‍ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදී පී .වී. නන්දසේන සැත්තැඑක් වියේ දී අභාවප‍්‍රාප්ත වෙයි

සමාජවාදී සමානතා පක්ෂය (ශී‍්‍ර ලංකාව), 2014 දෙසැම්බර් 17

Sri Lankan Trotskyist P. V. Nandasena dies at age 71

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ‍්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දිගුකාලීන සාමාජිකයෙකු වූ පී.වී. නන්දසේන සහෝදරයා දෙසැම්බර් 13 වන සෙනසුරාදා වයඹ පලාතේ කුරුනෑගල රජයේ රෝහලේදී අභාවප‍්‍රාප්ත විය. මෙම සටන්කරුගේ අවසන් කටයුතු, පක්ෂයේ සහෝදරවරුන් ද ඇතුලු 500ක් පමන දෙනා ගේ ඉමහත් ගෞරවය සහිතව, ඔහු උපන් රඹුක්කන ප‍්‍රදේශයේ දී පසුගිය සඳුදා සිදුකරන ලදී.

උන සමග ඇතිවූ සිහිසුන් බැවින් යුතුව නොවැම්බර් 25 වන දින නන්දසේන රෝහල්ගත කරන ලදී. වෛද්‍යවරුන් පසුව නිගමනය කල පරිදි ඔහුට වැලඳී තිබුනේ, මීයන් මගින් බෝවන, කුඹුරු වැඩකරන්නන් බෙහෙවින් ගොදුරුවන මාරාන්තික මී උන රෝගයයි. දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසුව යම් සුවවීමක ලකුනු පහල වූ නමුත් පසුගිය සෙනසුරාදා ඔහුගේ තත්වය එක්වරම නරක අතට හැරුනේ ය. වියෝගයට පත් ඔහුගේ බිරිඳ ජේ. මිසිලින් දයාරත්න විශ‍්‍රාමික ගුරුවරියක වන අතර දියනිය තිලිනි සුබෝධිකා නන්දසේන රජයේ රැකියාවක නියුක්තය.

පී .වී. නන්දසේන

මේ ධෛර්ය සම්පන්න සහෝදරයාගේ වියෝව පක්ෂයට සිදුවූ දැවැන්ත පාඩුවකි.

පක්ෂයේ සහෝදරවරුන් සහ සේවා සගයන් අතර “නන්දෙ” යනුවෙන් ප‍්‍රකට නන්දසේන විශ‍්‍රාමික බැංකු නිලධාරියෙකි. කොලඹින් කි.මි. 100ක් පමන දුරින් පිහිටි හේවාදිවෙල නම් ගමේ ඔහු උපත ලද්දේ 1943 ඔක්තෝබර් 28 දා ය. එය දුගී ගම්මානයකි, නන්දසේනගේ පවුල ප‍්‍රදේශයේ ප‍්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැනෙහි යෙදී සිටියේය.

නන්දසේන සසප පුරෝගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට 1976 අග භාගයේදී සම්බන්ධ වූයේ රජයට අයිති ලංකා බැංකුවේ සේවයේ නියුතුව සිටියදීය. හෙතෙම අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ධනපති සභාග ආන්ඩුවට සහ වෘත්තීය සමිති නිලධරයේ ද්‍රෝහිත්වයට එරෙහි විකොස ස්ථිරසාර අරගලයට දැඩිසේ ආකර්ෂනය විය.

ජාත්‍යන්තර සමාජවාදී ප‍්‍රතිපත්ති පාවාදී 1964දී බන්ඩාරනායකගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) සමග සභාගයට ඇතුලු වූ ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) ක‍්‍රියාකලාපය පිලිබඳව නන්දසේනට පැහැදිලි කිරීමට විකොස සමත්විය. සභාග ආන්ඩුව සයමසක් තුල බිඳ වැටුන ද 1970 දී එය නැවත ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ද සහය ඇතිව බලයට පත්විය.

ශ‍්‍රීලනිප-ලසසප-කොප සභාග ආන්ඩුව බලයට පත්ව මාස කිහිපයක දී, කස්ත්‍රෝවාදය, මාඕවාදය හා සිංහල ජාතිභේදවාදය මත පදනම් වී “සන්නද්ධ අරගල” හුවා දැක්වූ ජනතා විමුක්ති පෙරමුනේ පැනනැගීම යොදාගනිමින් හදිසි නීතිය පනවා ගම්බද තරුනයන් 15,000ක් මරාදමමින් තවත් විශාල සංඛ්‍යාවක් හිරේ දමමින්, 1971 අතිධාවනකාරී ජවිපෙ නැගීටීම මැඩපැවැත්විය.

හදිසි නීතියට විරුද්ධ වූ විකොස එම නීතිය කම්කරුවන්ට විරුද්ධව යොදාගනු ඇති බවට අනතුරු අඟවා සිටියේ ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් විකොසට රහසිගතව වැඩකිරීමට බල කෙරුනු අතර එහි සියලු ප‍්‍රකාශනයන් තහනම් කෙරිනි, සිරභාරයට ගනු ලැබූ විකොස සාමාජිකයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවේදී ඝාතනය කරන ලදහ.

කම්කරුවන්ගේ නැගීඑන සටන්කාමිත්වය මධ්‍යයේ පඩි වැඩිකිරීම් සහ අනෙකුත් සහන ඉල්ලා 1972 සැප්තැම්බර් 1 දා, ලංකා බැංකු සේවක සංගමය (සීබීඊයූ) වැඩවර්ජනයක් ආරම්භ කලේ ය. ලසසපයේ නායක ඇන්.ඇම් පෙරේරා රාජ්‍ය බැංකු අංශය ද භාර මුදල් අමාත්‍ය ධුරය දරාසිටි සභාග ආන්ඩුව වැඩවර්ජනය මැඩලීම සඳහා හදිසි නීතිය යොදාගත්තේ ය. එහෙත්, ආන්ඩුවට අභියෝග කල කම්කරුවෝ දින 108ක් දක්වා දික්ගැසී ගිය ලංකා ඉතිහාසයේ දීර්ඝ වැඩවර්ජනයකට බටහ.

රාජ්‍ය ප‍්‍රහාරයට එරෙහිව සටන් කිරීම සඳහා දේශපාලන වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේ විකොස සහ සීබීඊයූව තුල වූ එහි සාමාජිකයන් පමනි. සටනට සහය දක්වන ලෙස ද ධනපති සභාගයෙන් බිඳී කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් වන ලෙස ලසසපයට සහ කොපයට බලකලයුතුයයි විකොස කම්කරු පන්තියට කියා සිටියේය. මෙම උපායාත්මක ඉල්ලීම්වල අරමුන වුයේ ලසසපයේ සහ කොපයේ ද්‍රෝහීත්වය එලිදරව් කිරීම සහ සමාජවාදී ප‍්‍රතිපත්ති උඩ කම්කරු පන්තිය ස්වාධීන කොට, බලමුලු ගන්වා ගැනීමය.

සටන්කාමී වර්ජන ක‍්‍රියාමාර්ගය මගින් ආන්ඩුව නමාගත හැකියයි කියමින් සීබීඊයූ නිලධරය මෙම ක‍්‍රියාමාර්ගයට දැඩිව විරෝධය පෑවේ ය. සීබීඊයූ නායකයින් යටත් වී දෙසැම්බර් 17 දා වර්ජනය හමාර කල අතර ආන්ඩුව සේවකයන් නැවත සේවයේ පිහිටවූයේ පරිවාස කාලයකට යටත්කොට ය. කෙසේ නමුදු නන්දසේන ද ඇතුලත්ව රාජ්‍ය උගස් හා ඉතිරි කිරීමේ බැංකුවේ සියලු සේවකයෝ සේවයෙන් පහකරන ලද හ. ඔහු පසුව සිහිපත් කල පරිදි වර්ජනය තුල විකොස අරගලය ඔහු තුලට ගැඹුරින් කාවැදිනි. එහෙත් ඔහු එක්වරම පක්ෂයට බැඳුනේ නැත.

රැකියාව අහිමිව ගෙවුනු තුන්වසර තුල නන්දසේන මහත් ආර්ථික අපහසුතා වලට මුහුනදුන් අතර සිය පවුල නඩත්තු කීරීමට සෑහෙන තරමේ අදායම් මාර්ගයක් නොලැබීය. ඔහු මිතුරකු සමග එක්ව කොලඹ විකිනීම සඳහා සපත්තු සහ බෑග් හැදූ අතර කුඹුරු වැඩට ද බැස්සේ ය. 1975 දී වසරක පරිවාස කාලයකට යටත්කොට ලංකා බැංකුවේ නැවත සේවයේ පිහිටුවන ලද ඔහු බැංකුවේ විකොස සාමාජිකයන් හමුව අවුරුද්දකින් පක්ෂයට බැඳුනි.

අවමංගල්‍යට සහභාගි වූවන්ගෙන් කොටසක්

බැංකු වර්ජනය සභාග ආන්ඩුවට එරෙහි කම්කරු අරගලවල නැගීමක ආරම්භය සලකුනු කලේය. 1975 දී ලසසප අමාත්‍යවරු ආන්ඩුවෙන් ඉවත්කිරීම, උග‍්‍රවන දේශපාලන අර්බුදයක් පෙන්නුම් කලේ ය. 1976 දෙසැම්බර් වර්ජනයෙන් කම්කරුවන්ගේ විරෝධය කුලුගැන්විනි. ලසසප, කොප සහ වෘත්තීය සමිති නිලධරය වර්ජනය සීමා කොට පරාජය කරන ලද නමුත් එය ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ ආන්ඩුවට අන්තිම පහර එල්ල කලේ ය.

විකොසට සම්බන්ධ වූ නන්දසේන පක්ෂයේ ට්‍රොට්ස්කිවාදී ඉදිරි දර්ශනය බැංකු සේවකයන් අතරට ගෙනයමින් ද අනෙකුත් කම්කරුවන් අතර, විශ්වවිද්‍යාල සිසුන් සහ ගම්බද පෙදෙස්වල දේශපාලනික ක‍්‍රියාකාරකම්වල යෙදෙමින් ද ප‍්‍රබල උද්ඝෝෂකයකු බවට පත් විය. ඔහු පක්ෂයට එක් වූයේ දැඩි කලබල සහගත සමයකදී ය. 1977 දී ශ‍්‍රීලනිප, කොප සහ ලසසප කෙරේ පුලුල්ව පැතිර ගිය මහජන කලකිරීම ගසාකමින් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව බලයට පත්විය.

එජාප ආන්ඩුව ආර්ථිකය වෙලඳපලට හිතකර වන පරිදි විවෘත ආර්ථික ප‍්‍රතිව්‍යුහගත කිරීම් අරඹා කම්කරු පන්තිය සූරාකෑමට විදේශ ආයෝජකයින් ආකර්ෂනය කරගැනීම දෙසට හැරීගත් ලෝකයේ මුල්ම ආන්ඩුවලින් එකකි.

කම්කරු පන්තියේ විරෝධය තලා දැමීමට අදිටන් කරගත් එජාප ආන්ඩුව කෲර හදිසි නීති පනවා 100, 000ක් සේවකයින් රැකියාවෙන් එලියට දමා 1980 රාජ්‍ය අංශයේ දෘඪ වැඩවර්ජනය පරාජය කලේය. ආන්ඩුවට එරෙහිව සමාජවාදී ප‍්‍රතිපත්ති මත පදනම් වී ගත් කම්කරු පන්තියේ කුමන දේශපාලනික අරගලයකට වුව දැඩිව සතුරු වූ නව සමසමාජ පක්ෂය ඇතුලු ව්‍යාජ වාම පක්ෂ වල ද වෘත්තීය සමිති වල ද සහය ආන්ඩුවට ලැබුනි.

නැගීඑන සමාජ ආතතීන් සහ පුලුල් වන විරෝධය අබිමුව කම්කරු පන්තිය භේද කර දැමීමට එජාපය දෙමල විරෝධී ජාතිභේදවාදය පාවිච්චි කලේ ය: එකකට පසු එකක් ලෙස ජාතිභේදවාදී ප‍්‍රකෝපකරන මාලවක් 1983 දී දිවයින පුරා පැතිරගිය දෙමල විරෝධී හිංසනයක් තුල කුලුගැන්වුනි. එය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි සියවස් කාලක යුද්ධයක ආරම්භය සනිටුහන් කලේ ය.

ඇතැම් විකොස සාමාජිකයින් 1980 මහා වැඩවර්ජන පරාජය ඉක්බිත්තේ දේශපාලන ක‍්‍රියාකාරකම් වලින් පසුබා ගිය නමුත් නන්දසේන පක්ෂයේ දේශපාලන අරගලය වෙත සිය කැපවීම තව තවත් ගැඹුරු කලේ ය. ආන්ඩුව හා බැංකු කලමනාකාරිත්වය සමග සමථකයට පැමිනීමේ සීබීඊයූ උත්සාහයන් ප‍්‍රසිද්ධියේම විවේචනය කල ඔහු පක්ෂයට සහ විප්ලවවාදී ප‍්‍රතිපත්ති වලට කම්කරුවන් දිනා ගැනීමට ධෛර්ය සම්පන්නව සටන් කලේය.

වාර්ෂික වෘත්තීය සමිති රැස්වීම් වලදී තනිව නැගී සිටීමට නන්දසේන බිය වුයේ නැත. “ඔහු නැගීසිට දේශපාලන තත්වය පැහැදිලි කලා. කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් උදෙසා සටන් කිරීමේ අවශ්‍යතාවය ගැන ඔහු කතා කලා. ඔහු යුද්ධයට විරුද්ධ වුනා. කොන්දේසි රහිතව උතුරෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීමට ඉල්ලා සිටීමට අපව උනන්දු කලා. වෘත්තීය සමිති නායකයන්ගේ හෙන්චයියන් ඔහු නිහඬ කිරීමට හැදුවත් ඔහු ඔවුන් නොතකා සිය කතාව අවසන් වනතුරු කරගෙන ගියා.” එක් බැංකු සේවකයෙක් එසේ විස්තර කලේය.

නන්දසේන පක්ෂයේ සහෝදරවරුන්ගේ ඉහලම ගෞරවයට පාත‍්‍ර වූයේය. පක්ෂය වෙනුවෙන් සිය වැඩකොටස ඉටුකිරීම ඔහු වෙහෙසක්ලෙස තැකුවේ නැත. ඔහු එහිලා නිරන්තරයෙන් අනලස් හා සුපරික්ෂාකාරී විය. ඔහු 70 වන වියෙහි සිටියදී පවා කාර්මික දූෂනයට එරෙහිව උද්ඝෝශනයෙහි යෙදුනු වැලිවේරිය වැසියනට එල්ල කල හමුදා ප‍්‍රහාරයට එරෙහිව සසප මෙම වසරේ පැවැත්වූ කම්කරු පරීක්ෂනයට උද්යෝගීව සහභාගී වූ ඔහු ඒ සඳහා සිය නිවසෙන් කි.මි 60ක් දුර ගමන් කිරීම කලේය.

1964 ලසපප පාවාදීම පිලිබඳව නොවැම්බර් 21 දා කුරුනෑගල පවත්වන්නට යෙදුනු ප‍්‍රසිද්ධ රැස්වීම සඳහා උද්ඝෝෂනයට සම්බන්ධ වූ ඔහු රෝහල්ගත වීමට යන්තම් සිවු දිනකට පෙර එම රැස්වීමට සහභාගී විය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ “සමාජවාදය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන” යෝජනාව සාකච්ඡාවට ගැනුනු සසප සාමාජික රැස්වීමට ද සහභාගී ව එය අතිශයින්ම වැදගත් බව සැලකීය.

වැඩිපුර කතා නොකල නන්දසේන සහෝදරයා කතා කල සැම මොහොතක්ම දේශපාලන ප‍්‍රකාශනයේ හරයට ප‍්‍රවිෂ්ට විය. දේශපාලන ප‍්‍රතිමල්ලවයන් නිරාවරනයෙහි ඔහු ඉතා චතුර වු අතර එම අවස්ථාව ඊට ඇහුම්කන් දෙන අන්‍යයන් උගන්වා ගැනීමට භාවිත කරගති. ගම තුල ඔහු ගෞරවයට පාත‍්‍ර වූයේ සෑමවිටම අන්‍යයන්ට උදවු කල අයෙකු ලෙසයි. ඔහුගේ දේශපාලන ධෛර්යය මානුෂික බව දන්නා පක්ෂයේ සහෝදරවරුන් සහ ඔහු හඳුනන අනෙකුත් බොහොමයක් දෙනා අතර ඔහු සදා අනුස්මරනීය වනු ඇත.

Share this article: