ඉන්දීය අගමැති විශ්‍රාම ගන්නා බව නිවේදනය කර යි

India’s prime minister announces resignation

කීත් ජෝන්ස් විසිනි, 2014 ජනවාරි 6

ඉන්දීය අගමැති මන්මෝහන් සිං පසු ගිය සිකුරාදා පුවත්පත් සාකච්ඡාවක දී පැවසුවේ, 2014 අප්‍රේල් මැයි මාසවල පැවත්වීමට නියමිත මැතිවරනයෙන් පසු ඔහු ඉල්ලා අස්වන බව යි.

කොන්ග්‍රසය බලයට පත්වූ 2004 මැයි මාසයේ පටන් කොන්ග්‍රස් පක්ෂය නායකත්වය දෙන එක්සත් ප්‍රගතිශීලී සන්ධාන (යූපීඒ) ආන්ඩුවේ නායකයා වන සිං හැමවිට ම අවධාරනය කලේ, තමා ඉන්දීය ආන්ඩුවේ නායකයා ලෙස සේවය කරන්නේ කොන්ග්‍රස් පක්ෂ නායක සෝනියා ගාන්ධිගේ අභිමතය පරිදි බව ය .

කොන්ග්‍රස් පක්ෂය රාහුල් ගාන්ධි අගමැති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇති බව දැන් පුළුල් ලෙස බලාපොරොත්තු පලවෙයි. සෝනියාගේ 43න් හැවිරිදි පුත් රාහුල් ගාන්ධි නේරු-ගාන්ධි දේශපාලන පෙලපතේ උරුමක්කාරයා ය.

සිය මාධ්‍ය සාකච්ඡාවේ දී සිං, රාහුල් ගාන්ධි වෙනුවෙන් සහයෝගය පල කලේ ඔහු නායකත්වය දරන ආන්ඩුවක සේවය කිරීම ගෞරවයක් කොට සලකන බව පවසමිනි. “නම් කරනු ලැබීම සඳහා රාහුල් ගාන්ධිට විශිෂ්ට හපන්කම් ඇතැ යි” සිං සහතික විය. “අපේ පක්ෂය නියමිත මොහොතේ දී තීරනය ගනු ඇතැ යි මම අපේක්ෂා කරමි.”

81ක් වියති සිං ඉන්දියාවේ අගමැති වශයෙන් තුන්වැනි වාරයටත් පත් නොකරනු ඇති බවට බොහෝ කාලයක් තිස්සේ කටකතා පැතිරී තිබුනු නමුත් ඔහුගේ ඉල්ලා අස්වීමේ මොහොත, ඉන්දියානු ආර්ථිකයට ලෝක ආර්ථික අර්බුදය මගින් නොනැවතී පහර වැදී ඇති කොන්දේසි යටතේ, අනාගත මැතිවරන තුල කොන්ග්‍රස් පක්ෂයේ භූමිකාව පිලිබඳව එහි නායකත්වය තුල වැඩිවන සාංකාවේ නැත්නම් මංමුලාවේ සංඥාවකි. 2011 සිට ආර්ථික වර්ධනය අඩකින් පහත වැටී ඇත; මිල ගනන් ඉහල යන්නේ වසරකට සියයකට 10 ඉක්මවා ය; ලෝක නය ශ්‍රේනිගත කිරීමේ ආයතන අනතුරු අඟවා ඇත්තේ ඊ ලඟ ආන්ඩුව සමාජ වියදම් කප්පාදු කිරීමට හා “ආයෝජන හිතති" ප්‍රතිපත්ති පැනවීමට තීරනාත්මකව ඉදිරියට නො යන්නේ නම් ඔවුන් ඉන්දියාවේ නය ශ්‍රේනිය කසල බැඳුම්කර තත්වයට පහල දමනු ඇති බව යි.

මහ මැතිවරනයට පෙර අගමැති අපේක්ෂකයෙකු නම් කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නැතැ යි කොන්ග්‍රස් පක්ෂයේ ඉහල නායකත්වය ප්‍රකාශ කරමින් සිටියේ යන්තම් සති කීපයකට පෙර සිටය. එහෙත් පක්ෂය අන්ත මැතිවරන පරාජයකට මුහුනපෑමේ සලකුනු නොකඩවා වැඩෙමින් තිබේ.

පසු ගිය මාසයේ දී ප්‍රාන්ත පහක පැවත් වූ මැතිවරන වල දී එහි රාජ්‍ය සභා ආසනවලින් අඩකට වඩා නැති කර ගනිමින් හා රාජස්තාන්හි හා ජාතික අගනුවර වන දිල්ලි ප්‍රදේශයේ බලය අහිමි කර ගනිමින් කොන්ග්‍රසය පරාජයට පත්විය. ජාතික මැතිවරනයේ දී කොන්ග්‍රසයේ තත්වය කෙරෙහි මෙම පරාජය නරක පෙර ලකුනු පෙන්වනවා පමනක් නො ව, මැතිවරන සම්මුති හා ආසන බෙදාහදාගැනීම මත කලාපීය හා කුල පාදක පක්ෂ සමූහයක් සමග කොන්ග්‍රසයේ කටයුතු හා ගනුදෙනුවලට (සංකීර්න ගිවිසුම්වලට) එය හානිකර ලෙස බලපා ඇත. 1984 සිට කිසි දු තනි පක්ෂයක් පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගෙන නැති තත්වයක් තුල ආසන දිනීමට හා බලය සඳහා පශ්චාත් මැතිවරන ලන්සු තැබීමේ දී එවැනි සම්මුති අත්‍යාවශ්‍ය වී තිබේ.

බොහෝවිට අසත්‍ය යයි පිලිගැනෙන ඉන්දියාවේ අපකීර්තිමත් ජන මත විමසුම් පෙන්වන්නේ, කොන්ග්‍රස් පක්ෂය විපක්ෂ භාරතීය ජනතා පක්ෂයට (බීජේපී) වඩා බොහෝ පසුපසින් සිටින බව යි.

හින්දු අධිපතිවාදී බීජේපීය එහි අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි වටා කැරකෙමින් ජනාධිපති වර්ගයේ මැතිවරන උද්ඝෝෂනයක යෙදී සිටියි. අන්ත වර්ගවාදියෙකු හා හින්දු අධිපතියෙකු ලෙස පෙනී සිටින මෝඩි පසු ගිය අවුරුදු දොලහ තිස්සේම ගුජරාටයේ මහඇමති ලෙස සේවය කර ඇත.

මහා ව්‍යාපාර ගැති ප්‍රතිපත්ති හා සංවර්ධන ව්‍යාපෘතිවලට එරෙහිව මහජන විරෝධය කුරිරු ලෙස මැඩීමෙහිලා ගුජරාටයේදී ඔහු පෙන්වා ඇති සාර්ථකත්වය ජාතික මට්ටමේ දී ද ඔහු එසේම ක්‍රියාත්මක කරනු ඇතැ යි යන විශ්වාසය සමග කොන්ග්‍රසයට රිදවීම සඳහා ඉන්දියාවේ සංගත බොහොමයක් සිය සහයෝගය මෝඩි වෙත මාරු කර ඇත.

1990 ගනන්වල මුල් භාගයේ මුදල් ඇමති වශයෙන් මන්මෝහන් සිං, ජාතික පදනමක ක්‍රියාත්මකවූ ඉන්දියානු ආර්ථිකය බිඳ විසුරුවා හැරීම හා එය නව-ලිබරල්, වෙලඳපොල-ගැති, “ප්‍රතිසංස්කරන” වැලඳගැනීම අධීක්ෂනය කරමින් දීර්ග කාලයක් ඉන්දියාවේ මහා ව්‍යාපාරවල විශ්වාසය හිමිකරගෙන සිටියේය.

කෙසේ නමුත් ඔහුගේ වැඩ කොටස මෑත වර්ෂවල දී තියුනු ලෙස පහත වැටිනි. දැවන්ත මහජන විරෝධය අබිමුවෙහි වෙලඳපොල ප්‍රතිසංස්කරන සමග ඉදිරියට යාමට යූපීඒ ආන්ඩුව පෙන්නුම්කල අසාර්ථකත්වය මත මහා ව්‍යාපාර වැඩි වැඩියෙන් නො ඉවසිලිමත් ව හා කෝපයට පත්විය.

මහා ව්‍යාපාරික කොටස් අතරේදී සිං, “පය පැකිලෙන්නෙකු" ලෙස බැහැර කරන ලදී.

සිල්ලර වෙලඳාම, බහු-සන්නාම සහිත වෝල්මාට්-ආකාරයේ වෙලඳ සැල් අංශයට විවෘත කිරීම, පුද්ගලීකරනය වේගවත් කිරීම හා නිරායෝජන සහ ද්‍රවීභූත ස්වාභාවික ගෑස් සඳහා වූ සහනාධාර තියුනු ලෙස පහත දැමීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරනවල “ පිපිරුම් සහගත" වැඩසටහනක් 2012 සැප්තැම්බරයේ දී ආන්ඩුව නිවේදනය කලේ ය. ජාතික වශයෙන් රූපවහිනියේ විකාශනය කෙරුන කතාවක දී සිං, රැකියා නිර්මානය කිරීම සඳහා විදේශ ආයෝජන ඇද ගැනීමට ඉන්දියානුවන් තම පටි තදකර ගත යුතුව ඇතැ යි පවසමින් මෙම පියවර අනුමත කලේය. එය සිදු වූයේ සියළු ම ලමුන්ගෙන් අඩක් මන්දපෝෂනයෙන් පෙලෙන හා ජනගහනයෙන් හතරෙන් තුනක් දවසකට ඩොලර් දෙකකට අඩු ආදායමකින් දිවි රැක ගන්නා රටක් තුල ය.

සිංගේ නිර්දය භාවය තිබිය දී වුවත් “පිපුරුම් සහගත” පියවර මගින් යූපීඒ ආන්ඩුව සඳහා උත්පාදනය කරන ලද විදේශ ආයෝජන ඉහල යාම හා දේශීය ව්‍යාපාරික උද්යෝගය තාවකාලික බව තහවුරු කෙරුනි.

පසු ගිය අවුරුද්දේ අර්බුදය විසින් ඉන්දීය ආර්ථිකය සොලවනු ලැබීමත් සමග ආන්ඩුව කෙරෙහි පාලක පන්තියේ නො රිස්සුම හා කෝපය දැඩි වී ඇත. රුපියලේ තියුනු අවප්‍රමානයකට පසු ඉන්දියාව වහා ම ජංගම ගිනුම් අර්බුදයකට මුහුන දෙනු ඇතැ යි බිය පලවිය. එක් ප්‍රමුඛ නිරීක්ෂකයෙකු ඇඟවූයේ, මන්මෝහන් සිං දශක දෙකකට පෙර ගෝලීය ධනවාදය සඳහා ඉන්දියාව ලාභ ශ්‍රම නිෂ්පාදකයෙකු කිරීමේ තල්ලුව වේගවත් කිරීම තුල ඔහු ඉටු කල කාර්යභාරයට වඩා, 2012 ආර්ථික අර්බුදය තුල ඔහුගේ ක්‍රියාකලාපය හොඳින් සිහිපත් කෙරෙනු ඇති බව යි.

ඉන්දියාවේ සංගතවලට අයිති දිනපතා පුවත්පත් කොන්ග්‍රසයේ “ජනප්‍රියවාදය” හෙලාදකින කතුවැකි හා අදහස් වලින් පිරී ඇත. “ජනප්‍රියවාදය," ප්‍රධාන වශයෙන් ඉන්දියාව වාර්තාගත ආර්ථික වර්ධනයක් අත්විඳි පලමු වාරයේ දී, යූපීඒ ආන්ඩුව ක්‍රියාත්මක කර තිබූ සමාජ වියදම් ඉතා අල්ප ලෙස වැඩිකිරීම සඳහා යෙදූ කේත වචනයකි.

කොන්ග්‍රස් උප-සභාපති රාහුල් ගාන්ධි එහි මෑත විනාසකාරී ප්‍රාන්ත මැතිවරන ව්‍යාපාරය හරි මැද තැබුවේ ද “ආර්ථික වර්ධනය" පිලිබඳ ඔහුගේ පක්ෂයේ පට්ටා ගැසූ ප්‍රකාශයන් ය. කම්කරුවන්ගේ බහුතරය හා ග්‍රාමීය දුප්පතුන්ගේ පුළුල් කොටස් මෙය නපුරු විහුළුවක් ලෙස දුටු බවට සැකයක් නැත. ඉන්දියාව සෞඛ්‍ය ආරක්ෂාව හා අධ්‍යාපනයට වියදම් කරන්නේ දදේනි ඇබිත්තක් වන, පිලිවෙලින් සියයට 1.5ක් හා 3.75කි. තව ද ඉන්දියානු හා විදේශීය මහා ව්‍යාපාර සතුටු කිරීමට සමාජ ශුභසාධන වියදම් කැපීමට මෙන් ම ගෑස් හා ඩීසල් මිල සහනාධාර තුරන් කිරීමට ආන්ඩුව අධිෂ්ඨාන සහගතව කටයුතු කලේය. මහා ව්‍යාපාරයන්ගේ බොහොමයකට අනුව තවමත්, කොන්ග්‍රසයේ “දුප්පතුන්ට-පක්ෂ” න්‍යායපත්‍රය පිලිබඳ රැවටිල්ල ගැන ගාන්ධිගේ දෙඩවිල්ල ආන්ඩුව කෙරෙහි ඔවුන්ගේ විරුද්ධත්වයට තහවුරු කරනවා පමනි.

ආසන්න වශයෙන් අගමැති ලෙස ඔහුගේ දස අවුරුද්ද තුල පැවැත්වූ තුන්වන මාධ්‍ය සාකච්ඡාවේ දී සිං, යූපීඒ යටතේ ඉන්දියාව අත්කරගත් ආර්ථික වර්ධනය ඒත්තු ගන්වන්නට දැඟලුවේ ය. එසේ කිරීමේ දී ඔහු, මෙම වර්ධනයේ ප්‍රතිඵල පොහොසතුන්, සුපිරි පොහොසතුන් හා මධ්‍යම පන්තියේ ඉතාමත් වරප්‍රසාදිත තට්ටුවක් විසින් සිය ඒකාධිකාරය කරගත් බව හිතාමතාම නොසලකා හැරියේය. එමෙන් ම ලෝක ආර්ථික අර්බුදය, විදේශ ප්‍රාග්ධන ගලා ඒම් මත එරට අත්‍යන්ත පැවත්ම හා දුබලකම හෙලිදරව් කරමින්, ඉන්දියාවේ ධනේශ්වර ප්‍රසාරනය දුර්වල කර ඇත.

අඩු වශයෙන් කොටසක් ලෙස හෝ කොන්ග්‍රසය මෑතකදී ලත් මැතිවරන පසුබෑම, ආහාර මිල ගනන් වැඩිවීම මත මහජන කෝපය පල කිරීමේ ප්‍රතිපලයක් බව අඟවමින් සිං ප්‍රකාශ කලේ, දුප්පතුන්ට උදව් කිරීමට ආන්ඩුව ඇති පමන වැඩ කර ඇති බව යි. “මිල වැඩිවීම මිනිසුන් කොන්ග්‍රසයට එරෙහිව හැරීමේ කාරනයක් වී යයි පැවසීමට තරම් මම අවංක වෙමි...එහෙත් එසේ පවසන අතරම, දුර්වල කොටස් ආරක්ෂා කිරීමට අප අවශ්‍ය පියවර ගෙන ඇති බව කීමට ද කැමත්තෙමි. එය අහෝසිවීමට ඉඩ දිය යුතු නැතැ” යි සිං පැවසීය.

යූපීඒ ආන්ඩුව කුනු කොල්ලයට රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරනය කල අතර, සමහර අවස්ථාවන් හි දී ටෙලිකොම් තරංග පත හා ගල් අඟුරු සම්පත් ඉන්දියානු මහා ව්‍යාපාරයන්ට තෑගි කල බවට පලවන සාක්ෂි ඉවත දැමීමේ දී සිං එලෙසම මුරංඩුකමක් පෙන්වීය. දූෂන ගනුදෙනු විශාල වශයෙන් අතිශයෝක්තියට නැංවෙන බව ඔහු ප්‍රකාශ කලේය. සිය පෞද්ගලික දෘඪතර භාවය ඔහු මවා පෑවේය. 2009දී ඔහුගේ ආන්ඩුව නැවත පත් කර ගැනීම, එහි අවංකභාවය පිලිබඳ ඡන්දදායකයන්ගේ තීරනය වූ බව ද ඔහු ප්‍රකාශ කලේ ය. එසේ වුනත් සැබවින් ම මහා ව්‍යාපාර හා යූපීඒ ආන්ඩුව අතර මුල්‍ය ගනුදෙනු පිලිබඳ සාක්ෂි මතුවූයේ ඊට පසුව ය.

සිය අගමැති ධුරයේ උච්ඡ අවස්ථාව ලෙස ඔහු සලකන්නේ කුමක් දැ යි ඇසූ විට සිං ඇඟිල්ල දිගු කලේ, ඉන්දු-එක්සත් ජනපද න්‍යෂ්ටික ගිවිසුම වෙතය. 2008 අත්සන් තැබූ මෙකී ගිවිසුමේ අර්ථය වූයේ, “ගෝලීය ඉන්දු-එක්සත් ජනපද මූලෝපායික හවුලකට" අත්තිවාර ම දැමීම ය. ගිවිසුමේ ප්‍රතිග්‍රහනය සහතික කිරීමට සිං ස්ටැලින්වාදීන් නායකත්වය දුන් වාම පෙරමුනට සාර්ථක ව පයින් ගසමින් කොන්ග්‍රස් පක්ෂය මෙහෙයවීය. එකී වාම පෙරමුන ආන්ඩුවෙන් පිටත සිට යූපීඒට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය සපයමින් තිබුනි.

ඉන්දියානු ප්‍රභූව ඉතා ප්‍රබල ලෙස න්‍යෂ්ටික ගිවිසුමට සහාය දෙති. එහෙත්, මහා ව්‍යාපාරිකයන් හා මිලිටරි මූලෝපායික කොටස්, යූපීඒව එහි දෙවැනි වාරයේ දී චීනයට ප්‍රතිභාරයක් ලෙස ඉන්දියාව ගොඩනැගීමේ එක්සත් ජනපද අභිලාෂය කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට නොගත් බවට මැසිවිලි නගති.

මෝඩි මෙහෙයවන බීජේපී ආන්ඩුවක් ඉන්දියාවට “විනාසකාරී" වනු ඇති බව පසු ගිය සිකුරාදා මාධ්‍ය සාකච්ඡාවේදී සිං පැවසුවේ ය. ඊට පසුව, “දුර්වල අගමැතිවරයෙකු" යයි බීජේපීය ඔහුට කරන චෝදනාව පිලිබඳ ප්‍රශ්නයකට උත්තර දෙමින් සිං, මෝඩි “අහ්මදබාද් හි වීදිවල අහිංසක පුරවැසියන් සංහාරය කිරීමට මූලිකත්වය ගෙන තිබුනේ ය" යි මෝඩිට දොස් පැවරීය. 2002 ගුජරාටයේ මුස්ලිම් විරෝධී සංහාරය උසිගැන්වීමේ දී හා ඊට අනුබලදීමේ දී මහ ඇමති ලෙස ඔහු ඉටුකල භූමිකාව පිලිබඳ සඳහනකි මෙය.

මෙම සත්‍යය හෙලිකිරීමෙන් පසුව සිං, මෙය ඉන්දියාවට අවශ්‍ය නැති වර්ගයේ “දැඩි" නායකත්වයක් යැයි ප්‍රකාශ කරමින් ලිස්සා ගියේ ය. මෙය කොන්ග්‍රස් පක්ෂයේ පිලිගත් භාවිතය යි. මෙයට, 1947 ඉන්දියානු උපමහාද්වීපය වාර්ගික වශයෙන් බෙදීමට පෙර සිටම පැවතීගෙන එන, හින්දු දක්ෂිනාංශයට අනුගතවීම හා වරදෙහි දී නිසොල්වීම ඇතුලු දීර්ග වාර්තාවක් ඇත‍. ඔහු ඉන්දියානු ආන්ඩුව මෙහෙයවා ඇති දශකයක කාලය තුල, ගුජරාට සංහාරය සඳහා වගකිව යුත්තන් හෙලිදරව් කිරීමට හෝ ඔවුන්ට නඩු දැමීමට හෝ බැරෑරුම් උත්සාහයක් සිං විසින් දරා නැත. ඒ, බීජේපීයේ ද රාජ්‍ය සංස්ථාපිතයේ ද කොටස්වල කෝපය ඇවිස්සීමටත්, ඒ මගින් ඉන්දියානු ධනේශ්වරයේ දේශපාලනය හා දේශපාලන උපකරන දුර්වල කිරීමටත් ඇති බිය නිසා ය. සැබවින් ම සිං, බීජේපීය සමග සහයෝගී වීමට නැවත නැවතත් තම හස්තය දිගු කලේ ය.

Share this article: