කොට්ටාව ඩිප් ප්‍රොඩක්ට්ස් කම්කරුවන් සසප සාමාජිකයන් සමග කතා කරයි

චානක ද සිල්වා සහ පානිනී විජේසිරිවර්දන විසිනි, 2014 ජනවාරි 11

ගම්පහ, වැලිවේරිය ප‍්‍රදේශයේ ජල දූෂනය සම්බන්ධයෙන් පැවැත්වෙන ස්වාධීන කම්කරු පරීක්ෂනයේ කොටසක් ලෙස, හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් වෙනිග්‍රොස් ඩිප් ප්‍රොඩක්ට්ස් කම්හල් සමූහයේ සේවයේ නියුතු කම්කරුවන් මුහුන දෙන සේවා කොන්දේසි විමසා බැලීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් පිරිසක් පසුගිය දා කොට්ටාව බ‍්‍රාහ්මනගම පිහිටි වෙනිග්‍රොස් කම්හලේ කම්කරුවන් හමුවූහ.

වැලිවේරිය ප‍්‍රදේශයේ ජල දූෂනයට එහි පිහිටි වෙනිග්‍රොස් කර්මාන්තශාලාව වගකිවයුතුයැයි චෝදනා කරමින් එය වසා දමන ලෙස ඉල්ලා එම ප‍්‍රදේශවාසීන් විසින් ගෙනයන උද්ඝෝෂනයේ දී මිලිටරිය විසින් වෙඩිතබා තිදෙනෙකු ඝාතනය කල බව දැන සිටි කම්කරුවෝ එම ඝාතනයන් පිලිබඳව තම කෝපය පල කලහ.

කම්හල් පාලකයන්, ආන්ඩුව, රාජ්‍ය ආයතන හා ධනපති මාධ්‍යයන් එක්ව සත්‍යය වසන් කරමින්, කම්හල එම චෝදනාවෙන් නිදහස් කර ගැනීම සඳහා දරන විවිධ උත්සාහයන් පිලිබඳව පැහැදිලි කරමින් මෙම ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වැදගත්කම සසප සාමාජිකයෝ කම්කරුවන්ට පැහැදිලි කලහ.

ප‍්‍රදේශයේ ජල දූෂනය කෙරෙහි කම්හලේ බලපෑම හා ගම්වාසීන්ගේ හා කම්කරුවන්ගේ සෞඛ්‍යය කෙරෙහි ඉන් මතු කෙරෙන තර්ජනය, කම්හලේ කම්කරුවන් මුහුනපා සිටින සූරාකෑමේ සේවා කොන්දේසි හා මිලිටරි ඝාතනයන්ට වගකිවයුත්තන් කවරහු ද? ප‍්‍රදේශවාසීන්ගේ මෙන්ම කම්කරුවන්ගේ ද සෞඛ්‍යයට තර්ජනයක්ව ඇති කාර්මික දූෂනයේ පීඩාවට විසඳුම කුමක් ද? ආදී කරුනු මෙම පරීක්ෂනයෙන් විමර්ශනය කෙරෙන බැව් සසප සාමාජිකයෝ ඔවුනට පෙන්වා දුන්හ.

සැබැවින්ම වැලිවේරියේ සිදු වෙමින් තිබෙන්නේ කුමක් ද යන්න දැන ගත්තේ සසප සාමාජිකයන්ගෙන් බව පැවසූ කම්කරුවෝ මෙවන් ස්වාධීන කම්කරු පරීක්ෂනයකින් කම්කරුවන් නොදන්නා බොහෝ කරුනු එලිදරව් වන බැවින්, එය ඉතා වැදගත් කටයුත්තක් බවත් එයට තම සහාය පල කරන බවත් පැවසූහ.

ප‍්‍රධාන වශයෙන්ම කොන්ත‍්‍රාත් කම්කරුවන් මත යැපෙන්නා වූ මෙම ඩිප් ප්‍රොඩක්ට් කම්හලේ කම්කරුවෙකු අප හා අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ පැය 8ක වැඩ මුරයක් සඳහා තමන්ට ලැබෙනුයේ රු.350ක තරම් සුලු වැටුපක් බව යි. මාසයේ වැඩ කිරීමට නියමිත දින 20ම නොකඩවා සේවයේ නිරත වුවහොත් ම පමනක් රු.1,000 ක පැමිනීමේ දීමනාවක් ඊට එකතු වෙයි. අතිකාල පැය ගනන සීමා කර ඇති බවත් තමන් අතිකාල පැය 150ක් මාසයට වැඩ කල ද, ලැබනුයේ පැය 100ක මුදල පමනක් බව ඔහු වැඩි දුරටත් පැවසීය. අතිකාල පැයක් සඳහා ගෙවන මුදල රු. 65ක් තරම් සොච්චමකි.

තවත් කම්කරුවෙකු තමා මුහුන දෙන දුෂ්කර තත්වය මෙසේ පැහදිලි කලේ ය: "අපි ඩේ ශිෆ්ට් එකක් කරන්න ගියාම ඊලග නයිට් ශිෆ්ට් එකට ඉන්න ඕන කම්කරුවෝ ගාන වැඩට ඇවිල්ල නැත්නම් සුපර්වයිසර්ල අපෙන් කීපදෙනෙක්ව නවත්ත ගන්නවා නයිට් ශිෆ්ට් එකටත්. අපිට කියනවා ඒ ශිෆ්ට් එකට ගෙවන්න්නේ ඕ.ටී. වලට ගෙවන ගාන කියලා. එත් මාසේ අන්තිමේ වැඩ කරපු ඕ.ටී. පැය ගානට හරියන්න කවදාවත් පඩි නැහැ. හැමදාම පඩිය අඩුකරලා හදන්නේ. අපිට එහෙම ඊලග ශිෆ්ට් එක කරන්න බැහැ කියල යන්න බැහැ. එහෙම ගියොත් ජොබ් එකත් නැති කරලා දානවා."

මෙම සමාගමට කොන්ත‍්‍රාත් කම්කරුවන් සපයනුයේ සක්‍යා නම් වූ මිනිස් බල ආයතනයෙන් වන අතර, ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගම විසින් කම්කරුවකු සඳහා ගෙවන වේතනයෙන් කොටසක් වන රු.350ක මුදලක් ඔවුන් කොන්ත‍්‍රාත් කම්කරුවන්ට ලබා දීමට කටයුතු කරයි. තවද තමන්ට ලැබෙන වැටුපෙන් ආහාර සලාකය සඳහා රු.5,500 මුදලක් කපාගන්නා බවත් තවත් කොන්ත‍්‍රාත් කම්කරුවකු අප හා ප‍්‍රකාශ කලේ ය. "අපිට ලැබෙන පඩියෙන් කෑමට කියල මෑන් පවර් එකෙන් රු.5,500ක් කපා ගන්නවා. ෆැක්ටරියේ කැන්ටින් එකට කෑම දාන්නේ කොන්ත‍්‍රාත් කාරයෙක්. එයා අපෙන් වැඩිපුර ගානක් හොරාට කාපා ගන්නවා. ඒ නිසා ගොඩක් අය කෑම කන්නේ එලියේ කඩවල් වලින්."

කොන්ත‍්‍රාත් කම්කරුවන් සේවයට බඳවා ගැනීමේ දී මාස 6 කින් ස්ථිර කරන බව පැවසුව ද අවුරුදු 4-5 සේවය කර ඇති කම්කරුවන් පවා ස්ථිර කර නොමැති බව ඔහු පෙන්වා දුනි. තවද, කම්හල තුල පවත්නා දරුනු සේවා තත්වයන් පිලිබඳ සිත් කාවදින තොරතුරු කිහිපයක් ඔහු එලිදරව් කලේ ය.

පරිඝනක ගත කරන ලද ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර ආශ‍්‍රිතව සේවය කරනු ලබන කම්කරුවන් එම යන්ත‍්‍රයේ සිදුවන්නාවූ දෝෂයන්ට ද වැරදිකරු කර, සේවයෙන් නෙරපා දැමීමට හෝ කම්කරුවාගේ වැටුපෙන් කොටසක් කපා දැමීමට පාලකයන් කටයුතු කරයි. සියලුම යන්ත‍්‍රසූත‍්‍ර අඛන්ඩව පැය 24ම ක‍්‍රියාකාරීත්වයේ පවතින බැවින්, එම යන්ත‍්‍රවලින් විවිධ දෝෂ හට ගැනීම ස්වාභාවික බව ප‍්‍රකාශ කල එම කම්කරුවා ඊට අවශ්‍ය කරනුයේ යන්ත‍්‍රයට අවශ්‍ය සුසර කිරීම් මිස, අදාල කම්කරුවා සේවයෙන් නෙරපීම නොවන බව ඉතා ආවේගශීලීව ප‍්‍රකාශ කලේ ය. "එක කොටසක් තියෙනවා ඒකේ වෙන්නේ ග්ලවුස් කෙමිකල් භාජනවල ගිල්ව ගිල්ව ගන්න එක. ඒක ස්වයංකී‍්‍රයව තමයි සිද්ධ වෙන්නේ. කම්කරුවෙක් දාල ඉන්නවා ඒක බලා ගන්න. සමහර වෙලාවට මැෂින් එක හරියට වැඩ කරන්නේ නැතිව ගිහින් ග්ලවුස් සමහර කෙමිකල් භාජනවල ගිල්වෙන්නේ නැතුව මග ඇරිලා යන්න ගන්නවා. ඒ වෙලාවට එතන ඉන්න කම්කරුවා වහාම ඒක ලොක්කන්ට කියන්න ඕන. සමහර වෙලාවට ඉක්මනට කිව්වේ නෑ කියල එයාගේ පඩියෙන් කොටසක් කපනවා. පහුගිය දවසක එහෙම හිටපු කම්කරුවෙක් ජොබ් එකෙන් අයින් කරලා දැම්ම."

විරැකියාව හේතුවෙන් ඇති තරම් කොන්ත‍්‍රාත් කම්කරුවන් සේවයට පැමිනීමට බලා සිටින හෙයින් පාලකයන් ස්ථිර කම්කරුවෙකු වුවද සේවයෙන් නෙරපීමට මැලි නොවන බව ඔහු තව දුරටත් පැවසීය. මේ හේතුව නිසා කිසිම කම්කරුවකු සිය වැටුපේ හෝ සේවා තත්වයන්ගේ පවත්නා අක‍්‍රමිකතා පිලිබඳව කිසිදු අයුරක පැමිනිල්ලක් ඉදිරිපත් කිරීමට හෝ එඩිතර නොවන බව ඔහු වැඩි දුරටත් පැවසීය. "අපේ අයිතිවාසිකම් සඳහා සටන් කරන්න කිසිම සංවිධානයක් නෑ. එහෙම සංවිධානයක් හදන්න පාලකයො ඉඩ දෙන්නෙත් නෑ."

වෘත්තීය සමිති ශාඛාවක් ගොඩ නැගීමට පෙරමුන ගත් වැලිවේරිය වෙනිග්‍රොස් කම්හලේ කම්කරුවන් කීප දෙනෙකු එහි පාලකයන් විසින් දඩයම් කිරීමට එරෙහිව අරගලයට පිවිසි කම්කරුවන් 120ක් සේවයෙන් නෙරපා හැරීම පිලිබඳව විමසූ විට ඔහු කියා සිටියේ එවැන්නක් නොදැන සිටි බව හා සැබැවින්ම කම්හල් දෙකේ කම්කරුවන් අතර ඒකාබද්ධතාවක් නිර්මානය කිරීම සඳහා කවර හෝ වෘත්තීය සමිති සංවිධානයක් කි‍්‍රයා නොකරන බව යි.

කර්මාන්තශාලාව තුල වැඩකරමින් සිටින අතරතුර දී කම්කරුවන් කිහිප දෙනෙකු ම මෑත දී හදිසි අනතුරුවලට මුහුන දුන් බවත් එහිදී පාලකයන් ඔවුන් ගැන සොයා බැලූයේ පලමු දිනයේ පමනක් වන බවත්, අනතුරුව සියලු වියහියදම් දරාගෙන සත්කාර කරනු ලැබුවේ සහෝදර කම්කරුවන් ම බවත් ඔහු පැවසීය. තවද එවන් හදිසි අනතුරුවලදී, කම්කරුවන්හට වන්දියක් හෝ ප‍්‍රදානය නොකරන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුනි.

බොහෝ කම්කරුවන් තමන්ට පවත්නා රෝගී තත්වයන් හා ශාරීරික දුබලතා ඉවසා දරා ගනිමින් ඊට ප‍්‍රතිකාරයක් පවා නොලබමින් දිගින් දිගට ම සේවා කටයුතුවල නිරතව සිටිනුයේ තමන් එක් දිනක නිවාඩුවක් හෝ ගතහොත් පැමිනීමේ දීමනාව තමන්ට අහිමි වන දන්නා හෙයිනි. කර්මාන්ත ශාලාව තුල කම්කරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිලිබඳව සොයා බැලීම සඳහා පාලකයන් විසින් වෛද්‍යවරයෙක් යොදවා ඇත්තේ කම්කරුවන්ගේ යහපත සඳහා නොව, ඔවුන්ට කෙතරම් කාර්යක්ෂමව වැඩෙහි නිරත විය හැකි ද යන්න සොයා බැලීමට බව තවත් කම්කරුවෙක් පැවසීය.

කම්කරුවන් බොහෝ දෙනා බීමත්කමට ඇබ්බැහිවී සිටිනා බව අප හා පැවසු තවත් තරුන කම්කරුවෙක් වැඩි දුරටත් ප‍්‍රකාශ කලේ, බීමට ඇබ්බැහි වූ බොහෝ කම්කරුවන් අනේකවිධ ප‍්‍රශ්න රාශියකගෙන් පීඩාවට පත්ව, ලැබෙන්නාවූ සොච්චම් වැටුපෙන් එම ප‍්‍රශ්න විසඳා ගන්නේ කෙසේ ද යන්න ගැනම කල්පනා කොට, මානසික අවපීඩනයට පත්ව ඇති බවත් ඒ නිසාම බීමට යොමුව පවත්නා බව ය.

කම්හල තුල පවත්නා රුදුරු සේවා කොන්දේසිවලට එරෙහිව සටන් කිරීමට කම්කරුවන්ට අවශ්‍ය නමුත් ඒ සඳහා නායකත්වය දීමට හෝ ඔවුන් අතර එකමුතුවක් නිර්මානය කිරීමට කවර හෝ සංවිධානයක් කි‍්‍රයා නොකරන තතු තුල මෙම පරීක්ෂනය සඳහා සසපයේ මැදිහත් වීම අගය කරන බව බොහෝ කම්කරුවෝ පැවසූහ.

Share this article: