කටුනායක පැලා කම්හලේ සමිති කි‍්‍රයාකාරීන්ට එරෙහි දඩයමක්

අපේ ලියුම්කරුවන් විසිනි, 2014 ජනවාරි 14

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) පිහිටි සීමා සහිත පැලා සහ පුද්ගලික සමාගම එහි වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන්ට එරෙහිව දඩයමක් ආරම්භ කර ඇත. මෙම දඩයක්කාරී මෙහෙයුම දියත් කර ඇත්තේ නියමිත වාර්ෂික වැටුප් වැඩිවීම් ලබා නොදීම නිසා කම්කරුවන් අතර පැන නැගී ඇති විරෝධය මර්දනය කිරීම අරමුනු කර ගෙන ය.

රුපියල් 500ක මාසික වැටුප් වැඩිවීමක් ඉල්ලා නොවැම්බර් 28දා පැලා කම්කරුවෝ හෙමින් වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කලහ. ජූලි මාසයේ සතියක් පැවති වර්ජනයේ දී වැටුප් වැඩිකිරීමටවූ පොරොන්දුව පැලා හාම්පුතුන් විසින් කඩකරනු ලැබ ඇත. කම්කරුවන්ගේ විරෝධතා ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා දෙසැම්බර් 2 සිට දෙදිනක් කම්හල වසා තබන බව නිවේදනය කල පැලා පාලානාධිකාරය දෙසැම්බර් 5දා වැඩට පැමිනි කම්කරුවන්ගෙන් 170කට කම්හලට ඇතුළු වීමට ඉඩ දී නැත. නිවෙස්වලට ලිපි යවා ඇති බවත් ඒ අනුව කටයුතු කරන ලෙසත් නිවෙක 1 සහ 2 ගේට්ටුවල ප‍්‍රදර්ශනය කර තිබූ දැන්වීම් මගින් නිවේදනය කර තිබුනි. නිෂ්පාදනය කඩා කප්පල් කිරීමේ කටයුතුවල නිරතවීම සේවය අත් හිටුවීමට හේතුව ලෙස අදාල ලිපිය මගින් දැනුම් දී ඇත.

පාලනාධිකාරය විසින් තෝරා ගත් අය පමනක් යලි සේවයට කැඳවනු ලබන බව කම්කරුවෝ පැවසූහ. එසේ කරනු ලබන්නේ ජූලි වර්ජනයට හා හෙමින් වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරයට මුලිකත්වය ගත් සමිති කි‍්‍රයාකාරීන් සහ සටන්කාමීන් ගැන තොරතුරු ලබා ගැනීම සදහා ඔත්තුකරුවන් ලෙස යෙදවූ කම්හලේ ම කම්කරුවන් 12 දෙනෙකුගෙන් ලබා ගත් තොරතුරුවලට අනුව බව ද, ජූලි වර්ජනය බිඳීම සදහා රුපියල් 1000ක දෛනික වැටුපකට බඳවා ගත් කොන්ත‍්‍රාත් කම්කරුවන් දිගටම සේවයේ යොදවා සිටින බව ද ඔව්හු කීහ.

පැලා කම්කරුවන් සංවිධානය වී සිටින්නේ ඇන්ටන් මාකස් නායකත්වය දරන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය (නිවෙක හා පොසේසේසං) තුල ය. සමිති කි‍්‍රයාකාරීන් හා සටන්කාමී කම්කරුවන්ට එරෙහි දඩයම පරාජය කර ඔවුන්ගේ රැකියා අයිතිය ආරක්ෂා කිරීම සඳහා නිවෙක හා සෙසු කම්කරුවන්ගේ සහයෝගය ගොනු කිරීමේ මොන ම අරගලයක් වත් සංවිධානය කිරීම නිවෙක හා පොදුසේසේසං පැහැර හැර ඇත. ඒ වෙනුවට මෙම වෘත්තීය සමිතිය කර ඇත්තේ හුදෙක් කම්කරු උසාවියේ නඩුවක් පැවරීමට කම්කරුවන් යොමු කර ඔවුන්ව හුදකලා කිරීමෙන් පාලකයන්ගේ දඩයක්කාරී ව්‍යාපාරය පෙරට ගෙන යාමට ඔවුන්ගේ අත් ශක්තිමත් කිරීමකි.

පැලා කම්කරුවන්ගේ ජූලි වර්ජනය ස්වයංසිද්ධ අරගලයකි. අරගලය උඩට පැනගෙන නිවෙක හා පොසේසේසං ශාඛාවක් අටවාගත් මාකස් පාලකයන්ගේ බොරු පොරොන්දුව පිලිගෙන වැඩට යාමට කම්කරුවන් පෙලඹුවේ ය. වෘත්තීය සමිතියක් අටවා ගැනීම මගින් මාකස් උනන්දු වුයේ කම්කරුවන්ගේ සංවිධානය වීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය රැකීම නොව, හාම්පුතුන් සහ ධනපති රාජ්‍ය සමග කේවල් කිරීමේ උපකරනයක් ලෙස එය භාවිතා කරමින් තමන්ගේ මඩිය තර කර ගැනීමේ ජාවාරම කරගෙන යාමේ "ප‍්‍රජාතන්ත‍්‍රවාදී" අයිතිය ගැන ය. දැන් ඔහු විසින් කම්කරුවන්ව වෘත්තීය සමිතිවාදී මර උගුලකට හිර කරනු ලැබ ඇත.

මෑත දී පැනනැගුන ඇන්සල් ලංකා කම්කරුවන්ගේ අරගලය සම්බන්ධයෙන් ද මාකස් සහ ඔහුගේ සමිතිය ඉටු කලේ එබඳු ම ප‍්‍රතිගාමී කි‍්‍රයා කලාපයකි. වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන් දඩයම් කිරීමට සහ වැඩ වේගවත් කිරීමට එරෙහිව ඇන්සල් කම්කරුවෝ 800ක් ඔක්තෝබර් 11 සිට මාස දෙකකට ආසන්න කාලයක් අධිෂ්ඨානශීලී අරගලයක යෙදී සිටියහ. නිවෙක හා පොසේසේසං විසින් ඔවුන්ගේ අරගලය හුදකලා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට 300කට අධික කම්කරුවන් පිරිසකගේ රැකියා අහිමි වී ඇත. මාකස් විසින් ඔවුන් ද හුදෙක් අධිකරනයේ සහ කම්කරු උසාවියේ නඩු පැවරීමේ උගුලකට හිර කර කම්කරුවන්ගේ රැකියා අයිතිය රැකීමේ වගකීමෙන් අත සෝදාගෙන ඇත.

වෘත්තීය සමිතියේ කි‍්‍රයා කලාපය ගැන කලකිරුනු පැලා කම්හලේ කම්කරු තරුනියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග මෙසේ පැවසුවා ය: "අපි ජුලි මාසේ පටන් දෙසැම්බර් මාසේ දක්වා දිගට ම සමිතියට සාමාජික මුදල් ගෙව්වා. අපේ රක්ෂා රැක ගන්න මීට වැඩිය යමක් සමිතිය කරයි කියල හිතුවා. නඩු දාලා රක්ෂාව අරන් දෙන්නම් කියල සමිතිය කියනවා. ඒකට කොපමන කාලයක් යයි ද කවුද දන්නේ ? කම්කරු කාර්යාලයේ තිබුන සාකච්ඡාවක දී "පඩි වැඩි කරන්න කොහොමද වැලේ වැල් නැතුව ඉන්නේ" කියල පාලකයන් කිව්වලු."කම්හලක් තියා බුලත් විටි කඩයක්වත් ඔහොම කරන්නේ කොහොම ද ලාබ නැත්නම් වහල දාන්න" කියල මාකස් කිව්වලු. පැලා එකේ අය ගන්න එපා කියල කලාපේ අනෙක් ෆැක්ටරිවලටත් පාලකයෝ කියලා තියෙනවා. ඒ නිසා අපිට වෙන තැනක වැඩට යන්නත් බැහැ."

මේ අතර, සේවයෙන් නෙරපන කම්කරුවන්ට පාරිතෝෂික දීමනාව නොගෙවන බව ද පාලකයන් ප‍්‍රකාශ කර ඇත.

කලාපයේ සෙසු කම්හල්වල මෙන් ම පැලා කම්හලේ වැටුප් හා සේවා කොන්දේසි පවතින්නේ ඉතා පහත් මට්ටමක ය. වසර 6ක සේවා කාලයක් ඇති ඉහත තරුනියගේ මාසික වැටුප රුපියල් 13,500 කි. අතිකාල දීමනා සහිතව මුලු මාසික ආදායම රුපියල් 18,500 නොඉක්මවයි. එහෙත් අපනයන පහත වැටීම නිසා වසරක පමන සිට අතිකාල නොලැබෙන බව ඇය කීවා ය. සේවා කාලය උදේ 8 සිට සවස 5 දක්වා වන අතර උදේ සහ දවල් ආහාරය කම්හලෙන් දෙන නමුත් එය ගුනාත්මක ආහාරයක් නොවන බව ඇය තවදුරටත් සඳහන් කලා ය.

අපනයනය සදහා සපත්තු නිෂ්පාදනය කරන පැලා කම්හල ලංකා ලෙදර් නිෂ්පාදන සමාගමට අනුබද්ධ සමාගමකි. ශී‍්‍ර ලංකාවේ සපත්තු අපනයනයෙන් සියයට 60කට පැලා සමාගම හිමිකම් කියයි. ප‍්‍රධාන වසයෙන් එහි නිෂ්පාදන අපනයනය කරන්නේ යුරෝපීය රටවලට ය. පසුගිය වසර තුනේදී ම කම්කරුවන්ට වැටුප් වැඩිවීමක් ලැබී නැත. වැටුප් වැඩි කිරීම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ සමාගම පාඩු ලබන බව ප‍්‍රකාශ කරමිනි.

ලංකා ලෙදර් නිෂ්පාදන සමාගමේ 2012-13 වාර්ෂික වාර්තාවට අනුව පසුගිය වර්ෂයේ පැලා සමාගමේ පාඩුව රුපියල් මිලියන 179 කි. "මෙය ප‍්‍රධාන වසයෙන් ම යුරෝපා සංගමයේ ආර්ථික අර්බුදකාරී තත්වය හේතුකොට ගෙන ඇති වූ" තත්වයකැයි වාර්තාව සටහන් කරයි. යුරෝපා සංගමයේ "ආර්ථික අර්බුදකාරී තත්වය" 2008 පුපුරා ගිය ලෝක ආර්ථික අවපාතයේ ප‍්‍රතිඵලයකි. පසුගිය වසර පහ තුල එය වඩ වඩා ගැඹුරුවී ඇති අතර ධනපති හාම්පුතුන් සහ ධනපති ආන්ඩු පෙර නොවූවිරූ මෘග ආකාරයකින් මෙම ලෝක ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත කඩාපාත් කිරීමට හැරී ගෙන සිටිති.

ලෝක වෙලඳපොල තුල මුහුන දී ඇති තරගයේ දී ලාබ රැක ගැනීමට ධනපති සමාගම් උත්සාහ කරන්නේ නිෂ්පාදන වියදම අඩු කිරීම මගිනි.එනම් වැටුප්, දීමනා හා රැකියා කප්පාදුව හා වැඩ වේගවත් කිරීමෙන් ය. පැලා හා ඇන්සල් ලංකා කම්හල් තුල කි‍්‍රයාවට දමා ඇත්තේ මෙම සැලසුම් ය. රාජපක්ෂ ආන්ඩුව, කලක් අක‍්‍රීයව පැවති වෘත්තීය සමිති, කම්කරු නිලධාරීන්ගේ හා හාම්පුතුන්ගේ එකතුවක් වන ජාතික කම්කරු උපදේශක සභාවට 2008 දී යලි පන දෙමින් වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව ධනපති හාම්පුතුන්ට එම සැලසුම් කි‍්‍රයාවට දැමීමට කොන්දේසි සකසා දුන්නේ ය. පසුගිය වසර පහ තුල ශී‍්‍ර ලංකාවේ නිදහස් වෙලඳ කලාපවල හා සෙසු කම්හල්වල මෙම සැලසුම් කි‍්‍රයාවට දැමුනි. මාකස්ගේ සමිතිය හා සෙසු සමිති කි‍්‍රයා කලෙත්, කරමින් සිටින්නේත් සූරා කෑම තීව‍්‍ර කිරීමේ ධනපති හාම්පුතුන්ගේ මෙම සැලසුම්වලට කම්කරුවන් යටත් කිරීමට ය.

Share this article: