ඉන්දියාවේ හා ලංකාවේ ධීවරයන් අත්අඩංගුවට ගැනීම් පිටුපසින්

අයිවන් ප‍්‍රනාන්දු සහ කපිල ප‍්‍රනාන්දු විසිනි, 2014 ජනවාරි 13

පසුගිය මාස කිහිපය තුල ඉන්දියාවේ තමිල්නාඩුවේ හා ශ‍්‍රී ලංකාවේ ධීවරයන්, දේශ සීමා උල්ලංඝනය කලේ ය යන චෝදනාව මත, දෙරටේ නාවික හමුදාව හා වෙරලාරක්ෂක භටයන් විසින් අත් අඩංගුවට ගැනීම් වඩවඩාත් ඉහල ගොස් තිබේ. දක්වන හේතුව කුමක් වුවත්, මෙම අත්අඩංගුවට ගැනීම්වලින් ඉන්දියාව හා ලංකාව අතර වර්ධනය වන දේශපාලන ආතතීන් පෙන්නුම් කරයි.

ඉන්දියාවේ හා ලංකාවේ ආන්ඩු අහිංසක ධීවරයන් සම්බන්ධ තම පරිපූර්න නොතැකීම ප‍්‍රදර්ශනය කර ඇත. තමිල්නාඩු ප‍්‍රාන්ත පාලනය හා ලංකාවේ ආන්ඩුව ද දෙපැත්තේ අනෙකුත් සිංහල-දෙමල ස්වෝත්තමවාදී පක්ෂ හා කන්ඩායම් ද, ලංකාවේ තිස් අවුරුදු යුද්ධය වර්ගවාදය ඇවිස්සීමට යොදා ගත්තේ යම් සේ ද ධීවර ගැටලුව ද ගසාකමින් සිටින්නේ එලෙස ම කම්කරුවන් හා අවශේෂ දුගීන් මුහුන දී ඇති සැබෑ ගැටලු යටගැසීම සඳහා වර්ගවාදය ඇවිස්සීමට ය.

කොලඹ හා නව දිල්ලියේ ආන්ඩුවල මර්දනයට හසුව බැටකන්නේ දෙරටේම මහ ධීවර සමාගම්වල ආධිපත්‍යයෙන් ද තෙල් මිල හා ධීවර ආම්පන්න මිල ගනන් පිම්මේ ඉහල යෑමෙන් ද මිරීකී සිටින, ගැඹුරු මුහුදේ මසුන් මැරීමෙන් ජීවිකාව සරි කර ගන්නා ධීවරයන් ය. ඉන් වැඩිදෙනා බහුදින යාත‍්‍රා යොදා ගෙන මසුන් ඇල්ලීමේ යෙදෙති.

දෙරට අතර පටු මුහුදු සීමාව උල්ලංඝනය කල බව පවසා අත්අඩංගුවට ගත් ලංකාවේ ධීවරයන් 250ට අධික පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ චෙන්නායිහි පූනර් නම් එලිමහන් සිරකඳවුරේ රඳවා ඇත. ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත් තමිල්නාඩු ධීවරයන්ගේ ගනන 280 ඉක්මවා තිබේ. දෙරටේම ධීවර බෝට්ටු දුසිම් ගනනක් හා ආම්පන්න අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමවලට විරුද්ධව ඉන්දියාවේ නාගපට්නම් හා රාමේශ්වරම් ප‍්‍රදේශවල ද ලංකාවේ දකුනු පලාතේ ගාල්ල, මාතර හා වයඹදිග මීගමුව හා හලාවත ආදී ප‍්‍රදේශවල ද සිය ගනන් ධීවරයෝ උද්ඝෝෂනවල යෙදුනහ.

දෙසැම්බර් අග තමිල්නාඩුවේ නාගපට්නම් ධීවරයන් තම සගයන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා දියත් කල උපවාසය නතර කෙරුනේ ප‍්‍රාන්තයේ මහා ඇමතිනි ජයලලිතා ජෙයරාම්, ගැටලුව සම්බන්ධව ලංකාවේ ආන්ඩුව සමග සාකච්ඡා කරන බව ප‍්‍රකාශ කිරීමෙන් පසු ය. කෙසේ වෙතත්, හින්දු පුවත්පතේ පල වූ අගමැති මන්මෝහන් සිංට යැවු ලිපියක ඇය සඳහන් කොට තිබුනේ, ලංකා නාවික හමුදාව මගින් දිගින්දිගට ම සිදු කරන අත්අඩංගුවට ගැනීම් හා පැහැර ගැනීම් හේතුවෙන් දෙරටේ ධීවර නියෝජිතයන් අතර පවා කවර හෝ මිත‍්‍රශීලි සාකච්ඡාවකට ඉඩක් නොමැති බව යි.

දෙරටේ බහුතරයක් ධීවරයන් තවමත් සාම්ප‍්‍රදායික පැරැනි තාක්ෂනික මෙවලම්වලින් මසුන් මැරීම සිදු කරයි. ඉන්දියාවට ආසන්න උතුරු ප‍්‍රදේශයකින් ලංකාවේ ධීවරයින් ජාත්‍යන්තර මුහුදට ප‍්‍රවේශ වන්නේ, දකුනු ප‍්‍රදේශයෙන් ඇතුලුවනවාට වඩා දින දෙක තුනක අඩු කාලයකින් එම කාර්යය කර ගත හැකි බැවිනි.

ඉන්දියාවේ දකුනුදිග ආන්ඩුවල හා නව දිල්ලියේ ද කනස්සල්ලට හේතුවී ඇති එක කරුනක් නම් චීන සමාගමකට ලංකාවේ නිල අනුග‍්‍රහය ප‍්‍රකාශ කෙරෙන ලෙස ජාතික කොඩිය ද ප‍්‍රදර්ශනය කරගෙන මසුන් මැරීමට ඉඩ ලබාදීම යි.

ඉන්දියානු කේරල ප‍්‍රාන්තයේ ධීවර කම්කරුවන්ගේ එක්සත් පෙරමුනේ සභාපති චාල්ස් ජෝජ් ගිය වසරේ ජුනි මාසයේ දී ද හින්දු පුවත්පතට ප‍්‍රකාශ කර තිබුනේ, කොලඹට ආසන්නව ඉදිකල දික් ඕවිට නව ධීවර වරාය චීන නැව් සඳහා භාවිත කිරීමට ද ලංකාවේ අනුග‍්‍රහය සහිතව එම නැව්වලට මසුන් ඇල්ලීමට අවසර ලබා දීම ද ඉන්දියාවේ ධීවර කර්මාන්තයට බරපතල පහරක් වී ඇති බව යි. පෘතුගාල ආධාර යටතේ තනා ඇති දික් ඕවිට ධීවර වරාය දකුනු ආසියාවේ විශාලතමය බව ද නූතන තාක්ෂනය භාවිතා කරන බව ද පැවසේ.

චීනය විශාල වශයෙන් රටේ වැඩිවෙන පරිභෝජනය සඳහා ටූනා (කෙන්දා) මසුන් ඇල්ලීමේ යෙදී සිටින්නේ යැයි වාර්තා වේ. චීන සමගම මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 90 අත්කර ගන්නා අතර සියයට 10ක් ලංකාවට දෙයි.

ඉන්දීය ධීවර සමිති ද ආන්ඩුවේ ආයතන ද එරටට අයත් සාගර සීමාව තුල හා ආසන්නයේ ටූනා මත්ස්‍ය ප‍්‍රමානයන් හා වටිනාකම ද ගනන් බලමින් චීනය තරඟයට එලැඹීමෙන් ඇතිවන පාඩුව ගැන විස්තර ඉදිරිපත් කරති. මේ දෙරට ම ධීවර කර්මානතයට එහා ගිය ඉන්දියන් සාගරයේ ඛනිජ සම්පත් සෙවීම සඳහා අධි තාක්ෂනික මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ලංකාවේ ආන්ඩුව තම මුහුදු ප‍්‍රදේශය තුල චීන සමාගමකට මසුන් ඇල්ලීමට අවසර දීම සිදුව ඇත්තේ, අනෙක් අතට රට තුල මංමාවත්, වරාය හා අනෙකුත් පොදුකාර්ය ව්‍යුහයන් ගොඩනැගීමේ කොන්ත‍්‍රාත්තු ද හෝටල් හා තවත් ව්‍යාපාර සඳහා ආයෝජන අවස්ථා ද චීනයට ලබා දෙන තතු තුල ය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ආර්ථික වශයෙන් වාරුවී සිටින්නේ චීනයෙන් විශාල වසයෙන් ලැබෙන නය හා ආයෝජන මත යි.

අඩු ආයෝජන අවස්ථා තමන්ට ලැබීම ද අන් සියල්ලන්ටමත් වඩා කොලඹ ආන්ඩුව මත බීජීනයේ බලපෑම වැඩිවීම ද තමන්ට තර්ජනයක් ලෙස දිල්ලිය සැකයෙන් යුතුව බලන්නේ, චීනය තමන්ට එරෙහි මූලෝපායික පිලිමල් රටක් ලෙස සලකන හෙයිනි.

රාජපක්ෂ ආන්ඩුව මත චීන බලපෑම වැඩිවීම ඇමරිකාව ප‍්‍රමුඛ අනෙකුත් මහ බලවතුන්ගේ ද දැඩි සැලකිල්ලට ලක්ව තිබේ. එල්ටීටීයට එරෙහිව කොලඹ ආන්ඩුවේ යුද්ධයට මුළුමනින්ම ආධාර කල මේ රටවල්, දැන් රාජපක්ෂ ආන්ඩුව සිදුකල යුද අපරාධ මානුෂික අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙස චෝදනා එල්ල කරති. විශේෂයෙන්ම, ඇමරිකාව චීනයට එරෙහිව යුද සූදානමක කොටසක් ලෙස ලංකාවේ ආන්ඩුව චීනය මත වාරුවීමෙන් ඉවත්වී තම කක්ෂය තුලට ආයුතු බව අඟවා සිටී. ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් මුල්වී උග‍්‍ර කරන මෙම ආතතීන් ලෝක යුද්ධයක් ම ඇති කරන දිසාවට යමින් තිබේ.

මේ භූ දේශපාලන ආතතීන් දෙරටේ ධීවරයන්ට අඩම්තේට්ටම් කිරීම පිටුපසින් පවතී. ප‍්‍රධාන බලවතුන් අතර භූ දේශපාලන ආතතීන් උග‍්‍රවන තතු තුල ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව හිරවී තමන්ට ගැලවීමක් සඳහා පවතින ඉඩකඩ ද වාසි ලබා ගැනීමේ හොඳම පියවර කුමක් දැයි ගනන් බලමින් සිටී.

ලෝකයේ තෙල් නිෂ්පාදනයෙන් සියයට 70ක් ඇතුලු ඛනිජ තෙල් හා වෙලඳ භාන්ඩ ප‍්‍රමානයෙන් සියයට 50ක් ගමන් කරන්නේ ඉන්දියන් සාගරය හරහා බවත් ලංකාව ආසියාවේ නැගෙන බලයන් දෙක වන ඉන්දියාව හා චීනයට සමීපව පිහිටා තිබෙන බවත් මෑතක දී කොලඹ දී පැවති නාවික සමුලුවක දී සඳහන් කල ලංකාවේ නාවික හමුදාපති ජයනාත් කොලඹගේ, ඉන්දියන් සාගරය නැවත වතාවක් ලෝකයේ ප‍්‍රධාන සාගරය බවට පත් වෙමින් තිබේ යයි වැඩි දුරටත් ප‍්‍රකාශ කලේ ය. ඉන්දීය ධීවරයන් "හොරෙන්" ඇතුල්වීම් හා වාරනය කරන ලද ධීවර ක‍්‍රම භාවිතය පශ්චාත් යුද සමයේ ලංකාව මුහුන දී ඇති ගැටලුවක් බව ඔහු කීවේ ය.

"ශ‍්‍රී ලංකාවේ නාවික හමුදාව බෙංගාල බොක්ක අවට මුහුදු සීමාව සිර කඳවුරක් බවට පත් කරමින් තිබේ" යයි තමිල්නාඩුවේ ඩීඑම්කේ පක්ෂයේ නායක කරුනානිධි කර තිබු ප‍්‍රකාශයකට පිලිතුරු දෙමින් කොලඹගේ සඳහන් කලේ, "අපි ආරක්ෂා කරන්නේ අපේ අවශ්‍යතාවන් පමනයි. අප ඔවුන්ගේ ගනුදෙනුවලට ඇඟිලි ගසන්නේ නෑ" යනුවෙනි. එහෙත් ධීවරයන් අත්අඩංගුවට ගැනීම් එකිනෙකාට එරෙහි පලිගැනීම් වසයෙන් දැනුවත්ව ම ගෙනයන ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන් ය. ආර්ථික වාසි ගසා කෑම සඳහා රාජපක්ෂ ආන්ඩුව උත්සුක ය.

චීන, තායිවාන් හා ජපනයේ විශාල ධීවර නැව් ලංකාව අවට මුහුදු තීරයේ ටූනා මසුන් මැරීමේ යෙදී සිටින බවත් දික්ඕවිට වරායේ ජාත්‍යන්තර කොටස ලෙස වෙනම කොටසක් නම් කර ඇති බවත් ධීවර කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට පැවසූහ.

ලංකාවේ ධීවරයන් ගැන කිඹුල් කඳුළු හෙලන කොලඹ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සැලසුම් කර ඇත්තේ, මසුන් ඇල්ලීම විදේශ මහ කොම්පැනිකාරයන්ට පැවරීමට යි. චීනයේ යාත‍්‍රා 20ක් ද ජපන් යාත‍්‍රා 08ක් ද දැනට මසුන් ඇල්ලීමේ යෙදෙයි. ධීවර ඇමති, රාජිත සේනාරත්න පැවසුවේ, ඊට අමතරව ඩුබායි හා තායිලන්ත සමාගම්වලට ඉඩ ලබා දෙන බව යි.

දෙසැම්බර් 12 ලංකාවේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක පෙනී සිටි සේනාරත්න, ඉන්දියාවේ අත්අඩංගුවට පත්වන ධීවර යාත‍්‍රාවක් සඳහා රුපියල් ලක්ෂ 15ක දඩයක් අයකර ගත යුතු බවට ධීවර යාත‍්‍රා හිමියන්ට තර්ජනයක් කලේ ය. මහා ව්‍යාපාරික නැව්වලට පහසුකම් සලසන ආන්ඩුව කිසිදු පහසුකමක් නොමැති රටපුරා ඇති ධීවර වරායන්වල අය කරන ගාස්තු සියයට 25 කින් ඉහල දමා තිබේ.

දෙරට අතර ආතතීන් මැද තමන්ට එල්ලවන ප‍්‍රහාර ගැන ධීවරයෝ කිපී සිටිති. නොවැම්බර් 20 පුද්ගලික බස්රථ තුනකින් අත්අඩංගුවේ පසුවන ධීවරයන්ගේ බිරින්දෑවරුන්, ඔවුන්ගේ දරුවන් සහ ඥාතීන් ද ඇතුලු 140ක් පමන ධීවර අමැති හමුවීමට ගිය අවස්ථාවේ දී එක් ධීවර කාන්තාවක් හා ඇමති අතර ඇති සංවාදය ධීවරයන්ගේ අවශ්‍යතාව හා පාලකයන්ගේ අවශ්‍යතාවත් අතර නොපෑහීම පෙන්නුම් කරයි.

එහිදී, "ලංකාවේ අත්අඩංගුවට පත් ඉන්දියන් ධීවරයන් නිදහස් කරමින් අපේ ධීවරයන් නිදහස් කර දෙන්න" යයි ඇය ඉල්ලා සිටි විට ඇමති තර්ජනාත්මකව කියා සිටියේ, "ඔයා කියන නීතිය ද මම කරන්න ඕන" යනුවෙනි. "මම කියන නීතිය කරන්න එපා, කල යුතු දේයි මම පෙන්වා දෙන්නේ" යයි ඇය තර්ක කලා ය.

අමාත්‍යාංශයට ඇතුලුවූ ඇමති යලි ධීරයන් මුන ගැසීමට නොපැමිනි බවත් පොලිසිය මැදිහත් කර මෙම පිරිස විසුරුවා හැරීමට සැලසුමක් තිබුනු බවත් එම විරෝධතාවට සහභාගීවූ ධීවරයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට ප‍්‍රකාශ කලහ.

හලාවත බහුදින ධීවර කාර්මිකයෙකු වන මැල්කම් මෙසේ පැවසීය: "ජාත්‍යන්තර මුහුදේ ටූනා මාලූ ඇල්ලීම සඳහා යාමට ඒමට දින 21ක් ගත වෙනවා. මාලු අල්ලන්නේ දින 5ක් හෝ 6ක්. අපේ බෝට්ටුවල අධිශීතකරන නෑ. අයිස් පමනයි තියෙන්නේ. මාලු ගබඩා කර තැබීමට පහසුකම් මදි. කල් ගත වුනොත් අයිස් දිය වෙනවා. අලුතෙන් විවෘත කල දික් ඕවිට වරායේ ආන්ඩුවේ අවසර දී ඇති තායිවාන් නැව්වලට උපරිම පහසුකම් දී තියෙනවා.

"නැව්වල තියෙන තාක්ෂනික පහසුකම් එකක්වත් අපිට නැහැ. ඒ නැව්වල ලෝන් එකේ බිලිකටු පන්දාහක් හා හයදාහක් ගහන්නට පුලුවන්. ජලයේ උෂ්නත්වය අනුව මාලු සිටින දිශාවන් තාක්ෂනික උපකරනවලින් සොයා ගෙන විශාල වශයෙන් මසුන් අල්ලා ගත හැකියි. මාලු අල්ලන නැව් ගොඩට එන්නේ නැහැ. මාලු අල්ලන නැව්වලින් මාලු එකතු කර ගෙන ඒම සඳහා වෙන ම නැව් තියෙනවා. එම නැව්වලින් විශාල වශයෙන් මාලු ගොඩ ගෙනවිත් දිග් ඕවිට වරායට ගොඩබා මාලු කොම්පැනිවලට විකුනනවා. මේ කාලයට අපි ගෙනාපු මාලුවල මිල පහලට දානවා. තාක්ෂනික පහසුකම් නොමැති නිසා හොඳ ගුනාත්මක මාලු සපයන්න බැහැ. අලුතින් ඉදිකරපු ඕලුවිල් වරායටත් තායිවාන් හා ජපන් නැව් 50ක් පමන ගෙන්වනවා කියා ධීවර ඇමති කියනවා. එතකොට ලංකාවේ ධීවරයන්ට මොකද වෙන්නේ ?”

ධනපති ආන්ඩුව විදේශ ආයෝජකයන් ගෙන්වා ඔවුන්ගේ සූරාකෑමට කොන්දේසි සකස් කරන මේ තතු යටතේ ධීවර සමිති කියන ජාතිකවාදී විසඳුම් දෙරටේ ධීවරයන් කම්කරුවන් කොටවන හලාහල විෂකි. ලංකාවේ හා ඉන්දියාවේ කම්කරුවන් එක්සත්ව ධනපති පන්ති පාලනය අහෝසිකර සමාජවාදී වැඩපිලිවෙල ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩු පිහිටුවීම එකම විසඳුම ලෙස පවතී. දේශ සීමා හා මුහුදු සීමා ධනපති රාජ්‍යයන් රැකීමේ නීතීන් අනුව සෑදු ඒවා ය. කම්කරුවන්ට, ගොවීන්ට, ධීවරයන්ට මෙම සීමා ඉවත් කර තම අයිතීන් රැක ගත හැක්කේ සමාජවාදී ක‍්‍රමයක් තුල ය.

Share this article: