මානවවාදී කර්මාන්තය: අධිරාජ්‍යවාදයේ “බලය තරකිරීමක්”

The humanitarian industry: A “force multiplier” for imperialism

නැන්සි හැනෝවර් විසිනි, 2013 දෙසැම්බර් 30

Humanitarianism Contested, Where Angels Fear to Tread,(මානවහිතවාදයේ පොර පිටිය, සුරදූතයින් පය ගැසීමට බියවන තැන) මයිකල් බාර්නෙට් හා තෝමස් ජී .වීස් විසිනි

නොවැම්බරයේ දී පිලිපීනය විනාස කල හයියාන් කුනාටුව නැවත වතාවක් පෙන්නුම් කලේ ජාත්‍යන්තරව සංවිධානය කල මානවවාදී ආධාරවල ස්වභාවය යි: එනම්, සැබෑ සහයෝගයේ අල්පකම හා මහාබලවතුන් විසින් ඔවුන්ගේ ම භූ-මූලෝපායික හා මිලිටරි න්‍යායපත්‍ර සාර්ථක කර ගැනීමටට එවනි අර්බුද ප්‍රයෝජනයට ගැනී ම යි.

2004 ඉන්දියානු සාගර සුනාමියේ සිට 2010 හයිටි රාජ්‍යයේ භූකම්පනය දක්වා දිවෙන රටාව හෙලිදරව් කෙරී ඇත. සෑම තත්වයකදීම තමන්ගේ න්‍යායපත්‍රයක් සහිතව කටයුතු කරන සම්බන්ධීකරනය නොකල ආයතනවල එකතුවක් විසින් පාලනය කෙරුනු ආහාර හා වෛද්‍ය ආධාර ඛේදජනක ලෙස අප්‍රමානවත් ය. ඊලඟ විනාසය කල් තබා වැලක්වීමට කල් පවත්නා අභිවර්ධනයන් සිදු නො කෙරේ.

කෙසේ නමුත්, මෙම රටාවේ පවතින කැපී පෙනෙන මාදිලිය නම්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල (අයිඑන්ජීඕ) මානවවාදී සහන කටයුතු වලදී ඒවා වඩ වඩාත් මිලිටරිය අතට පත්වන්නේය යන කාරනය යි. පිලිපීනයේ කුනාටුව පසුපසින් සිය යුද නැව් හතක් සමග යූඑස්එස් ජෝර්ජ් වොෂින්ටන් ගුවන්යානා හාරක නෞකාවේ පැමිනීම පිලිබිඹු කරන්නේ, එහි ආසියාවට “හැරීම” සමග ඇමරිකානු ආන්ඩුවේ පූර්ව නියුක්තිය හා චීනයට එරෙහිව ඒකාබද්ධ මිලිටරි පෙරසූදානම යි.

ලෝක ධනවාදය සඳහා ට්‍රෝජන් අශ්වයෙකු ලෙස අයිඑන්ජීඕවල කාර්යභාරය ප්‍රදර්ශනය කෙරුනේ ද ගිය අගෝස්තු -සැප්තැම්බර්වල දී සිරියානු ජනාධිපති බෂර් අල්-අසාද්ට එරෙහිව සැලැසුම් කල ප්‍රකම්ප හා විශ්මයජනක ආකාරයේ ප්‍රහාරයන් දක්වා ක්‍රමයෙන් ගෙන යන ලද ප්‍රචාරය තුල ය. දේශසීමා රහිත වෛද්‍යවරු (එම්එස්එෆ්) නම් රා.නො.සංවිධානයේ සමආරම්භකයා වූ ද, ජනාධිපති සාර්කෝසිගේ දක්ෂිනාංශික ආන්ඩුවේ හිටපු විදේශ ඇමති වූ ද බර්නාඩ් කුෂ්නර්ගේ හඬ ඉතාමත් ඝෝෂාකාරී හඬවල් අතර විය. ඔහු ජූලි අග දී, “සුප්‍රසිද්ධ ඇමරිකානු ඩ්‍රෝන්ස් කොහි දැ” යි නො ඉවසිල්ලෙන් ඇසුවේය.

එක්සත් ජනපදය මිලිටරි ප්‍රහාරයක් සඳහා ඍජු කඩතුරාවක් ලෙස පාවිච්චි කිරීමට බලාපොරොත්තු වූ, අගෝස්තු 21වැනිදා සිරියාවේ ගෞටා ප්‍රහාරය පලමුව වාර්තා කලේ, 1999 නොබෙල් සාම ත්‍යාගලාභී එම්එස්එෆ් ය. එම සංවිධානය පිලිගත් ආකාරයට, සිද්ධිය පිලිබඳ ජාත්‍යන්තර පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීමට එම්එස්එෆ් ගත් තීරනය ඉහලින් ම දේශපාලනික ය, මෙය සිදුකලේ එම්එස්එෆ් රෝහලක් තුල නො ව කැරලිකරුවන් විසින් පාලනය කරන ලද ප්‍රදේශයේ “නිහඬ පාර්ශ්වකරු” නම් කාර්යාල පරිශ්‍රය තුල දී ය.

සිරියානු ජනාධිපති අසාද් “රතු ඉර” පැන ඇතැ යි ප්‍රකාශ කිරීමට ඔබාමා පාලනාධිකාරය රසායනික අවි ඝාතන පිලිබඳ ඔවුන්ගේ ප්‍රමුඛ නිවේදනය වහා ම ඩැහැ ගනු ඇතැ යි මෙම කන්ඩායම හොඳින් දැනුවත් විය. එය එසේ ම විය. මෙම අවස්ථාවේ දී එම්එස්එෆ් නිසැකව ම වැඩකරමින් සිටියේ එක්සත් ජනපද ගැත්තර අසාද් විරෝධී මිලීෂියාවන්ගේ “අනුග්‍රහය යටතේ ය”. දින කීපයකට පසු කන්ඩායම විෂ වායු ප්‍රහාරය තුල අන්තර්ගත වූ න්‍යුරෝටොක්ෂින්වල මූලය ඔවුන්ට දැන ගත නොහැකිවී යයි තවත් ප්‍රකාශයක් නිකුත් කරමින් අඩිය පස්සට ගත්තේය. එහෙත් එහි අගෝස්තු 24වැනිදා ප්‍රකාශනයේ බලපෑම එසේ ම පැවතුනි.

සැබවින් ම, මූලෝපායාත්මක හා ජාත්‍යන්තර අධ්‍යනය සඳහා එක්සත් ජනපද කේන්ද්‍රය සිය අනුමැතිය ඇතිව සඳහන් කලේ, විශේෂයෙන් ම එම්එස්එෆ් වෛද්‍යවරුන් එම ස්ථානයට ගොස් නොතිබියදී පවා හදිසි ප්‍රකාශනයක් නිකුත් කිරීමෙන් එම්එස්එෆ් “අවදානම් සහිත දැඩි ඉල්ලීමක්” කලේ ය යනුවෙනි. සිද්ධියට මසකට පසුව නිව් යෝක් ටයිම්ස් පුවත්පත ප්‍රමාදවී වුවත් පැවසුවේ, රසායනික අවි අනතුරු තක්සේරු කරන විට වෛද්‍යවරුන් නිතර ම පාහේ “අපකීර්තිමත් ලෙස සාවද්‍ය” බව යි. ඉතා ම මෑතක දී මාධ්‍යවේ දී සෙයිමෝර් හර්ෂ් තර්කානුකූලව තහවුරු කර තිබුනේ පසු ගිය අගෝස්තුවේ දී සිරියානු ආන්ඩුව සෙරින් ගැස් ප්‍රහාරය එල්ල කර තිබුනේ යයි ප්‍රකාශ කල අවස්ථාවේ දී එක්සත් ජනපද ආන්ඩුව හා බරක් ඔබාමා දැනුවත් ව බොරු කිව් බව යි.

හයියාන් කුනාටුව වටා මිලිටරි බලමුලු ගැන්වීම හා සිරියාව තුල එම්එස්එෆ් භූමිකාව අධිරාජ්‍යවාදය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන අතර වැඩෙන බන්ධනය පිලිබඳ හුදෙක් ඉතාමත් මෑත ම උදාහරන ය. මයිකල් බානෙට් හා තෝමස් ජී.වේස් යන ප්‍රමුඛ ඇමරිකානු දේශපාලන විද්‍යාඥයින් දෙදෙනා විසින් රචිත Humanitarianism Contested, Where Angels Fear to Tread නම් 2011 වර්ෂයේ ග්‍රන්ථය මෙම විශේෂිත සිද්ධිවලට බොහෝ කලින් ලියවුනු නමුත් එකී ප්‍රවනතාව පිලිබඳ එහි හෙලිදරව්ව කාලෝචිතය.

ග්‍රන්ථය මානවහිතවාදී ආධාර ව්‍යාපාරයේ ඇතුලත අයෙකුගේ දෘෂ්ටිය පෙන්නුම් කරයි. වසරකට ඩොලර් බිලියන 18ක දැවන්ත ඇස්තමේන්තු ගත වටිනාකමක් හා 300,000ට වඩා සේවක සංඛ්‍යාවක් ඇති එය දැන් නියම කර්මාන්තයකි. යමෙකු බලාපොරොත්තු වීමට ඉඩ ඇති සේම එය, කිසි ලෙසකින්වත් ධනවාදය පිලිබඳ විවේචනයක් නො වේ. කතුවරු, මානවහිතවාදය පිලිබඳ වෙනසක් සඳහා, දරිද්‍රතාව හා යුද්ධයේ බලපෑම් විසඳීමට පවතින ඉතාමත් සැලකිය යුතු උත්සාහය ලෙස විශ්වාස කරමින් එය කෙරෙහි බලාපොරොත්තු රඳවා ගනිති. මෙම දෘෂ්ටිය නො තකා ග්‍රන්ථය මානවහිතවාදී කර්මාන්තයේ මූලික ගමන්මග අනාවරනය කරයි: එනම්, ආන්ඩු අරමුදල් සපයන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල දැවන්ත වර්ධනය හා අධිරාජ්‍යවාදය සමග ඒවායේ ක්‍රියාකාරී ඒකාබද්ධතාවය අනාවරනය කර යි.

මානවහිතවාදයේ ඉතිහාසය

අධිරාජ්‍යවාදී බලවතුන් විසින් මානවහිතවාදයට භාවාත්මක ආකර්ෂනයන් යොදා ගැනීම අලුත් දෙයක් නොවේ. මානවහිතවාදය නාමයෙන් එය අත්පත් කර ගැනීමේ හා කොල්ලකෑමේ නව වටයක් ආරම්භ කරත් ම පාලක පන්තියේ කිඹුල් කඳුලුවලට පිටුපසින් පවත්නා පන්ති උත්සුකතාවන් හෙලිදරව් කිරීමට මාක්ස්වාදී ව්‍යාපාරය දීර්ග කාලයක් තිස්සේ උත්සාහ දරා ඇත.

ලෙඩරෝගවලට ප්‍රතිකාර කරන අතර ම ආහාර සපයමින් හා ක්ෂුද්‍ර නය සපයමින් රජයේ අරමුදල් සැපයෙන පුලුල් පරාසයක සංවිධාන — එකිනෙකට වෙනස් අයිඑන්ජීඕ 37,000ක් පවතී — ලෝක අධිරාජ්‍යවාදයට උත්සුක සෑම ක්ෂේත්‍රයක් තුල ම ක්‍රියාකාරී වෙති. එම්එස්එෆ් මෙන් බොහෝ සංවිධාන සීඅයිඒ හා මිලිටරි මෙහෙයුම්වල නිමග්න වී ඇති අතර අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඔත්තුකරුවන් ලෙස සේවය කරති.

මානවහිතවාදී ව්‍යාපාර සමීක්ෂනයේ දී, Humanitarianism Contested හි කතුවරු ක්ෂේත්‍ර තුනක් විභාග කරති: උත්පත්තිය හා පරිනතවීම(1864-1945), සම්ප්‍රදායානුකූල ව්‍යාපාර (1945-89) හා පශ්චාත් සීතල යුද්ධ කාල පරිච්ඡේදය. ඔවුහු කාර්යමන්ඩල, සංවිධාන හා සම්පත්වල වර්ධනය ගැන සාකච්ඡා කරති. රුවන්ඩා අර්බුදය පිලිබඳ ඔහුගේ මාධ්‍ය ආවරනය නිසා ප්‍රසිද්ධ පිලිප් ගොරෙවිච් ගේ පහත සඳහන් ප්‍රකාශය ඔවුහු උපුටා දක්වති: “සමස්තයක් ලෙස මානවහිතවාදී ආධාර යහපතට වඩා හෝ ඊටත් වඩා හානි ඇති කරතැ යි ආකර්ෂනීය තර්කයක් ගොඩනැගිය හැක.”

Humanitarianism Contested හි හැදින්වීම ලියූ, මානවහිතවාදී කටයුතු පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උප මහලේකම් ජෑන් ඊගලන්ඩ් මෙසේ පිලිගනි යි: “මීට පෙර පරම්පරාවන්ට වඩා ලෝකය සමාජමය වශයෙන් බොහෝ අසාධාරන ය... පෙර දී මෙන් ම දුප්පත් ම සියයට 2 ජීවත්වන්නේ දිනකට ඩොලර් දෙදකට අඩු ආදායමක් සහිතව පහත් කාලකන්නි තත්වයකය.”

කෙසේ වෙතත් දරිද්‍රතාවට, සාගතයට, යුද්ධයට හෝ ස්වභාවික විනාසයන්ගේ බලපෑමට මුහුන දෙන අයගේ ජීවිත බේරා ගැනීමට හෝ ජීවනාභිවෘද්ධියට අසමත්වීම එවැනි සංවිධාන විසින් කරන ලද අවම හානිය වේ.

හෙන්රි ඩූනන් (1828-1910), ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ආරම්භක සාමාජික

බැරට් හා වීස්ගේ ඓතිහාසික අධ්‍යයනයේ සමහර ප්‍රධාන කරුනු විමසා බැලීමේදී, නිල සංවිධානගත මානවහිතවාදය ඇරඹී ඇත්තේ හෙන්රි ඩූනන් විසින් 1864දී ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ඇරඹීමත් සමග යැයි නිල වශයෙන් පිලිගැනේ. එය සියලු ම බටහිර මානවහිතවාදී සංවිධානවල පූර්වගාමියා වන අතර තවමත් එහි “ස්වර්නමානය” ලෙස පිලිගැනේ.

මානවහිතවාදී ආධාරයන්ගේ සම්මතය තුල උරුම ප්‍රතිඝතිතාවන් එම අවස්ථාවේ දී පෙන්වා දෙන ලද්දේ ක්‍රිමියානු යුද්ධයේ දී තුවාල ලත් සොල්දාදුවන් වෙනුවෙන් ඇගේ වීරෝධාර උත්සාහයන් සදහා ජාත්‍යන්තර පිලිගැනීමට පත් ෆ්ලෝරන්ස් නයිටින්ගේල් විසිනි. නයිටින්ගේල් නූතන හෙද වෘත්තියේ මූලාරම්භිකාව ලෙස පිලිගැනේ.

තමන්ගේ ම රෝගී හා තුවාල ලැබූ පුරවැසියන්ට සාත්තු සප්පායම් කිරීම සඳහා අන්ඩුවලින් ආධාර ඉල්ලා සිටීම වෙනුවට ඩූනන්ට් පිහිටුවීමට යෝජනා කල ඒජන්සියට ඈ විරුද්ධ වූවා ය. එයට හේතු වශයෙන් ඇය දැක්වූයේ රතු කුරුස ස්වේච්ඡා සේවකයින් වේදනා නාෂක උවටැන් හා අවශ්‍ය සංවිධාන කටයුතු වල යෙදෙන අතර එය ආන්ඩුවලට දීර්ගකාලීන යුද්ධවල නියලීම වඩා පහසු කරන හා වියදම් අඩු කරන තත්වයක් බව යි.

පීඩාව සැහැල්ලු කිරීමට එවැනි සංවිධානවල ඇති දුබල කම ග්‍රන්ථය පැහදිලි කර යි. එය ප්‍රදර්ශනය කරන්නේ ආරම්භයේ පටන් එක මට්ටමකදී හෝ තව මට්ටමකදී මානවහිතවාදී ආධාර ප්‍රමුඛ බලවතුන්ගේ අවශ්‍යතාවන්ට යටත්කිරීම යි. උදාහරන වශයෙන්, යටත්විජිත යුගයේ දී මානවහිතවාදී ඌරුව අර්ථකතනය කෙරුනේ බටහිර ශිෂ්ඨාචාරයේ වාසි මිත්‍යාදෘෂ්ටික ජනතාව වෙතට ගෙන ඒම ලෙස ය. අප්‍රිකාව සඳහා පොරකෑම විශාල වශයෙන් ක්‍රියාත්මක කෙරුනේ “සුදු මිනිසාගේ යුතුකම” යන ධජය යටතේ ය.

හර්බට් හූවර්ගේ 1918 “සාගිනි සහන” කාර්යභාරය ද කතුවරු සඳහන් කරති. මෙම ව්‍යාපාරය මූලික වශයෙන් ම යොමුවුනේ බොල්ෂෙවික් විප්ලවය හා එය ස්ථාපිත කල කම්කරු රාජ්‍යයට වල කැපීමට ය. මෙම උත්සාහය පසුපස, විප්ලවය යුරෝපය පුරා පැතිරීම නැවත්වීමේ උත්සාහයක් තුල 1921දී පිහිටුවන ලද ජාතීන්ගේ සංගමයේ සරනාගතයන් සඳහා මහකොමිසම පිහිටුවනු ලැබිනි.

කතුවරුන්ගේ ඓතිහාසික අධ්‍යයනය හෙලිදරව් කරන්නේ ඔවුන් ප්‍රකාශ කල ආකාරයට එවැනි ඒජන්සි කිසි දා “අපක්ෂපාත, මධ්‍යස්ථ හා ස්වාධීන” නො වූ බව යි. නමුත් මානවහිතවාදී ප්‍රජාව ඇතුලත විශාලත ම සදාචාරත්මක මතභේදය සිදුවුනේ 1942 ඔක්තෝබර් 14වැනිදා ජාත්‍යන්තර රතු කුරුස කමිටුව නාසි හොලෝකෝස්ටය සම්බන්ධයෙන් නිහඬවීමට ගත් තීරනයට පසු ය.

“තමන් දැන සිටි දෙය හෙලිදරව් කර තිබුනේ නම් යුද පෙරමුනේ දෙපැත්තේ ම කඳවුරුවල හිරකරුවන් පරීක්ෂා කිරීමට තමන්ට ඉඩ නොලැබෙනු ඇතැයි රතු කුරුස සංවිධානය දීර්ග කාලයක් පිලිගෙන තිබුනි. දෙවැනි ලෝක යුද්ධය අතරතුර දී යුදෙව්වන්ට සැලකූ ආකාරය පිලිබඳව තමන් දැනුවත්ව සිටි බව” ජාරකුක එහි1999 පාපොච්චාරනය තුල පැවසී ය.

දේශ සීමා රහිත වෛද්‍යවරුන්ගේ (එම්එස්එෆ්) මූලයන්

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ කැපී පෙනුනු අපක්ෂපාතිත්වය විශේෂයෙන් ම පිලිකෙව් කරමින්, 1971දී බර්නාඩ් කුෂ්නර්, රෝරි බ්‍රෝමන් හා කන්ඩායමක් දේශසීමා රහිත වෛද්‍යවරු නම් සංවිධානය (එම්එස්එෆ්) ආරම්භ කලහ. මෙම සංවිධානය “නො වලහා කතා කරන හා සාක්ෂි දරන” යන පාඨය වැලඳගත්තේ ය. තව ද, එම්එස්එෆ් එහි මූල හේතුව ලෙස දැක්වූයේ 1967-1970 නයිජීරියානු සිවිල් යුද්ධය අතරතුර බිඳීගිය අප්‍රිකානු බ්‍යෆ්‍රා කලාපයේ සාගින්න කෙරෙහි කූෂ්නර් හා ඔහුගේ සගයන්ගේ කෝපය බව Humanitarianism Contested පැහදිලි කර යි.

බර්නාඩ් කුෂ්නර්, හිලරි ක්ලින්ටන් සමග

මානව හිමිකම් උද්ඝෝෂන හා මානවහිතවාදයේ “නෛතික නිඹුල් සගයා” ලෙස එහි නැගීම ගුනාංගිකරනය කරමින් එම කෘතිය තුල, පරම්පරාවක් කෙරෙහි බ්‍යෆ්‍රා වද වේදනාවන්ගේ බලපෑම අනාවරනය කරයි. කතුවර ආතර් පිලිප් ගෝරෙවිච් උපුඨා දක්වමින් ග්‍රන්ථය ප්‍රකාශ කරන්නේ, යුද්ධයෙන් ඉරී ගොස් පීඩාවට පත් ප්‍රාන්තයේ මානවහිතවාදය තරුනයන්ට ප්‍රදානය කලේ “ලේ තවරාගත් දෑත් රහිතව පීඩාවට පත්වූවන් සමග නැගී සිටීමට” මාවතකි. Humanitarianism Contested එය එම්එස්එෆ්හි දේශපාලන මූලයන් කරා ගමන් කර නැත. එවන් මානවවාදී ව්‍යාපෘති, ප්‍රන්සයේ දී ධනවාදය පෙරලා දැමීමේ හැකියාව පෙන්නුම් කල 1968 මැයි-ජූනි විරෝධතාවන්ගේ “පැසවීමේ ඉතාමත් චිත්තාකර්ෂනීය උරුමය” විය යන ගෞරෙවිච්ගේ කියමන යලි කිම පමනකින් එය සෑහීමට පත්වෙයි.

කෙසේ නමුත්, එම්එස්එෆ් සංවිධානය අයිඑන්ජීඕ පරිනාමය තුල ඉතාමත් මන බඳින සිද්ධි අධ්‍යයනයක් ඉදිරිපත් කරන අතර එහි මූලාකෘතියක් විය. මෙම ඉතිහාසය දෙස කෙටියෙන් විමසා බැලීම අවශ්‍ය ය.

කිසියම් ආකාරකින් 1968දී ප්‍රන්සය සෙල වූ විප්ලවවාදී සිදුවීම් තුලින් මතු වූ මානව හිමිකම් ව්‍යාපාරය/කර්මාන්තය හා එම්එස්එෆ් වැදගත් ලක්ෂයක් විය. රුසියානු විප්ලවයෙන් පසු ධනවාදයට විශාලත ම තර්ජනය වූයේ මැයි ජූනි අරගල ය. ශෝචනීය ලෙස කම්කරු පන්තිය පැවතුනේ ජනාධිපති චාල්ස් ඩිගෝල්ගේ තන්ත්‍රයට පන ගැටගසා ගැනීමට හැකියාව ඇති කල ස්ටැලින්වාදී ප්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන ආධිපත්‍යය යටතේය.

මෙම දැවන්ත නැගිටීම ප්‍රන්ස බුද්ධිමතුන් මත ඇති කලේ වේදනාකාරී බලපෑමකි. ඔවුන්ගෙන් බොහෝදෙනා භීතියෙන් ගල් ගැසුනි. තමන් මාක්ස්වාදීන් යයි සලකා ගන්නා ලද බොහෝ දෙනා පශ්චාත්- නූතනවාදය හා පශ්චාත්- ව්‍යුහවාදය වැලඳගනිමින් දකුනට හැරුනි. කුෂ්නර් හා ඔහුගේ සමකාලිකයින් මතුවූවා යැයි පෙනෙන්නේ මෙම සමාජ ස්ථරයෙනි. ප්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයේ තරුන ව්‍යාපාරයේ හිටපු සාමාජිකයෙකු වන කුෂ්නර්ට දේශපාලන පසුබිමක් තිබුනි.

මහා වැඩවර්ජනය අවසන් වුනු ක්ෂනික ඉක්බිත්තේ කුෂ්නර් ප්‍රන්සය අතහැර බියප්‍රාවට ගියේ ය. එහි දී ඔහු ඩිගෝල්ගේ භූ-දේශපාලන උත්සාහයන් සමග ගැලපුනු ප්‍රතිපත්තියක් වූ මානවහිතවාදී මැදිහත්වීම් සඳහා ඉල්ලීම් සමග පෙලගැසුනි. බියප්‍රාවේ පැත්ත ගත් එක ම බලවතා වූයේ ප්‍රන්සය යි. පැරනි යටත් විජිත බලවතා වූ මහා බ්‍රිතාන්‍ය ෂෙල් ඔයිල් සමාගම හා එහි උත්සුකයන් ආරක්ෂා කරමින් නයිජීරියාව සමග මිත්‍ර විය. රටෙහි තෙල්වලින් පොහොසත් කලාපය වූයේ බියප්‍රා සමූහාන්ඩුව යි.

එම්එස්එෆ් ආරම්භයේ සිට ම මෙලෙස ප්‍රන්ස අධිරාජ්‍යවායේ අවශ්‍යතාවන්ට අනුකූල විය. මෙම මාර්ගයේ දිගට ම ඉදිරියට ගිය එය ඇමරිකානු ආන්ඩුවේ ද බලල් අතක් විය.

පලමුව 1970 ගනන්වල කාම්බෝජයේ ද ඊට පසු 1981 පටන් ඇෆ්ගනිස්තානයේ ද එම්එස්එෆ් ක්‍රියාත්මක වූයේ සීඅයිඒ සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික ප්‍රදානය නම් සංවිධානය සමග හවුලේ ය. එම්එස්එෆ් නියෝජිතයෝ එක්සත් ජනපද නව-කන්සර්වටිව්වාදීන් මුන ගැසුන අතර ඔපරේෂන් සයික්ලෝන් නම් මෙහෙයුමට සහභාගී වූහ. ඔපරේෂන් සයික්ලෝන් යනු කොමියුනිස්ට්වාදයට එරෙහි සටන තීව්‍ර කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලමින් ඇෆ්ගනිස්ථානය තුල සෝවියට් යුද්ධයට පෙර හා අතරතුර දී ඇෆ්ගන් මුජහෙදීන් සංවිධානය සන්නද්ධ කල හා මුදල් සැපයූ සීඅයිඒ මෙහෙයුමේ කේත නාමය යි. “ජන සංහාරයේ අංක එකේ ආයුධය සදාම් හුසේන් ” යැයි කුප්‍රකට ලෙස පවසමින් කුෂ්නර් ඉරාක ආක්‍රමනයට සහාය දීමට ඉදිරිපත් වීමෙහි කිසි දු පුදුමයක් නැත. 2011 ලිබියාවට එරෙහිව එක්සත් -ජනපද නේටෝ ආක්‍රමනයට ද කුෂ්නර් සහයෝගය දුන් අතර සිරියාව තුල මිලිටරි මැදිහත්වීමක් ඉල්ලා සිටියේ ය.

මානවහිතවාදය යලි-හංවඩු ගැසීම

Humanitarianism Contested අනුව ශීතල යුද්ධ කාලයේ බටහිර බලවතුන්ගේ සහනාධාරවල ප්‍රකටව පැවති ප්‍රතිගාමී ස්වභාවය ඉදිරිපත් කෙරුනේ මහජන සම්බන්ධතා ගැටලුවක යම්දෙයක් ලෙසිනි. උදාහරන සඳහා ග්‍රන්ථය පෙන්වා දෙන්නේ නිකරගුවාහි සැන්ඩිනිස්ටා ආන්ඩුව පෙරලා දැමීමේ රීගන් ආන්ඩුවේ උත්සාහයේ දී මානවහිතවාදී ආධාර යොමුකලේ මිලිටරි උත්සාහයන්ට බව සාපේක්ෂව ඉතා ප්‍රසිද්ධ බව යි. ඒ සමාන ආකාරයෙන් ම, 1980 ගනන් අතරතුර දී ෆරාබුන්ඩෝ මාර්ටි නැෂනල් ලිබරේෂන් ෆ්‍රන්ට් නම් කැරලිකාරී සංවිධානයට එරෙහිව එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් අන්ත දක්ෂිනාංශික සැල්වඩෝරියන් තන්ත්‍රයේ යුද්ධය අතරතුර දී කැරලිකරුවන්ගේ පාලනය යටතේ වූ සියලු ම ප්‍රදේශවල ආධාර කපා හරින ලදී.

ඍජු රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා මානවහිතවාදී ආධාර උපයෝජනයේ දී ආන්ඩුවේ භූමිකාවේ වර්ධනය විභාග කිරීමේ දී බානෙට් සඳහන් කරන්නේ ඊ ලඟ දශකයේ දී “සෑම දෙයක් ම වෙනස් වූ” බව යි. එය මානවහිතවාදී ආධාර යලි හංවඩු ගැසීමකි. Empire of Humanity නමැති තරමක් දීර්ග කෘතියේ දී බානෙට් මෙසේ සඳහන් කර යි: “1990දී මානව හිමිකම් සාකච්ඡා ලෝක කටයුතුවල සෑම අහුමුල්ලකට ම කාන්දු විය. මානව හිමිකම් හා ආරක්ෂාව සම්බන්ධ කිරීමට, මානව හිමිකම් ඒකක සමග සාමසාධක මෙහෙයුම් ඒකක සජ්ජිත කිරීමට හා පශ්චාත්-ගැටුම් ව්‍යායාමවල දී මානව හිමිකම් කොටසක් වූ බව තහවුරු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම්වල වැදගත්කම වචනයෙන් පැහැදිලි කිරීම ඇරඹී ය.”

එයිඑන්ජීඕ සංඛ්‍යාව පිම්බුන අතර මානව හිමිකම් ක්‍රියාකාරකම්වලට අරමුදල් සැපයීම ආසන්න ලෙස තුන් ගුනයක් වුනි. තව ද කතුවරුන් පෙන්වා දෙන්නේ වඩාත් ම අරමුදල් සපයන මූලාශ්‍රය “බලවත් ආන්ඩු” අතලොස්සකට මාරුවනු බව යි, උදාහරන වශයෙන් එක්සත් ජනපදය හා ඊට අඩු දුරකට යුරෝපය. වර්තමානයේ දී, ඊලඟ ආධාරකරුවන් 12දෙනා‍ගේ එකතුවට වඩා එක්සත් ජනපද ආන්ඩුව මානවහිතවාදී “ආධාර” සපය යි.

මෙය සිදුවූයේ ඇයි? ලෝසවෙඅ පැහැදිලි කල පරිදි, 1991 සෝවියට් සංගමයේ බිඳවැටීම සිය ලෝක ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ අවස්ථාවක් ලෙස එක්සත් ජනපදය විසින් ඩැහගත්තේ ය. බාධාවක් නොමතිව එහි මිලිටරි ශක්තිය මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදය 1990 ගනන් පුරා විධාරනය විය. ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් මෙහෙයුමේ(ඉරාකය) සිට ඔපරේෂන් ප්‍රොවයිඩ් කම්ෆර්ට් (උතුරු ඉරාකයේ කුර්දි ප්‍රදේශය) දක්වා, 1991 ඉරාකය ආක්‍රමනය, සෝමාලියාවේ තුන් අවුරුදු මෙහෙයුම, සර්බියාවට බෝම්බ දැමීම හා එල් සැල්වඩෝරය, චැඩ්, මධ්‍යම අප්‍රිකානු සමූහාන්ඩුව, පැනමා,හොන්ඩ්‍යුරාස් හා ලෙබනනයේ හමුදා රැඳවීම ඇතුලුව එකිනෙකට වෙනස් මිලිටරි මෙහෙයුම් 31ක් එක්සත් ජනපදය දශකයක් තුල සිදු කලේ ය.

මානවහිතවාදී මිලිටරි මෙහෙයුම්

නූතන මානවහිතවාදී කර්මාන්තය මතුවූයේ එක්සත් ජනපදය ආධිපත්‍යය දරන “නව ලෝක පර්යායක්” සඳහා තල්ලුවේ කොටසක් ලෙස ය. Humanitarianism Contested එවැනි පලමු මිලිටරි මානව හිමිකම් සිද්ධිය පෙන්වා දෙයි. මෙය සිදුවූයේ 1991 ගල්ෆ් යුද්ධය අතරතුර දී එක්සත් ජනපදය උතුරු ඉරාකයේ “රක්ෂිත ක්ෂේමභූමි” නිර්මානය කල අවස්ථාවේ දී ය. මෙය පසු පස පැමිනියේ සෝමාලියාව තුල එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම යි. මෙය පලමුවරට “ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාවට” වෙනස් ලෙස මානවහිතවාදයේ පිහිට පැතී ය. 18 වතාවක් මානවහිතවාදී මැදිහත්වීමක් ඉල්ලමින් හා “ආරක්ෂා කිරීමේ වගකීම” යන ධජය යටතේ සෝමාලියාවේ ස්වාධිපත්‍යය සඳහා මොනයම් හෝ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් මැදිහත්වීම බලගැන් වූ ආරක්ෂක කවුන්සල යෝජනාව පිලිගත් සම්මතයෙන් තියුනු ලෙස වෙන්වීමකි.

මානවහිතවාදය තුල ඔවුන්ගේ මැදිහත්වීමේ වාසි දකිමින් අධිරාජ්‍යවාදීහු ඔවුන්ගේ මූල්‍ය සහයෝගය වැඩි කලහ. බැරට් හා වීස් පෙන්වන්නේ 1990ඩොලර් බිලියන 2කින් ඇරඹී, අවුරුදු 10ට පසු තුන් ගුනයකින් වැඩි වී ඩොලර් බිලියන 06 දක්වාද ඊට පසු ඩොලර් බිලියන 18ට දක්වා තුන් ගුනයකින් ද මානවහිතවාදී ආධාර ව්‍යාපාරයේ අරමුදල් වැඩී ගියේය.

අපක්ෂපාතිත්වයේ හා මධ්‍යස්ථභාවයේ පූර්ව මවාපෑම මිලිටරි බලයට හා “ආරක්ෂාව සම්බන්ධ” මෙහෙයුම් සඳහා හංවඩු ගසන ලද වැඩසටහන්වලට ආධාර කිරීමට මග පෑදීය. 1992දී එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් දෙපාර්තමේන්තුව ඇතිකිරීම සමගින් මෙය ක්‍රමානුකූල කරන ලදී.

මෙම ආරම්භකත්වය එම අවුරද්දේ ම පෙන්ටගනයේ ආරක්ෂක සැලැසුම්කරන මගපෙන්වීම(Defense Planning Guidance (DPG) සුපිරිබල තත්වයට අනෙකුත් ජාතීන් නැගීම හා ඒ මගින් ලෝකය වටා එක්සත් ජනපදයේ ආර්ථික හා භූමූලෝපායික උත්සුකයන්ට තර්ජනය කිරීම වැලක්වීමට මිලිටරි බලය යෙදීමේ ප්‍රතිපත්තියක් සකස් කරමින් ඌනපූරනය කලේය.

පැරනි යුද විරෝධී ව්‍යාපාරය තුල සිටි ඉහල මධ්‍යම පන්තියේ විශාල කන්ඩායමක් පැරනි අධිරාජ්‍යවාදය සරසන ලද නව පෙනුම― මිලිටරිවාදයේ “මානව හිමිකම්” ප්‍රපංචය ― වර්නනා කලහ. මෙම නව ප්‍රවේශය ජනප්‍රිය කිරීම තුල, යුගෝස්ලාවීයාව බිඳදැමීමේ කේන්ද්‍රීය වැදගත්කම බානෙට් හා වීස් අවධාරනය කරති.

ග්‍රන්ථය තුල එය විශේෂිතව දක්වා නැතත්, “මානවහිතවාදී බෝම්බ හෙලීම” හෝ “මානවහිතවාදී යුද්ධය” පලමුවෙන් ම යොදාගත්තේ බෝල්කන් හි මැදිහත්වීම සඳහා නේටෝවෙන් කල ඉල්ලීම නිසා එවකට චෙක් ජනරජයේ ජනාධිපති වූ වක්ලාව් හවෙල් සම්බන්ධයෙන් බව සඳහන් කිරීම උචිත ය.

“කොසොවෝ හි මැදිහත්වීම අතරතුර දී කිසිවෙකුට ප්‍රශ්න කල නො හැකි යම් අංගයක් පැවති බව මම විශ්වාස කරමි. එනම්, ගුවන් ප්‍රහාර හා බෝම්බ දැමීමට හේතු වුනේ භෞතික උත්සුකතාවන් නො වේ” යැයි හැවල් 1999දී ප්‍රකාශ කලේ ය. “ඒවායේ ස්වභාවය මුළුමනින් ම මානවහිතවාදී ය. මෙහි පරදුවට තැබෙන්නේ ප්‍රතිපත්ති ය, මානව හිමිකම් ය, මේවා රාජ්‍ය ස්වාධිපත්‍යය පවා ඉක්මවා යන පිලිගත් ප්‍රමුඛතා ය.” කොමියුනිස්ට් විරෝධියෙකු වන හැවෙල් “අශිෂ්ට බටහිර ධනවාදී” සංවර්ධනයේ කොටසක් ලෙස චෙකෝස්ලාවියානු අධ්‍යාපනය, සෞඛ්‍ය හා විශ්‍රාම වැටුප් පද්ධතිය බිඳ විසුරුවා හැරීමට මූලික විය.

ග්‍රන්ථය පැහදිලි කරන අයුරු, ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස, බෝල්කන් යුද්ධ අතරතුර දී එක්සත් ජාතීන්ගේ සංවිධානය, දේ කඳවුරු ගොඩනගමින්, සහනාධාර බෙදාහරිමින්, ආරක්ෂාව සහතික කරමින් හා න්‍යායපත්‍රය සකසමින් “ඇතුලතින් මානවහිතවාදී මෙහෙයුම් පවරා ගැනීමට” නේටෝවට අවසර දෙන ලදී. මෙයට “සාපේක්ෂකව සරනාගතයන්ගේ අවශ්‍යතා පිලිබඳව කරන්නට දෙයක් නො වූ අතර සියල්ල ගුවන් මෙහෙයුම සඳහා සහයෝගය ගොනුකර ගැනීමේ නේටෝවේ අවශ්‍යතාවට අනුකූලව සිදු විය”.

කොසොවෝහිදී සිය සමස්ත මෙහෙවරේ කොටසක් ලෙස සියලු මානවහිතවාදී ආධාර පාලනය කිරීම ගැන නේටෝව අවධාරනය කලේ ය. යුගෝස්ලාවියාව බිඳ දැමීම සඳහා වූ අධිරාජ්‍යවාදී පෙලගැසීමෙන් ඉක්බිත්තේ, අධිරජ්‍යවාදී අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම සඳහා කොසොවෝ ආන්ඩුවේ එක්සත් ජනපද උපදේශක ලෙස කුෂ්නර් කැඳවන ලද බව සඳහන් කිරීම වටින්නේ ය.

මෙම ක්‍රියාදාමයේ කොටසක් ලෙස, හිටපු වාමවාදී ස්ථරයක් අධිරාජ්‍යවාදී අපරාධයන්ගේ ඍජු උපදේශකයන් බවට පත් විය. ලිබියාව හා සිරියාවේ දී අධිරාජ්‍යවාදය සඳහා ඔවුන් සිය විවෘත සහයෝගය පුද කල අවස්ථාවේදී මෙම ක්‍රියාදාමය එලිමහනට පැමිනියේය. මානවහිතවාදී මැදිහත්වීම් අධිරාජ්‍යවාදය හා ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් ප්‍රායෝගිකව හා දේශපාලනිකව එකට පෙල ගස්වන මාධ්‍ය බවට පත්ව ඇත.

9/11 සිට මානවහිතවාදී ආධාර කන්ඩායම්, මිලිටරි හා ඔත්තු සේවා සංවිධාන සමග වඩාත් කිට්ටුවෙන් ඒකාබද්ධ වී ඇති බව Humanitarianism Contested පෙන්නුම් කරයි. අඩු වශයෙන් එක්සත් ජනපදය හා අනෙකුත් ප්‍රමුඛ බලවතුන්ට අනුව ප්‍රතිතස්ත්‍රවාදය හා මානවහිතවාදය, හවුල් කරුවන් වී“ ඇතැයි බර්නෙට් හා වීස් ලියති. 2002 වන විට මානවහිතවාදී ආධාර වෙන්කිරීම විශාල වශයෙන් තීන්දු කරන ලද්දේ එක්සත් ජනපද මිලිටරිය විසිනි— ආධාර රටවල් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දෙන ලද සියලු ආධාරවලින් ආසන්න වශයෙන් අඩක් වෙන්කරන ලද්දේ, ඇෆ්ගනිස්තානය තුල එජ මිලිටරි මෙහෙයුම් සඳහාය. විශේෂයෙන් ම 9/11 පසුව, එක්සත් ජාතීන්ගේ “ආධාර” වෙන්කිරීම හා බෙදාහැරීම එක්සත් ජනපද පාලනය යටතට පත්වීම ගැන කතුවරු අවධාරනය කරති. මාර්ෂල් සැලැස්මට පසු විශාල ම හා වියදම් අධිකම ඇමරිකානු ආධාර ව්‍යාපෘතිය ඉරාකය සම්බන්ධයෙන් වූ අතර ඇෆ්ගනිස්තානය දෙවැනි විශාලත ම ව්‍යාපෘතිය බව The Crisis Caravan ග්‍රන්ථයේ කතුවරිය වන ලින්ඩා පොල්මාන් සඳහන් කර යි.

පැරීසියේ එම්එස්එෆ් පර්යේෂන අධ්‍යක්ෂ ෆැබ්‍රිස් වීස්මන්, ඇෆ්ගනිස්තානය තුල ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සියලු ආධාර ප්‍රතිපත්ති එජ විසින් නියම කල බව පෙන්වා දෙයි. ඔහු මෙසේ ද පැවසුවේ ය: “තලිබාන් පාලනය පරාජය කිරීමෙන් පසුව, ඇෆ්ගනිස්තානය ස්ථාවර කිරීමට හා නැවත ගොඩනැගීමට ආධාර කිරීම සඳහා බොහෝ ආයතනමය ආධාරකරුවන්ට (උදාහරන වශයෙන් ආන්ඩුවලට) අයිඑන්ජීඕ හා එක්සත් ජනපද ඒජන්සි අවශ්‍ය විය. මානවහිතවාදී ක්‍රියාකාරීන්ගෙන් බොහෝ දෙනා ඇෆ්ගනිස්තානයේ එක්සත් ජනපද ආධාර මෙහෙයුමේ හා අන්තර්වාර ආන්ඩුවේ සේවාවන් තුල මාධ්‍යගත විය. මෙම ක්‍රියාකාරිහු නේටෝ හමුදාවන්ගෙන් විවිධ මට්ටමේ සහාය ලබති.”

කොලින් පවෙල්: රාජ්‍ය නොවන සංවිධාන “බලය වැඩි කරති.”

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කොලින් පවල් ඇන්ත්‍රැක්ස් ආදර්ශන කුප්පියක් අතැතිව ඉරාකයට එරෙහි යුද්ධය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග

මානවහිතවාදී ආධාර කර්මාන්තය පිලිබඳ ඉතාමත් අලංකාර ගුනාංගිකරනය කර ඇත්තේ අන් කිසිවෙකු නො ව ඒකාබද්ධ ප්‍රධානීන්ගේ හිටපු සභාපතියෙකු ද, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ද වූ කොලින් පවල් ය. කතුවරුන්ට අනුව, 2001දී පවෙල් මෙසේ පැවසී ය, ඇෆ්ගනිස්තානය තුල “අපගේ රාජ්‍යතාන්ත්‍රිකයන් හා මිලිටරිය මෙන්ම ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන ද ස්ථිර ලෙසම එහි කටයුතු කරමින්, නිදහස සඳහා වන පෙරමුනුවල සේවය කරමින්, කැප කිරීම් කරති... රාජ්‍ය නොවන සංවිධාන අපගේ බලය එසේ වැඩිකර දෙන අතර අපගේ සටන් කන්ඩායමේ වැදගත් පාර්ශ්වයක් ලෙස කටයුතු කරයි. ”

මෙම අධම ඉතිහාසය තුල, සේවා සැලසීම හා සහන කටයුතු සඳහා ලැබෙන මුදල් හා අධාර තමන්ටම බෙදා ගැනීම පුදුම සහගත නොවේ. ආන්ඩුවලින් ලැබෙන ඒවායින් වැඩි පංගුව ගලායන්නේ අයිඑන්ජීඕවලට හා ඒවායේ ඉහල නිලධාරීන්ගේ සාක්කුවලට හා ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන් හා උප කොන්ත්‍රාත්කාර කල්ලි වෙතය. සැබවින් ම, නොයෙකුත් පදනම් හා ආයතන වලින් මිලියන ගනන් රැස් කර ගන්නේ ඊට අමතරව ය. එම්එස්එෆ් එහි නිල නොවන ඩොලර් බිලියන එකකට අධික මුදල් රැස්කරන්නේ, බ්ලූම්බර්ග් සමාගම හා ගෝල්ඩ්රින්ග් ආරක්ෂක අරමුදලෙනි. එහි කලමනාකාර ඩැනියෙල් සඳහන් කරන්නේ, ගෝල්ඩ්මන් සැක්ස්, ගූගල් හා බොහෝ වෙනත් ඇමරිකානු ව්‍යාපාරවලින් ඊට වඩා අඩුවෙන් මුදල් ප්‍රදාන ලැබෙන බවය.

පොල්මාන් මෙම “ආධාර” කාර්යට ආකර්ෂනය වුනු ඉහල මධ්‍යම පන්තික ස්ථරයක් ගැන විස්තර කර යි. ඇය මෙසේ කිය යි,“වැටුප්, දෛනික දීමනා, අනතුරු හා දුෂ්කර පාරිතෝෂික යනාදිය හොඳින් මුල්බැස තිබෙන ආධාර අංශයේ වැඩකිරීම බොහෝ ආකර්ෂනීය දෙයක් බවට පත් කෙරේ.” නරක ම වාතාවරනයකදී පවා පිහිනුම් තටාක, ටෙනිස් පිට්ටනි, ගොල්ෆ් පථ, ඩිස්කෝ නැටුම්, තරුපහේ භෝජනාගාර හා ගනිකාවන් ද සහිත ආරක්ෂිත රාජධානියක් ඇතැයි ඇය පවසන අතර සමහර අවස්ථාවල දී “ආධාර සේවකයන් ජීවත් වන්නේ යටත්විජිත පරිපාලකයන් මෙන් හෝ ඇතම් විට ඊටත් වඩා හොඳින් ය.”

භයානක අපරාධ සූදානම් කෙරෙමින් තිබේ. අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ මානවහිතවාදී ගැත්තරයන්ගේ බොරු පිලිබඳව Humanitarianism Contested කතුවරුන් කරන හෙලිදර්ව්කිරීම් කොතරම් සීමිත වුවත්, අධිරාජ්‍යවාදයේ ලිබරල් ක්ෂමාලාපකයින් ප්‍රතික්ෂේප කිරීමට හා ඒවායේ අන්තර්ගත අතිමූලික පන්ති ප්‍රශ්න විභාග කිරීමට සූදානම් අයට ඉන් සැපයෙන්නේ ආචාර පූර්වක පාඩමකි.

Share this article: