පලස්තීනයට එරෙහි ඊස්රායල් ප‍්‍රහාර සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ව්‍යාජ වම්මුන්ගේ ප්‍රෝඩාකාරී උද්ඝෝෂනය

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2014 අගෝස්තු 13

ඊස්රායලය විසින් පලස්තීනය ආක‍්‍රමනය කිරීමට එරෙහිවීමක් ලෙස, ලංකාවේ ව්‍යාජ වම්මු ජුලි 31 දා කොටුව දුම්රියපොල ඉදිරිපිට දී විරෝධතා උද්ඝෝෂනයක් පැවැත් වුහ. උද්ඝෝෂනයේ එල්ලය වුයේ පුහු අධිරාජ්‍ය විරෝධයක් මවා පාමින් ඊස්රායල් ආක‍්‍රමනිකයාගේ සැබෑ අරමුනු වහංගු කොට යුද්ධයට පිටුබලය දෙන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායාත්මක සහ භූ-දේශපාලනික උත්සුකතාවයට පිටුබලය දීමය.

උද්ඝෝෂනය පැවැත්වුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මූලිකත්වයෙනි. නව සම සමාජ පක්ෂය (නසසප, එක්සත් සමාජවාදී පක්ෂය (එසප), මා ඕවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය, සමාජවාදී පක්ෂය හා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ලෙනින් පක්ෂය ඊට සම්බන්ධ වූ සෙසු පක්ෂ විය. පිකට් උද්ඝෝෂනයට මෙම පක්ෂවල සාමාජිකයෝ සියගනනක් සහභාගී වී සිටියහ.

“පලස්තීන ජනයාට ජීවත් වීමට ඉඩ දෙනු” යන්න උද්ඝෝෂනයේ තේමාව වුයේය. එය ඊස්රායල් ආක‍්‍රමනිකයාගෙන් සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙන් “පලස්තීන ජනයාට විසඳුමක්” ඉල්ලා කන්නලව් කිරීමකි.

උද්ඝෝෂනයෙන් අනතුරුව ඊට සහභාගී වූවන් අමතා පක්ෂ නායකයන් කල කතාවල දී මෙම කුජීත පිලිවෙත එලිදරව් විය. එහිදී කතාකල පෙසප ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ “තෙල් සම්පත කොල්ල කන්න අද පලස්තීන භුමිය ලේවලින් නාවනව. අපේ යුතුකමක් තියෙනව පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. ....... අපි උද්ඝෝෂන සංවිධානය කරන්නේ පල්සතීන ජනතාව වෙනුවෙන් අපේ යුතුකම ඉටුකරන්න” බව ප‍්‍රකාශ කලේ ය. ”එක නිල නිවේදනයක් වත් නිකුත් නො කිරීම” ගැන ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂට චෝදනා කලේ ය.

රාජපක්ෂ ආන්ඩුව නිල නිවේදන එකක් නො ව, දෙකකක් ම නිකුත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය මගින් ජුලි 15 දා පලමු ප‍්‍රකාශය නිකුත් කල අතර ජුලි 23 පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයේ දී ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ තවත් ප‍්‍රකාශයක් කලේ ය. ප‍්‍රකාශ දෙකේ ම ආන්ඩුවේ නිල ආස්ථානය වුයේ ආක‍්‍රමනිකයා ආරක්ෂා කිරීම ය. (කියවන්න http://www.wsws.org/sinhala/2014/2014jul/slpl-31j.html රාජපක්ෂ ආන්ඩුව පලස්තීනයට එරෙහි ඊස්රායල් ප‍්‍රහාර ආරක්ෂා කරයි)

උත්ප‍්‍රාසාත්මකව, පෙසප නිල ප‍්‍රකාශය සහ ජනරල පත‍්‍රයේ ජුලි 27 සහ අගෝස්තු 3 කලාපවල, ඊස්රායලය පිලිබඳව ආන්ඩුවේ ආස්ථානයට සමාන ආස්ථානයක් සහිත ලිපි පල කර ඇත. “උන්ගේ යුද්ධය, උන්ගේ සාමය හා පලස්තීන ඊස‍්‍රායල් ගැටුම” යන සිරස්තලය යටතේ ජුලි 27 කලාපයට අජිත් පැරකුම් ජයසිංහ විසින් කොලමක් ලියා තිබුනි. එම සිරස්තලය ම පලස්තීනයට එරෙහි ඊස්රායලයේ ප‍්‍රකෝපකාරී මිලිටරි ප‍්‍රහාරයන්ගේ ඓතිහාසික වාර්තාව වහංගු කරන අතර පලස්තීනයට එරෙහිව ඊස්රායලය විසින් දැන් මුදාහැර ඇති ම්ලේච්ඡ මිලිටරි ප‍්‍රහාරය සිදුවන භූ-දේශපාලනික සන්දර්භය මුලූමනින් ම නො තකා හරියි. ජයසිංහ මෙසේ ලියයි: “ඇත්තෙන් ම ඊස්රායල් රජයට හා ගාසා තීරයේ බලය හිමි හමාස් සංවිධානය යන දෙකට මත් මෙම යුද්ධය අවශ්‍යම වී තිබුන බව පෙනේ”.

ඊස්රායල් මිලිටරියේ මෘග ප‍්‍රහාර ගැන වචනයක්වත් සඳහන් නො කරන ලියුම්කරු හමාස් සංවිධානය සහ වෙනත් සන්නද්ධ කන්ඩායම් ඊස්රායලය දෙසට දිනකට රොකට් වෙඩි 100 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බවට චෝදනා කරන්නේ ඊස්රායලය, ඇමරිකාව හා ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර ජනමාධ්‍ය ගෙනයන ප‍්‍රචාරයට එක් වෙමිනි.

ජනරල අගෝස්තු 3 වෙනි දා කලාපයට ඊස්රායල්-පලස්තීන ගැටුම ගැන කොලමක් ලියන ප‍්‍රසන්න ජයවීරට වෙනත් වචනවලින් එය ම ප‍්‍රතිරාවය කරයි. ඔහුට අනුව යුද්ධය “අරාබි සහ යුදෙව් ධනපතියන්ගේ ප‍්‍රාග්ධන උවමනාකම් මත පැන නැගුන ජාතිකවාදී අරගලයක ප‍්‍රතිඵලයකි”. පෙසප විසින් න්‍යායක මට්ටමට ම මෙම ආස්ථානයන් වර්ධනය කරමින් ප‍්‍රහාරකයා සහ ඊට ගොදුරුවන්නා එක ම ගොඩට දමා ඇත.

හමාස් සංවිධානය පලස්තීන ධනපති පන්තියේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකවාදී සංවිධානයක් බව සැබැවි. එහෙත් පලස්තීනුවන් පීඩිත ජාතියකි. ඔවුන්ට ප‍්‍රහාර එල්ල කරන ඊස්රායල් ධනපති පන්තිය පීඩකයා වන අතර ම මැදපෙරදිග කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මූලෝපායාත්මක උවමනාකම් රකින ප‍්‍රධාන ධනේශ්වර පාලන තන්ත‍්‍රයකි. පෙසප ආස්ථානය මගින් ප‍්‍රකාශිත වන්නේ ඊස්රායල් ආක‍්‍රමනිකයා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වී සිටින ධනපති පන්තියේ සහ මධ්‍යම පන්තික සමාජ ස්තරයක ආස්ථානය යි. එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් ඉරාකය, ඇෆ්ගනිස්තානය, ලිබියාව හා සිරියාව තුල ගෙනයන “මානුෂික යුද්ධය” පිටුපස පෙල ගැසී සිටින්නේ මෙම ධනපති හා මධ්‍යම පන්තික සමාජ ස්තරයන්ය.

පලස්තීනයට කවර හෝ සහනයක් ලැබෙන කිසිදු සම්මුතියක් පිලිගැනීමට එකඟ නැති ඊස්රායලය දැන් එල්ල කරමින් පවතින ප‍්‍රහාරයේ මූලික අරමුන පලස්තීන ජනතාවගේ හැට හය වසරක ප‍්‍රතිරෝධය කුඩු පට්ටම් කර 1967 යුද්ධයෙන් අල්ලාගත් ප‍්‍රදේශවල බලය ස්ථාවර ව තහවුරු කර ගැනීමයි. යුකේ‍්‍රනය මැදි කරගෙන නැගෙනහිර යුරෝපයේ වර්ධනය වන අර්බුදය මධ්‍යයේ මැදපෙරදිග තවදුරටත් අස්ථාවර වීම වලක්වා ගැනීම සඳහා පලස්තීනයට සීමිත සහන සලසන සම්මුතියක් දිසාවට එක්සත් ජනපදයේ නැඹුරුවක් වෙතොත් එය ආපසු හැරවීම තවත් අරමුනකි.

පලස්තීනයට චෝදනා කරමින් ඊස්රායලයේ සාපරාධී යුද්ධයට සම්පුර්න සහයෝගය දෙන එක්සත් ජනපදය යුද්ධය ගෙනයාම සඳහා අවශ්‍ය සියලු ම මාධ්‍යයන් සම්පාදනය කරනු ලබයි. වසරකට ඩොලර් බිලියන තුනක මිලිටරි හා මූල්‍ය ආධාර සපයන එය පසුගිය සතියේ මූනිස්සම්, මෝටාර්, ග‍්‍රනේඞ් සහ සෙසු ආයුධ ඇතුලු සුවිශාල ආයුධ තොගයක් ඊස්රායල් මිලිටරියට දුන්නේ ය. එක්සත් ජනපදය පමනක් නො ව, අන් සියලුම අධිරාජ්‍යවාදී බලයන් ඊස‍්‍රායලයට සහයෝගය දෙන අතර කලාපයේ අරාබි පාලන තන්ත‍්‍රයන් විසින් පලස්තීනය හුදකලා කර එක්සත් ජනපද ආශිර්වාදය සහිත සම්මුතියකට එය යටත් කිරීමට කටයුතු කරනු ලබයි.

මෙම ආයුධ යොදා ගනිමින් එල්ල කරන ප‍්‍රහාරවලින් කාන්තාවන් ලමුන් ඇතුලු 2,000 ට වැඩි පිරිසක් මියගොස් 10,000 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. අනාත වී සිටින සංඛ්‍යාව 170,000 කට වැඩිය. පාසල්, රෝහල්, කර්මාන්ත ශාලා සහ විදුලි සැපයුම් පද්ධතිය බිමට සමතලා කර ඇත. වර්ග කිලෝ මීටර් 200 ක පමන වූ භූමි භාගයක වෙසෙන 18 ලක්ෂයක් පමන වූ අල්ප ජනතාවකට දැනට අත්කර දී ඇති ඉරනමේ පරිමාව මෙයයි.

පිකට් කිරීමට සම්බන්ධව සිටි නසසප හා එසප ඊස්රායල ආක‍්‍රමනය ගැන ව්‍යාජ විරෝධයක් පල කලහ. නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න කතාකරමින්, “අද ඇමරිකන් යකඩ සපත්තුවට මැදපෙරදිග යටත් කරගන්න හදනව....මැද පෙරදිග ගැන කතා කරපු අයට (ජනාධිපති රාජපක්ෂ) අද ගාසාව අමතක වෙලා.... මෙරටේ දුක් විඳින ජනතාව එකතුවෙලා පලස්තීන ජනතාවට සහාය දැක්විය යුතු” බව ප‍්‍රකාශ කලේ ය.

ඔබාමාගේ සහයෝගය ඇතිව ඊස්රායල් මිනීමරු හමුදා පලස්තීනයේ ඝාතන සිදුකරන බව ප‍්‍රකාශ කල එසප සිරිතුංග ජයසුරිය ද නිල ප‍්‍රකාශයක් නො කිරීම ගැන ආන්ඩුවට චෝදනා කරමින් ඊස්රායල් ප‍්‍රහාර වලට එරෙහිව “නිල ප‍්‍රකාශයක්” නිකුත් කරන ලෙස රාජපක්ෂගෙන් අයැද සිටියේය.

නසසප හා එසප බටහිර ගැති දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග සන්ධාන ගතවෙමින් ධනවාදයේ සහ අධිරාජ්‍යවාදයේ උවමනාකම් සමග පෙල ගැසී සිටින පක්ෂ දෙකකි.

ඊස්රායලය විසින් පලස්තීනය තුල සිදු කෙරෙමින් පවත්නා මෙම ම්ලේච්ඡ ප‍්‍රහාරය, සමාජ හා ආර්ථික කප්පාදු කිරීම් වලට එරෙහිව අරගලවලට එලෙඹෙමින් සිටින ශී‍්‍ර ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියට කරන බරපතල අනතුරු ඇඟවීමකි. එය අධිරාජ්‍යවාදීන් සහ ධනපති පන්තීන් විසින් සුදානම් කරනු ලබන නව අධිරාජ්‍යවාදී යුද්ධයක හා සමාජ ප‍්‍රතිවිප්ලවයක සැලසුම් සමග බැඳී ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි අගෝස්තු 4 ඉදිරි දර්ශන ලිපිය තුල මෙම අන්තරාය ගැන පහත සඳහන් අවධාරනය කලේය. “අද ගාසා තීරය තුල සිදු කරනු ලබන යුද අපරාධ සහ ඒවාට සියලුම ප‍්‍රධාන බලයන් විසින් දෙන සහයෝගය, සෑම රටක් තුලම කම්කරු පන්තියට එරෙහිව සූදානම් කෙරෙමින් පවතින්නේ කුමක්ද යන්න පිලිබඳ අනතුරු ඇඟවීමකි. ගාසා තීරයේ ජන ඝාතනයන්, ප‍්‍රධාන බලයන් විසින් ඔවුන්ගේ කොල්ලකාරී උවමනාවන් වෙනුවෙන් මිලියන සංඛ්‍යත ජනයා මරනයට පත්කල පමුවන ලෝක යුද්ධය පුපුරා යාමෙන් සියවසක් සමග සමපාත වෙයි. නැවත වරක් අධිරාජ්‍යවාදී බලයෝ විනාශකාරී යුද්ධයකට සුදානම් වෙමින් සිටිති.”

ව්‍යාජ වාම පක්ෂ විසින් වහංගු කරන්නේ ශී‍්‍ර ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන මෙම තීරනාත්මක අන්තරාය යි.

Share this article: