නසසප නායකයා දක්ෂිනාංශික, ඇමරිකානු ගැති, ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් උද්ඝෝෂනය කරයි

Sri Lanka: NSSP leader campaigns for right-wing, pro-US presidential candidate

සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන විසිනි , 2014 දෙසැම්බර් 27

ජනාවාරි 08දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සඳහා දියත්ව ඇති දේශපාලන ව්‍යාපාරය තුල සියලුම ව්‍යාජ වාම සංවිධාන, මෑතක් වනතුරුම, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්ව සිටි මෛතී‍්‍රපාල සිරිසේන පිටුපස එක් හෝ තවත් ආකාරයකින් පෙලගැසි සිටිති. “පොදු අපේක්ෂකයා” ලෙස ඉදිරිපත්ව සිටින සිරිසේනට, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය ද ඇතුලු විපක්ෂයේ සියලු පක්ෂම පාහේ පිටුබලය දෙති.

ව්‍යාජ වාම සංවිධානයක් වන නව සමසමාජ පක්ෂය, (නසසප) සිරිසේනට සහාය දැක්වීම අතින් අන් සියල්ලෙක්ම පරදා ඇත. සිරිසේන වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදී සිටින එම පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුනාරත්න, ඔහුගේ වේදිකාවෙහි පෙනී සිටිමින්, ඔහුට ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සලුපිලි අන්දන අතර රාජපක්ෂගේ “ආඥාදායකත්වයට” ඇති එකම විකල්පය ලෙස ඔහු හුවා දක්වයි.

නොවැම්බර් මාසයේ අවසන් සතිය වන තෙක්ම කරුනාරත්න, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හුවාදැක්වීය. නොවැම්බර් 21දා සිරිසේන ආන්ඩුවෙන් ඉවත්වී වික‍්‍රමසිංහගේ පිටුබලය ද සහිතව පොදු අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත්වන බව නිවේදනය කිරීමත් සමග නසසප නායකයා ද වහාම සිය තානය වෙනස් කලේය. නොවැම්බර් 26දා පැවති මාධ්‍ය සමුලුවකදී කරුනාරත්න මෙසේ වැලපුනි. “අප 2005 සිටම උද්ඝෝෂනයේ යෙදී සිටියේ රනිල් වික‍්‍රමසිංහගේ පොදු අපේක්ෂකත්වය වෙනුවෙනි. එහෙත් ඔවුන් සිරිසේන තෝරාගෙන ඇත. අපි ඔහුට “විවේචනාත්මක” සහයෝගය ලබා දෙන්නෙමු. නසසපය දෙන සහයෝගයේ කිසිදු “විවේචනාත්මක” බවක් ඇත්තේ නැත. පක්ෂය තමන්ගේම ජනාධිපති අපේක්ෂකයෙක් ද ඉදිරිපත්කර ඇත. එහෙත් කරුනාරත්න කියා සිටියේ, ඒ පොදු අපේක්ෂකයාට සහාය දීමට පමනක් බවය.

සිරිසේන පිලිබඳව කරුනාරත්නට යම් හෝ දෙගිඩියාවක් තිබුනේ නම් එය ද ඉක්මනින්ම පහව ගොස් ඇත. සියල්ල හමුවේ සිරිසේන ආන්ඩුවෙන් ඉවත්කරවීමේ කුමන්ත‍්‍රනය දියත් කලේ, ඔහුගේ මිතුරා වන වික‍්‍රමසිංහගේ ද උදව් ඇතිව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙනි.

නසසපය, එල්ටීටීඊයට එරෙහිව යුද්ධය ගෙන ගිය අවධියේ සිදුකරන ලද යුද අපරාධ මුල්කරගෙන රාජපක්ෂට එරෙහිව එක්සත් ජනපදය ගෙන යන ඊනියා “මානව අයිතීන්” පිලිබඳ ව්‍යාපාරයේ ද උද්යෝගිමත් ආධාරකරුවෙකි. එල්ටීටීඊයට එරෙහි යුද්ධයට මුලුමනින්ම සහාය දුන් එක්සත් ජනපදය, රාජපක්ෂ චීනයෙන් දුරස්ත කිරීම සඳහා පීඩනය යෙදීම පිනිස දැන් මිලිටරිය සිදුකල අපරාධ ගසාකමින් සිටියි.

ජනාධිපතිවරනයේදී රාජපක්ෂ පැරදවීම පිනිස කුමාරතුංග හා වික‍්‍රමසිංහ, සිරිසේන පොදු අපේක්ෂකයා කර ගැනීමේ සැලැස්ම ක‍්‍රියාත්මක කලේ, වොෂින්ටනයේ අනුදැනුම හා අනුමැතිය ඇතිවය. තම ජනාධිපති ධුර කාලය අවසන්වූ තැන් පටන් කුමාරතුංග, හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් හා ඇගේ බිරිඳ වන හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ, ක්ලින්ටන් ගෝලීය ආරම්භකත්ව පදනමේ උපදේශිකාවක් ලෙස, එය සමග සමීප සම්බන්ධකම් ගොඩනගාගෙන තිබේ. ඔබාමා යටතේ රාජ්‍ය ලේකම් වශයෙන් හිලරි ක්ලින්ටන්, මිලිටරිමය වශයෙන් චීනය වැටලීම හා එරට දනගැස්වීම අරමුනු කරගත් “ආසියාවට හැරීම” කි‍්‍රයාවට නැගීමේදී ආක‍්‍රමනකාරී මූලිකත්වයක් ගත්තාය.

නිර්ලජ්ජිත ලෙස සිරිසේනගේ උද්ඝෝෂකයා ලෙස පෙරමුන ගෙන සිටින කරුනාරත්න, තමන්ගේ සහාය ඇති තරම් විවෘත ලෙස ලබා නොදීම ගැන අනෙකුත් ව්‍යාජ වම්මුන් විවේචනය කරයි. ඔහු එක වේදිකාවේ පෙනී සිටින්නේ, සිරිසේන, වික‍්‍රමසිංහ හා කුමාරතුංග සමග පමනක් නොවේ. හිටපු හමුදා නායක සරත් ෆොන්සේකා හා මෑතක් වන තුරුම ආන්ඩුවේ හවුල්කරුවන් ලෙස සිටි සිංහල අන්තවාදී ජාතික හෙල උරුමයේ (ජාහෙඋ) නියෝජිතයින් සමග ද ඔහු හවුලේ කටයුතු කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය නසසප පක්ෂ කාර්යාලයෙන් විමසූ විට ඔවුන් කයිවාරු ගැසුවේ කරුනාරත්න, මාතර, මහනුවර, කුරුනෑගල හා පානදුර ද ඇතුලු සෑම නගරයකම පැවැත්වෙන ප‍්‍රධාන මැතිවරන රැස්වීම්වල කථාකර ඇති බවයි. කාර්යාලයේ සිටි අයෙක් පැවසුවේ, සිරිසේනගේ මැතිවරන ව්‍යාපාරය ශක්තිමත් කිරීම පිනිස තමන් සමහර තැන්වල ස්වාධීන රැස්වීම් ද සංවිධානය කරන බවයි. දෙසැම්බර් 04දා මාතරදී පැවත්වූ රැස්වීමක කථා කරමින් කරුනාරත්න, සිරිසේන බහු ජාතික සමාගම් වලට එරෙහිව සටන් වැදුනු දේශපාලන යෝධයෙකු ලෙස පින්තාරු කලේය. “රටට දෝහිකම් කල නායකයෙකු (රාජපක්ෂ) යටතේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරමින් බහුජාතික සමාගම් සමග සටන් වැදීම මාරක අනතුරු සහිත වැඩක් බව” ඔහු ප‍්‍රකාශ කලේය.

මොන තරම් පචයක් ද! සිරිසේනගේ බහු ජාතික සමාගම් වලට එරෙහි “සටන” යනු අන්කිසිවක් නොව, සිගරට් පැකට්ටුවේ පිලිකා අනතුරු ඇඟවීමක් සහිත පින්තූරයක් පල කිරීමට නියම කෙරෙන නීතියක් පැනවීමය. කෙසේ වෙතත් දුම්කොල සමාගම් ඊට විරුද්ධ විය. ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ලේකම් ලෙසත්, රාජපක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට හා කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ ජීවන් තත්වයන්ට එරෙහිව ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරයන්ට මෙන්ම, එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය කුරිරු යුද්ධයටත් මුලුමනින්ම සහාය දෙමින් සිරිසේන ඉටුකල භූමිකාව ගැන කරුනාරත්න සම්පූර්නයෙන්ම නිහඬය.

රාජපක්ෂ “ද්‍රෝහියෙකු” ලෙස හංවඩු ගැසීමේදී කරුනාරත්න අත්වැල් බැඳගන්නේ, දක්ෂිනාංශික වර්ගවාදී බලවේග සමග ය. මාතර රැස්වීමේදී සිංහල-බෞද්ධ අන්තවාදය පිලිබඳව කුප‍්‍රකට ජාහෙඋ සභාපති අතුරලියේ රතනසාර ද බහුජාතික සමාගම් වලට එරෙහි සිරිසේනගේ සටන ගැන සඳහන් කිරීම වෙනුවෙන් කරුනාරත්න භික්ෂුවට ස්තුති කලේය. තම ප‍්‍රතිගාමී වර්ගවාදී දැක්ම ගෙනහැර පාමින් නසසප නායකයා “මෛතී‍්‍රට ඡන්දය දෙන ලෙස” සියලු දේශපේ‍්‍රමී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සිරිසේනගේ බහුජාතික සමාගම් වලට එරෙහි සටන ගැන කරුනාරත්න කරන කෙලතොලු කථා, විපක්ෂ අපේක්ෂකයාගේ හා ඔහුගේ ආධාරකරුවන්ගේ සැබෑ න්‍යායපත‍්‍රය වසං කිරීමේ නරුම ප‍්‍රයෝගයකි. සිරිසේන බලයට පත්වුවහොත්, එක්සත් ජනපද යුද ධාවනය සමග වඩාත් සමීප ලෙස පැටලීමේ කි‍්‍රයාවලියක් සහිතව ශී‍්‍ර ලංකාව, බීජිනය වෙතින් වොෂින්ටනය දෙසට ගමන් කරවන විදෙස් පිලිවෙතක් කරා මාරු වනු ඇත. එසේම ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර තිබෙන රාජපක්ෂගේ කප්පාදු පිලිවෙත් තවත් තියුනු කරනු ඇති අතර වැඩකරන ජනතාවගේ විරෝධතා මැඬීමේදී ඔහු මෙන්ම නිර්දය ද වනු ඇත.

ඒ අතරම කරුනාරත්න, ශී‍්‍ර ලංකාව ද ඇතුලු ලෝකයේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ ප‍්‍රමුඛයා ලෙස එක්සත් ජනපදය පින්තාරු කිරීම මගින් තමන් වොෂින්ටනයට දෙන සහාය යුක්තිසහගත කරයි. සිලෝන් ටුඩේ පත‍්‍රයේ පලවන සිය තීරුව තුල දෙසැම්බර් 05දා කරුනාරත්න පැවසුවේ, රාජපක්ෂ ජාමූඅ අනුගමනය කරන නමුදු, සිය මානව අයිතීන් පිලිබඳ පොරොන්දු ඉටුකිරීමට අසමත් වීම නිසා “ගෝලීය ධනවාදය” සඳහා ඔහු ගැටලුවක් බවට පත්ව ඇති බවය. “මෑත අතීතයේදී ඔවුන් (අධිරාජ්‍යයවාදීන්) යහ පාලනය සඳහා මෙන්ම ජනතාවගේ ඉල්ලීම් කෙරෙහි ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ ආකාරයට කි‍්‍රයාකොට ඇති බවත් (ඒකාධිපති) පාලකයින්ගේ ලේ පවා සෙලවූ බවත්” ඔහු ලියා ඇත.

මෙය වනාහි, “මානව අයිතීන්ගේ” හා “යහ පාලනයේ” නාමයෙන් එක්සත් ජනපදය හා එහි අනුචරයින් විසින් සිදුකරන ලද සියලු මැදිහත්වීම් හා ප‍්‍රකෝපකරනයන් සඳහා නින්දිත ක්ෂමාලාපයක් මිස අන් කිසිවක් නොවේ. මෙයට ලිබියානු නායක මුවම්ර් ගඩාෆි රුදුරු ලෙස මරා දැමීම හා බලයෙන් පහකිරීම ද සිරියානු ජනාධිපති බෂිර් අල් අසාද්ට එරෙහිව සිදුකරන පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා වූ එක්සත් ජනපද පිටුබලය සහිත මෙහෙයුම ද පෙබරවාරියේදී යුකේ‍්‍රනයේ ජනාධිපතිට එරෙහිව ෆැසිස්ට්වාදීන් මෙහෙයවා සිදුකල මෙහෙයුම ද ඇතුලත්ය. මේ සියල්ල සඳහා නසසප හා ලොව පුරා සිටින එහි ව්‍යාජ වාම සමචින්තකයින් සහයෝගය දී ඇත.

කරුනාරත්න මෙසේ ද පවසයි. “චීනය සමග ඔහුගේ (රාජපක්ෂගේ) මිත‍්‍රත්වය, බටහිර හා ඉන්දියාව සමග (ශී‍්‍ර ලංකාවේ) බැඳීම් ලිහිල් වීමෙන් ඇතිව තිබෙන හානිය ඌනපූරනය නොකරයි.” ඔහු කථාකරන්නේ, වික‍්‍රමසිංහ හා කුමාරතුංග ඇතුලු මෙරට පාලක පන්තියේ කොටස් වෙනුවෙනි. ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ, බීජිනය හා වොෂින්ටනය අතර තුලනය වීමට රාජපක්ෂ දරන උත්සාහය තවදුරටත් ශක්‍ය නොවන බවයි. භූදේශපාලනික ආතතීන් උත්සන්න වෙද්දී, යුද්ධය තුලටම ඇදී යාමේ අර්ථයෙන් වුවත්, කොන්දේසි විරහිතව එක්සත් ජනපද කඳවුරට හේත්තුවීම හැර, මෙරටට වෙනත් විකල්පයක් නොමැති බව ඔවුහු විශ්වාස කරති.

රාජපක්ෂ හා ඔහුගේ කල්ලියේ අත්තනෝමතික පාලනය වෙත ඇඟිල්ල දිගු කරමින් නසසපය උත්සාහ කරන්නේ, සිරිසේනගේ ජනාධිපතිවරන ව්‍යාපාරයේ ප‍්‍රතිගාමී ස්වභාවය වසං කිරීමටය. එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසුව රාජපක්ෂ අනුගමනය කල පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන් තව තවත් පුලුල් කිරීම ද ඇතුලු යුද අපරාධ හා ප‍්‍රජාතන්තී‍්‍රමය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීම පිලිබඳව ඔහු නිසැකවම වගකිව යුතුය. එහෙත් නසසපය විසින් හුවාදක්වන අයට ද ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දිගු වාර්තාවක් ඇත. විශේෂයෙන්ම එජාපය, 1980 ගනන් වලදී, දිවයින පුරා දෙමල විරෝධී ප‍්‍රචන්ඩත්වය සමග එල්ටීටීඊයට විරුද්ධ යුද්ධය ආරම්භ කල අතර මිලිටරියේ පිටුබලය සහිතව කි‍්‍රයාත්මකවූ මිනීමරු කල්ලි විසින් සිදුකල දකුනේ 60,000ක් ගම්බද තරුනයින් ඝාතනය කිරීමට ද වගකිව යුතුය.

කරුනාරත්න කියන්නේ, “ෆැසිස්ට් වර්ගයේ ආඥාදායක නායකයෙක් වන මහින්ද රාජපක්ෂට එරෙහිව, පරිසර හිතකාමී, බහුජාතික සමාගම් වලට එරෙහි, කම්කරුවන්ට, ගොවීන්ට හා ධීවරයින්ට සලකන ව්‍යාපාරයක් ඇතිවිය යුතු” බවය. එහිදී “ආඥාදායකයා ප්‍රජාතන්ත‍්‍රව මැතිවරන කි‍්‍රයාවලිය උල්ලංඝනය කරන්නේ නම්, රට පුරා මහජන අරගලයකට ජනතාව සූදානම් විය යුතු බව පොදු අපේක්ෂක සිරිසේන විසින් කියා සිටීම අවශ්‍ය බව” ද ඔහු පවසයි.

මෙය වනාහි, රාජපක්ෂ කෙරෙහි පැතිර පවතින විරුද්ධත්වය ගසාකෑමේ උත්සාහයක් පමනක් නොව, සිරිසේන මැතිවරනය පරාජය වුවහොත්, පන්තිය නොව, රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාධරයින්, වෘත්තීය සමිති නිලධරයින්, නීතිඥයින්, ශාස්ත‍්‍රාලිකයින් හා වෙනත් ලිබරල්වාදීන් ඇතුලු මධ්‍යම පන්තික ස්ථරයන් විසින් ගසන කැරැල්ලක් පිලිබඳ කරුනාරත්නගේ අනාවැකියක් ද වන්නේය. එය වනාහි, පාලන තන්ත‍්‍රය වෙනස් කිරීම පිනිස පැරනි සෝවියට් සමූහාන්ඩුව තුල විශේෂයෙන්ම, එක්සත් ජනපද පිටුබලය සහිතව, යලි යලිත් කි‍්‍රයාවට නගන ලද “වර්නවත් විප්ලවයන්” වර්ගයේ එකකි.

අධිරාජ්‍යවාදය හා එහි යුද සූදානම පිටුපස පෙලගැසෙමින් සිටින නසසප වැනි සියලු ව්‍යාජ වාම සංවිධාන හා සසප අතර ප‍්‍රගාඪ දේශපාලන වෙනසක් ඇත. නසසප යනු, 1953 දී ට්‍රොට්ස්කිවාදයෙන් බිඳුනු හතරවන ජාත්‍යන්තරයේ කොටස් සමග සන්ධානගතව සිටින පැබ්ලෝවාදී ජාත්‍යන්තරයේ කන්ඬායම්වල නිල ලංකා ශාඛාවය. ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1964 දී සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට ගාල් වීම පෙන්නුම් කලේ පැබ්ලෝවාදයේ ස්වභාවයයි. කරුනාරත්න 1970 ගනන් අවසානය තෙක් ලසසපය තුල ලැග සිටි අතර නසසපය පන්ති සහයෝගිතා දේශපාලනය තුල මුලුමනින්ම ගිලී සිටියි.

සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) 1968දී පිහිටුවන ලද්දේ, 1964 ලසසප පාවාදීමේ හා පැබ්ලෝවාදයට එරෙහි හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ජාක) ගෙන ගිය අරගලයේ පාඩම් උකහාගැනීමේ පදනම මතය. ජනාධිපතිවරනය තුල වැඩකරන ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරන එකම පක්ෂය එයයි. වැඩෙන ලෝක යුද තර්ජනයට එරෙහිව සිය සහෝදර පක්ෂ හා ජාත්‍යන්තර කමිටුව සමග ඒකාබද්ධව සසප, කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ නිරතව සිටියි.

වැඩකරන ජනතාවට තම පන්ති අවශ්‍යතා රැකගත හැක්කේ, මෙම ජනාධිපතිවරනය තුල නම්, රාජපක්ෂගෙන් හා සිරිසේනගෙන් ද ඔවුන්ගේ සියලු හෙංචයියන්ගෙන් මෙන්ම, ධනපති පන්තියේ සියලු කොටස් වලින් සිය දේශපාලන ස්වාධීනත්වය සඳහා කරන අරගලයක් තුලින් පමනක් බව අපි අවධාරනය කරන්නෙමු. සසප සටන්වදින්නේ, කම්කරුවන් හා පීඩිත ජනතාව මුහුනදී සිටින සමාජ අර්බුදයට එකම විසඳුම ලෙස, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා වන සටනේ කොටසක් ලෙස, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ය. කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, සසප මැතිවරන ප‍්‍රකාශනය හදාරන ලෙසත්, එහි මැතිවරන ව්‍යාපාරයට කි‍්‍රයාශීලීව සහාය දෙන ලෙසත් ය.

Share this article: