එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් පැවැත්වීමේ තර්ජනය එල්ල කරයි

US threatens international probe into Sri Lankan war crimes

දීපාල් ජයසේකර විසිනි, 2014 ජනවාරි 20

ලෝක යුද අපරාධ පිලිබඳ ඇමරිකා එක්සත් ජනපද විශේෂ තනාපති ස්ටීවන් රැප්, සිය දින පහක ශ‍්‍රී ලංකා සංචාරය තුලදී, බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධව ගෙන ගිය වර්ගවාදී යුද්ධයේ අවසන් අදියරෙහි මිලිටරිය විසින් සිදු කල, යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා පිටුබලය සැපයීමට වොෂින්ටනයේ සූදානම ප‍්‍රබල ලෙස ඇඟවුම් කලේය.

ජනවාරි 7 දා කොලඹදී දෙමල ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් මුන ගැසුනු රැප්, මාර්තු මස ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සැසි වාරය තුලදී එක්සත් ජනපදය වඩාත් ප‍්‍රබල යෝජනාවක් ඉදිරිපත් කරන බව ඇඟවී ය. ආන්ඩුව යුද අපරාධ පිලිබඳව කිසිදු පියවරක් ගෙන නැති බව ද "එනිසා ඊලඟ පියවර, එනම් ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා කැඳවුම් කිරීම ගැන එක්සත් ජනපදය සලකා බලන බව ද” රැප් සුමන්දිරන් සමග පැවසූ බව නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස් හි වාර්තා විය.

මේතාක් ආන්ඩුවේ නිල වසන් කිරීම් පිලිබඳ නිහඬ පිලිවෙතක් අනුයමින් සිටි එක්සත් ජනපද (එජ) ආස්ථානයේ සැලකිය යුතු වෙනසක් මෙවන් පියවරක් මගින් සලකුනු කෙරේ. ජාත්‍යන්තර පරීක්ෂනයක දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු ආන්ඩුවේ සහ මිලිටරියේ ජ්‍යෙෂ්ඨ නායකයන් වගකීමට බැඳී සිටින, මිලිටරියේ යුද අපරාධ වල පරිමාව එලිදරව් වීමේ තර්ජනය පවතී.

මානව හිමිකම් කවුන්සිලයේ කලින් වසර වල සැසි වාරයන්හි දී මෙරට සම්බන්ධ යෝජනා දෙකකට අනුග‍්‍රාහකත්වය දැක් වූ එජ ය, යුද අපරාධ පිලිබඳ කාරනාව ගසාකමින් ආන්ඩුවට එරෙහි පීඩනය දැඩි කරයි. පසුගිය මාර්තු මාසයේ දී එජය පිටු බලය දුන් යෝජනාවෙන්, ආන්ඩුව ම පත් කල උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ (LLRC) යෝජනා ක‍්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නේය.

එක්සත් ජනපදය ද ඇතුළු මහ බටහිර අධිරාජ්‍යවාදී රටවලින් එල්ල කෙරෙනු විවේචන මගහැර, ආන්ඩුවට සුදු හුනු ගෑමේ උත්සාහයක් ලෙස 2010 දී රාජපක්ෂ එම කොමිසම පිහිටුවන ලදී. සන්නද්ධ කන්ඩායම් නිරායුධ කිරීම, අතුරුදහන් කිරීම් සහ අධිකරන-බාහ්‍ය (අධිකරන-බාහිර) ඝාතන සොයා බැලීම, දෙමල ධනපති ප‍්‍රභූව සමග බලය බෙදා ගැනීම ආදිය ඇතුලත් සීමිත යෝජනා පවා රාජපක්ෂ ආන්ඩුව විසින් හමස් පෙට්ටියට දමන ලදී.

යුද්ධයේ අවසන් මාසවල දී අවම වසයෙන් 40,000 ක් දෙනා මිලිටරිය විසින් ඝාතනය කරනු ලැබීය යි එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කරයි. ජනතාව "ත‍්‍රස්තවාදීන්”ගෙන් බේරා ගැනීම සඳහා හමුදාව "මානුෂීය මෙහෙයුම්” වල යෙදුනු බව නරුම ලෙස කියා සිටිමින් රාජපක්ෂ යුද අපරාධ සිදු කෙරුන බව තරයේ ප‍්‍රතික්ෂේප කරයි.

දෙමල ජනතාවට එරෙහි යුද්ධයේදී, රාජපක්ෂ ආන්ඩුවට එජ යේ පූර්න සහාය ලැබුනි. එනමුදු 2009 මැයි මස එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් පසු ඔබාමා පාලනය, ආන්ඩුව චීනයෙන් ඈත් කර එජ ට වඩාත් සමීප කර ගැනීමට පීඩනය යෙදීම පිනිස යුද අපරාධ පිලිබඳ චෝදනා, යොදා ගනී.

රැප් ගේ චාරිකාව පිලිබඳව එජ තානාපති කාර්යාලය නිකුත්කල නිවේදනය ජාත්‍යන්තර පරීක්ෂනයක් ගැන සඳහන් නොකල නමුත් ඔහු, "යුද්ධය අවසානයේ දී සිදුවූ දෑ ද ඇතුළු බරපතල මානව හිමිකම් කඩකිරීම් සහ ජාත්‍යන්තර මානව නීති කඩකිරීම් පිලිබඳ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තා වලට සවන් දුන් බව” සටහන් කලේය. "මෙම සන්දර්භය තුල, සත්‍යය හෙලිදරව් කර ගැනීම සඳහා ස්වාධීන සහ විශ්වාස කටයුතු පරීක්ෂන පැවැත්වීමත්, අවශ්‍ය අධිකරන පියවර ගැනීම සඳහා මෙරට ආන්ඩුව උනන්දු කරවන බවත්” එම නිවේදනය වැඩි දුරටත් සඳහන් කලේය.

උතුරේ පුදුමාතලන්හි පිහිටි ශාන්ත අන්තෝනි පිටිය අසලදී ගත් රැප් සහ ඇමරිකානු තානාපති මිෂෙල් සිසන් ගේ ඡායාරූපය "යුද හමුදා ෂෙල් ප‍්‍රහාර පවුල් සිය ගනනක් මරා දමයි” යන ශීර්ෂය යටතේ තානාපති කාර්යාලය තම නිල ට්වීටර් පිටුවෙහි (අන්තර්ජාලයේ) පල කරන ලදී. පුදුමාතලන් යනු මිලිටරිය තම අවසන් ප‍්‍රහාරය දියත් කල ස්ථානයයි. ආන්ඩුවේ විරෝධය පෑම් නොතකමින් එජ තානාපති කාර්යාලය ඡායාරූපය ඉවත් කර ගැනීම ප‍්‍රතික්ෂේප කල අතර ට්වීටර් පනිවිඩය සඳහා ඔවුන් ගේ නිල අනුමැතිය පල කලේය.

රැප් යාපනයට ගිය අතර එහිදී පලාතේ ආන්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් සභ පලාත් සභික ආනන්ති සසීදරන්, කතෝලික බිෂොප්වරුන් දෙදෙනෙක් හමු විය. තව ද ඔභ්, මිලිටරිය සමග කිට්ටුවෙන් වැඩ කරන ආන්ඩු පක්ෂයේ මැරයන්ගේ ප‍්‍රහාර වලට නැවත නැවතත් ලක් වූ, TNA පක්ෂපාතී උදයන් පුවත් පත් කාර්යාලයට ද යෑම සැලකිය යුතුය.

ජනාකීර්න පෙදෙස් තුල පොකුරු බෝම්බ සහ රසායනික අවි භාවිතා කලේ ද යන්න ඇතුළු යුද අපරාධ පිලිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂනයක් තමා එජ තානාපති ගෙන් ඉල්ලා සිටි බව රදගුරු රායප්පු ජෝෂප් වාර්තාකරුවන්ට පැවසීය.

දෙමල ජනයා වැඩිපුර වාසය කරන උතුරු නැගෙනහිර පලාත් ඒකාබද්ධකර ඒ සඳහා වැඩි පරිපාලන බලතල පවරා දෙන බලය බෙදාගැනීමේ ගනුදෙනුවක් සඳහා, රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යොදන ලෙස, TNA ය, බිෂොප්වරු සහ විදේශගත එල්ටීටීඊ කොටස් ඇතුළු දෙමල ප‍්‍රභූව, එජ ය ප‍්‍රමුඛ බටහිර රටවලින් ආයාචනය කරති.

දකුනු සහ මධ්‍යම ආසියාව සඳහා එජ සහකාර රාජ්‍ය ලේකම් නීසා බිස්වාල් දේසායි, නව දිල්ලියට යෑමෙන් පසුව, පසුගිය සතියේ ලංකාවට පැමිනියාය. ඇගේ ඉන්දියානු සංචාරයේ එක් අරමුනක් වූයේ, UNHRC ට ඉදිරිපත් කරන එජ යෝජනාවකට එරට සහයෝගය ලබා ගැනීමයි.

එජ මෙන්ම ඉන්දියානු සංස්ථාපිතය ද මෙරට තුල වැඩෙන චීන ආනුභාවය ගැන සැලකිලිමත්ය. චීනය ශ‍්‍රී ලංකාවට වැඩිපුර ම නය සහ ආධාර දෙන රට මෙන්ම ප‍්‍රමුඛතම ආයුධ සපයන්නෙක්ද වී ඇත. රාජපක්ෂ පසුගිය ජූනියේ දී චීනය සමග මූලෝපායික ගිවිසුමක් අත්සන් කල අතර නිදහස් වෙලඳ ගිවිසුමක් සදහා සාකච්ඡුාවල යෙදී සිටී.

රැප් ගේ සංචාරය කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රතිචාරය පරිස්සම් සහගත විය. යුද අපරාධ පිලිබඳව පැවැත්විය හැකි පරීක්ෂනයකට ඇති බිය නිසා එජ ය ප‍්‍රමුඛ බටහිර බලවතුන් සමග කිට්ටු සබඳකම් වර්ධනය කර ගැනීමට උත්සුක වන අතරම ආන්ඩුව, චීනය සමග වාසිදායක මූල්‍ය සබඳතා පවත්වා ගැනීමට උනන්දු වේ.

අධිකරන අමාත්‍ය රවුෆ් හකීම් "ශ‍්‍රී ලංකාව පිලිබඳ සිය ස්ථාවරය යලි සලකා බලන ලෙස ද රටේ සංහිදියාව ඇති කිරීමේ උත්සාහයට සහාය දෙන ලෙස” ද වොෂින්ටනය උනන්දු කරවීය. "ශ‍්‍රී ලංකාවේ සංහිදියාව ඇති කිරීම සඳහා සත්‍ය කොමිසම (දකුනු අප‍්‍රිකාවේ) වැනි විකල්ප යාන්ත‍්‍රනයන් කෙරෙහි උනන්දු කරවීම පිලිබඳව සලකා බලන ලෙස” හකීම් එජට ආයාචනය කල බව චීනයේ දිනපතා පලවන ෂින්හුවා වාර්තා කලේය.

"ත‍්‍රස්තවාදී” එල්ටීටීඊය පැරදවීම ගැන ශ‍්‍රී ලංකාවට හිරිහැර කරන ගමන්, තමන්ම සිදුකල මානව හිමිකම් කඩකිරීම් පිලිබඳව නොසලකා "දෙබිඩි පිලිවෙත්” අනුගමනය කරන්නේයයි එජ ට චෝදනා කරමින් ආන්ඩුවේ ආධාරකරුවන් පිරිසක්, රැප්ගේ සංචාරයට එරෙහිව ජනවාරි 26 දා කොලඹ දී විරෝධතාවක් පැවැත්වූහ. මෙම ජාතිවාදී කල්ලි, එජ යුද අපරාධ ගැන සඳහන් කරන්නේ රාජපක්ෂ ආන්ඩුවේ එවැනි ක‍්‍රියා සාධාරනය කිරීම සඳහා පමනි.

Share this article: