සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ශාඛා විශ්ව විද්‍යාල තුල ගොඩනගනු

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ විශ්ව විද්‍යාල ශාඛාවේ ප‍්‍රකාශයකි, 2014 අගෝස්තු 02

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) යනු කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් නායකත්වය දෙනු ලබන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන හා ශිෂ්‍ය ව්‍යාපාරයයි.

ලෝක යුද්ධයටත්, සමාජ අසමානතාවයටත් විරුද්ධව ලෝක කම්කරුවන් හා තරුනයන් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත බලමුලූ ගැන්වීමට හජාජාක ගෙනයන අරගලයේ කොටසක් ලෙස නව පරම්පරාවේ ශිෂ්‍යයන් හා කම්කරු පන්තික තරුනයන් මාක්ස්වාදයේ හා හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය හා ප‍්‍රතිපත්ති මත උගන්වා ගැනීම සඳහා සසජාතශි සටන් වදී.

ධනවාදය යටතේ ලොව පුරා ශිෂ්‍යයන්ට තරුනයන්ට අනාගතයක් ඉතිරිව නැත. ලංකාවේත් ජාත්‍යන්තරවත් ශිෂ්‍යයන් හා තරුනයන් ධනේශ්වර ක‍්‍රමයේ ප‍්‍රහාරවලට එරෙහිව අරගලවලට අවතීර්න වී සිටින අතර ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගලයක් නොමැතිව ගෙවෙන සතියක් නොමැති තරම් ය.

ලංකාවේ සරසවි ශිෂ්‍යයන් අධ්‍යාපනය ලබන්නේ දරුනු පහසුකම් හිඟයක් හා ආර්ථික අපහසුතා ගොන්නක් මධ්‍යයේ ය. රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාර අතර අධ්‍යාපනයට හා සරසවි ශිෂ්‍යයන්ට එරෙහි ප‍්‍රහාරය මුල් තැනක් ගෙන තිබේ. ආන්ඩුව විසින් අධ්‍යාපනයට වෙන් කරන මුදල දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5 දක්වා කප්පාදු කිරීම හේතුවෙන් උසස් පෙල සමත් දහස් ගනනක් සිසුන් අතරින් සරසවිවලට තෝරා ගැනෙන්නේ සියයට 15 ක් එනම් 20,000 ක් පමන සුලූ සංඛ්‍යාවකි. අධ්‍යාපන කප්පාදුව හරහා දහස් සංඛ්‍යාත සරසවි සිසුන්ගේ හා ලක්ෂ සංඛ්‍යාත පාසල් සිසුන්ගේ මූලික අධ්‍යාපන අවශ්‍යතා විනාශභාග් කිරීමටත් සියලු වියදම් දෙමාපියන් හා ශිෂ්‍යයන් මත පැටවීමටත් එල්ල කෙරී තිබේ.

සමස්ත සරසවි සිසු සංඛ්‍යාවෙන් නේවාසිකාගාර පහසුකම් හිමි වන්නේ සියයට 30 ක් පමන ප‍්‍රතිශතයකට පමනක් වන අතර සරසවි ශිෂ්‍යයෙකුට අධ්‍යාපනය ලැබීමට කොහෙත්ම නො සුදුසු පුද්ගලික කාමරයක පවා ඇඳක් සඳහා මසක කුලිය අවම වශයෙන් රුපියල් 2,500 පමන වේ. මීට අමතරව ප‍්‍රවාහන ගාස්තු හා විදුලි බිල ඉහල දැමීම මගින් පිම්මේ ඉහල යන ජීවන වියදම හමුවේ ශිෂ්‍යයෙකුගේ සාමාන්‍ය මාසික වියදම රුපියල් 15,000 ඉක්මවයි. ආන්ඩුවේ ශිෂ්‍යාධාර හා මහපොල දීමනාව මසකට රුපියල් 2,500 ක් පමන සොච්චමක් වන අතර එය දශකයක කාලයක් පුරා වැඩි කොට නැත.

දේශනශාලා, විද්‍යාගාර, පුස්තකාල, පරිගනකාගාර හා ආචාර්යවරුන්ගේ බරපතල හිඟයකට සිසුන් මුහුන දී තිබෙන තත්වය තුල සරසවි සිසුන්ගෙන් බහුතරයක් නිසි අධ්‍යාපනයක් ලබනවා වෙනුවට තම දෙමාපියන්ට බරක් නොවීම සඳහා දැනටමත් අර්ධ කම්කරුවන් බවට පත්ව තිබේ. සසජාතශි නිරීක්ෂනයන්ට අනුව ශිෂ්‍යයන්ගෙන් සියයට 50 ට ආසන්න පිරිසක් අර්ධ කාලීන රැකියාවල නිරත වී සිටී.

පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කෙරෙන්නේ සරසවි වරම් නොලබන සිසුන්ට අවස්ථාව සැලසීම සඳහාය යන ආන්ඩුවේ තර්කය තනිකර ප්‍රෝඩාවකි. අන් රටවල පාලකයන්ගේ මෙන්ම රාජපක්ෂ පාලනයේ අරමුන අධ්‍යාපනය දෙස් විදෙස් ආයෝජකයන් සඳහා වන ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීමයි. මිලියන ගනන් ගාස්තු අය කරන එවැනි විශ්ව විද්‍යාල, අතලොස්සක් ධනපතියන්ගේ හා මධ්‍යම පන්තික පවුල්වල දරුවන්ට සීමා වෙයි.

නිදහස් අධ්‍යාපන කප්පාදුවත් සමග අධ්‍යාපන පුද්ගලීකරනය පෙරට දමා ඇති රාජපක්ෂ ආන්ඩුව පැන නගින ශිෂ්‍ය විරෝධතා මැඞීම සඳහා සරසවි පරිපාලනය, රජයේ පොලිස් භටකායන්, මැර කල්ලි පමනක් නොව අධිකරනය පවා සිසුන්ට එරෙහිව මෙහෙයවා තිබේ. සිසුන්ගේ සියලු දේශපාලන ක‍්‍රියාකාරකම්වලට වැට බැඳීමට පියවර ගෙන ඇති ආන්ඩුව පසුගිය වසර හතරක කාලයක දී සිසුන් දහසකට අධික ප‍්‍රමානයක් පන්ති තහනමට හෝ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වලට ලක් කොට ඇත. ශිෂ්‍ය සංගම් ගනනාවක් ද තහනම් කොට තිබේ.

අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාරය කම්කරු පන්තිය මත එල්ල කර ඇති සමස්ත ප‍්‍රහාරයේ කොටසකි. ශිෂ්‍යයන්ට එරෙහි රාජ්‍ය මර්දනය කම්කරු පන්තියට එරෙහිව එල්ල කිරීමට නියමිත පුලුල් ප‍්‍රහාර පෙර ඇඟවුම් කරයි. එමෙන්ම අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාර ලංකාවට පමනක් සීමා වී නොමැති අතර එය ලෝක පරිමාන සමාජ ප‍්‍රතිවිප්ලවයේ කොටසකි.

සරසවි ශිෂ්‍ය සටන් මත ලැග සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) ආන්ඩුවට බලපෑම් දැමීම මගින් ආන්ඩුවේ ප‍්‍රහාර ආපස්සට ගත හැකිය යන මිත්‍යාව තුල සිසුන් සිර කොට ආන්ඩුවේ ප‍්‍රහාරවලට යටත් කිරීම සඳහා නිරතුරුව වැඩ කරමින් සිටී. අවිශිබම මෙහෙයවෙන්නේ ලංකාවේ දෙමල ජන වර්ගයට එරෙහි වර්ගවාදී යුද්ධයට සහයෝගය දෙමින් දකුනේ සිංහල තරුනයන් හා ශිෂ්‍යයන් “දේශපේ‍්‍රමීත්වය” ඔස්සේ ධනපති පාලක පන්තියට ගැට ගැසූ ජනතා විමුක්ති පෙරමුනින් (ජවිපෙ) භේද වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂ (පෙසප)යෙනි.

1988‐89 කාල පරිච්ඡේදය තුල, ඊනියා දේශපේ‍්‍රමිත්වය යටතේ කම්කරු පන්තියට එරෙහිව මුදාහල ෆැසිස්ට් ප‍්‍රහාරයේ දී එවකට තමා යටතේ පැවති අවිශිබමය ද මෙහෙය වූ ජවිපෙ, 60,000 ක් ගම්බද තරුනයන් මරා දැමීම සඳහා යූඑන්පී ආන්ඩුවට මග පැදීය. පෙසප හා වත්මන් අවිශිබම කම්කරු පන්තියට එරෙහි එම ප‍්‍රහාරයන් දිගටම ආරක්ෂා කරයි.

ආන්ඩුවේ කප්පාදුවලට එරෙහිව අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වෙමින්, කම්කරු පන්තික නායකත්වය යටතේ සිසුන් බලමුලු ගැන්වෙතැයි භීතියට පත්ව සිටින රාජපක්ෂ ආන්ඩුව, එවන් බලමුලු ගැන්වීමකට ඉඳුරා එරෙහි අවිශිබම වටා සිසුන් රඳවා තැබීමේ වාසිය පිලිබඳව ගනන් බලයි. පසුගිය දා ජයවර්ධනපුර සරසවියේ හා රජරට සරසවියේ ශිෂ්‍යභාවය තහනම් කිරීම් අහෝසි කිරීම පිටුපස මෙම ගනන් බැලීම් ඇති බවට නිසැකය.

දැවැන්ත ප‍්‍රහාරයන් සඳහා කල් ගැනීමක් ලෙස ආන්ඩුව යොදන මෙවන් උපාමාරු “ජයග‍්‍රහන” ලෙස නම් කරන අවිශිබමය, නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගත්තේ ද ආරක්ෂා කර ගත්තේ ද ශිෂ්‍ය සටන් මගින්ය යන ඔවුනගේ දිගු කාලීන ප‍්‍රලාපය ශක්තිමත් කිරීම සඳහා මෙම “ජයග‍්‍රහන” උත්කර්ශයට නංවයි.

අවිශිබමයේ ප‍්‍රලාපයන්ට විපරීතව, ලංකාවේ සීමිත නිදහස් අධ්‍යාපන අයිතිය ස්ථාපිත කෙරුනේ කම්කරු පන්තියේ අතීත අරගලවල ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඒ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් වැදි හතර වන ජාත්‍යන්තරයේ ඉන්දු උපමහාද්වීප පක්ෂය වූ බෝල්ෂේවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි)යි.

කම්කරුවන්ට තරුනයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර ධනේශ්වර ක‍්‍රමයේ අනිවාර්ය ප‍්‍රතිඵලයක්ය යන්න වසන් කරමින්, ප‍්‍රහාරයන්ගේ මූලය නව ලිබරල් ප‍්‍රතිපත්තිවලට සිඳවා එම ප‍්‍රතිපත්ති ආපසු හැරවීමෙන් ධනේශ්වර ක‍්‍රමය යටතේම අධ්‍යාපන අයිතිය රැක ගත හැකි යයි අවිශිබම හා පෙසප කියා සිටී. අවිශිබම මෙම වැඩපිලිවෙල යටතේ සිසුන්ට එරෙහිව අටවා ඇති නවතම උගුල සිසු‐ජන පෙල ගැස්මයි. මෙම ප‍්‍රතිගාමී සන්ධානය ගොඩනගා ඇත්තේ කම්කරු අරගල පාවාදීම සම්බන්ධයෙන් කුප‍්‍රකට වෘත්තීය සමිති නායකයන් හා නව සමසමාජ පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ ඒකාබද්ධ කර ගනිමිනි.

අවිශිබම හා පෙසප පමනක් නොව, කම්කරු හා ශිෂ්‍ය අරගල හුදකලා විරෝධතාවලට කොටු කොට ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට යටත් කිරීම සඳහා පශ්චාත් නූතනවාදය හා පශ්චාත් මාක්ස්වාදය වැනි ප‍්‍රවනතා, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයට හා සමස්තයක් ලෙස මාක්ස්වාදයට හා සමාජවාදයට එරෙහි ධනේශ්වර දෘෂ්ටිවාදයන් වපුරමින් ධනවාදයේ රැකවලුන් ලෙස සරසවි තුල වැඩට බැසගෙන තිබේ.

2008 පුපුරා ගිය ලෝක ආර්ථික අවපාතය ධනේශ්වර ක‍්‍රමයේ බිඳ වැටීමක් දක්වා වර්ධනය වෙමින් පවතින තතු තුල ඔබාමා පාලනාධිකාරයේ සිට යුරෝපය හා ආසියාව දක්වා ධනපති පාලක පන්තීහු බිඳ වැටුනු බැංකු හා මූල්‍යායතන බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීම සඳහා ඩොලර් ටි‍්‍රලියන ගනන් මහජන මුදල් යොදවනු ලැබුහ. ධනේශ්වර ක‍්‍රමයේ අභ්‍යන්තර ගතිකය විසින් අර්බූදයට තුඩු දුන් මූල්‍ය සමපේක්ෂනය තව තවත් ඉදිරියට තල්ලු කෙරෙන තතු තුල වඩාත් ඉහල තලයකින් අර්බූදය පුපුරා යෑමට නියමිතය. ප‍්‍රතිඵලය වනු ඇත්තේ අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන මුලුමනින්ම විනාශ කෙරෙන සමාජ ප‍්‍රතිවිප්ලවයක් සඳහා රටක් රටක් පාසා පාලක පන්තීන් තල්ලු කරනු ලැබීමයි.

අතලොස්සකගේ ලාභ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කේන්ද්‍රගත කර ඇති නිෂ්පාදන මාධ්‍යන්ගේ පුද්ගලික දේපල ආධිපත්‍යය බහුතරයකගේ අධ්‍යාපනය ඇතුලු දැවෙන සමාජ අවශ්‍යතා සමග නොපෑහේ. වර්ධනය වී ඇති සමාජ අසමානතාවය තුලින් ධනවාදයේ ඓතිහාසික අසමර්ථභාවය, පැහැදිලි වෙයි. එක් වාර්තාවකට අනුව ලොව ධනවත්ම පුද්ගලයන් 85 ගේ ඒකාබද්ධ ආදායම ලෝක ජනගහනයෙන් භාගයක එනම් බිලියන 3.5 ක ඒකාබද්ධ ආදායමටත් වැඩි අගයක් ගනී.

ධනේශ්වර බිඳ වැටීමක කොන්දේසි යටතේ ගෝලීය නිෂ්පාදනය හා ප‍්‍රතිමල්ලව ජාතික රාජ්‍යයන් අතර ගැටුම යලි මානව වර්ගයා හමුවේ ලෝක යුද්ධයේ අන්තරාය මතු කර තිබේ. රුසියාව හා චීනය අර්ධ යටත් විජිත බවට පත් කර ගැනීමද ඇතුලු සමස්ත යුරේසියානු භූ ස්කන්ධයේ ආධිපත්‍යය පිහිටුවා ගැනීම සඳහා වන ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ධාවනය මගින් මානව වර්ගයා න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දෙසට ඇදගෙන යමින් සිටී.

අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් රැකීමට නම් සමාජය සමාජවාදී ආකාරයට ප‍්‍රතිසංවිධානය කල යුතුය. සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටනින් තොරව කම්කරු පන්තියේ කුමන හෝ අයිතියක් රැක ගත නො හැකි බව සසජාතශි අවධාරනය කරයි. මෙම යුගයේ එකම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියේ නායකත්වය යටතේ ගොවි ජනතාව ඇතුලු පීඩිත මහජනතාව ද සිසුන් ද ගොනු කර ගනිමින් කම්කරු ගොවි ආන්ඩුවකින් රාජපක්ෂ ආන්ඩුව විස්ථාපනය කල යුතුය. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ අත්‍යන්ත කොටසකි. ලෝක යුද්ධයට හා සමාජ අසමානතාවයට එරෙහිව සටන් කිරීම සඳහා ශිෂ්‍යයන් හැරී ගත යුත්තේ මෙම වැඩපිලිවෙල වෙතයි. සියලූ සරසවි තුල සසජාතශි ශාඛා ගොඩනගමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයට එක්වන ලෙස අපි සියලු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: