ශ්‍රී ලංකාවේ ජනාධිපතිට එරෙහි වොෂින්ටනයේ කුමන්ත්‍රන

Washington’s intrigues against Sri Lankan president

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානිනී විජේසිරිවර්ධන විසිනි, 2014 දෙසැම්බර් 01

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලබන වසරේ ජනවාරි 08දා ජනාධිපති මැතිවරනය පැවැත්වෙන බව නිවේදනය කිරීමත් සමඟ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මහ ලේකම් හා ආන්ඩුවේ සෞඛ්‍ය ඇමතිව සිටි මෛත්‍රීපාල සිරිසේන ඉන් ඉවත්වී, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත්වන බව නිවේදනය කලේය. විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් සමඟ කල්තියා සූදානම් කරගෙන තිබූ එම නිවේදනය නිකුත් වූයේ, බොහෝකොටම වොෂින්ටනයේ අනුදැනුම හා අනුමැතිය ඇතිවය.

රුදුරු කප්පාදු පියවර, දූෂනය හා ආඥාදායක පාලන ක්‍රම හේතුකරගෙන අතිශයින් අපකීර්තියට පත්ව ඇති රාජපක්ෂ ආන්ඩුව පෙරලා දැමීම මෙම පියවරේ අරමුන වී ඇත. “ආඥාදායකත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන” යන සටන් පාඨය යටතේ සිරිසේන සිය ව්‍යාපාරය දියත් කල නමුත් එහි සැබෑ අරමුන, චීනයට වල කැපීම හා එරට මිලිටරිමය වශයෙන් වැටලීම ඉලක්ක කරගත් වොෂින්ටනයේ “ආසියාවට හැරීම” මූලෝපාය සමඟ සමීපව පෙල ගැසෙමින් මෙරට බීජිනයෙන් ඈත්කර තබන ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමයි.

තිරයෙන් පිටුපස දිග හැරුනු මෙම නින්දිත කූටෝපායේ කඩ ඇනය බවට පත්ව ඇත්තේ, තම පියා විසින් ගොඩනඟන ලද හා සිය දෙමාපියන් අගමැතිවරුන්ව සිටි ශ්‍රීලනිපයේ ප්‍රමුඛ චරිතයක් වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟය. එන්ට එන්ටම රාජපක්ෂට සතුරුවූ කුමාරතුංඟ, එජාප නායක රනිල් වික්‍රමසිංහ සමඟ සම්බන්ධතා ගොඩනඟා ගනිමින්, අඩුම වශයෙන් මේ වසර මුල පටන් ජනාධිපතිට එරෙහි ආන්ඩුව තුල සිටි නායක මට්ටමේ පුද්ගලයින් අතර පැවති අසන්තුෂ්ටිය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කලාය. කුමාරතුංඟගේ ආශීර්වාදය ඇතිව 2001 වසරේ පක්ෂ මහ ලේකම් වශයෙන් පත්වූ සිරිසේන ඔවුන්ගෙන් එක් අයෙකි.

ඒ සමඟම කුමාරතුංඟ වික්‍රමසිංහගේ ද උදව් ඇතිව එක්සත් ජනපදය හා එහි සහචර රටවල් සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගත්තාය. 2005 වසරේ ජනාධිපති ධුරය අහිමිවූ පසු තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව කියා සිටය ද ඇය, ඊලඟ වසරේ පටන්ම හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හා හිටපු රාජ්‍ය ලේකම්වූ ඔහුගේ බිරිය වන හිලරි ක්ලින්ටන් විසින් පිහිටුවාගෙන තිබුනු ක්ලින්ටන් පදනමට සම්බන්ධ වූවාය. “තුන්වන ලෝකයේ රටවල දේශපාලන, සමාජ හා ආර්ථික සංවර්ධනයට සම්බන්ධව කටයුතු කරන (සීජීඅයි) ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සංවිධාන වලින් එකක්” වන දුප්පත්කම තුරන් කිරීමේ ක්ලින්ටන් ගෝලීය ආරම්භකත්වය සංවිධානයේ උපදේශක මන්ඬලයෙහි කුමාරතුංඟ සේවය කරයි.

සීජීඅයි කටයුතු වලට කුමාරතුංගගේ සම්බන්ධය හුදු නාමික ඇඟවුමක් නොවේ. ඇය ක්ලින්ටන් පදනමට අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයන්හි පාර්ශවයක් ලෙස විවිධ රටවල සංචාරය කල අතර එහි වාර්ෂික රැස්වීමවල මාන්ඩලික නියෝජිතවරියක් ලෙස කටයුතු කර ඇත. ඇය මෙරට දේශපාලනය පිලිබඳව ක්ලින්ටන්ලා සමඟ පෞද්ගලිකව සාකච්ඡා කර ඇතුවා නිසැකය. ඔවුන් එක්සත් ජනපද පාලක කවයන් තුල, විශේෂයෙන්ම ඔබාමා පාලනාධිකාරය තුල, දොරවල් ඇය සඳහා විවෘත කරන්නට ද ඇත. සීජීඅයි වැනි සංවිධාන ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙනුවෙන් කරන දේශපාලන කුමන්ත්‍රන වලට සම්බන්ධ පෙරමුනු ලෙස කුප්‍රකටය. විකිපීඩියාවේ කුමාරතුංඟ පිලිබඳව සොයා බලන විට පැහැදිලි වන්නේ, සීජීඅයි යනු, “දුෂ්කර අවස්ථාවන්ට මුහුනපාන දේශපාලන නායකයින්ට, විචාරවත් හා රහසිගත ලෙස පලපුරුදු උපදේශකයින් පෙලකගේ සහාය සලසන ලාභ නොලබන සංවිධානයක්” බවය.

ඔබාමාගේ පලමු ධුර කාලය තුල රාජ්‍ය ලේකම්ව සිටි හිලරි ක්ලින්ටන්, “ආසියාවට හැරීම” පෙරට ගෙනයාමට මූලිකත්වය ගනිමින්, චීන බලපෑමට වල කැපීමේ දී කලාපය පුරා රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රනවල ප්‍රමුඛ භූමිකාව ඉටුකලාය. හමුදාව අතින් එල්ටීටීඊය පරාජයට පත්වූ 2009 තරම් ඈතදීම ඔබාමා පාලනාධිකාරය චීනය සමඟ ඇති රාජපක්ෂගේ බැඳීම් ගැන කනස්සල්ල පල කොට තිබුනි. සෙනේට් සභාවේ විදේශ කටයුතු පිලිබඳ කමිටුව ප්‍රකාශ කලේ, එක්සත් ජනපදයට “ශ්‍රී ලංකාව අහිමි කරගත නොහැකි” බවයි.

දස දහස් ගනන් සිවිල් වැසියන්ගේ ජීවිත විනාශය ද ඇතුලු මිලිටරියේ ප්‍රචන්ඩ ක්‍රියා නොදුටුවාක් මෙන් සිටි එක්සත් ජනපද ආන්ඩුව, එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ යුද්ධය සඳහා මුලුමනින්ම පිටුබලය දුන්නේය. කෙසේ වුව ද ගැටුමේ අවසන් මාසවල ඔබාමා පාලනාධිකාරය, මෙරට මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ කුහක ව්‍යාපාරයක් ආරම්භ කලේය. යුද්ධය අවධියේ මෙරටට සැලකිය යුතු මිලිටරි හා මූල්‍ය ආධාර සැපයූ චීනය වෙත රාජපක්ෂ ආන්ඩුව ඕනෑවට වඩා සමීප වීම වොෂින්ටනයේ සැබෑ කනස්සල්ල වී ඇත.

කොලඹ පාලනය වෙත අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීමක් වශයෙන් රාජ්‍ය ලේකම් ලෙස හිලරි ක්ලින්ටන්, 2011 හා 2012 වසරවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (යූඑන්එච්ආර්සී) හමුවේ, ශ්‍රී ලංකාවේ මානව අයිතීන් කඩකිරීම ගැන කටයුතු කිරීම පිනිස යෝජනා ගොනු කිරීමට අනුග්‍රහය දැක්වීය. පලමු වතාවට මේ වසර තුල එක්සත් ජනපදය, ජාත්‍යන්තර පරීක්ෂනයක් පැවැත්වීමට කැඳවුම් කරන තවත් යෝජනාවක් ගෙන එමින්, චීනය සමඟ සම්බන්ධකම් අත් නොහැරියහොත් රාජපක්ෂට විරුද්ධව කටයුතු කිරීමේ තර්ජනය මතු කලේය.

කුමාරතුංග වොෂින්ටනයේ මානව හිමිකම් උද්ඝෝෂනයට සහාය දක්වමින් බීජිනය සමඟ රාජපක්ෂගේ සම්බන්ධතා විවේචනයට ලක්කර ඇත. 2011 වසරේදී යූඑන්එච්ආර්සී යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් ඉන්දියාව 2012දී ඊට පක්ෂව ඡන්දය දුන් විට ඇය පැවසුවේ, “අපට විරුද්ධව ඡන්දය දීමේදී ඉන්දියාව සම්බන්ධව කිසියම් වෙනසක් සිදුව ඇති බවත් ඉන්දියාව එම තීන්දුව සැහැල්ලුවෙන් ගත් එකක් විය නොහැකි” බවත්ය. රාජපක්ෂගේ විදෙස් පිලිවෙත මඟින් තමා “වික්ෂිප්ත” වූ බව පැවසූ ඇය, චීනය, ඉරානය හා මියන්මාරය වැනි රටවල මිතුරන් සොයා යාම ගැන ඔහු විවේචනය කරමින් “බටහිර සමඟ ගැටුම්කාරී ප්‍රතිපත්ති” අනුගමනය කරන බවත් කියා සිටියාය. මේ වසරේදී එක්සත් ජනපදය තම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව කුමාරතුංඟ, “රට විදේශ මැදිහත්වීම් වලින් ආරක්ෂා කරගත හැක්කේ, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ජාත්‍යන්තර වශයෙන් පිලිගත් සම්මතයන් ආන්ඩුව විසින් අනුගමනය කිරීමෙන් පමනක්” බව මාර්තු 11දා කොලඹදී මාධ්‍ය වෙත පැවසුවාය. “ශ්‍රී ලංකාව හා රටේ ජනතාව ජාත්‍යන්තර බලපෑම් වලින් ගලවා ගත හැකි හොඳම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කරන යහ පාලනය” පමනක් යයි ද ඇය පැවසුවාය.

ඊට පෙර දිනයේදී කුමාරතුංඟ, වික්‍රමසිංහ හා එජාපයේ නායකයින් ගනනාවක් සමඟ දකුනු ආසියානු පදනමේ සභාපතිනිය ලෙස ඇගේ ක්‍රියාකලාපය ගැන සාකච්ඡා කර තිබුනි. “රට තුල එකිනෙකා සමඟ සහජීවනය නඟාසිටුවීම පිලිබඳව දේශපාලන පක්ෂ හා අනෙකුත් කන්ඬායම් අතර සාකච්ඡාව” පැවැත්වුන බව නිල වශයෙන් දැනුම්දී තිබුන ද නිල නොවන වශයෙන් සාකච්ඡාවට භාජනය වූ ප්‍රධාන ප්‍රශ්නය රාජපක්ෂ ආන්ඩුව හා ඒ පිලිබඳව කල යුත්තේ කුමක් ද යන්න ගැන බව නිසැකය.

සිය ධුර කාලය සඳහා තවත් දෙවසරක් ඉදිරියට තිබියදී ජනාවාරි මාසයේදී ජනාධිපතිවරනයක් පැවැත්වෙන බව සැප්තැම්බරයේදී ඇඟවුම් කිරීමත්, තමන්ට තෙවන වරටත් ජනාධිපතිවරනයට ඉදිරිපත්විය හැකිවන පරිදි රාජපක්ෂ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමත් සමඟ සිදුවෙමින් පැවති කුමන්ත්‍රනය තවත් උත්සන්න විය.

ආන්ඩුවට හිතපක්ෂපාතී සිලෝන් ටුඩේ පුවත්පත ඔක්තෝබර් 05දා වාර්තා කලේ, සැප්තැම්බරයේදී කුමාරතුංග එජාප නායකයින් හමුවූ අතර වික්‍රමසිංහ හා එජාපය පොදු අපේක්ෂකයෙකුට සහාය දිය යුතු බව ඇය අවධාරනය කල බවය. ඔක්තෝබර් මුල ලන්ඩනයේදී හමුවූ අවස්ථාවේ ඇය, “පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම පිලිබඳව අවධානය යොමු කරන ලෙස” වික්‍රමසිංහට පැවසූ බව ද එම පුවත්පතම වාර්තා කලේය.

ඉන්පසුව සිදුවීම් පෙන්නුම් කරන්නේ කුමාරතුංඟට වික්‍රමසිංහ ඒත්තුගැන්වීමට හැකිවූ බවය. ඩේලි මිරර් පුවත්පතට අනුව, මංගල සමරවීර, රවි කරුනානායක හා කරු ජයසූරිය යන එජාප නායකයින් නොවැම්බර් 04දා කොලඹදී “බලපුලුවම්කාර” තානාපතිවරුන් හමුවිය. “ජනාධිපතිවරනය ජය ගැනීම සඳහා පක්ෂයේ වැඩපිලිවෙල” ගැන එජාප නියෝජිතයින් සමඟ කථාකල මෙම බලපුලුවම්කාර තානාපතිවරුන්, එක්සත් ජනපද තානාපති හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හැර අන් කවරෙකු හෝ නොවූ බවට ලෝසවෙඅ සතුව විශ්වාසදායක තොරතුරු පවතී.

ජනාධිපති අපේක්ෂකයා ලෙස වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට ප්‍රතිවාදී එජාප කන්ඬායමකට අවශ්‍යතාවක් පැනනැඟි අවස්ථාවේ මංගල සමරවීර එජාපයෙන් ඉවත්ව ආන්ඩුවට එක්වන බවට තර්ජනය කලේය. තමන්ට එරෙහි කුමන්ත්‍රනය ගැන කිසිවක් නොදැන සිටි රාජපක්ෂ, පෞද්ගලිකවම සමරවීර හමුවී ආන්ඩුවට එක්වන ලෙස ඔහුට ආරාධනය කලේය. සන්ඩේ ටයිම්ස් පත්‍රය වාර්තා කල පරිදි සමරවීර විදේශ ඇමති තනතුර ඉල්ලා සිටි අතර රාජපක්ෂ එය ලබා දීමට එකඟවී ඇත.

කුමාරතුංග සමරවීරගේ සැලසුම ගැන දැනගත් කල “එම හානිකර පියවර නොගන්නා” ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියාය. “මට කාලයක් දෙන්න, මම තත්වය හරිගස්සන්නම්.” නොවැම්බර් 19 සන්ඩේ ටයිම්ස් පත්‍රයට අනුව, “වික්‍රමසිංහ හා ඔහුගේ සමීප හවුල්කරුවා වන මලික් සමරවික්‍රම හිටපු ජනාධිපති කුමාරතුංගගේ ටොරිංටන් චතුරස්‍රයේ පිහිටි නිවසේදී සාකච්ඡා මාලාවකට සහභාගී වූහ....

“විපක්ෂයේ පුලුල් නව පෙරමුනක් ගොඩනැඟීමේ ගිවිස්නාවක් වික්‍රමසිංහ හා කුමාරතුංග අතර බ්‍රහස්පතින්දා (නොවැම්බර් 20) රාත්‍රියේදී ඇතිකරගන්නා ලදී. එහිදී ඇය, තමන් ජනාධිපති ලෙස පත්වූ විගස වික්‍රමසිංහ අගමැති කරන බවට සහතික වන සිරිසේනගේ අත්සනින් යුත් ලියවිල්ලක් එජාප ජාතික නායකයා වෙත බාර දුන්නාය.”

ඊට පසු දිනයේදී කුමාරතුංග, තමා විපක්ෂයේ පොදු අපේක්ෂකයා බව සිරිසේන විසින් නිවේදනය කරන්නට යෙදුන මාධ්‍ය හමුවේ මූලාසනය දැරුවාය. එජාප හා අනෙකුත් පක්ෂවල සහයෝගය ද ශ්‍රීලනිපය බිඳී යාම ද රාජපක්ෂ බලයෙන් පහකිරීමට ප්‍රමානවත් යයි සලකන ඔබාමා පාලනාධිකාරයේ ක්‍රියාකාරී මැදිහත්වීම නොමැති නම් ඒ පිලිබඳ දැනුවත් භාවය ද ඇතිව ක්ලින්ටන් පදනමේ ආශිර්වාදය සමඟ ඇය පැහැදිලිවම වැඩට බැස සිටියාය. මෙරට කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන දේශපාලන නිගමන වලට එලඹිය යුතුය. සිරිසේනගේ ඉදිරිපත් වීම කරා දිවගිය මෙම නින්දිත කූටෝපායන් විපක්ෂයට පමනක් නොව ආන්ඩුවට ද එකසේ අදාලවන ක්‍රියාකාරී මෙහෙයුම් ප්‍රමිතිය වන්නේය. “ප්‍රජාතන්ත්‍රවාදය” පිලිබඳ සිරිසේනගේ ව්‍යාජ උද්ඝෝෂනය මෙන්ම “ජාත්‍යන්තර කුමන්ත්‍රනයේ” විරුද්ධවාදියෙක් ලෙසට රාජපක්ෂගේ පුහු මවාපෑම් ද කිසිවෙකුත් විශ්වාස නොකල යුතුය. අපේක්ෂකයින් දෙදෙනාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශිත කප්පාදු සඳහා කැපවී සිටිනවාක් මෙන්ම දෙදෙනාගෙන් එක් අයෙකු හෝ චීනයට එරෙහි එක්සත් ජනපද යුද්ධයක් තුලට ශ්‍රී ලංකාව ඇදී යාම වැලැක්වීමට ද සමත් නැත.

කම්කරුවන් හා තරුනයින්ට සිය පන්ති අවශ්‍යතා ආරක්ෂා කරගත හැක්කේ, පාලක පන්තියේ සෑම කොටසක්ම ප්‍රතික්ෂේප කරමින්, සමාජවාදී සමානතා පක්ෂයම පමනක් සටන් වැදී සිටින සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත, කප්පාදුවලට හා යුද්ධයට එරෙහිව ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් පමනි.

Share this article: