යුක්‍රේන අර්බුදය ආරම්භයේ සිට වසරක්

One year since the beginning of the crisis in Ukraine

2014 නොවැම්බර් 28

යුක්‍රේනියානු ජනාධිපති වික්ටර් යනුකොවිච් යුරෝපා සංගමය සමග සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කල ලිතුවේනියාවේ විල්නියස්හි පැවති නැගෙනහිර හවුල්කාරිත්ව සමුළුවේ පලමු සංවත්සරය 29දාට යෙදී ඇත. වසරකට පසු යුක්‍රේනය, ජීවිත 4000කට වඩා බිලිගෙන ඇති සිවිල් යුද්ධයක පැටලී ඇත. නේටෝව රුසියාව සමග සන්නද්ධ ගැටුමක අද්දර සිටින අතර එය න්‍යෂ්ටික සමූලඝාතනයක් සමග මානව වර්ගයාට තර්ජනය කර යි.

මෙය සිදුවූයේ කෙසේ ද? බටහිර ප්‍රචාරය මෙම ප්‍රශ්නයට පිලිතුරු සපයන්නේ ඉංග්‍රීසි අකුරු පහකින් එනම්, PUTIN (පුටින්) ලෙසය.

ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් නඟන චෝදනාවලට අනුව, රුසියානු ජනාධිපති “අනුහස පැතිරවීමේ වැයික්කි” ගැන සිතමින්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර යි, “යුරෝපයේ සාම ආකෘතිය” අනතුරේ හෙලන අතර යුක්‍රේනය පමනක් නො ව ජෝර්ජියාව, මොල්ඩෝවා හා බෝල්ටික් රාජ්‍යයන් ද ඈඳා ගැනීමට උත්සාහ කර යි.

දවසේ පැය විසිහතර පුරා මාධ්‍යය මගින් විසුරුවන ප්‍රචාරක මහෝඝය, යුක්‍රේන‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ සෞභාග්‍යමත් ක්ෂේමභූමිය බවට හා යුරෝපීය සාමයේ පාරාදීසය බවට පත්වීම වලක්වන්නේ ක්‍රෙම්ලිනයේ දුෂ්ටයා විසින් බව මහජනයාට ගිල්ලවීමේ උත්සාහයක නිරතව සිටියි.

ලෝසවෙඅ කිසිසේත් ම රුසියානු ජනාධිපතිට පක්ෂපාතිත්වයක් දක්වන්නේ නැත. ඔහු දක්ෂිනාංශික ජාතිකවාදයෙකි, ඔහු රුසියානු කතිපයාධිකාරය නියෝජනය කරන අතර, අප පෙනී සිටින සමාජවාදී හා ජාත්‍යන්තරවාදී අරමුනුවලට ඔහු මුළුමනින් ම විරුද්ධ ය. එහෙත් පසු ගිය මාස දොලහේ දී අර්බුදය උත්සන්න කිරීම සඳහා රුසියාව වග කිව යුතු යැයි පැවසීම යතාර්ථය ඔළුවෙන් සිටවීමකි.

නිල ප්‍රචාරයට විරුද්ධ වන බටහිර හඬවල් කීපය අතර චිකාගෝ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිලබඳ මහාචාර්ය ජෝන් ජේ.මීයර්ෂීමර්ගේ හඬ ද වේ. ෆොරීන් අ‍ෆෙයාර්ස් වාර සඟරාවේ සැප්තැම්බර්/ ඔක්තෝබර් කලාපය තුල ඔහු ප්‍රකාශ කරන්නේ පුටින් ආක්‍රමනිකයෙකු නො වන බව යි. “එජ හා එහි යුරෝපීය මිතුරෝ බොහෝ දුරට අර්බුදයේ හවුල් කරුවෝ වෙති. ආරවුලේ මුදුන් මුල නේටෝව ව්‍යාප්ත කිරීම යි, එය යුක්‍රේනය රුසියානු කක්ෂයෙන් ඉවත් කර, බටහිරට ඒකාබද්ධ කිරීමේ වඩා විශාල මූලෝපායක කේන්ද්‍රීය අංගය යි. ”

මීයර්ෂීමර් තවදුරටත් මෙසේ පවස යි: “පුටින්ගේ පසුබැසීම පුදුමයක් නො වන්නට ඉඩ ඇත... (යුක්‍රේනයේ) සිදුවීම්වලට ඔහුගේ ප්‍රතිචාරය ආරක්ෂාකාරී මිස ප්‍රහාරක නො වේ.” ඔහු පෙන්වා දෙන්නේ “දුර බැහැර සිටින මහබලවතුන් බටහිර අර්ධගෝලයේ මොනම තැනක හෝ මිලිටරි බලමුලු ගැන්වීම එක්සත් ජනපදය විසින් නො ඉවසනු ඇත, එහි දේශසීමාවේ නම් කෙසේ වත් ඉවසනු නැත. චීනය බරපතල මිලිටරි සබඳතාවක් ගොඩනගාගෙන මැක්සිකෝව හා කැනඩාව තමන්ට නතුකර ගැනීමට උත්සාහ කල හොත් වොෂින්ටනය කෙතරම් නම් කෝපයට පත්වනු ඇත් දැයි සිතා බලන්න.”

නවයතාර්ථය ලෙස ප්‍රසිද්ධ ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ න්‍යායික ගුරුකුලයේ හවුල් කරුවෙකු වන මීයර්ෂීමර්, රාජ්‍යයන් අතර ගැටුම් විභාග කල ද යුක්‍රේන අර්බුදය තුල ප්‍රමුඛ සාධකයක් වන ආර්ථික හා සමාජ ප්‍රශ්න සාකච්ඡා නො කර යි. කෙසේ නමුත්, ලෝක බලවතෙකු ලෙස සිය තැන රැක ගැනීම පිනිස එක්සත් ජනපදය රුසියාව වට කර ඇති අතර ජර්මනිය බලවතෙකු වීමට වෑයම් කරමින් සිටිති යි යන ඔහුගේ තක්සේරුව නිවරදි ය.

නේටෝව හා යූරෝපීය සංඟමය නැගෙනහිර යුරෝපය පුරා අඬු විහිදුවා ගැනීමේ තවත් පැත්තක් ඇත. එය යුක්‍රේනය හා අවසානයේ දී රුසියාව ම ද එක්තරා ආකාරයක අර්ධ යටත් විජිත තත්වයකට ඇද දැමීමට ඉලක්ක කර යි - බටහිර සමාගම් සඳහා ලාභ ශ්‍රමය හා අමුද්‍රව්‍ය මූලාශ්‍රයක්, සිය නිෂ්පාදනවලට වෙලඳපොලක් සහ ආරක්ෂක අරමුදල් (මූල්‍ය ආයතනවලට) හා බටහිර බැංකුවලට ලාභ උල්පතක් ඔවුන්ට අවශ්‍ය ය. මෙම අරමුන සඳහා නේටෝවට දන නමන හා කම්කරු පන්තිය ම්ලේච්ඡ ලෙස මර්දනය කරන තන්ත්‍රයක් ඔවුන්ට අවශ්‍ය ය.

වසරකට ඉහත දී යනුකොවිච් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කලා වූ ද ඔහු පෙරලා දැමීමෙන් පසු නව තන්ත්‍රය විසින් පිලිගත්තා වූ ද සහයෝගිතා ගිවිසුමේ අරමුන වූයේ මෙය යි.

ගිවිසුම මඟින් යුක්‍රේන කතිපයාධිකාරයේ වත්කම් ආරක්ෂා කරන අතර යුරෝපීය සංඟමය විසින් අල්ලස් දීම හා වරප්‍රසාද පිරිනැමීම මඟින් දේශපාලන ප්‍රභූව හා මධ්‍යම පන්තියේ තුනී ස්ථරයක් පොලඹවා ගනිමින් බටහිර සංගත හා බැංකුවලට යුක්‍රේනය විවෘත කිරීමට ඉඩ සලස යි. “ග්‍රීක ප්‍රතිකර්මය”, එනම් ජාමූඅ හා යුරෝපා සංගමය විසින් නියම කරන ලද සමාජ ශුභසාධන, අධ්‍යාපන, සෞඛ්‍ය හා පරිපාලනයේ දැවන්ත වියදම් කප්පාදු සහ කර්මාන්ත ශාලා වැසීම හා පුද්ගලීකරනය යන කප්පාදු වැඩසටහන් හැරුනු විට පුළුල් මහජනතාවට දීමට දෙයක් එයට නැත.

ආරම්භයේ දී යනුකොවිච් සහයෝගිතා ගිවිසුමට එකඟ වූ නමුත් අවසානයේ දී එයට විරුද්ධ වූයේ ඔහුගේ දේශපාලන අනාගතය පිලිබඳ ව බිය වූ නිසා ය. ඒ වන විටත් දුප්පත් රටක්ව පැවති යුක්‍රේනය තුල යුරෝපා සංගමය යෝජනා කල කප්පාදු ක්‍රියාත්මක කල හොත් සමාජ පිපිරීමක් ඇති වෙතැ යි ඔහු බිය විය. රුසියාව පැත්තෙන් ගත් කල එරට යුක්‍රේනයට ලාභ නය ප්‍රදානය කල අතර යුරෝපා සංගමය ක්ෂනික හා දරුනු කප්පාදු වැඩසටහන් ගැන දැඩිව අවධාරනය කලේය.

මෙයට අමතරව යුරෝපා සංගමය හා නේටෝවට යුක්‍රේනය ගැට ගැසීම සඳහා කුමන්ත්‍රනයක් සංවිධානය කිරීම හා ෆැසිස්ට් හමුදා බලමුළු ගැන්වීම අවශ්‍ය විය. ආරම්භයේ සිට ම, මයිදාන් හි (නිදහස් චතුරශ්‍රය) විරෝධතා බටහිර අනුග්‍රහය ලැබූ බලවේග යටතේ පැවතුනි. 1991 වසරේ පටන් එක්සත් ජනපදය, එවැනි හමුදා සඳහා ඩොලර් බිලියන 5ක් ආයෝජනය කර තිබූ බව එජ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් වික්ටොරියා නූලන්ඩ් පසුව පිලිගත්තා ය.

පලමුවෙන් ම වීදි බැස්සේ කීප දහසක් පමනි. යුරෝපා සංගමයට පක්ෂපාතව පුළුල්ව පැතිරුනු මනෝභාවයක් පිලිබඳව සාක්ෂි නො වී ය. පසු ගිය වසර 10තුල යුක්‍රේන ජනගහනයෙන් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් යුරෝපා සංගමයට පක්ෂ වූ අතර ඒ සමාන ම සංඛ්‍යාවක් රුසියාව සමග ඒකාබද්ධවීමට කැමත්තෙන් සිටි බව මහජන මත විමසුම් පෙන්වී ය.

විරෝධතාවන්හි කතිකයින් බවට පත්වූයේ හුරුපුරුදු පුද්ගලයන්ය. එනම්, 2004 එක්සත් ජනපදය අනුග්‍රහය ලැබූ තැඹිලි පැහැ විප්ලවයේ නියෝජිතයෙක් වූ ආර්සෙනයි යට්සෙන්යුක්; ජර්මනියේ ජීවත් වූ වෘත්තීය බොක්සින් ක්‍රීඩකයෙකු හා ක්‍රිස්තියානු ප්‍රජාතන්ත්‍රවාදී සංගමයට අනුබද්ධ කොන්රඩ් ඇඩිනෝර් පදනම සමග කිට්ටු සම්බන්ධකම් තිබු විටාලි ක්ලිට්ස්කෝ; ෆැසිස්ට් ස්වබෝදා පක්ෂයේ නායකයා වූ ඔලේ ට්යානිබොක්. රාජ්‍යතාන්ත්‍රික සම්මතයන් මුළුමනින් ම පසෙකට ලමින් නේටෝ රටවල ආන්ඩු සාමාජිකයින් හා පාර්ලිමේන්තු නියෝජිතයින් රජයේ ගොඩනැගිලි අවහිර කරමින්, ඡන්දයෙන් පත් වූනු අගමැති පහ කරන ලෙස ඉල්ලා කෑගැසූ පෙලපාලිකරුවන් සමග එක්විය.

යනුකොවිච් පෙලපාලිකරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කලේ ය, සන්නද්ධ දක්ෂිනාංශික කන්ඩායම් මයිදාන් හි සිදුවීම්වල ප්‍රමුඛත්වය ගැනීමට පටන් ගත්හ. ස්වබෝදා සංවිධානය රටේ බටහිර සිය බලකඳවුරේ සිට තම අනුගාමිකයන් කියෙව් නඟරයට ප්‍රවාහනය කලේ ය. නව නාසීන්ගේ හවුලක් හා පැරා මිලිටරි මිලීෂියා හමුදා කොහේ දෝ සිට, මතුව ආවේය. ගැටුම වඩා ම්ලේච්ඡ විය, ස්නයිපර් තුවක්කු කරුවෝ මිනිසුන් දුසිම් ගනනක් මරා දැමූහ. ඔවුන් පාලන තන්ත්‍රයේ ආරක්ෂක හමුදාවන්ගේ හෝ විරුද්ධ පාර්ශ්ව දේශපාලන ප්‍රකෝපකාරීන්ගේ කොටසක් වේවා මේ දක්වා එය සමතයකට පත්වී නොමැත.

පෙබරවාරි 21දා යනුකොවිච් අන්තර්වාර ආන්ඩුවකට හා වේලාසන මැතිවරනයකට එකඟ විය. දක්ෂිනාංශික මිලීෂියා කන්ඩායම් විසින් තර්ජනය කරන ලදුව, එදින ම රාත්‍රියේ ඔහු ගුවන් මඟින් පලා ගියේ ය. පෙබරවාරි 22දා ඔහුගේ ප්‍රතිවාදීහු කියෙව් හි බලය ගත්හ. බටහිර බලයන් විසින් සංවිධානය කරන ලද හා ෆැසිස්ට් කල්ලි විසින් සහාය දෙන ලද මෙම කුමන්ත්‍රනය “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ලෙස පින්තාරු කිරීමේ කාර්ය බටහිර මාධ්‍යයට හා ව්‍යාජ වාම සංවිධාන රොත්තකට පැවරුනි.

අන්ත දක්ෂිනාංශිකයින් විසින් කියෙව් හි බලය අල්ලා ගැනීම රුසියානු බස කතා කරන විශාල ජනසංඛ්‍යාවක් සහිත විශේෂයෙන්ම රටේ නැගෙනහිර කොටසේ භීතිය හා ව්‍යාකූලත්වයකට තුඩු දුන්නේය. ක්‍රෙම්ලිනයේ සහාය ඇතිව ක්‍රිමියාව ස්වාධීනත්වය ප්‍රකාශ කල අතර රුසියානු සමූහාන්ඩුවට ඒකාබද්ධ කරන ලදී‍. රුසියාවට පක්ෂ බෙදුම්වාදීන් ඩොනෙට්ස් හා ලුහාන්ස් හි බලය ගත් අතර එතැන් සිට යුක්‍රේන මධ්‍යම ආන්ඩුව සමග යුද්ධයක පැටලී සිටියි.

ඒ අතර එක්සත් ජනපදය හා ජර්මනිය ඔවුන් නිර්මානය කල අර්බුදය, රුසියාව මත මිලිටරි හා ආර්ථික පීඩනය යෙදීමට ක්‍රමානකූලව යොදා ගෙන සිටියි. නේටෝව නැගෙනහිර යුරෝපයට හමුදා යොදවා ඇත, රුසියානු දේශසීමාව ඔස්සේ ඔත්තු බැලීමේ යානා යෙදවීම වැඩි කලේ ය, රුසියාව පෙනෙන තෙක් මානයේ ගොඩබිම් හා මුහුදු උපායමාර්ග සංවිධානය කල අතර ක්‍රමානුකූලව යලි සන්නද්ධ වෙමින් සිටී. එක්සත් ජනපදය හා යුරෝපා සංගමය රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවා ඇති අතර රටේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රවේශය කපා දැමී ය.

යමෙකු මෙම භයානක උත්සන්නියේ හා ඊට සම්බන්ධ යුද තර්ජනයේ හේතු සොයන විට ක්‍රෙම්ලිනයට වඩා ධවල මන්දිරය හා බර්ලිනයේ චාන්සලර් කාර්යාලය තුල එය සෙවිය යුතු ය. පසු ගිය සියවසේ පලමු භාගයේ දී මෙන් අධිරාජ්‍යවාදී බලවතුන් ලෝක ධනවාදයේ අර්බුදයට හා වැඩෙන සමාජ ආතතියට ප්‍රතිචාර දක්වන්නේ යුද්ධ හා ඒකාධිපතිත්වය සමගිනි.

ෆර්ගියුසන් හි සිදුවීම් පෙන්වන්නේ ඇමරිකානු සමාජය පිපිරීමක් අද්දර සිටින බව ය. අතොරක් නැති කප්පාදු වටයන්, පුළුල් ජනතාව දරිද්‍රතාවට හා විරැකියාවට ඇද දමන යුරෝපය සම්බන්ධයෙන් ද එය සත්‍ය ය. පාලක ප්‍රභූව ප්‍රතිචාර දක්වන්නේ රට තුල හා විදේශයන් හි යුද්ධ, නව බලපෑම් වැයික්කි, වෙලඳපොල හා අමුද්‍රව්‍ය මූලාශ්‍ර අත්කර ගැනීම හා සමඟ අත්වැල් බැඳගත් රාජ්‍ය ඔත්තු සේවා හා රාජ්‍ය මර්දනයේ සංවිධාන වර්ධනය කිරීම සමගිනි.

මෙම තත්වයට එරෙහිව සටන් කිරීමට ඇත්තේ එක ම එක මාවතක් පමනි: යුද්ධයට එරෙහි අරගලය එහි මූල හේතුවට විරුද්ධව, එනම් ධනවාදී පද්ධතියට එරෙහි අරගලය සමග ඒකාබද්ධ කරන කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම ඒ මාවතයි.

පීටර් ස්වාස්

Share this article: