නාගරික සංවර්ධන අධිකාරිය නාරාහේන්පිට නිවැසියන් බිය ගන්වා ඉවත් කරයි

සසප වාර්තාකරු විසිනි, 2014 අප්‍රේල් 28

නාරාහේන්පිට බේකරිවත්තේ පදින්චිව සිටි පැල්පත්වාසී පවුල් 57න් 45ක් ආරක්ෂක හා නාගරික සංවර්ධන කටයුතු පිලිබඳ අමාත්‍යාංශයෙන් එවන ලද හමුදා කන්ඩායමක් විසින් බියවද්දා ඉවත් වීමට සලස්වා ඇති අතර පවුල් 12 තමන්ට කවරාකාර බලපෑමක් ආවත් එම ස්ථානයෙන් ඉවත් නොවන බව පවසමින් තවමත් එම වත්තේ ජීවත් වෙති.

ඔවුන්ගෙන් බොහෝ දෙනා වඩු හා මේසන් වැඩ, තී‍්‍රරෝද රථ එලවීම, ඇඳුම් මැසීම, කුඩා කඩ හා හෝටල්වලට කෑම දැමීම හා බුලත් විටි දැමීම ආදී එදිනෙදා වෘත්තීන්වල යෙදුනු අය වෙති. මෙම බේකරි වත්තට යාබද ඉඩමේ පවුල් කිහිපයක් පදිංචිව සිට තිබේ. එම පවුල්වලට එම ඉඩමේ පදිංචිව සිටීමට නීත්‍යානුකූල අයිතියක් නැතැයි කියමින් දෙමටගොඩ නිවාස ව්‍යාපෘතීන්වල නිවාස ලබා දී ඉවත් කොට තිබේ. තමන්ට ඔප්පු තිබෙන බැවින් තමන්ට එවැනි තත්වයකට මුහුන පෑමට සිදු නො වනු ඇතැයි බේකරි වත්තේ පදිංචිකරුවන් සිතා ඇත.

සමාජවාදී සමානතා පක්ෂය සමග අදහස් දැක්වූ කාන්තාවක් කීවේ මෙම ඉඩම් ආන්ඩුවට පවරා ගැනීමේ දී ඉඩම් අත්පත් කරගැනීමේ පනත අදාල නො වන බව ආන්ඩුවේ අදාල බලධාරීන් ප‍්‍රකාශ කරන බව යි. එලෙස ම මේවා අනවසර ඉදිකිරීම් ලෙස නම් කර ඇති බවත් ඇය කීවා ය. නගර සභාවට වරිපනම්, විදුලිබල මන්ඩලයට හා ජලාපවාහන මන්ඩලයට අදාල ගාස්තු ගෙවීමේ දී තමන් අනවසර පදිංචිකරුවන් ලෙස සලකනු නො ලැබූ බවත් දැන් ආන්ඩුව මෙවැනි කතා කියන්නේ තම කටයුත්ත සාධාරනීකරනය කිරීම සඳහා නිමිත්තක් සොයාගැනීමට බවත් ඇය කීවා ය.

ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වය යටතේ ගොඩනගන ලද නාරාහේන්පිට නිවාස සුරැකීමේ කොමිටිය (නානිසුකො) බලහත්කාරයෙන් නිවාස අහිමි කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් කර තිබූනේය. නානිසුකො කැඳවුම්කරු හේමන්ත වීරකෝන් සන්ඬේ ලීඩර් පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ මානව හිමිකම් කොමිසම ඉදිරියේදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පැමින බලහත්කාරයෙන් නිවාසයන්ගෙන් ඉවත් නොකරන බවට ප‍්‍රකාශයක් කල නමුත් හමුදාවේ නිලධාරීන් නාරාහේන්පිටට පැමින ඉවත්විය යුතු බවට තර්ජනය කල බවය.

ජවිපෙ මානව හිමිකම් කොමිසමට (මාහිකො) පැමිනිලි කිරීමෙන් නිවාස ආරක්ෂා කරගත හැකි බවට මුසාවක් නිවැසියන් අතර පතුරුවමින් සිටියි. මාහිකො පිහිටුවා ඇත්තේ ආන්ඩුව වන අතර එහි වැඩකටයුතු සිදුවන්නේ ආන්ඩුවට අවශ්‍ය පරිදිය. ජවිපෙ මහජනයා මුලා කර කොලඹ නගරය ආසියාකරයේ ප‍්‍රධාන වෙලඳ නගරයක් කිරීමේ ආන්ඩුවේ ප‍්‍රතිපත්තියට නිවැසියන් යටත් කිරීමට කටයුතු කරයි. ආන්ඩුව කොලඹ සංවර්ධනය කිරීම සඳහා යයි නිවැසියන්ගේ නිවාස අයිතිය උදුරා ගන්නේ ආයෝජකයන්ට පැවරීම සඳහා ය.

අපේ‍්‍රල් 11 දින සිරස වෙබ් අඩවියේ පලවූ පරිදි හමුදා නිලධාරියෙකු නාරාහේන්පිට බේකරි වත්තට පැමින කියා සිටියේ මෙම ඉඩම් පිලිබඳ ප‍්‍රශ්නය මානව හිමිකම් කොමිසමෙන් විසඳා ගත නොහැකි බවත් ඒවා අයත් වන්නේ නාසඅට බවත්ය. ඔහු මෙසේ සඳහන් කලේ ය: “ඔයගොල්ලො මොන මානව හිමිකම් කොමිසමට ගියත් කමක් නෑ. ඒ කොමිසමට මේ ප‍්‍රශ්නය ගැන පියවර ගන්න බෑ. මානව හිමිකම් කොමිසම සමථ මන්ඩයක් පමනයි. ඒකට ඔබලාට විසඳුමක් දෙන්න බෑ.”

හමුදා නිලධාරියා මෙසේ ද පවසා ඇත: “මැතිවරනය ඉවරයි, මේක අයිතියක් නොවෙයි. තේරුම් ගන්න. අපි මේ දැනුම් දෙනවා විතරයි. තීරනය ඔබ අතේ... මේකත් එක්ක මානව අයිතීන් ගෑවී නෑ. මේ ඉඩම් කොලඹ නාගරිකයට අයිතියි. ඒවා සංවර්ධනය කෙරෙන්නේ ඒ විධියටයි.”

හමුදව යොදා ගනිමින් ආන්ඩුව නිවැසියන්ට තර්ජනය කරන්නේ එසේය. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ගැන හෝ මානව අයිතීන් ඇත්තේ නැත. සංවර්ධනය නාමයෙන් ආයෝජකයන්ට ඉඩම් ලබාදීම කලයුතුය. මහජනයාට කුමක් සිදුවූවද කමක් නැත. නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ එයයි.

නාරාහේන්පිට නිවාස ඉවත් කරනු ලබන්නේ කොලඹ නගරය වෙලඳ මධ්‍යස්ථානයක් කරමින් ආයෝජකයන්ට හා විදේශීය සංචාරකයන්ට නගරය පවරාදීමේ සැලසුම්වල කොටසක් ලෙස ය. ආන්ඩුව පැල්පත් හා අඩු ආදායම් ලාභී පවුල් 75,000ක් පමන කොලඹ නගරයෙන් ඉවත්කිරීමට තීන්දු කර ඇත.

ජවිපෙ ආන්ඩුවේ ආයෝජකයන් දිරිගැන්වීමේ ප‍්‍රතිපත්තියට එකඟය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පෙබරවාරි 18 දින පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ඉඩම් අත්පත් කර ගත යුත්තේ ඉඩම් පනතට යටත්ව බවය.

ඔහු ආන්ඩුව නීතියට කි‍්‍රයාකරන්නේ නැතැයි මෙසේ අඳෝනාවක් නැගුවේය: “මේ දවස්වල ඉඩම් පවරා ගැනීම සිදු වෙන්නේ පනත අනුව නොවෙයි. කොලඹ නගර සභා සීමාව තුල ඉවත් කිරීම් සිදු කරන විට වන්දි ගෙවීමේ පටිපාටියක් නෑ.”

ඔහුට අනුව ආන්ඩුව සොච්චම් වන්දියක් ලබාදී මහජනයාගේ ඉඩම් අත්පත්කර ගැනීමට කටයුතු කරන්නේ නම් ජවිපෙ පක්ෂපාතීය. සසප සාමාජිකයන් ජවිපෙ නිවැසියන් මාහිකො පිලිබඳ බලාපොරොත්තු ඇති කරමින් කරනු ලබන වංචාව හෙලිදරව් කල විට එක් නිවැසියෙක් මෙසේ පැවසීය. “අපේ ඇඟ උඩින් බුල් ඩෝසර කරගෙන ගියත් අපි මෙතනින් අයින් වෙන්නේ නැහැ. බැරි ම වුනොත් බිරිඳයි ලමයි එක්ක මාත් ගිනි තියාගෙන මැරෙනවා”

පහසුකම් සහිත නිවාසයක් ලබා ගැනීම මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතියකි. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිය ආයෝජකයන් දිරිගැන්වීම සඳහා පිටුබලය සපයන කිසිදු ධනපති ආන්ඩුවක් යටතේ ලබා ගත නොහැකිය.

ජවිපෙ නව වැඩපිලිවෙල එනම් “අපේ දැක්ම” මූලික අරමුන වන්නේ මහා ව්‍යාපාරිකයන්ට ආයාචනා කිරීම යි. “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ගැන කයිවාරුවලට මුවා වී ගෙන “නවීකරනය” වූ හා “කාර්මීකරනය” වූ රටක් යන කොඩිය උස්සාගෙන ආයෝජකයන්ගේ උවමනාකම්වල විශ්වාසවන්ත ආරක්ෂකයෙකු ලෙස ජවිපෙ තමන්ව ඉස්මතු කර ගෙන ඇත.

Share this article: