වනාතමුල්ල නිවැසියන් ඉවත් කිරීම නතර කරනු!

යහපත් නිවාස ලබා ගැනීමට සමාජවාදී ප‍්‍රතිපත්තිවලට සටන් කරමු!

විලානි පීරිස්, සමාජවාදී සමානතා පක්ෂයේ කොලඹ දිස්ත‍්‍රික් කන්ඩායමේ නායිකාව විසින් නිකුත්කල ප්‍රකාශයකි, 2014 පෙබරවාරි 21

කොලඹ වනාතමුල්ලේ අඩු ආදායම් ලාභී පවුල් 5000කගේ පමන නිවාස බලහත්කාරයෙන් ඉවත් කිරීමට ආන්ඩුවේ නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) ගෙන ඇති තීන්දුව වහා නතර කල යුතුයයි සමාජවාදී සමානතා පක්ෂය කියා සිටී. කැරලි මර්දන පොලීසිය ද යොදවා ගෙන නිවැසියන්ට හිරිහැර කිරීමට හා බිය ගැන්වීමට නාසඅ ගෙන යන ක‍්‍රියාවන් අපි හෙලා දකිමු.

පෙබරවාරි 28 දිනට පෙර ඉවත්විය යුතුයයි නාසඅ කර ඇති නියෝගය කෙරෙහි වනාතමුල්ල නිවැසියන් දක්වන විරෝධය ඉතාමත් යුක්ති සහගත ය. රටේ බල පවත්නා නීතිය ද නොතකා කෙරෙන මෙම නිවැසියන් ඉවත් කිරීමට බලපෑම් කිරීම සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වනාතමුල්ල පෙදෙසට පුද්ගලිකවම පැමින තර්ජනය කල බවට චෝදනා කෙරී ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම ප‍්‍රදේශයේ ජීවත්වන ජනයාගෙන් බහුතරය කම්කරුවන් ලෙස ද සුලු ව්‍යාපාරික කටයුතුවලින් ද ජීවිකාව රැක ගනිති. අවුරුදු පහක පමන කාලයක සිට අරඹා ඇති කොලඹ නගරයේ අඩු ආදායම්ලාභීන් ජීවත්වන නිවාස කඩා ඉවත් කිරීමෙන් පසු සිදු කරන පලල්ම ප‍්‍රහාරය මෙය යි. මින් අක්කර 72 ක පමන භූමි භාගයක් අත් කර ගැනීමට නාසඅ අපේක්ෂා කරයි.

වනාතමුල්ලේ දැන් ක‍්‍රියාත්මක වන්නේ කොලඹ නගරයේ පැල්පත් ඇතුලු අඩු ආදායම්ලාභීන්ගේ නිවාස 77,000ක් පමන ද සුලු ව්‍යාපාරික ස්ථාන ද උපුටා දැමීමේ මහා ව්‍යාපෘතියක කොටසකි. එය පටන්ගත් තැන් පටන් කොලඹ විවිධ ස්ථානවලින් පසුගිය වසරවල සිය ගනනක් පවුල් ඉවත් කර තිබේ. මෙම ව්‍යාපෘතිය කුමක් සඳහා ද?

ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ‍්‍රී ලංකාව "ආසියාවේ ආශ්චර්ය” බවට පත් කරන්නේ යයි පාරම්බෑම යටතේ කොලඹ නගරය ප‍්‍රධාන වානිජ මධ්‍යස්ථානයක් බවට හැරවීම සඳහා මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ. ඒ අනුව, බැංකු ඇතුලු මූල්‍ය ආයතනයන් ද සුපිරි සාප්පු, හෝටල් හා සූදු තිප්පොලවල් වලින් ද සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්නවලින් ද සමන්විත, සිංගප්පුරු මාදිලියේ පුරවරයක් බවට කොලඹ පරිවර්තනය කර ගැනීම රාජපක්ෂ ආන්ඩුවේ සැලැස්ම යි. ඒ අනුව, හෙක්ටයාර් 390 ක් යයි ගනන් බලා ඇති දුගීන් ජීවත්වන ප‍්‍රදේශවල ඉඩම් අත්පත් කර ගැනේ.

දැනටමත් අත්කර ගත් ඉඩම් වලින් කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් ඉන්දියාවේ ටාටා නිවාස සංවර්ධන සමාගමට ද අක්කර 5ක් පාකිස්ථාන් සමාගමකට ද, ගෝල්ෆේස් පිට්ටනිය ඉදිරිපිට තවත් අක්කර 5ක් ෂෙරටන් සුපිරි හෝටලය සෑදීම සඳහා ඇමරිකානු සමාගමකට ද පවරා ඇත. ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රකෝටිපතියකු වන ජේම්ස් පැකර් අවුරුදු 10ක පූර්න බදු සහන ඇතිව කොලඹ නගරය මධ්‍යයේ කැසිනෝ සූදුපොලක් ඇතුලු හෝටල් සහ සාප්පු සංකීර්නයක් ඉදි කිරීමට නියමිත ය.

දිවයිනේ තවත් ප‍්‍රදේශ ද වානිජ හා සංචාරකයන් අද්දා ගැනීමේ නගර බවට පත් කිරීම සඳහා දුගීන් පලවා හැරීමට ඉලක්ක වී තිබේ. දැනටමත් දඹුල්ල ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර සිය ගනනක් නිවැසියන් කිසිදු නිවසක් ලබා නොදෙමින් පමනක් නොව නිවසක් ලබාදීමේ පොරොන්දුවක් හෝ නොමැතිව හමුදාව යොදවා පලවා හැර ඇත.

ඉවත් කෙරෙන ජනයාට අත්වන ඉරනම කුමක් ද?

නිවාසවලින් මෙතෙක් ඉවත් කල බොහෝ දෙනෙකුට ස්ථිර නිවාස ලබා දී නැත. වැඩි කොටසක් තවමත් ජීවත් වන්නේ තොටලඟ වැලිගොඩදාන වත්තේ ජීවත් වීමට නුසුදුසු ලෑලි නිවාසවල ය. වනාතමුල්ලේ නිවැසියන්ට දීමට සුදානම් වන මහල් නිවාස ප‍්‍රමිතියකින් තොරව සාදා ඇත. ඒවාට රුපියල් ලක්ෂයක මුදලක් ද මාසික කුලිය රුපියල් 3900 ක් ද ගෙවීමට මෙම නිවැසියන්ට නියම කර ඇත. එම නිවාස වර්ග අඩි 380ක් තරම් මිනිස් වාසයට නුසුදුසු කූඩු වැනි ය.

ආන්ඩුව කියන්නේ මේ ඉවත් කිරීම් රටේ සංවර්ධනය සඳහා බවයි. කාගේ සංවර්ධනය ද? මේ නම් ලංකාවේ මහා ව්‍යාපාරිකයන් ඇතුළු පොහොසතුන්ගේ ද විශේෂයෙන් විදේශ ආයෝජකයන්ගේ ද ලාභ පිපාසාව සන්තර්පනය කෙරෙන සංවර්ධනයකි. කම්කරුවන්ට නාගරික හා ගැමි දුප්පතුන්ට හා තරුනයන්ට මින් ලැබෙන සංවර්ධනයක් නම් නැත.

ජනාධිපති රාජපක්ෂ ආන්ඩුව නගරවලින් දුගී ජනයා ඉවත් කරමින් ගෙන යන මෙම වැඩ පිලිවෙල පලල් සමාජ ප‍්‍රතිවිප්ලවයක කොටසකි. මේ යටතේ දිගින්දිගටම මහජනතාවගේ ජීවන තත්වයන්ට ප‍්‍රහාර එල්ල කරන ආන්ඩුව නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව මහා පරිමාවකින් දැනටම බිලිගෙන ඇත.

මේ ප‍්‍රහාර එල්ල කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පිට යි. ලෝක ආර්ථිකය බරපතල බිඳ වැටීමක් තුල කිඳා බසින තත්වයක හැම රටකම කම්කරු පන්තිය ඇතුලු වැඩකරන ජනයා සූරා කෑම උග‍්‍ර කිරීමේ කොන්දේසි හදන ලෙස ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය බල කර සිටී. රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාවට දමන්නේ මෙම වැඩ පිලිවෙල යි.

පැල්පත්වාසී ජනයා ජීවත් වන නිවාස මොනම මූලික පහසුකමක්වත් නැති තත්වයක පවතී. එයට වගකිව යුත්තේ කවුද? ඊනියා නිදහසෙන් පසු පසුගිය අවුරුදු 66ක් රට පාලනය කල සෑම ආන්ඩුවක්ම පහසුකම් සහිත මනා නිවසකට වැඩකරන ජනයාට ඇති මූලික අයිතිය තහවුරු කිරීමට ක‍්‍රියා නොකලේ ය. එම ආන්ඩු කලේ ධනපතියන්ගේ ලාභ පොදි රැක දීම යි.

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ද ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ද නායකකාරකාදියෝ නිවැසියන් ආරක්ෂා කිරීමේ වෙසින් මේ දිනවල වනාතමුල්ලේ ගැවසෙති. බොහෝකොටම ඔවුන් මේ ගැවසෙන්නේ බස්නාහිර පලාත් මැතිවරනය ද පවතින තත්වයකදී ඡන්ද ගසා කෑමේ අරමුන ඇතිව යි. එලෙසම ඔවුහු නිවාස රැක ගැනීමේ අව්‍යාජ අරගලයක් දියත් කිරීම වැලක්වීමට ක‍්‍රියා කරති.

අප එසේ කියන්නේ ඇයි? කොලඹ දුගී නිවැසියන් ඉවත් කර එය "මෙගා සිටි” පුරයක් කිරීමේ වැඩපිලිවෙල මුලින්ම සකස් කලේ එජාපය යි. නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂ බඳු ව්‍යාජ වම්මු එජාපය සමග පෙලගැසී සිටිති. කොම්පඤ්ඤවීදියේ හා ඇපල්වත්තේ නිවැසියන් ඉවත් කිරීමේ නියෝග ලැබුන විට එජාපයේ මන්ත‍්‍රීන් කීවේ, උසාවි ගොස් අපි මේ ප‍්‍රශ්නය බේරා ගමු කියා ය. ඇපල්වත්තේ නඩු විභාගය සිදු කල ශ්‍රේෂ්ඨාධිකරනය පසුගියදා නියෝග කලේ මාර්තු 28 දා එහි පදිංචිකරුවන් පිටවී යා යුතු බව යි. අධිකරනය නාගරික සංවර්ධන අධිකාරියට පැවසුවේ, "සාධාරන නිවාස කුලියක්” ඔවුන්ට ලබා දෙන ලෙස යි.

පසුගිය වසරවල කොලඹ දුගී නිවාස ඉවත් කෙරුනු තැන්වල ජවිපෙ පෙනෙන්ට සිටියේ නැත. වනාතමුල්ලේ දැන් මතුව ඇති ප‍්‍රශ්නයේ දී ජවිපෙ නිවැසියන් ආරක්ෂා කිරීමේ නමින් සංවිධානයක් තනා ශ‍්‍රී ලංකා මානව හිමිකම් පිලිබඳ කොමිෂන් සභාවට පැමිනිල්ලක් ඉදිරිපත් කර ඇත. තමන්ගේ අතේ නැටවෙන මේ කොමිෂමෙන් කුමන තීන්දුවක් ලැබුනත් ආන්ඩුව එය තුට්ටුවකටවත් මායිම් නොකරනු ඇත. ජවිපෙ රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමට පෙරදී දරදිය ඇද්ද, ධනපති වැඩපිලිවෙලක් ගෙන යන සංවිධානයකි.

දැනටමත් පෙන්නුම් කෙරී ඇත්තේ පොලිසියේ හා මිලිටරියේ බලය යොදා හෝ වනාතමුල්ලේ ඉතා වටිනා ඉඩම් නාසඅ විසින් අල්ලා ගනු ඇති බව යි. කොලඹ නිවාසවලින් ඉවත් කිරීමට මුහුන දුන් ජනයාගේ අත්දැකීම වූයේ, උතුරු නැගෙනහිර යුද්ධයේදී මුවහත් කර ගත් මිලිටරි පොලිස් විධික‍්‍රම ඔවුන්ට එරෙහිව යොදා ගැනීම යි.

ගිය සතියේ වනාතමුල්ලේ සමරධීර සුනිල් නමැති නිවැසියා සුදු වෑන් රියකින් පැහැරගෙන ගිය මැර පිරිසක්, මහජන විරෝධය ඇවිලෙන තත්වයේදී ඔහු අතරමග දමා ගොස් තිබිනි. ආන්ඩුව කියන්නේ මෙය එජාපයේ හා ජවිපෙ කුමන්ත‍්‍රනයක් බව යි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ඒ හා සමානම ප‍්‍රකාශයක් නිකුත් කර ඇත. මේ ප‍්‍රකාශවල තේරුම නම්, ප‍්‍රකෝපකරනයන් මගින් මිලිටරි පොලිස් බලය යොදවා හෝ දුගී ජනයා පලවාහැරීමේ කුමන්ත‍්‍රනයක් ආන්ඩුව පැත්තෙන් සිදු කෙරමින් තිබෙන බව යි.

2011 මැයි මාසයේ, කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන් ද 2012දී හලාවත ධීවරයන් ද 2013 දී වැලිවේරියේ ජනයා ද තම අයිතීන් රැක ගැනීමට නැගී සිටි විට ඒවා තමන්ට විරුද්ධ කුමන්ත‍්‍රනයක් බව කියා සිටි ආන්ඩුව, පොලිසිය හා හමුදාව මෙහෙයවා ජීවිත පහක් බිලි ගත්තේ ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කියා සිටින්නේ, වනාතමුල්ලේ හා කොලඹ නගරයේ කම්කරුවන් හා දුගී ජනයා නිවාස අයිතිය රැක ගැනීමේ අරගලය තමන්ගේ අතට ගත යුතු බව යි. 2010 නොවැම්බරයේ දී නිවාස අයිතියට පහර දීමට පටන්ගත් දිනවලම සසප මුල් වී "නිවාස අයිතිය රැකීම සඳහා කි‍්‍රයාකාරී කමිටුවක්” පිහිටුවීමට පියවර ගත්තේ ය.

එම ක‍්‍රියාකාරී කමිටුව යලි ඉස්මත්තට ගැනීම දැන් හදිසි කටයුත්තක් ලෙස මතුව ඇත. ලංකාවේ ද ජාත්‍යන්තරව ද කම්කරුවන්ගේ සහයෝගය දිනා ගැනීමේ උද්ඝෝෂනයකින් නිවාස අයිතිය රැක ගැනීමට ද ආන්ඩුවේ ප‍්‍රහාර පරාජය කිරීමට ද පියවර ගනිමු.

මේ පියවර ආන්ඩුවට එරෙහි විරෝධතාවකින් කෙලවර කරගැනීමට නොහැකි ය. දුගී නිවාස ඉවත් කිරීම ආන්ඩුවේ හා ධනපති පන්තියේ ප‍්‍රතිපත්තිවල අත්‍යන්ත කොටසකි. එය පරාජය කල යුතු ය.

එමෙන්ම, දුගී ජනයා සඳහා මනා නිවාස ලබා ගැනීම ඔවුන් සතු අයිතියකි. කෝටි ගනන් මුදල් ඒ සඳහා වෙන් කල යුතු ය. දින කීපයකින් ධනපතියන් සහ ආයෝජකයන් සඳහා බිලියන ගනන් වියදම් කර ව්‍යාපෘති නිමවා දෙන ආන්ඩුව, දුගීන්ට නිවාස සැපයීමට නම් මුදල් නැති බව කියා සිටිති.

නිවාස අයිතිය සහතික කිරීමේ එබඳු විධිමත් වැඩ පිලිවෙලක් ක‍්‍රියාවට දැමිය හැකි වන්නේ, ලාභ සඳහා නොව මහජන උවමනාකම් සඳහා ආර්ථිකය හසුරුවන සමාජවාදී පාලනයක් යටතේ ය. වනාතමුල්ල ද ඇතුලුව කොලඹ දුගී නිවාසවල ජීවත්වන වැඩ කරන ජනයාගෙන් සසප ඉල්ලා සිටින්නේ කම්කරු පන්තිය සමග එක්ව විශාල කොම්පැනි, මූල්‍ය ආයතන ඇතුලු දෙස් විදෙස් මහා ව්‍යාපාර කම්කරු පාලනය යටතේ ජනසතු කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීමට පෙරට එන ලෙස යි.

වනාතමුල්ලේ දුගී නිවැසියන් ආරක්ෂා කිරීමට පෙරට එන්නැයි අපි කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නෙමු.

ජාත්‍යන්තර සමාජවාදය සටන පෙරදැරි කරගත් මෙම වැඩපිලිවෙල සාකච්ඡාාවට භාජනය කර විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම සඳහා මෙම මැතිවරනය තුල ඉදිරිපත්ව සිටින සසප සමග එක්ව නිවාස රැක ගැනීමේ සටන වර්ධනය කිරීමට ඉදිරිපත් වෙන්න.

Share this article: