යුද්ධය හා එජ මූල්‍ය වංශාධිපතිත්වය පිලිබඳව ජේම්ස් රයිසන්
Pay Any Price: Greed, Power, and Endless War (ඕනෑම මිලක් ගෙවන්න:කෑදරකම, බලය හා නිමක් නැති යුද්ධය)
හවුෆ්ටන් මිෆ්ලින් හාකෝට්, 2014

James Risen on war and the US financial aristocracy

එරික් ලන්ඩන් විසිනි, 2014 නොවැම්බර් 19

වෙන කවරදාකටත් වඩා අද සංස්ථාපිත මාධ්‍යය, පාලක පන්තිය වෙනුවෙන් මුසාවාද පැතිරවීමේ හා ප්‍රචාරය කිරීමේ මෙවලම් ලෙස සේවය කරයි. නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ වාර්තාකරුවෙකු වන ජේම්ස් රයිසන්, සත්‍ය හෙලිකිරීමේ ව්‍යායාමයක නිරතව සිටින, හීනවී යන මාධ්‍යවේදීන් අතරින් එක් අයෙකි. රයිසන්, ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” මාවත ඔස්සේ බුෂ් හා ඔබාමා පාලනය විසින් සිදුකරන ලද අපරාධ විස්තර කරන පොත්පත් හා ලිපි ලේඛන මාලාවක කතුවරයාය.

ඕනෑම මිලක් ගෙවන්න

ඔක්තෝබර් මාසයේදී පලකරන ලද රයිසන්ගේ අලුත්ම කෘතිය වන Pay Any Price: Greed, Power, and Endless War (ඕනෑම මිලක් ගෙවන්න: කෑදරකම, බලය හා නිමක් නැති යුද්ධය), එක්සත් ජනපද ආන්ඩුව ලෝකය පුරා ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී අනීතික න්‍යායපත්‍රය හෙලිදරව් කිරීමට කැපකෙරුනු තවත් උත්සාහයකි. සමානවූ හෙලිදරව් කිරීම්වල මේ දක්වා වාර්තා වී නැති ක්‍රියාවන් පිලිබඳ විස්තර ඇතුලත් මෙම කෘතිය දශකයකට පසුව පවා පාඨකයා සසල කිරීමට සමත්ය.

ආන්ඩුවේ අපරාධ හෙලි කිරීමට නිර්භය වන අයට සිදුවිය හැකි දේ ඇඟවුම් කරමින් ඔබාමා පාලනය රයිසන්ට සිතාසි නිකුත් කර ඔහු සිරභාරයට ගැනීමට තර්ජනය කරයි. ජනවාරියේදී උසාවිගත කිරීමට නියමිත නඩුවේදී ආන්ඩුව, සීඅයිඒ තොරතුරු හෙලි කල ජෙෆ්රි ස්ටර්ලින්ට චෝදනා නඟන ලද රාජද්‍රෝහී පනත යටතේ රයිසන්ට, තම රහසිගත මූලාශ්‍ර පිලිබඳ ලිපි ගොනු බාර දෙන ලෙස බල කිරීමේ උත්සාහයක ආන්ඩුව නිරතව සිටී. පලමුවන සංශෝධනයෙන් සුරක්ෂිත කර ඇති ලිපි ගොනු ආන්ඩුවට බාර දීමට වඩා වසර ගනනක් සිරගතව සිටීමේ නියෝග තමන් පිලිගන්නා බව රයිසන් පවසා ඇත.

සිය කෘතිය සමාප්ත කරමින් රයිසන් පවසා ඇත්තේ, “ඕනෑම මිලක් ගෙවන්න යන්න, පරීක්ෂන සහිත නිර්දය වාර්තාකරනය බිඳ හෙලීමට ද නිමක් නැති යුද්ධයේ නාමයෙන් සත්‍යය යටපත් කිරීමට ද ආන්ඩුව දරන කුරිරු උත්සාහයට කෙතරම් හොඳින් අභියෝග කල හැකි ද යන්නට මගේ පිලිතුරයි.” යනුවෙනි.

“මගේ පිලිතුර දිගටම ලියන්න යන්නයි. මන් ද යත්, මාධ්‍යවේදීන් විසින් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම හෙලිදරව් කිරීම හා එම අපයෝජනයන් පිලිබඳ කථාන්තරය ප්‍රසිද්ධ කිරීම නතර කලහොත්, අපට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වන බව මා විශ්වාස කරන බැවින්ය.”

ඕනෑම මිලක් ගෙවන්න කෘතිය, ආන්ඩුවේ අපරාධ හා පරපුටු ව්‍යාපාරික හා මූල්‍ය ධනේශ්වරය දැවැන්ත මුදල් කන්දරාවක් යොදවමින් ඊට පහසුකම් සැලසීම අතර සම්බන්ධය කෙරෙහි අවධානය යොමුකරයි. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය, ද්විපාර්ශවික ව්‍යවසායක්” ලෙස හඳුන්වන රයිසන්, එය බොහෝකොටම ක්‍රියාවට නඟන්නේ යුද්ධයෙන් ලාභ ගරන කොටස් බව සලකයි.

රයිසන් මෙසේ ලියයි. 2009 සිය මැතිවරන ව්‍යාපාරයේදී “ ඔබාමා හොඳ දේශපාලන විජ්ජාවක් යොදා ගත්තේය. ඔහු, බුෂ් යටතේ දැවැන්ත පරිමානයකට පුලුල් කරන ලද ජාතික අරක්ෂක රාජ්‍යය අල්ලා ගෙන එය තමන් සතුකර ගත්තේය. මෙම ක්‍රියාවලියේදී ඔබාමා, බුෂ් විසින් ඉඳ හිට, හදිසි පදනමක් යටතේ ක්‍රියාත්මක කල පූර්ව 9/11 , සාමාන්‍යකරනය කලේය. ඔබාමාගේ මහම ජයග්‍රහනය හෝ මහම පාපය, ජාතික ආරක්ෂක රාජ්‍යය ස්ථාවර කිරීමයි.”

පොතේ නිශ්චිත තැන්වලදී රයිසන්, වර්ධනය වන මිලිටරිවාදය හා යුද්ධයත්, ව්‍යාපාරික-මිලිටරි බුද්ධි අංශවල වැඩිවන බලය හා සමාජ අසමානතාවයත් අතර සම්බන්ධය පෙන්නුම් කරයි. “ඇමරිකානු ඉතිහාසයේ වෙනත් කුමන හෝ ගැටුමකදීට වඩා ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය ගෙනයමින් තිබෙන්නේ, නිදහස් වෙලඳපොල මූලධර්මයන්ට අනුකූලවය.” තවත් තැනකදී ඔහු, “21වන සියවසේ ඇමරිකානු ධනවාදයෙහි ශික්ෂා පදය 21වන සියවසේ ඇමරිකානු සංග්‍රාමය යන ආප්තය බවට පත්ව තිබේ.” යනුවෙන් සඳහන් කරයි.

ජේම්ස් රයිසන්

2013 වසරේ එක්සත් ජනපද ඔත්තු සේවා අයවැය “ඩොලර් බිලියන 70කට වැඩි බව” පවසන අතර රයිසන්, “ඇමරිකාවේ ධනවත්ම කෝරල 10න් 7ක්ම ඇත්තේ වොෂින්ටන් ඩීසී නාගරිකයේ වීම අහම්බයක් නොවන බව කියා සිටියි. 2012 රොයිටර් වාර්තාවකට අනුව වොෂින්ටනයේ ආදායම් විෂමතාවය වෙනත් ඕනෑම නගරයකට වඩා ඉහලය.” ඒ, මිලිටරි හා ඔත්තු සේවා යාන්ත්‍රනයන් සඳහා ෆෙඩරල් ආන්ඩුව දරන දැවැන්ත වියදම් “ලොබි ආයතන, කොන්ත්‍රාත්කරුවන් හා අනෙකුත් වාසනාවන්තයන් වෙත සෘජුව හෝ වක්‍ර ලෙස ගලා ඒමට පින්සිදු වන්නටය. ”

“විචිටා, ඩෙන්වර් හා ෆීනික්ස්හි” සීඅයිඒ ඔත්තුකරුවන් හා ඝාතකයින්ගේ ජාලයක් ගොඩනැඟීමට දැවැන්ත මුදල් ප්‍රමානයන් වැය කරන අතර “මැක් ඩොනල්ඩ්ස් කුලියට ගෙන තිබේ.”

ඕනෑම මිලක් ගෙවන්න නිමක් නැති ආක්‍රමනික යුද්ධ ඇතුලු එජ විදේශ පිලිවෙතෙහි වර්ධනයට, “නව කතිපයාධිකාරයක වර්ධනය” සම්බන්ධ කර ඇත. මේ දක්වා මිලියනකට වැඩි ජීවිත බිලිගෙන ඇති යුද්ධයන් පදනම් කරගෙන මෙම ඔත්තුකරුවන් හා ආයුධ ගනුදෙනුකරුවන් දැවැන්ත ධනයක් රැස්කරගෙන සිටියි.

“නව කතිපයාධිකාරය” නම්වූ පරිච්ඡේදයක රයිසන්, ලෝකය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ වලින් පොහොසත් කල ප්‍රකෝටිපතියන් රැලකගේ පුද්ගලික චරිත මාලාවක් ගෙනහැර දක්වයි. 1980 ගනන්වල නිකරගුවාහි සැන්ඩිනිස්ටා ව්‍යාපාරය පරාජය කිරීමට මං සොයමින් සිටි නීල් හා ලින්ඩන් යන උග්‍ර ප්‍රතිකොමියුනිස්ට්වාදීන් දෙදෙනා විසින් මිලිටරි ඩ්‍රෝන් යානා නිපදවීමේ ආරම්භක කටයුතුවල නිරතව සිටි බව ඔහු සටහන් කරයි.

ඉරාකයේ කුප්‍රකට අබු ග්‍රයිබ් වධකාගාරයෙහි වධකයන් ලෙස සේවය කල අයගේ නියෝජිත ආයතනය වන සීඒසීඅයි වැනි සමාගම් වලට වඩ වඩාත් ආරක්ෂක කොන්ත්‍රාත්තු පිරිනැමීම ගැන ඔහු විස්තර සපයා ඇත. සීඒසීඅයි මෙම සෝලිය තුල තම ක්‍රියාකලාපය ආරක්ෂා කල අතර රයිසන් පැහැදිලි කරන පරිදි සමාගම, 2012දී ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ගනිමින් “එතැන් සිට උත්පාතයක් අත් වින්දේ” ඔබාමා පාලනයෙන් පිරිනැමූ ආන්ඩුවේ කොන්ත්‍රාත් වලට පින්සිදුවන්නටය.

එජ ආක්‍රමනයෙන් පසුව ඇෆ්ගන් පොලිස් භටයින් සතුටු කල “නටන ලමයින්ට” ගෙවීම් කල පොලිස් පුහුනු කොන්ත්‍රාත්කරුවන් සේවයේ යෙදවූ ඩයින්කෝප් ඉන්ටර්නැෂනල් සමාගම මෙහෙයවූ වෝල් විදියේ ධනකුවේර රොබට් මැක්කූන් ආන්ඩුවේ කොන්ත්‍රාත් වලින් ඩොලර් මිලියන 320ක් උපයා ගත්තේ කෙසේදැයි රයිසන් විස්තර කරයි. මැක්කූන් 2012දී සියදිවි නසාගත් නමුත් පසුගිය දශකය තිස්සේ යුද්ධ වලින් ලාභ ලැබූ ව්‍යාපාරික නායකයින්ට බුෂ් හා ඔබාමා පාලනයන් විසින් සැබෑ ප්‍රතිශක්තියක් ලබාදී තිබුනි.

“ඇමරිකානු ආන්ඩුවට අඳුරු පැත්තට හැරීමට අවකාශ ලැබීම මගින් පොහොසත්වූ ධනවත් සමාගම් හිමිකරුවන්, ව්‍යාපාරික විධායකයින් හා ආයෝජකයින්ගේ සමස්ත පන්තියක්ම බිහිව තිබෙන බවත්, ඇමරිකානු ඉතිහාසය තුල ජනතාව වෙතින් ධනය පෞද්ගලික සේප්පු කරා දැවැන්ත ලෙස මාරු කිරීමෙන් වාසි ලැබුවෝ මොවුහු” බවත් රයිසන් පෙන්වා දෙයි.

“යුද විධානය, යුද ආර්ථිකය හා යුද ලොබිකිරීම් යන සියල්ල, වොෂින්ටනය තුල දැවැන්ත බලයකින් ක්‍රියාත්මක වෙයි. බලය එක් දේශපාලන පක්ෂයකින් තවෙකකට මාරු කිරීම ඇති කරන්නේ අල්ප බලපෑමක් පමනකි.

රයිසන් සිය කෘතිය තුල ගෙනහැර දක්වන සියලු අපරාධ ගැන මෙහි දී කථා කිරීම අපහසුය. පහත සඳහන් දෑ ඊට ඇතුලත්ය.

* ස්වාධීන පරීක්ෂන නිරීක්ෂනය කිරීමේ අටියෙන් සැප්තැම්බර් 11 සිද්ධියෙන් මියගිය අයගේ නෑදෑයන් විසින් ගොනුකර ඇති අධිකරන ක්‍රියාපටිපාටීන් විනිවිදීම සඳහා ආන්ඩුව ඡායා සීඅයිඒ ඔත්තුකරුවන් පෙලක් යොදාගෙන ඇත.

* ආන්ඩුව සිරියාවට ඩ්‍රෝන් යානා විකිනීමට, ඒවා යොදාගෙන ඝාතන සිදුකිරීම පිනිස පාවිච්චි කිරීමට, ෂෙල් සමාගම් පිහිටුවීමට සැලසුම් කර ඇත.

* ඉරාකයේ ඇමරිකානු කඳවුරු තුලදී ස්නානය කරමින් සිටියදී විදුලි සැර වැදීමට හැර අඩුම තරමින් සෙබලුන් 18ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැරනි හැලිබර්ටන් උප සමාගමක් වූ කේබීආර්හි වගකීම. එම සමාගමේ අබලන් විදුලි පද්ධතිය ඊට හේතු විය. කේබීආර්, මේ දක්වා වගකීමෙන් මිදී සිටින අතර යුද්ධය පැවති අවධියේ පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 39.5ක කොන්ත්‍රාත්තු ලබා ගත්තේය.

*බුෂ් පරිපාලනය විසින්, රෝගීන්ට බෙහෙත් වට්ටෝරු ලිවීමේ වාසිදායක රැකියාව මනෝ විද්‍යාඥයින්ට පිරිනැමීමට හිලව් කිරීමේ කොටසක් වශයෙන්, සීඅයිඒ වධක වැඩසටහන් සඳහා රබර් මුද්‍රාව තැබීමට එම සංවිධානයේ නායකත්වයට ඉඩ සැලසෙන පරිදි, ඇමරිකානු මනෝවිද්‍යා සංඟමය තම ආචාර ධර්ම පද්ධතිය සංශෝධනය කිරීම.

2001 සැප්තැම්බර් 11 සිද්ධියෙන් පසුව එලඹුනු මාසවල ජාතික ආරක්ෂක ඒජන්සියේ අනවසර හොරෙන් සවන් දීමේ වැඩසටහන පිලිබඳව දැනගත් පසුව හිටපු කොන්ග්‍රස් සභික ඩේන් රෝක් ඒ සම්බන්ධයෙන් ඉටුකල භූමිකාව ගැන රයිසන්ගේ විස්තරය වැඩිදුරටත් විමසා බැලීම වැදගත්ය. ඔත්තුබැලීමේ වැඩසටහනේ ව්‍යවස්ථා විරෝධී ස්වභාවය ගැන රෝක් ආන්ඩුවේ තුන් අංශයේම සාමාජිකයන් වෙත සිය කනස්සල්ල පලකල විට මුහුන දුන්නේ ඇහුන්කන් නොදීමේ හා තර්ජනයේ තත්වයකටය.

එවක ජාතික ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂක මයිකල් හේඩන්, “සිව්වන සංශෝධනයේ පෞද්ගලිකත්ව ආරක්ෂාව සුපරීක්ෂාකාරී වැඩසටහන් වලදී අපට අවශ්‍ය වන්නේ නැත. මක්නිසා ද යත්, අපට බලය තිබෙන නිසාය.” මේ පිලිබඳව කොන්ග්‍රසයට පවා හෙලිදරව් කර තිබුනොත් එය “කාන්දු කිරීමක්” ලෙස සලකන බවත් ඇය මේ පිලිබඳව නිහඬව සිටීම ඇඟට ගුන බවත් හේඩ්න් තර්ජනාත්මක ලෙස තමන්ට පැවසූ බව රෝක් අවධාරනය කලාය.

රෝක් විදේශ සුපරීක්ෂන අධිකරනයේ විනිශ්චයකාර කොලර් කොට්ලි වෙත සිය කනස්සල්ල පල කල විට ඔහු, “අධිකරන දෙපාර්තමේන්තුව අමතා රෝක් අනවශ්‍ය ප්‍රශ්න නඟන්නේ යයි එහි නිලධාරීන්ට දැනුම් දෙමින් ඇය අධිකරන දෙපාර්තමේන්තුවෙන් කැඳවුමක් ලැබෙන තෙක් සිටිය යුතු බව සඳහන් කලේය.”

රෝක් එවක අග්‍රවිනිශ්චයකරුව සිටි විලියම් රෙන්ක්විස්ට් වෙත ද සටහනක් යවා තිබුන ද ඔහු ද ඇගේ කනස්සල්ල නොතකා හල බව රයිසන් පෙන්වා දෙයි.

ඉහත සඳහන්වූ පරිදි රෝක් ව්‍යවස්ථා විරෝධී ඔත්තු වැඩසටහන් පිලිබඳව අවධානය යොමුකරවීමට දරන ලද උත්සාහයන් හමුවේ, ආන්ඩුවේ අංශ තුනම (ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරනය) පෙන්නුම් කලේ ජනතාවගේ ඔත්තු බැලීම් අනුමත කරන ආස්ථානයක තමන් පිහිටා සිටින බවය. ඇගේ හෙලිදරව් කිරීම් පෙන්නුම් කලේ ව්‍යවස්ථාදායකය හා අධිකරනය එන්එස්ඒ ඔත්තු සේවා ගැන 2001 මුල සිටම දැන සිටි බවත් එහි ප්‍රසාරනය වැලැක්වීමට කිසිවක් නොකල බවත්ය.

ඕනෑම මිලක් ගෙවන්න කෘතිය බරපතල දුබලකම් වලින් තොර වූයේ නොවේ. වඩාත් වැදගත් කාරනය වන්නේ, බුෂ් පරිපාලනය විසින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ආරම්භ කලේ, “යහපත් අඅභිමතාර්තයක්” ඇතිව බවත් “ එය පෙරට යාමේදී මුල් අරමුනු පසෙකට විසිවුනු බවත්” පිලිගනිමින් රයිසන් වැඩකර තිබීමය.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අනුබලය යටතේ සිදුකරන ලද අපරාධ පිටුපස පැවති ගාමක බලය, “බලය” පිලිබඳ පිපාසාව හා “කෑදරකම” ලෙස රයිසන් හඳුන්වයි. ආත්මීය කෑදරකම හා බලය සඳහා ආශාව, යුද්ධය හා සමාජ අසමානතාවය පිටුපස පවතින ගාමක බලවේග නොව, ඇමරිකානු හා ලෝක ධනවාදයේ අර්බුදය සමඟ බැඳීගත් ගැඹුරු දේශපාලන, සමාජ හා ඓතිහාසික ක්‍රියාවලීන්ගේ ප්‍රකාශනය බව වටහා ගැනීමට රයිසන් අසමත් වෙයි.

අධිරාජ්‍යවාදය ඓතිහාසික හා දේශපාලන යථාර්තයක් ය යන සංකල්පය රයිසන්ගේ කටයුතු වලදී දැකගත නොහැකිය. නොවැලැක්විය හැකි පරිදිම තුන්වන ලෝක න්‍යෂ්ටික යුද්ධයකට තුඩුදෙන අධිරාජ්‍යවාදී යුද්ධය, මූල්‍ය වංශාධිපතිත්වයට හෝ ඔවුන් නියෝජනය කරන දේශපාලන නියෝජිතයින්ට කරන සදාචාරාත්මක ආයාචනයන් මඟින් නතර කල නොහැකිය.

ඕනෑම මිලක් ගෙවන්න කෘතියේ සීමාසහිතකම් තිබයදීම එය, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ධජය යටතේ මූල්‍ය පැලැන්තිය වෙනුවෙන් එජ ආන්ඩුව සිදුකරන ලද අපරාධ හෙලිකර ගැනීමට උනන්දුවක් දක්වන කෙනෙකු විසින් කියවිය යුතුය.

එම පොත නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය විසින් ඉටකල භුමිකාව මත ආලෝකයක් විහිදුවයි. 2003දී මිලිටරි හා ඔත්තු සේවා ආයතනවල හොරනෑව ලෙස ක්‍රියා කරමින් පුවත්පත, ඉරාකය තුල “ජනඝාතක අවි” තිබුන බවට ජුඩිත් මිලර්ගේ පෑනෙන් ලිවූ තොරතුරු ප්‍රසිද්ධියට පත් කලේය. ඊලඟ වසර වන විට පුවත්පතේ කතෘ බිල් කෙලර්, ව්‍යවස්ථා විරෝධී හොරෙන් සවන්දීම් හෙලිදරව් කරමින් රයිසන් හා එරික් ලික්ටබ්ලෝ විසින් ලියන ලද රචනා පල කිරීම ප්‍රතික්ෂේප කලේය. ටයිම්ස් එම ලිපි පල කලේ, නොඑසේ නම් තමා එම රචනා ස්වාධීනව පල කරන බවට රයිසන් තර්ජනය කිරීමෙන් පසුව පමනි.

එතැන් පටන් එම ඊනියා “වාර්තා තැබූ පුවත්පත” ලිබියාවේ හා සිරියාවේ එජ ප්‍රචන්ඩත්වය ද රුසියාවට හා චීනයට එරෙහි රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි ආක්‍රමනය පැතිරවීමේ වොෂින්ටන්හි පියවරයන් ද ආරක්ෂා කරමින් ප්‍රචාරයේ යෙදෙමින් මිලිටරි/ඔත්තු යාන්ත්‍රනයේ මෙවලමක් ලෙස කටයුතු කර තිබේ.

2006 වසරේදී රයිසන්ට හා ලික්ටබ්ලෝට පුලිට්සර් සම්මාන හිමිවූ ඔත්තු වැඩසටහන් විස්තර කල රචනා හා රයිසන්ගේ යුද්ධයේ රාජ්‍යය පොත පලවීමෙන් පසුව ඔබාමා පාලනය, මාධ්‍යවේදියාට දඬුවම් කිරීමේ හා අනෙකුත් අයට එය නිදසුනක් බවට පත්කිරීමේ අරමුන ඇතිව පරීක්ෂන මාලාවක් පටන්ගෙන ඇත. යුද්ධයේ රාජ්‍යය පල කිරීම වැලැක්වීමට එෆ්බීඅයි උත්සාහ දැරීය. එය අසාර්ථකවූ පසුව ආන්ඩුව, රහසිගත තොරතුරු ප්‍රසිද්ධ කිරීමට සම්බන්ධ කර රයිසන්ට නඩු පැවරීම පිනිස පොතේ පිටු පෙරලා බැලීමට පටන්ගත්තේය.

ඉරානය න්‍යෂ්ටික වැඩසටහනක් ඔස්සේ යමින් සිටීම ප්‍රමාද කිරීමේ සීඅයිඒ අසාර්ථක සැලස්මට සම්බන්ධ සාපරාධී නඩුවක් පිලිබඳව 2008 වසරේදී ෆෙඩරල් ප්‍රමුඛ ජූරි සභාවක් රයිසන්ට එරෙහිව සිතාසි නිකුත් කලේය. ජෙෆ්රි ස්ටර්ලින්ග් යන විත්තිකරුවා දඬුගැසීමට පැමිනිල්ලට උදව් වන රහසිගත තොරතුරු එලිදරව් කරන ලෙස රයිසන්ට බලපෑම් කිරීම ආන්ඩුවේ අරමුන විය.

2009 වසරේදී සිතාසිය අවලංඟු වූ නමුත් ඔබාමා පාලනය එය අලුත් කලේය. 2013 ජූලියේදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් අභියාචනාධිකරනයට පත්කල විනිශ්චයකරුවන් දෙදෙනෙක් සිතාසිය බල රහිත කරමින් පහල උසාවිය දී තිබූ තීන්දුව නිෂ්ප්‍රභා කරමින්, “අපරාධ පිලිබඳ ක්‍රියාවලියකදී පැමිනිල්ල විසින් සාක්ෂි දීමට බලකර තිබෙන තත්වයයෙන් ආරක්ෂා වීමට මාධ්‍ය කරුවෙකුට පලමු සංශෝධනය යටතේ දිව්රුම් දීමෙන් අවස්ථාවක් සැලසෙන්නේ නැති” බව ප්‍රකාශ කලහ.

2014 ජූලියේදී ශ්‍රේෂ්ඨාධිකරනය රයිසන්ගේ අභියාචනය සලකා බැලීම ප්‍රතික්ෂේප කලේය.

ඔබාමා පාලනය විසින් රයිසන්ට එරෙහි බොරු චෝදනා ගෙතීමට දරන උත්සාහය, ඉතිරිවී ඇති කුමන හෝ මාධ්‍ය නිදහසක් පාගා දැමීමකි. වරෙන්තු කිරීමට එරෙහිව රයිසන් ගෙන යන නීතිමය අරගලය එක්සත් ජනපද ඉතිහාසය තුල නිදහස් භාෂනය සඳහා ගෙනගොස් ඇති අතිශයින්ම වැදගත් සටනකි.

Share this article: