ශී‍්‍ර ලංකාව: සසප පලාත් සභා මැතිවරන උද්ඝෝෂනයේ ප‍්‍රථම රැස්වීම කොලඹ දී පවත්වයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2014 පෙබරවාරි 22

මාර්තු 29 දා පැවැත්වෙන පලාත් සභා මැතිවරනයේ දී බස්නාහිර පලාතේ කොලඹ දිස්ත‍්‍රික්කයට තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සිය ප‍්‍රථම ප‍්‍රසිද්ධ මැතිවරන රැස්වීම පෙබරවාරි 12 දා කොලඹ දී පැවැත්වීය. මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ දී පැවති රැස්වීමට දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පැමිනි පක්ෂ සාමාජිකයින්, ආධාරකරුවන්, කම්කරුවන්, ගෘහනීන් හා තරුනයෝ සහභාගිවූහ.

කොලඹ දිස්ති‍්‍රක්කය සඳහා අපේක්ෂකයින් 43ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති සසප, අධිරාජ්‍යවාදී ලෝක යුද තර්ජනයට හා ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදියි. සසප දේශපාලන කමිටුවේ දීර්ඝ කාලීන සාමාජිකාවක වන විලානි පීරිස් නායකත්වය දෙන සසප අපේක්ෂකයන් අතරට කම්කරු පන්තිය තුල සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් තහවුරු කිරීමට සටන් වැද ඇති කම්කරුවෝ, තරුනයෝ හා කාන්තාවෝ අයත් වෙති.

රැස්වීම ගොඩනැගීම පිනිස සසප සාමාජිකයන් හා ආධාරකරුවෝ කොම්පඤ්ඤවීදිය හා වනාතමුල්ල ඇතුලු කම්කරු-පීඩිත නිවහන් ප‍්‍රදේශ තුල උද්ඝෝෂනයේ නිරත වූහ. එහි දී දිනපතා වර්ධනය වන තුන්වන ලෝක යුද්ධයක තර්ජනය පිලිබඳව මෙන් ම කොලඹ නගරය ආසියාවේ වානිජ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ සිය වැඩපිලිවෙලේ කොටසක් ලෙස එහි වෙසෙන පවුල් 70,000කට අධික ප‍්‍රමානයක් ඉවත් කිරීමට රාජපක්ෂ ආන්ඩුව ගෙන ඇති පියවර හා ආන්ඩුව වඩ වඩා පොලිස් රාජ්‍ය ක‍්‍රම දෙසට හැරී ගැනීම පිලිබඳව සජීවී සාකච්ඡාවක නිරත වීමට ඔවුහු සමත් වූහ.

රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන මන්ඩල සභික පානිනී විජේසිරිවර්දන මෙවර පලාත් සභා මැතිවරනය පැවැත්වෙන ජාත්‍යන්තර දේශපාලන සන්දර්භය වෙත සභාවේ අවධානය කැඳවීය. ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ආක‍්‍රමනික මැදිහත්වීම් මැද පෙරදිග කලාපයට කේන්ද්‍රගත කර තිබූ පසුගිය දශකයට ආසන්න කාලය තුල චීනයට ආසියාව පුරා නිර්බාධිතව සිය ආනුභාවය පතුරුවා ගැනීමට ඉඩ සැලසී ඇතැයි එක්සත් ජනපද පාලක පන්තියේ කොටස් අතර කනස්සල්ලක් මතුව තිබේ. එම තතු තුල චීනය මිලිටරිමය හා රාජ්‍යතාන්ති‍්‍රක ලෙස වටලමින් එයට එරෙහිව යුද සූදානමක ඉලක්කය සහිතව ඔබාමා පාලනාධිකාරය සිය ආසියාවට හැරීම කි‍්‍රයාවට දමා ඇති බව විජේසිරිවර්දන පෙන්වා දුන්නේ ය.

පානිනී විජේසිරිවර්දන

කොලඹ ආන්ඩුව හා බීජිං තන්ත‍්‍රය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ආර්ථික හා මූලෝපායික සබඳතා කපා දමා රාජපක්ෂ ආන්ඩුව සිය පාර්ශ්වයේ ආනුභාවයට යටත් කරගැනීමේ එල්ලය ඇතිව ඔබාමා පරිපාලනය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ද යුද අපරාධ ද පිලිබඳ චෝදනා එයට එල්ල කරයි. "එක්සත් ජාතික පක්ෂය (එජාප) හා සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග හවුලේ වැඩ කිරීමට ඇති සිය සූදානම දැනටමත් පලකොට තිබෙනවා. නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) යන ව්‍යාජ-වාම පක්ෂ දෙක ද එජාපය සමග එක පෙරමුනකට එලැඹීම හරහා අධිරාජ්‍යවාදය සමග කල්ලි ගැසීමටත් කම්කරු පන්තිය ව්‍යාකූල කිරීමටත් කටයුතු කරනවා. කම්කරුවන් මෙම අවස්ථාවාදී හවුල් ප‍්‍රතික්ෂේප කල යුතු යි. පක්ෂ විශාල ගනනාවක් ඡන්දයට ඉදිරිපත්ව සිටියත් කම්කරුවන්ට විද්‍යාත්මක ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන්නේ සසප පමනයි" යයි විජේසිරිවර්දන කීවේ ය.

සසප අපේක්ෂක කන්ඩායම් නායිකා විලානි පීරිස් 2008 වසරේ දිගහැරුනු 1930 ගනන්වලින් මෙපිට ධනේශ්වර පද්ධතියේ දරුනුම ආර්ථික අර්බුදයට අවධානය යොමු කරමින් සිය කතාව ආරම්භ කලා ය. එය වනාහි හුදු තාවකාලික හා ක්ෂනිකව සමහන් වන අර්බුදයක් නො වේ. කඩා වැටෙන බැංකු හා මූල්‍ය ආයතන ගලවා ගැනීමට ඩොලර් බිලියන ගනන් වැයකල ආන්ඩු රටක් රටක් පාසා අර්බුදයේ බර කම්කරු පන්තියේ කර මත පැටවීමටත් එයට එරෙහිව නැගෙන විරෝධය තලා දැමීමට පොලිස් රාජ්‍ය සැලසුම් කි‍්‍රයාවට දමමින් සිටිති.

විලානි පීරිස්

දකුනු ආසියානු කලාපයේ තිබෙන දහනශීලී තත්ත්වය විස්තර කරමින් පීරිස් මෙසේ පැවසුවාය: "මෑත කාලයේ ඉන්දීය රුපියල සියයට 17කින් ද පාකිස්තාන රුපියල සියයට 14.7කින් ද අවප‍්‍රමානය වී තිබෙනවා. මෙම කලාපය ගෝලීය භූ-දේශපාලන ආතතීන්ගේ හරි මැදට ඇද දමා තිබෙනවා. මේ තත්ත්වය තුල අපගේ මැතිවරන ව්‍යායාමයේ ඉලක්කය ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි." විපාර්ශවික එජාපයට රාජපක්ෂගේ අධිරාජ්‍ය ගැති න්‍යාය පත‍්‍රය සමග මූලික මතභේදයක් නැති අතර එය බලයට පත්වුව හොත් රාජපක්ෂ නැවතූ තැනින් කටයුතු අරඹනු ඇතැයි ඇය කියා සිටියාය.

රැස්වීම ඇමතූ ශ‍්‍රී ලංකාවේ සසජාතශි කැඳවුම්කරු කපිල ප‍්‍රනාන්දු මැතිවරනයට ඉදිරිපත්ව සිටින අන් සියලු පක්ෂ කම්කරු-පීඩිත මහජනයා ඉදිරියේ ඇති සැබෑ දේශපාලන ප‍්‍රශ්න ඔවුන්ගෙන් වසං කිරීමට කටයුතු කරන අයුරු පෙන්වා දුන්නේය. විශේෂයෙන් ම කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන ගැටලු පැන නගින්නේ ලෝක අධිරාජ්‍යවාදයේ පොදු ප‍්‍රහාරයක ප‍්‍රතිඵල ලෙස යයි ඔහු විස්තර කලේ ය. "රාජපක්ෂ ආන්ඩුව සිවිල් යුද සමයේ කල යුද අපරාධ පිලිබඳව ඔබාමා ආන්ඩුව ගෙන එන චෝදනාවල නරුමත්වය එම යුද්ධයට ඇමරිකානු ප‍්‍රමුඛ බටහිර බලයන් පූර්න පිටුබලය දීමෙන් පැහැදිලි වෙනවා. මෙහි දී යලි වතාවක් ප‍්‍රදර්ශනය වන්නේ ඉතිහාසය පුරා ශ‍්‍රී ලංකාව වැනි පසුගාමී රටවල ජාතික ධනේශ්වර පන්තීන් අධිරාජ්‍යවාදීන් ඉදිරියේ පෙන්නුම් කරන බෙලහීනත්වය යි" යනුවෙන් ප‍්‍රනාන්දු පැහැදිලි කලේ ය.

කපිල ප‍්‍රනාන්දු

මිලියන 202ක් වන ලෝකයේ රැකියාවිරහිතයන්ගෙන් මිලියන 75ක් ම අවුරුදු 15-24 අතර තරුනයන් බව ප‍්‍රනාන්දු පෙන්වා දුන්නේය. සමාජ අසමානතාවේ පෙර නුවූ විරූ නැගීම පිලිබඳව අදහස් දැක්වූ ඔහු ලොව ධනවත් ම ප‍්‍රකෝටිපතියන් 2,175 දෙනාගේ වත්කම් ලොව විශාලතම ආර්ථිකයන් දෙක වන එක්සත් ජනපදයේ හා චීනයේ ඒකාබද්ධ වටිනාකමටත් වඩා විශාල යයි සඳහන් කලේ ය.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය යටතේ පවතින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය අලුතෙන් කි‍්‍රයාවට දමා ඇති ඊනියා වාමාංශික කාන්ඩ ගැසීම ද ලෝක පරිමානව වර්ධනය වන කම්කරු පන්තික රැඩිකලීකරනය හමුවේ තරුනයන් හා ශිෂ්‍යයන් අවමංගත කිරීම ඉලක්ක කරගත්තක් බව ප‍්‍රනාන්දු පෙන්වා දුන්නේය.

රැස්වීමේ ප‍්‍රධාන කතාව පැවැත්වූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික කේ. රත්නායක සසප ඉලක්ක කරන්නේ ඡන්ද කිහිපයක් ගරාගැනීම නො වන බව පැහැදිලි කලේ ය. අනෙකුත් පක්ෂවල මැතිවරන වේදිකා, පූච්චානම් හා ව්‍යාජ පොරොන්දු මගින් අරක්ගෙන තිබේ. "එහෙත් අපි කිසිදු පොරොන්දුවක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට අප උත්සාහ කරන්නේ මහජනයාව ඔවුන් මුහුන දෙන සැබෑ ජාත්‍යන්තර ගැටලු මුනගැස්වීමට යි. එය වනාහි කම්කරුවන්, තරුනයන් හා අනෙකුත් පීඩිත මහජනයා අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහිව බලමුලුගැන්වීමේ අරගලයක්."

කේ. රත්නායක

පසුගිය ශත වර්ෂයේ දී අර්බුද ග‍්‍රස්ථ ලෝක ධනේශ්වර පද්ධතිය පන ගැටගසා ගත්තේ මානව වර්ගයාව ලෝක යුද්ධ දෙකකට ඇද දැමීමෙන් බව රත්නායක පැහැදිලි කලේය. වර්තමානයේ ද එම තත්ත්වයට හේතුභූත වූ ධනපති ක‍්‍රමයේ අතිමූලික පරස්පර විරෝධයන් ම ඊටත් වැඩි බලයකින් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවත් දෙවන ලෝක යුද්ධය පුපුරා යන විට හතරවන ජාත්‍යන්තරය හදිසි සම්මේලනයක් කැඳවමින් යුද්ධයට කම්කරු පන්තික ප‍්‍රතිචාරය කෙටුම්පත් කර ගැනීමට ක‍්‍රියාකල ආකාරයත් ඔහු පෙන්වා දුන්නේය. එලඹී ඇති තත්ත්වය විස්තර කරමින් හතරවන ජාත්‍යන්තරයේ නායක ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: "අධිරාජ්‍යවාදය යුරෝපීය සංස්කෘතියේ ඉරනම අවදානමේ හෙලා තිබේ යයි ලෙනින් 1914 නොවැම්බර් 1දා ලිවීය. මේ යුද්ධය අතරතුර සාර්ථක විප්ලව සිදු නො වුනහොත් මානව වර්ගයාගේ පැවැත්ම අනතුරේ හෙලේ. කම්කරුවනි, ලෙනින් පලකල මේ අනාවැකිය සිතේ තබාගන්න. වත්මන් යුද්ධය අහම්බයක් නො වේ. එය ඒ හෝ මේ ඒකාධිපතියාගේ කැමැත්ත උඩ ඇති වූවක් ද නො වේ...එහි සම්භවය සිදු වී ඇත්තේ ජාත්‍යන්තර ධනවාදයේ උවමනාකම්වල ප‍්‍රතිඵලයක් ලෙස යි. නිල වසයෙන් කරන විවිධ කතාවල එල්ලය වන්නේ මහජනයා හිරිවැට්ටවීම යි."

වර්තමානයේ ඔබාමා පරිපාලනය ප‍්‍රමුඛව සූදානම් කරගෙන යන යුද්ධයේ ප‍්‍රතිඵලය වන්නේ න්‍යෂ්ටික අවි භාවිතය හරහා මහජනයා දිගු සීත ඍතුවකට ඇද හෙලීම බව රත්නායක පෙන්වා දුන්නේ ය. අප ජීවත්වන ආසියාකරය එලඹෙන යුද්ධයක ගිනි පුලිඟුව ලෙස පවතී. විශේෂයෙන් ම නැගෙනහිර හා දකුනු චීන මුහුදු ආශ‍්‍රිතව වර්ධනය වන ප‍්‍රතිමල්ලවතා එයට දෙස් දෙයි. චීනයට එරෙහිව ෂින්සෝ අබේගේ නායකත්වය යටතේ ජපානය සිදු කරන ප‍්‍රකෝපකරනයන් පසුගිය වසරේ පමනක් විවෘත ඝට්ටනයක අද්දරට ම කිහිප වතාවක් පැමිනි ආකාරය රත්නායකගේ අවධානයට ලක් විය. 2014 චීනය, 1914 ජර්මනිය සමග සාදෘෂ්‍යයකට ගෙන එමින් අබේ කල ප‍්‍රකාශවල එල්ලය වන්නේ සිය අධිරාජ්‍යවාදී ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා වහංගු කොට නැති වී ගිය සිය ආර්ථික තත්ත්වය යලි ලඟා කරගැනීම සඳහා යුද්ධයක උවමනාව යුක්තියුක්ත කිරීම බව රත්නායක පැහැදිලි කලේ ය.

"ලෝක ආර්ථික අර්බුදය මගින් ධාවිත යුද්ධයේ වාසුලිය තුලට ශ‍්‍රී ලංකාව ද ඇදගෙන තිබෙනවා. රාජපක්ෂ ආන්ඩුව මෙම සත්‍ය කරුනු වසන් කිරීමට කලහැකි සියල්ල කරනවා. ඇති වී තිබෙන සමාජ ධ‍්‍රැවාන්තගත වීම ආවරනය කිරීමට රාජපක්ෂ තන්ත‍්‍රය මහ බැංකුව හා ජනලේඛන දෙපාර්තමේන්තුව සමග එක්ව සංඛ්‍යාලේඛන සංශෝධනය කරනවා" යයි රත්නායක කීවේ පූර්ව යුද තත්ත්වය මැද ආන්ඩුව ක‍්‍රියාත්මක වන ආකාරය විස්තර කරමිනි. නසසපයේ හා එසපයේ ඉතිහාසය ගැන සඳහන් කල රත්නායක විශේෂයෙන් ම නසසප 1970-77 සමගි පෙරමුනු ආන්ඩුවට ආවඩා පසුව යූඑන්පී ආන්ඩුවේ වටමේසයට බඩගෑ ආකාරය සිහිපත් කලේ ය. රාජපක්ෂ ආන්ඩුව මහජන නැගිටීමකට මුහුන දීමට සූදානම් වෙද්දී කිඹුල් කඳුලු හෙලන එජාපය යටතට මහජන විරෝධය ගාල් කිරීමට නැවත වටයකින් නසසප හා එසප සූදානම් වෙති.

රැස්වීම අවසානයේ මූලාසනයෙන් කල ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් සභාවෙන් රුපියල් 5000කට වැඩි මුදලක් සසප මැතිවරන අරමුදල සඳහා එකතු වූයේ එහි මැතිවරන උද්ඝෝෂනය පිලිබඳ ඔවුන්ගේ උද්යෝගය පිලිබිඹු කරමිනි.

Share this article: