‍ප්‍රන්ස මානවවාදී සංවිධානය සහන සේවකයන් ඝාතනය ගැන ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට චෝදනා කරයි

French humanitarian group alleges Sri Lankan security forces executed aid workers

සුජීව අමරනාත් විසිනි, 2013 දෙසැම්බර් 27

ඇක්ෂන් කොන්ත‍්‍ර ල ෆෙම් (‘කුසගින්නට එරෙභි ක‍්‍රියා’ Action Against Hunger - ACF‍) ප‍්‍රන්ස මානව හිතවාදී සංවිධානය වසර 2006 දී තම සේවකයන් 17 දෙනෙකු ත‍්‍රිකුනාමලය අසල නැගෙනහිර මුතූර්හි දී ආරක්ෂක හමුදාවන් විසින් ඝාතනය කලේය යි චෝදනා කරමින් වාර්තාවක් පලකර ඇත. මෙම ඝාතන සිදුකර ඇත්තේ කොලඹ ආන්ඩුව 2002 සටන් විරාම ගිවිසුම එලිපිටම උල්ලංඝනය කරමින් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි තම යුද්ධය නැවත ආරම්භ කර සති කීපයකින් පසුව ය.

අධිකරනය මෙම "සිද්ධිය පරීක්ෂා කිරීමට නොසමත්” නිසා තමන්ගේ සොයා ගැනීම් ප‍්‍රසිද්ධ කිරීමට ඒසීඑෆ් සංවිධානය තීරනය කර ඇත. අවුරුදු 7 පුරා සිදු කෙරුනු පරීක්ෂනයක ප‍්‍රතිඵලයක් වන වාර්තාව, ඝාතනයට වගකිව යුත්තන් "ශ‍්‍රී ලංකා බලධාරීන් විසින් ආරක්ෂා කරනු ලැබ තිබේ” ය යි චෝදනා කරයි.

සහන සේවකයන් අමු අමුවේ ඝාතනය කරන ලද්දේ මුතූර් හි පාලනය සියතට ගැනීම සඳහා ආන්ඩුවේ හමුදා සහ එල්ටීටීඊය අතර බරපතල සටන් සිදුවෙන අතරදී ය. බරපතල කාල තුවක්කු වෙඩිමුර හේතුවෙන් සිවිල් වැසියන් දහස් ගනනක් ප‍්‍රදේශයෙන් පලාගොස් තිබුනි. සංවිධානයේ මුතූර් කාර්්‍යාලයේ කොටුවී සිටි ඒසීඑෆ් සේවකයන්, 2006 අගෝස්තු මස4 වන දින මරා දමන ලදී. ඔවුන් ගෙන් 16 දෙනෙකු දෙමල වූ අතර එක් අයකු මුස්ලිම් විය. 17 දෙනා අතරින් සිව් දෙනෙකු ගැහැනුන් ය.

2009 මැයි මස අනුසංගිකව අවසන්වූ සිවිල් යුද්ධය තුලදී ආරක්ෂක හමුදාවන් විසින් සිදු කල යුද අපරාධ හෙලිදරව් කරමින් ගොඩ ගැසෙන සාක්ෂි කන්දට මෙම වාර්තාවත් එකතු වෙයි. යුද්ධයේ අවසාන සති කීපය තුල සිවිල් වැසියන් 40,000 ක් පමන මරා දැමුනු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කල අධ්‍යයනයකින් තක්සේරු කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආන්ඩුව සිදුකල සංවිධානාත්මක වසං කිරීමක් ගැන විස්තරාත්මක කරුනු දැක්වීමක් ඒසීඑෆ් වාර්තාව මගින් සැපයේ.

"පරීක්ෂනයක් සඳහා අවශ්‍ය විස්තර ඉදිරිපත් නොකර, ආන්ඩුවට එරෙහිව අපරාධ චෝදනා එල්ල කිරීමට” ගත් උත්සාහයක් ලෙස වාර්තාව ප‍්‍රතික්ෂේප කරමින් ප‍්‍රකාශයක් නිකුත් කිරීමට, මිලිටරිය වහාම ඉදිරිපත් විය. එහෙත් සත්‍යය නම්, මුල සිටම ආන්ඩුවේ සහ මිලිටරියේ අරමුන වූයේ එහි අපරාධ පිලිබඳ කිසියම් ම හෝ බැරෑරුම් පරීක්ෂනයක් වැලැක්වීමයි.

ඒසීඑෆ් සේවකයන් මරා දමනු ලැබුවේ, ඔවුන්ගේ ආරක්ෂාව ගැන සහ ඔවුන් ත‍්‍රිකුනාමලයට යෑම ගැන, එහි පොලිස් මූලස්ථානය විසින් සහතික කර තිබියදී ය. ඒසීඑෆ් කාර්‍යාලයේ කොටුවී සිටි තම සේවකයන් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන වලට රැගෙන යෑම සඳහා ඔවුන්ගේ කාර්‍යාලයේ පිහිටීම පිලිබඳ නිශ්චිත යොමු, ඒසීඑෆ් සංවිධානය විසින් ආරක්ෂක හමුදාවන්ට සැපයූ නමුදු "ආරක්ෂක හමුදාවන් ඝාතනය සැඟවීමට සහ ඵලදායී පරීක්ෂනයක් වැලැක්වීමට උත්සාහ කල බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.”

අන්තර්ජාතික රතු කුරුස කමිටුව, ඊනියා සාම ක‍්‍රියාදාමය අධීක්ෂනය කල මන්ඩලය (SLMM) සහ ඒසීඑෆ් යන සියළු සංවිධාන වලට අගෝස්තු මස 7 වන දා තෙක් එම ප‍්‍රදේශවලට යෑම වලක්වා තිබුනි. ඉහත සංවිධාන එම ප‍්‍රදේශයට යෑම අනාරක්ෂිත බව හමුදාවන් පවසා තිබුන ද, අගෝස්තු 5 වනදා සිට, තෝරා ගත් මාධ්‍ය වේදීන්ට සහ අනෙකුත් අයට, මුත්තූර් වෙත පරිවාර ආරක්ෂාව සහිත චාරිකා යුද හමුදාව විසින්, සංවිධානය කරන ලදී. "ආන්ඩුව තම හමුදා නගරය අත්පත් කර ගැනීමේ ජයග‍්‍රහනය ප‍්‍රදර්ශනය කිරීමට තිබූ උනන්දුව” මේ සඳහා හේතු වන්නට ඇතැයි ඒසීඑෆ් වාර්තාව දැක්වී ය.

ඒසීඑෆ් සංවිධානයෙන් සැපයූ සවිස්තර තොරතුරු ඇතුළු ප‍්‍රබල සාක්ෂි තිබියදීත් පොලීසිය පවසා සිටියේ අගෝස්තු 6 වන දා තෙක් ඝාතනය ගැන ඔවුන් නො දැන සිටි බවයි. වාර්තාව සටහන් කරන, ඉන් පසුව වුව ද "සාක්ෂි එකතු කිරීමට සහ පරීක්ෂනයකට යෑමට කිසිදු උත්සාහයක් නොදරන ලදී. "මල සිරුරු එකතු කර ගැනීමට හෝ අපරාධ ස්ථානය ආරක්ෂා කිරීම සඳහා හෝ ප‍්‍රදේශයේ මහේස්ත‍්‍රාත්වරයකු ගෙන් නියෝගයක් ලබා ගැනීමට කිසිදු උත්සාහයක් නොදැරීම, "සාක්ෂි විනාශ කිරීමේ පැහැදිලි උත්සාහයක් ලෙස” වාර්තාව සඳහන් කරයි.

මලසිරුරු එකතු කිරීමේ නිරත වූ සංවිධානයේ සේවකයන් තර්ජන කිරීම් වලට සහ අඩන්තේට්ටමට ලක්වූ බව වාර්තාව පවසයි. පොලිසිය, මියගිය අය එල්ටීටීඊයේ ආධාර කරුවන්” ලෙස සඳහන් කරද්දී ම, පොලිස් නිල වාර්තාව, ඝාතන එල්ටීටීඊය පිට පැටවීමට උත්සාහ දැරීය. ඝාතනය කල සමහර අයගේ ඥාතීන් හැර කිසිදු ආරක්ෂක හමුදා සාමාජිකයෙක් හෝ වෙනත් ප‍්‍රධාන සාක්ෂි කරුවෙකු හෝ ප‍්‍රශ්න කිරීමකට භාජනය කිරීමට පොලීසිය අපොහොසත් විය.

2007 සිට 2010 දක්වා පැවති ජනාධිපති විමර්ෂන කමිටුව "පක්ෂග‍්‍රාහී” යයි ඒසීඑෆ් වාර්තාව සඳහන් කරයි. මෙපමනක් නොව, මුතූර් ඝාතනය ඇතුල මානව හිමිකම් කඩ කිරීම් පිලිබඳ නිල පරීක්ෂන නිරීක්ෂනය සඳහා පත් කල ජාත්‍යන්තර විද්වතුන්ගේ කන්ඩායම "පරීක්ෂන අන්තර් ජාතික සම්මතයන් හා ප‍්‍රමිතීන් වල මට්ටමට ලඟා නොවීම” හේතුවෙන් 2008 දී ඉල්ලා අස්විය.

මෙම කාල පරිච්ඡේදය තුල දී "පොලීසිය, හමුදාව සහ හඳුනා නොගත් පුද්ගලයන්, සාක්ෂි කරුවන් හමුවීමට ගොස් ඇති අතර, ඔවුන් තර්ජනයට සහ ආන්ඩුවට විරුද්ධව සාක්ෂි නොදෙන ලෙස කරන ලද බල කිරීම් වලට ලක් කර ඇත”. මුත්තූර් ඝාතන පිලිබඳ එක් සාක්ෂිකරුවකු ජනාධිපති පරීක්ෂන කොමිසමේ විමර්ෂන ඒකකයට අනුබද්ධ පොලිස් නිලධාරීන්ගේ තර්ජන වලට භාජනය වී යයි ඒසීඑෆ් වාර්තාව සටහන් කරයි. ශ‍්‍රී ලාකීය බලධාරීන් පරීක්ෂනයට බධා කල බවත් "ආරක්ෂක හමුදාන්ට එරෙහිව චෝදනා එල්ල කිරීම වැලැක්වීමට මැදිහත්වූ බවත්”, මෙම ප‍්‍රන්ස සංවිධානය කියා සිටී.

යාපනය පදනම් කොට ගත් මානුෂික අයිතිවාසිකම් සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නම් සංවිධානය (යූටීඑච්ආර් - සිදුකල පරීක්ෂනයකදී, "ඝාතන සඳහා කෙලින්ම සම්බන්ධ වූ බවට” හඳුනා ගත් පුද්ගලයන්, ආරක්ෂාව සඳහා පිටරට යැවීමට "ආරක්ෂක ලේකම් සහ ජනාධිපති ගේ සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ නියෝග දුන්” බව ද වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඒසීඑෆ් සංවිධානය රැස් කල අනෙකුත් සාක්ෂි අතර, මුතූර් පොලිස් ස්ථානයේ සන්නිවේදන උපකරන වලින් ඇසුනු, "දෙමල කථාකරන සිවිල් ඇඳුමෙන් සැරසුනු සියල්ලන් මරා දමන” ලෙස ප‍්‍රදේශයේ හමුදා පිරිස් වලට අන දුන් පනිවිඩය ද වේ. මෙකී පනිවිඩය සහ ඝාතන අතර කෙලින්ම සබඳකමක් ඇතැයි ද එය යුද සමයේ ආරක්ෂක හමුදාවල පනිවිඩ පිලිබඳ ආකෘතියට ගැලපෙන බව ද, යුද්ධයේ වර්ගවාදී සහ දෙමල විරෝධී ස්වභාවය ඉස්මතුකර පෙන්වන්නේ යයිද ඒසීඑෆ් සංවිධානය සඳහන් කරයි.

මරා දැමුනු ආධාර කන්ඩායමේ එක් සේවකයකුගේ සිරුර තුලින් ගත් එක් 5.56මි.මි. උන්ඩයක් නිල පරීක්ෂනය පැවැත්වෙද්දී අතුරුදහන් වී යයි ඒසීඑෆ් සංවිධානය වැඩිදුරටත් කියා සිටී. "එවන් උන්ඩ සාමාන්‍යයෙන් පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය, යුද සහ නාවික හමුදාවන් හි විශේෂ භට කන්ඩායම් විසින් භාවිතා කරන ඒවා බවද” වාර්තාව සඳහන් කරයි.

දිගු කාලයක් තිස්සේ ඇදී ගිය යුද්ධය පිලිබඳ "ස්වාධීන” පරීක්ෂනයක් යයි කොලඹ ආන්ඩුව හුවා දැක්වූ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම පිලිබඳ පැහැදිලි ප‍්‍රතික්ෂේප කිරීමක් ඒසීඑෆ් වාර්තාව සිදු කරයි. එසේම එය එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර රටවල බලපෑම මත රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රකාශයට පත් කල, ඝාතන පිලිබඳ නවතම පරික්ෂනයට ද වල කපයි.

විකී ලීක්ස් පලකල එක්සත් ජනපද රාජ්‍ය තාන්ත‍්‍රික කේබල් පනිවිඩ වලින් හෙලිදරව් වූ තොරතුරු නැවත තහවුරු වීමක් ඒසීඑෆ් සාක්ෂි මගින් සිදු කෙරේ. ඝාතන පිලිබඳව යූටීඑච්ආර් හි සොයා ගැනීම් "බොහෝ දුරට නිවැරදි” යයි මෙරට එක්සත් ජනපද තානාපති රොබට් ඕ බ්ලේක් කල තහවුරුව මේ අතර වේ.

යුද්ධයේ අවසාන මාස කිහිපය පිලිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා 2 කට පිටුබලය දෙමින් එක්සත් ජනපදය, "මානුෂික හිමිකම්” මුල් කර ගෙන ආන්ඩුවට පීඩනය දැමූවත්, රාජපක්ෂ ආන්ඩුවේ සහ එහි ආරක්ෂක හමුදාවල අපරාධ පිලිබඳව ඔවුන් 2009 ට කලින් සිටම හොඳින් දැන සිටි බව විකී ලීක්ස් කේබල් පනිවිඩ මගින් හෙලිදරව් වේ.

Share this article: