ව්‍යාජ මිනී මැරුම් චෝදනා මත අත්අඩංගුවට ගත් තුන්නානේ තරුනයන්ට ඇපදීම ප‍්‍රතික්ෂේප කරයි

පානිනී විජේසිරිවර්දන විසිනි, 2014 අප්‍රේල් 4

පසුගිය මාර්තු 16 දා, හංවැල්ල, තුන්නානේදී විරෝධතා උද්ඝෝෂනයකට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප‍්‍රහාරයේදී මිය ගිය පොලිස් නිලධාරියාගේ මරනය සම්බන්ධයෙන්, ව්‍යාජ මිනී මැරීම් චෝදනා මත සැක පිට අත් අඩංගූවට ගත් තරුනයන් දෙදෙනා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරනය පසුගිය අපේ‍්‍රල් 2 වන දා නියෝග කලේය. පී.පී. රුවන් සහ අයි.පී. සරත් නම් වූ චූදිතයන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස ඔවුනගේ නීතිඥයන් කරන ලද ඉල්ලීමට විරුද්ධත්වය දක්වමින්, චෝදනා ගොනු කිරීම සඳහා නීතිපතිගෙන් උපදෙස් ලැබෙන තෙක්, ඔවුන් තව දුරටත් රඳවා තබන ලෙස පොලීසිය කරන ලද ඉල්ලීමට අනුව අධිකරන නියෝගය පැනවින.

ප‍්‍රදේශවාසීන් ත‍්‍රස්ත කොට, පරිසර දූෂනයට එරෙහිව ඔවුන් යෙදී සිටින උද්ඝෝෂනය දිය කර හැරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාත්මකව සිටී.

තුන්නානේ පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් (එච්ආර්පී) කම්හලෙන් පිටවන අපජලය සහ අපවායු හේතුවෙන් තම අසල්වැසි පරිසරය දූෂනය වෙතැයි චෝදනා කරමින් කම්හල වසා දමන ලෙස ඉල්ලා ප‍්‍රදේශවාසීන් ගෙන ගිය මෙම විරෝධතා උද්ඝෝෂනය විසුරුවා හැරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව විසින් දහසකට අධික පොලිස් බල ඇනියක් මෙහෙයවන ලදී. නිරායුද විරෝධතාකරුවන්ට කඳුලූ ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කල පොලීසිය ප‍්‍රහාරයෙන් ගැලවී ගැනීම සඳහා හිස් ලූලූ අත දිව ගිය කුඩා දරුවන්, ස්තී‍්‍රන් ඇතුලූ ගම්වාසීන්ට පොලු මුගුරු වලින් එල්ල කල ප‍්‍රහාරයෙන් දුසිම් ගනනක් තුවාල ලැබූහ. ප‍්‍රහාරයෙන් එක් පුරුෂයෙකුගේ ඇසක පෙනීම සදාකාලිකව අහිමි වී ඇති අතර ක්ලාන්ත ගතිය ඇතුලු විවිධ අතුරු ආබාධයන්ගෙන් ප‍්‍රදේශවාසීහු රැසක් පීඩා විඳිමින් සිටිති.

ප‍්‍රහාරයට විරෝධය දැක්වීම සඳහා මහා මාර්ගය අවහිර කරනු වස් ප‍්‍රදේශවාසීන් විසින් කපා බිම හෙලන ලද ගසක් පොලීසිය විසින් ඉවත් කිරීමට දරන ලද ප‍්‍රයත්නයේ දී එයට යට වී මියගිය පොලිස් නිලධාරියාගේ මරනය ප‍්‍රදේශවාසීන් මර්දනය කිරීම සඳහා පොලීසිය යහමින් යොදා ගනිමින් පවතී. සිද්ධිය වූ 16 දා ම පොලීසියේ මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහන කිසිම හිරිකිතයකින් තොරව පැවසුවේ මරනය ”හිතා මතා සැලසුම් කල මිනිස් ඝාතනයක්” බව හා එයට වගකිවයුතු සියලු දෙනා අධිකරනය ඉදිරියට පමුනුවා නිසි දඬුවම් ලබා දෙන බවයි.

එතැන් පටන් නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් භටයෝ ප‍්‍රදේශය පුරා සැරිසරමින් ප‍්‍රදේශවාසීන් බිය වැද්දීමට පටන් ගත්හ. රුවන් සහ සරත් මිනිස් ඝාතන චෝදනා යටතේ ද පී.ජී.ඒ.සේතුංග, සාලිය පි‍්‍රයදර්ශන හා නිමල් වීරසිංහ නම් වූ තවත් තිදෙනෙකු රාජ්‍ය දේපොල වලට හානි කිරීම යටතේ ද අත් අඩංගුවට ගැනින. පසුව සඳහන් වූ තිදෙනා ඇප මත මුදා හැර ඇති මුත් ඔවුනට එරෙහි චෝදනා ඉවත් කර ගෙන නොමැත. මීට අමතරව පොලිස් ප‍්‍රහාරය අතරතුර පොලිස් අත්අඩංගුවට ගැනුනු 60 කට ආසන්න සංඛ්‍යාවක් ද ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මුදා හැර ඇත.

දහසයවන දා සිද්ධියෙන් පසු දියත් කෙරුනු මර්දනයේ දී සිදු කෙරුනු අත් අඩංගුවට ගැනිම් පිටුපස තුන්නාන බෞද්ධ විහාරස්ථානයේ අධිපති තුන්නානේ සුමනශාන්ත නම් භික්ෂුව සිටින බවට බොහෝ සැක මතුවන බව ප‍්‍රදේශවාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ට පැවසූහ. එම භික්ෂුව, රහස් පොලීසියෙන් සැපයූ බව කියන නාම ලේඛනයක් ඉදිරිපත් කරමින්, රහස් පොලීසියට භාර වන ලෙස ප‍්‍රදේශවාසීන් කීප දෙනෙකුටම බල කොට ඇත. මිනී මැරුම් චෝදනා ලැබ සිටින රුවන් රහස් පොලීසියට කැඳවා ගෙන ගොස් භාර දී ඇත්තේ එම සුමනශාන්ත භික්ෂුව සහ ජනාධිපති රාජපක්ෂගේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු වන ගයාන් දුමින්ද විසින් බවට ගම්වාසීහු චෝදනා කරති. දේපොල හානි සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සේතුංග හා වීරසිංහ, විහාරස්ථානයෙන් කරන ලද කැඳවීම මත එහි ගිය විට රහස් පොලීසියට දන්වා ඔවුන් භාර දී ඇත්තේ ද මෙම භික්ෂුව බව පැවසේ.

1988/89 කාල පරිච්ඡේදයේ දී යූඑන්පී ආන්ඩුව විසින් දියත් කරන ලද තරුන මර්දනයේ දී යොදා ගත් ම්ලේච්ඡ ක‍්‍රමවේදයන් රාජපක්ෂ ආන්ඩුව විසින් යලි යොදා ගනිමින් සිටී. තුන්නානට ආසන්න මහ මගදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පි‍්‍රයදර්ශන ලෝසවෙඅ ට මෙසේ පැවසීය: ”ජීප් එකකින් පැමිනි සිවිල් ඇඳුමින් සැරසුනු රහස් පොලීසියෙ අය මාව අත් අඩංගුවට ගත්තෙ රට රැකියාවක් සඳහා අවශ්‍ය ලිපි ලේඛන වල ෆොටෝ කොපි ගන්න ගිහිල්ල එන ගමන් බස් එකෙන් බහින කොට. ජීප් එක ඇතුලෙ හිටිය මුහුනු වහ ගත්ත බිල්ලො වගේ දෙන්නෙක්. මං හිතන්නෙ ඒ අය තමයි මාව පෙන්නන්න ඇත්තෙ. රහස් පොලීසියෙ අය මට කිව්ව උඹල නිසා අහිංසක මනුස්සයෙක් මැරුන කියල. ගස් කපන අවස්ථාවෙ මම එතැන හිටියෙවත් නෑ.”

තුන්නාන ප‍්‍රදේශවාසීන්ට එරෙහි මිනීමැරුම් චෝදනාවන්ගේ ව්‍යාජභාවය ඉතා පැහැදිලි වන අතරම ඉන් ඇඟවෙන්නේ කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව කෙතරම් කුරිරු මර්දනයකට රාජපක්ෂ ආන්ඩුව සූදානම් වන්නේද යන්නයි. තුන්නානේ දී ආන්ඩුව මෙම ප‍්‍රහාරය හා මර්දනය දියත් කලේ වැලිවේරිය රතුපස්වල මහජනතාවට එරෙහි කුරිරු ප‍්‍රහාරයක් හා මර්දනයක් දියත් කොට මාස කීපයකට පසුය. එච්ආර්පී කම්හල හිමි ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගමටම අයත්, වැලිවේරිය රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කම්හලෙන් ප‍්‍රදේශයේ භූගත ජලය දූෂනය වෙතැයි පවසමින් එය වසා දමන ලෙස ඉල්ලා එම ප‍්‍රදේශයේ මහජනතාව ගෙන යමින් සිටින උද්ඝෝෂනයේ කොටසක් ලෙස පසුගිය අගෝස්තු 01 දා වැලිවේරිය නගරයේ පැවැත් වූ විරෝධතාවට එරෙහිව සන්නද්ධ හමුදා බලඇනියක් මෙහෙය වූ රාජපක්ෂ ආන්ඩුව තරුනයන් තිදනෙකු වෙඩි තබා ඝාතනය කලේය. ඉන් නොනැවතුනු ආන්ඩුව දැන් එම උද්ඝෝෂනයේ කි‍්‍රයාකාරිකයන්ට එරෙහි මැර ප‍්‍රහාරයන් ද පොලිස් බිය වැද්දීම් ද දියත් කොට ඇත.

තම පරිසරය රැක ගැනීම සම්බන්ධයෙන් මහජනතාවට ඇති අයිතියට එරෙහිව මේසා පරිමාන මර්දනයක් දියත් කරන ආන්ඩුව දැන් එලිමහනේම යෙදී සිටින්නේ පරිසර නීති මුලූමනින් උල්ලංඝනය කරමින් තම ලාභය තර කර ගැනීමේ ව්‍යායාමයක යෙදී සිටින සංගත වලට සියලු රැකවරනය ලබා දීමේ කි‍්‍රයාවලියකය. දැවැන්ත මහජන විරෝධය හමුවේ වෙනිග්‍රොස් කම්හලේ නිශ්පාදන කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකිව පවතින තතු යටතේ, සිදු වූ පරිසර හානිය පිලිබඳ වගකීමෙන් මුලුමනින්ම අත සෝදා ගැනීමට කම්හල් හිමි හේලීස් සමූහ ව්‍යාපාරයට ඉඩ දෙමින් බියගම නිදහස් වෙලඳ කලාපය තුල කම්හල යලි ස්ථානගත කිරීම සඳහා භූමි භාගයක් ලබා දී ඇත. එමෙන්ම පූර්න හමුදා ?කවරනය යටතේ තුන්නාන කම්හලේ නිශ්පාදන කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ආන්ඩුව විසින් කටයුතු යොදා ඇත.

ආන්ඩුවේ පිලිවෙත වන්නේ දේශීය හා විදේශීය ආයෝජකයන් වඩවඩාත් දිරි ගන්වමින් ඒ මත යැපෙන ආර්ථිකයක් නිර්මානය කිරීමයි. මෙහි දී ඔවුනට එරෙහිව වැඩෙන කවර හෝ විරෝධතාවක් මැඩීමට ආන්ඩුව පසු බට නොවනු ඇත. අනෙක් අතට, මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත සිදු කෙරෙන දැවැන්ත කප්පාදු පියවරයන්ට එරෙහිව සටනට අවතීර්න වන කම්කරුවන්ට සහ අවශේෂ පීඩිතයන්ට සලකතු ලබන්නේ කෙසේද යන්න ආන්ඩුව දැනටමත් පෙන්වා දී ඇත. ඊනියා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව අරගලයට පිවිසි කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ට ද තෙල් මිල වැඩි කිරීමට එරෙහි ධීවරයන්ගේ විරෝධතාවයට ද ආන්ඩුව පිලිතුරු දුන්නේ තුවක්කු කටෙනි. කටුනායක දී කම්කරුවෙකු මරා දැමූ ආන්ඩුව හලාවත දී ධීවරයෙකු බිලි ගත්තේය. අධ්‍යාපන කප්පාදු වලට එරෙහිව වර්ධනය වන සිසු විරෝධතාවන් සම්බන්ධයෙන් ආන්ඩුවේ ප‍්‍රතිචාරය මීට වෙනස් නොවේ.

Share this article: