අවිශිබම සිසුන් ව්‍යාජ විරෝධතාවලට කොටු කිරීමට අලුත් පෙරමුනක් හදයි

සුජීව අමරනාත් විසිනි, 2014 පෙබරවාරි 10

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) ජනවාරි 27 දා "නව ලිබරල් ධනවාදයට හා ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙලගැස්ම” යන තේමාවෙන් කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ දී රැස්වීමක් පැවැත්වීය. ව්‍යාජ-වම්මුන් හා ධනපති ගැති කන්ඩායම් පිරිවරාගෙන පැවැත්වු මෙම රැස්වීම හා එහි තේමාව සරසවි සිසුන් නොමග යවා ධනපති ක‍්‍රමය තුල කොටුකිරීමට ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට විරුද්ධව දේශපාලන අරගලයක් කිරීමට ඔවුන් යොමු කිරීම වැලක්වීමට ද අවිශිබම ඉටු කරන ක‍්‍රියා කලාපයේ අලුත් අවධියක් සලකුනු කරයි.

අවිශිබම දැන් මෙහෙයවන්නේ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) දේශපාලනයට මුලුමනින් දායකව සිට අවුරුදු තුනකට පමන පෙර ඉන් බිඳී ගිය කන්ඩායමක් විසින් පිහිටුවා ඇති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප)නමැති ව්‍යාජ-වාම සංවිධානයයි. මෙම බිඳීම සිදුවන තෙක් අවිශිබම ක‍්‍රියා කලේ ජවිපෙ අන්ඩක් ලෙසයි.

අවිශිබම හා පෙසප නියෝජිතයන්ට අමතරව රැස්වීමට කැඳවා සිටියවුන් අතර ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂයේ (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) නියෝජිතයෝ ද ලංකා ගුරු සංගමය (ලංගුස), රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිස), විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆූටා) හා සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය (සලධීජවෘස) යන වෘත්තීය සමිතිවල නිලධරයෝ ද කොලඹ දේශපාලන සංස්ථාපිතයට එකාග‍්‍රවී සිටින සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයෝ ද වුහ.

රැස්වීමේ මෙම වේදිකාව "පෙලගැස්මේ” ස්වභාවය ප‍්‍රදර්ශනය කලේය. නසසප හා එසප ලංකාවේ සියලුම ධනපති පක්ෂ සමගම පාහේ අවස්ථාවාදී හවුල් හරහා ගමන් කර දැන් දක්ෂිනාංශික එජාපය සමග පෙරමුනුවල භජනය කරයි. මෙම පක්ෂ සමග එක්ව ලංගුස, රහෙනිස, ෆූටා හා ධීවර සමිතිය එජාපයට සමීපවී සිටිමින් කම්කරුවන් හා වෘත්තිකයන් පාවා දීමේ අත්දැකීම්වලින් පරිපුර්නව සිටිති. ජවිපෙ නියෝජිතයන් කැඳවීමෙන් අවිශිබම හා පෙසප පෙන්නුම් කලේ ලේ නෑයන්ගෙන් තමන් දුරස්ථ නැති බවයි.

අවිශිබම සිසු-ජන පෙලගැස්ම වේදිකාව පෙසප විසින් සංවිධානය කරමින් සිටින ඉහතකී පක්ෂ, සමිති හා ධනපති කන්ඩායම් යලි-කාන්ඩගැස්වීමට ගෙන යන ප‍්‍රයත්නයේ කොටසකි. සමාජවාදී සමානතා පක්ෂය පමනක් මෙම පෙරමුනට එක් වන ලෙස පෙසප කල ආරාධනය ප‍්‍රතික්ෂේප කලේ එය කම්කරු පන්තියට එරෙහිව අටවන උගුලක් බව පෙන්වා දෙමිනි.

රැලිය ඇමතූ අවිශිබ කැඳවුම්කරු වන සංජීව බන්ඩාර අලුත් පෙරමුන සාධාරනීකරනය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කම්කරුවන්, ගොවීන්, තරුනයන් හා ශිෂ්‍යයන් මත එල්ල කරන ප‍්‍රහාර වලට එරෙහිව වර්ධනය වන මහජන විරෝධය ගසාකෑමට උත්සාහ කලේ ය. "සෑම පුරවැසියෙකුට ම හෙට දවස ගැන භයානක අනතුරක් නිර්මානය වෙලා තිබෙනවා. නව ලිබරල් ධනවාදය සහ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පාලනය පරද්දන්න මෙවැනි ව්‍යාපාරයක ඓතිහාසික අවශ්‍යතාවක් ඉස්මතු වෙලා තිබෙනවා” යයි බන්ඩාර කීවේය. මින් පෙර ද මෙවැනි ව්‍යාපාර ගොඩනැගුනේ කිසියම් එක් අවශ්‍යතාවක් වෙනුවෙන් පමනක් බව කී ඔහු මෙවර තමන් යෝජනා කරන්නේ එක් අරමුනක් වෙනුවෙන් කරන එවැනි "හුදකලා අරගල” නොව "සියලු දෙනා එක මිටකට ගොනු කල” පලල් අරගලයක් බව කීවේ ය.

බන්ඩාර ද අනෙකුත් කථිකයන් ද "ලිබරල් ධනවාදයට විරුද්ධව සටන් කරන බවට පූච්චානම් දෙඩුවත් සටන් කරන්නේ මොන ක‍්‍රියාමාර්ගය මත දැයි සඳහන් නොකිරීමට පරිස්සම් වුහ.

අවිශිබම පසුගිය කාලයේ ක‍්‍රියා කලේ රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් සිසු ඉල්ලීම් විසඳා ගතහැකියයි කියමින් විරෝධතා අරගල වලට සිසුන් කොටු කිරීමටයි. ඊට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂයේ තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුයෝ හා ශිෂ්‍යයෝ සිසුන් වෙත ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලේය. එම ක‍්‍රියාමාර්ගය නම්, රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාවට දමන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙල ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කලයුතු බවයි.

අප ඉල්ලා සිටියේ සිසුන් අවිශිබම හා පෙසප ඇතුලු ව්‍යාජ වම්මුන්ගේ හා වෘත්තීය සමිති වල හිරකිරීම් කපා ගෙන ධනවාදය පෙරලා දැමීමේ ශක්‍යතාව ඇති ප‍්‍රධාන විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය සමග එක්ව අරගල කරන ලෙසයි. එම ක‍්‍රියාමාර්ගය කෙරෙහි කුපිතව අවිශිබම නායකයෝ සසජාතශි පත‍්‍රිකා උදුරා ගනිමින් හා බෙදා හැරීම වලක්වමින් පහර දීමට තර්ජනය කලහ. පෙසප හා අවිශිබම සමාජවාදී ප‍්‍රතිපත්ති මත සටන් කිරීමට විරුද්ධය. නව ලිබරල් ධනවාදයට එරෙහිව සටන් කිරීම පිලිබඳ ඔවුන්ගේ කතාව බොරුවක් වන්නේ මේ නිසාය. කම්කරු පන්තිය වෙත හැරීමට එරෙහිව අවිශිබම හැරී ඇත්තේ තමන් බඳුම පට්ට ගැසුනු ව්‍යාජ වම්මුන් හා වෘත්තීය සමිති වෙතය.

සරසවි අධ්‍යාපනය පුද්ගලීකරනය සමස්ත ප‍්‍රහාරයක කොටසකි. සරසවි අධ්‍යාපනය ඇතුලු කප්පාදුවට ලක්වෙමින් පවතින නිදහස් අධ්‍යාපනය රැකගෙන වැඩිදියුනු කල හැක්කේ සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දැමීමෙනි. සමාජවාදය සඳහා මෙම අරගලය ජාත්‍යන්තර අරගලයක කොටසක් බව සසජාතශි පෙන්වා දෙයි.

ධනපති එජාපයට කත් අදින්නෙකු ලෙස කුප‍්‍රකට නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න රැස්වීමට පැමින සිටි සිසුන් ඉදිරියේ වීරයෙකු ලෙස ඉස්මතුවීමට තැත් කරමින් "ධනපති ක‍්‍රමය වෙනස් කරන්නට පුළුවන් නිර්ධනීන්ට පමනකි” යි කීවේය. හරියටම ඊට දිනකට පසු, කරුනාරත්න ජනවාරි 28 දා දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් ආන්ඩුවට එරෙහි මහජන කෝපය ගසාකෑමට කොලඹ සංවිධානය කර තිබුනු උද්ඝෝෂනයකට සහභාගී වුයේය. මින් පෙන්නුම් කෙරුනේ අවිශිබම-පෙසප ගොඩනගන ඊනියා සිසු-ජන පෙලගැස්මේ අත්වැල එජාපය දක්වාම දික්වී ඇති එකක් බවයි.

ජවිපෙ වෙනුවෙන් කතා කලේ නලින්ද ජයතිස්ස නමැත්තාය. රාජපක්ෂ වෙනස් කිරීමෙන් පලක් නැතැයි ද ක‍්‍රමය වෙනස් කල යුතුයයි ද ඔහු කීවේය. ආන්ඩුව විපක්ෂයක් නැතැයි කියන බව කී ඔහු විකල්ප විපක්ෂයක් ඕනෑ බව සඳහන් කලේය. ඔහු අවසන් කලේ "එකක් මැතිවරන පෙරමුන. අනෙක සටන් පෙරමුන. අපි ජයග‍්‍රහනය කල හැකි සටන් කරන්න ඕනා” යයි ප‍්‍රකාශ කරමිනි.

මේ වාචාල කතාවල තේරුම මහජනයා ධනපතික‍්‍රමය තුලට කොටුවී ලබාගත හැකි දෙයක් ඇත්නම් ලබාගෙන ජීවත් විය යුතු බවයි. කොලඹ දේශපාලන සංස්ථාපිතයේ කොටසක් ලෙස තහවුරු වී සිටින ජවිපෙ ධනපති ආන්ඩුවක ද කොටස්කාරයෙක් වී සිටියේය.

පෙසප මෙන්ම අවිශිබම හදිසියේ "සිසු-ජන පෙලගැස්මක්” ගැන කතා කරන්නේ ඇයි? එකකට පසු එකක් විරෝධතා පවත්වමින් තමන්ගේ ශක්තිය හෙම්බත් කල මෙම සංවිධානය ගැන විශ්වාසය බිඳී සක්‍ය විකල්ප ක‍්‍රියාමාර්ගයක් වෙත සිසුන් හැරෙනු ඇතැයි බියෙනි. පෙසප මෙම සංවිධාන සමග ම එක්ව පලල් වාම පෙරමුනක් නමින් උගුලක් ඇටවීමට කැසකවමින් සිටියි. එම පක්ෂය මේ සඳහා ආදර්ශයට ගන්නා බව ප‍්‍රකාශකර ඇත්තේ ග‍්‍රීසියේ සයිරිසා සංවිධානයයි.

සයිරිසා ග‍්‍රීසියේ ව්‍යාජ වම්මුන් හා ධනපති කන්ඩායම්වල සභාගයකි. එය ග‍්‍රීසියේ ධනපති ක‍්‍රමය රැකීමේ ද අධිරාජ්‍යවාදී යුරෝපා සංගමය තුල එරට පවත්වා ගැනීමේ ද ක‍්‍රියාමාර්ගයක් ගෙනයයි. ධනවාදයේ රුදුරු ප‍්‍රහාරවලට ගොදුරුවී ඇති ග්‍රීසියේ කම්කරු පන්තිය හා අනෙකුත් ජන කොටස් වාම කතා වලින් අලාමුලා කොට ධනපති පන්තියේ ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රහාරවලට ඉඩ සලසා දීම එහි ක‍්‍රියා කලාපයයි.

අවිශිබම හා පෙසප ඒ අනුව යමින් ඉදිරිපත් කර ඇති අලුත් උප්පරවැට්ටියට එරෙහි වෙමින් සසජාතශි ක‍්‍රියාමාර්ගයට එක්වී එම සංවිධානය ගොඩනැගීමට සම්බන්ධවන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලමු.

Share this article: