වෙනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමේ කම්කරුවන්ගේ සේවා කොන්දේසි

ඩබ්ලිව්.ඒ. සුනිල් (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්මික වාර්තාකරු හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප‍්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.
එම අවස්ථාවට මෙම ප‍්‍රදේශයන්හි පලාත්වාසීන්, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා සසප නියෝජිතයන් ද ඇතුලු පිරිසක් සම්බන්ධ විය. මෙම පරීක්ෂනයේ “වෙනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමේ කම්කරුවන්ගේ සේවා කොන්දේසි” මැයෙන් ඩබ්ලිව්.ඒ. සුනිල් ඉදිරිපත් කල දෙවැනි වාර්තා ව මෙහි දැක්වේ.මෙය පස්වැන්නයි.පලමු වැන්නට , දෙවැන්නට තුන්වැන්නට හා සිව්වැන්නට පිවිසීම සඳහා මෙතැනින්. අනුපිලිවෙලින් අනෙකුත් වාර්තා ද පලකරමු.

මෙම වාර්තාවෙන් බලාපොරොත්තු වන්නේ වැලිවේරිය දූෂනයට වගකිව යුතු සීමාසහිත ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වෙනිග්‍රොස් කම්හලේ සහ සෙසු කම්හල්වල කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳව විමසා බැලීමකි. මෙම සමාගම් අයත් වන්නේ හේලීස් සමාගම් සමූහයට ය.

ජල දූෂනය හා පරිසර දූෂනය පිලිබඳ චෝදනාවන් එල්ල වූ රතුපස්වල වෙනිග්‍රොස් සහ හංවැල්ල තුන්නානේ හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කම්හල් දෙක ඇතුලු වෛද්‍ය නොවන ආරක්ෂක රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයිති කම්හල් 6ක් ශ‍්‍රී ලංකාව තුල නිෂ්පාදන කටයුතු පවත්වා ගෙන යන අතර ඊට අයත් එම නිෂ්පාදන කටයුත්තේ ම යෙදෙන කම්හලක් තායිලන්තයේත් අලෙවි සමාගමක් ඉතාලියේත් පිහිටුවා ඇත.

සීමාසහිත ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන ලෝකයේ ප‍්‍රධාන සමාගම් 5ට අයත් වන අතර ලෝක රබර් අත්වැසුම් නිෂ්පාදනයෙන් සියයට 5ක් නිෂ්පාදනය කරනු ලබන්නේ මෙම සමාගම විසිනි. නිෂ්පාදිත රබර් අත්වැසුම් දකුනු සහ උතුරු ඇමරිකාව, ආසියාව සහ අප‍්‍රිකාව, ඕස්ටේ‍්‍රලියාව සහ යුරෝපය වෙත අපනයනය කරනු ලබයි.

අඩු වැටුප් හා රුදුරු සේවා කොන්දේසි පවත්වා ගෙන යමින් අසීමිත ශ‍්‍රම සූරා කෑමක් යටතේ දැවැන්ත ලාභ උපයා ගැනීමට සමාගම සමත් වී ඇත. එය 2011 වසරේ දී පෙර වසරට වඩා තෙගුනයක එනම් රුපියල් බිලියන 2.38ක ලාභයක් ලැබූ අතර 2012 දී එය රුපියල් බිලියන 2.1කි. ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් කම්හල් දාමයේ සමස්ත ශ‍්‍රම බලකාය 1,207කි. විධායක නොවන ශ‍්‍රී ලාංකික සේවකයෝ 640ක් ද විදේශීය සේවකයෝ 358ක් ද දේශීය සහ විදේශීය විධායක සේවකයෝ 209ක් ද ඒ අතර වෙති. ශ‍්‍රී ලංකාවේ දැනට පවතින කම්කරු නීති යටතේ දින 180ක අඛන්ඩ සේවා කාලයක් සම්පූර්න කරන කම්කරුවන්ගේ සේවය ස්ථිර කල යුතු නමුත් නිෂ්පාදන අංශයේ සේවකයන්ගෙන් බහුතරය වසර 5ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සහිත කොන්ත‍්‍රාත් පදනමේ සේවයේ යොදවා ඇති අය බව සේවකයෝ කියති. සමස්ත ශ‍්‍රම බලකායෙන් සියයට 90ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් කොන්ත‍්‍රාත් කම්කරුවෝ වෙති. කොන්ත‍්‍රාත් කම්කරුවන් සමාගමට සපයනු ලබන්නේ නූතන ශ‍්‍රම වහල් වෙලඳාමේ යෙදෙන මිනිස් බල සමාගම් විසිනි.

පැය 8ක වැඩ මුරයක් සඳහා කොන්ත‍්‍රාත් කම්කරුවෙකුට ගෙවන්නේ රු. 350ක තරම් සොච්චම් වැටුපකි. මාසයේ වැඩ කිරීමට නියමිත දින 20 ම නොකඩවා සේවයට පැමිනියොත් පමනක් රු. 1,000ක පැමිනීමේ දීමනාවක් ඊට එකතු වෙයි. අතිකාල පැය මාසයකට පැය 100ට සීමා කර ඇති නමුත් සමහර විට සේවා අවශ්‍යතාවන් මත පැය 100 ඉක්මවා වැඩ කිරීමට කම්කරුවන්ට බල කෙරුනත් ගෙවීම් කරනු ලබන්නේ පැය 100ට පමනි. අතිකාල පැයක් සඳහා ගෙවන මුදල රු. 65කි. ඒ අනුව මාසයේ දින 20ක් අඛන්ඩව සේවයට පැමිනුනත් කොන්ත‍්‍රාත් කම්කරුවෙකුගේ සම්පූර්න මාසික ආදායම රුපියල් 22,500ක් පමන වෙයි. කම්කරුවන් සපයන මිනිස් බල සමාගම් ඒ සඳහා අය කරන කොමිස් මුදල්වලින් දැවැන්ත ලාභයක් උපයා ගනියි.

නිසි ආරක්ෂක උපකරන තමන්ට නොලැබෙන බවත් අත්වැසුම් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන විෂ රසායනික නිසා සමේ රෝග ඇතුලු විවිධ රෝගවලට තමන් ගොදුරු වන බවත් කම්කරුවෝ කීහ. එමෙන් ම මෙම කම්හල් තුල දරුනු මර්දනයක් ක‍්‍රියාත්මක වන බවත් ඊට විරුද්ධව කතා කලොත් රැකියාවෙන් නෙරපන බවත් ඔවුහු පැවසූහ.

තම අයිතීන් සඳහා සටන් කිරීමට සංවිධානය වීමේ අයිතිය ද කම්කරුවන්ට අහිමි ය. සමාගමේ මර්දනයට එරෙහිව 2013 දී වර්ජනයක නිරත වූ කම්කරුවන් දොට්ට දැමීම මගින් වර්ජනය සහ ඔවුන් සංවිධානය වී සිටි වෘත්තීය සමිතිය බිඳීමට පාලනාධිකාරිය කටයුතු කලේ ය. එලෙස සේවය අහිමි වූ කම්කරුවෙක් කම්හල තුල පවතින දුෂ්කර සේවා කොන්දේසි සහ මර්දනය සම්බන්ධව මෙසේ විස්තර කලේ ය.

“කර්මාන්ත ශාලාවේ දරුනු මර්දනයක් තිබුනා. නිතර ම බොරු චෝදනා ඉදිරිපත් කරලා කම්කරුවන්ට දඬුවම් කලා. ඔවුන්ට අවශ්‍ය වුනේ අපව මරවලා වැඩ ගන්න යි. මම අවුරුදු 12ක් සේවය කරලත් මගේ මාසික මූලික වැටුප රු. 15,000ක් පමන යි. වැටුප් මදි. මර්දනයට විරුද්ධව අපි වර්ජනය කලා. ස්ථිර කම්කරුවන් හා අනියම් කම්කරුවන් 147ක් පමන වර්ජනයට සම්බන්ධ වුනා. වර්ජනය කල කම්කරුවන් සියලු දෙනා ම එලියට දැම්මා.

“ජල දූෂනයට එරෙහිව වැලිවේරිය ප‍්‍රදේශයේ ජනයා උද්ඝෝෂනය පටන් ගත්තා ම අපට ආපහු වැඩට එන්න කිව්වා. අපි හිඟ වැටුප් සමග රැකියාව ඉල්ලුවා. පාලකයො ඒකට එකඟ වුනේ නැහැ. කම්හලේ පාලකයන්ගේ උවමනාව වුනේ අපිව පලාතේ ජනතාවට එරෙහිව පාවිච්චි කිරීමට යි.”

වැඩ වර්ජනයට සම්බන්ධව රැකියාවෙන් නෙරපන ලද තවත් කම්කරුවෙකු වූ දිලීප රොෂාන් හෘදයාබාධයකින් මරනයට පත්ව ඇත. ඔහුගේ බිරිඳ මෙසේ පැවසුවා ය. “දිලීපට ලැබුනෙ රුපියල් 13,000ක මාසික වැටුපක්. වසර හතරක පමන සිට හතිය තිබුනා. හතිය හැදුනෙ කර්මාන්ත ශාලාවෙන් ද කියල හරියට ම කියන්න බැහැ. වැඩ නතර කරාට පසු ටික දිනක් බියගම වෙල්ෆෙයා කම්හලේ වැඩ කලා. වසර 9ක් වැඩ කරලත් මරනයට ඩිප්ඩ් ප්‍රොඩක්ට් ආයතනයෙන් ආවෙ නැහැ. මට රැකියාවක් නැහැ. මාස හයක ලමයෙක් ඉන්නවා. ජීවත් වෙන්න කිසි ම ආදායම් මාර්ගයක් නැහැ.”

ධනපතියන් සහ ධනපති ක‍්‍රමය කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් කෙරෙහි දක්වන තුච්ඡ නො තකා හැරීම පිලිබඳව මෙය කදිම උදාහරනයකි.

කොට්ටාව බ‍්‍රාහ්මනගම සහ හංවැල්ල තුන්නානේ පිහිටි කම්හල්වල කම්කරුවෝ ද ඒ හා සමාන කොන්දේසිවලට මුහුන දෙති.

බ‍්‍රාහ්මනගම කම්හලේ කම්කරුවෙක් තමන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි සහ කම්හල් පාලනාධිකාරියේ මර්දනය ගැන මෙසේ පැහැදිලි කලේ ය: “අපි දහවල් වැඩ මුරයට ගියහම රාත‍්‍රි වැඩ මුරයට ආ යුතු කම්කරුවන් ආවේ නැත් නම් සුපර්වයිසර්ල අපෙන් කීප දෙනෙක්ව නවත්ත ගන්නවා. ඒ සඳහා අතිකාල ගෙවන බව කිව්වත් අතිකාල පැය ගනන පඩියට එකතු කරන්නේ නැහැ. හැම දා ම පඩිය අඩු කරලා හදන්නේ. එහෙම වුනත් ඊලඟ වැඩ මුරය වැඩ කරන එක ප‍්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙම කලොත් රස්සාවෙන් අස් කරනවා.”

කම්කරුවන්ගේ වැටුපෙන් ආහාර සලාකය සඳහා මිනිස් බල සමාගම විසින් මාසයකට රු. 5,500ක මුදලක් කපා ගනු ලැබ්. එම වටිනාකමට කෑම නොගත්තත් ‘මාසේ අන්තිමට හොරට ගනන් හදල වැඩිපුර මුදලක් කපා ගන්නා’ බව කම්කරුවෝ කීහ.

පරිගනකගත කරන ලද ස්වයංකි‍්‍රය යන්ත‍්‍ර ආශ‍්‍රිතව සේවය කරන කම්කරුවන් එම යන්ත‍්‍රවල සිදු වන්නා වූ දෝෂයන්ට වැරදිකරු කර සේවයෙන් නෙරපා දැමීමට හෝ කම්කරුවාගේ වැටුපෙන් කොටසක් කපා දැමීමට ද පාලකයෝ කටයුතු කරති. සියලු ම යන්ත‍්‍රසූත‍්‍ර අඛන්ඩව පැය 24 ම කි‍්‍රයාකාරිත්වයේ පවතින බැවින් එම යන්ත‍්‍රවල විවිධ දෝෂ හට ගැනීම ස්වාභාවික බව ප‍්‍රකාශ කල එම කම්කරුවා ඊට අවශ්‍ය කරනුයේ යන්ත‍්‍රයට අවශ්‍ය සුසර කිරීම් මිස අදාල කම්කරුවා සේවයෙන් නෙරපීම නොවන බව අවධාරනය කලේ ය.

නිෂ්පාදන අංශයේ එක කොටසක නිෂ්පාදන ක‍්‍රියාවලියේ ස්වභාවය කම්කරුවෙක් මෙසේ පැහැදිලි කලේ ය: “එක කොටසක් තියෙනවා ඒකේ වෙන්නේ ග්ලවුස් රසායනික භාජනවල ගිල්ව ගිල්වා ගන්න එක. ඒක ස්වයංකි‍්‍රයව තමයි සිද්ධ වෙන්නේ. කම්කරුවෙක් දාල ඉන්නවා ඒක බලා ගන්න. සමහර වෙලාවට මැෂින් එක හරියට වැඩ කරන්නේ නැතිව ගිහින් ග්ලවුස් සමහර රසායනික භාජනවල ගිල්වෙන්නේ නැතුව මග ඇරිලා යන්න ගන්නවා. ඒ වෙලාවට එතන ඉන්න කම්කරුවා වහා ම ඒක ලොක්කන්ට කියන්න ඕන. සමහර වෙලාවට ඉක්මනට කිව්වේ නෑ කියල එයාගේ පඩියෙන් කොටසක් කපනවා. පහු ගිය දවසක එවැනි චෝදනාවක් උඩ කම්කරුවෙක් රස්සාවෙන් අයින් කලා.”

විරැකියාව හේතුවෙන් කොන්ත‍්‍රාත් පදනම මත වුව ද වැඩ කිරීමට සූදානම් රැකියා විරහිතයන් විශාල සංඛ්‍යාවක් සිටින හෙයින් පාලකයන් ස්ථිර කම්කරුවෙකු වුව ද සේවයෙන් නෙරපීමට මැලි නොවන බව ඔහු තව දුරටත් පැවසුවේ ය. මේ හේතුව නිසා කිසි ම කම්කරුවෙකු සිය වැටුප් හෝ දුෂ්කර සේවා කොන්දේසි පිලිබඳව කිසිදු අයුරක පැමිනිල්ලක් ඉදිරිපත් කිරීමට හෝ එඩිතර නොවන බව ඔහු කීවේ ය.

කාර්මික අනතුරුවලට ගොදුරු වන කම්කරුවන් ගැන පාලකයන් දක්වන්නේ අඩු සැලකිල්ලක් බවට කම්කරුවෝ චෝදනා කරති. වැඩ කරමින් සිටින අතරතුර දී මෑත දී හදිසි අනතුරුවලට මුහුන දුන් කම්කරුවන් කිහිප දෙනෙකුට ම අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට සහ ඔවුන්ගේ පවුල්වල ආර්ථික දුෂ්කරතාවල දී උපකාර කර ඇත්තේ ද සහෝදර කම්කරුවන් විසිනි. එවන් හදිසි අනතුරුවල දී කම්කරුවන් හට වන්දියක් හෝ ලබා නොදෙන බව කම්කරුවෝ කියති.

දරිද්‍රතාව නිසා බොහෝ කම්කරුවන් තමන්ට පවත්නා රෝගී තත්වයන් හා ශාරීරික දුබලතා නො තකා හා නිසි ප‍්‍රතිකාර නො ගෙන දිගට ම සේවා කටයුතුවල නිරතව සිටිනුයේ තමන් එක් දිනක නිවාඩුවක් ගත හොත් පැමිනීමේ දීමනාව තමන්ට අහිමි වන හෙයිනි. කර්මාන්ත ශාලාව තුල කම්කරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිලිබඳව සොයා බැලීම සඳහා පාලකයන් විසින් වෛද්‍යවරයෙකු යොදවා ඇත්තේ කම්කරුවන්ගේ යහපත සඳහා නො ව ඔවුන්ට කෙතරම් කාර්යක්ෂමව වැඩෙහි නිරත විය හැකි ද යන්න සොයා බැලීමට බව තවත් කම්කරුවෙක් පැවසුවේ ය. ඇතැම් කම්කරුවන් දරිද්‍රතාව විසින් ඇති කරනු ලබන මානසික පීඩනය නිසා බීමත්කමට ඇබ්බැහි වීම වැනි විෂම සමාජ ක‍්‍රියාවන්ට යොමු වී සිටින බව තරුන කම්කරුවෙක් කීවේ ය.

වෙනිග්‍රොස් සමාගමේ කම්කරුවන්ගේ දරිද්‍රතා මට්ටමේ වැටුප් සහ රුදුරු සේවා කොන්දේසි හුදෙක් එම සමාගමට පමනක් සීමා වූ තත්වයක් නො වේ: ධනවාදයේ ගැඹුරු වන අර්බුදය තුල සෑම රටක ම කම්කරුවන් මුහුන දී සිටින්නේ සමාන කොන්දේසිවලට ය. එනම් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ තීව‍්‍ර වන ප‍්‍රහාරයකට ය. පසු ගිය සියවස තුල අරගල මගින් දිනා ගත් සකල සියලු අයිතීන් ආපසු උදුරා ගැනීමේ සමාජ ප‍්‍රතිවිප්ලවයක් මූල්‍ය ප‍්‍රාග්ධනයේ උවමනාව වෙනුවෙන් සෑම රටක ම ධනපති පාලක පන්තීන් විසින් මුදා හැර ඇත.

එමෙන් ම ධනපති සමාගම් විසින් සිදු කරන පරිසර දූෂනය හා කම්කරුවන් මත පටවන රුදුරු සූරා කෑමේ කොන්දේසි එකිනෙකට සම්බන්ධිත ය. රතුපස්වල හා තුන්නානේ ඩිප්ඞ් ප්‍රොඩක්ට්ස් කම්හල් විසින් සිදු කෙරෙන පරිසර දූෂනයට එරෙහි මහජන විරෝධය තුල දී ඒවායේ මුදුනට පැන ගැනීමට තැත් කල දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය, ඒ සමග පෙල ගැසුනු නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වාම පක්ෂ හා විවිධාකාර රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියා කලේ මෙම සම්බන්ධය වසන් කොට ප‍්‍රදේශයේ මහජනතාව සහ කම්කරුවන් අතර විරසක භාවයක් නිර්මානය කිරීමට ය.

මතු සම්බන්ධයි

Share this article: