රාජපක්ෂ ආන්ඩුව විදේශයන්හි සිට කි‍්‍රයාත්මක වන ශී‍්‍ර ලාංකික දෙමල සංවිධාන තහනම් කරයි

Rajapakse government bans Sri Lankan Tamil groups operating abroad

වසන්ත රූපසිංහ විසිනි, 2014 අපේ‍්‍රල් 3

ශී‍්‍ර ලංකා ආන්ඩුව විදේශවල සිට ක‍්‍රියාත්මක වන දෙමල සංවිධාන 16ක් හදිසියේම තහනම් කලේ ය. අපේ‍්‍රල් 1 දා නිවේදනය කරන ලද මෙම නොහික්මුන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තීන්දුව ගනු ලැබුනේ 2009 මැයි මාසයේ මිලිටරිමය වසයෙන් පරාජය කරන ලද බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යලි පන ගැන්නවීමට මෙම කන්ඩාය වෑයම් කරමින් සිටින්නේය යන ව්‍යාජ හේතුව පදනම් කර ගෙන ය.

ත‍්‍රස්තවාදය මර්දන කිරීමේ නාමයෙන් ඉස්මත්තට ගෙන එන ලද මෙම තහනම් කිරීම් දෙමල ජනයාට පමනක් නොව වඩාත් පලල් අර්ථයෙන් ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ට හා සමස්තයක් වසයෙන් කම්කරු පන්තියට එරෙහිව මර්දනය උත්සන්න කිරීමට යොදා ගනු ඇත.

විදෙස් ත‍්‍රස්තවාදීන් ලෙස ලේබල් ගසා තහනම් කරන ලද මෙකී කන්ඩායම් අතර, බි‍්‍රටිෂ් ටැමිල් ෆෝරම්, කැනේඩියන් ටැමිල් කොන්ග‍්‍රස්, ග්ලෝබල් ටැමිල් ෆෝරම්, ට‍්‍රාන්සිෂනල් ගවර්න්මන්ට් ඔෆ් ටැමිල් ඊලම්, ටැමිල් රිහැබිලිටේෂන් ඕර්ගනයිසේෂන්, වර්ල්ඞ් ටැමිල් මූමන්ට් හා ඕස්ටේ‍්‍රලියන් ටැමිල් කොන්ග‍්‍රස් සිටිති. මෙම කන්ඩායම් ප‍්‍රධාන වසයෙන්ම ක‍්‍රියාත්මක වන්නේ බටහිර රටවල සිට ය.

එක්සත් ජනපදයේ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් අනතුරුව සම්මත කර ගන්නා ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ 1373 යෝජනාව යටතේ මෙම තහනම් නියෝගය ක‍්‍රියාත්මක කල බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ ය. එකී යෝජනාවෙන් ත‍්‍රස්තවාදී යැයි ලේබල් ගැසීම මගින් සංවිධාන මැඩ පැවැත්වීමට ලෝකය පුරා ආන්ඩුවලට පුලුල් බලතල ලබා දුන්නේ ය.

ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට ක‍්‍රියාකාරීව සහයෝගය දීම හෝ සහන සැලසීම, ඒවාට සහය දීමට වෑයම් කිරීම, නිරතවීම පිලිබඳව සහේතුක පසුබිමක් තිබේ යැයි විස්වාස කරන පුද්ගලයින්, කන්ඩායම් හා ආයතන හඳුනා ගැනීම සම්බන්ධයෙන් වරලත් බලධරයා වන ආරක්ෂක ලේකම්ගේ නිර්දේශය මත මෙම නියෝගය කල බව විදේශ කටයුතු අමති ජී.එල්. පීරිස් කීවේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වූ කලී ශ‍්‍රී ලංකාවේ උතුරු පලාතේ දෙමල විරෝධී යුද්ධය ගෙන ගිය වඩාත් නිර්දය නිලධාරීන් අතර සිටි එක් අයෙකි. මිලිටරි මෙහෙයුම්වල අවසන් මාසවලදී පමනක් දස දහස් සංඛ්‍යාත ජනයා ඝාතනය කෙරුනි.

පනතට අනුව මෙම කන්ඩායම්වලට හා ඒවාට අයත් පුද්ගලයින්ට “සම්බන්ධ හෝ අයිතිව පවතින සියලුම අරමුදල්, සම්පත් හා ආර්ථික මූලාශ‍්‍ර” තහනම් කර ඇත. පනතට අවනත වීමට අසමත් ඕනෑම අයෙකු “දැඩි දඬුවම්වලට” යටත් කෙරෙනු ඇත.

මිලිටරි ප‍්‍රකාශක රුවන් වනිගසූරිය අවධාරනය කලේ, “මෙම සංවිධාන සමග මොනයම් ම හෝ සබඳතාවක් පැවත්වීම නීති විරෝධී වනු ඇති” බවයි. වඩාත් පුලුල් දේශපාලන සීමාබන්ධන පැනවීමට නියෝගය යොදාගනු ඇති බවට මෙම ප‍්‍රකාශය ඇඟවුම් කරයි. දේශපාලන පක්ෂ හා ශ‍්‍රී ලංකා ජාතිකයන් තහනම් කරන ලද සංවිධාන සමග මොනයම් ම හෝ සම්බන්ධකමක් පැවැත්වීම මෙ මගින් තහනමට ලක් කරනු ඇත.

එමෙන් ම ආන්ඩුව මෙම කන්ඩායම් ක‍්‍රියාත්මක වන රටවල්වලින් ඒවා පිලිබඳ විමර්ශනය කිරීමටත් ඒවායේ අරමුදල් හඳුනා ගනිමින් මෙම සංවිධානවල සාමාජිකයන් ත‍්‍රස්තවාදී කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියට හෙවත් ඉන්ටර්පෝල්හි ලැයිස්තුගත කරන ලෙසත් ඉල්ලා සිටිනු ඇත.

රාජපක්ෂ ආන්ඩුව මෙම පියවර ගනු ලැබුවේ පසුගිය මස ජිනීවාහි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අනතුරුව ය. මෙහිදී එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ දී මිලිටරිය හා ආන්ඩුවේ අනෙකුත් නිලධාරීන් විසින් සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ පිලිබඳ විමර්ශනය කරන ලෙස එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස්ගෙන් ඉල්ලා සිටිමින් එක්සත් ජනපදය අනුග‍්‍රහය දැක්වූ යෝජනාවක් සම්මත කරනු ලැබී ය.

ශ‍්‍රී ලංකාවට එරෙහිව දෙමල ඩයස්පෝරා කන්ඩායම් විසින් සහය දෙනු ලබන බටහිර පිටුබලය ලත් “විදේශීය කුමන්ත‍්‍රනයක්” පවතින බව පුනරුච්ඡාරනය කරමින් රාජපක්ෂගේ ආන්ඩුව ජාතිකවාදී මනෝගතීන් හා සිංහල වර්ගවාදය ඇවිස්සීමට වෑයම් කලේ ය.

ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂනයක් සඳහා කැඳවුම් කරන ලෙස මෙම කන්ඩායම් එක්සත් ජනපදය හා අනෙකුත් ප‍්‍රධාන බලවතුන් පොලඹවමින් සිටින බවට ආන්ඩුව ඔවුන්ට චෝදනා කරයි. දේශපාලනිකව අධිරාජ්‍ය ගැති මෙම සියලුම කන්ඩායම් දිවයිනේ උතුරේ හා නැගෙනහිර දෙමල ප‍්‍රභූව සමග බලය බෙදා ගැනීමේ ගනුදෙනුවකට යාමට කොලඹ ආන්ඩුවට පීඩනය යෙදීම සඳහාත් ප‍්‍රධාන ගෝලීය බලවතුන්ගේ සහය දිනාගැනීමටත් ආයාචනා කරයි. ඇතැම් ඒවා වෙනම දෙමල රාජ්‍යයක් වෙනුවෙන් කථා කරයි.

එල්ටීටීඊය නීතිවිරෝධී බවට පත් කරමින් ද එහි අරමුදල් එකතු කිරීමට වැටකඩොලු බඳිමින් හා එහි ප‍්‍රධාන නායකයින් සිරගත කරමින් පමනක් නොව කොලඹ ආන්ඩුව වෙත මිලිටරි බර ආයුධ සම්පාදනය කරමින් හා බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් එල්ටීටීඊය විනාශ කිරීමට ආන්ඩුවට සහය දුන්නේ ද මෙම ප‍්‍රධාන බලවතුන් ම ය.

පසුගිය මාසයේ යෝජනාවට එක්සත් ජනපදය පිටුබලය ලබා දුන්නේ දෙමල මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පිලිබඳ කල්පසුවී ඇතිවූ උත්සුකයකින් නොව, බීජිනය සමග වන එහි සමීප දේශපාලනික, මිලිටරිමය හා ආර්ථික සම්බන්ධකම් බිඳ දමන ලෙස රාජපක්ෂ ආන්ඩුව නම්මවා ගැනීමේ මාධ්‍යයක් ලෙසය. මෙය, විශේෂයෙන්ම ආසියාව තුල චීනයේ බලපෑමට වල කැපීමේ රාජ්‍ය තාන්ත‍්‍රික හා මිලිටරිමය ක‍්‍රියාදාමයක් වන ඔබාමා පාලන තන්ත‍්‍රයේ “ආසියාවට හැරීම” නම් මූලෝපායේ කොටසකි.

දෙමල සංවිධාන තහනම් කිරීම, විශේෂයෙන්ම උතුරු පලාතේ දෙමල ජනයාට එරෙහිව යලි ආරම්භ කර ඇති රුදුරු කඩාපැනීමක් සමග එකිනෙකට සම්බන්ධිතය. පසුගිය මාසයේ මුල සිට විශේෂයෙන් තරුන ජනයා ඉලක්ක කරගනිමින් නිවසින් නිවසට සෝදිසි මෙහෙයුම් සිදුකිරීමටත් ප‍්‍රශ්න කිරීමටත් මිලිටරිය යොදා තිබේ. මාර්ග බාධක යලි ඉදිකර ඇති අතර මහජනයාගේ ගමන් බිමන් හා වාහන සෝදිසි කරනු ලබයි.

එමෙන්ම මිලිටරිය මුහුදු වෙරලවල්වල මුර සංචාරයේ යෙදෙන අතර අවසරපත් ක‍්‍රමයක් යලි හඳුන්වා දෙන බව ධීවරයන්ට ප‍්‍රකාශ කර තිබේ. ත‍්‍රස්තවාදීන් ශ‍්‍රී ලංකාවේ උතුරු වෙරලබඩ බිම් හා ඉන්දියාවේ දක්ෂින මුහුදු වෙරල අතර මුහුද හරහා එන යන බව මිලිටරිය කියයි. දිග් ගැස්සුන සිවිල් යුද්ධයේදී ගැඹුරු මුහුදේ මසුන් මැරීමත් ඇතැම් ප‍්‍රදේශවලට ඇතුලුවීමත් ධීවරයින්ට තහනම් කෙරුනි.

පසුගිය මාසයේ මුල සිට උතුරේ මිනිසුන් 40කට වැඩි ගනනක් අත්අඩංගුවට ගෙන ඇති බව දිනපතා දෙමල පුවත්පතක් වන වීරකේසරී මෙම සතියේ වාර්තා කලේය. පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය ඔවුන් අත්අඩංගුවට ගත්තේ යුද සමයේ ගෙන ගිය මර්දනයට සමාන ආකාරයෙනි. සිරකරුවන්ගෙන් සමහර අය ත‍්‍රස්තවාදය වැලක්වීමේ බිහිසුනු පනත යටතේ රඳවා ගෙන සිටිතැයි සැලකේ.

එක්සත් ජනපදය හා එහි සගයන් විසින් දියත් කර තිබෙන රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රහාරයට එරෙහිව කටයුතු කිරීමට රාජපක්ෂ ආන්ඩුව මංමුලාසහගත අයුරින් වෑයම් කරමින් සිටින අතර එහි මූලික අරමුන වී ඇත්තේ දෙමල විරෝධී මනෝගතීන් ප‍්‍රකුපිත කිරීම යි. කම්කරු පන්තිය බේදභින්න කිරීමටත් ධනපති පාලනයට එරෙහිව ඒකාබද්ධ අරගලයක් ඇතිවීම වැලක්වීමේ අරමුනිනුත් බලයට පත් ලංකාවේ ආන්ඩු 1983 දී සිවිල් යුද්ධය ආරම්භයේදී අවුලවන ලද දෙමල ජනයාට එරෙහි වාර්ගික දේශපාලනය ඉතා දැනුවත්වම ගසා කෑවේ ය.

වසර පහකට පෙරාතුව එල්ටීටීඊය පරාජය කරනු ලැබ තිබියදීත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද කප්පාදු පිලිවෙත් හරහා ආන්ඩුව විසින් ඔවුන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන ප‍්‍රාහාරයන්ට එරෙහිව කම්කරුවන්, තරුනයින් හා දුප්පත් ජනයා අතර වැඩෙන දේශපාලනික අසන්තුෂ්ටිය හා විරුද්ධත්වය වෙනතක හැරවීමට ආන්ඩුව හා පාලක පන්තිය තවමත් වාර්ගික බේදභින්න කිරීම් ඇවිස්සීම මත යැපෙයි.

මැතිවරනයට පෙරාතුව සමාජ අරගල මාලාවක් පුපුරායාමෙන් අනතුරුව පැවති පසුගිය සතියේ බස්නාහිර හා දකුනු පලාත්සභා මැතිවරනවලදී රාජපක්ෂගේ පාලක සන්ධානයට ලැබුන ඡන්දවල සීග‍්‍ර පහලයාමක් පෙන්නු කරනු ලැබී ය.

සියලුම කම්කරුවන් ආන්ඩුවේ ප‍්‍රජාතාන්ත‍්‍රික විරොධී හා මර්දනකාරී පිලිවෙත්වලට එරෙහි විය යුතු අතර රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරයට එරෙහිව සටන් වැදීමට වාර්ගික භේද කිරීම් කපාහරිමින් කම්කරු පන්තියේ එකමුතුව පිහිටුවා ගත යුතු ය. ආන්ඩුවේ ධනපති වැඩපිලිවෙලට එරෙහිව සමාජවාදී පිලිවෙත් මත මෙම වැඩපිලිවෙල පදනම්විය යුතු ය.

Share this article: