිය දා පියවර ගත්තේය. මෙම පියවරට එරෙහිව පසුගිය 23 දින සිසුන් සහ දෙමව්පියන් එක්ව සිදු කරනු ලැබූ විරෝධතාවයට ප‍්‍රතිචාර ලෙස එහි අධ්‍යාපන හා ශාස්ත‍්‍ර පීඨ දින නියමයක් නැතිව වසා දැමින. කොලඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති කුමාර හිරිඹුරේගම නරුම ලෙස ප‍්‍රකාශ කලේ මෙම විරෝධතාව ශිෂ්‍යයන්ගේ කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් බව සහ පසුගිය වසර එක හමාරක කාලය තුල සියලු ශිෂ්‍යයන් එම මුදල ගෙවා ඇති බවත් “එමනිසා කුලී අනුපාතය දැන් ප‍්‍රශ්නයක් වීමට හේතුවක් නොමැති බවත්” ය. ඔහුම පවසන අයුරු දැනටමත් එහි ශිෂ්‍යයන් 257 කට ප‍්‍රමානවත් නේවාසිකාගාර පහසුකම් ඇත්තේ නැත. කැලනිය විශ්ව විද්‍යාලය තුල මේ තත්වය වඩාත් උග‍්‍රය. දෙවන සහ තෙවන වසර සිසුන් 400ක ගේ පමන නේවාසික පහසුකම් අහිමි කිරීම සඳහා විශ්ව විද්‍යාල පරිපාලනය නිර්නායකය ලෙස යොදා ගනු ලැබුවේ මාසික ආදායම රු. 4,800 කට වඩා වැඩි වීමයි.

නේවාසිකාගාර පහසුකම් ඌනවීම හේතුවෙන් සාමාන්‍යයෙන් සෑම විශ්ව විද්‍යාලයකම පාහේ සිසුන් සිය මිතුරන්ගේ ඇඳන් බෙදා හදා ගැනීමේ තත්ත්වයක් පැවතුනි. කැලනිය විශ්ව විද්‍යාලය තුල මෙය නීත්‍යානුකූල තත්ත්වයෙන් පිලිගෙන ඇති අතර අදාල කාමරයේ නේවාසික පහසුකම් හිමි සිසුන් ගේ කැමැත්ත සහිත අත්සන් ද නේවාසිකාගාර පාලකගේ අනුමැතිය ද සහිත අයැදුම්පතක් මගින් මෙම හිමිකම ලබා ගත හැක. මෙය නේවාසිකාගාර තුල තදබදය තවත් ඉහල දැමීමට මාවත් සම්පාදනය කිරීමකි. නමුදු, විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මෙයට කිසිදු විරෝධතාවයක් පල කොට නැත.

මේ තත්ත්වය තුල ශිෂ්‍ය විරෝධතාවයන් දියකර හැරීම සඳහා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයත් කැලනිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයත් ආන්ඩුව සමග කේවල් කිරීමකට යොමුවී සිටී. විශ්ව විද්‍යාලවල පවත්නා පහසුකම් ඉහල නංවා ගැනීම සඳහා සටන් කරනු වෙනුවට දැනට පවත්නා ”ගැටලූව අවම කර ගැනීම” පිනිස ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රධාන ඉල්ලීම වනුයේ සිසුන් 1,200කට ඉඩ පහසුකම් ඇතැයි ඔවුන් ප‍්‍රකාශ කරන කන්නන්ගර පිරිමි නේවාසිකාගාරය සිසුවියන්ට ලබා දී දැනට එහි සිටින 400 ක පමන සිසුන් අභ්‍යන්තර නේවාසිකාගාරයට මාරු කරන ලෙසයි. එක් කුඩා කාමරයක සිසුන් හයදෙනෙකුට ඉඩ පහසුකම් ලබා දිය හැකි බවත් එමගින් 1,200 කට නේවාසික පහසුකම් සැපයිය හැකි බවටත් ඔවුහු තර්ක කරති. සැබවින්ම මෙහි සිසුන් 400 කටවත් ප‍්‍රමානවත් ඉඩ පහසුකම් ඇත්තේ නැත.

අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් ඇතිව ශීලාචාර ලෙස ජීවත් විය හැකි නේවාසිකාගාර සඳහා සටන් කරනු වෙනුවට, පාලක පන්තියේ අවශ්‍යතාව සපුරාලමින් ආන්ඩුවේ කප්පාදු වලට ගැලපෙන පරිදි තම ජීවිතය හකුලා ගැනීමට ශිෂ්‍යයන් තල්ලු කෙරෙන මෙම ශිෂ්‍ය සංගම් කෙරෙහි සිසුන්ගේ විරෝධය වර්ධනය වෙමින් පවතී. ශාස්ත‍්‍රපීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු තම විරෝධය ප‍්‍රකාශ කලේ මෙසේය; “දැන් සමසමාජ පක්ෂෙ සම්පූර්නයෙන්ම පිරිහිල තිබුනට, අපේ සීයලාගෙ කාලෙ සමසමාජ ශිෂ්‍ය සංගම් සටන් කරල තියෙන්නෙ වඩාත් පහසුකම් ලබා ගන්න. ඒත් දැන් තියෙන ශිෂ්‍ය සංගම් කරන්නෙ ආන්ඩුවෙ කප්පාදු වලට ගැලපෙන විදියට අපේ ජීවිත කප්පාදු කරල දෙන එක. ඉතින් මේ වගේ සංගම් වලින් ඇති වැඬේ මොකක්ද?”

1940 ගනන්වල සහ 1950 ගනන්වල මුල නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා ලංකා සම සමාජ පක්ෂය එලෙස සටන් වැදුන ද, පසුව ජාතිකවාදී, අවස්ථාවාදී මාවතේ පහලට රූටා ගොස්, 1964 දී ධනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එකතු වීමෙන් සිදුකල මහා පාවා දීමෙන් පසු වඩාත් වේගයෙන් දකුනට ගමන් කලේ ය. අද එය නිදහස් අධ්‍යාපනය ඇතුලු, කම්කරු පන්තිය දිනා ගත් සියලු ජයග‍්‍රහන වනසා දමන රාජපක්ෂ ආන්ඩුවේ කොටස් කරුවෙකි.

උද්ඝෝෂනය නවතා දැමීම සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගමය කෙරෙහි කලකිරුනු ශිෂ්‍යාවක් සාකච්ඡාවට එක් වෙමින් මෙසේ පැවසුවාය: “සිය ගනනකට හොස්ටල් නැති තත්වෙකදි 80 කට පමනක් ඉඩකඩ තියෙන හොස්ටල් එකක් වෙනුවෙන් අපේ සටන නවත්තන්න කියල සංගමය අපිට කිව්ව. දැන් කොහොමද මේ 80 තෝරන්නෙ. දැන් අපි අපි අතරෙම තරගෙ.”

Share this article: