ශ‍්‍රී ලංකා ජනාධිපති මැතිවරනයේ පොදු අපේක්ෂකයා කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට නගනු ඇත

Sri Lanka: Opposition presidential candidate to implement austerity

කේ. රත්නායක විසිනි, 2014 දෙසැම්බර් 04

දේශපාලන පක්ෂ හා කන්ඬායම් 36ක් විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමග පසුගිය 01දා අවබෝධතා ගිවිසුමක් අත්සන් කලහ. ජනවාරි 08දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සඳහා ගොඩනැගෙමින් ඇති මෙම විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුන වනාහි, ජීවන තත්වයන් කාබාසිනියා කරන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර, සිරිසේන විසින් නිමාවට පත්කරනු ඇතැයි යන මුලාව ඡන්දදායකයින් තුල මුල් බැස්සවීම අරමුනු කරගත් නරුම ව්‍යායාමයකි.

“සාධාරන, ප‍්‍රජාතන්ත‍්‍රීය හා ජනතාවාදී පාලනයක් සඳහා වන පොදු ජනතාවගේ න්‍යායපත‍්‍රයක්” මත පදනම් වන මෙම සන්ධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති හා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරියට ගෙන යන රුදුරු කප්පාදු පිලිවෙත් එලෙසම ගෙන යන බවට පොරොන්දුවී ඇත. එමෙන්ම පෙරමුන, චීනයට එරෙහි එක්සත් ජනපදයේ ආක‍්‍රමනකාරී “ආසියාවට හැරීම” මූලෝපාය සමග ද සමීපව පෙල ගැසෙයි.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූවන් අතර, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) හා 2010 මැතිවරනයේදී රාජපක්ෂට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ හිටපු හමුදා නායක සරත් ෆොන්සේකා ද විය. පාලක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) ප‍්‍රමුඛ චරිතයක් හා විපක්ෂ සන්ධානය ගොඩනැගීමේදී ප‍්‍රධාන ක‍්‍රියාකලාපයක් ඉටුකල හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ද ඊට එක් විය.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ ද සහාය ඇතිව කුමාරතුංග සංවිධානය කල දේශපාලන කුමන්ත‍්‍රනයට සම්බන්ධ සිරිසේන, ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් ගනනාවක් ද සමග ආන්ඩුවේ ඇමතිකම අතහැර රාජපක්ෂට විරුද්ධව තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව නිවේදනය කලේය. චීනය සමග ඇති රාජපක්ෂගේ බැඳීම් පිලිබඳව කනස්සල්ලට පත්ව සිටින එක්සත් ජනපදය. අලුතෙන් ජනාධිපතිවරයෙකු පත්කිරීමේ කුමන්ත‍්‍රනය ගැන දැනසිටි බවත් එයට අනුමැතිය පලකොට ඇති බවත් නිසැකය.

කම්කරු හා පීඩිත ජනතාව අතර ආන්ඩුව කෙරෙහි පුලුල්ව පැතිර පවතින අප‍්‍රසාදය ගසාකෑමේ අරමුනෙන් විපක්ෂ සන්ධානය, “නීතිය හා යහ පාලනය බිඳවැටීම, ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් කාබාසීනියා වීම, පෙර නොවූ විරූ ආකාරයට පුලුල් වී ඇති සමාජ අසමානතාවය හා විවිධ වාර්ගික හා ආගමික කොටස් අතර බරපතල අසීරුතාවයකට පත්ව ඇති යහපැවැත්ම මෙන්ම වඩ වඩාත් ගැඹුරු වන අවිශ්වාසය හා අසමගිය” දුරලීම සිය ප‍්‍රධාන උත්සුකය වන බව පවසා ඇත.

එසේම සන්ධානය, ජනාධිපතිට පුලුල් බලතල පැවරී ඇති විධායක ජනාධිපති ක‍්‍රමය ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපති ලෙස පත්වීමට හැකියාව ලැබෙන පරිදි හා ආන්ඩුවේ උසස් නිලධාරීන් පත්කිරීමට ඇති බලය වැඩිකර ගැනීම සඳහා සම්මත කරගත් 18වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් ප‍්‍රතිඥා දෙයි. කලින් පැවති නීතිය යටතේ ජනාධිපතිවරයෙකුට පත්විය හැක්කේ දෙවතාවක් පමනි.

අවබෝධතා ගිවිසුමෙන් තවත් දිග පොරොන්දු ලැයිස්තුවක් ඉදිරිපත්කොට තිබේ. “පීඩාකාරී ජීවන වියදම් බර” සැහැල්ලු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම, ආර්ථිකයේ සියලු අංශ ශක්තිමත් කිරීම හා “කොන්වී සිටින කන්ඬායම් හා පීඩිතයින් ද විශේෂයෙන්ම කාන්තාවන්, ලමුන්, වයස්ගතවූවන්, විශ‍්‍රාමිකයින් හා ආබාධිත අය සඳහා කාර්යක්ෂම සමාජ ආරක්ෂන ජාලයක් ගොඩනගමින් ශුභසාධන රාජ්‍යය යලි පිහිටුවීම” ඒ අතර වේ.

එම ලියවිල්ල මෙසේ ද කියයි. තමන් පිහිටුවන නව ආන්ඩුව “ශිෂ්ඨ හා සදාචාර සම්පන්න සමාජයක් නිර්මානය කරමින්, විශේෂයෙන්ම පෙර නොවූ විරූ පහත් අඩියකට වැටී ඇති රටේ දේශපාලන සංස්කෘතිය ප‍්‍රතිසංස්කරනය කරනු ඇත.”

මේ සියලු පොරොන්දු ව්‍යාජයකි. සිරිසේන දශක දෙකකට ආසන්න කාලයක් කුමාරතුංග හා රාජපක්ෂ යටතේ ඇමතිවරයෙක් ලෙස සේවය කර ඇත. වැඩකරන ජනතාවගේ සමාජ අයිතීන්ට එරෙහිව ඔවුන් ක‍්‍රමානුකූලව එල්ල කල ප‍්‍රහාරයන්ට පිටුබලය දුන් ඔහු, විශේෂයෙන් බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය රුදුරු වර්ගවාදී යුද්ධය අවධියේදී සිදුකල සෑම අපරාධයකටම සහාය දුන්නේය.

එජාපයට ඇත්තේ ද එවැනිම වූ කම්කරු පන්ති විරෝධී වාර්තාවකි. 1970 ගනන් අග හරියේදී වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යූහකරන න්‍යායපත‍්‍රය මුලින්ම හඳුන්වා දුන් එම පක්ෂය, කම්කරු පන්තිය බෙදීම පිනිස දෙමල විරෝධී වර්ගවාදය ඇවිස්සීමට හිතාමතාම දිග්ගැස්සුනු සිවිල් යුද්ධය ඇවිලවීය. වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය හා සමාජ අයිතීන්ට පහර දීමේදී විපක්ෂ සන්ධානය රාජපක්ෂ ආන්ඩුවට ද වඩා නිර්දය වනු ඇත.

“ශුභසාධන රාජ්‍යය යලි පිහිටුවන” බවට පොරොන්දුවී ඇත ද සිරිසේන, තම ආර්ථික ප‍්‍රතිපත්ති හෙලිදරව්කොට නැත. නොවැම්බර් 29දා එජාප මූලස්ථානය වන සිරිකොතෙහි පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවසීය. “අප ආන්ඩුවක් පිහිටවූ කල අනුගමනය කරනු ඇත්තේ, විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියකි.” මෙය වනාහි, තමා බලයට පත්වුවහොත් වැඩකරන හා පීඩිත ජනතාවගේ ජීවන තත්වයන් වෙත ගැඹුරු කඩාවැදීමක් සිදුකරනු ඇති බවට හා මහ ව්‍යාපාරිකයින්ගේ හා විදේශ ආයෝජකයින්ගේ ලාභ තරකිරීමට කටයුතු කරන බවට ව්‍යාපාරික පැලැන්තියට දුන් සහතිකයකි.

රටේ නිරාවරනයවී ඇති ආර්ථිකය, දිග්ගැස්සෙන ගෝලීය ආර්ථික බිඳවැටීමෙන් පීඩාවට පත්වන තතු හමුවේ, මෙරට පාලක පන්තියේ සෑම කොටසකගේම න්‍යායපත‍්‍රය මෙයයි. රාජපක්ෂගේ ඥාතිමිත‍්‍ර සංග‍්‍රහයෙන් හා අත්තනෝමතික පාලන ක‍්‍රම මගින් තමන් කොන්වී ඇතැයි සිතන දේශපාලන හා ව්‍යාපාරික සංස්ථාපිතයේ කොටස් වෙනුවෙන් විපක්ෂය කථාකරයි.

අවබෝධතා ගිවිසුම විදෙස් පිලිවෙත ගැන කිසිවක් සඳහන් නොකිරීම වැදගත්ය. මෙය විපක්ෂය හා රාජපක්ෂ ආන්ඩුව අතර තියුනු නොඑකඟතාවන්ට මාතෘකාවක්ව තිබේ. 2006දී රාජපක්ෂ යලි ඇරඹූ යුද්ධයට මුලුමනින්ම සහයෝගය දී තිබුන ද එක්සත් ජනපදය, යුද අපරාධ සම්බන්ධයෙන් ආන්ඩුවේ වගකීම, ආන්ඩුව චීනයෙන් ඈත්කර තැබීම සඳහා නරුම ලෙස උපයෝගි කර ගනියි. විපක්ෂය නියෝජනය කරන මෙරට පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් බීජිනය සමග රාජපක්ෂගේ බැඳීම්, එක්සත් ජනපදයේ හා යුරෝපයේ සිය අපනයන වෙලඳපොලවල් අහිමිවීමේ තත්වයකට හා ආර්ථික සම්බාධක ද ඇතුලු දන්ඩන පියවරයන්ට තුඩුදෙනු ඇතැයි බියවෙති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හා එක්සත් ජනපද අනුග‍්‍රහය ඇතිව මේ වසරේ සිදුකරන ලද ජාත්‍යන්තර පරීක්ෂනය මගින් ගෙන ආ හැකි යුද අපරාධ චෝදනා ගැන මාධ්‍යවේදීහු සිරිසේනගෙන් විමසූහ. “උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ යෝජනා කි‍්‍රයාත්මක කරන” බවට ඔහු පොරොන්දු විය. මිලිටරියේ යුද අපරාධයන්ට සුදුහුනු ගෑමට හා ජාත්‍යන්තර විවේචන පිටුදැකීම සඳහා එම කොමිසම පිහිටවූ රාජපක්ෂ පසුව එහි සීමිත නිර්දේශ පවා නොතකා හැරියේය.

එම නිර්දේශ ක‍්‍රියාත්මක කරන බව ප‍්‍රකාශ කිරීම මගින් සිරිසේන, විදෙස් පිලිවෙත වොෂින්ටනය පැත්තට මාරුවීමක් හා ඊට අමතරව මෙරට දෙමල ධනේශ්වරය වෙත කෙරෙන ආයාචනයක් ද ඇඟවුම් කලේය. “දේශපාලන විසඳුමක්” සඳහා වන උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ යෝජනා වලින් එකක් වූයේ, දෙමල ධනේශ්වරයේ නියෝජිතයින් සමග බලය බෙදාගැනීමේ වැඩපිලිවෙලයි.

ඒ අතරම සිරිසේන, මෑතකදී රාජපක්ෂගේ පාලක හවුලෙන් ඉවත්වූ සිංහල-බෞද්ධ අන්තවාදී පක්ෂයක් වන ජාතික හෙල උරුමය සමග වෙනම අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීය. මෙරට ව්‍යවස්ථාවේ බෞද්ධාගමට ප‍්‍රමුඛත්වය හිමිවන වගන්ති එලෙසම තබාගැනීමටත් ෆෙඩරල් ක‍්‍රමයේ ආන්ඩුවකට විරුද්ධ වීමටත් ඔහු පොරොන්දු විය. වෙනත් වචන වලින් කිවහොත්, දෙමල ප‍්‍රභූවට කිසිදු සැලකිය යුතු සහන පිරි නොනමන බවයි. ජාහෙඋ වර්ගවාදීන් සමග හවුල් වෙමින් සිරිසේන, “විවිධ වාර්ගික හා ආගමික ප‍්‍රජාවන් අතර බරපතල අසීරුතාවකට පත්ව ඇති යහ පැවැත්ම” අවසන් කිරීමේ කිසිදු අදහසක් තමන්ට නැති බව පැහැදිලිව සනිටුහන් කලේය.

විපක්ෂ ගිවිසුම වසර දෙකක කාලයක් සඳහා “සියලු පක්ෂවල ආන්ඩුවක්” පිහිටුවීමට එකඟ වෙයි. දැනට රාජපක්ෂගේ හවුල තුල සිටින පක්ෂ ද ඇතුලු සියලු පක්ෂවල ආන්ඩුවක් සලකුනු කරන්නේ, මෙරට දේශපාලන අර්බුදයේ ගැඹුරයි. කම්කරුවන් හා තරුනයින් මත දරුනු නව ආර්ථික බර පැටවීම නිසා විරෝධතා හා සමාජ කැලඹීම් පුලුල්ව පැතිර යනු ඇතැයි පාලක කවයන් තුල පවතින භීතිය ඉන් සලකුනු කෙරේ. “ජාතික එකමුතුවේ ආන්ඩුවක්” යන්නෙහි අර්ථය, කම්කරු පන්තිය තුලින් මතුවන ඕනෑම ප‍්‍රතිරෝධයක්, පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන් ද ඇතුලු පියවර ගනිමින් බිඳහෙලීම පිනිස කොලඹ දේශපාලන සංස්ථාපිතය එකට එකතුවන බවයි.

Share this article: