එජාපය ප‍්‍රමුඛ විපක්ෂයේ උද්ඝෝෂනය ආන්ඩුවට එරෙහි මහජන විරෝධය ගසාකෑමේ තැතක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2014 පෙබරවාරි 6

දක්ෂිනාෂික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මූලිකත්වයෙන් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එකමුතුව විසින් ජනවාරි 28 දා කොලඹ හයිඩ් පිටියේ ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂන රැස්වීමක් පැවැත් වීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ පුලුල් අරගල පැන නැංවීමට තුඩුදෙතැයි භීතියෙන් පෙලෙන දක්ෂිනාංශික එජාපය අනෙකුත් විපක්ෂවල ආධාරයෙන් මහජන විරෝධය ගසාකෑමේ දැනුවත් උත්සාහයක් ලෙස මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුනි.

එජාපය බලයට ගෙන ඒමට කැපවූ ගැත්තෙකු වන වික‍්‍රමබාහු කරුනාරත්න නායකත්වය දෙන ව්‍යාජ වාම නව සම සමාජ පක්ෂය, (නසසප), දෙමල ධනපති සංවිධානයක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන (ප‍්‍රජාපෙ), සිංහල වර්ගවාදී කල්ලියක් වන නව සිහල උරුමය, උද්ඝෝෂනයට රැස්වූ පක්ෂ අතර වූහ. එජාපයට කත් අදින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බඳු ආන්ඩුවේ නොවන සංවිධානයන්ට අමතරව සාධාරන සමාජයක් සඳහා ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති, මාදුළුවාවේ සෝභිත භික්ෂුව නායකත්වය දෙන කන්ඩායම ද විරෝධතාවට එක්ව සිටියේ ය.

වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ප‍්‍රප) ද උද්ඝෝෂනයට එක්වන බව කලින් වාර්තා වී තිබුනත් ඒවා සහභාගි නොවීය. ෆොන්සේකාගේ පක්ෂය එදින ම වෙනම උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුනි.

"මර්දනයට, සමාජ පාදඩකරනයට, දුෂනයට හා ඒකාධිපති ජනාධිපති ක‍්‍රමයට එරෙහිව පෙල ගැසෙමු” යන වංචනික කඩතුරාවක් උද්ඝෝෂනයේ තේමාව ලෙස ප‍්‍රසිද්ධ කර තිබුනි. රැස්වීමට පෙරාතුව හයිඩ් පිටියට පැමිනෙන පා ගමන් තුනක් සංවිධානය කර තිබූ අතර ඔවුන් රැගෙන ආ බැනර් හා පුවරුවල බඩු මිල, අධික බදුබර ආදිය ගැන සටන් පාඨ සඳහන් වූ නමුත් මූලිකව ඉස්මතුකර තිබුනේ රාජපක්ෂ ආන්ඩුවේ දුෂනය, මත්ද්‍රව්‍ය හා කැසිනෝ ජාවාරම ගැන ය.

පක්ෂ හා කන්ඩායම් රොත්තක් එක්වී උද්ඝෝෂනය පැවැත්වුවත් ඊට එක්ව සිටියේ සුලු පිරිසකි. අවසානයේ පැවති රැස්වීමට 3,000ක් පමන සහභාගි වූහ. ආන්ඩුවෙන් අතොරක් නැති ප‍්‍රහාර එල්ල වෙද්දී වැඩ කරන ජනයා අතර කැකෑරෙන කෝපය මධ්‍යයේ පැවැත්වුනු උද්ඝෝෂනයට සැලකියයුතු සහයෝගයක් දිනා ගැනීමට නොහැකි වීම පෙන්නුම් කරන්නේ එජාපය ප‍්‍රමුඛ මෙම පක්ෂ හා සංවිධාන මහජනයා අතර අපකීර්තියට පත්ව ඇති තරම යි.

උද්ඝෝෂනය මේ අවස්ථාවේ සංවිධානය කර තිබුනේ කම්කරු පීඩිත ජනයා ගැන අනුකම්පාවකින් නොව බස්නාහිර හා දකුනු පලාත් සභා ඡන්දය මාර්තු අග පැවැත්වීමට ආන්ඩුව කි‍්‍රයා කරන තත්වයේ දී මහජනයාගේ ඡන්ද ගසාකෑමේ ඉලක්කයෙනි.

"දේශපාලන මතභේද අමතක කර අද අපි සියලු දෙනා ම මෙතැනට පැමිනියේ රාජපක්ෂ ඒකාධිපති රෙජීමය රට විනාශය කරා ගෙන යන ගමන වහා ම නතර කිරීම සඳහා” යයි කී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ එලඹෙන පලාත් සභා මැතිවරනයේ දී වෙන වෙන ම තරග කර සිංහල අවුරුද්දෙන් පසු "දැවැන්ත උද්ඝෝෂනයකට පාරට බහින්න සුදානම් වෙන” ලෙස ඉල්ලා සිටියේ ය. වික‍්‍රමසිංහ කලකිරුනු භාෂාවෙන් කථා කලේ ජවිපෙ හා සරත් ෆොන්සේකාගේ පක්ෂය උද්ඝෝෂනයට එකතු නොවීම නිසා ය.

පසුගිය වසර කිහිපය තුල එජාපයේ මූලිකත්වයෙන් පැවති හැම විරෝධතා රැස්වීමකදී ම වික‍්‍රමසිංහ "සටන් කරන” බවට කොතෙකුත් කයිවාරු ගැසීම් කර ඇත. ඒ මහජනයාගේ ඇස්වලට වැලි ගැසීම සඳහා ය. මේ ආන්ඩුවේ ආර්ථික හා දේශපාලන පිලිවෙත් සමග කිසිදු මුලික මතභේදයක් වික‍්‍රමසිංහට හෝ එජාපයට නැත. ඒ පිලිවෙත් ක‍්‍රියාවට දැමීම ආරම්භ කෙරුනේ 1977 බලයට පැමිනි එජාප ආන්ඩුව විසිනි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝගයන්ට අනුව ආර්ථික ප‍්‍රතිව්‍යුහකරනය හා සමාජ සුබසාධන කප්පාදුව එම එජාප ආන්ඩුව යටතේ ආරම්භ කෙරුනේ ය. විධායක ජනාධිපති ක‍්‍රමය, දෙමල විරෝධී යුද්ධය, හදිසි නීති පාලනය, මැර කන්ඩායම් හා අර්ධමිලිටරි බලකායන් ද නීතිවිරෝධී අතුරුදහන් කිරීම් ද ක‍්‍රියාවට දැමුනේ එම කම්කරු විරෝධී වැඩපිලිවෙලට එරෙහි වැඩකරන ජනතාවගේ විරෝධය මැඩලීමේ එල්ලය ඇතිවය. වික‍්‍රමසිංහ ඒ ආන්ඩුවේ අගමැතිවරයෙක් හා ප‍්‍රධාන ඇමතියෙක් ලෙස මේ සියල්ලට සහයෝගය දුන්නේය.

රාජපක්ෂ ආන්ඩුව කරන්නේ ධනපති පාලක පන්තියේ ගැඹුරු වන අර්බුදය තුල මේ දුෂ්ට හා ප‍්‍රතිගාමී වැඩපිලිවෙල වඩාත් ශක්තිමත් කර පෙරට ගෙන යාමකි.

1994න් පසු බලයට පත් වූ, චන්ද්‍රිකා කුමාරතුංග හා වර්තමාන ජනාධිපති රාජපක්ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වූ නමුත්, ඒ හැම කෙනෙක් ම පොරොන්දු කඩකල බව මාදුළුවාවේ සෝභිත භික්ෂුව චෝදනා කෙලේ ය. "මේවනවිට රට ගමන් කරමින් සිටින මාවත වෙනස් දිසාවකට හැරවිය යුතුයි. ඒ සඳහා සියලු බලවේගයන් එක වේදිකාවකට ගොඩවීමට බල කරමින් තිබෙනවා. සියලු ජාතීන් ඒකාබද්ධ සටනකට අවතීර්න විය යුතු”යයි ඔහු කීවේය.

සෝභිත දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට සහයෝගය දුන් බෞද්ධ සංඝ ප‍්‍රභූවේ ප‍්‍රමුඛයෙකි. දේශපාලන සංස්ථාපිතයේ කොටසක් මෙන් ම බෞද්ධ සංඝ ප‍්‍රභූවේ කොටසක් ද රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව වැඩකරන ජනතාවගේ බලගතු සමාජ අරගල පුපුරායාම කෙරෙහි භීතියට පත් ව සිටි.

එජාපයේ දක්ෂිනාංශික වැඩ පිලිවෙලට මුලුමනින්ම සහයෝගය දෙන්නෙකු වන නසසප නායක කරුනාරත්න "පක්ෂ භේද අමතක කරලා උද්ඝෝෂනය සාර්ථකව පැවැත්වීමට හැකි වීම ජයග‍්‍රහනයක්” යයි ආවැඩුවේය. කරුනාරත්න රැස්වීමේදී පෙරට ආවේ කම්කරුවන් හා තරුනයන් ව්‍යාකූල කිරීමට අන්ත ප‍්‍රතිගාමී අදහස් ප‍්‍රචාරය කරන්නෙකු ලෙස ය.

ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව ජාත්‍යන්තර බැංකු කාරයන්ගෙන් නය ගැනීම කරුනාරත්න පාවිච්චි කලේ ප‍්‍රතිගාමී දේශපේ‍්‍රමය වැපිරීමට යි. "සදාදරනීය මාතෘභූමිය ලේ හා කඳුලු ගංගාවකින් නැහැවූ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරව නය ගෙන රට නය කන්දකට යට කරලා”යයි ඔහු සඳහන් කලේ ය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප) 1956 බලයට ඒමට තැනූ සිංහල වර්ගවාදයෙන් විස කැවූ "සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු පංච මහා බලවේගය නම් වූ ව්‍යාපාරය රාජපක්ෂගේ ශී‍්‍රලනිප ප‍්‍රමුඛ සන්ධානයේ නැතැ”යි කරුනාරත්න ආඩපාලි කීවේය.

නසසප නායකයා කම්කරු පන්තිය වාර්ගිකව භේද බින්න කර පහර දීමට තැනූ එබඳු ව්‍යාපාර ද හුවා දක්වමින් කි‍්‍රයා කරන්නේ වික‍්‍රමසිංහ හා එජාපය රාජපක්ෂටත් එහා ගිය "දේශපේ‍්‍රමීන්” ලෙස පෙන්වා දෙමින් බෞද්ධ භික්ෂුන් ද ඇතුලු ප‍්‍රතිගාමී වර්ගවාදී ආගම්වාදී කන්ඩායම් එජාපය පිටුපස යලි පුලුල්ව පෙල ගස්වා ගැනීමට උදව් දීම සඳහා ය.

හුදෙක් රාජපක්ෂ ආන්ඩුවේ දුෂනය, සදාචාරය කෙලසීම හා මර්දනය ගැන මේ පක්ෂ හා සංවිධාන කරන අවධාරනයේ එල්ලය ආර්ථික කප්පාදු පිලිවෙත් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර පිටුපසින් පවතින සැබෑ හේතුන් කම්කරු පීඩිත ජනයාගෙන් වසන් කිරීමයි. ආන්ඩුවේ ප‍්‍රහාරවල මූලයන් ඇත්තේ තීව‍්‍ර වන ලෝක ධනවාදයේ අර්බුදය හා එහි ප‍්‍රතිඵලයක් ලෙස වඩ වඩා ගැඹුරුවන ශ‍්‍රී ලංකාවේ ධනපති ක‍්‍රමයේ ආර්ථික හා දේශපාලන අර්බුදය තුල ය.

ලෝක ධනවාදී අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට හැම රටකම ධනපති පාලක පන්තීන් ක‍්‍රියාවට බැස සිටිති. කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට පහර දෙමින් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ඝාතනය කර පොලිස් රාජ්‍ය ඇටවීමේ දිසාවට සැම රටකම පාලක පන්ති පියවර ගනිමින් සිටිති. රාජපක්ෂ ආන්ඩුව මේ රට තුල ක‍්‍රියාවට දමන්නේ එම පිලිවෙත් ය. එජාපය බලයට ආවත් වික‍්‍රමසිංහ පටන් ගනු ඇත්තේ රාජපක්ෂට නතර කිරීමට සිදුවූ තැනින් ය.

Share this article: