වැඩෙන සමාජ ආතතීන් මධ්‍යයේ බ‍්‍රසීලය ලෝක කුසලාන තරඟාවලියේදී අන්ත පරාජයක් ලබයි

Brazil suffers World Cup rout amid mounting social tensions

බිල් වෑන් ඕකන් විසිනි, 2014 ජූලි 10

සෙලෙසා ලෙස හඳුන්වනු ලබන බ‍්‍රසීලයේ ජාතික පාපන්දු කන්ඩායම ජර්මනිය වෙතින් ලත්, ගෝල 7-1 ක අන්ත පරාජය, දීර්ඝ කාලයක් පුරා ලෝක පාපන්දු ක‍්‍රීඩාවේ අගනගරය ලෙස හඳුන්වනු ලැබුනාවූ ද මෙවර ලෝක කුසලානයේ සත්කාරකයා වූ ද බ‍්‍රසීලය තුල කටුක දෝෂාරෝපන රැල්ලක් මුදා හැර තිබේ. 09දා ප‍්‍රමුඛ පෙලේ දිනපතා පුවත්පත් සිය මුල් පිටුවේ දැවැන්ත සිරස්තල යොදමින් එම පරාජය, “අපකීර්තියක්”, “ලැජ්ජාවක්” හා “ගර්හාවක්” ලෙස හැඳින්වූ අතර එක පුවත්පතක් අමු අමුවේම බ‍්‍රසීල කන්ඩායමේ පුහුනුකරුට “අපායට පලයන්” යයි කියා සිටියේය.

සියලු හෙලාදැකීම් හා ලය පැහැරීම් මධ්‍යයේ යමෙකුට බ‍්‍රසීලියානු ක‍්‍රීඩකයන් පිලිබඳ ගැඹුරු අනුකම්පාවක් ජනිත වීම වැලැක්විය නොහේ. එය බ‍්‍රසීලය විසින් කවර හෝ ලෝක කුසලාන තරගාවලියකට ඉදිරිපත් කෙරුනු ලාබාලතම කන්ඩායම් අතරින් එකක් වූ අතර මෙම අවසාන පූර්ව තරගයට ඔවුන්ට මුහුන දීමට සිදුවූයේ කොලොම්බියාව සමග තරගයේදී කොන්ද බිඳුනු, ඔවුන්ගේ ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රහාරක නේමා ද එම තරගයේදීම තරග තහනමකට භාජනය වූ නායක තියාගෝ සිල්වා ද නොමැතිව ය.

මේ වසර මුලදී පැවති ලෝක කුසලානයට එරෙහි විරෝධතාවක් (ඡායාරූපය: වික්ටර් ප‍්‍රැට්) [photo: Victor Prat]

විනාඩි හයක් තුල ගෝල හතරක් ලබා ගනිමින් ජර්මන් පිල එල්ල කල නිර්දය ප‍්‍රහාරය සැලකු කල, මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඒ දෙදෙනාම වුව හෝ ඉකුත් අඟහරුවාදා බෙලෝ හොරිසොන්තේහි මිනිරාවෝ ක‍්‍රීඩාංගනයේ තරගයට සහභාගී වූවා නම් වුව ද ඉන් කවර හෝ වෙනසක් සිදුවන්නට තිබිනිදැයි ක‍්‍රීඩා ලේඛකයන් ගනනාවක් ප‍්‍රශ්න කොට තිබිනි. තවද, ඊට ඉහත තරගවලදී දකින්නට ලැබුනු බ‍්‍රසීල කන්ඩායමේ දුබලතා ද ඔවුන් විසින් සැලකිල්ලට ගනු ලැබ තිබින.

කෙසේ වෙතත් වෙනත් සිත් කලඹන සුලු ලකුනු ද පල වී තිබිනි. පිටියේ සීමා රේඛාවන්ගෙන් පිටත සිටිමින් හඬා වැටුනු ක‍්‍රීඩකයන්ගේ ආධාරයට කන්ඩායමේ මනෝ විද්‍යාඥයා කැඳවන ලද අවස්ථා තිබිනි. ඉන් ඇතැමෙකු පාලනය නොකල හැකි පරිද්දෙන් ඉකි ගසා වැලපෙමින් සිටියහ.

කන්ඩායමේ සාමාජිකයන් මත පැටැවුනු අප‍්‍රමාන වූ පීඩනයන්, ජර්මානු ප‍්‍රහාරය ඉදිරියේ ඔවුන්ගේ බිඳවැටීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කර තිබුනා විය යුතුය. ලෝක කුසලාන තරග වෙනුවෙන් දැවැන්ත සම්පත් සම්භාරයක් ආයෝජනය කල ආන්ඩුවකට, ලොව පුරා බිලියන 1.6ක ජනකායක් නරඹනු ලබන තරගයේ ජයග‍්‍රහනය, ලෝක රඟ මඬල මත බ‍්‍රසීල ධනේශ්වරයේ උත්ක‍්‍රමනය විදහා දැක්වීමේ ප‍්‍රදර්ශන කූඩුවක් ලෙස යොදා ගැනීමට අවශ්‍ය ව තිබූ බැව් කොතෙකුත් පැහැදිලිව පෙනෙන්නට තිබිනි.

එවන් දේශපාලන අභිප‍්‍රායයන් සඳහා ලෝක කුසලාන තරග හා අනෙකුත් ක‍්‍රීඩා ඉසව් යොදා ගැනීම කිසිසේත්ම අලූත් දෙයක් නොවේ. ඒ පිලිබඳ උදාහරන වලින් වඩාත් අපකීර්තිමත් උදාහරනය වනුයේ ආජෙන්ටිනාවේ ජනරාල් ජෝර්ජ් විදෙලා ආඥාදායකත්වය විසින් සත්කාරකත්වය සපයන ලද 1978 ලෝක කුසලාන තරගාවලියයි. එහිදී ලේ ගංගාවක කරවටක් ගිලී සිටි රජයේ නීත්‍යානුකූලභාවය තහවුරු කරනු වස් යොදා ගැනුනු ආජෙන්ටිනා ජයග‍්‍රහනයක් වෙනුවෙන් ජන සමූහයන් නැගූ ජය ඝෝෂා, වධ කඳවුරුවල රඳවා ගෙන සිටි දේශපාලන සිරකරුවන්ට අසන්නට ලැබිනි.

කෙසේ වෙතත්, ඇත්තෙන්ම කිසිදා නොඇසූ විරූ වැදගත්කමක් - හා මුදල් සම්භාරයක් - බ‍්‍රසීලයේ පීටී (කම්කරු පක්ෂ* ආන්ඩුව මේ වෙනුවෙන් ආයෝජනය කරන ලදී. පාපන්දු ක‍්‍රීඩාවේ ජාත්‍යන්තර පාලනාධිකාරය වන ෆිෆාව (fifa), 2014 ලෝක කුසලාන තරග සත්කාරකයා වීමේ අයිතිය 2007 දී සිය රටට ප‍්‍රදානය කල කල්හි එවකට බ‍්‍රසීලයේ ජනාධිපතිවරයා වූ ලුයිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා මෙසේ ප‍්‍රකාශ කලේය: “හරය වශයෙන් ගත් කල, අප මෙහිදී භාරගන්නේ අප, වැඩෙමින් පවත්නා ස්ථායි ආර්ථිකයක් බව, ස්ථාවරත්වය අත්පත් කර ගත් රටවල් අතරින් එකක් බව, ජාතියක් වශයෙන්, ආන්ඩුවක් වශයෙන්, ලෝකයට ඔප්පු කිරීමේ වගකීමයි.”

ඒ වෙනුවෙන් ක‍්‍රීඩාංගන හා දශ ලක්ෂ 200ක් වන බ‍්‍රසීල මහජනයාගේ විශද සමාජ අවශ්‍යතාවයන්ට මෙලෝ සම්බන්ධයක් නැති යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා මහජන අරමුදලින් ඩොලර් කෝටි 11කට වැඩි ධනස්කන්ධයක් පෞද්ගලික සමාගම් අතර බෙදා දීමට රජය කටයුතු කලේය. ක‍්‍රීඩාංගන ඉදිකිරීම්වලදී පමනක් ඇස්තමේන්තු කල පිරිවැය සියයට 300කින් ඉක්මවා ගිය අතර, රියෝ සහ සාවෝ පාවුලෝ සම්බන්ධ කෙරෙන අධිවේගී දුම්රිය මාර්ගයක් ඇතුලු යටිතල පහසුකම් සඳහා යෝජිත ආයෝජනයන් මුලුමනින්ම පසෙකට දමනු ලැබින.

ලූලා විසින් ප‍්‍රකාශිත - හා ෆිෆාව විසින් ඉල්ලා සිටිනු ලැබූ - “ස්ථාවරත්වය” නිර්මානය කරනු වස් දශ ලක්ෂ කාලක මහජනයාට වෙනත් නිවාසවලට යාමට බල කෙරිනි. දහස් ගනන් පවුල් උන් හිටි තැන් නැති තත්වයට ඇද දමන ලදී. මිලිටරීකෘත බ‍්‍රසීල පොලිසිය, ෆාවෙලා පැල්පත් නගරය අල්ලා ගත් අතර විරෝධතා නිර්දය ලෙස මැඩ පවත්වනු ලැබීය. තරග පැවැත්වෙන ක‍්‍රීඩාංගන අවට ප‍්‍රදේශවලට සැබවින්ම යුද්ධ නීති පනවන ලදී. මාවත්වල සිටි දරුවන් හා උන්හිටිතැන් නැති පුද්ගලයන්, මිනීමරු පොලිස් කල්ලි විසින් මරා දමනු ලැබූ බවට වාර්තා පල විය.

එමෙන්ම, පාපන්දු සමග පැවති ඓතිහාසික ජාතික අනන්‍යතාවය නොතකා, සිය රටවාසීන් බහුතරයක් ලෝක කුසලාන තරග බ‍්‍රසීලයේ පැවැත්වීමට එරෙහිවීම, තුරුනු බ‍්‍රසීල ක‍්‍රීඩකයන්ට නිසැකවම චිත්ත පීඩා පැමින වූ කරුනක් විය. ලෝක කුසලාන තරග සඳහා පූර්ව සූදානම්වීම් සිදු කල දිනවල පැවැත්වූ ජනමත විචාරනයක දී පෙනී ගියේ මෙම ක‍්‍රීඩා තරග සිය රටට අයහපත් බව සියයට 61ක් විශ්වාස කල බවයි.

මෙම තරගාවලිය පසුගිය වසරේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා වීදි කරා කැඳවූ දැවැන්ත ජාතික පරිමාන විරෝධතාවන්හි ඉලක්කය බවට පත් විය. පලමු අවස්ථාවේ එය පැන නැගුනේ ප‍්‍රවාහන ගාස්තු ඉහල දැමීමට එරෙහිවය. ෆිෆා ක‍්‍රීඩාංගන වෙනුවට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා හා නිවාස සඳහා මුදල් වැය කල යුතුයැයි සටන් පාඨ ඉදිරිපත් විය.

බොහෝ දුරට ඒවායේ පැවති විසිරුනු පන්ති ස්වභාවයත්, කිසිදු පැහැදිලි නායකත්වයක් හෝ වැඩ පිලිවෙලක් නොපැවතීමත් - හා එමෙන්ම ප‍්‍රචන්ඩ මර්දනයත් - හේතුවෙන් මෙම විරෝධතා ක්ෂය වී යන අතරතුර තරගාවලිය කෙරේ වූ පිලිමල් බව දිගින් දිගටම වැඩුනි. එහි තියුනුම ප‍්‍රකාශනය පල වූයේ කම්කරු පන්තිය තුලිනි.

තරගාවලියේ ආරම්භයට සති කිහිපයක් පමනක් තිබියදී බ‍්‍රසීල කන්ඩායම ගමන් ගත් බස් රථය එහි පුහුනු කඳවුරට යන අතරතුර දී අවහිර කර නවත්වන ලදී. වැඩ වරා සිටි සිය ගනනක් ගුරුවරු මාර්ගයේ වාඩි ලා ගෙන, රථයේ පැතිවලට තඩිබාමින් සටන් පාඨ කීහ. එම සටන් පාඨ මගින්, ලෝක කුසලාන තරගවලට මුදල් වැය කිරීම හෙලා දකිමින් ඒ වෙනුවට නිසි වැටුප් නොලබන රටේ ගුරුවරුන් හා නිසි ප‍්‍රතිපාදන නොලබන පාසැල් වෙනුවෙන් මුදල් යොදවන ලෙස බල කෙරිනි.

මෙම නැගෙන අතෘප්තිකර පසුබිම හමුවේ බ‍්‍රසීලියානු ආර්ථිකය මුලුමනින්ම ඇනහිට ඇත. උද්ධමනය අනවරත ලෙස ඉහල යන තත්වයක් තුල පවා මේ වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධනය යන්තම් සියයට 1ක මට්ටමේ පවතී. “බොස්ලා ෆැමිලියා” හා “බ‍්‍රසිල් සෙම් මිසරියා” වැනි අවම සමාජ සහනාධාර වැඩ පිලිවෙලේ ආධාරයෙන් දශ ලක්ෂ 20ක ජනයා දරිද්‍රතාවයෙන් ගොඩ ගැනීම ගැන පීටී ආන්ඩුව පම්පෝරි ගසන අතර වැඩ කරන මහා ජනතාවත්, ආර්ථික හා දේශපාලන බල ඒකාධිකාරය සතු තුනී ස්ථරයත්, අතර ඇති අගාධය අන් කවර කලෙකටත් වඩා පුලුල් වී ඇත. මාධ්‍ය විසින් “මධ්‍යම පන්තිය” ලෙස වර්න ගන්වනු ලබන මිලියන ගනනාවක් ජනයා ද අන්ත දරිද්‍රතාවයට යලි ඇදවැටීමේ අද්දර පසුවෙති.

ලෝක කුසලාන තරගාවලියේ දී ලද පරාජයේ දේශපාලන ගම්‍යයන් බ‍්‍රසිලියාහි සිට වෝල් වීදිය දක්වාම ප‍්‍රවේශමෙන් කිරා බැලෙමින් පවතී. දැනට බලයේ සිටින කම්කරු පක්ෂ (පාර්ටි ඩොස් ට‍්‍රැබල්හඩොස්* ජනාධිපති ඩිල්මා රුසෙෆ් ද ඇතුලු ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනා බ‍්‍රසීල ජනතාවට ශෝක ප‍්‍රකාශ නිකුත් කල අතර, ඔක්තෝබරයේ පැවැත්වෙන ජාතික මැතිවරනයේ දී පීටීය බලයේ සිටි දශකයක අවසානය සනිටුහන් කිරීමට ලෝක කුසලාන පරාජය ගසා කෑමේ අපේක්ෂාවෙන් රටේ දේශපාලන දක්ෂිනාංශය කෙල හලමින් සිටි.

පරාජයෙන් ඉක්බිති කැරලි මර්දන උපකරනවලින් සන්නද්ධ විශාල මිලිටරි පොලිස් බලඇනි, බෙලෝ හොරිසොන්ටේ, සාවෝ පාවුලෝ, රියෝ ද ජෙනයිරෝ හා අනෙකුත් බ‍්‍රසීලියානු නගරවල වීදි අරක්ගත් අතර ජයග‍්‍රාහි ජර්මානු කන්ඩායම ක‍්‍රීඩාගාරයෙන් එලියට ගෙන යාම සඳහා අතිවිශාල පොලිස් ආරක්ෂක බලඇනියක් සපයා තිබිනි.

කෙසේ වෙතත් විරෝධය දැක්වීමක් වී නම් ඒ සුලු වශයෙන් පමනකි. ක‍්‍රීඩාගාරය තුලදීම ධනවත් ක‍්‍රීඩා ලෝලීහු ජනාධිපති රුසේෆ්ට එරෙහිව, පසුගිය මාසයේ ලෝක කුසලාන තරග සමාරම්භයේදී ඔවුන් කල පරිදි ම, අශිෂ්ට වචන කියමින් ඝෝෂා කලහ. පීටීය විසින් නියෝජනය කෙරෙතැයි කියනු ලබන සමාජයේ පහල ස්ථර කෙරෙන් නැග එන දිනෙන්දින වැඩෙන ප‍්‍රතිරෝධය අභියස, ඔවුන් සැබැවින්ම සේවය සපයනු ලබන වරප‍්‍රසාදිත පන්තිම මෙසේ පීටීය ප‍්‍රතික්ෂේප කරන බව පලවීම, එහි දේශපාලන සැලකිල්ලට හේතු වන කරුනකි.

සාවෝ පාවුලෝහි දී බස් ගනනාවක් ගිනි තබන ලද අතර විද්‍යුත් උපාංග වෙලඳසැලක් කොල්ල කා තිබිනි. තරගය නැරඹීමට ක‍්‍රීඩා ලෝලීන් එක් රොක්ව සිටි මත්පැන්හල් වල ගුටිබැට හුවමාරු කිහිපයක් ද වාර්තා විය.

අවසානයට පැවති මහජන විරෝධතා, ලෝක කුසලාන තරගාවලිය ප‍්‍රතික්ෂේප කිරීමේ නාමයෙන් පැවැතුනු තතු තුල, තරග පරාජයට ප‍්‍රතිචාර වශයෙන් ක්ෂනික මහජන කැලඹීමක් ඇති නොවීම කිසිසේත්ම මවිතයට කරුනක් නොවේ. කොයිහැටි වෙතත්, මෙම සමස්ත අත්දැකීම සම්බන්ධයෙන් කෝපයක් දැල්වෙමින් තිබේ. අන්තිමේදී ලෝක කුසලාන තරග ඉරිදා නිමා වනු ඇති අතර පෙනී යන පරිදි එහි නින්නාදය තවත් කාලයක් යන තුරු ලතින් ඇමරිකාවේ විශාලතම දේශයේ සමාජ හා දේශපාලන පරිනාමය තුල පිලිරැව් දෙනු ඇත.

තමන් ලද දරුනු පරාජයෙන් පසු 08දා තරගයෙහි බ‍්‍රසීල කන්ඩායමේ නායකත්වය දැරූ ඬේවිඞ් ලුවිස් මාධ්‍යය අමතා චිත්තාවේගයන්ගෙන් ඇලලී ගිය ප‍්‍රකාශයක් කරමින් මෙසේ සමාව ඉල්ලා සිටියේය: “සියලු බ‍්‍රසිලියානුන්ට මා කියන්නේ මෙයයි. මට අවශ්‍ය වූයේ හැම දෙනාම සිනාසෙමින් සිටිනු දැකීමටයි. මුලු බ‍්‍රසිලයම පාපන්දු පිලිබඳව සතුටු වනු දැකීමට මට කෙතරම් අවශ්‍ය වී දැයි දෙවියෝ දනිති.”

ඔහු තවදුරටත් මෙසේ කීය: “ක‍්‍රීඩා ලෝලීන් - බ‍්‍රසීල ජනතාව - හා ජාතික කන්ඩායම වන අප අතර සමීප සම්බන්ධතාවය, හුදෙක් පාපන්දුවලට සීමාවී නැත. ජීවිතයේ අනෙකුත් දේ අත්පත් කර ගැනීම සඳහා ද එම සමීප බැඳීම් යොදා ගනු ඇතැයි මම ප‍්‍රර්ථනා කරමි.”

27 හැවිරිදි පාපන්දු ක‍්‍රීඩකයා තමන් අදහස් කලේ කුමක්දැයි පැහැදිලි නොකලත්, ඉදිරි කාල පරිච්ඡේදය තුල බ‍්‍රසීල වැඩකරන ජන සමූහයන්, ලාභය මත පදනම් වූ සමාජ ක‍්‍රමයත් එය ආරක්ෂා කරන, පවතින දේශපාලන ව්‍යුහයත් විසින් තමන්ට අහිමි කොට ඇති “ජීවිතයේ අනෙකුත් දේ” වෙනුවෙන් අරගලයට පිවිසෙන බවට කිසිදු සැකයක් නැත.

Share this article: