ඔපෙක් තීරනය තෙල් මිල යුද්ධයේ පලමු වෙඩි මුරයයි

OPEC decision a shot in oil price war

නික් බීම්ස් විසිනි, 2014 නොවැම්බර් 28

සවුදි අරාබියේ මෙහෙයවීම මත ඔපෙක් යන ජාත්‍යන්තර තෙල් කාටලය,පහත වැටෙන තෙල් මිල ගනන් හමුවේ නිෂ්පාදනය කපා නොහැරීමට 27දා ගත් තීරනය, ගෝලීය මූල්‍ය පද්ධතිය කරා ද විහිද යා හැකි සැලකිය යුතු බලපෑමක් මෙන්ම, බලශක්ති කර්මාන්තය සම්බන්ධයෙන් ද ප්‍රමුඛ බලපෑමක් ඇතිකල හැකිය.

දිනකට තෙල් බැරල් මිලියන 30ක් සැපයීමේ නිෂ්පාදන මට්ටම එලෙසම පවත්වාගෙන යන බවට ඔපෙක් සංවිධානය නිවේදනය කල වහාම තෙල් මිල බැරලයකට ඩොලර් 70 මට්ටමට ගෙන එමින් තවත් සියයට 8න් පහත වැටුනි. ජූනි මාසයේ සිට මේ දක්වා තෙල් මිල සියයට 40න් පහත වැටී ඇත.

තෙල් මිලෙහි වැටීමට සාධක දෙකක් බලපායි. ෂෙල් තෙල් සෑරීම මගින් එක්සත් ජනපදයේ නිෂ්පාදනය ඉහල යාම හා ඉල්ලුම පහත වැටීමට තුඩුදී ඇති ලෝක ආර්ථිකයේ වැඩි හරියක වර්ධනය එක තැන පල්වීම හා පහත බැසීම ඒ දෙකය. එක්සත් ජනපදයේ ෂෙල් තෙල් කර්මාන්තයට වල කැපීම වෙත පැහැදිලිවම යොමුවී ඇති සවුදියේ මෙහෙයවීම යටතේ ගත් පියවර මගින්, මිල පහත වැටීම තවත් උග්‍ර වනු ඇත.

2011 සිට පසුගිය ජූනියේ මිල පහත වැටීම පටන්ගැනීම දක්වා බැරලයක් ඩොලර් 100ක මට්ටමේ පැවතීම මත ගනන් බලන ආන්ඩුවේ ආදායම් සහිත වෙනිසියුලාව, ඇල්ජීරියාව හා ඉරානය වැනි ඔපෙක්හි සාමාජික රටවලට මෙම තීරනයේ ක්ෂනික ප්‍රතිවිපාක දැනෙනු ඇත. වෙනිසියුලාව හා ඇල්ජීරියාව ඔපෙක් සංවිධානය දිනකට බැරල් මිලියන දෙකකින් තෙල් නිෂ්පාදනය කපා හැරිය යුතු යයි බල කරති.

සාමාජිකයෙක් නොවුන ද රුසියාව තෙල් මිල වැටීමෙන් දරුනු ලෙස බැට කන රටකි. එරට ආර්ථිකය මත පනවා ඇති බටහිර බලවතුන්ගේ ආර්ථික සම්බාධක හේතුකොටගෙන සැලකිය යුතු පසුබෑමකට මුහුනපා සිටින රුසියාවට, තම අය වැය තුලනය කරගැනීමට නම් තෙල් මිල බැරලයක් ඩොලර් 80-100 අතර පවත්වා ගැනීම අවශ්‍යය.

තෙල් මිල පහත වැටීමේ නැඹුරුවක් ඇති කල 2008 ගෝලීය මූල්‍ය අර්බුදයට සවුදිය දැක්වූ ප්‍රතික්‍රියාව මෙවර දක්වා ඇති ප්‍රතිචාරයට සපුරා වෙනස් විය. එවකදී සවුදිය නිෂ්පාදනය කපා හැරීමට මූලිකත්වය ගත් අතර එහි ප්‍රතිපල වශයෙන් 2011 වන විට තෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහල නැඟුනි.

එවක පටන් බලශක්ති වෙලඳපොලෙහි සැලකිය යුතු වෙනස්කම් සිදුව තිබේ. එජ ෂෙල් තෙල් සෑරීම මඟින් එරට, බලශක්ති ආනයන කරුවෙකුගේ තැනින් බොහෝ දුරට ඉවත්කර ඇත. 2005 වසරේදී සියයට 60ක්ව තිබුනු එජ ද්‍රවීය ඉන්ධන ආනයනය ලබන වසර වන විට පවතින්නේ සියයට 21ක මට්ටමේ බවට ගනන් බලා ඇත.

එහෙත් වියදම් අධික ෂෙල් තෙල් සාරා ගැනීම ප්‍රසාරනය වීම හේතුකොටගෙන තෙල් මිල, බැරලයකට ඩොලර් 80කට ඉහලින් පවත්වාගෙන යාමට සිදුවේයයි හෙලිවී ඇත. මිල එම සීමාවෙන් පහතට යන කල ලාභ සීමාවේ සිටින නිෂ්පාදකයින්ට බරපතල බලපෑමක් සිදුවේ.

බොහෝ වෙලඳපොල නිරීක්ෂකයින්ට අනුව, සවුදිය නිෂ්පාදනය කපා නොහැරීමට තීරනය කලේ, මිල යලිත් ඉහල යාමට පටන්ගැනීමෙන් එක්සත් ජනපදයේ නිෂ්පාදනය තවත් වැඩි කිරීමට පමනක් දායක වනු ඇතැයි යන විශ්වාසයෙනි. එමඟින් ඔපෙක් සංවිධානයට ගෝලීය වෙලඳපොලෙහි දැනට ඇති පංඟුව අහිමි කෙරෙනු ඇත.

සැබවින්ම මෙම තීරනය ගෙන ඇත්තේ එජ තෙල් කර්මාන්තයට පහර වැදෙන පරිදි මිල තවත් පහත හෙලීමේ ප්‍රකාශිත අරමුන සහිතවය. මෙම උපක්‍රමය යපස් වෙලඳපොලෙහි ද අනුගමනය කර තිබුනි. බීඑච්පී-බිලිටන් හා රියෝ ටින්ටෝ වැනි අඩු පිරිවැය නිෂ්පාදකයින්, වැඩි පිරිවැයක් දරන නිෂ්පාදකයින් බිත්තියට හේත්තු කිරීමේ බලාපොරොත්තුව ඇතිව වෙලඳපොල මිල ගනන් පහත වැටෙමින් තිබියදී ද නිෂ්පාදන මට්ටම ඉහල නැංවීය.

සවුදි පියවරයන්හි ආක්‍රමනශීලී අභිලාෂයන් ඒ පිලිබඳව පලවූ තවත් ප්‍රකාශ ගනනාවක ද තේමාව බවට පත් විය. තෙල් මිල බැරලයකට ඩොලර් 60ක තරම් පහත මට්ටමක් වුවත් ඔපෙක් එම වෙලඳපොල මිල පිලිගැනීමට සූදානම් බව කුවේට්හි තෙල් ඇමති අල් ඔමායිර් පැවසීය.

අනෙකුත් අය ඊටත් වඩා කෙලින් කථා කලහ. පෙට්රොමැක්ස් උපදේශක ඔලිවර් ජැකොබ් රොයිටර් වෙත පැවසුවේ මෙසේය. “ඉදිරි වසර වලදී ඩොලර් 80 හා ඊට වැඩි මිල ගනන් සහිත වඩා ස්ථායී තත්වයක් වෙනුවෙන් බැරලයක් ඩොලර් 60ක තරම් පහත මට්ටමකට කෙටි කාලයේදී ගමන් කිරීමේ අවශ්‍යතාවය සවුදි අරාබිය ගත් පියවර තුලින් ගම්‍ය වන්නේය.වෙනත් වචන වලින් කිවහොත්, එක්සත් ජනපදයේ සංවර්ධන ව්‍යාපෘතීන් මන්දගාමී කිරීම වෙනුවෙන් යම් කාලයක් පහත් මිල ගනන් සහිතව ගමන් කිරීම ඔපෙක්හි වාසියට හේතුවේ. ”

ඕඒඕ ලුකොයිල්හි උප සභාපති රුසියානු තෙල් ව්‍යාපාරික ලියොනිඩ් ෆෙඩුන් පැවසුවේ, ඔපෙක් ප්‍රතිපත්තිය එජ ෂෙල් කර්මාන්තයේ බිඳ වැටීම සහතික කරනු ඇති බවය. අද දවසේ තෙල් සෑරීමේ මිල බැරලයකට ඩොලර් 70 පමන වන බොහෝ නිෂ්පාදකයින්ට එය ලාභදායී නොවන අතර ඩොට්කොම් බුබුලට සමාන වන ෂෙල් තෙල් උත්පාතය හමුවේ, “ඇමරිකානු වෙලඳපොල ශුද්ධ කිරීම” ඔපෙක්හි අරමුන වන බව ඔහු පැවසීය.

ජේපී මෝගන් වත්කම් කලමනාකරන අංශයේ පර්යේෂනයකට අනුව, එජ විශාලතම ෂෙල් තෙල් ද්‍රෝනිවලින් සියයට 80ක්, තෙල් බැරලයක් ඩොලර් 80ට වඩා අඩු වුවහොත් ලාභ නොලබන තත්වයකට මුහුන දෙයි.

කෙසේ වෙතත්ඉහල පිරිවැයක් සහිත එජ ෂෙල් තෙල් නිෂ්පාදකයින් අතුගා දැමීම ගෝලීය මූල්‍ය වෙලඳපොලවලට දුරදිග යන ප්‍රතිවිපාක ගෙන එනු ඇත. එජ බලශක්ති ව්‍යාපෘතීන්ට අරමුදල් සම්පාදනය බෙහෙවින් සිදුවන්නේ අති අවදානමක් සහිත හෝ කසල බැඳුම්කරයන් නිකුතුව මඟිනි. 2010 වසරේදී එජ, ඊනියා දෙවැනි ගනයේ නයකරුවන් පිලිබඳ දර්ශකයක් වන, අධි දර්ශක ප්‍රතිලාභ වලින් සියයට 18ක් හිමිකර ගත්තේ බලශක්ති හා අමු ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් විසිනි. කැනීම් කටයුතු වලට සම්බන්ධ සමාගම්වල දැවැන්ත නය ගැනීම්වල ප්‍රතිපල වශයෙන් අද එම ප්‍රතිශතය සියයට 29ක් බවට පත්ව තිබේ. ඩොයිෂ බැංකුව සිදුකල පරියේෂනයකට අනුව, බොහෝසෙයින්ම සිදුවිය හැකි දෙයක් බව පෙනීයන, තෙල් මිල බැරලයකට ඩොලර් 60 දක්වා පහත වැටුනහොත්, සමහර එජ නයකරුවන් අතර නය පැහැර හැරීමේ අනුපාතය සියයට 30 තරම් ඉහල යා හැකි ය.

බ්‍රිතන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පතෙහි මේ මාසයේ මුල පල කෙරුනු වාර්තාවකින් අනතුරු ඇඟවූ පරිදි, “එජ තුල වඩ වඩාත් තෙල් පොම්ප කිරීමට ඇති කුලප්පුව, ලෝකයේ විශාලතම ආර්ථිකයේ පුලුල් පද්ධතිමය අවදානමක් මතු කරමින් ව්‍යාපාරික නය වෙලඳපොලෙහි කුප්‍රකට ලෙස අස්ථාවර අංශය තුල අන්තරායකාරී නය බුබුලක් නිර්මානය කර තිබේ.”

ඊයේ ෆිනෑන්ෂල් ටයිම්ස්හි පලවූ ලිපියකින් ප්‍රධාන බැංකු කෙරෙහි තෙල් මිල පහත වැටීම මඟින් ඇතිකර තිබෙන බලපෑම ගැන කරුනු එලිමහනට පැමිනියේය. තෙල් හා ගෑස් සමාගම් දෙකකට ඩොලර් මිලියන 850ක නයක් ලබාදී ඇති බාක්ලේස් හා වෙල්ස් ෆාගෝ යන ප්‍රමුඛ බැංකු දෙක “මුහුනපා ඇති විශාල අලාභ, නාටකාකාර ලෙස තෙල් මිල පහත වැටීම පුලුල් ආර්ථිකය හරහා දෝංකාර නැංවීමට පටන්ගෙන තිබෙන ආකාරය පෙන්නුම් කරයි.” යනුවෙන් වාර්තා කර තිබුනි.

බෑන්ක් ඔෆ් ඇමරිකා හා මෙරිල් ලින්ච් බැංකු සතුව ඇති ආතති සහගත බැඳුම්කර 180න් 52ක් නැත්නම් සියයට 29ක් නිකුත්කර ඇත්තේ බලශක්ති සමාගම් විසින් බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

එජ ෂෙල් තෙල් උත්පාතය හුවාදක්වනු ලැබුවේ, අවශේෂ ලෝකය පල්වීමේ හෝ පසුබැසීමේ තත්වයන් අත්විඳිද්දී පවා, නව්‍යකරනය හා හුරුබුහුටිකම තුලින් ඇමරිකානු ආර්ථිකය පෙරට ගමන් කරන්නේ කෙසේ ද යන්න පිලිබඳ නිදසුනක් ලෙසය. එහෙත් එම තත්වය, එජ මෙන්ම ගෝලීය වශයෙන් ද තවත් ප්‍රධාන මූල්‍ය අර්බුදයක මූලාශ්‍රය බවට පත්විය හැකිය.

Share this article: