වනාතමුල්ල නිවාස ඉවත් කිරීමට පදිංචිකරුවෝ විරෝධය දක්වති

විලානි පීරිස් විසිනි, 2014 පෙබරවාරි 11

දෙමටගොඩ බේස්ලයින් මාවතට නුදුරින් පිහිටි වනාතමුල්ල පදිංචි පවුල් 5,000ක පැල්පත් නිවාස බලහත්කාරයෙන් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීන්දුවට එරෙහිව නිවැසියන් අතර බරපතල විරෝධයක් නැගෙමින් පවතී. මෙම නිවාස ඉවත් කරනු ලබන්නේ කොලඹ නගරය ආසියාකරයේ ප‍්‍රධාන වානිජ නගරයක් බවට පත් කිරීමේ ආන්ඩුවේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස ය.

2011 මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට දමමින් නිවැසියන් ඉවත් කිරීම ඇරඹීමෙන් පසු සිදු කරන්ට යන පලල් ම ප‍්‍රහාරය මෙයයි.

සමාජවාදී සමානතා පක්ෂයේ නියෝජිතයන්ට කරුනු දැක්වූ නිවැසියෝ ආන්ඩුව බරපතල විවේචනයකට ලක් කලහ. මෙසේ කඩා දැමීමට නියමිත නිවාස අක්කර 72 ක පිහිටි 45, 63, 34, 43, හා 51යන වතු තුල ගොඩ නැගූ ඒවා ය. මෙම නිවාස වෙනුවට අසල ගොඩනගා ඇති මහල් නිවාසයක් තුල නිවාස ඒකක ලබා දෙන බව නාසඅ පවසන නමුත් මහ ජනයා ඊට විරුද්ධය. වර්ග අඩි 380ක පමන වූ ඉතා කුඩා මහල් නිවාස ඒකකයක් ලබාගෙන තමන් පදිංචිව සිටින ඊට වඩා ඉඩ ප‍්‍රමානයක් ඇති නිවාසය අත හැර යාමට නිවැසියන් සූදානම් නැත.

ඊට අමතරව අවුරුදු 20ක පමන කාලයක් ජීවත්වූ තම නිවස අහිමි කර ලබා දෙන කුඩා නිවසට ඔවුන් රු. 50,000ක් පලමුව ගෙවිය යුතු අතර තවත් 50,000ක් තව මාස තුනක් ඇතුලත ගෙවිය යුතුය. මාසයකට රු. 3,900ක කුලියක් ද ගෙවා විදුලි බිල් හා ජල ගාස්තු ද වෙනම ගෙවීමට එම දුගී ජනයාට නියම කර ඇත. මෙම තත්වය හරිම අසාධාරනයක් බව නිවැසියෝ පෙන්වා දෙති. බොහෝ නිවාස ගොඩනගා ඇත්තේ 1980 ගනන් වලදී ජනාධිපති ආර්. පේ‍්‍රමදාසගේ ආන්ඩුව පැවැති සමයේ ඉඩම් හෝ නිවාස නැති කම නිසා මහජනයා අතර පැවති විරෝධය සමනය කිරීමට ලබා දුන් ඉඩම්වල ය. ඇතැම් අයට ලියාපදිංචි ඔප්පු ඇතත් ඇතැම් අය සතුව ඇත්තේ කාඩ්පතක් ය. නාසඅ ඔවුන් සියල්ල අනවසර පදිංචිකරුවන් ලෙස නම් කර ඇත.

මෙම නිවාසයන්හි පදිංචිව සිටින්නේ කම්කරුවන් හා එදිනෙදා කුලී වැඩ කරන්නන් ය. එකට බැඳුන කුඩා පැල්පත් ද පර්චස් 2ක ඉඩම් ප‍්‍රමානයක ගොඩ නැගූ තවත් තට්ටු දෙකට සැදූ නිවාස කීපයක් ද ඇත.

සසප නියෝජිතයන් සමග සාකච්ඡා කරන වනාතමුල්ලේ කාන්තාවක්

නගර සංවර්ධනය සඳහා යයි පවසමින් ආන්ඩුව කොලඹ නිවාස ඉවත් කිරීමේ අරමුන වන්නේ නගරය ආසියාකරයේ ප‍්‍රධාන වෙලඳ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම ය. ඒ සඳහා පැල්පත් හා අඩු ආදායම්ලාභී පවුල් 75,000 ක් පමන ඔවුනගේ නිවාසයන්ගෙන් ඉවත් කරමින් එම බිම් විදේශීය හා ශ‍්‍රී ලංකාවේ ආයෝජකයන්ට දීර්ඝ කාලයකට එනම් වසර 99කට බදුදීම ආන්ඩුව විසින් ආරම්භ කර ඇත.

වනාතමුල්ල භූමිය පවරා දෙන්නේ කුමන ආයෝජකයන්ට දැයි තවමත් ප‍්‍රසිද්ධියට පත්ව නැතත් නිවැසියන් පලවාහරිමින් දැනටමත් කොම්පඤ්ඤවීදියේ අක්කර 8ක් ඉන්දියාවේ ටාටා නිවාස සංවර්ධන සමාගමට ද අක්කර 5ක් පකිස්තාන් සමගමකට ද, ගෝල්ෆේස් පිට්ටනිය ඉදිරි පිට තවත් අක්කර 5ක් ෂෙරටන් සුපිරි හෝටලය සෑදීම සඳහා ඇමරිකානු සමාගමකට ද පවරා ඇත. කොම්පඤ්ඤවීදියේ තවත් නිවාස ඉවත් කරමින් බැස්ටියන් ව්‍යාපෘතිය නමින් බේරෙ වැවේ පාවෙන වෙලඳ සැලක් විදේශීය සංචාරකයන් අද්දා ගැනීම සඳහා නාසඅ විසින් ඉදි කෙරෙන බව ප‍්‍රකාශ වී ඇත. ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රකෝටිපතියකු වන ජේම්ස් පැකර් අවුරුදු 10ක පූර්න බදු සහන ඇතිව කොලඹ නගරය මධ්‍යයේ කැසිනෝ සූදුපොලක් ඇතුලු හෝටල් සහ සාප්පු සංකීර්නයක් ඉදි කිරීමට නියමිත ය.

මෙම ස්ථාන බොහොමයක ජනයා පදිංචිව සිටියහ. විරුද්ධත්වය මධ්‍යයේ ඔවුන් ඉවත් කරන ලද්දේ මිලිටරිය හා පොලීසිය යොදාගෙන ය. නාගරික සංවර්ධන අධිකාරිය, ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතට පවරනු ලැබුවේ හමුදාව යොදවමින් ජනතාව බිය ගන්වා හෝ පහර දී නිවෙස් වලින් පලවා හැරීම සඳහා ය.

කොලඹ නගරය වානිජ නගරයක් කරන ගමන් ම රටේ තවත් ප‍්‍රධාන නගර ගනනාවක් ම වානිජ හා සංචාරක මධ්‍යස්ථාන බවට පත් කර දේශීය හා විදේශීය ආයෝජකයින්ට විවෘත කර දීම ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවලට ඇතුලත් ය. නාගරික සංවර්ධන අධිකාරිය කොලඹ හැර දැනට ව්‍යාපෘති 5ක් නම් කර ඇත. එනම්, හම්බන්තොට, කුරුනෑගල, දඹුල්ල, අනුරාධපුරය, නුවර-එලිය යන ව්‍යාපෘති ය. දැනටමත් දඹුල්ල ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කර සිය ගනනක් නිවැසියන් කිසිදු නිවසක් ලබා නොදෙමින් පමනක් නොව නිවසක් ලබාදීමේ පොරොන්දුවක් හෝ නොමැතිව හමුදාව යොදවා පලවා හැර ඇත.

ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති ධනේශ්වර පාලනය පරාජකිරීමේ වැඩපිලිවලකින් තොරව දුගීන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කල නොහැකි ය. පෙර නිවාස කැඩීමේදී නිශ්ශබ්දව සිටි ජනතා විමුක්ති පෙරමුන පලාත් සභා මැතිවරන සමයේදී ඡන්ද ගසාකෑම සඳහා වනාතමුල්ලේ ජනයා ශී‍්‍ර ලංකා මානව අයිතීන් කොමිෂමේ නඩුවක් පැවරීම සඳහා යොමු කර ඇත.

වනාතමුල්ල නිවාස ආරක්ෂා කිරීමේ සමාජය (වනිආස) නමින් මෙම නඩුව පවරා ඇත. මානව කොමිසම නඩුව විභාග කරන බව ප‍්‍රකාශ කර ඇත. ප‍්‍රධාන චූදිතයන් වන්නේ නාසඅ හා කොලඹ මහ නගර සභාව ය. වනිආස උපදේශක ලෙස ජවිපෙ මධ්‍යයම කාරක සභාවේ සාමාජික හා නීතිඥ සුනිල් වටගොඩ දෙරන ප්‍රවෘත්තිවලට මෙසේ ප‍්‍රකාශ කර ඇත. "ඉඩම් අංක 49 ජනයා නාසඅ නිලධාරීන් පැමිනිවිට ඔවුන් එලවාගෙන ඇත. වන්දි මුදලක් ද නීතිමය සැලසුමක් ද ලැබෙන තුරු ඔවුන් දිගටම එලෙස කි‍්‍රයා කරනු ඇත".

ජවිපෙ පෙනී සිටින්නේ කොලඹ ජනයාගේ නිවාස අයිතිය ආරක්ෂා කිරීමට නොව සොච්චම් වන්දි මුදලකට යටත්ව ඉඩම් ආයෝජකයන්ට පවරාදීමට මහජනයා පෙලඹවීමට ය.

මේ අතර ශ‍්‍රී ලංකාවේ නීතිඥ සංගමය තුල කි‍්‍රයා කරන නීතිඥ එකතුව ද මෙම නිවාස ඉවත් කිරීම නීති විරෝධී යයි ද ව්‍යවස්ථා විරෝධී යයිද සභාපති ලාල් විජේනායකගේ නමින් ප‍්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ ආන්ඩුවට බල කර ඇත: "මෙම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවලිය නතර කරන ලෙස ද පුද්ගලික නිවාස අත්පත් කර ගැනීම සඳහා රටේ පවතින නීතිය අනුව කි‍්‍රයා කරන ලෙස ද අපි ආන්ඩුවට කියා සිටිමු.”

වනාතමුල්ලේ ඇතැම් නිවාස පෙබරවාරි 26ට පලමු ඉවත් කල යුතු බව දන්වා ඇත. නිවාස අයිතිය නඩු දැමීමෙන් හෝ හුදු විරෝධය දැක්වීම් වලින් පරාජය කල නොහැකි බව ජනතාවට අත්දැකීම් මගින්ම පෙන්නුම් කෙරී තිබේ. නාසඅ විසින් කොම්පඤ්ඤවීදියේ පවුල් 456 කට තම නිවාස වලින් ඉවත් වීමට දෙන ලද නියෝගය තම මානව අයිතීන් උල්ලංඝනය කිරීමකැයි පවසමින් ඊට එරෙහිව නිවැසියන් විසින් ගොනු කල නඩුව පසු ගිය ඔක්තෝබර් 21 දින විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය, අක්කර 7ක භූමිභාගයක් තුල පදිංචි මෙම නිවැසියන් දෙසැම්බර් 31 දිනට ප‍්‍රථම ඉවත්විය යුතු බවට ගත් තීන්දුව ප‍්‍රකාශයට පත් කලේය.

පසුගිය පලාත්පාලන මැතිවරනයේදී නිවාස ආරක්ෂා කරන බවට බොරු පොරොන්දු දුන් එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් දැන් කොලඹ නගරයේ නිවාස ඉවත් කිරීම සඳහා ආන්ඩුව සමග ඒකාබද්ධව කටයුතු කරයි.

ලාභ ලැබීම සඳහා ක‍්‍රියා කරන ධනේශ්වර පාලකයන් ආයෝජකයන් සඳහා කොන්දේසි සකසමින් සිටිති. නිවැසියන් මෙලෙස කොලඹ නගරයෙන් පලවා හැරීම ආන්ඩුව ගෙනයන පලල් ප‍්‍රහාරයක කොටසකි. ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව සමාජවාදී ක‍්‍රියාමාර්ගයකට සටන් වදින කම්කරු පන්තියට පමනක්ම නිවාස අයිතිය ආරක්ෂා කල හැකිය.

වනාතමුල්ලේ එක් කාන්තාවක් සසප නියෝජිතයන්ට කියා සිටියේ: "හමුදාව දමා තර්ජනය කරන නිසා අපි අසරනයි. 66 වත්තෙ අය නඩු දැම්මා. ඒඅයට යන්න වුනේ වඩා දුෂ්කර කි.මී. තුනක් පමන ඈත සිංහපුරේ නිවාස වලට. එතකොට දේශපාලකයො උදව්වට නහැ.”

සැමියා අතහැර යාමෙන් පසු හුදකලාව ජීවත්වන වනාතමුල්ලේ කාන්තාවක් මෙසේ පැවසීය. "මගේ නිවස පර්චස් 2ක තට්ටු දෙකකට සාදා තියෙනවා. ඉතා අමාරුවෙන් නිවස සාදාගත්තෙ. මට වර්ග අඩි 380 ක නිවසකට යන්න කීම හරිම අසාධාරනයි. ඒමදිවට රු. 100,000ක් ගෙවන්න වෙනවා. මගේ ගෙට වන්දියක් ලෑබෙන්නෙත් නැහැ. මේව ආන්ඩුවෙ අසාධාරන වැඩ. අපිට මේ මහල් නිවාස බලන්න දුන්නෙ නැහැ. අපි හොරෙන් ගිහින් බැලුව. හරිම කුඩා නිවසක්. අඩි තුනක කොරිඩෝවක් දෙපැත්තෙ නිවාස. දොරවල් මූනට මූනදාල. කොහොමද නිදහසේ ජීවත්වෙන්නෙ.”

කිහිප දෙනෙක්ම සසප නියෝජිතයන්ට කියා සිටියේ ජනවාරි 30 දින නිවැසියන් හා සාකච්චාවක් කැඳවූ ආරක්ෂක හා නාස අධිකාරියේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහජනයාට තර්ජනය කල බවය.

"මගේ මහත්තයා ක්ලබ් එකකයි රැකියාව කරන්නේ. ඒ රැකියාව ස්ථිර නහැ. හැමදාම වැඩත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ අපට මෙම මුදල් ගෙවන්න ක‍්‍රමයක් නැති බව කිව් විට මගේ මහත්තයට තර්ජනය කලා. ක්ලබ් එකක නම් වැඩ කරන්නෙ මොකද ගෙවන්න බැරි කියලා,” තවත් කාන්තාවක් පැවසුවා ය.

නගර සභා කම්කරුවෙකුගේ බිරිඳක් මෙසේ සඳහන් කලාය: "මාසයකට රු. 3,900ක් ගෙවන්න නොහැකි බව මගේ මහත්තයා කිව් විට රාජපක්ෂ වැටුප් ලේඛනය ඉල්ලා බලා මාසිකව රු. 2,000ක් කැපෙන්නේ මොනවාටදැයි ඇසුවා. ලමයින්ට රූපවාහිනී යන්ත‍්‍රයක් ගත් බව පැවසුවා. ඔහු මගේ මහත්තයට කන පැලෙන්න ගහනවා යයි පවසා රූපවාහිනී යන්ත‍්‍ර ගන්න පුලුවන් නම් නිවාස කුලිය ගෙවන්න බැරි අයි කියා ප‍්‍රශ්න කලා."

හිටපු රෝහල් සුලූ සේවකයෙක්ගේ බිරිඳක් කතා කරමින්: "මගේ මත්තයා අසනීප කාරයෙක් නිසා එයාව රැකියාවෙන් නෙරපුවා. අපිට මුදල් ගෙවන්න ක‍්‍රමයක් නැහැ. මේක හරිම අසාධාරනයක්. හදාගත්ත නිවසත් නැහැ. වන්දියකුත් නැහැ. අපි කන්නේ හැමදාම එක එලෝලුවකුයි බතුයි.

"කව්ද කියන්නෙ යුද්දෙ ඉවරයි කියල. දැන් අපිට විරුද්ධව යුද්දෙ තමයි කරන්නෙ. පොහොසත් අය විතර ද ජීවත් වෙන්න ඕනෑ. අපි ජීවත් වෙන්නෙ නද්ද?”

Share this article: