ස්වාධීන කම්කරු පරීක්ෂනයට සරසවි සිසු සහාය

කපිල ප්‍රනාන්දු විසිනි, 2014 ජනවාරි 30

සමාජවාදී සමානතා පක්ෂය (සසප), වෙනිග්‍රොස් ඩිප් ප්‍රොඩක්ට්ස් කම්හලෙන් පිටවෙන අපජලය නිසා වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජල මූලාශ්‍ර දූෂනය වීම පිලිබඳව පවත්වන කම්කරු පරීක්ෂනයේ වැදගත්කම පැහැදිලි කරමින් ඊට සහයෝගය ගොනු කිරීම සඳහා සසප තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පසුගිය දා ජයවර්ධනපුර සරසවියේ උද්ඝෝෂනයක නිරතවූවේ ය.

ආන්ඩුවේ ශිෂ්‍ය මර්දනයට දැඩිව ලක්ව ඇති ජයවර්ධනපුර සරසවියේ සිසුහු රාජ්‍ය මර්දනය පිලිබඳ තම අත්දැකීම් හා වැලිවේරිය ජනයාට එල්ලවූ ප්‍රහාරය අතර අන්තර් සබඳතාව පැහැදිලි කරගනිමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමක අවශ්‍යතාව පිලිබඳව උද්ඝෝෂකයන් සමග උනන්දු සහගත සාකච්ඡාවකට එක් වූහ. උද්ඝෝෂකයෝ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ අරමුන පැහැදිලි කල පත්‍රිකා සිය ගනනක් සිසුන් අතර බෙදූහ.

ජල දූෂනයට එරෙහිව දහස් ගනනක් සහභාගීවූ වැලිවේරිය ජනයාගේ විරෝධතා ක්‍රියාවක් මැඩීමට පසුගිය අගෝස්තු 1 දා හමුදාව යොදා ගනිමින් ආන්ඩුව එල්ල කල ප්‍රහාරයෙන් සිසුන් දෙදෙනෙක් හා තරුන කම්කරුවෙක් ඝාතනයවී දුසිම් ගනනක් තුවාල ලැබූහ. ප්‍රහාරයේ එල්ලය වූයේ ධනපති කොම්පැනිය හා දෙස් විදෙස් ආයෝජකයන් රැකීමට ආන්ඩුවේ කැපවීම පෙන්වීම යි. කම්හලේ අපජලයෙන් ප්‍රදේශයේ භූ ආම්ලිකතාව ඉහල ගොස් ඇති බව ද ඉන් තමන් රෝගවලට ගොදුරුව සිටින බවට ද චෝදනා කල ප්‍රදේශවාසීහු කම්හල ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ.

රුදුරු ප්‍රහාරය ගැන මහජන විරෝධය ඇවිලෙන තතු යටතේ, ජලය විධිමත් පරීක්ෂනයකට ලක් කරන බවට ද ඝාතනවලට වගකිව යුත්තන්ට දඬුවම් කරන බවට ද ආන්ඩුව දුන් පොරොන්දු අමු ප්‍රෝඩාවක් වී ඇත. කර්මාන්ත ශාලාව යලි විවෘත කිරීමට ගත් උත්සාහයන්ට අඛන්ඩ මහජන විරෝධය එල්ලවූ නිසා එය දැන් බියගම නිදහස් වෙලඳ කලාපය තුල යලි ආරම්භ කිරීමට යන බව ප්‍රකාශවී ඇත. එහෙත් මහජනයා මුහුන දෙන ප්‍රශ්න එලෙසම ය.

මේ පැහදිලි කිරීම මැද අවසන් වසර කලා අංශයේ සිසුවෙක් මෙසේ සඳහන් කලේ ය: "මේක වෙඩි තියලා විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් ද? ජලය මහජනයාගේ දැවෙන අවශ්‍යතාවක්. කිසිවක් නොතකමින් හමුදාව වෙඩි තිබ්බේ ඉහලින් ආපු නියෝග අනුව. දැන් රටේ නීතියක් නෑ. අපරාධකාරයෝ, මත්කුඩු විකුනන ජාවාරම්කාරයෝ අද ඉහලම තැන්වල නිදැල්ලේ ගැවසෙනවා. ඇත්තටම ආන්ඩුවෙන් වෙන්වුන මෙවැනි ස්වාධීන මැදිහත්වීමකින් තමයි ඇත්ත සොයා ගන්න පුලුවන් වෙන්නේ."

වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවන් දෙදෙනෙක් පරීක්ෂන කමිටුවේ වැඩ කටයුතු ගැන ද ඔවුන් දැනුවත් කිරීම පිලිබඳව ද සතුට පල කලහ: "අපේ අධ්‍යාපන කටයුතු නිසා හරිම වෙහෙසකාරී තත්වයක් මෙන්ම මහජනයාගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න බැරි තත්වයක් තියෙන්නේ. වැලිවේරිය සිද්ධිය අපි ඒ දවස්වල ඇහුවාට පස්සේ ඒකේ අලුත්ම වර්ධනයන් පිලිබඳව දැනගත්තේ අද තමයි. වෛද්‍ය ශිෂ්‍යයෝ විදිහට අපිටත් ලොකු වගකීමක් තියෙනවා ජලය විෂවීම පිලිබඳව සොයා බලන්න. ප්‍රහාරයෙන් තරුනයෝ තුන් දෙනෙක් මරා දැමීම අපි දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඇත්තටම මේ ස්වාධීන පරීක්ෂනය ඉතාම වැදගත් පියවරක් ලෙස අපි දකිනවා."

වැලිවේරිය කම්හල තුල ජලයට විෂ එකතු වන ආකාරයත් ලාභය උපරිම කිරීම සඳහා ජලය පවිත්‍ර කිරීමේ නිසි ක්‍රම පවත්වා ගෙන නොයෑම හා වෙනත් ස්ථානයක එය ඉදි කිරීමෙන් ගැටලුව නොවිසදෙන බවත් පෙන්වා දෙමින් ගෙනගිය සාකච්ඡාවක දී උපාධිය ලබා විරැකියාවෙන් පසු වන තරුනයෙක් සිය අදහස් දැක්වීය. ධනවාදය යටතේ පරිසර විනාශයට විරුද්ධ ඔහු එය රැකීමට තමන් පෞද්ගලිකව ගත් ක්‍රියාමාර්ග පිලිබඳව පැහැදිලි කලේ ය.

"මට විද්‍යා උපාධියක් තියෙන්නේ. ගම රත්නපුර. මාත් පරිසර දූෂනයට විරුද්ධ යි. රැකියාවකුත් නැති නිසා මම වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට හා විවිධ රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ වෙලා ගොඩක් පරිසරය රැකීමේ වැඩවල නිරත වෙලා තියෙනවා. නමුත් ආන්ඩුව ගන්න තීන්දු පුද්ගලිකව වෙනස් කරන්න බෑ. උදාහරනයක් විදිහට සංචාරක කර්මාන්තයේ දියුනුවට කියලා දැන් ආන්ඩුව සිංහරාජ වනාන්තරය මැදින් පාරක් කපනවා.

"ජල දූෂනය, ගෝලීය උනුසුම වගේ ප්‍රධාන පරිසර ප්‍රශ්න අරගෙන බැලුවාම තේරුම් යන්නේ ඒවා මේ සමාජ ක්‍රමයේ ප්‍රතිඵලයක් කියලා. ඇමරිකාව චීනය වගේ රටවල නිෂ්පාදනයේ දී තමයි වැඩියෙන් කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට නිකුත් කරන්නේ. ඇමරිකාව [පරිසරය රැකීමේ නමින් ධනපති රටවල් ඇති කරගෙන තිබෙන] කියෝටෝ සම්මුතියට අත්සන් කරලත් නෑ. නමුත් ප්‍රෝඩාකාරී විදිහට පරිසර රැකීමට ආධාරත් කරනවා. මේ සමාජ ක්‍රමය යටතේ පරිසරය රැක ගන්න බෑ. ලෝක යුද්ධයක තර්ජනයත් දැන් වැඩි වෙමින් පවතිනවා. වැලිවේරිය ජල ගැටලුව සම්බන්ධව ස්වාධීන පරීක්ෂනයක් පවත්වන එක ඇත්තටම හොඳ දෙයක්."

කාර්මික දූෂනයත් පරිසර විනාශයත් ධනවාදයේ නොහැකියාව පෙන්නුම් කරන එක් අංශයක් පමනි. එක්සත් ජනපදයේ ඩිට්‍රොයිට් ප්‍රාන්තයේ කලාගාර විකුනා දමමින් කම්කරු පන්තියේ විශ්‍රාම වැටුප් ඇතුලු සියලු වරප්‍රසාද විනාශ කරමින් පරපුටු මූල්‍ය ප්‍රභූ තන්ත්‍රයේ ලාභ පොදි රැකදීම හෙලිදරව් කරමින් එක්සත් ජනපදයේ සසප ආරම්භ කර ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනයේ අත්දැකීම් පිලිබඳව සසජාතශි උද්ඝෝෂකයන් කල පැහැදිලි කිරීම් සිසුන්ගේ දැඩි අවධානයට ලක්විය.

රාජපක්ෂ ආන්ඩුවේ ආරක්ෂාව ඇතිව සිටින වෙනිග්‍රෝස් සමාගමේ කටයුතු හෙලිදරව් කරන කම්කරු විමර්ෂනයක් කාර්මික දූෂනය අවසන් කිරීමේ අරගලයෙහි පලමු වැදගත් පියවරක් වන බව පැහැදිලි කල සසජාතශි කන්ඩායම ශිෂ්‍යන් අතර ආධිපත්‍ය දරන ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සමාජවාදී ප්‍රතිපත්ති මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ගයකට හතුරුව පෙනීසිටින්නේ කෙසේ ද යන වග සාකච්ඡා කලේ ය.

රාජපක්ෂ ආන්ඩුව අධ්‍යාපනය ආයෝජකයන්ගේ ලාභ කර්මාන්තයක් සඳහා විවෘත කරමින් නිදහස් අධ්‍යාපන කප්පාදුව පෙර නූ විරූ පරිමානයකින් වේගවත් කිරීමේ කොටසක් ලෙස දිනපතා පැන නගින ශිෂ්‍ය විරෝධතා මැඩීම සඳහා විශ්ව විද්‍යාල තුල දරුනු මර්දනයක් දිගේලි කොට තිබේ.

තුන් වෙනි වසර කලමනාකරන පීඨ ශිෂ්‍යයෙක් වැලිවෙරිය ජල දූෂනය ඇතුලු ප්‍රශ්න පිලිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂනයකට සහාය පල කරමින් රාජ්‍ය මර්දනය ගැන සිය අත්දැකීම් මෙසේ විස්තර කලේ ය: "මේවන විට ලමයි සියයකගේ විතර පන්ති තහනම් කරලා ගේට්ටුව අසල ඔවුන්ගේ ඡායරූප ප්‍රදර්ශනය කර තිබෙනවා. අපේ පීඨයේ පලමු වසර ලමයි 20කට වැඩිය පන්ති තහනම් කරලා. ඒ වගේම අපේ පීඨයේ ලමයි 26කට විභාග තහනම්. ඒ අතරින් 18 දෙනෙක් ම නැවත "නීති විරෝධී" කටයුතුවල යෙදෙන්නේ නෑ කියලා ලිඛිතව පොරොන්දු වෙලා විභාගවලට වාඩි වුනා. එහෙම කෙරුවේ නැති ටික දෙනා ශිෂ්‍ය සංගමයේ ඉන්න අය වෙන්න ඕනා.

"පරිපාලනය, නීති විරෝධී වැඩ කියන්නේ තම අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධය දැක්වීම තමයි. කොහොම වුනත් ශිෂ්‍යයන් ඉන්නේ මේ මර්දනයට මුහුන දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයෙන්. ශිෂ්‍ය සංගමය ගන්න ක්‍රියාමාර්ග යටතේ ඒවා පරාජය කරන්න බෑ කියන එක දැන් පැහැදිලි කරුනක්."

Share this article: