අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන හා සමාජවාදය

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය

Socialism and the Fight Against Imperialist War

2014 ජූලි 03

1. පලමු ලෝක යුද්ධයෙන් වසර සීයක් හා දෙවන ලෝක යුද්ධය ආරම්භවූ තැන් පටන් වසර 75ක් ඉක්ම ගිය තැන, අධිරාජ්‍යවාදී ක්‍රමය යලි වතාවක් මානව වර්ගයා ව්‍යසනයකට ඇද දැමීමට තර්ජනය කරයි.

2. ලෝකය අලුතෙන් හා යලි බෙදීම සඳහා වන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ කොල්ලකාරී තල්ලුව, 2008 පුපුරා ගිය ගෝලීය ධනවාදයේ බිඳවැටීම මගින් ඉමහත් ලෙස වේගවත් කර ඇත. සෝවියට් සංඟමය විසුරුවා හැරීමේ තැන් පටන් ගතවූ දශක දෙක තුල ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් දැනටමත්, බෝල්කන් කලාපයේ, මැද පෙරදිග, මධ්‍යම ආසියාවේ හා අප්‍රිකාවේ මිලියන ගනන් මිනිසුන්ට මරනය හා විනාශය අත්කරදී ඇත. මානව වර්ගයාගේ දුක් වේදනාවන් නොතකන බව ඔවුන් යලි යලිත් ඔප්පුකර ඇත. ප්‍රධාන බලවතුන් න්‍යෂ්ටික අග්නි ජාලාවක අවදානම ගැනීමට සූදානම් වීමත් සමග අධිරාජ්‍යවාදයේ අර්බුදය දැන් ගුනාත්මක නව අදියරකට සේන්දුවී තිබේ.

3. නව ලෝක යුද්ධයක තර්ජනය මතුවන්නේ, නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික අයිතිය මුල් බැස තිබෙන එකිනෙකට ගැටෙන ජාතික රාජ්‍ය ලෙස ලෝකය බෙදී තිබීම හා ගෝලීය ආර්ථිකයක වර්ධනය අතර මූලික පරස්පර විරෝධයන් තුලිනි. මෙය තමන්ගේ අතිශයින්ම තියුනු ප්‍රකාශනය අත්කර ගන්නේ, සියල්ලටත් වඩා රුසියානු හා චීන විප්ලව මගින් දශක ගනනක් තිස්සේ තමා බැහැරකොට තිබුනු යුරේසියානු භූමි ස්කන්ධය මත සිය අනසක පතුරුවා ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තල්ලුවී යාම තුලය. ඉන් බටහිරදී එජ, යුක්‍රේනය සිය පාලනය යටතට ගැනීම සඳහා ෆැසිස්ට්වාදීන් මෙහෙයවූ කුමන්ත්‍රනයක්, ජර්මනිය සමග එක්ව දියත් කලේය. එහෙත් ඔවුන්ගේ අභිලාෂයන් එතෙකින් නතර නොවේ. අවසාන අරමුනවී ඇත්තේ, රුසියානු සමූහාන්ඩුව කැබලිකොට, එය අර්ධ යටත් විජිත සමූහයක් බවට සිඳුවා, ප්‍රදේශයේ දැවැන්ත ස්වාභාවික සම්පත් කොල්ලකෑම සඳහා පොටක් පාදාගැනීමය. නැඟෙනහිරදී ඔබාමා පාලනාධිකාරයේ ආසියාවට හැරීම එල්ල කර ඇත්තේ, චීනය වටලා එය අර්ධ යටත් විජිතයක් බවට පරිවර්තනය කිරීම වෙතය. මෙහි අරමුන වන්නේ, ධනේශ්වර ආර්ථිකයේ ජීවනාලිය වන කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම් සූරාකන එක් ගෝලීය ප්‍රධාන මූලාශ්‍රයක් වන චීනයේ ලාභ ශ්‍රමයෙහි අධිකාරය සහතික කර ගැනීමයි.

4. වර්තමානයේදී මෙම අරමුනු හඹා යන්නේ අනෙකුත් ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමග එක්වය. කෙසේ වෙතත්, ඔවුන් අතර අවශ්‍යතාවයන් පිලිබඳ සදාකාලික සම්පතනයක් ඇත්තේ නැත. විසිවන සියවස තුල එජ සමග යුද්ධ දෙකකට පැටලුනු ජර්මානු අධිරාජ්‍යවාදය, සිය අධිරාජ්‍ය අභිලාෂයන් පුනර්ජීවනය කරමින් සිටියි. බටහිර යුරෝපයේ අධිකාරවත් තත්වය ලඟාකරගැනීමන් පසුව ජර්මනිය ලෝක බලවතෙකු බවට පත්වීමට උත්සාහ කරයි. ආසියාවේදී ජපානය ඒ ආකාරයටම කලාපීය ආධිපත්‍යය සඳහා දිගු කාලයක් තිස්සේ තමන්ට ඇති අභිමතාර්ථය ඉටුකර ගැනීමට යලි මිලිටරීකරනය වීම ආරම්භ කර ඇත. මෙම හැරීම යුක්තිසහගත කිරීම පිනිස 1930 හා 40 ගනන්වල නාසීන් හා ජපාන අධිරාජ්‍ය හමුදාව සිදුකල මහා යුද අපරාධයන්ට සුදුහුනු ගෑමේ ක්‍රමානුකූල උත්සාහයන් ගැනෙමින් තිබේ.

5. බ්‍රිතාන්‍යය, ප්‍රන්සය, කැනඩාව හා ඔස්ට්‍රේලියාව ද ඇතුලු සියලු අධිරාජ්‍යවාදී බලවත්තු, අනුහසේ වැයික්කි සඳහා වන මෙම අරගලයේ සම්පූර්න කොටස්කරුවන්ව සිටිති. මැද පෙරදිග, අප්‍රිකාවේ හා ආසියාවේ පැරනි යටත් විජිත හා අර්ධ යටත් විජිත පමනක් නොව ලෝක ගෝලයේ සෑම කොටසක්ම, එනම් ආක්ටික්, ඇන්ටාක්ටික් හා අභ්‍යවකාශය මෙන්ම සයිබර් අවකාශය ද, කර්කෂ ගැටුම්වල මූලාශ්‍රයන්ය. මෙම ගැටුම් අනෙක් අතට බෙදුම්වාදී ප්‍රවනතා, වාර්ගික බෙදීම් හා ජාතිවාදී සටන් වලට තුඩු දෙන ආතතීන් උපදවයි.

6. රුසියානු හා චීන තන්ත්‍රයන් අධිරාජ්‍යවාදය යුද්ධයට පැනීමෙන් වලක්වන ප්‍රතිභාරයක් නියෝජනය නොකරයි. ඒ දෙරටම නියෝජනය කරන්නේ, ස්ටැලින්වාදී නිලධරයේ ධනපති පුනස්ථාපන කටයුතු තුලින් හිස එසවූ තමන්ගේ අවශ්‍යතාවන් පමනක් රැක ගැනීමට උත්සාහ කරන සාපරාධී කතිපයාධිකාරයයි. ඔවුහු රුසියානු හා චීන ජනතාව දැන් මුහුනපා සිටින බිහිසුනු අන්තරායන් පිලිබඳ දේශපාලන වගකීම දරනවා පමනක් නොව, ජාතිකවාදය ඇවිස්සීම මගින් කම්කරු පන්තිය බෙදීමට ද දායක වෙති.

7. ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී මාක්ස්වාදී ක්‍රියාමාර්ගයක පදනම මත මැදිහත් නොවුනහොත්, තවත් අධිරාජ්‍යවාදී රුධිරස්නානයකට අවස්ථාව සැලසෙනවා පමනක් නොව එවැන්නක් නොවැලැක්විය හැකි ද වන්නේය. 20වන සියවසේ ලෝක යුද්ධ දෙකම හටගත්තේ, ගෝලීය ආර්ථිකය ද යල් පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර ප්‍රතිවිරෝධතා වලිනි. සැම අධිරාජ්‍යවාදී බලවතෙක්ම මෙම ප්‍රතිවිරෝධයන් විසඳීමට උත්සාහ කරන්නේ නිර්දය ලෙස ලෝක ආධිපත්‍යය සඳහා තරඟ වැදීමෙනි. ලෝක ආර්ථික‍ ඒකාග්‍රකරනයේ තවදුර ගුනාත්මක පිම්මකට දායක වෙමින්, පසුගිය දශක තුන පුරාවට සිදුවූ නිෂ්පාදනයේ ගෝලීය කරනය, ධනවාදයේ අති මූලික ප්‍රතිවිරෝධතා උත්සන්න වීමේ නව මුදුනකට ගෙනැවිත් තිබේ.

8. එබැවින්, අධිරාජ්‍යවාදයේ හා ජාතික රාජ්‍යයේ අවශ්‍යතාවන්ගේ ඝර්ෂනය, නිෂ්පාදන බලවේගයන්ගේ ඒකාබද්ධ වර්ධනය සහතික කරන්නාවූ, ගෝලීයව ඒකාග්‍රිත ආර්ථිකයක් තර්කාන්විත පදනමක් මත සංවිධානය කිරීම, ධනවාදය යටතේ කල නොහැක්කක් බව ප්‍රකාශයට පත්කරයි. කෙසේ වුව ද අධිරාජ්‍යවාදය මායිමට තල්ලුකරන්නාවූ එම ප්‍රතිවිරෝධයන්ම, සමාජ විප්ලවය සඳහා වෛෂයික ආවේෂය ද සම්පාදනය කරයි. නිෂ්පාදනයේ ගෝලීයකරනය කම්කරු පන්තියේ දැවැන්ත වර්ධනයකට තුඩුදී ඇත. කිසිදු ජාතියකට බැඳීමක් නැති මෙම සමාජ බලවේගය පමනක්ම, යුද්ධයේ මූල සාධකය වන ලාභ පද්ධතියට අවසාන තිත තැබීමට සමත් වන්නේය.

9. සමාජ අසමානතාවයේ වැඩි වර්ධනය, පාලනයේ ඒකාධිපති රූපාකාරයන් කරා වන නැඹුරුව, යන කම්කරු පන්තිය හමුවේ ඇති සියලු ප්‍රධාන ප්‍රශ්න, මෙම අරගලයේ උපාංඟ වන්නේය. යුද්ධයට එරෙහි අරගලයකින් තොරව සමාජවාදය සඳහා සටනක් නොමැතිවාක් මෙන්ම සමාජවාදය සඳහා අරගලයකින් තොරව යුද්ධයට එරෙහි සටනක් ද ඇත්තේ නැත. සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, තරුනයින් ද පීඩිත ජනතාවන් ද තමන් පිටුපස පෙලගස්වා ගන්නා කම්කරු පන්තිය යුද්ධයට එරෙහි විය යුතුය- එනම්, දේශපාලන බලය සියතට ගැනීමින් ද බැංකු හා ප්‍රධාන සමාගම් අත්පත් කර ගනිමින් ද කම්කරු රාජ්‍යයන්ගේ ලෝක සමූහාන්ඩුවක් ගොඩනැඟීමේ කර්තව්‍යය ආරම්භ කල යුතුය.

10. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය දේශපාලන වැඩකටයුතුවල හරි මැද, යුද්ධයට එරෙහි අරගලය තැබීමට අදිටන්කර ගනියි. එය, අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ ද මිලිටරිවාදයේ ද යලි නැඟී ඒම කෙරෙහි පල කෙරෙන විප්ලවවාදී විරුද්ධත්වයේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය බවට පත්විය යුතුය. මෙම කර්තව්‍ය ඉටුකිරීමේ අරමුනක් පවා ඇති වෙනත් සංවිධානයක් නොමැත. නොගිනිය හැකි තරම් පැරනි සාමවාදීන්, ලිබරලුන්, හරිතයන් හා අරාජකවාදීන්, මානව අයිතීන් පිලිබඳ සාවද්‍ය ධජය යටතේ අධිරාජ්‍යවාදී යුද ධාවනය පිටුපස පෙලගැසී සිටියි. ඒ සමානවම, පැබ්ලෝවාදීන් හා රාජ්‍ය ධනවාදීන් වැනි ව්‍යාජ වාම ප්‍රවනතා, “ප්‍රතීක අධිරාජ්‍ය විරෝධය” ලෙස හෙලා දකිමින්, රුසියාවට හා චීනයට එරෙහි එක්සත් ජනපද ප්‍රචන්ඩත්වය පිටුපස පෙල ගැසෙති.

11. ප්‍රමුඛ මූලෝපායික ප්‍රශ්නය වන්නේ, ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරය ගොඩනැඟීමයි. කම්කරු පන්තිය ජාත්‍යන්තරව එක්සත් කල හැකි, පවත්නා එකම මාධ්‍ය වන්නේ එයයි. රටවල් 92ක අය සහභාගී වූ, මැයි 04දා පැවැත්වූ අන්තර්ජාල මැයි දින රැලිය, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක වර්ධනය කිරීමේ හැකියාව හා එහි විප්ලවවාදී ඉදිරිදර්ශනය සඳහා වැඩෙන සහයෝගය එලිමහනට ගෙන ආවේය. දැන් හජාජාක කර්තව්‍ය වන්නේ, අලුත් රටවල්වල හා ලෝකයේ අලුත් ප්‍රදේශවල ශාඛා ගොඩනැඟීමට වැඩ කිරීමයි.

Share this article: