සරනාගතයින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාර දීමේ ඕස්ට්‍රේලියානු පියවරට විරුද්ධ වනු

Oppose Australia’s handover of refugees to Sri Lankan navy

ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂවල ඒකාබද්ධ ප්‍රකාශය, 2014 ජූලි 08

ශ්‍රී ලංකාවේ හා ඔස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂ, රැකවරන පතන මෙරට පුරවැසියන්, පලායාමට ඔවුන්ට බල කෙරුනු ප්‍රචන්ඩත්වය හා මර්දනය යොදාගන්නා එම මිලිටරිය හා ආන්ඩුව වෙතම බලහත්කාරයෙන් යලි බාරදීමට ඕස්ට්‍රේලියානු ආන්ඩුව විසින් ගෙන ඇති පියවර තරයේ හෙලා දකියි.

දෙරටේම හා ජාත්‍යන්තර වැ‍ඩකරන ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ ඉන්දියානු සාගරයේ මෙම කුරිරු ඒකාබද්ධ මිලිටරි මෙහෙයුමට විරුද්ධ වන ලෙසයි. පිරිමින්, කාන්තාවන් හා ලමයින්ගෙන් යුත් සරනාගතයින් 200ක් නීති විරෝධී ලෙස මුහුද මැද රඳවාගෙන, ඕස්ට්‍රේලියාවේ “දේශසීමා ආරක්ෂක” නැවකදී ප්‍රශ්න කෙරෙන අතර එක්කෝ ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට බාරදෙනු ඇත, නැතහොත් බාරදීම සඳහා නැව්ගත කෙරෙනු ඇත.

රැකවරන පැතූ 41 දෙනෙක් දැනටමත් ශ්‍රී ලංකාවට නැව්ගත කර පොලිස් අපරාධ විමර්ෂන ඒකකය වෙත බාරදී ඇත. රැඳවියන්ට කුරිරු ලෙස සැලකීම සම්බන්ධයෙන් එම අංශය කුප්‍රකටය. ශ්‍රී ලංකාවේ බලධාරීන්ට අනුව, බලහත්කාරයෙන් එරටට පිටුවහල් කර ඇති රැඳවියන්ගෙන් 37 දෙනෙක් සිංහල අයයි. මෙය සලකුනු කරන්නේ දෙමල පමනක් නොව, සිංහල කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් ද රටින් පලායන්නේය යන කාරනයයි.

මෙම සමස්ත ‍ක්‍රියාන්විතයම, ජාත්‍යන්තර නීතිය ද රැකවරන පතන්නන්ගේ මූලික හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ද අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. එයට සරනාගතයින් හා වධ බන්ධන පිලිබඳ සම්මුතීන් ද ඇතුලත්ය.

සති දෙකක් තිස්සේ, මිලිටරි රහස්‍ය භාවයේ හා නිල වසං කිරීම් යටතේ තබාගැනීමෙන් පසුව මුහුද මැදදී පලමු බාරදීම සිදුවන බව දෙරටේම ආන්ඩුවල ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් විසින් දැන් සනාථ කර තිබේ.

ප්‍රවේශම් සහගතව දෙරටේම ආන්ඩු, චූදිත මිනිසුන් ඔවුන්ගේ චෝදකයින් වෙත සෘජුවම බාරදීම් සඳහා ගෝලීය පූර්වාදර්ශයක් ස්ථාපිත කරයි. මෙය සිහියට නංවන්නේ, 1939 කුප්‍රකට ශාන්ත ලුයිස් මුහුදු ගමන ය. යුරෝපයේ නාසි සමූලෝත්පාටනයෙන් දිවි ගලවා ගැනීමට පලා යමින් සිටි යුදෙව්වන් 937 දෙනෙකුට කියුබාවට ‍හා එක්සත් ජනපදයට ඇතුලුවීමට ඉ‍ඩ නොදීමෙන් පසුව, නාසි හමුදා විසින් අල්ලා ගැනීමට ඔන්න මෙන්න කියා තිබූ බෙල්ජියම වෙත ආපසු යාමට බලකෙරුනු සිද්ධියයි ඒ.

දැන් ශ්‍රී ලංකාව සරනාගතයන් ආපසු යාමට තරම් “සුරක්ෂිත” බවට ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් කල නරුම ප්‍රකාශය අමූලික මුසාවකි. ඇබට් යථාර්තය කුමක් ද යන්න හොඳින් දැන සිටියි. පසුගිය නොවැම්බරයේ ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කල අවස්ථාවේ එරට බලධාරීන් විසින් වධ බන්ධන යොදාගැනීම ඔහු තථ්‍ය ලෙස අනුමත කලේය. “දුෂ්කර අවස්ථාවන්හිදී සමහරවිට බරපතල දේවල් සිදුවන බව අපි පිලිගනිමු.” යනුවෙන් ඔහු මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. (බලන්න: “Australian PM defends torture, hails Sri Lankan regime”)).

ශ්‍රී ලංකාවේ බලයට පත්වූ ආන්ඩු විසින් ගෙනගිය දිග්ගැස්සුනු යුද්ධය නිමා කරමින්, 2009දී එල්ටීටීඊය කුරිරු ලෙස පරාජය කිරීමේ තැන් පටන්, සිදු වී ඇත්තේ දෙමල ජනතාවට එරෙහි මර්දනය උග්‍ර වීමත්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ව්‍යාපාර ගැති කප්පාදු පියවරයන්ට විරුද්ධව මෙරට කම්කරු පන්තියේ අරගල මැඬීම සඳහා පොලිස්-රාජ්‍ය ක්‍රමවේදයන් පුලුල් ලෙස යොදාගැනීමත් පමනකි.

වැඩවර්ජිත කම්කරුවන් හා විරෝධතාකරුවන් පොලිසිය හෝ හමුදාව විසින් වෙඩිතබා මරා දැමීය. වැඩකරන ජනතාව ජීවත් වන්නේ, සුදු වෑන්වලින් පැහැරගෙන යාම, වධ බන්ධන හා දන්ඬ මුක්තික ඝාතන, මිලිටරිය විසින් ඉඩම් අත්පත්කර ගැනීම, මාධ්‍යවේදීන් මරා දැමීම හා දේශපාලන විරුද්ධවාදීන්ට හිංසා කිරීම පිලිබඳ බියෙනි. අපාලිත හෝ බලහත්කාරී අතුරුදහන් කිරීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව, 1980 සිට සිදුවීම් 12,000ක් වාර්තාගතකර ඇති තතු හමුවේ සිවිල් වැසියන් අතරුදහන්වීමේ සංඛාව ගත් කල ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ ඉරාකයට පමනක් බව සඳහන් කර ඇත.

මාර්තුවේ පටන්, එල්ටීටීඊය “පුනර්ජීවනය” වීම වැලැක්වීමේ සනාථ නොකල කඩතුරාව යටතේ රාජපක්ෂ ආන්ඩුව දියත්කර ඇති නව මර්දන ව්‍යාපාරය දැනටමත් ශ්‍රී ලංකා සරනාගතයින් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් දුක්විඳිමින් සිටින අතර දකුනු ඉන්දියාවට ජනයා පලායාමේ නව වටයකට තුඩුදී ඇත. මෑතකදී අල්ලාගන්නා ලද බෝට්ටුව පැමින ඇත්තේ ද එහි සිටය.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් අල්ලාගනු ලබන සරනාගතයින්, අනවසරයෙන් රට හැර යාමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේ දෙවසරකට බන්ධනාගාර ගතකල හැකිය. මොවුන් පොලිස් හා මිලිටරි අත්අඬංඟුවේදී, ප්‍රශ්නකිරීමට, පහරදීමට, වධ බන්ධනයන්ට ලක්වීමේ සහ අතුරුදහන් වීම පිලිබඳ සනාථ කෙරුනු වාර්තාවන් ඇත. එම කරුනු ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන විසින් රැස්කර ඇති තොරතුරු මගින් ඔප්පු කෙරී ඇත.

දෙරටේම ආන්ඩුවල කටයුතු හරහා ගමන් කරන පොදු දේශපාලන හුය පටක් ඇත. 2008දී හටගත් ආර්ථික බිඳවැටීමේ ගැඹුරුවන බලපෑම යටතේ නැඟී එන සමාජ කැලඹීම් අවමංගත කිරීම සඳහා ඔවුන් වඩ වඩාත්, වර්ගවාදය හා ස්වෝත්තමවාදය උසිගැන්වීම මෙන්ම මිලිටරි ක්‍රමවේදයන්ගේ ද පිහිට පතති.

වැඩකරන ජනතාවගේ කොටස් එකිනෙකාට එරෙහිව කා කෙටවීමේ ව්‍යායාමය තුල ශ්‍රී ලංකාවේදී රාජපක්ෂ ආන්ඩුව, දෙමල විරෝධී භීතිකාවක් අවුලුවන අතර මුස්ලිම් වරුන්ට එරෙහිව ප්‍රචන්ඩ ප්‍රහාර ගෙන යන සිංහල බෞද්ධ වර්ගවාදී කන්ඩායම් වලට පිටුබලය දෙයි.

ඔස්ට්‍රේලියාවේදී ඇබට් ආන්ඩුව, හරිතයන් මුක්කුව දුන් පසුගිය සුලුතර ලේබර් ආන්ඩුව ගිය මාර්ගයේම යමින් සිටින අතර ශ්‍රී ලාංකික හා අනෙකුත් සරනාගතයින්, දැවැන්ත රැකියා විනාශය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ශුභසාධන හා අනෙකුත් මූලික සමාජ වැඩසටහන් කප්පාදුව කෙරෙහි නැ‍ඟෙන මහජන විරෝධය අවමංගත කිරීම සඳහා දඩමීමුන් බවට පත්කර ගනියි.

සියලු සරනාගතයින් ඔස්ට්‍රේලියාව මත පය තැබීමෙන් වලක්වන “බෝට්ටු නතර කිරීම” ද්විපාර්ශවික පිලිවෙත බවට පත්ව තිබේ. කිසිවිටෙකත් ඕස්ට්‍රේලියාවට ඇතුල් වීමට අවසර නොදෙන බව පවසා අනියත කාලයකට නායුරු හා පැපුවා නිව්ගිනියාවේ කඳවුරු තුල රැඳවීම සඳහා සියලු සරනාගතයින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට මුල පිරුවේ ලේබර් ආන්ඩුවයි.

ශ්‍රී ලංකාවේ නාවික හමුදාව තර කිරීමට මිලිටරි සහයෝගය, පුහුනු කිරීම් රහස් ඔත්තු තොරතුරු හුවමාරු කරගැනීම හා අතිරේක සම්පත් සැපයීම 2012 ආරම්භකල ලේබර් ආන්ඩුවේ එම වාර්තාව ඇබට්ගේ ආන්ඩුව සෘජුවම පෙරට ගෙනයයි. ලේබර් ආන්ඩුව, දහසකට වැඩි සරනාගතයන් සංඛ්‍යාවක් ඔවුන්ගේ සරනාගත අයදුම්පත් පරික්ෂා කිරීමේ ක්‍රියාවලිය හිතුවක්කාරී ලෙස ඉවත් කොට කොලඹට පටවා එවීය. ඔස්ට්‍රේලියානු රේගු යාත්‍රාවල - තථ්‍ය වසයෙන්ම නාවුක බන්ධනාගාරවල - නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින සරනාගතයන් දැන් මෙම “උත්සන්න පරීක්ෂාවට” සම්බන්ධිත ප්‍රශ්නකිරීම්වලට ඔවුන් ලක් කෙරෙමින් පවතී.

කොලඹ සමග කැන්බරාහි සහයෝගය පෙරට ගෙන යන්නේ වඩා පුලුල් භූ මූලෝපායික න්‍යායපත්‍රයක් ද ඇතිවය. ශ්‍රී ලංකාව විශේෂයෙන්ම, චීනය සිය තෙල් හා අනෙකුත් අමු ද්‍රව්‍ය වෙත පිවිසීම සඳහා යොදාගන්නා ඉන්දියානු සාගරයේ නාවික මාර්ග වලට සමීපව පිහිටා ඇත. එරට සමග මිලිටරි සහයෝගිතාව සවිමත් කරගැනීම මගින් එජ ප්‍රමුඛ අනුචරයෙක් වන ඕස්ට්‍රේලියානු ආන්ඩුවට, සරනාගත බෝට්ටු අල්ලා ගැනීම හා නිරීක්ෂනය කිරීමේ වහන්තරාව යටතේ ඉන්දියානු සාගරය තුලට කාවැදීම සඳහා වැඩි අවකාශයක් සැලසේ.

ඔබාමා පාලනය චීනය වැටලීමේ සිය ඉන්දු පැසිෆික් කලාපයට “හැරීමේ” මිලිටරි හා මූලෝපායේ කොටසක් ලෙස, යුද්ධය අවධියේ කොලඹ ආන්ඩුවට තීරනාත්මක සහයෝගයක් ලබාදුන් හා දිගටම ආයෝජන හා විදෙස් නය සම්පාදනය කරන බීජිනය සමග පවත්වන සමීප සම්බන්ධතාවන්ගෙන් රාජපක්ෂ ආන්ඩුව ඉවත්කිරීමේ අරමුන සහිතව ක්‍රියා කරයි.

මෙම තල්ලුවේදී එජ, ශ්‍රී ලංකාවේ “මානව හිමිකම්” පිලිබඳව ව්‍යාජ කනස්සල්ලක් පලකරමින් 2009 වසරේ යුද්ධයේ අවසන් මාසවල මිලිටරිය විසින් සිදුකල ඝාතන හා අයිතීන් උල්ලංඝනය කිරීම් පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් කැඳවුම් කලේය. එහෙත් අඛන්ඩව ගෙන යන මර්දනය හමුවේ පලායන සරනාගතයන්ට එරෙහිව සිදු කෙරෙන අපරාධ පිලිබඳව මුනිවත රකියි.

එක්සත් ජාතීන්ගේ සරනාගතයන් පිලිබඳ මහ කොමසාරිස්ට අනුව, ලෝකය පුරා සරනාගතයින්, අභ්‍යන්තර විතැන්වීමට ලක්වූවන් හා රැකවරන පතන්නන් සංඛ්‍යාව 2013 අග වන විට පෙර නොවූ විරූ ලෙස මිලියන 51.2ක් දක්වා වැඩිවිය. 2013 වසරේ සංඛ්‍යාව මිලියන 6න් ඉහල ගියේ බොහෝකොටම, සිරියාවේ එජ පිටුබලය සහිත ඉස්ලාම්වාදීන්ගේ පාලන තන්ත්‍ර වෙනස්කිරීමේ මෙහෙයුම් හා එජ ඇෆ්ගනිස්ථාන හා ඉරාක ආක්‍රමන මගින් නිර්මිත විනාශයන් නිසාය.

සරන බලාපොරොත්තු වන මිනිසුන්ගේ වැඩිවන රැල්ල ඉදිරියට තල්ලුකිරීමේදී ගැඹුරු වන ආර්ථික හා සමාජ අසමානතාවය ද ප්‍රමුඛ සාධකයක් වන්නේය. ජනවාරියේදී ඔක්ස්ෆෑම් වාර්තාව ඉස්මතු කල ආකාරයට, ලෝකයේ පොහොසත්ම මිනිසුන් 85 දෙනා අතෙහි ජනගහනයේ දුප්පත්ම සියයට 50 සතු ධනයට සමාන අගයක් ගොනුවී ඇත. එනම් බිලියන 3.5ක ජනතාවකි.

අතලොස්සක් අතේ මෙතරම් දැවැන්ත ධන සම්භාරයක් ගොඩගැසී තිබියදී ලෝකය පුරා ආන්ඩු, ආර්ථික සම්පත් හිඟවීමේ කාරනය මත සරනාගතයන්ට දොර වැසීමට වඩ වඩාත් පෙලඹෙමින් සිටිති. එම ආන්ඩුම ගෝලීය ප්‍රාග්ධනයට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන අතර එහි ගොදුරු බවට පත්ව ඇති මිලියන ගනන් මිනිසුන්ගේ ජීවිතය හා රැකියා පිලිබඳ මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් නොසලකා හරිති. තමන් තෝරාගන්නා තැනක පූර්න සිවිල් හා දේශපාලන අයිතීන් ඔවුන්ට හිමිවිය යුතුය.

සරනාගත විරෝධී අගතීන් ඇවිලවීම, සෑම රටකම කම්කරුවන් අනෙකුන්ට එරෙහිව ජාතිකවාදී හා ස්වෝත්තමවාදී කා කෙටවීම් කරා තල්ලු කිරීම සමග අත්වැල් බැඳගෙන ඇත. එය සිදුවන්නේ, ගෝලීය ධනවාදයේ ප්‍රතිවිරෝධතා, සම්පත් හා වෙලඳපොලවල් සඳහා තවත් ලෝක යුද්ධයක තර්ජනය යලි වතාවක් මතු කරමින් තිබියදීය.

ධනවාදී ලාභ ක්‍රමය විසින් නිර්මානය කරන යුද්ධ, සිවිල් යුද්ධ, වාර්ගික ගැටුම් හා දුර්භික්ෂ මගින් විනාශභාග් කරන ලද ලෝකයේ නොයෙකුත් ප්‍රදේශ වලින් මෙන්ම ශ්‍රී ලංකාවෙන් ද පලායන අයට ද අනෙක් ඕනෑම තැනක කම්කරුවන්ට මෙන්ම මූලික අවශ්‍යතා හා අපේක්ෂාවන් ඇත. යහපත් ජීවන තත්වයන්, සමාජ සේවා, ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා සමානතාවය යන සියල්ල ඊට අයත්ය. ලෝක කම්කරු පන්තියේ අතිශයින්ම පීඩාවට පත්ව සිටින සාමාජිකයින් වන රැකවරන පතන්නන් ආරක්ෂා කිරීම, අතාර්කික හා යුදවාදී පෞද්ගලික ලාභ පද්ධතිය, සමාජ අර්බුදයේ මූලාශ්‍රය වශයෙන් සදහටම අවසන් කිරීම සඳහා කම්කරු පන්තියේ අරගල එක්සත් කිරීමේ සටනෙහි නොවෙන්කල හැකි කොටසක් වන්නේය.

Share this article: