ලොවපුරා ට්‍රොට්ස්කිවාදීන්ට ලිපියක් - 1953

A Letter to Trotskyists Throughout the World - 1953

ජේම්ස් පී. කැනන් විසිනි, 2008 ඔක්තෝබර් 21

සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) ජාතික කමිටුවේ 25වන සංවත්සරයෙහි පුන්සැසියෙනි

සියලු ට්‍රොට්ස්කිවාදීන්ට,

හිතවත් සහෝදරවරුනි,

එක්සත් ජනපදයෙහි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පිහිටුවීමේ විසිපස් වන සංවත්සරයෙහි දී සමාජවාදී කම්කරු පක්ෂයේ ජාතික කමිටුවේ සම්මේලනය, ලොව පුරා සිටින සාධර්මික ට්‍රොට්ස්කිවාදීන් වෙත තමන්ගේ විප්ලවවාදී සමාජවාදී සුභපැතුම් එවයි.

ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් විසින් සම්මත කරන ලද ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී නීති හේතුවෙන්, සමාජවාදී කම්කරු පක්ෂය තවදුරටත්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ දෙවන ජාත්‍යන්තරය හා ස්ටැලින්වාදීන්ගේ තුන්වන ජාත්‍යන්තරය විසින් පාවා දෙන ලද ක‍්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයට නිල වසයෙන් සම්බන්ධ නො වුනත්, අපගේ දිවිපිදූ නායකයාගේ මග පෙන්වීම යටතේ නිර්මානය කල ලෝක-පරිමාන සංවිධානයේ අභිවෘධිය ගැන අපි උනන්දු වන්නෙමු.

විසිපස් වසරකට පෙර, පුරෝගාමී ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන්, ක්‍රෙම්ලිනය විසින් යට ගසන ලද ට්‍රොට්ස්කිගේ ක‍්‍රියාමාර්ගය, ලෝක මහජන මතයේ අවධානයට පාත‍්‍ර කල බව සුප‍්‍රකට කරුනකි. මෙම ක‍්‍රියාව ස්ටැලින්වාදී නිලධරය විසින් ට්‍රොට්ස්කි මත පැටවුනු හුදකලාව බිඳීමේ දී හා හතරවන ජාත්‍යන්තරයට පදනම දැමීමෙහි දී තීරනාත්මක විය. ඉන් කෙටි කලකට පසුව තමන් පිටුවහල් කරනු ලැබීමත් සමග ට්‍රොට්ස්කි, සමාජවාදී කම්කරු පක්ෂයේ නායකත්වය සමග, තමන්ගේ මරනය සිදු වූ දිනය දක්වා ම පැවතුනු, සමීපස්ථ හා විශ්වාසවන්ත සහයෝගිතාවකට මුල පිරුවේ ය.

මෙම සහයෝගිතාවට, රටවල් ගනනාවක් තුල විප්ලවීය සමාජවාදී පක්ෂ සංවිධානය කිරීමට ගත් ඒකාබද්ධ ප‍්‍රයත්න ද ඇතුලත් විය. ඔබ දන්නා පරිදි එය කූටප‍්‍රාප්ත වූයේ 1938 දී හතරවන ජාත්‍යන්තරය දියත් කිරීමෙනි. සමාජවාදී කම්කරු පක්ෂයේ නායකයන් සමග සහයෝගීව, ට්‍රොට්ස්කි විසින් ලියා, ඔහුගේ ඉල්ලීම මත ආරම්භක සම්මේලනයේ දී සම්මත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අද්‍යතන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ක‍්‍රියාමාර්ගයෙහි මුල්ගල ලෙස පවතින්නේ, සංක‍්‍රමන ක‍්‍රියාමාර්ගය යි.

ට්‍රොට්ස්කි හා සමාජවාදී කම්කරු පක්ෂ නායකත්වය අතර සමීප හා පූර්න සහයෝගිතාව, බර්න්හැම් හා ෂැට්මන් විසින් නායකත්වය දෙන ලද සුලු ධනේශ්වර විපාර්ශවයට එරෙහිව සාධර්මික ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා දියත් කරන ලද අරගලයේ වාර්තාවෙන් විනිශ්චය කල හැකි ය. ගත වූ වසර 13 තුල හතරවන ජාත්‍යන්තරය හැඩගැන්වීම කෙරෙහි එම වාර්තාව ප‍්‍රගාඪ බලපෑමක් ඇති කොට තිබේ.

ස්ටැලින්ගේ රහස් පොලිසියේ ඒජන්තයකු විසින් ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව, ට්‍රොට්ස්කිගේ ඉගැන්වීම් ආරක්ෂා කිරීමේ හා ප‍්‍රචාරය කිරීමේ නායකත්වය සමාජවාදී කම්කරු පක්ෂය තමන් අතට ගත්තේ ය. අප නායකත්වය ගත්තේ කැමැත්ත හේතු කොට ගෙන නොව, අවශ්‍යතාව නිසා ය - දෙවන ලෝක යුද්ධය, බොහෝ රටවල, විශේෂයෙන් ම නාසින් යටතේ යුරෝපයෙහි, සාධර්මික ට්‍රොට්ස්කිවාදීන්ට රහසිගතව කටයුතු කිරීමට බල කලේ ය. දුෂ්කර යුද්ධ කාලය මුලුල්ලේ, අපි, ලතින් ඇමරිකාවෙහි, කැනඩාවෙහි, එංගලන්තයෙහි, ලංකාවෙහි, ඉන්දියාවෙහි, ඕස්ටේ‍්‍රලියාවෙහි, හා වෙනත් තැන්වල ට්‍රොට්ස්කිවාදීන් සමග සාධර්මික ට්‍රොට්ස්කිවාදයේ ධජය ඔසවා තැබුමට අපට හැකි දේ කලෙමු.

හතරවන ජාත්‍යන්තරය සංවිධානාත්මකව යලි ව්‍යවස්ථා ගත කිරීමට උර දුන් ට්‍රොට්ස්කිවාදීන් යුද්ධය අවසන් වීමත් සමග ම යුරෝපය තුල රහසිගතව කටයුතු කිරීමේ තත්වයෙන් ඉස්මත්තට එනු දුටු අපි ඉමහත් සතුටට පත් වීමු. ප‍්‍රතිගාමී නීති මගින් හතරවන ජාත්‍යන්තරයට සම්බන්ධ වීමෙන් අප වලක්වනු ලැබුනු හෙයින්, අප ලෝක ව්‍යාපාරයට ට්‍රොට්ස්කි විසින් දායාද කෙරුනු මහා සම්ප‍්‍රදාය දිගට ම පවත්වා ගෙන යාමෙහි සමත් නායකත්වයක ඉස්මතු වීම කෙරෙහි අපි වඩාත් ම අපේක්ෂා රැඳවීමු. යුරෝපය තුල හතරවන ජාත්‍යන්තරයේ තරුන අලුත් නායකත්වයට පූර්න විශ්වාසය හා සහයෝගය පුද කල යුතු යයි අපි සිතුවෙමු. සහෝදරවරුන් තමන් ම ගත් ආරම්භකත්වයෙන් බැරෑරුම් වැරදි පිලිබඳ ස්වයං-නිරවද්‍ය වීම් ඇති කර ගැනෙන විට අප ගත් මාවත යුක්ති සහගත කෙරෙන බව අපට හැඟී ගියේ ය.

කෙසේවෙතත්, අප, අනෙක් අයත් කැටුව, මෙම නායකත්වයට, තියුනු විවේචන නොකිරීමෙන් ලබා දුන් නිදහස ම ට්‍රොට්ස්කිවාදයේ ප‍්‍රාථමික ක‍්‍රියාමාර්ගය අත්හල, පරිපාලනයෙන් තොර, රහසිගත, පුද්ගලික කන්ඩායමකට හතරවන ජාත්‍යන්තරයේ පරිපාලනය පිලිබඳ ක්ෂේත‍්‍රයෙහි තහවුරු වීමට දොර විවර කිරීමට ආධාරක වූ වග අප දැන් පිලිගත යුතු ය.

පැබ්ලෝ වටා සංකේන්ද්‍රනය වූ මෙම කන්ඩායම දැන් දැනුවත්ව හිතාමතා ම ක‍්‍රියා කරනුයේ, විවිධ රටවල පවතින ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික ව නිර්මිත කේඩරයන් කඩාකප්පල් කොට, භේද භින්න කොට, විසුරුවා හැර, හතරවන ජාත්‍යන්තරය දිය කර හැරීමට ය.

ට්‍රොට්ස්කිවාදයේ ක‍්‍රියාමාර්ගය

මෙහි දී අභියෝගයට ලක් ව ඇත්තේ කුමක් දැයි නිශ්චිතව ගෙන හැර දක්වනු වස්, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැංවීමට පදනම් වූ මූලධර්ම යලි ප‍්‍රකාශ කරමු:

1. ධනේශ්වර ක‍්‍රමයේ මර ලතෝනිය, එන්ට එන්ට ම දරුනු වන අවපාත, ලෝක යුද්ධ හා ෆැසිස්ට්වාදය බඳු ම්ලේච්ඡ ප‍්‍රපංච මගින් ශිෂ්ටාචාරය විනාශ වී යාමේ තර්ජනය ඉස්මතු කරයි. අද දින න්‍යෂ්ටික ආයුධවල වර්ධනය හැකි බැරෑරුම් ම ආකාරයට මෙම අනතුර අවධාරනය කරයි.

2. අගාධයට කිඳා බැසීම වැලැක්විය හැකි වනුයේ, සමාජවාදයේ සැලසුම් ගත ආර්ථිකයෙන් ධනේශ්වර ක‍්‍රමය ලෝක පරිමානව විස්ථාපනය කිරීමෙන් හා ධනේශ්වර ක‍්‍රමය විසින් එහි මුල් දිනවල ආරම්භ කෙරුනු ප‍්‍රගතියේ සර්පිලාකාර ගමන යලි පටන් ගැනීමෙනි.

3. සමාජයෙහි මෙය සාක්ෂ්‍යාත් කර ගත හැකි වනුයේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ පමනි. කම්කරුවන්ට බලයේ මාවත ගැනුම සඳහා, අද තරම්, අන් කිසිදාක සමාජ බලවේගවල ලෝක සම්බන්ධතාව යහපත් නොවූවත්, කම්කරු පන්තිය ම නායකත්වය පිලිබඳ අර්බුදයකට මුහුන දෙයි.

4. මෙම ලෝක ඓතිහාසික අරමුන සපුරා ගනු වස් තමන් සංවිධාන වනු පිනිස, සෑම රටක ම කම්කරු පන්තිය, ලෙනින් විසින් වර්ධනය කෙරුනු ආකාරයේ විප්ලවීය සමාජවාදී පක්ෂයක් ගොඩනැංවිය යුතු ය: එනම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මධ්‍යගත භාවය අපෝහකාත්මකව සංයෝජනය කිරීමෙහි සමත් වන සටන් පක්ෂයකි - තීන්දුවලට එලඹීමෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, ඒවා ක‍්‍රියාත්මක කිරීමෙහි මධ්‍යගත භාවයත්. අනුගාමිකත්වය විසින් පරිපාලනය කෙරෙන නායකත්වයක්, වෙඩිසැර හමුවෙහි ද විනය ගත ආකාරයට පෙරට යාමෙහි සමත් අනුගාමිකත්වයක්.

5. මෙයට පවත්නා ප‍්‍රධාන බාධකය ස්ටැලින්වාදය යි. රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයෙහි හොඳ නම ගසා කමින් එය කම්කරුවන් ආකර්ෂනය කර ගන්නේ, හුදෙක් පසු ව, කම්කරුවන්ගේ විශ්වාසය පාවා දෙමින් ඔවුන් එක්කෝ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තුරුල්ලට, උදාසීනත්වයට, ඇද දැමීමට හෝ ආපසු ධනේශ්වර ක‍්‍රමය පිලිබඳව ම මිථ්‍යාවන්ට ඇද හෙලීමට ය. ෆැසිස්ට් හෝ රාජාන්ඩුවාදී බලවේගයන්හි තහවුරු වීමේ රූපාකාරයෙන් හා ධනේශ්වර ක‍්‍රමය විසින් පෝෂනය කොට සූදානම් කෙරෙන අලුත් යුද පිපිරුම්වල රූපාකාරයෙන් කම්කරු පන්තිය, මෙම පාවාදීම්වලට වන්දිය ගෙවයි. හතරවන ජාත්‍යන්තරය එය පිලිසිඳ ගත් තැන් පටන් ම තමන්ගේ ප‍්‍රධාන කර්තව්‍යයන්ගෙන් එකක් බවට පත් කර ගත්තේ, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය තුලත්, ඉන් බැහැරත් ස්ටැලින්වාදය විප්ලවීය අයුරින් පෙරලා දැමීම යි.

6. හතරවන ජාත්‍යන්තරයේ බොහෝ කන්ඩායම් ද එහි ක‍්‍රියා මාර්ගයට හිතපක්ෂපාතී පක්ෂ හෝ කන්ඩායම් ද හමුවෙහි නම්‍ය උපායන් උදෙසා පවතින අවශ්‍යතාව විසින්, ස්ටැලින්වාදයට යටත් නොවී, අධිරාජ්‍යවාදයටත් (ජාතිකවාදී සංයුතීන් හෝ වෘත්තීය සමිති නිලධරයන් බඳු) එහි සියලුම සුලුධනපති ආයතනවලටත්, අනෙක් අතට අධිරාජ්‍යවාදයට යටත් නොවී (අවසාන විග‍්‍රහයේ දී අධිරාජ්‍යවාදයේ සුලුධනේශ්වර ඒජන්සියක් වන) ස්ටැලින්වාදයටත්, විරුද්ධව සටන් කල යුත්තේ කෙසේ දැයි ඔවුන් විසින් දැන ගනු ලැබීම වඩාත් ම අනිවාර්ය භාවයට පත් කෙරේ,

ලියොන් ට්‍රොට්ස්කි විසින් තහවුරු කෙරුනු මෙම මූලික මූලධර්ම වර්තමාන ලෝකයෙහි එන්ට එන්ට ම වඩවඩා සංකීර්න හා ද‍්‍රවශීලී වන දේශපාලනය තුල පූර්න වලංගුභාවය රඳවා ගෙන සිටී. සත්තකින් ම, ට්‍රොට්ස්කි විසින් පෙර දකිනු ලැබුනු පරිදි සෑම අතින් ම විවෘත වන විප්ලවීය අවස්ථා එක්තරා කාලයක් සමකාලීන ජීවමාන යථාර්ථය හා සමීපස්ථ වසයෙන් නො බැඳුනු එක්තරා දුරකට දුරස්ථ, වියුක්තයක් සේ පෙනී යාමට අවකාශ පැවති දේවලට, පූර්න සංයුක්ත භාවයක් අත්පත් කර දී ඇත්තේ දැන් පමනි. සත්‍යය නම්, මෙම මූලධර්ම, දේශපාලන විශ්ලේෂනයෙහි හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයෙහි ගමන් මග නීර්නය කිරීමෙහි දැන් වැඩෙන බලයකින් යුතු ව පිහිටා සිටීම යි.

පැබ්ලෝගේ සංශෝධනවාදය

මෙම මූලධර්ම පැබ්ලෝ විසින් අත්හැර දමනු ලැබ ඇත. නව ම්ලේච්ඡත්වයක අනතුර අවධාරනය කරනු වෙනුවට, ඔහු, සමාජවාදය දිශාවට ඇති තල්ලුව “ආපසු නොහැරවිය හැක්කක් සේ” දකී; එසේ වූවත් ඔහු, අපගේ පරම්පරාවෙහි දී හෝ එලඹෙන පරම්පරා කිහිපයක දී හෝ සමාජවාදය සම්ප‍්‍රාප්ත වන බවක් ද නොදකී. ඒ වෙනුවට, ඔහු “විකෘති” එනම් ශතවර්ෂ ගනනාවක් පවතින, ස්ටැලින් වර්ගයේ කම්කරු රාජ්‍යවලට විනා අනෙකකට සම්භවය නොසපයන “ගලා බස්නා” විප්ලව රැල්ලක් පිලිබඳ සංකල්පය ඉදිරිපත් කොට ඇත.

මෙය කම්කරු පන්තියේ ශක්තීන් පිලිබඳ පරිපූර්න අසාර දැක්ම අනාවරනය කරයි; එය ස්වාධීන විප්ලවීය සමාජවාදී පක්ෂ ගොඩනැංවීමේ අරගලය සම්බන්ධයෙන් ඔහු මෑත දී කල සරදම් හා සපුරා ගැලපෙන්නේ ය. සියලුම උපායාත්මක ක‍්‍රම මගින් ස්වාධීන විප්ලවීය සමාජවාදී පක්ෂ ගොඩනැංවීමේ ප‍්‍රධාන මාවතට බැඳී සිටිනු වෙනුවට, ට්‍රොට්ස්කිවාදයේ “අදහස්” හා “ක‍්‍රියාමාර්ගය” පිලිගැනීමට හැකි වන පරිදි මහජන පීඩනය යටතේ ස්ටැලින්වාදී නිලධරය නැතහොත් එහි තීරනාත්මක කොටසක් වෙනස් වනු ඇතැයි කියමින් ඔහු ඒ වෙත බලාපොරොත්තු රඳවයි. ප‍්‍රන්සය බඳු රටවල ස්ටැලින්වාදයේ කඳවුරෙහි කම්කරුවන් වෙත එලඹීමට ඕනෑ වන උපායාත්යමක උපාමාරුවල දී අවශ්‍ය වන නම්‍යභාවයෙහි ආවරනය යටතේ, ඔහු දැන් ස්ටැලින්වාදයේ පාවාදීම් ආවරනය කරයි.

මෙම මාවත, දැනට මත්, ට්‍රොට්ස්කිවාදයේ සේනාංක කෙරෙන් ස්ටැලින්වාදයේ කඳවුරට පලායාම් උද්ගත කර ඇත. මෙය බැරෑරුම් කොට තැකිය යුතු ය. ලංකාවේ පක්ෂය තුල ඇති වූ ස්ටැලින්වාදයට නැඹුරු භේදය, පැබ්ලෝවාදය විසින් ස්ටැලින්වාදය පිලිබඳව වගා දිගා කෙරෙන මිථ්‍යාවන්හි ඛේදජනක ප‍්‍රතිඵල සම්බන්ධයෙන් සියලු තන්හි සිටින ට්‍රොට්ස්කිවාදීන්ට අනතුරු ඇඟවීමක් කරයි.

වෙනත් ලියවිල්ලක් තුල අපි, පැබ්ලෝගේ සංශෝධනවාදය පිලිබඳ සවිස්තර විශ්ලේෂනයක් ඉදිරිපත් කරන්නෙමු. එම ලිපිය තුල අපි, තීරනාත්මක ක‍්‍රියාකාරී ක්ෂේත‍්‍රයේ දී, ස්ටැලින්වාදය කෙරෙහි සමාදාන ආකල්පයක් ගැනීම කරා පැබ්ලෝවාදය කොතෙක් දුර ගොස් ඇද්ද යන්න හා එය හතරවන ජාත්‍යන්තරයේ පැවැත්මට කොතරම් අන්තරාදායක ද යන්න පෙන්වන මෑත පරීක්ෂන කිහිපයකට සීමා වන්නෙමු.

ස්ටැලින්ගේ මරනයත් සමග ම, ක්‍රෙම්ලිනය, ස්වරූපයෙන් දේශපාලනික නොවූ සහන මාලාවක් ම සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය තුල ප‍්‍රකාශයට පත් කලේ ය. මේවා, බලය කොල්ලකා ගත් නිලධරය, තවදුරටත් බලසම්පන්න වීමේ අරමුනින් ක‍්‍රියාත්මක කරන උපාමාරුවක කොටසක් හා නායක නිලධරයෙකුට ස්ටැලින්ගේ අක්තපත‍්‍ර අත්පත් කර ගැනුමේ සූදානමෙහි කොටසක් ද විනා අන් කිසිවක් නොවන්නේ යයි පෙන්වා දෙනු වෙනුවට, පැබ්ලෝවාදී කන්ඩායම, මෙකී සහන වලංගු කාසි හැටියට රැගෙන, දේශපාලනික සහන හැටියට පින්තාරු කොට, ස්ටැලින්වාදී නිලධරයට කම්කරුවන් හා “බලය බෙදා හදා ගැනුමෙහි” හැකියාවක් ද ප‍්‍රක්ෂේපනය කලේ ය. Fourth International ෆෝත් ඉන්ටර්නැෂනල්, (ජනවාරි-පෙබරවාරි, 1953), පි. 13]

පැබ්ලෝ ලබ්ධියෙහි අග‍්‍ර පූජකයෙකු වූ ක්ලාක්, කිසිම ගරුසරුවකින් තොර ව ප‍්‍රචාරය කල, “බලය බෙදා හදා ගැනුම” පිලිබඳ සංකල්පය, පිලිතුරු නොසැපයුනු එහෙත් පැහැදිලිව ම ප‍්‍රමුඛත්වය දැරූ ප‍්‍රශ්නයක ලා පැබ්ලෝ විසින් ම ධර්ම පාඨයක් හැටියට වක‍්‍ර ලෙස සම්මත කරනු ලැබුනි: පැබ්ලෝ, මෙසේ ප‍්‍රශ්න කරයි - ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍රය දිය කර හැරීම, “ආපසු හැරීමට නොවේ නම් පවතින තත්වය රැක ගැනීමට සටන් වදින කොටස් හා මහජනතාවගේ බලගතු පීඩනයෙන් ආකර්ෂනය කරනු ලැබෙන එන්ටඑන්ට ම සංඛ්‍යාත්මක ව වැඩි වන කොටස් අතර ප‍්‍රචන්ඩ අන්තර්-නිලධාරී තාන්ත‍්‍රික අරගලවල ස්වරූපය ගනී ද?” Fourth International ෆෝත් ඉන්ටර්නැෂනල්, (මාර්තු-අපේ‍්‍රල්, 1953), පි. 39]

මෙම චින්තන ක‍්‍රමය, ක්‍රෙම්ලින් නිලධරයට විරුද්ධ දේශපාලනික විප්ලවය පිලිබඳ සාධර්මික ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගය, නව අන්තර්ගතයකින් පුරවාලයි; එනම්, ට්‍රොට්ස්කිවාදයේ “අදහස්” හා “ක‍්‍රියාමාර්ගය” නිලධරයට නැතහොත් එහි තීරනාත්මක කොටසක් තුලට පෙරී ගොස්, ව්‍යාප්ත ව, ඒ අයුරින් පෙර නොදක්නා ලද ආකාරයකට ස්ටැලින්වාදය “පෙරලා දමනු ලැබේ ය” යන සංශෝධනවාදී ආස්ථානය යි.

ජුනි මාසය තුල නැගෙනහිර ජර්මනියේ කම්කරුවෝ ජර්මානු ඉතිහාසයෙහි ඇති වූ දැවැන්ත ම පෙලපාලියකින් ස්ටැලින්වාදී ආධිපත්‍යයෙන් යුත් ආන්ඩුවට විරුද්ධව නැගී සිටියහ. මෙය ස්ටැලින්වාදය සෝවියට් සමූහාන්ඩුව තුල බලය කොල්ලකා තහවුරු වීමෙන් පසු ව, එයට විරුද්ධ ව උද්ගත වූ ප‍්‍රථම කම්කරු පන්තික මහජන නැගිටීම යි. පැබ්ලෝ මෙම යුගකාරක සිදුවීමට ප‍්‍රතිචාර දැක්වූයේ කෙසේ ද?

කැරලිකාර නැගෙනහිර ජර්මානු කම්කරුවන්ගේ විප්ලවීය දේශපාලනික අවශ්‍යතාවන්ට පැහැදිලි ප‍්‍රකාශනයක් දෙනු වෙනුවට, නැගිටීම මර්දනය කරනු වස් සෝවියට් සේනාංක බලමුලු ගැන් වූ ප‍්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී ප‍්‍රාදේශික බලකාරයන්ට පැබ්ලෝ ආවරනය සැපයීය. (“...සෝවියට් නායකයන්ට, විවිධාකාර වූ ‘ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදයන්’හි හා කොමියුනිස්ට් පක්ෂවල නායකයන්ට, තවදුරටත් මෙම සිදුවීම්වල ගැඹුරු අර්ථය මුසාකරනය කිරීමට හෝ නොතකා හැරීමට නුපුලුවන් විය. මහජනතාවගේ සහයෝයෙන් තමන් සදහට ම පරත්වාරෝපනය වීමේ අනතුර වැලැක්වීමට හා වඩාත් බලසම්පන්න පිපිරීම් ප‍්‍රකෝප කරවීමෙන් වැලකීම පිනිස වඩාත් විශාල වූ ද නිර්ව්‍යාජ වූ ද සහන සැලසීමේ මාවත දිගේ ම පෙරට යාමට නිලධරයට සිදු වී ඇත. මෙතැන් සිට ඔවුන්ට භාග දුරක් ගොස් නතර වීමට නුපුලුවන් වනු ඇත. ආසන්න අනාගතයෙහි වඩාත් බැරෑරුම් පිපිරීම් ඇති වීම වැලැක්වීම සඳහාත් හැකිනම්, වර්තමාන තත්වයෙන් මහජනයාට වඩා ඉවසා දරා සිටිය හැකි තත්වයකට මාරු වීමක්, ‘ඇල්මැරුනු ආකාරයකින්’ ලබා දීම සඳහාත් සහන බෙදා හැරීමට ඔවුන්ට බල කෙරෙනු ඇත.”) (හතරවන ජාත්‍යන්තරයේ [ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ] ප‍්‍රකාශය. ජූලි 6 දා The Militant ( ද මිලිටන්ට් පුවත්පතෙහි ප‍්‍රසිද්ධ කෙරුනි.)

සෝවියට් සේනාංක - ස්ටැලින්වාදී ආන්ඩුවට පිටුබලය සැපයූ එක ම බලවේගය- ඉවත් කර ගත යුතු යයි උද්ඝෝෂනය කරනු වෙනුවට, පැබ්ලෝ, “වඩාත් විශාල වූත් නිර්ව්‍යාජ වූත් සහන” ක්‍රෙම්ලිනයේ ප‍්‍රධානීන්ගෙන් ලැබෙනු ඇතැයි යන මිථ්‍යාව වගා දිගා කලේ ය. කැරලි ගසන කම්කරුවන් “ෆැසිස්ට්වාදීන්” හා “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඒජන්තයන්” ලෙස හංවඩු ගසමින්, ඔවුන්ට විරුද්ධ ව ම්ලේච්ඡ මර්දන රැල්ලක් දියත් කරමින්, මෙම සිදුවීම්වල ගැඹුරු අර්ථය දැවැන්ත ලෙද මුසාකරනය කිරීමට පෙරට යන මොස්කෝවට මීටත් වඩා හොඳ ආධාරෝපකාරයක් අපේක්ෂා කල හැකි ද?

ප‍්‍රන්ස මහා වැඩ වර්ජජනය

අගෝස්තු මාසයේ දී ප‍්‍රන්සය තුල එරට ඉතිහාසයෙහි දැවැන්ත ම මහා වැඩවර්ජනය පුපුරා ගියේ ය. නිල නායකත්වයෙහි ඕනෑ කමට පිටින් කම්කරුවන් විසින් ම ක‍්‍රියාත්මක කෙරුනු එම වර්ජනය, බලය සඳහා සැබෑ අරගලයක වර්ධනය උදෙසා, කම්කරු පන්ති ඉතිහාසයෙහි විවෘත වූ අතිශයින් ම වාසිදායක අවස්ථාවන්ගෙන් එකක් විය. කම්කරුවන් හැරුනු විට, ඔවුන් පසුපසින්, ප‍්‍රන්සයේ ගොවීහු ද ධනේශ්වර ආන්ඩුව කෙරෙහි ඔවුන්ගේ බලගතු අතෘප්තිය අඟවමින් පෙලපාලි දැක්වූහ.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා ස්ටැලින්වාදීන් යන, දෙයාකාර ම වූ නිල නායකත්වය, ව්‍යාපාරය රඳවා, ප‍්‍රන්ස ධනේශ්වර ක‍්‍රමයට පවතින අනතුර මග හැරවීමට ඔවුන්ට හැකි සෑම දෙයක් ම කරමින්, මෙම ව්‍යාපාරය පාවා දුන්හ. උද්ගතව පැවති අවස්ථාවෙහි පරිමානයෙන් මැන බලන්නේ නම්, පාවාදීම් පිලිබඳ ඉතිහාසයෙහි මීටත් වඩා දුෂ්ට වූ පාවාදීමක් සොයා ගැනුම අපහසු වනු ඇත.

පැබ්ලෝ කන්ඩායම මෙම දැවැන්ත සිදුවීමට ප‍්‍රතිචාර දැක්වූයේ කෙසේ ද? ඔවුහු සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ ක‍්‍රියාව පාවාදීමකැයි ලේබල් ගැසූහ - එහෙත් වැරදි හේතු මත ය. පාවාදීම සමන්විත වූයේ, ස්ටැලින්වාදීන්ට හොරෙන් ආන්ඩුව හා සාකච්ඡා පැවැත්වීමෙන් යයි ඔවුහු ප‍්‍රකාශ කලහ. කෙසේවෙතත් මෙම පාවාදීම, බලය ගැනීමේ මාවතට අවතීර්න වීම ප‍්‍රතික්ෂේප කිරීමේ ඔවුන්ගේ මුඛ්‍ය අපරාධයෙන් ගලා ආ ද්විතීක එකක් විය.

ස්ටැලින්වාදීන් පිලිබඳව පැවසිය යුත්තේ ඔවුන්ගේ පාවාදීම පැබ්ලෝවාදීන් විසින් ආවරනය කෙරුනු බව යි. එම ක‍්‍රියාව මගින් පැබ්ලෝවාදීහු ස්ටැලින්වාදී පාවාදීමෙහි හවුල්කරුවන් බවට පත් වූහ. ස්ටැලින්වාදීන්ගේ ප‍්‍රතිවිප්ලවවාදී මාවතට විරුද්ධ ව ඔවුන්ට එල්ල කල හැකි වූ තියුනු ම විවේචනය නම් පිලිවෙතක් “නොමැති වීම” ගැන චෝදනා කිරීම ය.

මෙය මුසාවක් විය. ස්ටැලින්වාදීන්ට පිලිවෙත්වලින් “අඩුවක්” නො වීය. ඔවුන්ගේ පිලිවෙත වූයේ ක්‍රෙම්ලිනයේ විදේශ පිලිවෙතේ අවශ්‍යතාවන්ට අනුකූල ව පවතින තත්වය පවත්වාගෙන යාමත්, එසේ කිරීමෙන්, ගරා වැටෙන ප‍්‍රන්ස ධනේශ්වර ක‍්‍රමය ඔසවා තැබීමට ආධාර කිරීමත් ය.

එපමනක් නො වේ. ප‍්‍රන්ස ට්‍රොට්ස්කිවාදීන්ගේ පක්ෂාභ්‍යන්තරික අධ්‍යාපනය සඳහා වත් ස්ටැලින්වාදී කාර්යභාරය, පාවාදීමක් ලෙස හඳුන්වාදීම පැබ්ලෝ විසින් ප‍්‍රතික්ෂේප කෙරින. “සාම්ප‍්‍රදායික සංවිධානවල නායකත්වය විසින් ඒ හෝ මේ පරිමානයට ඉෂ්ට කෙරුනු තිරිංගයේ කාර්යභාරය” - පාවාදීමක් වනාහි හුදු තිරිංග දැමීමකි! - ඔහු සැලකිල්ලට ගත්තේ ය. “එහෙත් ඔවුන්ගේ - විශේෂයෙන් ම ස්ටැලින්වාදී නායකත්වයෙහි - ශක්තියත් ඔහු සැලකිල්ලට ගත්තේ ය. එනම්, මෙම වර්ජන සමයෙහි සිදු වූ අයුරින්, මහජන පීඩනය බලගතු වන කල්හි, එම පීඩනයට යටත් වීමට, විශේෂයෙන් ම ස්ටැලින්වාදී නායකත්වයට පවතින ශක්තිය යි.” (දේශපාලන සටහන නො. 1)

සාධර්මික ට්‍රොට්ස්කිවාදය අත්හල, එහෙත් තවමත් හතරවන ජාත්‍යන්තරයේ ආවරනය පතන නායකයෙකුගෙන් ස්ටැලින්වාදයට ලැබෙන සෑහෙන තරම් වූ සහනයක් හැටියට කෙනෙකු මෙය සලකනු ඇත. කෙසේ වෙතත් පැබ්ලෝ තවත් දුරදිග ගියේ ය.

කුප‍්‍රකට පත‍්‍රිකාවක්

පැරීසියේ රෙනෝල්ට් වැඩපලෙහි කම්කරුවන් අමතා පැබ්ලෝගේ අනුගාමිකයන් නිකුත් කල පත‍්‍රිකාවක්, මහා වැඩවර්ජනයේ දී, සී.ජී.ටී. සංවිධානය (ප‍්‍රන්සයේ ප‍්‍රධාන වෘත්තීය සමිති සම්මේලනය), “කම්කරුවන්ට අවශ්‍ය වන ඉල්ලීම්වලට අතිරේක ව වෙනත් ඉල්ලීම් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නිරවද්‍ය වන්නේ ය”යි ප‍්‍රකාශ කර සිටියේ ය. ඔවුන් මෙසේ කලේ, කම්කරුවන් ඔවුන්ගේ ක‍්‍රියාවන් මගින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ඉල්ලා සිටිද්දී ය.

ස්ටැලින්වාදීන්ගේ නායකත්වයෙන් යුත් වෘත්තීය සමිති හිතුවක්කාරී ලෙස කොමියුනිස්ට් පක්ෂයෙන් වෙන් කරමින්, - මේ වනාහි අතිශය යාන්ත‍්‍රික චින්තනය පිලිබඳ සාක්ෂියක් ද නැතහොත් ස්ටැලින්වාදීන් ආවරනය කිරීම සඳහා හිතා මතා කල සැලසුම් පිලිබඳ සාක්ෂියක් ද? - වැඩ වර්ජනයේ හා ඉදිරිදර්ශනවල අර්ථභාරය සැලකිල්ලට ගැනීමේ දී “වෘත්තීය සමිති පිලිබඳව මෙහිදී සලකා බලන්නේ ද්විතීයිකව පමනක් බව පැබ්ලෝවාදීහු තම පත‍්‍රිකාව තුල ප‍්‍රකාශ කලහ. මෙහි දී කරන විවේචනය සීජීටීයට අදාල නො වන්නේ එය වෘත්තීය සමිති සංවිධානයක් බැවිනි. එය ප‍්‍රථමයෙනුත් ප‍්‍රමුඛ වත් ක‍්‍රියා කල යුත්තේ එලෙසය. මෙම ව්‍යාපාරයේ ගැඹුරු දේශපාලන අර්ථභාරය හා එහි ප‍්‍රතිවිපාක අවධානයට ලක්කල යුතු භූමිකාව පැවරෙන්නේ පක්ෂවලට ය” යනුවෙනි. (To the Workers’ Organizations and to the Workers of Renault කම්කරු සංවිධානවලට හා රෙනෝල්ට් කම්කරුවන්ට නමැති පත‍්‍රිකාව, 1953 සැප්තැම්බර් 3, අත්සන් කලේ ෆ‍්‍රෑන්ක්, මෙස්ත්‍රේ හා ප‍්‍රිවාස් විසිනි).

මෙම ප‍්‍රකාශ තුල, ධනවාදයේ මර ලතෝනි යුගයේ දී වෘත්තීය සමිතිවල භූමිකාව හා වගකීම් පිලිබඳව ට්‍රොට්ස්කි ඉගැන්වූ සෑම දෙයක් ම සම්පූර්නයෙන් අත්හැර දැමේ.

“මෙම වැඩ වර්ජනය, රට ධනේශ්වර වංචාකාරීත්වයෙන් ආරක්ෂා කරගෙන සමාජවාදයේ මාවතට විවෘත කිරීම සඳහා කම්කරුවන්ගේ බලය පිලිබඳ ප‍්‍රශ්නය ඉදිරිපත් කල හැකි, ධනවාදී ප‍්‍රන්ස සමාජයෙහි අර්බුදයේ වැදගත් අවධියක් නියෝජනය කරන(!) බවත්, එලඹීමට නියමිත යෝධ පන්ති අරගලයකට පූර්විකාවක් (!) බවත්, පැහැදිලි කරනු වෙනුවට, පිලිවෙතකින් තොරව තමන් සරල ව ම “වෘත්තීය සමිති මට්ටමේ පිහිටුවා ගැනීම” පිලිබඳව පැබ්ලෝවාදී පත‍්‍රිකාව මගින් ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය “විවේචනය” කරයි.

රෙනෝල්ට් කම්කරුවන් පැබ්ලෝවාදීන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු වී නම්, ද්‍රෝහී ප‍්‍රන්ස ස්ටැලින්වාදී නිලධරය වරදකරුවන් වන්නේ, ප‍්‍රන්ස ඉතිහාසයේ විශාලම මහා වැඩ වර්ජනය හිතාමතා පාවාදීම පිලිබඳව නොව, සින්ඩිකල්වාදී මාවතක් අනුගමනය කිරීම සම්බන්ධයෙනි.

සීජීටී වෘත්තීය සමිති නායකත්වයේ පිලිවෙතට පැබ්ලෝගේ අනුමැතිය හිමි වීම, විශ්වාස කිරීමට අපහසු යයි පෙනුනත්, යමෙකුගේ මුහුනට දමා ගසන මග නොහැරිය හැකි කරුනක් තිබේ. පැබ්ලෝ සිදුකර තිබුනේ, ප‍්‍රන්සය තුල විශාලම මහා වැඩ වර්ජනයේ දී වෘත්තීය සමිති, දේශපාලනයෙන් පිටත තබන ගොම්පර්ස්ගේ ධනේශ්වර ප‍්‍රතිපත්තියෙහි ප‍්‍රන්ස සංස්කරනය, උදාසීන ආකාරයකින් “නිවැරදි” බව ප‍්‍රකාශ කිරීම පමනි. මේ ද 1953 දී ය!

වෛෂයික අවශ්‍යතා සමග ගැලපෙන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනැගීමේ සටන්පාඨය සීජීටී නායකත්වය විසින් ඉස්මතු කිරීම වැරදි නම් සමාජවාදී කම්කරු පක්ෂය, ඇමරිකානු වෘත්තීය සමිති ව්‍යාපාරයේ වර්තමාන ගොම්පර්ස්ලාගෙන් ලේබර් පක්ෂයක් සංවිධානය කරන ලෙස ඉල්ලන්නේ කුමක් නිසා ද? එනම් එක්සත් ජනපදය තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම ඉලක්ක කරගත් ලේබර් පක්ෂයක්?

සීජීටී නායකත්වය අතිශයින් ම දේශපාලනික යයි අපි යලි මතකයට නගා ගන්නා විට, පැබ්ලෝගේ රබර් මුද්‍රාව සහිත අනුමැතිය, තවමත් අපූර්ව යයි පෙනේ. කලහකාරී දේශපාලන විධික‍්‍රමය කුමක් ද යන්න නොසලකා ක්‍රෙම්ලිනයෙන් ලැබෙන සුලු ඇඟවුමකින් වුවත් එය, කම්කරුවන් කැඳවීමට සූදානම් ය. උදාහරනයක් ලෙස පසුගිය වසරේ රිජ්වේ විරෝධී පෙලපාලි මගින් ආරම්භවූ සිද්ධිවල දී එහි භූමිකාව යලි මතකයට නගා ගන්න. කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වූ ඩුක්ලෝස් අත්අඩංගුවට ගැනීමට විරෝධය පෑම සඳහා මෙම ස්ටැලින්වාදී වෘත්තීය සමිති, විරෝධතා වර්ජන වෙනුවෙන් කම්කරුවන් කැඳවීමේ දී දෙවරක් සිතුවේ නැත.

කාරනය වන්නේ වැඩ වර්ජන තුල දී සීජීටී නායකත්වය, එහි උග‍්‍ර දේශපාලනික ස්වරූපය යලි වතාවක් අනාවරනය කල බව යි. වසර ගනනාවක ද්‍රෝහීත්වයේ හා දෙපිටකාට්ටුවේ නිපුනත්වය සහිත එම නායකත්වය, හිතාමතාම කම්කරුවන් මූලිකත්වය ගැනීමෙන් වලක්වා, හුස්ම හිර කොට, ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම් ඉටු කරගනු ලැබීමෙන් වැලැක්වීම සඳහා උත්සාහ කලේ ය. ස්ටැලින්වාදී වෘත්තීය සමිති නායකත්වය දැනුවත් ව පාවා දුන්නේ ය. පැබ්ලෝ “නිවැරදි” යයි කියා සිටින්නේ මෙම පාවාදීමේ මාවත යි.

එහෙත් වාර්තාව එතැනින් පවා අවසාන නො වේ. පැබ්ලෝවාදී පත‍්‍රිකාවේ මූලික ඉලක්කයක් වන්නේ, වැඩ වර්ජනයේදී රෙනෝල්ට් කම්හල තුල අව්‍යාජ විප්ලවවාදීන් ලෙස කටයුතු කල ප‍්‍රන්ස ට්‍රොට්ස්කිවාදීන් හෙලා දැකීම යි. “වසරකට වැඩි කාලයක් හතරවන ජාත්‍යන්තරයෙන් හා එහි ප‍්‍රන්ස ශාඛාවෙන් නෙරපා දමා ඇති” සහෝදරයින් දෙදෙනෙකු ගැන එය විශේෂයෙන් සඳහන් කරයි. “විනය කැඞීම පිලිබඳ කරුනු ද විශේෂයෙන් අවසාන වැඩ වර්ජන ව්‍යාපාරය තුල දී (හතරවන ජාත්‍යන්තරයේ ප‍්‍රන්ස ශාඛාව) සැබවින්ම ආරක්ෂා කල පිලිවෙතට එරෙහි ව වෙනත් දිශානතියක් පවත්වාගෙන යාම නිසා ද එම කන්ඩායම නෙරපා හැරිය” බව එය සඳහන් කරයි. මෙහි සඳහන් කරන “කන්ඩායම” වනාහි, ආත්මීය හා අසාධාරන ලෙස පැබ්ලෝ විසින් නෙරපා හල හතරවන ජාත්‍යන්තරයේ ප‍්‍රන්ස ශාඛාවේ සැබෑ බහුතරය යි.

ස්ටැලින්වාදීන්ට එරෙහිවූ ට්‍රොට්ස්කිවාදී සටන්කරුවන් නිල වසයෙන් හෙලා දකින හා පිලිකුල් සහගත ස්ටැලින්වාදී පාවාදීමක් වෙනුවෙන් කම්කරුවන්ට හේතු දක්වන නින්දිත තත්වයක් ගැන අප මීට පෙර ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල කවර කලෙක හෝ අසා තිබේ ද?

ස්ටැලින්වාදීන් ඉදිරිපිට මෙම සහෝදරවරුන් පැබ්ලෝවාදයේ හෙලා දැකීමට ලක්වන්නේ, රෙනෝල්ට් කම්හලේ දී ස්ටැලින්වාදීන් විසින් ඔවුන්ට කරන ලද මඩ ගැසීමක් පිලිබඳ කම්කරු උසාවිය එම සහෝදරවරුන් නිදහස් කරමින් දුන් තීන්දුවකින් පසුව බව සැලකිල්ලට ගත මනා ය.

ඇමරිකානු පැබ්ලෝවාදීන්

අපේ අදහසට අනුව, ලෝක සිද්ධි පිලිබඳ මෙම පරීක්ෂනය ම, ස්ටැලින්වාදය කෙරෙහි පැබ්ලෝවාදීන් තුල වූ මිත‍්‍රශීලීත්වයේ ගැඹුර ඇඟවුම් කිරීමෙහි ලා ද ප‍්‍රමානවත් ය. එහෙත් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප‍්‍රසිද්ධ පරීක්ෂනයට තවත් කරුනු කිහිපයක් ඉදිරිපත් කිරීමට අපි කැමැත්තෙමු.

වසර එකහමාරකට වැඩි කාලපරිච්ඡේදයක් මුලුල්ලේ, සමාජවාදී කම්කරු පක්ෂය, කොක්රාන් හා ක්ලාක් විසින් නායකත්වය දෙනු ලබන සංශෝධනවාදී ප‍්‍රවනතාවකට විරුද්ධව අරගලයක නිරත ව සිටී. මෙම ප‍්‍රවනතාවට විරුද්ධ අරගලය අප පක්ෂයේ ඉතිහාසයෙහි අතිශයින් ම උග‍්‍ර අරගලයන්ගෙන් එකක් විය. මෙහි දීත් පතුලෙහි ම ඇත්තේ, දෙවන ලෝක යුද්ධය ආරම්භයෙහි හා අවසානයෙහි, අප බර්න්හැම්-ෂැට්මන් කන්ඩායමෙන් හා මොරෝ-ගෝල්ඩ්මන් කන්ඩායමෙන් බෙදා වෙන් කල එම මූලික ප‍්‍රශ්න ම ය. මෙය වනාහි අපගේ මූලික ක‍්‍රියාමාර්ගය සංශෝධනය කිරීමෙහි හා අත්හැර දැමීමෙහි තවත් ප‍්‍රයත්නයකි. මෙය ඇමරිකානු විප්ලවයෙහි ඉදිරිදර්ශනය ද විප්ලවවාදී පක්ෂයේ ස්වභාවය, එහි කාර්යභාරය හා සංවිධානාත්මක විධික‍්‍රමය ද ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සඳහා ඉදිරිදර්ශන ද වෙලා ගෙන සිටී.

පශ්චාත්-යුද්ධ කාලපරිච්ඡේදයෙහි බල සම්පන්න නිලධරයක් ඇමරිකානු කම්කරු ව්‍යාපාරය තුල තහවුරු විය. මෙම නිලධරය රඳා සිටින්නේ යුද්ධ සෞභාග්‍යයේ කොන්දේසි විසින් “මෘදු” කරවන ලද විශාල සාම්ප‍්‍රදායික කම්කරු නිලධරයක් මත ය. මෙම නව වරප‍්‍රසාදිත ස්ථරය බොහෝ දුරටම දිනා ගනු ලැබුනේ, සී.අයි. ඕ. සංවිධානයට පදනම දැමූ එම පරම්පරාවෙන් ම, කම්කරු පන්තියෙහි මුල් සටන්කාමී කන්ඩායම්වල අනුගාමිකත්වයන් කෙරෙන් ම ය.

පූර්වයෙන්, සියලුම සටන්කාමී පන්ති ක‍්‍රියාවන්හි පෙරටුවෙන්ම සිටි මෙම කම්කරුවන්ගේ, සටන්කාමීත්වය හා ආරම්භකත්වය ගැනීම, ඔවුන්ගේ ජීවන කොන්දේසිවල සාපේක්ෂ සුරක්ෂිත භාවය හා ස්ථාවරත්වය විසින් තාවකාලික ව හිරිවට්ටනු ලැබ ඇත.

කොක්රාන්වාදය වනාහි, සුලුධනේශ්වර දෘෂ්ටිවාදයකින් යුත් මෙම නව ලේබර් රදල තන්ත‍්‍රය කම්කරු පන්තික පෙරටු බල ඇනිය මත මුදා හරින පීඩනයෙහි ප‍්‍රකාශනය වෙයි. නිෂ්ක‍්‍රීය, සාපේක්ෂ වසයෙන් තෘප්තිමත් කම්කරු ස්ථරයෙහි මනෝගති හා ප‍්‍රවනතා අපගේ ම ව්‍යාපාරය තුලට හතුරු පීඩනයන් සන්නිවේදනය කරවන බලගතු යන්ත‍්‍රනයක් හැටියට ක‍්‍රියාත්මක වෙයි. “පැරනි ට්‍රොට්ස්කිවාදය සුන්බුන් ගොඩට දමනු” යන කොක්රාන්වරුන්ගේ සටන්පාඨයෙන් මෙම මනෝගතිය ප‍්‍රකාශයට පත් වෙයි.

කොක්රාන්වාදී ප‍්‍රවනතාව ඇමරිකානු කම්කරු පන්තියේ බලගතු විප්ලවීය ශක්තිය දකිනුයේ දුරස්ථ අනාගත අපේක්ෂාවක් හැටියට ය. ඔවුහු ඇමරිකානු කම්කරු පන්තිය තුල, නව සටන්කාමී භට කන්ඩායම්වලට උද්භවය ලබා දෙන අනුක ප‍්‍රවර්තන අනාවරනය කරන මාක්ස්වාදී විශ්ලේෂනය, “කට්ටිවාදී” යයි හෙලාදකිති.

එක්සත් ජනපදයේ කම්කරු පන්තිය තුල මොනයම් හෝ ප‍්‍රගතිශීලී ප‍්‍රවනතා පවතින තාක් දුරට ඔවුන් ඒවා දකිනුයේ, හුදෙක් ස්ටැලින්වාදයේ අනුගාමිකත්වයන් තුල හෝ එහි වාටියෙහිත් “ඔපමට්ටමින් යුත්” වෘත්තීය සමිති දේශපාලනඥයන් අතරෙහිත් ය - පන්තියෙහි සෙසු කොටස කෙතරම් නම් බලාපොරොත්තු විරහිත ලෙස නිද්‍රෝපගත ව සිටිති යි ඔවුන් විසින් සැලකෙන්නේ දැයි කිවහොත් - ඔවුන්ට අනුව පන්තියෙහි මෙම කොටස අවදි කල හැකි වනුයේ හුදෙක් න්‍යෂ්ටික යුද්ධයක කම්පනයෙන් ම පමනි.

සංක්ෂිප්ත ව පැවසුවහොත්, ඔවුන්ගේ ආස්ථානයෙන් අනාවරනය වනුයේ: ඇමරිකානු විප්ලවයේ ඉදිරිදර්ශනය කෙරෙහි විශ්වාස භංගත්වයයි; විප්ලවවාදී පක්ෂයේ කාර්යභාරය පිලිබඳව සාමාන්‍ය වසයෙනුත් සමාජවාදී කම්කරු පක්ෂයේ කාර්යභාරය කෙරෙහි විශේෂ වසයෙනුත් විශ්වාස භංගත්වය යි.

කොක්රාන්වාදයේ ලක්ෂන

ලෝක ව්‍යාපාරයේ සියලු ශාඛා තමන්ගේ ම දෘඪ හා අසීරු අත්දැකීම්වලින් දැන සිටින පරිදි, එක්සත් ජනපදය තුලදී අප මත යෙදුනු ආකාරයේ පීඩනයන්, දිග්ගැස්සුනු යුද සමෘද්ධියට හා ප‍්‍රතිගාමීත්වයෙහි පරාසයට වඩා කාලයක් පවතියි. එහෙත් අතිශයින් ම දුෂ්කර කොන්දේසි යටතේ පවා කේඩරයන් නො නැසී පවත්වා ගන්නා සාධකය වන්නේ, අපගේ ව්‍යාපාරයෙහි න්‍යායික නිරවද්‍යතාව පිලිබඳ තියුනු ඒත්තුගැනීම, කම්කරු පන්තියේ ඓතිහාසික මෙහෙවර පෙරට ගෙනයන සජීවී උපකරන තමන් ය යන්න පිලිබඳ දැනුම, එක් හෝ තවත් පරිමානයකට මානව වර්ගයාගේ ඉරනම තමන් කරන දේවල් මත රඳා පවතින්නේය යන්න පිලිබඳ අවබෝධය, හා අවස්ථානුකූල කොන්දේසි කුමක් වුවත් විජයග‍්‍රාහී සමාජවාදී විප්ලවයක් හරහා මානව වර්ගයාගේ අර්බුදය විසඳනු ඇති, ලෙනින්වාදී සටන් පක්ෂ නිර්මානය කිරීම, ඓතිහාසික වර්ධනයෙහි ප‍්‍රධාන රැල්ල විසින් ඉල්ලා සිටින්නේ ය යන්න පිලිබඳ දෘඪතර විශ්වාසය යි.

කොක්රාන්වාදය වනාහි, මෙම සාධර්මික ට්‍රොට්ස්කිවාදී ලෝක දෘෂ්ටිය වෙනුවට සංශයවාදය, න්‍යායික අනුභූතිය හා පුවත්පත් කලාවේදී සමපේක්ෂනය ආදේශ කිරීම යි. 1939-40 සමයේ සුලුධනේශ්වර විපාර්ශවය සමග අරගලය නො සංසිඳවිය හැකි වූවාක් මෙන් සමාජවාදී කම්කරු පක්ෂය තුල අරගලය සන්සිඳවිය නො හැක්කක් බවට පත් කරන්නේ මෙයයි.

අරගලයේ ගමන් මාවතේ දී කොක්රාන්වාදීහු පහත ගතිලක්ෂන විදහා දක්වති:

1) පක්ෂයේ සම්ප‍්‍රදායන් හා ඓතිහාසික මෙහෙවර කෙරෙහි නොතැකීම. ඇමරිකානු ට්‍රොට්ස්කිවාදයේ 25 වසරක සම්ප‍්‍රදාය අපහාසයට බඳුන් කිරීමේ දී, පරිහාසයට ලක් කිරීමේ දී හා එය අවමානයට පත් කිරීමේ දී කොක්රාන්වාදීන් එකදු අවස්ථාවක් හෝ මග හරින්නේ නැත.

2) පක්ෂ “තන්ත‍්‍රයට” එරෙහි මූලධර්ම විරහිත කන්ඩායම් මගින් මූලධර්මාත්මක මාක්ස්වාදී දේශපාලනය විතැන් කිරීමේ ප‍්‍රවනතාව. ඒ අනුව කොක්රාන්වාදී කල්ලිය සමන්විත වන්නේ පරස්පර විරෝධී අංගෝපාංග වලිනි. ප‍්‍රධාන වසයෙන් නිව් යෝක්හි කේන්ද්‍රගත වන එක් කන්ඩායමක් ඇමරිකානු ස්ටැලින්වාදී ව්‍යාපාරය තුලට “ඇතුල්වීම” වැනි උපායකට මනාප වෙයි.

ගතානුගතික වෘත්තීය සමිති අංගෝපාංගයන්ගෙන් සැදුම්ලත් මූලිකව ඩිට්‍රොයිට්හි ක‍්‍රියාත්මක වන තවත් කන්ඩායමක්, ස්ටැලින්වාදීන් වෙත හැරීමෙන් ලබා ගත හැකි දෙයක් නැති බව දකී. එය තම සංශෝධනවාදී දෘෂ්ටිය පදනම් කරන්නේ, නව කම්කරු නිලධරයේ ස්ථාවරත්වය හා කල් පවත්නා බලය පිලිබඳ අධිතක්සේරුවක් මත ය.

කොක්රාන්වාදයට ආකර්ෂනය වී ඇති තවත් කොට්ඨාශයක් නම්, වර්තමාන අහිතකර කොන්දේසිවල පීඩනය තව දුරටත් දරා ගත නො හැකි වූ ද අකර්මන්‍යත්වය කරා පල්ලම් බැසීම සමග මංමුලාසහගත තර්කනයක් සොයමින් සිටින්නා වූ ද හෙම්බත් වුනු පුද්ගලයෝ ය.

මෙම මූලධර්ම විරහිත කල්ලිය එකට බැඳ තබන බදාමය, සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදය කෙරෙහි දක්වන පොදු හතුරුකම යි.

3) ඇමරිකාවේ අපගේ ප‍්‍රධාන සටන් බිම වන සමූහ නිෂ්පාදන කර්මාන්තවල නිරත, දේශපාලනිකව අවදි නො වුනු කම්කරුවන්ගෙන් පක්ෂය ඉවතට හැරවීමේ ප‍්‍රවනතාවක් පවතී. කොක්රාන්වාදීහු යථාර්ථයේ දී, සමාජවාදී කම්කරු පක්ෂය මෙම කම්කරුවන් වෙත පාලමක් ලෙස භාවිතා කොට ඇති සංක‍්‍රමන සටන් පාඨ හා ඉල්ලීම්වල ක‍්‍රියමාර්ගය අත්හැර, එම පිලිවෙත් අනුගමනය කරන බහුතරය කම්කරුවන්ගේ පසුගාමීත්වයට අනුගත වන්නේ යයි තර්ක කරති.

4) තුන්වන ලෝක යුද්ධයට පෙරාතුව, ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව ඇමරිකානු කම්කරු පන්තිය සටන්කාමීව ඉදිරියට ඒමේ සියලු හැකියාවන් පිලිබඳ ඒත්තු ගැනීමක් නො තකා හරිනු ලැබේ.

5) අවසානයේ දී විප්ලවය “එය විසින්ම” සිදු වනු ඇතැයි යන ආකාරයට ට්‍රොට්ස්කිවාදී “අදහස්” තමන් තුලට අවශෝෂනය කර ගනිමින්, ස්ටැලින්වාදීන්ට එක්සත් ජනපදය තුල විප්ලවයකට නායකත්වය දීමට හැකියාව ලබා දෙමින්, ස්ටැලින්වාදය විප්ලවීය පාර්ශවයක් අන්තර්ගත කරගන්නේය යන “වාම” ස්ටැලින්වාදය පිලිබඳ දල පර්යේෂනාත්මක න්‍යායික සූත‍්‍රකරන සමග, ස්ටැලින්වාදීන්ට තවදුරටත් “පාවාදිය නො හැකි” ය යන ප‍්‍රමානාතික‍්‍රාන්ත විශ්වාසයට සිඳුවනු ලැබේ.

6) නව සිද්ධීන් හමුවේ ස්ටැලින්වාදයට අනුගත වීම. බෙරියාගේ බිඳ වැටීම හා සෝවියට් සංගමය තුල පසුකාලීන පුලුල් විරේක කිරීම් පිලිබඳ පැබ්ලෝගේ අර්ථකථනය තුල දක්නට ලැබෙන ස්ටැලින්වාදය කෙරෙහි සහනශීලී වීමට සහයෝගය දක්වන ඔවුහු එය ආරක්ෂා කරති. නැගෙනහිර ජර්මානු කම්කරුවන්ගේ ශ්‍රේෂ්ඨ නැගිටීමේ දී හා ප‍්‍රන්ස මහා වැඩ වර්ජනයේ දී ස්ටැලින්වාදයේ ප‍්‍රති-විප්ලවවාදී භූමිකාව ආවරනය කරන පැබ්ලෝවාදී කුතර්ක එකක් නෑර ඔවුහු පුනරුච්චාරනය කරති. ඇමරිකානු ස්ටැලින්වාදය ඩිමොක‍්‍රටික් පක්ෂය දෙසට ගන්නා හැරීම හුදෙක් “වාම හැරුමක දක්ෂිනාංශික පැද්දීමක්” පමනක් යයි පවා ඔවුහු අර්ථකථනය කරති.

7) සංවිධානාත්මක ප‍්‍රශ්නවල දී ලෙනින්වාදයේ සම්ප‍්‍රදායන් කෙරෙහි දක්වන සතුරුකම. එක් කලෙක ඔවුහු පක්ෂය තුල “ද්වන්ධ බලය” පිහිටුවීමට යත්න දැරූහ. 1953 මැයි පුන්සැසියේ දී පක්ෂයේ අතිමහත් බහුතරය විසින් ඔවුන් ප‍්‍රතික්ෂේප කරනු ලැබූ විට බහුතරයේ පාලනයටත් පුන්සැසිය මගින් තීන්දු කරන ලද දේශපාලන ක‍්‍රියාමාර්ගයටත් බැඳී සිටීමට ඔවුහු ලිඛිතව එකඟ වූහ. ඉන් පසුව, අන්කවරදාකටත් වඩා උන විකාරය හා උන්මාදයේ පදනමක් මත පක්ෂයේ වැඩ කටයුතු කඩාකප්පල් කිරීමේ සිය කට්ටිවාදී වැඩ යලි අරඹමින් ඔවුහු තම එකඟතාව බිඳ දැමූහ.

අප ඉහත පෙන්නුම් කොට ඇති ප‍්‍රධාන ලක්ෂන සහිත කොක්රාන්වාදය කවර කලෙක වත් පක්ෂය තුල දුර්වල සුලුතරයකට වැඩි දෙයක් වූයේ නැත. පක්ෂයේ නායකත්වයට හොරෙන් පැබ්ලෝගෙන් ලද ආධාරය හා දිරිමත් කිරීම හැරුනු විට එය කිසි විටෙකත්, අසුභවාදයේ වඩාත් ම බෙලහීන හා රෝගී ප‍්‍රකාශනයකට වැඩි දෙයක් නොවනු ඇත.

අපගේ මැයි පුන්සැසියෙන් ක්ෂනික ඉක්බිත්තේ, හොර රහසේ පැබ්ලෝගෙන් ලැබුනු දිරිමත් කිරීම හා සහයෝගය හෙලිදරවු කරනු ලැබූ අතර එතැන් පටන් පැබ්ලෝ පක්ෂයේ අරමුදල් කඩාකප්පල් කිරීමේ, පක්ෂ වැඩ කටයුතුවලට බාධා කිරීමේ හා බේදයකට සූදානම් වීමේ සංශෝධනවාදී කල්ලියේ උද්ඝෝෂනය දිරිමත් කරමින් එය සමග විවෘතව කටයුතු කර තිබේ.

පැබ්ලෝ-කොක්රාන් කල්ලියේ මෙම දඩබ්බර මග කුලුගැන්වුනේ, නිව් යෝක් නාගරික මැතිවරන උද්ඝෝෂනය අවසන් කිරීමේ රැලියක් සමග සමපාත වූ නිව් යෝක්හි පැවති පක්ෂයේ විසිපස් වන සංවත්සර සැමරුම සංවිධානාත්මක ලෙස වර්ජනය කිරීමත් සමග ය.

මෙම ද්‍රෝහී හොරිකඩ ක‍්‍රියාව යථාර්ථයේ දී, ඇමරිකානු ට්‍රොට්ස්කිවාදයේ 25-වසරක අරගලයට එරෙහි සංවිධිත සතුරුකමකින් සමන්විත වූ අතර ම ඇමරිකානු ට්‍රොට්ස්කිවාදයේ ආරම්භක න්‍යෂ්ටිය, 1928 ඔක්තෝබරයේදී නෙරපා හල ස්ටැලින්වාදයට වෛෂයික මුක්කුවක් සැපයූ ක‍්‍රියාවක් ද විය.

මෙම රැස්වීම සංවිධිතව වර්ජනය කිරීම යථාර්ථයේ දී, නිව් යෝක් නාගරික මැතිවරනය තුල සමාජවාදී කම්කරු පක්ෂය ගෙන ගිය උද්ඝෝෂනයට එරෙහි විරෝධය පෑමක් විය.

මෙම ද්‍රෝහී පක්ෂ-විරෝධී ක‍්‍රියාවට සහභාගි වූ සියල්ලෝ ම, දීර්ඝ කාලයක් තිස්සේ සූදානම් කෙරෙමින් තිබූ බේදය පැහැදිලි ව ම සමාප්තියකට ගෙන ආ අතර අපගේ පක්ෂයේ සාමාජිකත්වය දැරීමට තිබුනු සියලු අයිතිවාසිකම් අහිමි කර ගත්හ.

සමාජවාදී කම්කරු පක්ෂයේ විසිපස් වන සංවත්සර පුන්සැසිය, මෙම කරුන නිල වශයෙන් සටහන් කරමින්, වර්ජනය සංවිධානය කල ජාතික කමිටු සාමාජිකයින්ගේ සාමාජිකත්වය තහනම් කල අතර මෙම ද්‍රෝහී හොරිකඩ ක‍්‍රියාවට සහභාගි වූ හෝ එම ක‍්‍රියාව ප‍්‍රතික්ෂේප නොකල පැබ්ලෝ-කොක්රාන් පාර්ශවයේ සියලු සාමාජිකයන් සමාජවාදී කම්කරු පක්ෂයේ තනතුරු වලින් නෙරපා ඇති බව ප‍්‍රකාශයට පත් කලේ ය.

කොමින්ටර්නයේ විධික‍්‍රම

සමාජවාදී කම්කරු පක්ෂයේ නායකත්වයට එක් මුහුනක් පෙන්වමින් රහසිගත ව සංශෝධනවාදී කොක්රාන්වාදී ප‍්‍රවනතාව සමග සහයෝගීව කටයුතු කිරීමේ පැබ්ලෝගේ දෙපිටකාට්ටුකම, ට්‍රොට්ස්කිවාදයේ සම්ප‍්‍රදායන්ට හතුරු විධික‍්‍රමයකි. එහෙත් එය අයත් වන සම්ප‍්‍රදායක් තිබේ, ඒ ස්ටැලින්වාදය යි. ක්‍රෙම්ලිනය විසින් භාවිතා කරනු ලබන එවන් විධික‍්‍රම කොමියුනිස්ට් ජාත්‍යන්තරය දූෂනය කිරීමට උපස්ථම්භක විය. අප බොහෝ දෙනාට 1923-28 කාල පරිච්ඡේදයේ දී මේ සියල්ල පිලිබඳ අත්දැකීම් තිබුනි.

පැබ්ලෝ සම්බන්ධයෙන් ගත්විට මෙලෙස ක‍්‍රියාත්මක වීම හුදකලා චර්යාවක් නො වන බවට තීරනාත්මක සාක්ෂි තිබේ. අඛන්ඩ රටාවක් ප‍්‍රකාශයට පත්වේ.

උදාහරනයක් ලෙස, හතරවන ජාත්‍යන්තරයේ ප‍්‍රමුඛ යුරෝපීය ශාඛාවක කීර්තිමත් පක්ෂ නායකයෙකුට “ජාත්‍යන්තරයේ බහුතර පිලිවෙත හා විනය, හතරවන ලෝක සම්මේලනය දක්වා ආරක්ෂා කරන” අයෙකු ලෙස කටයුතු කරන ලෙස නියෝගයක් මෑතකදී පැබ්ලෝගෙන් ලැබී තිබුනි. එම අවසාන නියෝගයට අමතරව, තමන්ගේ නියෝගවලට කීකරු නො වුවහොත් පලි ගන්නා බවට පැබ්ලෝ තර්ජනය කලේ ය.

මෙහි දී පැබ්ලෝ සඳහන් කරන “බහුතරය” යන්න, සරල ව ම පැබ්ලෝ තමන් මත ම හා ඔහුගේ සංශෝධනවාදී අපූර්වත්වයන්ගෙන් මෝහනයට පත් කුඩා සුලුතරය මත අලවන මධ්‍යස්ථ ලේබලයකි. පැබ්ලෝගේ නව පිලිවෙත ට්‍රොට්ස්කිවාදයේ මූලික ක‍්‍රියාමාර්ගයට ප‍්‍රචන්ඩ ලෙස පරස්පර වූවකි. එය තවමත් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ බොහෝ කොටස් තුල සාකච්ඡා කිරීමට පටන්ගෙන ඇතුවා පමනි. එකදු ට්‍රොට්ස්කිවාදී සංවිධානයකවත් සහාය නො ලබන එය හතරවන ජාත්‍යන්තරය අනුමත කරන ලද නිල පිලිවෙත නො වේ.

අපට ලැබී ඇති පලමු වාර්තා පෙන්නුම් කරන්නේ, සාකච්ඡාවක් හෝ ඡන්ද විමසීමක් සඳහා බලා නොසිට, සිය සංශෝධනවාදී අදහස් ලෝක පරිමානයෙන් ව්‍යාපාරය මත බලහත්කාරයෙන් පැටවීමට ඔහු ඉහලින් දරන උත්සාහය කෙරෙහි කෝපය පලවෙමින් ඇති බවයි. හතරවන ජාත්‍යන්තරය නිශ්චිතව ම පැබ්ලෝගේ පිලිවෙත අතිමහත් බහුතරයකින් ප‍්‍රතික්ෂේප කරන බව ප‍්‍රකාශ කිරීමට අපට දැනට මත් ඇති තරම් තොරතුරු තිබේ.

පැබ්ලෝගේ සංශෝධනවාදී දේශපාලන පිලිවෙත විවේචනය කිරීමෙන් වලකින ලෙස හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවක නායකයෙකුට ඔහු කරන ආඥාදායක නියෝගය ජුගුප්සා ජනක ය. එහෙත් පැබ්ලෝ එතෙකින් නො නැවතුනි. මෙම නායකයාට මුකවාඩම් දමා ඔහුගේ අත්දැකීමෙන්, දැනුමෙන් හා අන්තර්ඥානයෙන් බිම් මට්ටමේ සාමාජිකයින් ප‍්‍රතිලාභ ලබන, නිදහස් සාකච්ඡාවකට සහභාගි වීමෙන් ඔහු වැලැක්වීමට උත්සාහ දරන අතරේ, ශාඛාවේ නායකත්වයට විරුද්ධව යුද්ධයක් කරගෙන යාම සඳහා සුලුතර සංශෝධනවාදී කන්ඩායමක් සැකසීමට උත්සාහ කරමින් සංවිධානාත්මක ලෙස මැදිහත් වීම කරා පැබ්ලෝ ඉදිරියට ගියේ ය.

මෙම පිලිවෙත උකහා ගැනෙන්නේ ස්ටැලින්වාදයේ බලපෑම යටතේ පිරිහෙමින් පැවති කොමින්ටර්නයේ පිලිකුල් සහගත සම්ප‍්‍රදායෙනි. මෙම ප‍්‍රයුක්තිය හැර වෙන කිසිවක් නො තිබුනේ වුවත් හතරවන ජාත්‍යන්තරය, අභ්‍යන්තර දූෂනයෙන් ආරක්ෂා කර ගැනීමට පැබ්ලෝවාදය අවසන් කිරීම සඳහා අරගලයක් ගෙන යනු ඇත.

එවැනි උපායයන්ට නිශ්චිත අරමුනක් පවතී. ඒවා පැබ්ලෝවාදී සුලුතරය කුමන්ත‍්‍රනයකට සූදානම් වීමේ කොටසකි. පරිපාලනය තුල පැබ්ලෝගේ පාලන බලය උපයෝගී කරගන්නා ඔවුහු, ඔහුගේ සංශෝධනවාදී පිලිවෙත හතරවන ජාත්‍යන්තරය මත පැටවීමට අපේක්ෂා කරන්නේ, එයට විරුද්ධත්වය පලවන සෑම තැනක දී ම බේදයන් හා නෙරපා හැරීම් මගින් පිලිතුරු දෙමිනි.

දැන් නිශ්චිත ව පැහැදිලි වන පරිදි මෙම ස්ටැලින්වාදී සංවිධානාත්මක ක‍්‍රියාමාර්ගය ඇරඹුනේ, හතරවන ජාත්‍යන්තරයේ ප‍්‍රන්ස ශාඛාවේ බහුතරයට එරෙහි සිය කඩාකප්පල්කාරී උද්ඝෝෂනයේ දී පැබ්ලෝ, තම පරිපාලන ව්‍යුහය මෘග ලෙස දුෂ්භාවිතයේ යෙදීමත් සමග, වසර එකහමාරකට පෙර යි.

ප‍්‍රන්ස ශාඛාවේ තේරී පත්වුනු බහුතරය, ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ නියෝගය යටතේ, පක්ෂයේ දේශපාලන හා ප‍්‍රචාරක වැඩ කටයුතුවලට නායකත්වය දීමේ අයිතිය ක‍්‍රියාවේ යෙදවීමෙන් වලක්වන ලදී. ඒ වෙනුවට දේශපාලන මන්ඩලය හා මාධ්‍යය, කොමින්ටර්නවාදී “පක්ෂ කොමිසමක්” ආයුධය කරගනිමින්, සුලුතරයක පාලනය යටතේ තබන ලදී.

හිතුමතයේ බහුතරයක් නෙරපා හැරීම සදහා සුලුතරයක් උපයෝගීකර ගන්නා ලද මෙම හිතුවක්කාරී ක‍්‍රියාව ඒ සමයේ අපි දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කලෙමු. එය දැනගත් වහා ම අපි පැබ්ලෝට අපගේ විරුද්ධත්වය දන්වා යැවීමු. එහෙත් වඩා දැඩි ක‍්‍රියාමාර්ගයක් නො ගැනීම මගින් අප වැරැද්දක් කල බව අපි පිලිගත යුත්තෙමු. මෙම වරද සිදු වූයේ උද්ගත ව ඇති සැබෑ ප‍්‍රශ්න අප විසින් ප‍්‍රමානවත් ලෙස සැලකිල්ලට ගනු නො ලැබීමේ හේතුවෙනි. මාස ගනනක් පැවති විනාශකාරී කන්ඩායම් අරගලයෙන් පසු ව බහුතරය පලවා හැරුනු කල්හි, පැබ්ලෝගේ සංවිධානාත්මක ක‍්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් අපට ඇති වූ සැකසංකා තිබිය දී ම, පැබ්ලෝ හා ප‍්‍රන්ස ශාඛාව අතර වූ මතභේද උපායාත්මක ඒවා යයි සිතූ අප, පැබ්ලෝට පක්ෂපාතී වීම කරා මෙහෙයවින.

එහෙත් මතභේද ඒවායේ පතුලෙන්ම ක‍්‍රියාමාර්ගික ස්වභාවයක් ගත්තේය. බහුතරයේ ප‍්‍රන්ස සහෝදරවරුන්, අප දුටුවාට වඩා පැහැදිලි ව සිදු වූ දේ දැකගත් බව සැලකිය යුතුය. “බලගතු අන්තරායක් හතරවන ජාත්‍යන්තරයේ අනාගතයට හා පැවැත්මට පවා තර්ජනය කරයි... බියගුලු කමෙන් හා සුලුධනේශ්වර ධාරනාවාදයෙන් උපන් සංශෝධනවාදී සංකල්ප එහි නායකත්වය තුල දිස්වීමට පටන්ගෙන ඇත. ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගය සංශෝධනය කිරීම හා මාක්ස්වාදී විධික‍්‍රමය අත්හැර දැමීම මත පදනම් වන, ශාඛාවන්ගේ ජීවිතයෙන් තවදුරටත් වෙන් කෙරුනු, ජාත්‍යන්තරයේ දරුනු දුර්වලත්වය පුද්ගලික පාලන පද්ධතියක් ස්ථාපිත කිරීමට ක්ෂනිකව ම ඉඩ සලසා දී ඇතැ” යි ඔවුන්ගේ පක්ෂයේ අටවන සම්මේලනය ප‍්‍රකාශ කලේ ය (ලා වෙරිතේ, 1952 සැප්තැම්බර් 18).

ප‍්‍රන්සයේ මෙම මුලු මහත් අවස්ථාව ම, අනතුරුව ඇති වූ වර්ධනයන්හි ආලෝකයෙන් යලි පිරික්සා බැලිය යුතු ය. මෑතකාලීන මහා වැඩ වර්ජනයේ දී ප‍්‍රන්ස ශාඛාවේ බහුතරය ඉෂ්ට කල කාර්යභාරයෙන් අතිශය තීරනාත්මක ලෙස පෙන්නුම් කෙරුනේ, සාධර්මික ට්‍රොට්ස්කිවාදයේ මූලික මූලධර්ම පවත්වා ගන්නේ කෙසේ දැයි ඔවුන් දන්නා බව යි. හතරවන ජාත්‍යන්තරයේ ප‍්‍රන්ස ශාඛාව අයුක්ති සහගත ලෙස පලවා හරිනු ලැබුනි. ලා වෙරිතේ වටා ඒකරාශී වූ ප‍්‍රන්ස බහුතරය, ප‍්‍රන්සයේ සැබෑ ට්‍රොට්ස්කිවාදීන් වන අතර සමාජවාදී කම්කරු පක්ෂය විවෘත ව එසේ පිලිගනු ලැබේ.

පැබ්ලෝ හතරවන ජාත්‍යන්තරයෙහි චීන ශාඛාවේ දේශපාලනික ආස්ථානය, මඩ ගැසීම් ද සහිත ව ඉදිරිපත් කරන අයුරු වෙසෙසින් ම පිලිකුල දනවයි. පැබ්ලෝ කන්ඩායම, ඔවුන් කට්ටිවාදීන් ලෙසත් “විප්ලවයෙන් පලා යන සරනාගතයන්” ලෙසත් නිරූපනය කර ඇත.

පැබ්ලෝ කන්ඩායම විසින් හිතාමතා නිර්මානය කෙරුනු ධාරනාවට පටහැනි ව චීන ට්‍රොට්ස්කිවාදීන් ක‍්‍රියා කලේ, චීන කම්කරු පන්තියේ නිර්ව්‍යාජ විප්ලවීය නියෝජිතයින් ලෙස ය. 1918 විප්ලවයේදී ඝාතනය කරනු පිනිස නොස්කේවරුන් හා ෂීඞ්මාන්වරුන්, ලක්සම්බර්ග්ලා හා ලිබ්නෙක්ට්ලා තෝරා ගත්තේ, ස්ටැලින් සෝවියට් රුසියානු සමූහාන්ඩුව තුල, ලෙනින්ගේ බොල්ෂෙවික්වරුන් මුලු මහත් පරම්පරාව ම ඝාතනය කරනු පිනිස තෝරාබේරා ගත් පරිද්දෙනි. කිසිදු වරදක් නොමැති චීන ට්‍රොට්ස්කිවාදීන් තම ගොදුරු ලෙස මා ඕ පාලන තන්ත‍්‍රය විසින් තෝරා වෙන් කර ගත්තේද ඒ ආකාරයෙනි. එහෙත් ස්ටැලින්වාදය කෙරෙහි පැබ්ලෝගේ සහනශීලී පිලිවෙත, නොඉවසිලි සහගත අයුරින් ඔහු යොමු කරවනුයේ, අප චීන සහෝදරවරුන්ගේ ස්ථීරසාර මූලධර්මාත්මක ආස්ථානය මත අඳුරු පැහැ තවරන අතර වාරයේ මා ඕ ආන්ඩුව රෝස පැහැ ගැන්වීමට ය.

කල යුත්තේ කුමක් ද

හකුලුවා දක්වතොත්: පැබ්ලෝගේ සංශෝධනවාදය හා සාධර්මික ට්‍රොට්ස්කිවාදය අතර බෙදුම් කඩන කොතරම් ගැඹුරු දැයි කිවහොත්, දේශපාලනික ව හෝ සංවිධානාත්මක ව හෝ කිසිදු සම්මුතියක් ඇති කර ගැනුමට පුලූවන් කමක් නැත. සැබවින් ම බහුතර මතය පිලිබිඹු කරන ප‍්‍රජාතාන්ත‍්‍රික තීන්දුවලට එලඹීමට අවසර නො දෙන බව පැබ්ලෝ කන්ඩායම පෙන්නුම් කර ඇත. ඔවුන්ගේ සාපරාධී පිලිවෙතට පූර්න යටත් වීමක් ඔවුහු ඉල්ලා සිටිත්. සියලුම සාධර්මික ට්‍රොට්ස්කිවාදීන් හතරවන ජාත්‍යන්තරයෙන් එලවා දැමීමට හෝ ඔවුන්ට මුකවාඩම් බැඳීමට හා මාංචු දැමීමට ඔවුහු අදිටන් කරගෙන සිටිත්.

ඔවුන්ගේ උපක‍්‍රමය වූයේ, ඔවුන් තුල ස්ටැලින්වාදය කෙරෙහි වූ මිත‍්‍රශීලීත්වය ටිකෙන් ටික එන්නත් කිරීම හා එසේ ම සිදු වන දෙය දැක එයට විරෝධය පාන්නට පැමිනෙන්නන්ගෙන් ටිකෙන් ටික නිදහස් වී ගැනීම ය. පැබ්ලෝවාදී සූත‍්‍ර හා උපායික මගහැරීම් බොහොමයක අපූරු දෙබිඩි ලක්ෂන පැහැදිලි කල හැකි වනුයේ එපරිද්දෙනි.

පැබ්ලෝ කල්ලිය, මෙම මූලධර්ම විරහිත හා මැකියාවෙලියානු උපාමාරු දැමීම්වලින් මේ දක්වා කිසියම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇත. එහෙත් වෙනස් වීමේ ගුනාත්මක ලක්ෂය එලඹී ඇත. දේශපාලනික ප‍්‍රශ්න උපාමාරු පුපුරාගෙන ඉස්මතු වී ඇති අතර, මෙතැන් පටන් සටන එලිමහනෙහි කෙරෙනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ අනුගාමිකත්වයෙන් බැහැර ව සිටීමට අපට බලකෙරී ඇති තත්වයක, එවන් බාහිර ආස්ථානයක සිටිමින් හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවලට උපදෙසක් දීමට අපට හැකි නම්, ක‍්‍රියා කිරීමට, තීරනාත්මකව ක‍්‍රියා කිරීමට, කාලය එලඹ ඇතැයි අප සිතන බව අපි පවසමු. පැබ්ලෝ විසින් අධිකාරය පැහැර ගනු ලැබීමට විරුද්ධ ව, හතරවන ජාත්‍යන්තරයේ සාධර්මික ට්‍රොට්ස්කිවාදී බහුතරයට තමන්ගේ අධිෂ්ඨානය තහවුරු කිරීමට කාලය එලඹ තිබේ.

ඊට අතිරේකව ඔවුන් පැබ්ලෝ හා ඔහුගේ ඒජන්තයන් තනතුරුවලින් ඉවත් කොට, සාධර්මික ට්‍රොට්ස්කිවාදය ඔසවා තබමින් දේශපාලනික හා සංවිධානාත්මක වසයෙන් නිරවද්‍ය මාවතක ව්‍යාපාරය තබා ගැනුමට තමන් දන්නා බව භාවිතයෙහි දී ඔප්පු කල කේඩර මගින්, එම තනතුරු පුරවාලිය යුතු ය.

සහෝදරාත්මක ට්‍රොට්ස්කිවාදී සුභ පැතුම් සමග,

සමාජවාදී කම්කරු පක්ෂයේ ජාතික කමිටුව

Share this article: