බටහිර බලවත්තු සහ විරුද්ධ පක්ෂ යුක්රේනියානු පාලනයට එරෙහි පීඩනය දැඩි කරති

Western powers, opposition step up pressure on Ukrainian regime

ස්ටීවන් ස්ටේයින්බර්ග් විසිනි, 2014 ජනවාරි 31

යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහකිරීමේ වැඩි දුර පියවරක් ලෙස දක්ෂිනාංශික පක්ෂ, -ප්‍රතිසංස්කරන සඳහා යුක්රේනියානු ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (UDAR), මාතෘ භූමි සහ නව ෆැසිස්ට් ස්වොබෝදාව- කීව් නිදහස් චතුරශ්‍රයේ පසුගිය මාස දෙකෙහි විරෝධතා දැක්වීම නිසා අත් අඩංගුවට ගත් ආන්ඩු විරෝධී පෙලපාලිකරුවන්ට දේශපාලන සමාවක් දීමට ජනාධිපති වරයා කල යෝජනාව ඉවත දැමුවෝය.

බදාදා සන්ධ්‍යාවේ ඉදිරිපත් කල සමාව දීමේ යෝජනාවට පක්ෂව ජන්දය දෙන ලෙසට යනුකොවිච් කලාපයේ සිය පක්ෂ නියෝජිතයන් බිය ගැන්වූ බව වාර්තා විය. විරුද්ධ පක්ෂ සමාව පිලිබඳ යෝජනාව වහාම ඉවත දැමුවේ, පෙලපාලි කරුවන් අල්ලාගෙන සිටින ආන්ඩුවේ ගොඩනැගිලි වලින් ඉවත්වීම සහ නගර මධ්‍යයේ ඉදි කර ඇති බැරිකේඩ ඉවත් කිරීම යන කොන්දේසි ඊට ඈඳා තිබීමේ කාරනාව මතුකරමිනි. බ්‍රහස්පතින්දා යනුකොවිච් හදිසියේම තමන් රෝගී වීයයි ප්‍රකාශ කර දින නියමයක් නොමැතිව රජකාරි කටයුතු වලින් ඉවත් විය.

සති අන්තය වන විටම, ජර්මනියේ කොන්සර්වේටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය සමග සමීප සහයෝගිතාව ඇතිව පිහිටවනු ලැබූ UDAR නායක විටලි ක්ලිට්ස්ච්කො, යුක්රේන අගමැතිගේ ඉල්ලා අස්වීම "සුලු පියවරකැයි" බැහැර කරමින් ආන්ඩුවට එරෙහිව දිගටම විරෝධතා පවත්වන ලෙස ඉල්ලා සිටියේය. යනුකොවිච් ගේ නවතම සහන බැහැර කිරීමෙන් අනතුරුව ක්ලිට්ස්ච්කො ජර්මනියේ බිල්ඩ් පුවත් පතට සම්මුඛ සාකච්චාවක් දෙමින්, යනුකොවිච් ට සහ ඔහුගේ ආන්ඩුවට සම්බාධක පනවන මෙන් යුරෝපීය සංඟමයෙන් ඉල්ලා සිටියේය.

අඟහරුවාදා ජර්මානු රේඩියෝව ට සම්මුඛ සාකච්චාවක් දුන් හරිතයන් ගේ යුරෝපීය පාර්ලිමේන්තු සභාපති රිබෙකා හෑම්ස් ක්ලිට්ස්ච්කො විසින් යනුකොවිච් තන්ත්‍රයේ සාමාජිකයන් ට එරෙහිව සම්බාධක පනවන ලෙස කල ඉල්ලීම ඩැහැ ගත්තාය. යනුකොවිච් ට සහ ඔහුගේ සගයන්ගේ "ගජයන්" ට සම්බන්ධ සමාගම් ක්‍රියාත්මක වන "ජර්මනිය, අවුස්ත්රියාව හෝ නෙදර්ලන්තය වැනි රටවල්" සම්බාධක සඳහා බැරෑරුම් ලෙස සූදානම් විය යුතුයයි හෑම්ස් ප්‍රකාශ කලාය.

යනුකොවිච් ට එරෙහි අරගලය ලිහිල් නොකරන ලෙසට කල ක්ලිට්ස්ච්කො ගේ ඉල්ලීමට මාතෘ භූමි පක්ෂයේ නායක, හිටපු විදේශ ඇමති ඇර්සෙනියි යට්සෙන්යුක් ගේ සහාය ලැබුනි. යට්සෙන්යුක් වාර්තාකරුවන් ට පැවසුවේ පක්ෂ අනුශාසක, කපතියාධිකාරී ව්‍යාපාරික සහ හිටපු අගමැති ජුලියා ටයිමොශෙන්කො දිගටම සටන් කරන ලෙස පෞද්ගලිකවම විරෝධතා කරුවන්ට ආයාචනා කල බවයි.

"පූර්න ජයකින් තොරව ඔබ දැන් සටන අත් හැරිය හොත් එය, ගොදුරු බවට පත් සියලු දෙනා පාවාදීමකි" යනුවෙන් ඇය සිය සිර කුටියේ සිට පැවසුවාය.

අඟහරුවාදා බ්‍රසල්ස් නුවර යුරෝපා සංගමය (යුසං) රුසියා සමුලුවෙන් අනතුරුව කෙලින්ම කීව් බලා ගිය එහි විදේශ පිලිවෙත් ප්‍රධානී කැත්රින් ඇශ්ටන් ද යනුකොවිච් මත පීඩනය එල්ල කලාය. ඇය කීව් හිදී විපක්ෂ නියෝජිතයන් මුනගැසී, ප්‍රචන්ඩත්වය අවසන් කරන මෙන් ආයාචනාකල අතර වාර්තාවී ඇති පෙලපාලිකරුවන් අතුරුදන්වීම් පිලිබඳව ද සිය කනස්සල්ල පල කලාය.

යනුකොවිච්ට සහ ඔහුගේ ප්‍රධාන දේශපාලන මිතුරාවන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ට එරෙහි යුරෝපීය සහ ජර්මානු උද්ඝෝෂන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අලුතින් එල්ල කරන ප්‍රහාරයක් සමග ඒකාබද්ධ වෙයි. වොෂින්ටනය දැනටමත් යුක්රේනියානු ආන්ඩුවේ තෝරාගත් සාමාජිකයන් ට එරෙහිව සංචාරක තහංචි පනවා තිබේ. රොයිටර් බදාදා ඇමෙරිකානු කොන්ග්‍රස් සභිකයකු උපුටා දක්වමින් පැවසුවේ පෙලපාලි කරුවනට එරෙහිව රජයේ හමුදා මෙහෙයවුවහොත් අතිරේක මූල්‍ය සම්බාධක පැනවීමට ඔබාමා පරිපාලනය සූදානම් වන බවය.

ඇමෙරිකානු විදේශ සබඳතා පිලිබඳ සෙනේට් කමිටුව ජනවාරි මැද "යුක්රේන අර්බූදයේ බලපෑම්" යන හිසින් විවාදයක් පැවැත්වීය. පෙලපාලිකරුවන්ට පුද්ගලිකවම සහාය දීම පිනිස කීව් බලා ගිය යුරෝපීය සහ යුරේසියානු කටයුතු පිලිබඳ සහකාර රාජ්ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සහ ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම් සහ කම්කරුවන් පිලිබඳ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ටොම් මාලියා, යුක්රේනයේ මූලෝපායික වැදගත් කම අවධාරනය කරමින් කමිටුව ඇමතුවෝය.

නූලන්ඩ් සටහන්කලේ, යුක්රේනයේ ඉරනම වැදගත් වනුයේ එය "යුරෝපයේ හරි මැද පිහිටි" නිසා පමනක් නොව, එය ඇමෙරිකාවේ "වටිනා" සහ "වැදගත්" හවුල් කරුවකු ද නිසා බවය.

මාලියා ඔහුගේ කථාවේදී පැවසුවේ, 1991 සෝවියට් සංගමය බිඳවැටුන තැන් පටන් එජ, යුක්රේනය තුල ඩොලර් බිලියන 5කට වඩා "ආයෝජනය" කර ඇති බව සහ මුලු මුදලින් ඩොලර් මිලියන 815ක් ඇමෙරිකාවට සහාය පලකරන රාජ්‍ය නොවන සංවිධාන වලට සෘජුව ලබා දී ඇති බවය. 2009 සිට ඔබාමා පාලනය දේශපාලන වෙනසක් සඳහා එල්ල කෙරුනු විවිධ වැඩසටහන් වලට ඩොලර් මිලියන 184ක් ප්‍රධානය කර ඇති බවද මාලියා කියා සිටියේය.

"මූලික අයිතිවාසිකම් සඳහා වන අරගලයේදී ඇමෙරිකාව යුක්රේන ජනතාව සමග සහයෝගී ව සිටියි" යනුවෙන් නූලන්ඩ් හා මාලියා යන දෙපලම කීවෝය. අනතුරුව, වසර ගනනාවකට පෙර යුරේසියානු චෙස් ක්‍රීඩා පෙතෙහි යුක්රේනියාවේ මුඛ්‍ය වැදගත්කම පිලිබඳව පැවසූ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නීව් බ්‍රසෙසින්ස්කි ගේ වර්තාවකින් මොවුන්ගේ අටුවා ශක්තිමත් ‍කෙරිනි.

යුක්රේනයේ අනාගතය පිලිබඳව ඇමෙරිකාවේ සිදුවන තදබල සාකච්චා පසුබිම් කරගෙන රුසියාව, බිම සිට විදින කෲස් මිසයිල තහනම් කිරීමේ 1987ගිවිසුම උල්ලංඝනය කරමින් එවැනි ආයුධයක් අත්හදා බැලූ බවට පසුගිය සතියේ ඇමෙරිකානු මාධ්‍ය ආරංචි පැතිර යාම කෙසේවත් අහඹුවක් නොවේ.

තව ද එරට ලබා ගත් නය මුදල් සඳහා ගෙවිය යුතු පොලී ඉහල යවමින් එජ 'ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුඅර්' (S&P ) රේට්ටු ඒජන්සිය, යුක්රේනයේ නය වටනාකමේ අගය පහත හෙලුවේය.

සිකුරාදා දකුනු ජර්මනියේ එනමැති නගරයේ ඇරඹෙන වාර්ෂික මියුනිච් ආරක්ෂක සමුලුවේ න්‍යාය පත්‍රයෙහි යුක්රේනය මුල් තැනක් ගනු ඇත. සහභාගී වන්නන් අතර ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරි සහ ආරක්ෂක ලේකම් චක් හෙගල් ද වෙති. පසු ගිය සති කීපය තුල මොවුන් දෙදෙනාම යුක්රේන සහ රුසියානු ආන්ඩු ප්‍රසිද්ධියේ විවේචනය කලෝය.

යුරෝපා සංගමයේ හා එජ තදබල පීඩනය හමුවේ යනුකොවිච් පාලනයේ මූලික ආධාරකරුවෝ, විශේෂයෙන්ම රටේ පොහොසත්ම මිනිසා වන රිමට් ඇක්මෙටොව්, පැති මාරු කිරීමක් පිලිබඳව සලකා බලති. 1990 ගනන් වල වර්තමාන ජනාධිපති යටතේ වූ පලමු පාලනයේ දී රජයේ දේපල කොල්ලකමින් ඇක්මෙටොව් මුලින්ම සිය වාසනාව පාදා ගත්තේය.

ඇක්මටොව් ට "කෙටිකාලීන පහරක්" වැදිය හැකි වුවත් ඔහුට දිගු කාලීනව "අවසානයට ලැබෙන දේ" වෙනුවෙන් යුරෝපීය සංඟමය සමග ගනුදෙනුවකට යාම වාසි සහගත බව සිය වාර්තා කරුවන් උපුටා දක්වමින් ගාර්ඩියන් පුවත් පත පවසයි. "කපතියාධිකාරීන් 'යුරෝපීය වටිනාකම්' ගැන තැකීමක් නැති වන්නට පුලුවන, එහෙත් ඔවුහු යුරෝපයේ වටිනාකම දනී" යයි විදේශීය තනාපතිවරයකු කියූ බව එම පුවත් පත ලියයි.

කීව් විරෝධතාවල ඉඳුරාම ප්‍රතිගාමී වූ ස්වභාවය එලිදරව් කරමින් ජනාධිපති යුශ්චෙන්කෝ ගේ හිටපු උපදේශකයකු සහ කීව් බුද්ධි මන්ඩපයේ අධ්‍යක්ෂයෙකු වන වාඩිම් කරසියොව් මෙසේ පැවසීය: "විරෝධතා වලට මුදල් දෙන්නේ කපතියාධිකාරයෝ ය. අද ඔවුන්ට පුටින් හෝ රේගු සමිති හෝ උවමනා නැති අතර ඔවුන් ගජයන්ට බියපත්ව සිටී...පුටින් සහ රේගු සමිති ජය ගත හොත් එවිට බලය තිබෙන්නේ ගජයන් අතය." (උදා: යනුකොවිච්)

මූලිකවම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුග්‍රහය දැක්වූ 2004 ඔරේන්ජ් විප්ලවය ,පලමුවන යනුකොවිච් ආන්ඩුව වෙනුවට ටයිමොශෙන්කො සහ වික්ටර් යුස්චෙන්කො කපතියාධිකාරීන්ගේ ආන්ඩුව බලයට ගෙන ඒමට මග පෑදීය.

මෙම ජෝඩුව විසින් ටයිමොශෙන්කො සහ ඇයට සම්බන්ධ කපතියාධිපතියන් තව තවත් පොහොසත් කිරීම ඇරඹූ කල රට වේගයෙන් අවුල් ජාලාවකට ඇද වැටුනි. දැන් බටහිර බලවතුන්ගේ පෙලඹවීම මත බටහිර මූලෝපායික උවමනාවන් සමග වඩාත් හොඳින් පෙල ගැසෙන කපතියාධිකාරී තන්ත්‍රයකට ඉඩ සලසනු වස් යනුකොවිච් සහ ඔහුගේ සහචරයින් බලයෙන් ඉවත් කිරීමේ පීඩනය යෙදෙමින් පවතී.

Share this article: