එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පරීක්ෂනය හරහා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට එරෙහි බලපෑම් දැඩි කරයි

US intensifies pressure on Sri Lanka via UN human rights inquiry

වසන්ත රූපසිංහ විසිනි, 2014 අප්‍රේල් 23

චීනය ඉලක්ක කර දියත් කර ඇති “ආසියාවට හැරීම” යන එක්සත් ජනපදයේ (එජ) මිලිටරි හා මූලෝපායික වැඩපිලිවෙල බලගැන්වීමේ කොටසක් ලෙස ඔබාමා පාලානාධිකාරිය, චීනයෙන් දුරස්තවී වොෂිංටනයේ පිලිවෙත සමග පෙල ගැසෙන ලෙසට ආන්ඩුවට යොදන පීඩනය දැඩි කරයි.

දකුනු හා මධ්‍යම ආසියානු සබඳතා පිලිබඳ එජ සහකාර රාජ්‍ය ලේකම් නිශා දේශායි බිස්වාල් “දකුනු ආසියාව තුල එක්සත් ජනපද විදෙස් පිලිවෙත: සෞභාග්‍ය හා ආරක්ෂාව සඳහා ඉදිරි දැක්මක්” නමින් පවත්වන ලද කතාවකදී මේ පිලිබඳව මඟ නොහැරිය හැකි සංඥාවක් අප්‍රේල් 17 දා නිකුත් කලාය.

ජනාධිපති බැරැක් ඔබාමා හා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී උපුටා දකවමින් ඇය සඳහන් කලේ, “ මෙම කලාපය හා එහි අනාගතය හැඩගන්වමින් එක්සත් ජනපදය සුවිසල් හා දීර්ඝ කාලීන කාර්යභාරයක් ඉෂ්ට කරනු ඇත” යනුවෙනි.

ශ්‍රී ලංකාව ගැන සඳහන් කරමින් බිස්වාල්, “වාසනාවට එහි සිවිල් යුද්ධය නිමාවට පත්වී” ඇති නමුත් “ප්‍රතිසංධාන ක්‍රියාවලිය අභියෝගයක් ලෙස පවතින බව ඔප්පුවී ඇති” බව පැවසුවාය.

“ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරන ලද යෝජනාවෙන් අනතුරුව වගකීම හා යුක්තිය ඉටු කිරීමට සාධනීය ප්‍රයත්නයක් දැරිය යුතු යයි අපි එක දිගටම කියා සිටින්නෙමු. ආන්ඩුව ප්‍රතිසන්ධානය හා වගකීම කරා යහපත් වර්ධනයක් ඇති කර ගත් විට වඩාත් පුලුල් මිලිටරි සබඳතාවක් ඇතිකර ගැනීමට අපි පෙරමඟ බලා සිටින්නෙමු.”

බිස්වාල්ගේ ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට නිකුත් කල පැහැදිලි පනිඩුඩයකි: කලාපයේ එජ මූලෝපාය සමඟ පෙල ගැසෙමින්, බීජිනය සමග ආර්ථික සබඳතා අත්හිටුවා, වොෂිංටනය සමග සමීප මිලිටරි සබඳතා ගොඩනඟනු යන්න එම පනිවුඩය යි.

එම අරමුන මුදුන් පමුනුවා ගැනීමට ඔබාමා පාලානාධිකාරිය යොදා ගනිමින් සිටින්නේ, 2009 වසර මුලදී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවධියේ සිදුකරන ලද අපරාධ සඳහා රාජපක්ෂ හා අනෙකුත් නායකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒමේ හැකියාව පිලිබඳ තර්ජනය යි.

එවැනි ජාත්‍යන්තර පරීක්ෂන කමිටුවක් පිහිටුවන ලෙස මානව අයිතිවාසිකම් කොමසාරිස් කාර්යාලයට දැනුම් දුන් එක්සත් ජනපදය, සිය අනුග්‍රහය යටතේ යෝජනාවක් මාර්තු 27දා සම්මත කරගත්තේ ය. පරීක්ෂනය සමඟ තමන් හවුල් වීම ප්‍රතික්ෂේප කරන බව රාජපක්ෂ හා ඔහුගේ සහකරුවෝ කියා සිටියහ.

අපරාධ පිලිබඳව ඔවුන් චෝදනා කරන එම ආන්ඩුව හා එම හමුදාව සමගම “පුලුල් මිලිටරි සහයෝගිතාවක්” සඳහා වොෂිංටනයේ තල්ලුව තවදුරටත් පෙන්නුම් කරන්නේ යූඑන්එච්ආර්සී යෝජනාව, යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සමග මෙලොව සම්බන්ධයක් නැති බව යි.

යථාර්ථයේදී, යුද්ධයේ අවසන් මාසවලදී පමනක් 40,000ක් පමන සිවිල් වැසියන් ප්‍රමානයක් ඝාතනය කල ම්ලේච්ඡ යුද්ධය දියත් කිරීමට පිලිවෙලින් බලයට පත් කොලඹ ආන්ඩුවලට වොෂිංටනය සහාය දී තිබේ. ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා කැඳවුම් කිරීමට එක්සත් ජනපදය ගත් තීන්දුව රාජපක්ෂ ආන්ඩුව කෙරේ එහි පිලිවෙතේ තියුනු හැරීමක් සලකුනු කරයි. මෙයට පෙර එජ, මිලිටරියේ අපරාධවලට සුදුහුනු ගෑමට කොලඹ ආන්ඩුව විසින්ම පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂම යුක්තිසහගත කිරීමට ඉඩ දී තිබින.

බිස්වාල්ගේ කතාව සටහන් කරන්නේ දකුනු ආසියාතික රටවල් සියල්ල සමඟ සමීප මිලිටරි හා ආර්ථික සබඳතා ගොඩ නඟා ගැනීමට වොෂිංටනයේ ඇති නැඹුරුව යි. මෙහිලා විශේෂයෙන්ම ප්‍රමුඛත්වය දී ඇත්තේ “ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවරත්වයට දායකත්වය සැපයීමේ” නාමයෙන් ඉන්දියාව සමඟ මූලෝපායාත්මක සබඳතාවක් ගොඩනඟා ගැනීමට ය.

දකුනු අප්‍රිකාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා දිවෙන යෝධ ආරුක්කුවක් වන ඉන්දු-‍ෆැසිපික් කලාපයේ ඉන්දියාව සමඟ “දිගු කාලීන භූ මූලෝපායාත්මක සන්ධානයක්” පිලිබඳව බිස්වාල් කතා කලා ය. ඉන්දියානු සාගරයේ වෙලඳ මාර්ග මත බෙහෙවින්ම රැඳී සිටින චීනය වැටලීම අරමුනු කරගත් ඔබාමා පාලනයේ ආක්‍රමනකාරී ධාවනයේ කොටසකි මෙය.

බිස්වාල්ගේ කතාව සිදුකෙරුනේ ජපානය, දකුනු කොරියාව, මැලේසියාව හා පිලිපීනය යන රටවල - මේ සැම රටකටම බීජිනය සමඟ නාවික හා භූමි ප්‍රදේශ පිලිබඳ පැසවන ගැටුම් පවතී- නායකයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා ඔබාමාගේ වත්මන් ආසියානු සංචාරයට පෙරාතුව ය.

ශ්‍රී ලංකාවට යොදන එක්සත් ජනපදයේ පීඩනයට අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ හා කැනඩාවේ පිටුබලය ලැබේ. එක්සත් ජනපදය මෙන්ම මෙම රටවල් දෙක ද ප්‍රෝඩාකාරී ලෙස මානව හිමිකම් ධජයක් පෙරටුකොට ගනියි. ඔවුන් වොෂිංටනය සමඟ එක්ව තමන්ගේම යුද අපරාධ ක්‍රියාවල නිරතව තිබේ. ඒවා අතරට, ඇෆ්ගනිස්ථානය හා ඉරාකයේ එක්සත් ජනපද ආක්‍රමනවලට පිටුබලය දීම හා ලිබියාවේ හා සිරියාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම්වලට අනුබල දීමද ඇතුලත් ය. එමෙන්ම බ්‍රිතාන්‍ය හා කැනඩාව රුසියාවට එරෙහිව යුක්‍රේනයේ වොෂිංටන් මැදිහත්වීම සමඟ පෙලගැසුනේ ය.

අප්‍රේල් 15දා බ්‍රිතාන්‍ය විදෙස් ලේකම් විලියම් හේග් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා සඳහන් කලේ, ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශනයකට ඔහුගේ ආන්ඩුව මුලුමනින්ම සහය දෙන බවත් “යූඑන්එච්ආර්සී යෝජනාව මැනවින් ක්‍රියාත්මක වීම සහතික කිරීමට නිරන්තරවම ශ්‍රී ලංකාවට දිරි ගන්වන්නෙමු” යනුවෙනි.

එම දිනයේදීම පූර්ව බ්‍රිතාන්‍ය යටත්විජිතවල සංවිධානය වන පොදුරාජ්‍ය මන්ඬලයට පිරිනමන ඩොලර් මිලියන 9ක ආධාර මුදල අත්හිටවන බව කැනඩාව නිවේදනය කලේ ය. සංවිධානයේ වත්මන් සභාපතිධුරය ‍රාජපක්ෂ විසින් හෙබවීම ගැන සඳහන් කරමින් කැනේඩියානු විදෙස් කටයුතු පිලිබඳ ඇමැති ජෝන් බෙයාඩ්, “ ශ්‍රී ලංකාවේ සිදුව ඇතයි කියනු ලබන බරපතල මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය ප්‍රමිතීන් උල්ලංඝනය කිරීම් පිලිබඳව කැනඩාව අතිශයින් විමසිලිමත් වන” බව පැවසීය.

ආධාර මුදල් “ දේශපාලන උපකරනයක්” වසයෙන් යොදා ගැනීම පිලිබඳව මෙරට විදේශ ඇමැති ජී.එල්. පීරිස් කැනඩාවට චෝදනා කලේ ය. ආන්ඩුව පෙරලා දැමීමට “බටහිර කුමන්ත්‍රනයක්” තිබෙන බව හා “එල්ටීටීඊය පුනර්ජීවන කිරීමට“ වැඩ කරන විදේශගත දෙමල ජාතිකයින්ට සහාය දෙන බවට චෝදනා කරමින්, රට තුල ජාතික හා වාර්ගික භේද ඇවිස්සවීමට කොලඹ ආන්ඩුව දරන උත්සාහයේ කොටසකි ඔහුගේ ප්‍රකාශ.

පසුගිය 17දා පොලිස් ප්‍රකාශක අජිත් රෝහන නිවේදනය කලේ, විදේශයන්හි ජීවන්වන එල්ටීටීඊ නායකයන් 40කට හා එල්ටීටීඊ ආධාරකරුවන් යැයි කියන්නාවූ පුද්ගලයින් 56කට “රතු නිවේදන” නිකුත් කල බවයි. පූර්වයෙන් ආන්ඩුව, විදේශයන්හි ජීවත්වන දෙමල පුද්ගලයින් 424ක් හා කන්ඬායම් 16ක් “ත්‍රස්තවාදී ලේබලය අලවමින් තහනම් කලේය.

ජීවන කොන්දේසි හා සමාජ අයිතීන් මත එල්ල කෙරෙන අනවරත ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන්, තරුනයින් හා දිලිඳු ජනයා අතර පැතිරෙන අසහනය වෙනතක හරවීම සඳහා ආන්ඩුව මෙම දඩයම ක්‍රියාත්මක කරයි.

ඒ අතරම, එක්සත් ජාතීන්ගේ මොනම විමර්ශනයක් සමඟවත් හවුල්වීම දිගටම ප්‍රතික්ෂේප කරන ආන්ඩුව, එජ පීඩනය අවම කරගැනීමට ද උත්සාහ දරයි. ආන්ඩුව, ඊනියා සත්‍ය හා සංහිඳියා ක්‍රියාවලියකට මුලපිරීමට දකුනු අප්‍රිකාවේ සහාය සෙව්වේ ය. සිය යුද අපරාධ වලට සුදුහුනු ගෑමට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත් කල ආන්ඩුවේ තවත් කසි කබල් පියවරකි මෙය.

රාජපක්ෂගේ ඉල්ලීමකට අනුව දකුනු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමා, ආන්ඩුව හා ප්‍රධාන දෙමල ධනපති පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) යන දෙපාර්ශවයේ අතර මැදියා වසයෙන් කටයුතු කිරීමට හිටපු වෘත්තීය සමිති නායකයෙකු හා දැන් ව්‍යපාරිකයෙකු වන සිරිස් රාමෆෝසා පත් කරනු ලැබී ය. ආර්. සම්බන්ධන් ඇතුලු ටීඑන්ඒ නායකයින් ආරම්භක සාකච්ඡා සඳහා අප්‍රේල් 10 හා 11 දිනවල ප්‍රිටෝරියා වෙතට සංචාරය කල අතර එලඹෙන මාසයේදී රාමෆෝසා කොලඹට පැමිනෙනු ඇත.

වර්නභේදවාදී පාලනය යටතේ සිදුකල අපරාධ පිලිබඳව කටයුතු කිරීමට 1995දී අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ මූලිකත්වයෙන් යුත් ආන්ඩුව ඔවුන්ගේම “සංහිදියා හා සත්‍ය කොමිෂම (ටීඅර්සී)” ආරම්භ කලේ ය. එය, කලු පාලක ප්‍රභූවේ සහයෝගය සහිතව ධනපති පාලනය පවත්වා ගැනීමේ හා එම රටේ පීඩිත ජනතාව වෙතින් පැනනැඟිය හැකි විප්ලවවාදී නැඟිටීම් වෙනතක හරවා යැවීමේ වැඩසටහනේ කොටසක් විය. ටීඅර්ඒ, වර්නභේදවාදී පාලනාධිකාරිය යටතේ සිදුකල සැබෑ අපරාධ වහංගු කලා පමනක් නොව, එහි ගොදුරුබවට පත්වූවන්ට පොරොන්දුවූ සහන ලබාදීමට පවා අසමත් විය.

ටීඑන්ඒ මෙම සාකච්ඡාවලට සහභාගීවීමෙන් යලිවතාවක් පෙන්නුම් කලේ, දිවයිනේ උතුරු හා නැගෙනහිර දෙමල ප්‍රභූව වෙත ඇතැම් පාලන බලතල පැවරෙන පරිදි කොලඹ ආන්ඩුව සමඟ බලය බෙදාගැනීමේ ගනුදෙනුවකට යාමට එහි ඇති අභිලාෂය යි. මොනයම්ම හෝ “සත්‍යය හා සංහිදියාවකට” පෙර එවැනි “දේශපාලන විසඳුමක්” පිලිබඳව සංවාදයක් තිබිය යුතුයැයි ටීඑන්ඒ නායක සම්බන්ධන් සන්ඩේ ටයිම්ස් පුවත්පතට කීවේ ය.

ටීඑන්ඒ එහි “දේශපාලන විසඳුම” සඳහා එජ සහය සොයමින් එම අරමුන සඳහා වොෂිංටනයේ යූඑන්එච්ආර්සී යෝජනාවට පිටුබලය දුන්නේය. කෙසේ නමුත්, කලාපය පුරා එජ උත්සුකයන් සමඟ කොලඹ ආන්ඩුව පෙලගැසෙන්නේ නම්, එවැනි මොනම ගනුදෙනුවකටවත් සහයදීමට සූදානම් නැතිබව වොෂිංටනය පෙන්නුම් කර තිබේ.

Share this article: