අවධමන තර්ජනය ලෝක ආර්ථිකයට නව අනතුරු මුනගස්ව යි

Deflation threat poses new dangers to world economy

2014 ජනවාරි 17

2014 වසරේ ලෝක ආර්ථිකය වැඩි වර්ධනයක් අත්කර ගනු ඇති බවට පලවූ සුභවාදී නව අවුරුදු පුරෝකතන, බරපතල ප්‍රහාරයකට ලක්වීමට වැඩි කාලයක් ගතවී නැත.

ශක්තිමත් වන අවධමනකාරී ප්‍රවනතා ලෝක ආර්ථිකයට බරපතල තර්ජනයක් එල්ල කරන බවට, 15දා වොෂින්ටනයේ ජාතික මාධ්‍ය සමාජයේ පැවැත්වූ කතාවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලැගාඩ් අනතුරු ඇඟවූවාය.

"අවධමනය බොහෝමයක් මහ බැංකු ඉලක්කයන්ට පහලින් පැවතීමේ තතු තුල, අවධමනයේ වැඩිවන අවදානමක් අපට දැකගත හැකිය." මෙය “ආර්ථික ප්‍රකෘතිය සඳහා විනාසකාරී විය හැකි” යයි ඇය ප්‍රකාශ කලා ය. “උද්ධමනය බහිරවයා නම්, අවධමනය නොපැකිලව සටන් කල යුතු රකුසා ය.”

එහෙත්, එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව හා අනෙකුත් මහ බැංකුවල “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහන්වල අවිනිශ්චිත අනාගතය කරා ඉදිරියට යනවා මිස තත්වයට මුහුන දීමට ලැගාඩ් කිසි දු ප්‍රතිපත්ති ආරම්භකත්වයක් ඉදිරිපත් කලේ නැත. අතිශයින්ම ලාභ මුදල් ඩොලර් ට්‍රිලියන ගනන් මුදාහරිමින් ඒවා බැංකු හා මූල්‍ය සමාගම්වල කැමැත්ත පරිදි පරිහරනය කිරීමට ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන් මගින් ඉඩ සැලසූ නමුත් සැබෑ ආර්ථික ප්‍රසාරනයක් සිදුවූයේ නැත.

"මහ බැංකු, වඩාත් සම්ප්‍රදායානුකූල මුල්‍ය ප්‍රතිපත්තිවලට ආපසු හැරිය යුත්තේ, ශක්තිමත් වර්ධනයක් ස්ථිරව ම මුල් බැසගත් විට දී පමනක් ය”යි ඇය පැවසුවා ය.

මහ බැංකු කරුවන් “අවධමනය” යන වචනය කීමට පවා බියවන තතු තුල, පහත වැටෙන මිල ගනන් පිලිබඳ වැඩෙන ජාත්‍යන්තර අවදානම හා පසු ගිය දශක දෙක තිස්සේ ජපාන අර්ථිකයට පීඩාකාරී වූ එවන් අවධමනකාරී අර්බුදයක් වෙත අවධානය යොමු කරන පලමු ඉහල පෙලේ ප්‍රතිපත්ති සම්පාදක වරිය ලැගාර්ඩ් බව ෆිනෑන්ෂල් ටයිම්ස් සඳහන් කලේය.

බොහෝමයක් ප්‍රධාන මහ බැංකු සඳහා උද්ධමනයේ ඉලක්ක ගත අනුපාතය වසරකට සියයට 2කි. එහෙත් එක්සත් ජනපදයේ උද්ධමනය සියයට 1.0ක් වන අතර ජපානය ද ඒ ආසන්නයේ පවතියි. එය ශුන්‍ය ලක්ෂ්‍යයේ සිට එම ලක්ෂ්‍යය ආසන්නයට හෝ පැමිනියේ ඊනියා අබේනොමික්ස් (අබේආර්ථික) පිලිවෙත ඔස්සේ වසරක් ගතකිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ යටතේ අබේ ආන්ඩුව හා ජපන් මහ බැංකුව රටේ මුදල් සැපයුම දෙගුන කිරීමේ ප්‍රතිපත්තියකට කැපවී සිටියි.

යුරෝපයේ උද්ධමනය ඊටත් පහල ය. යුරෝ කලාපයේ වාර්ෂික මිල වැඩිවීම් අනුපාතය දෙසැම්බරයේ දී යන්තම් සියයට 0.8 දක්වා වූ අතර විරැකියා අනුපාතය සියයට 12 තුල පැවතුනි.

අවධමනය, නය හා මූල්‍ය පද්ධතියේ අත්තිවාරම් යටින් කා දැමීමට තර්ජනය කරන්නේය යන්න ලැගාඩ්ගේ හා අනෙකුත් මූල්‍ය නිලධාරීන්ගේ කේන්ද්‍රීය උත්සුකය වේ. මිල වැටෙන්නේ නම් හෝ වැඩිවන්නේ ඉතා මන්දගාමී අනුපාතයක නම්, තමන්ගේ සැබෑ නය බර එක රැයකින් ඉහල යනු ඇතැයි යන බිය නිසා, ශක්තිමත් නය ගනුදෙනු කරුවෝ නය ගැනීමට අදිමදි කරති. ඒ ආකාරයෙන් ම මේ වන විටත් නය ගෙන ඇති අයගේ නය බර අවධමනය මගින් දැඩි කරයි.

යුරෝපීය මහ බැංකුවේ (ඊසීබී) සභාපති මාරියෝ ඩ්‍රාගි, යුරෝපීය අර්බුදය අවසන් බව පැවසීම “අපරිනත” කථාවක් යයි පැවසීමෙන් සතියකට පසුව අවධමනයක අනතුර පිලිබඳ ලගාඩ්ගේ අවවාද නිකුත් විය. ඩ්‍රාගි එසේ පැවසුවේ, යුරෝ කලාපය 2014දී මූල්‍ය අර්බුදය අවසානයකට ගෙන එනු ඇතැ යි කී යුරෝ කොමිසමේ සභාපති ජොසේ මැනුවෙල් බරෝසෝගේ අදහස් දැක්වීම් පිලිබඳව සඳහන් කරමිනි.

යුරෝපීය ආර්ථිකය “බිඳෙන සුළු” තත්වයක පවතින අතර යුමබැ, “අවශ්‍යතාක් දුරට එහි මුදල් ප්‍රතිපත්තිය පිලිබඳ උපකාරක ආස්ථානය පවත්වාගෙන යනු ඇති බව” ඩ්‍රාගි, දැඩිව අවධාරනය කරයි.

අවධමනය යන වචනය සඳහන් නොකලත්, ඔහුගේ අදහස් පුළුල් ව අර්ථ දැක්වෙන්නේ, යුරෝ කලාපය තුල පවතින අවධමනකාරී පීඩනය හා මහ බැංකුවට ඒවා ආපසු හැරවීමට නො හැකිවීම සම්බන්ධයෙන් යුමබැ සභාපති වැඩිවැඩියෙන් උත්සුක වන බවට ස්ථීර සංඥාවක් ලෙසිනි.

ෆිනෑන්ෂල් ටයිම්ස් හි ලියමින් එච්එස්බීසී බැංකුවේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ ස්ටීවන් කිං: “ජපානයේ වැනි අවධමනකාරී නෂ්ට දශකයකට යුරෝ කලාපය මුහුන දෙන්නේ නැතැ යි පසු ගිය සතියේ දී මාරියෝ ඩ්‍රාගි ප්‍රතිසහතිකයක් ප්‍රදානය කලා විය හැකි නමුත් අවංකව ම ඔහුගේ ප්‍රතිසහතිකය අතිශයින් ඒත්තුගන්වන සුළු නො වේ.”

නිල පොලී අනුපාත බින්දුවේ හෝ ඒ ආසන්නයේ තිබියදී උද්ධමනය තවදුරටත් පහල වැටීම, “සැබෑ පොලී අනුපාත ඉහල නංවනු ඇති අතර නය දිරවා ගැනීම අමාරු කරනවා මෙන් ම, මූල්‍ය පද්ධතිය සඳහා අක්‍රීය නයෙහි වැඩිවීමක තර්ජනය ගෙන එයි. මේ වන විටත් පවතින බිඳෙන සුලු මූල්‍ය පද්ධතිය — අද යුරෝ කලාපය මෙන් — අවසන් වනු ඇත්තේ ඊටත් නරක තත්වයකිනි. ආර්ථික ප්‍රකෘතිමත්වීම පිලිබඳ මුල් සංඥා එවිට ව්‍යාජ ආරම්භයකට වඩා වැඩි දෙයක් නොවනු ඇති බව පෙනී යනු ඇත” ඔහු පැවසීය.

වඩා පහල උද්ධමනය ගමන් කරන්නේ පහල වර්ධනයකටය. “නය පද්ධතිය ක්‍රමයෙන් සිහිසුන් වේ” යැයි ඔහු සඳහන් කලේ ය.

මූල්‍ය වෙලඳපොල සඳහා එක්සත් ජනපද මහ බැංකුවේ සහාය අවසන් කිරීමට දැන් කාලය නොවේ යයි ලැගාඩ් ජාතික මාධ්‍ය සමාජයේ කල කථාවේදී අවධාරනය කලාක් මෙන්, එම දිනයේම පවත්වන ලද කතාවක දී චිකාගෝ ෆෙඩරල් මහ බැංකු සභාපති චාල්ස් එවාන්ස් ද එයම නැවත පැවසීය.

එජ මහ බැංකුවේ “අතිශයින්ම අනුවර්තනීය” මූල්‍ය ප්‍රතිපත්තිය, “ඉදිරි කාලය සඳහා” ද එලෙසම පවත්වාගත යුතුව ඇතැයි පුනුරුච්චාරනය කරමින් ඔහු, “වැඩ සම්භාරය” අවසන් කිරීමට අපට අසාමාන්‍ය මුල්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය යයි” ද කතාවේ අවස්ථා කීපයක දී ම පැවසීය.

නිල වාක්‍යානයේ දී “වැඩ සම්භාරය” යනු, ආර්ථික වර්ධනයේ “සාමාන්‍ය” මට්ටම් යැයි වරෙක සලකන ලද, එක්සත් ජනපද ආර්ථිකය කරා ආපසු යෑම හා විරැකියාව පහත දැමීමයි. එහෙත් මොනම මිනුමකට අනුව හෝ මෙම කර්තව්‍යය මුදුන්පත් කර ගෙන ඇත්තේ නැත.

මේ අතර එක්සත් ජනපද නිල විරැකියා අනුපාතය පසු ගිය අවුරුද්දේ පහත වැටී ඇත්තේ, විශාල වශයෙන් පවතින රැකියාවල හිඟකම නිසා වැඩි වර්ධනය වන්නා වූ පුද්ගලයන් රාශියක් ශ්‍රම බලකායෙන් නිකම්ම හැලීයාමෙනි. වෙනත් වචන වලින් කිවහොත්, මිලියන ගනනාවක් සඳහා සැබවින් ම නරකිනුක් නරක අතට හැරෙන ආර්ථික තත්වයක් ඇඟවුම් කරන පහල විරැකියා අනුපාතය සමග එක්සත් ජනපද ආර්ථිකය වඩ වඩාත් ඇටුවන් බැහැපු තත්වයකින් පවතින්නේය යන්නයි.

මහබංකු වැඩසටහනෙන් වාසි ලැබූ එක ම කොටස සුපිරි ධනවතුන්ය. ඉදිරියට ඇදෙන හා ගැඹුරු ‍වෙමින් ඇති අර්බුදයෙන් ඔවුහු සැබවින් ම වාසි ලබමින් සිටිති. 16දා වෝල් ස්ට්‍රීට් ජර්නලය එක්සත් ජනපද බැංකුකරුවන්ට ගෙවන වේගයෙන් ඉහල යන පාරිතෝෂික පිලිබඳ ව වාර්තා කලේ, “බැංකුකරුවන්ගේ කොටස් ප්‍රතිලාභ වේගයෙන් ඉහලට” යන ශීර්ෂ පාඨය යටතේ ය. පසු ගිය වසර තුල <ගෝල්ඩ්මන්> සැක්ස් බැංකුවේ පාරිතෝෂික ගෙවීම්, ඩොලර් මිලියන 600න් ඉහල ගොස් ඇත. ඒ බැංකුවේ කොටස් මිල ගනන් ඉහල යාම නිසා යැයි පුවත්පත සඳහන් කලේ ය.

ඇගේ කතාවේ දී ලැගාඩ් පිලිගත් පරිදි, 2009 සිට එක්සත් ජනපදය තුල ආදායම් ඉපැයීම් වලින් සියයට 95ක්ම ගලා ගියේ ජනගහනයේ ඉහලම සියයට එක වෙතය.“මෙය ස්ථාවරත්වය හා තිරසාරබව වෙනුවෙන් ලැබුනු හිමිකමක් නො වේ” යැයි ඇය පැවසුවා ය.

ගෝලීය වර්ධනය “මන්දගාමී ගියරයක (ලීවරයක)” ගමන් කරතියි ඇය අනතුරු ඇඟවූවා ය. එමෙන් ම “ගෝලීය ආර්ථිකය ඉපිලෙන තත්වයක තැබීම සඳහා” නැගී එන වෙලඳපොලවල් මත වඩ වඩාත් වාරුවෙමින් තිබුනි. පසු ගිය වසර පහ තුල දී ලෝක වර්ධනයේ හතරෙන් තුනකට ඒවා දායක වී තිබුන නමුත් දැන් නැගී එන වෙලඳපොලවල් වැඩි සංඛ්‍යාවක් මන්දගාමී වෙමින් පවතී.

මෙම සතියේ ලෝක බැංකු වාර්තාවකට අනුව, ප්‍රධාන ධනේශ්වර රටවල් කිසියම් ලෙසකින්, හදිසියේ මූල්‍ය පොරොප්පය වසා දැමුවහොත්, මූලික මට්ටමේ ආර්ථික හානි සිදු කරමින් හා රටවල් අර්බුදය තුලට තල්ලු කරමින්, මෙම ප්‍රදේශවලට ගලා යන ප්‍රාග්ධනය සියයට 80ටත් වඩා හැකිලී යනු ඇත.

මොන යම් හෝ “ප්‍රකෘතියක්” සිදුවීමට දුරස්ථ ලෙසකින්, ජාත්‍යන්තර කම්කරු පන්තියට තවදුරටත් විනාසකාරී ප්‍රතිවිපාක ගෙන එමින් ධනවාදී පද්ධතියේ ගෝලීය බිඳවැටීම තීව්‍ර වන බව නව වසරේ පලමු සති ගනන තුල පැහදිලිව දැකගත හැකිය.

නික් බීම්ස්

Share this article: