ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති නය අර්බුදයේ අනතුර වසං කරයි

Sri Lankan Central Bank chief covers up debt crisis warnings

සමන් ගුනදාස විසිනි, 2014 අගෝස්තු 20

රටෙහි උග‍්‍රවන නය තත්වය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සහ ගෝලීයවර්ගීකරන ආයතන විසින් ගිය සතියේ නිකුත් කෙරුනු අනතුරු ඇඟවීම් ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් නොතකා හැරියේය. ඒ වෙනුවට, ශී‍්‍ර ලංකාව “මධ්‍යම ආදායම් මට්ටමේ රටක්” කරා සුමට ලෙස ගමන් කරමින් ඇති බව ඔහු ප‍්‍රකාශ කලේය.

ගිය වසරේ රටෙහි නය ප‍්‍රමානය දල දේශීය නිෂ්පාදිතයේ සියයට 78.3 ක් වූ අතර මේ වසරේදී එය සියයට 74.3 ක් දක්වා අඩුවීම රටෙහි “නය මට්ටම ලිහිල්වීම” පිලිබඳ සාක්ෂියක් ලෙස අගෝස්තු 8 දා රොයිටර් සමග සාකච්ඡාවකදී කබ්රාල් ගෙනහැර දැක්වීය. බිඳ වැටෙන සුලු “ආර්ථික වර්ධනය” නොනවත්වා පවත්වා ගෙනයාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව දිගට හරහට නය ලබාගන්නා අන්තර්ජාතික වානිජ නය සපයන්නන් සතුටු කිරීම ඔහුගේ ප‍්‍රකාශයේ අරමුන යි.

ආන්ඩුව පම්පෝරි ගසන ආර්ථික වර්ධනය රඳා ඇත්තේ, නව අධිවේගී මාර්ග ඇතුලු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉහල පොලී අනුපාත යටතේ ලබාගන්නා නය මතය. විදේශ ආයෝජකයන් සහ සංචාරකයන් ආකර්ෂනය කිරීමට, කොලඹ නගරය ප‍්‍රධාන කොට, නගර අලංකරන වැනි සෝබන ව්‍යාපෘති මත දැවැන්තව වියදම් කරයි. මේ වසරේ වර්ධන අනුපාතය සියයට 7.3 ක් ලෙස ප‍්‍රක්ෂේප කොට ඇති නමුදු, නිෂ්පාදනය මත නොව සේවා සහ යටිතල පහසුකම් අංශ මත මූලිකවම විශ්වාසය තබා ඇත.

ශී‍්‍ර ලංකාව සම්බන්ධව තම කාලීන තොරතුරු විමසීම නිමවීමෙන් පසු, ජූලි 29 දා ජාමූඅ අධ්‍යක්ෂකවරු ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ: “ශී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය ආසියාවේ දියුනුවන ආර්ථිකයන් අතරේ වඩා වේගවත්ම ආර්ථිකයයි” යනුවෙනි. කෙසේවුවද, ආර්ථික වර්ධනය සර්පිලාකාරව ඉහල යන නය සමග සම්බන්ධ කරමින් ජාමූඅ මෙසේ අනතුරු ඇඟවීය. “විශේෂයෙන්ම නය සේවා වියදම් සීඝ‍්‍රව ඉහල යන තතු තුල, මධ්‍ය කාලීනව දිගටම වර්ධනය පවත්වාගෙන යාමේ හැකියාව; පිටතට යොමුවීමේ පෙලගැස්ම පවත්වාගෙන යාම, අපනයන ව්‍යූහය විවිධාංගීකරනය, සහ විදේශ නය ලබාගැනීම් තර්කාන්විතව කිරීම මත රඳා පවතිනු ඇත.”

වානිජමය කොන්දේසි යටතේ නව නය ලබා ගැනීම සම්බන්ධව ජාමූඅ ප‍්‍රකාශය සැලකිල්ල යොමුකර ඇත. තම විශ්ලේෂනයේ “[ආර්ථික] වර්ධනය සහ විදේශ විනිමය කම්පනයන් මත්තේ ශී‍්‍ර ලංකාවේ නය නඩත්තුකර ගැනීමට ඇති හැකියාව සංවේදීව පවත්නා බව” තම විශ්ලේෂනය තුලින් “කැපී පෙනෙන්නේ” යැයි ජාමූඅ කියා සිටී.

මාර්තු අවසානයේදී, රාජ්‍ය නය රුපියල් ටි‍්‍රලියන 7.18 (ඇමෙරිකානු ඩොලර් බිලියන 55.2) කට ලඟා වුන අතර එයින් සියයට 44 ක් විදේශ නය විය. ඉන් බොහෝ ප‍්‍රමානයක් නය සේවා බර ඉහල නංවන වානිජ නයගැනීම් විය.

ජාමූඅ ප‍්‍රකාශය රාජ්‍ය තාන්ත‍්‍රික වුවත්, ගෝලීය වර්ගීකරන ආයතන ගැඹුරුවන නය ගැටලුව සම්බන්ධව තම උත්සුකතා විවෘතවම ඉදිරිපත් කලහ. මූඞීස් ආයතනයට අනුව, “දැන් ශී‍්‍ර ලංකාවේ බාහිර නය දදේනි යෙන් සියයට 59 ක් වන අතර එය මොන්ගෝලියාවට (බී2 සෘන වර්ගීකරනය) සහ පැපුවා නිව්ගිනියාවට පසුව ආසියා පැසිපික් කලාපයේ ඉහලම අගය වේ.” 2014 තුලදී කල්පිරෙන කෙටි කාලීන නය රටෙහි නිල සංචිතවලින් සියයට 118.6 ක් තරම් ඉහල අගයක පවතින බව මූඩි ගෙනහැර දැක්වීය. පුලුල්වන නය සැපයුමෙහි හදිසි ඇන හිටීමක් වුවහොත්, මෙම අගය සියයට 124 දක්වා ඉහල යනු ඇත.

ජාමූ අරමුදලෙන් තවත් නය පහසුකමක් ඉල්ලා සිටින්නට දැන් රජයට “හොඳම වෙලාව” බව වෙනත් වර්ගීකරන ආයතනයක් වන ස්ටෑන්ඩර්ඞ් සහ පුවර් යෝජනා කලේය. “අවශ්‍යතාවයක් පැන නගී නම්, ජාමූඅ වෙතින් හෝ ද්විපාර්ශවික මුලාශ‍්‍රයකින් නව බාහිර ද්‍රවශීලතා අනුග‍්‍රහයක් අත්කරගන්නට ශී‍්‍ර ලංකාවට හැකි බව අපි විශ්වාස කරන්නෙමු” යි එය සඳහන් කලේය. නය පැහැර හැරීමක හෝ ගෙවුම් ශේෂ අර්බුදයක මෝදු වීම ගැන අනතුරු ඇඟවීමක් මෙහි ගැබ්වී තිබේ.

ජූලි 28 දා, එලඹෙන වසර පහ සඳහා තාක්ෂනික ආයෝජන සැලැස්ම ගැන මහා ව්‍යාපාරිකයන් සමග පැවති සාකච්ඡාවකදී, නය ආපසු ගෙවීමට රජයට ඇති හැකියාව සීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතින බව තාක්ෂන සහ පර්යේෂන අමාත්‍ය පාඨලී චම්පික රනවක පැවසීය.

1977 දී සමස්ත නය ගෙවීම් රජයේ ආදායමින් සියයට 28 ක් වූ නමුත්, 1994 දී එය සියයට 55 දක්වා ඉහල ගිය අතර 2013දී සියයට 102 ක් වූ බව රනවක සඳහන් කලේය. ග‍්‍රීසියේ, යුක්‍රේනයේ, අයිස්ලන්තයේ සහ ඉතාලියේ මෙන්, ගෙවීම් සඳහා රාජ්‍ය දේපල විකුනන්නට රජයට බල කෙරෙනු ඇති බව ඔහු ප‍්‍රකාශ කලේය. රනවක පාලක සභාගයේ හවුල්කාර සිංහල ස්වෝත්තමවාදී ජාතික හෙල උරුමයේ නායකයෙකි.

ලංකා වානිජ මංඩලය විසින් අගෝස්තු 5 දා සංවිධානය කරන ලද ශී‍්‍ර ලංකා ආර්ථික සමුලුව ඇමතූ භාන්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර, “මුදල් අච්චු ගැසීම්, අධික නය මූල්‍යකරනය සහ දැවැන්ත නය, සම්බන්ධව දැනුනු බිය විශ්වාසනීය කි‍්‍රයාමාර්ග හරහා රජය පහකර හැරිය බව” අවධාරනය කලේය. කෙසේවුවද, එම “විශ්වාසනීය කි‍්‍රයාමාර්ග” විස්තර කිරීමට ඔහු අසමත් විය.v

ඇතිවියහැකි “විදේශ විනිමය කම්පන” ගැන ජාමූඅ කරන සඳහනෙන් ඇඟවුම් කෙරෙන්නේ ලෝක මූල්‍ය වෙලඳපොලෙහි වර්ධනය වෙමින් පවතින චංචල ස්වභාවය යි. ගෝලීය මුල්‍ය පද්ධතිය 2007-08 අර්බුද කාලසීමාවට වඩා අනතුරුදායක තත්වයක පවතින බව නිරවුල්කිරීම් පිලිබඳ ජාත්‍යන්තර බැංකුවේ ප‍්‍රධානී ජෙයිම් කරුවානා ජූලි මාසයේදී පෙන්වා දුන්නේය. 2008 දී එක්සත් ජනපදයේ ලෙහ්මන් බ‍්‍රදර්ස් ආයෝජන බැංකුවේ කඩාවැටීමේ පටන්, “නැගීඑන වෙලඳපොලවල්” දැවැන්ත නය කන්දරාවක් ගොඩගසාගෙන ඇති බව ඔහු පැවසීය.

ශී‍්‍ර ලංකාව වැනි රටවල එවන් ඉහල නය කන්දරාවල් මූල්‍ය අස්ථාවරත්වය තීව‍්‍ර කරයි. බාහිර කම්පනයන් වැලැක්වූවායැයි කබ්රාල් සහ රාජපක්ෂගේ ඔජවැඞීම් හාස්‍යජනකය. ශී‍්‍ර ලාංකීය ධනවාදය ලෝක මුල්‍ය වෙලඳපොලට තදින්ම ගැට ගැසී තිබේ.

ජාමූඅ හි බෙහෙත් වට්ටෝරුවේ එක් “විසඳුමක්” වන්නේ මේ වසරේ සියයට 5.2 කට නියම කර තිබෙන තද මූල්‍ය හිඟ ඉලක්කය හරහා නය අවමකිරීමයි. තම ගෙවුම් ශේෂ අර්බුදය වලක්වාගැනීමට 2009 ජූලිවලදී රාජපක්ෂ ආන්ඩුව ඩොලර් බිලියන 2.6 ක නය මුදල ලබාගන්නා විට ජාමූඅ මෙම ඉලක්ක නියම කලේය.

ජාමූඅ ට අනුව, රජයේ වියදම් කප්පාදු සීමාවකට පැමින තිබේ. බදු ඉහල දමමින් ආදායම වැඩිකරගැනීම එක් විකල්පයකි. වර්තමානයේදී, පරිප්පු, හාල්මැස්සන්, පිටිකිරි, ටින් මාලු සහ ඞීසල් වැනි කම්කරු ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් මත වක‍්‍ර බදු පැනවීම ආදායම් එකතු කිරීමේ ප‍්‍රධානම පදනම වේ. පසුගිය මාසයේදී, ආන්ඩුව සීනි මත විශේෂ වෙලඳ බද්ද කිලෝ ග‍්‍රෑමයකට රු. 20 සිට රු. 28 තෙක් ඉහල දැම්මේය. අගෝස්තු 15 සිට, ආන්ඩුව ආනයනික අල සහ ලොකු ලූනු මත බදු ආසන්න වශයෙන් තුන් ගුනයකින් ඉහල නැංවීය.

විශ‍්‍රාම වැටුප ප‍්‍රධාන ඉලක්කය කොටගෙන, රාජපක්ෂ ආන්ඩුව කම්කරු පන්තිය මත බර පටවමින් වියදම් කප්පාදුව තවමත් කරගෙන යමින් සිටී. රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිකය (විශ‍්‍රාම ගැනීමකදී එකවර ගෙවන මුදල) නැවත ගෙවිය යුතු බැංකු නයකින් හිලව් කරන්නට ආන්ඩුව මේ වසරේදී තීරනය කලේය. රාජ්‍ය අංශ සේවකයෝ නය ගෙවීමට සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට මෙම විශ‍්‍රාම පාරිතෝෂිකය මත රැකෙති.

භාන්ඩාගාර තොරතුරු වලට අනුව, මාර්තු වන විට විශ‍්‍රාමිකයන් 14,000 කට පාරිතෝෂිකය ගෙවා නැත. ඔවුනට ගෙවීමට ඇති සමස්ත මුදල ආසන්නව රුපියල් බිලියන 7 කි.

සේවක අර්ථසාධක අරමුදල (සේඅඅ) මාසිකව ගෙවන විශ‍්‍රාම වැඩපිලිවෙලකට පරිවර්තනය කරන්නටද ආන්ඩුව තීරනය කලේය. මහ බැංකුව විසින් කලමනාකරනය කරන සේඅඅ, පුද්ගලික අංශයේ සහ රජයට අයත් සංස්ථාවල කම්කරුවන් සහ සේවාදායකයන් විසින් කරනු ලබන එකතුකිරීම්වලින් සෑදුනු විශ‍්‍රාම අරමුදලකි. එකතු වී ඇති සමස්ත අරමුදල රු. ටි‍්‍රලියන ගනනක් දක්වා දිවෙන අතර විශ‍්‍රාම යෑමකදී මුලු මුදලම කම්කරුවන්ට ගෙවන්නට බැංකුවට නීත්‍යානුකූලව බල කෙරී ඇත.

මහ බැංකුව සේඅඅ අරමුදල තෝරාගත් සමාගම්වල සහ කොටස් වෙලඳපොලෙහි අත්තනෝමතිකව ආයෝජනය කර ඇති අතර ප‍්‍රතිඵලය වූයේ රුපියල් බිලියන ගනනක පාඩු ලැබීමයි. එබැවින් ආන්ඩුව අර්ථ සාදක අරමුදල් ගෙවීම මාසික විශ‍්‍රාම වැටුපක් බවට පත්කරන්නට යෝජනා කල අතර ඉතිරි අරමුදල් විවිධ ව්‍යාපෘති වලට යොදවනු ඇත.

ඒ සමානවම නය ආපසු ගෙවීම් නිසා බරපතල ලෙස පහරවැදී ඇති, ශී‍්‍ර ලංකාවේ ගෙවුම් ශේෂ හිඟය, මූලිකවම දේශපාලනිකව කඩාවැටෙන සුලු මැද පෙරදිග විදේශ ශ‍්‍රමිකයන් එවන මුදල්, සහ යුරෝපයේ සහ එජ යේ එක තැන පල්වෙන ආර්ථිකයන්ට කෙරෙන අපනයනයන් මත තදින් විශ්වාසය තබා තිබේ.

ජාමූඅ සහ වර්ගීකරන ආයතන කරන අනතුරු ඇඟවීම් මහ බැංකු අධිපති නොතකා හරිද්දී, කම්කරුවන්ගේ සහ දුගීන්ගේ ජීවන තත්වයන් මත තව දුරටත් ප‍්‍රහාර එල්ල කරන්නට ආන්ඩුව සූදානම් වන අතර කවර හෝ සමාජ නැගිටීමක් සමග ගනුදෙනු කරන්නට තම පොලිස්-රාජ්‍ය වැඩපිලිවෙල ශක්තිමත් කරමින් තිබේ.

Share this article: