ආන්ඩුවේ ශිෂ්‍ය මර්දනය නව වටයකින් ඉහල නංවමින් ජයවර්ධනපුර සරසවියේ සිසුන් 14 ක් අත්අඩංගුවට ගනී

පානිනී විජේසිරිවර්දන විසිනි,2014 අප්‍රේල් 10

රාජපක්ෂ ආන්ඩුවේ ශිෂ්‍ය මර්දනය නව වටයකින් ඉහල නංවමින් පසුගිය මාර්තු 31 වන දා ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යයන් 14 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරින. මෙම සිසු දඩයම සඳහා යොදා ගෙන ඇත්තේ මාසයකටත් පෙරාතුව සිදු වූ සිද්ධියකි.

පසුගිය පෙබරවාරි 24 වන දා, සරසවියේ ප‍්‍රධාන ගේට්ටුව අසල දී එහි සේවයේ නියුතුව සිටි නිත්‍ය ආරක්ෂක නිලධාරීන්ට පහර දී රුපියල් ලක්ෂ තුනහමාරකට අධික බඩු බාහිරාදිය පැහැර ගත් බවට පොලීසිය මෙම සිසුන්ට චෝදනා කරයි.

අපේ‍්‍රල් 03 වන දා, අත් අඩංගුවට ගත් සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා සරසවි භූමියේ සිට විජේරාම හන්දිය දක්වා පා ගමනක යෙදුනු දහසකට අධික ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, විජේරාම හන්දියේ විරෝධතා උද්ඝෝෂනයක් ද පැවැත්වූහ. පසුදින, එනම් 04 දා, අත් අඩංගුවට ගත් සිසුන් නුගේගොඩ මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 50,000 බැගින් නියම කෙරුනු ශරීර ඇප මත නිදහස් කෙරුනි.

මෙය ආන්ඩුවේ නිදහස් අධ්‍යාපන කප්පාදුවට, පුද්ගලීකරනයට හා මර්දනයට එරෙහිව රැඩිකලීකරනය වන සිසුන් බිය වද්දා ඔවුන් මර්දනය කිරීමට ආන්ඩුව හා විශ්ව විද්‍යාල පරිපාලනය දැනුවත්ව ගෙනයන වැඩපිලිවෙලේ කොටසකි.

පෙබරවාරි 24 දා සිද්ධිය සරසවි පරිපාලනයේ හා ආරක්ෂක අංශවල දැනුවත් ප‍්‍රකෝපකරනයක ප‍්‍රතිඵලයකි. සම සෞඛ්‍ය උපාධිය වසරකින් කප්පාදු කිරීමට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව ප‍්‍රධාන ගේට්ටුව අසල ශිෂ්‍යයන් විසින් එල්ලා තිබූ බැනර් කපා ඊට පෙර දිනයේ කපා දැමූ ආරක්ෂක අංශ ශිෂ්‍ය නේවාසිකාගාර වලට ගොස් සිසුනට තර්ජනය කිරීමෙන් ප‍්‍රකෝපකරනය නිර්මානය කොට ඇත.

රාජපක්ෂ ආන්ඩුව විසින් සිසු මර්දනය සහ කප්පාදු කි‍්‍රයාත්මක කරවීම සඳහා සරසවි පරිපාලනයට පත් කොට ඇති තම හෙංචයියන් අතරින් ජයවර්ධනපුර සරසවි පරිපාලනය මෙවැනි ප‍්‍රකෝපකාරී ක‍්‍රියා සම්බන්ධව පලමු තැනෙහි සිටී. 2012 වසරේ දී ද සරසවියේ සිසු-විරු ස්මාරකයට එල්ල කෙරුනු බෝම්බ ප‍්‍රහාරයක වගකීම සිසුන් මත පැටවීමට උප කුලපති කේ.එන්.එල්. කරුනාරත්න ඇතුලු ආරක්ෂක අංශ මංමුලා සහගත ප‍්‍රයත්නයක යෙදුනි. බෝම්බය පිපිරීගියේ ආරක්ෂක මුර කුටියට මීටර් 25 පමන ආසන්න ස්ථානයක බැවින් එය ආරක්ෂක අංශවල අනු දැනීමකින් තොරව සිදුවිය නොහැක්කක් බව බහුතර සිසුන්ගේ මතයයි.

ආන්ඩුව හා සරසවි පරිපාලනය ශිෂ්‍යයන් මත නව වටයකින් මර්දනය දිගේලි කිරීමට සූදානම් වන්නේ මේ වසරේ නවක සිසුන් බඳවා ගැනීම් සිදු වෙමින් පවතින තත්වයක් තුලයි. නවක සිසුන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන්ගෙන් වෙන් කර ශිෂ්‍ය ඒකාබද්ධතාවය බිඳීම සඳහා සරසවි පරිපාලනය මේ වන විට විවිධ අන්දමින් වැඩට බැස තිබේ.

මෙම නවක සිසුන්, ආන්ඩුව විසින් අනිවාර්ය කර ඇති මසක මිලිටරි පුහුනුවට සහභාගී වූ හතරවන කන්ඩායමයි. මිලිටරි පුහුනුව හරහා, සිසුන් “විනය ගත කොට” පවත්නා පද්ධතියට හා ප‍්‍රහාරයන්ට යටත් කොට තැබීමට ආන්ඩුව බලාපොරොත්තු වෙයි. එනමුදු පසුගිය වසරවල පුහුනුවට සම්බන්ධ බහුතරයක් සිසුන් ආන්ඩුවේ අපේක්ෂාව සුන් කරමින්, ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහි සිසු අරගල වලට වඩවඩාත් සහභාගි වෙමින් සිටී.

ආන්ඩුවේ මර්දනය තිබියදී ම, නේවාසිකාගාර හිඟය, දේශන ශාලා හා විද්‍යාගාර පහසුකම් වල ඌනතාවය හා පාඨමාලා කප්පාදු කිරීම් ආදියට එරෙහිව දහස් සංඛ්‍යාත සිසුහු නොකඩවා අරගලයට අවතීර්න වෙමින් සිටිති. නේවාසිකාගාර පහසුකම් ඉල්ලා පසුගිය දා කැලනිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කෙරී කොලඹට පැමිනි පා ගමනට 5000 කට අධික සිසුන් සංඛ්‍යාවක් සහභාගි වූහ.

සිසු මර්දනය වඩාත් ඉහල තලයකට නැංවීමට ආන්ඩුව තින්දු කොට ඇත්තේ මෙම තතු තුලයි. පන්ති තහනම් කිරීම්, ශිෂ්‍ය භාවය අහෝසි කිරීම්, අත් අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් වලට අමතරව පැහැර ගැනීම් සහ ඝාතනයන් ද සිසුන්ට එරෙහිව ක‍්‍රියාත්මක කෙරෙමින් පවතී.

ආන්ඩුවේ කප්පාදුවේ හා මර්දනයේ කුප‍්‍රකට නියෝජිතයෙකු වන උප කුලපති කරුනාරත්න යොදා ගනිමින් ජයවර්ධනපුර සරසවියේ ගෙන යන මෙම ඉවක් බවක් නැති අත්අඩංගුවට ගැනීම්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම් ඇතුලූ මෙම මර්දනයන්ට අමතරව “වේදිකාවෙන් මහපොලවට” හා “හිමිදිරිය” නමින් ශිෂ්‍ය සංගම් වසරක් පාසා පවත්වාගෙන යන ශිෂ්‍ය කලා ප‍්‍රසංග වලට පවා තහංචි පනවා ඇත.

ශිෂ්‍යයන් සංවිධානය වීම වලකනු වස් නේවාසිකාගාර වලින් සිසුන් ඉවත් කොට තැබීමේ පියවරෙහි කොටසක් ලෙස, මෙවර බඳවා ගත් නවක සිසුන්ගේ දෙමාපියන් කැඳවා කරුනාරත්න ප‍්‍රකාශ කොට ඇත්තේ නේවාසිකාගාරවල විවිධ අපචාර හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් සිසුවන නිසා වෙනම පුද්ගලික නේවාසිකාගාරවලට තම සිසුන් නැවැත්වීම වඩා සුදුසුවන බවයි.

ජයවර්ධනපුර සරසවිය තුල පමනක් පන්ති තහනම් කිරීම්වලට ලක්වු ශිෂ්‍ය සංඛ්‍යාව 166 ක් වන අතර අත්හිටවූ පන්ති තහනම් කිරීම්වලට ලක් වූ සිසුන් සංඛ්‍යාව 186 කි. මීට අමතරව දින නියමයක් නොමැති පන්ති තහනම් කිරීම් වලට ලක් වූ සිසුන් 40 දෙනෙකි. මේ අතර, ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි වූ ශිෂ්‍යන් 5 දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ද ගොනු කර ඇත.

මෑතක දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය නිකුත් කල දත්තයන්ට අනුව පසුගිය සිව් වසර තුල සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය තුල පන්ති තහනමට හා ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වලට ලක්ව ඇති සිසුන් සංඛ්‍යාව 1360 කි. ශිෂ්‍යයන් 426 කට නඩු පවරා ඇති අතර 74 දෙනෙකු රිමාන්ඩ් භාරයේ රඳවා තබා ඇත. ශිෂ්‍යයන් 179 දෙනෙකු අවස්ථා 77 ක දී මැර ප‍්‍රහාරයන්ට ලක්ව තිබෙන බව පවසන අවිශිබමය සිසුන් 218 කට මරන තර්ජන එල්ලවී ඇති බවද සිසු ඝාතන 3 ක් සහ පැහැර ගැනීම් 3 ක් සිදු වී ඇති බවද පවසයි. මීට අමතරව ශිෂ්‍ය සංගම් 36 ක් අහෝසි කෙරී ඇත.

සිසුන්ට එරෙහි මෙම මර්දනය රාජපක්ෂ ආන්ඩුව විසින් සමස්ත කම්කරු පන්තියට එරෙහිව සූදානම් කෙරෙන පන්ති යුද්ධයේ අත්‍යන්ත කොටසකි. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ නියෝග මත කි‍්‍රයාවට දැමෙන දැවැන්ත කප්පාදු පියවරයන්ට හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන් මැඞීම සඳහා පොලිස් රාජ්‍ය පියවර මත වඩවඩාත් යැපීම ආන්ඩුවේ පිලිවෙතයි.

ඊනියා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිවූ කටුනායක කම්කරුවන්ට ද තෙල් මිල ඉහල දැමීමට එරෙහිවූ හලාවත ධීවරයන්ට ද පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කල වැලිවේරිය මහජනයාට ද ආන්ඩුව පිලිතුරු දුන්නේ බයිනෙත්තුවෙන් වන අතර මෙම ප‍්‍රහාරයන්හි දී ජීවිත 5 ක් බිලි ගැනින. අනතුරුව තම පරිසර දූෂනයට එරෙහිව උද්ඝෝෂනය කල හංවැල්ල, තුන්නාන ප‍්‍රදේශවාසීන්ට පොලීසිය යොදවා ම්ලේච්ඡ ප‍්‍රහාරයක් එල්ල කල ආන්ඩුව දැන් එම නිවැසියන් ත‍්‍රස්ත ගැන්වීමක යෙදෙමින් සිටින අතර ව්‍යාජ මිනීමැරුම් චෝදනා මත ඔවුන් දඬු ගැසීමට සැලසුම් කරයි.

මෙම මර්දනය වඩාත් ඉහල තලයකින් ප‍්‍රකාශයට පත් වන්නේ උතුරු පලාතේය. යුද්ධය නිමා වීමෙන් අනතුරුව දැඩි හමුදා පාලනයකට යටත් කොට ඇති එම ප‍්‍රදේශයේ නිවසක් නිවසක් පාසා කෙරෙන සෝදිසි මෙහෙයුම්, ප‍්‍රශ්න කිරීම් සහ “සැකකරුවන්” අත් අඩංගුවට ගැනීම් නිරන්තරව සිදු කෙරෙමින් පවතී. වවුනියාව, කිලිනොච්චිය, මන්නාරම හා යාපනය දිස්ති‍්‍රක්කයන්හි ජනයා ත‍්‍රස්ත කරමින් සිටින හමුදාව එම ජනයා කී‍්‍රඩාපිටි වලට හෝ විවෘත ස්ථානයන්ට එක්රැස් කරමින් ප‍්‍රශ්න කරන තෙක් රඳවා තබා ගැනෙන අතර නැතහොත් තම නිවෙස් වලට වී සිටින ලෙසට වටලනු ලබන ජනයාට නියෝග කරමින් පවතී.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග සාකච්ඡාවක නියැලුනු ජයවර්ධනපුර සරසවියේ කලමනාකරන පීඨ ශිෂ්‍යයෙක් රාජපක්ෂ ආන්ඩුවේ සිසු මර්දනය ගැනත් පවත්නා ශිෂ්‍ය සංගම් වල වැඩපිලිවෙලවල් ගැනත් තම අදහස් දක්වමින් මෙසේ පැවසීය: “ශිෂ්‍යයො මුලදි සටනට බහින්නෙ තමන්ට තියෙන අඩු පහසුකමක් සම්බන්ධයෙන් හෝ පාඨමාලා කප්පාදුවක් වැනි දේකට එරෙහිව. ඒ සටනෙදි ශිෂ්‍යයන්ට එරෙහි දඩයමක් දියත් වුනොත් ඊට පස්සෙ ඒකට විරුද්ධව සටන් කරනව. ඊට පස්සෙ දීපු පන්ති තහනමක් හරි වෙන මොකක් හරි දඬුවමක් ඉවත් කරාම සටන දිනුව කියල ශිෂ්‍ය සංගම් කියනව. අන්තිමට මුල් ඉල්ලීම කොහේදවත් නෑ. ඒකෙන් පේන්නෙ මේ ක‍්‍රමයට සටන් කරල දිනන්න බෑ කියල නේ”

විද්‍යා පීඨ ශිෂ්‍යයෙක් සාකච්ඡාවට එක් වෙමින් ප‍්‍රකාශ කලේ ශිෂ්‍යයන්ට පමනක් තනිව සටන් කොට තම අයිතීන් සුරක්ෂිත කරගත නොහැකි බවයි: “ඇත්තටම ශිෂ්‍යයන්ට විතරක් මේ සටන ගෙනියන්නවත් දිනන්නවත් බැරි බව දැන් හොඳටම වැටහෙනව. අපි වගේම මේ ආන්ඩුවෙන් බැට කන සියලු දෙනා ඒකාබද්ධ කරන වැඩපිලිවෙලක් අවශ්‍යයි.”

Share this article: