එක්සත් ජනපදය හා කියුබාව අතර සබඳතා ප්‍රතිස්ථාපනය: ඉතිහාසයේ පාඩම්

US-Cuban rapprochement: The lessons of history

2014 දෙසැම්බර් 19

එක්සත් ජනපද-කියුබානු සබඳතා “සාමාන්‍ය තත්වයට” ගෙන ඒමට ගන්නා පියවරයන් පිලිබඳ ව බැරැක් ඔබාමා හා රාවුල් කස්ත්‍රෝ විසින් බදාදා එකවර නිකුත් කරන ලද නිවේදන, ලතින් ඇමරිකානු ආන්ඩු හා ප්‍රධාන ඇමරිකානු සංගත විසින් සන්ධිස්ථානයක් ලෙස උත්කර්ෂයට නංවා තිබේ.

බ්‍රසීල ජනාධිපතිනි දිල්මා රවුසෙෆ් ප්‍රකාශ කලේ, එක්සත් ජනපද-කියුබානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යලි ඇරඹීමට හා වඩ වඩාත් එක්සත් ජනපද ප්‍රාග්ධනය කියුබානු දිවයින තුලට ගලා ඒමට පහසුකම් සැලසීම සඳහා ගනු ලබන පියවර, “ශිෂ්ඨාචාරයේ වෙනසක්” ලෙසය. එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක මඟින් නව වටයක ප්‍රහාරයකට ලක්ව සිටින වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ, “ජනාධිපති බැරැක් ඔබාමාගේ ඇඟවීම නිර්භීත, ඓතිහාසික ව අවශ්‍යවන ඇඟවීමමක් ලෙස අප හඳුනාගත යුතු ය” යයි සඳහන් කලේ ය.

“ජෙනරල් මෝටර්ස් සමාගමේ පටන් දැවැන්ත කෘෂි ව්‍යාපාරික සංගතයක් වන කාර්ගිල් හා ගෘහ භාන්ඩ වෙලඳාමේ යෙදෙන එතන් ඇලන් සමාගම දක්වා වන එක්සත් ජනපද සමාගම්, කියුබාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුනස්ථාපනය කොට, 54 වසරක් තිස්සේ පවතින සම්බාධක අහෝසි කිරීම දෙසට පියවර ගැනීමට පටන් ගැනීම පිලිබඳව බදාදා ධවල මන්දිරය කල නිවේදනයට අත්පොලසන් දුන්” බව ඒ අතරවාරයේ වෝල් ස්ට්‍රීට් ජර්නලය බ්‍රහස්පතින්දා වාර්තා කලේ ය.

හවානා ආන්ඩුව විසින් පොලිස්කාරකමේ යෙදෙමින් හසුරුවා සම්පාදනය කරනු ලබන පහල වැටුප් මට්ටම් සහිත කියුබානු ශ්‍රමයෙන් සුපිරි වාසි උකහා ගැනීමේ හැකියාව ගැන එක්සත් ජනපදයේ අන්තර්-ජාතික සංගත කෙල හලද්දී, ලතින් ඇමරිකානු ධනේශ්වර නායකයෝ, හවානා හා වොෂින්ටනය විසින් ගැනීමට එකඟ වී ඇති පියවර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ සුහදත්වයේ නව කාලපරිච්ඡේදයක් විවර කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් පසුවෙති.

වානිජ මන්ඩලය හා ඇමරිකානු නිෂ්පාදකයන්ගේ සංගමය කියුබානු වෙලඳපොලට ප්‍රවේශ වීම කෙරෙහි දක්වන උනන්දුව, ඔබාමාගේ තීරනය මත බලපෑ බවට සැකයක් නැත. 1959ට පෙර සමයේ පැවති වර්ගයේ නව-විජිතවාදී සබඳතා යලි පිහිටුවමින් ද හවානාවේ වඩාත් නම්‍ය පාලන තන්ත්‍රයක් බලයට ගෙන ඒමට උපකාරී වෙමින් ද කියුබානු විප්ලවයෙන් ස්ථාපනය කරන ලද රැඩිකල් ප්‍රතිසංස්කරනවල ඉතුරුවී ඇති ඇති සියල්ල ආපසු හැරවීම සඳහා, ආර්ථික සම්බාධකවලින් කරන දේට වඩා, මහා පරිමානයෙන් එක්සත් ජනපද ඩොලර් එරටට ගලා යාම මගින් අවකාශ සලසනු ඇතැයි යන අපේක්ෂාව ගැන කිව යුත්තේ ද එය ම ය.

තමන්ගේ පැත්තෙන් කස්ත්‍රෝ තන්ත්‍රය ගනන් බලන්නේ, සිය දීර්ඝ කාලීන අධිරාජ්‍යවාදී පීඩකයා දෙසට හැරීම, තම පාලනය ගලවාගැනීමට හා චීනයට සමාන මාවතක් අනුගමනය කරමින්, කියුබානු කම්කරු පන්තියේ වියදමින් ඇති කරන ධනවාදයේ වර්ධනය තුලින්, පාලක ස්ථරයේ වරප්‍රසාද සුරක්ෂිත කර ගැනීමට අවකාශ සලසා දෙනු ඇතැයි කියා ය.

එක්සත් ජනපද-කියුබානු සබඳතා ප්‍රතිස්ථාපනය පිලිබඳව සමස්ත මාධ්‍ය ව්‍යාපාරය තුලම පලවන ප්‍රමෝදය තුල අවධානයට ලක් නොවී ඇත්තේ, කියුබානු පාලන තන්ත්‍රය හා එම තන්ත්‍රය බලයට පත්කල විප්ලවයේ ස්වභාවය යි. මහත් ප්‍රමෝදයෙන් යුතුව බ්‍රහස්පතින්දා පලකල කතුවැකිය තුල නිව් යෝක් ටයිම්ස් පුවත් පත සඳහන් කල ආකාරයට, පැහැදිලිවම කියුබාවට නව “පරිවර්තනීය යුගයක්” සඳහා මඟ පෙන්වන ශේෂ පත්‍රයක් සැකසී තිබේ.

ලෝක කම්කරු පන්තියට හා එහි විප්ලවවාදී නායකත්වයට වඩාත් තීරනාත්මක ප්‍රශ්නය වන්නේ මෙය යි. හතරවන ජාත්‍යන්තරය තුල ඉස්මතු වූ සංශෝධනවාදී ප්‍රවනතාවක් වන පැබ්ලෝවාදය විසින් බොහෝකොටම වපුරවන ලද කස්ත්‍රෝවාදයේ ස්වභාවය පිලිබඳ ව්‍යාකූලත්වය හේතුවෙන් විශේෂයෙන් ම ලතින් ඇමරිකාවේ කම්කරු පන්තිය දැවැන්ත වන්දියක් ගෙවා ඇත.

ජාතිකවාදී ගරිල්ලා ව්‍යාපාරයක මුදුනේ පිහිටා ෆිදෙල් කස්ත්‍රෝ බලයට පැමිනීම මඟින්, කම්කරු පන්තියේ සවිඥානික හා ස්වාධීන මැදිහත් වීම කෙසේ වෙතත්, විප්ලවීය මාක්ස්වාදී පක්ෂ ගොඩ නැගීම පවා අවශ්‍ය නො වන, සමාජවාදය සඳහා නව මාවතක් විවෘත කිරීමට සමත් ව ඇතැයි ප්‍රකාශ කිරීමේ දී මෙම පැබ්ලෝවාදී ප්‍රවනතාව, ලතින් ඇමරිකාවේ වාම ජාතිකවාදීන් ද යුරෝපයේ හා තවත් තැන්වල සුලුධනේශ්වර රැඩිකලුන් ද සමඟ අත්වැල් බැඳ ගත්තේ ය.

යුරෝපයේ අර්නස්ට් මැන්ඩල් හා එක්සත් ජනපදය තුල සමාජවාදී කම්කරු පක්ෂ නායක ජෝසෆ් හැන්සන් මූලික න්‍යායාචාර්යවරුන් වූ පැබ්ලෝවාදී සංවිධානවලට අනුව, කියුබාව තුල දේපොල ජනසතු කිරීම, කස්ත්‍රෝගේ නායකත්වය යටතේ “කම්කරු රාජ්‍යයක්” ස්ථාපනය කර ඇතැයි ප්‍රකාශයට පත් කිරීමට සෑම අතින්ම ප්‍රමානවත් විය. හවානා තන්ත්‍රය පිලිබඳ මෙම ආන්තික වසයෙන් සරල හා අත්‍යන්තයෙන් නිර්-මාක්ස්වාදී තක්සේරුව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ විවේචනයට ලක්වූ කල, නරුම හා දෙපිටකාට්ටු ලෙස එය කියුබානු විප්ලවයේ හතුරෙක් ‍ලෙස හෙලා දකින ලදී.

පැබ්ලෝවාදය මෙසේ කස්ත්‍රෝවාදය උත්කර්ෂනයට නැඟීමෙහි දේශපාලන ඇඟවුම් කියුබාවෙන් බොහෝ ඈතට විහිදෙන බවට ජාත්‍යන්තර කමිටුව අනතුරු ඇඟවීය. එය නියෝජනය කලේ සමාජවාදී විප්ලවය පිලිබඳ ව කාල් මාක්ස් දක්වා ආපස්සට දිවෙන සමස්ත ඓතිහාසික හා න්‍යායික සංකල්පනයෙන් බරපතල ලෙස කැඩී වෙන්වීමකි.

මාක්ස් යටතේ පලමුවන ජාත්‍යන්තරය විසින් සම්මත කරන ලද “කම්කරුවන්ගේ විමුක්තිය කම්කරුවන්ගේ ම කර්තව්‍යය යි” යන මූලික ප්‍රවාදය මෙසේ පෙරලා දමන ලදී. මෙයට විපරීත ව සංශෝධනවාදීන් කියා සිටියේ, කස්ත්‍රෝ බලයට පත්වීම සමාජවාදී විප්ලවය “මොට්ට වූ ආයුධවලින්” එනම්, මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂයකින් හා කම්කරු පන්තියේ ක්‍රියාකාරී සවිඥානික සහභාගිත්වයෙන් පවා තොරවම, ලඟාකරගත හැකි බව යි. ගොවීන් මත පදනම් වන ජාතිකවාදී ගරිල්ලන්ගේ සන්නද්ධ බලකායන් ප්‍රමානවත් වූ අතර ඒවායේ නායකයන් “ස්වාභාවික මාක්ස්වාදීන්” ලෙස ඉස්මතු වනු ඇත. කම්කරුවන් හා පීඩිත ජනතාවන් නිෂ්ක්‍රීය ප්‍රේක්ෂකයන්ගේ තත්ත්වයට බාල්දු කරන ලදී.

සුලුධනේශ්වර බලවේගයන් විසින් ක්‍රියාත්මක කරන ලද ජනසතු කිරීම් කෙලතොලු ආකාරයකට සමාජවාදී විප්ලවය සමඟ අනන්‍ය කිරීම ට්‍රොට්ස්කි විසින් එකහෙලා ප්‍රතික්ෂේප කරන ලද්දේ කියුබානු විප්ලවයට බොහෝ කලකට පෙරය. “ඒ හැටියට ම ගත් කල කොතරම් වැදගත් වුවත් අපට නම් ප්‍රමුඛ දේශපාලනික නිර්නායකය වන්නේ ඒ හෝ මේ ප්‍රදේශයේ දේපොල ආකෘතිය වෙනස් කිරීම නොව, ලෝක කම්කරු පන්ති විඥානයේ හා සංවිධානයේ වෙනසක්, එනම් පැරනි ජයග්‍රහන ආරක්ෂා කර ගනිමින් නව ජයග්‍රහන අත්කර ගැනීමේ මට්ටමට ඔවුන්ගේ ධාරිතාව ඉහල නැංවීම ය” යයි 1939 දී ට්‍රොට්ස්කි ලියා පල කලේ, හිට්ලර් සමඟ සන්ධාන ගතව ක්‍රෙම්ලින් තන්ත්‍රය, පෝලන්තය ආක්‍රමනය කරමින් සිදුකල දේපොල අස්වාමික කිරීම්වලට ප්‍රතිචාර දක්වමිනි.

ජාත්‍යන්තර කමිටුව අනතුරු ඇඟවූ පරිදි පැබ්ලෝවාදී ආස්ථානයෙහි සාරය වූයේ, 1) සමාජවාදී විප්ලවය තුල කම්කරු පන්තියේ කේන්ද්‍රීය හා නායක භූමිකාව ප්‍රතික්ෂේප කිරීම හා 2) දේශපාලන බලය අල්ලා ගැනීමේ මට්ටමට කම්කරු පන්තියේ විඥානය වර්ධනය කිරීමට ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ප්‍රතික්ෂේප කිරීම යි. තව ද පැබ්ලෝවාදීන් කියා සිටි පරිදි, කියුබාව තුල එවැනි පක්ෂයක් අවශ්‍ය නොවී නම්, ලෝකයේ අනෙක් තැන්වල එවැන්නක අවශ්‍යතාව කිම?

ජාත්‍යන්තර කමිටුවේ අනතුරු ඇඟවීම් මුලුමනින් ම සනාථ විය. කස්ත්‍රෝවාදය සමාජවාදී විප්ලවයේ නව මොඩලය යයි ප්‍රකාශයට පත් කරන ලදී. පැබ්ලෝවාදීන් විසින් ගරිල්ලන් උත්කර්ෂනය කල ලතින් ඇමරිකාව තුල මෙම ඉදිරිදර්ශනය ඛේදජනක විපාක අත්කර දීමට නියමිත විය. එම කලාපය තුල තමන්ගේ අනුගාමිකයන්ට කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වය සඳහා සටන් කිරීම අත්හැරීමට උපදෙස් දී, ඒ ‍වෙනුවට ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවල “සන්නද්ධ අරගලයට තාක්ෂනික ව සූදානම්වීම” සඳහා දක්කන ලදී.

ඛේදජනක විපාක තෙයාකාර විය. ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ධනේශ්වර ජාතිකවාදී නිලධරයන්ගේ ප්‍රතිවිප්ලවවාදී ග්‍රහනය ශක්තිමත් කිරීමට උදවු වෙමින් තරුනයන්ගේ වඩාත් රැඩිකල් කොටස් මෙන් ම තරුන කම්කරුවන් කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමේ අරගලයෙන් අපසරනය කරන ලදී. දහස් ගනනක් මරුමුව හෙලමින් මෙම තරුනයන්, ලතින් ඇමරිකාවේ ධනේශ්වර රාජ්‍යයන් සමඟ අසමාන හා ස්වයං -නාශක සටන්වලට ඇද දැමුනි. මිලිටරිය විසින්, එක් රටකට පසු තවෙකක වසයෙන් අසාර්ථකවූ ගරිල්ලා වික්‍රමයන්, බලහත්කාරයෙන් ෆැසිස්ට්-මිලිටරි ආඥාදායකත්වයන් ඇටවීමටත්, මහා පරිමානයෙන් වැඩකරන ජනතාව මැඬීමටත් කඩතුරාව ලෙස යොදාගන්නා ලදී.

සන්නද්ධ අරගලයේදී කස්ත්‍රෝගේ සමීපතම සගයා වූ චේ ගුවේරා ද මෙම ඉදිරිදර්ශනයේ ගොදුරක් බවට පත් විය. කියුබානු තන්ත්‍රයේ සීඝ්‍ර නිලධාරීකරනයෙන් ව්‍යාකූලත්වයට පත් ගුවේරා සිය මාරක අතිවික්‍රමය බොලීවියාවේදී අත්හදා බැලීය. බලගතු බොලීවියානු කම්කරු පන්තියේ විප්ලවීය විභවය නො තකා හල ඔහු ගොවීන්ගේ වඩාත් ම පසුගාමී හා පීඩිත කොටස් අතර ගරිල්ලා හමුදාවක් නිර්මානය කිරීමට මං සෙවීය. හුදකලාව සාගින්නෙන් පීඩාවට පත්ව සිටි ඔහු දඩයමේ යෙදුනු බොලීවියානු මිලිටරිය, 1967 ඔක්තෝබරයේ දී ඔහු ඝාතනය කලේ ය. ගුවේරාගේ ඉරනම කස්ත්‍රෝවාදයේ හා පැබ්ලෝවාදී සංශෝධනවාදයේ ව්‍යසනකාරී විපාක පිලිබඳ ඛේදජනක පෙර ඇඟවුමක් විය.

මෙහි ශුද්ධ ප්‍රතිඵලය වූයේ, සමස්ත ලතින් ඇමරිකාව පුරා මතු වූ බලගතු විප්ලවවාදී නැඟිටීම් පරාජයට පත්වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස, 1968 සිට 1975 දක්වා ජාත්‍යන්තර පරිමානයෙන් ඇතිවූ ප්‍රබල විප්ලවවාදී අර්බුද හා පන්ති අරගලවල කාලපරිච්ඡේදයකට පසුව නො නැසී පැවතීමට අධිරාජ්‍යවාදයට හැකියාව ලබා දීමේ දී, තීරනාත්මක ක්‍රියාකලාපයක් එමඟින් ඉටු කලේ ය.

ජාත්‍යන්තර කමිටුව මෙම සමස්ත ඉදිරිදර්ශනයටම එරෙහි ව අශමනීය ව සටන් වැදුනි. එය අවධාරනය කලේ කස්ත්‍රෝවාදය වනාහි සමාජවාදය කරා නව මාවතක් නොව, 1960 ගනන්වල පැරනි විජිත රටවල් තුල බලයට පැමිනි ධනේශ්වර ජාතිකවාදයේ වඩාත් ම රැඩිකල් රූපාකාරයක් බව ය. මෙම තන්ත්‍රයන්ගෙන් බොහොමයක් පුලුල් පරිමාන ජනසතු කිරීම් ද සිදු කරන ලදී.

සෝවියට් ආධාර හා වෙනිසියුලාවෙන් ලැබුනු ලාභ තෙල්වලින් පිරිමසාගන්නා ලද නමුත් පසුගාමීත්වය හා අධිරාජ්‍යවාදය මත රඳා පැවැත්ම යන කියුබානු සමාජයේ මූලික ඓතිහාසික ගැටලු විසඳීමට කස්ත්‍රෝගේ පිලිවෙත් සමත් නො වී ය.

ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය මත පදනම් වෙමින් ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේ, යටත් විජිත හා පැරනි යටත් විජිත රටවල් තුල අධිරාජ්‍යවාදයේ පීඩනයෙන් විමුක්ත වීමේ අරගලය ජය ගත හැක්කේ, කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලය අල්ලාගැනීම හා විප්ලවය ජාත්‍යන්තර ව පතුරුවා හැරීම මත පමනක් බව ය. මෙම ඉදිරිදර්ශනයෙන් ගලා එන මූලික කර්තව්‍යය වන්නේ කම්කරුවන් ධනේශ්වර ජාතිකවාදයට යටත් කරන සකලවිධ ප්‍රවනතාවල ග්‍රහනය බිඳීමට වෙහෙස නො තකා කරන අරගලයක් තුල, කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම යි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සටන් වැදුනු ඉදිරිදර්ශනය, කියුබානු විප්ලවයෙන් පනස්පස් වසරකට පසුව කස්ත්‍රෝ තන්ත්‍රයේ ගමන් මාවත මඟින් අත්‍යන්තයෙන් සනාථ වී ඇති අතර අද්‍යතන කියුබාවට, සමස්ත ලතින් ඇමරිකාවට මෙන්ම ලෝකයට ද එහි සෑම අංශු මාත්‍රයක් ම තීරනාත්මක වේ.

වොෂින්ටනය හා හවානා අතර සබඳතා ප්‍රතිස්ථාපනය කිරීම, එම දිවයිනේ දැනටමත් වේගයෙන් වර්ධනය වන සමාජ අසමානතාව, දරිද්‍රතාව හා පන්ති ආතතීන් උග්‍ර කරමින් විප්ලවයේ ජයග්‍රහන මඟින් ශේෂ කර ඇති සියල්ල අනවරත ව ඛාදනය කරන ප්‍රති-ප්‍රතිසංස්කරන මාලාවක් ක්‍රියාත්මක කිරීමට පමනක් සේවය කරනු ඇත.

සිය ලතින් ඇමරිකානු හා ජාත්‍යන්තර සගයන් මෙන් ම කියුබානු කම්කරුවන් ද නිසැක ව ම විප්ලවීය අරගලයේ මාවතට තල්ලු කරනු ඇත. මෙම අරගල සඳහා තීරනාත්මක සූදානම වන්නේ, කස්ත්‍රෝවාදයේ හා සුලුධනේශ්වර ජාතිකවාදයේ දිග්ගැස්සුනු අත්දැකීමේ කටුක පාඩම් ග්‍රහනය කරගෙන, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ලෙස කම්කරු පන්තියේ නව ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩ නැගීම යි.

බිල් වෑන් ඕකන් හා ඩේවිඩ් නෝත්

කතුවරු නිර්දේශ කරන තවත් ලිපියක්:

කස්ත්‍රෝවාදය හා සුලුධනේශ්වර ජාතිකවාදයේ දේශපාලනය (1998 ජනවාරි 7)

Share this article: