ශ‍්‍රී ලංකා ආන්ඩුව දෙමල ජනතාවට එරෙහිව ගෙන යන මර්දනයට විරුද්ධ වනු

Oppose the government crackdown on Sri Lankan Tamils

සමාජවාදී සමානතා පක්ෂය විසිනි,2014 අප්‍රේල් 11

දෙමල ජනතාවට එරෙහිව ආන්ඩුව උග‍්‍ර කර ඇති මර්දනය, වැඩකරන ජනතාවගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට තව තවත් පහර දීම සඳහා වන සූදානමක් බවට සසප අනතුරු අඟවයි.

සමාජවාදී සමානතා පක්ෂය, විදේශයන්හි ක‍්‍රියාත්මක වන දෙමල කන්ඩායම් 16 ක් හා පුද්ගලයින් 424 ක් මත ආන්ඩුව විසින් පනවා ඇති තහනම සහ උතුරේ දෙමල ජනතාවට එරෙහිව උග‍්‍ර කර ඇති මර්දනය හෙලා දකියි. 2009 මැයි මාසයේදී මිලිටරිමය වශයෙන් පරාජය කරනු ලැබූ එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය යුද්ධය අවසන් වූ පසුව නොදුටු විරූ රුදුරු මර්දනයක්, දෙමල ජනතාව මත පටවා ඇත.

දෙමල ජනතාවට එරෙහිව ආන්ඩුව උග‍්‍ර කර ඇති මර්දනය, වැඩකරන ජනතාවගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට තව තවත් පහර දීම සඳහා වන සූදානමක් බවට සසප අනතුරු අඟවයි. “එල්ටීටීඊ ත‍්‍රස්තවාදය හිස එසවීම” පිලිබඳ හා ”ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක්”, පිලිබඳ ආන්ඩුවේ ප‍්‍රචාරය, පොලිස් රාජ්‍ය පියවර සඳහා කඩතුරාව ලෙස යොදාගනියි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව, එක්සත් ජාතීන්ගේ අංක 1373 දරන යෝජනාව යටතේ දෙමල සංවිධාන හා පුද්ගලයින් “ත‍්‍රස්තවාදින්” යයි හංවඩු ගසන අති විශේෂ ගැසට් නිවේදනයක් මාර්තු 21දා සිට බලපාන පරිදි, හිතුවක්කාරී ලෙස අපේ‍්‍රල් 4දා නිකුත් කලේය. එම රෙගුලාසි යටතේ ”නම්කරන ලද පුද්ගලයින්ට හෝ සංවිධානවල ට අයත් හෝ හිමිකම් කියන සියලු අරමුදල්, වත්කම් හා ආර්ථික සම්පත්, නම්කරන ලද ලැයිස්තුවෙන් ඒවා ඉවත් කරන තෙක්, අත්හිටුවනු” ලබයි. “නිසි බලධරයෙකුගේ” අවසරයකින් තොරව, අත්හිටුවන ලද වත්කම් ගනුදෙනු සඳහා යොදාගැනීම තහනම් කර ඇති අතර එම රෙගුලාසිවලට පටහැනිව කි‍්‍රයා කරන්නේ නම් දැඩි දඬුවම් වලට ලක්වනු ඇත.

මෙම ගැසට් නිවේදනයේ දක්වා ඇති කුමන හෝ පුද්ගලයෙක් හෝ සංවිධානයක් ත‍්‍රස්තවාදී කටයුතුවල නියැලි ඇති බවට කිසිදු සාක්ෂියක් ආන්ඩුව සපයා ඇත්තේ නැත. තහනම් කල සංවිධාන වලට ඇතුලත්, බි‍්‍රතාන්‍ය දෙමල සංසදය, කැනේඩියානු දෙමල සමුලූව, ගෝලීය දෙමල සංසදය හා ඕස්ටේ‍්‍රලියානු දෙමල සමුලුව, ඒවා පිහිටුවා ඇති රටවල නීතිමය අවහිරයකට බඳුන් කර නැත.

මෙම රෙගුලාසි වලට පෘතුල ඇඟවුම් ඇත. තහනම් කල සංවිධාන සමග වෙනත් කන්ඩායම් වලට සම්බන්ධකම් පැවැත්විය හැකිදැයි මාධ්‍යකරුවන් විමසූ අවස්ථාවේ මිලිටරි බුද්ධි අංශ ප‍්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරන ප‍්‍රකාශ කලේ, එසේ කල හැකි නමුත් ඒවා ව්‍යවස්ථාව උල්ංඝනය කර හෝ ත‍්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කර ඇත්නම් දඬුවමට යටත් වන බවයි. හෙන්දවිතාරන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පත්කර ඇති නිසි බලධාරියාය.

ආන්ඩුව, “ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම” හා “ත‍්‍රස්තවාදී” අරමුනු සඳහා මුදල් එකතුකිරීම වැනි වැකි, දේශපාලන විරුද්ධවාදීන් හා විරුද්ධ පක්ෂ දඩයම් කිරීම සඳහා යොදාගන්නවා ඇත.

තහනමත් සමග දෙමල ජනතාවට එරෙහි මර්දනය ද දැඩි කර ඇත. මාර්තු 12දා පොලිස් ත‍්‍රස්ත විමර්ෂන ඒකකය, හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකුට රැකවරන ලබා දුන්නේ ය යන ව්‍යාජ චෝදනාව මත බාලේන්ද්‍රන් ජෙයකුමාරි අත්අඩංගුවට ගෙන කුරිරු ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවනු ලැබ සිටී. රුකී ප‍්‍රනාන්දු හා කතෝලික පූජකවරයෙක් වන ප‍්‍රවීන් මහේසන් නමැති මානව හිමිකම් ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු ද මාර්තු 16දා අත්අඩංගුවට ගත්තේ ය. පසුව ඔවුන් දෙදෙනා නිදහස් කර ඇතත්, මාධ්‍යයට කථාකිරීම හෝ විදේශගතවීම තහනම් කර තිබේ.

ගෙයින් ගෙට සෝදිසි කිරීම, මාර්ග බාධක යොදා වාහන සෝදිසි කිරීම ඇතුලු පුලුල් මිලිටරි කඩාවැදීමක් උතුරේ සිදුවෙමින් තිබේ. සෑම ප‍්‍රදේශයකම හමුදා මුර සංචාර වැඩිකර ඇති අතර වෙරලබඩ ප‍්‍රදේශවල ආරක්ෂක මුරකපොලු යලි අටවා තිබේ. මසුන් මැරීමේදී යුද්ධය කාලයේ බලපත‍්‍ර ක‍්‍රමය යලිත් පැනවිය හැකි බව ධීවරයින්ට දැනුම්දී ඇත.

පොලිස් ප‍්‍රකාශක අජිත් රෝහන, පසුගිය දෙමසක කාලය තුල කාන්තාවන් 10 ද ඇතුලුව පුද්ගලයින් 60 ක් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන බව මාධ්‍ය වෙත පැවසීය. කිසිදු තහවුරු කිරීමකින් තොරව ඔහු පැවසුවේ, ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, “කඩාකප්පල්කාරී කටයුතුවල” යෙදී සිටීම නිසා බවය.

දෙමල ජනතාවට එරෙහි මෙම නව ප‍්‍රහාර ආරම්භ වූයේ, එල්ටීටීඊයට විරුද්ධ මිලිටරි ක‍්‍රියාන්විතයේ අවසන් මාසවල සිදුව ඇති යුද අපරාධ පිලිබඳව එක්සත් ජනපදයේ අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කෙරුනු, ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා සිටි යෝජනාවක් පසුගිය මාසයේ එජා මානව හිමිකම් කොමිසමේ රැස්වීම තුල සම්මත කිරීමෙන් අනතුරුව ය. මේ වකවානුව තුල අවම වශයෙන් පුද්ගලයින් 40,000ක් මියගොස් ඇති බවට එක්සත් ජනපද විශ්ෂඥ කන්ඩාමක් ගනන් බලා ඇත.

තම යුරෝපීය සහචරයින් ද සමග එක්ව එක්සත් ජනපදය, එල්ටීටීඊයට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව ගෙන ගිය යුද්ධයට පිටුබලය දුන්නේය. එහෙත් දැන් වොෂින්ටනය, චීනය රාජ්‍යතාන්ත‍්‍රිකව හුදෙකලා කොට මිලිටරිමය වශයෙන් වැටලීම අරමුනු කොට ගත් “ආසියාවට හැරීම” යන සිය පුලුල් මූලෝපායේ කොටසක් ලෙස, බීජිනයෙන් ඈත්වන ලෙස ආන්ඩුවට බලකිරීම පිනිස යුද අපරාධ ප‍්‍රශ්නය කුහක ලෙස ගසාකනු ලබයි.

ජාත්‍යන්තර පරීක්ෂනයක් පිලිබඳව ආන්ඩුව තැතිගෙන සිටී. පරීක්ෂනයේ ප‍්‍රතිපලය ලෙස, ජනාධිපති රාජපක්ෂ, ඔහුගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින්ට එරෙහිව, ජාත්‍යන්තර අපරාධ පරීක්ෂන අධිකරනයක් හමුවේ චෝදනා ගොනු කිරීමට ඉඩ තිබේ.

ආන්ඩුවේ කඩාපැනීමෙහි ඉලක්කය හුදෙක් දෙමල පක්ෂ පමනක් නොවේ. මුහුන දෙන සෑම දේශපාලන අර්බුදයක දී ම පාලක පන්තිය දෙමල විරෝධී වර්ගවාදය අවුස්සා ඇත. බලයට පත්වූ සෑම ආන්ඩුවක්ම කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා දුබල කරමින් ධනේශ්වර පාලනය රැකගැනීම පිනිස සිංහල ජාතිවාදය උසිගන්වා තිබේ.

දශක ගනනාවක් තිස්සේ ගෙන ගිය කුරිරු ප‍්‍රහාරයන් ඇතුලු දෙමල විරෝධී කෙනහිලිකම් කිරීම් වලින් පසුව, 1983දී රට සිවිල් යුද්ධයකට ඇද දැමුනි.

කම්කරුවන්ගෙන් නැගී එන ප‍්‍රතිරෝධයකට ද විශ්ව විද්‍යාල සිසුන් හා ගම්බද පීඩිත ජනතාව අතර හටගෙන ඇති නොසංසුන්තාවකට ද ආන්ඩුව මුහුනපා සිටියි. සිය නිවෙස්වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට එරෙහිව මෑතකදී කොලඹ වනාතමුල්ලේ ද කාර්මික දූෂනයට එරෙහි හංවැල්ල හා අවිස්සාවේල්ලේ ද හටගත් විරෝධතා සහ දුම්රිය, සෞඛ්‍ය හා මහාමාර්ග කම්කරුවන්ගේ වැඩවර්ජන ද පුපුරන සුලු සමාජ ආතතීන් පිලිබඳව ඇඟවුම් කරයි.

ආන්ඩුව මෙම විරෝධතාවන්ට ද “ත‍්‍රස්තවාදී” හා “විදේශ කුමන්ත‍්‍රනයක” කොටසක් යන ලේබලය අලවා ඇත. වෙනත් වචන වලින් කිවහොත්, මෙම හංවඩු ගැසීම්වලින් ඇඟවෙන්නේ දැන් දෙමල ජනතාවට එරෙහිව යොදාගන්නා රුදුරු පියවරයන්, අනාගතයේදී ආන්ඩුවේ කම්කරු විරෝධී ප‍්‍රතිපත්ති පිලිබඳව පැන නගින විරෝධතාවන්හිදී ද යොදාගනු ඇතැයි යන්නය.

වේගවත් ආර්ථික සංවර්ධනයක් පිලිබඳව ආන්ඩුව කයිවාරු ගසන නමුත් ආර්ථිකය ගැට ගසා ගනු ලබන්නේ දේශීය හා විදේශ නය මගිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය කැපීම ද ඇතුලු සමාජ පිරිවැය තවදුරටත් අඩු කරන ලෙසට හා රාජ්‍ය සේවය මුලුමනින්ම ප‍්‍රතිව්‍යුහගත කරන ලෙසට අවධාරනය කරයි. එසේම ජාමූඅ, 2016 වන විට අයවැය හිඟය සියයට 6.2 සිට අඩකින් පමන එනම් සියයට 3.8 දක්වා පහත දැමිය යුතු බව කියා සිටියි. ආන්ඩුව දැනටමත්, දශක ගනනාවකට ඉහතදී දිනාගත් අයිතියක් වන රාජ්‍ය අංශයේ විශ‍්‍රාමිකයින්ගේ පාරිතෝෂික සහනය කපා ඇත.

ලේමන් බ‍්‍රදර්ස් ආයෝජන බැංකුව බිඳවැටීමත් සමග 2008 දී ආරම්භවූ ගෝලීය ධනේශ්වර කඩාවැටීම, නරක අතට හැරෙමින් ඇති අතර ලොව පුරා ආන්ඩු කම්කරු පන්තියට එරෙහිව සමාජ ප‍්‍රතිවිප්ලවයක් දියත්කර ඇත. ජාමූඅ මෙරටට නිර්දේශ කර ඇති පිලිවෙත්, ග‍්‍රීසියටත් යුරෝපීය රටවලටත් ලෝකය පුරාත් ක‍්‍රියාත්මක කරන, පන්ති අරගල ගිනි අවුලුවන එම පිලිවෙත්මය.

අපේ‍්‍රල් 8දා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපති රාජපක්ෂ, සමාජ අසහනය පිලිබඳව විවෘතව අනතුරු ඇඟවීය. “ඇත්තන් හා නැත්තන් අතර පරතරය පුලුල් වනු ඇතැයි මම බියපත් වෙමි. මෙම පරතරය තවදුරටත් වැඞී යන්නේ නම්, අප සුපරික්ෂාකාරී විය යුතුයයි මම සිතමි. සමහරු අරාබි වසන්තය ලඟ එන බව පවසති. සමහරු අරාබි වසන්තය ගැන සඳහන් කරමින් ජනතාව වීදි බැසිය යුතු බව කියති.”

සමාජ නැගිටීමක් පිලිබඳව පාලක කවයන් තුල වැඩෙන භීතිය රාජපක්ෂගේ ප‍්‍රකාශයන්ගෙන් පිලිබිඹු කෙරේ. මෙයට ඔහුගේ ආන්ඩුවෙහි ප‍්‍රතිචාරය වී ඇත්තේ, වාර්ගික බෙදීම් අවුලුවාලීම හා පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන්ගේ පිහිට පැතීමයි.

ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂාකර ගැනීමේදී කම්කරු පන්තියට විපක්ෂයේ දේශපාලන පක්ෂ කෙරෙහි විශ්වාසය තැබිය නොහැකිය. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන, දෙමල ජනතාවට එරෙහි ආන්ඩුවේ අලුත්ම ප‍්‍රහාර පිලිබඳව නිහඬව සිටිති. මෙය පුදුමයට කාරනයක් නොවේ. එජාපය එල්ටීටීඊයට විරුද්ධ වර්ගවාදී යුද්ධය ආරම්භ කල අතර ජවිපෙ නිරන්තරයෙන් ඊට පිටුබලය දුන්නේය. මෙම දෙපක්ෂයම සිංහල වර්ගවාදයේ ගිලී සිටිති.

නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය යන ව්‍යාජ වාම සංවිධාන ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර හෙලා දැක නැත. මෙම පක්ෂ දෙකම, ප්‍රෝඩාකාරී ලෙස ප‍්‍රජාතන්ත‍්‍රයේ ආරක්ෂකයා යයි හුවා දක්වමින් එජාපය සමග දේශපාලන පෙරමුනකට ගාල්වී සිටිති.

දෙමල කම්කරුවන් හෝ පීඩිත ජනතාව නොව, වරප‍්‍රසාදිත පැලැන්තිය නියෝජනය කරන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) තමන්ට ජාත්‍යන්තර දෙමල ඩයස්ෆෝරාව සමග දිගටම සම්බන්ධකම් පවත්වාගැනීමට හැකිවන පරිදි තහනම ඉවත් කරන ලෙස කියා සිටියි. එහෙත් ටීඑන්ඒ, උතුරේ ගෙන යන දඩයම හා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ “එල්ටීටීඊ සැකකරුවන්” දිගටම රඳවාගෙන සිටීම ගැන මුලුමනින්ම පාහේ නිහඬය.

ආන්ඩුවේ තහනමට විරුද්ධ වන නමුත් සසප, තහනම් සංවිධානවලට කිසිදු දේශපාලන සහායක් නොදෙයි. ටීඑන්ඒ මෙන්ම මේ සියලු සංවිධාන ද පදනම් වන්නේ දෙමල බෙදුම්වාදය මතය. එක්කෝ වෙනම දෙමල රාජ්‍යයක් තුලින් නැතිනම් පලාත් බද පුලුල් ස්වාධීනත්වයක් තුලින් තමන්ගේම වරප‍්‍රසාදිත තත්වය නංවා ගැනීම සඳහා කටයුතු කරන දෙමල ධනේශ්වරයේ ඕනෑ එපාකම් වෙනුවෙන් ඔවුහු පෙනී සිටිති. සහන සඳහා කොලඹ ආන්ඩුවට බලපෑම් කරන ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට හා එහි සහචරයින්ට ඔවුන් සියල්ලෝම ආයාචනය කරති.

ආන්ඩුවේ මිලිටරි මැඩලීම්වලට හා දෙමල කන්ඩායම් හා පුද්ලයින් මත පනවා ඇති තහනමට විරුද්ධ වන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. කම්කරු පන්තිය සිංහල, දෙමල හා මුස්ලිම් යන වාර්ගික බෙදීම් නොතකා ආන්ඩුවේ ප‍්‍රතිගාමී සැලසුම් වලට එරෙහිව ඒකාබද්ධ විය යුතුය. සිය එක්සත්කම ගොඩනගා ගැනීමේදී කම්කරුවන්, උතුරෙන් හා නැගෙනහිරෙන් වහාම ආරක්ෂක හමුදා ඉවත් කර ගත යුතු බව ද මිලිටරි වාඩිලා ගැනීම අවසන් කල යුතු බව ද කියා සිටිය යුතුය. සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කල යුතු බව ද කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය.

ආන්ඩුවේ ප‍්‍රහාර වලට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවන් තමන්ගේම ස්වාධීන සමාජවාදී දේශපාලන ව්‍යාපාරය ගොඩ නැගිය යුතුය. එවන් අරගලයක් පදනම් විය යුත්තේ, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ලෙස කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා සටන මතය.

මෙම ඉදිරිදර්ශනයට සටන් වදින එකම පක්ෂය සසප සමනි. සසප ගොඩනැගීම සඳහා එයට බැඳෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. එලඹෙන අරගලයන්හි දී කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා අරගලය පෙරට ගැනීමේ එකම මාධ්‍යය එයයි.

Share this article: