ගාසාවේ යුද අපරාධ හා ජාතිකවාදයේ බංකොලොත්කම

The Gaza war crimes and the bankruptcy of nationalism

2014 ජූලි 25

ඊස්රායල රාජ්‍යයේ යුද අපරාධවල රංග භූමිය ගාසාවේ පලස්තීන ප‍්‍රදේශ යි. කාන්තාවන් හා ලමුන් ඇතුලු 15දෙනෙකු ඝාතනය කල හා 200ට අධික සංඛ්‍යාවකට තුවාල සිදුකල, (වැඩි දෙනෙක් කාන්තාවන් හා ලමුන්) බේයිට් හනෝවුන් නම් උතුරු ගාසාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යන පාසලකට ඊස්රායල් ආරක්ෂක හමුදාව (ඊආහ), එල්ල කල බෝම්බ ප‍්‍රහාරය ගැන කිව යුත්තේ කුමක් ද? පාසලේ පිහිටීම ගැන හා නිමක් නැති කාලතුවක්කු හා ගුවන් ප‍්‍රහාරයන්ගෙන් සරන සොයන විශාල සංඛ්‍යාවක් සිවිල් වැසියන් ප‍්‍රදේශයේ ලැගුම් ගෙන සිටින බව අවස්ථා කිහිපයකදීම ඊස්රායලය වෙත දැනුම් දී තිබුනි. ඒ කිසිවක් නොතකා ඊස්රායල් හමුදා එම මධ්‍යස්ථානයට ෂෙල් වෙඩි එල්ල කලහ. සතියක් තුල එක්සත් ජාතීන්ගේ රක්ෂාවරනය සහිත තැන් වලට බෝම්බ දමූ සිව්වැනි වතාව මෙය යි.

එජා පාසැලට බෝම්බ දැමීම හුදෙක් මෑතකම සිදුකල ප‍්‍රචන්ඩ ක‍්‍රියාවයි. පාසල්වලට මෙන් ම රෝහල්, ජල පොම්පාගාර, මලාපවහන වැඩබිම්, ගිලන්රථ හා මාධ්‍යවේදීන්ට ද ඊස්රායල හමුදා ප‍්‍රහාර එල්ල කර ඇත. ඉස්ලාමීය හමාස් සංවිධානයේ නායකයන්ට එරෙහි ඊස්රායල් ඝාතන ප‍්‍රයත්නයන්හි දී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දුසිම් ගනනාවක් ඝාතනය කර ඇත. යන්තම් දින 18ක් තුල වැඩි දෙනෙක් සිවිල් වැසියන් වන පලස්තීනුවන් 800දෙනෙකු මරා දමා ඇති අතර 5,250දෙනෙකුට වඩා තුවාල සිදුකර ඇත.

ගාසා ආක‍්‍රමනය තහවුරු කරන්නේ ඊස්රායලයේ සියොන්වාදී තන්ත‍්‍රයේ දූෂිත හා බංකොලොත් කමයි. අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප‍්‍රධානත්වය දරන ආන්ඩුව නියෝජනය කරන්නේ සිහි විකල් වූ සහ තමන් මුහුන දෙන අර්බුදයට ප‍්‍රචන්ඩත්වයේ මංමුලා සහගත හා මිනීමරු කඩාපැනීම් හැර වෙනත් විසඳුමක් නැති හුදකලාවූ හා බෙලසුන් පාලක පන්තියකි. ආරක්ෂා විරහිත පලස්තීන මහජනතාවට එරෙහිව ගෙන යන මෙම දැවන්ත සංහාරය, මැද පෙරදිග, ලෝකය වටා හා ඊස්රායලය තුල ම යුදෙව් කම්කරුවන් අතර සියොන්වාදය කෙරෙහි පිලිකුල හා විරුද්ධත්වය ගැඹුරු කිරීමට පමනක් උදව් කරයි.

සියොන්වාදය ආරක්ෂා කරන එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදීන් අපකීර්තියට පත්වෙමින් සිටින්නේ ඊට අඩුවෙන් නො වේ. සිවිල් වැසියන්ගේ මරන පිලිබඳ තම “කනස්සල්ල” ප‍්‍රකාශ කරන අතරම ජනාධිපති බරක් ඔබාමා, රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා යුරෝපීය දේශපාලඥයින්, “ඊස්රායලයට සිය ආරක්ෂාව සලසා ගැනීමට අයිතියක් ඇත” යන යුද අපරාධ සඳහා ඔවුන්ගේ නින්දිත යුක්ති කරනය පුනරුච්චාරනය කරන සෑම විටම මහජන කෝපය තව තවත් උග‍්‍ර වෙයි. ඊස්රායලය සමග සහයෝගීව ක‍්‍රියා කරන ඊජිප්තු තන්ත‍්‍රය හා මැද පෙරදිග අනෙකුත් ප‍්‍රතිගාමී අරාබි ආන්ඩු ඒ රටවලම ජනතාවගේ අවඥාවට ලක්ව සිටිති.

සති ගනනක් තිස්සේ නැගෙනහිර ජෙරුසෙලමේ හා බටහිර ඉවුරේ නැගී එන පෙලපාලි හා කැලඹීම් මගින්, නෙතන්යාහු ආන්ඩුව හා ඊස්රායලයේ සෑම ප‍්‍රචන්ඩ ක‍්‍රියාවකට ම අනුගතවුනු මොහමඞ් අබ්බාස්ගේ කුලීකාර පලස්තීන අධිකාරය යන දෙකට ම එරෙහිව තවත් ඉන්ටිෆාඩාවක පැනනැගීම ”පොදු පලස්තීන ජනතා නැගිටීම” පිලිබඳ පෙර නිමිති පල විය. වඩ වඩාත් ඊස්රායල් ජාතිකයන් ඔවුන්ගේ ම ආන්ඩුව විසින්ම කැරලි ගැසීමට පොලඹවනු ලබයි.

කෙසේ නමුත් කෝපය, හෙලාදැකීම හා විරෝධතා පමනක් ප‍්‍රමානවත් නො වේ. අවශ්‍ය වන්නේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා පොදු අරගලයක් තුල සියලු ආගමික හා වාර්ගික පදනම් සහිත කම්කරු පන්තිය එක්සත් කල හැකි දේශපාලන ඉදිරිදර්ශනයකි.

ඊස්රායල් රාජ්‍යය පිහිටුවීමෙන් අවුරුදු හැට හයකට පසුව, හා 1967 ආක‍්‍රමනකාරී යුද්ධය හා ප‍්‍රදේශ යටත්කර ගැනීමේ සිට වසර 47කට පසුව, සමස්ත සියොන්වාදී ව්‍යාපෘතිය “මැද පෙරදිග නිකායික යුදෙව් ධනේශ්වර රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ ප‍්‍රතිගාමී ඉදිරිදර්ශනය” පැහැදිලිව ම අසාර්ථක වී ඇත.

දශක ගනනාවක මර්දන හා ඝාතන හමුවේ, 1948දී භූමි ප‍්‍රදේශ වලින් පලවා හැරි හා පසුව යටත් කරගත් ප‍්‍රදේශවල යුදෙව් ජනාවාස ව්‍යාප්ත කිරීම මගින් නොකඩවා අවතැන් කෙරෙන්නා වූ ද පලස්තීන මහජනතාවගේ විරෝධය අඩ පන කර නැත.

සියොන්වාදී දෘෂ්ටිවාදය ගෙනහැර දක්වන්නේ., හොලෝකෝස්ටය (මහා යුදෙව් සංහාරය) හා යුදෙව් ජනතාව සඳහා ක්ෂේම භූමියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මගින් පලස්තීනුවන්ගේ බුත්තිය පැහර ගැනීම යුක්ති සහගත කෙරෙන බවය. අද ඊස්රායල් ආන්ඩුව සිදු කරන අපරාධ නාසීන්ගේ අපරාධවලට වඩ වඩාත් සමානකම් දරයි. ගාසාවේ මිලියන 1.8 ජනතාව වර්තමාන ගෙටෝවක (යුරෝපයේ යුදෙව්වන් කොටු කෙරුනු ප‍්‍රදේශ- හිර කර ඇත. මිහිමත අපායක් බඳු මෙහි ජනතාවට පිරිසිදු පානීය ජලය, ප‍්‍රමානවත් ආහාර, විදුලිය හා සෞඛ්‍ය සේවා හිතා මතාම අහිමි කිරීම විස්තර කල හැක්කේ ජනඝාතක ප‍්‍රතිපත්තියක කොටසක් ලෙස පමනි.

සියොන්වාදී රාජ්‍යය සියලු යුදෙව් ලබ්ධිකයින් නියෝජනය කරන බව පවසන ඊස්රායලයේ ජාතිකවාදී ප‍්‍රචාරයට, එය පන්තිවලින් බෙදුනු හා සමාජ ප‍්‍රතිඝතාතාවන් මගින් සුන්බුන්වුන ධනේශ්වර සමාජයක් ය යන්න ප‍්‍රතික්ෂේප කල නො හැක. සියොන්වාදයෙන් වාසි ලබන්නේ, ධනේශ්වර ප‍්‍රකෝටිපතියන් ද කෝටිපතියන් හා අරටුවට ම දූෂිත වූ දේශපාලන සංස්ථාපිතයක කතිපයාධිකාරයයි. පොහොසත් ම ඊස්රායලුන් 500දෙනා පසු ගිය අවුරුදු 12දී ඔවුන්ගේ වත්කම් තුන් ගුනයකින් වැඩි කර ගෙන ඇති අතර ලෝක වෙලඳපොලේ ඊස්රායල් සංගතවල තරඟකාරිත්වය පවත්වා ගෙන යාමට කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කර ඇත.

පද්ධතිමය ගෝලීය ආර්ථික බිඳවැටීමට ප‍්‍රතිචාර වශයෙන් නෙතන්යාහුගේ ආන්ඩුව ද අනෙක් රටවලදී මෙන් ම, කම්කරු පන්තියට එරෙහිව පන්ති යුද්ධයක් මෙහෙයවමින් සිටින අතර කප්පාදු හා බදු වැඩිකිරීම් දරුනු ලෙස බලපා ඇත්තේ දුප්පත් ජනතාවටය. ඊස්රායල් සමාජයේ නො විසඳිය හැකි අර්බුදය, අරාබි විරෝධී ජාත්‍යොන්මාදය හා පලස්තීන ජනතාවට එරෙහි යුද්ධය වෙත හරවා යැවීමට ඊස්රායල් ධනපති පන්තිය දරන මංමුලා සහගත ව්‍යාපාරය, ගාසාවට එරෙහි ප‍්‍රහාරයයි.

ඊස්රායලය හා මැද පෙරදිග තත්වය වටහා ගත යුත්තේ සමස්ත ධනේශ්වර පද්ධතියේ වඩා පුලුල් අර්බුදයක හුදු ප‍්‍රකාශනයක් ලෙස පමනි. පලමුවන ලෝක යුද්ධයට පෙර වසරවල දී මෙන් ම ලෝකය තරගකාරී ජාතික රාජ්‍යවලට බෙදී තිබීම හා ධනේශ්වර සුලුතරයකගේ ලාභ පිපාසාව වෙනුවෙන් ආර්ථික ජීවිතය යටපත් කිරීම, ලෝක ආර්ථිකයේ ඒකාබද්ධ හා අන්‍යොන්‍ය රඳා පැවැත්මේ යතාර්ථය සමග සමාදාන කල නො හැක. පසු ගිය දශක තුනේ ඇතිවූ නිෂ්පාදනයේ ගෝලීයකරනය, 1914 හා 1939 යුද්ධවලට මෙහෙයවුනු ධනේශ්වරයේ ආවේනික ප‍්‍රතිඝතිතා නව ඉහල මට්ටමකට නංවා ඇත.

එක්සත් ජනපදයේ පමනක් නො ව සියලු ම අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පාලක පන්තීන්, තම පටු ජාතික උත්සුකයන් වෙනුවෙන් ගෝලීය සම්පත් හා වෙලඳපොලවල් යටත් කිරීමේ එකම මාධ්‍ය ලෙස දකින්නේ, මිලිටරිවාදය හා යුද්ධය යි. ඊනියා විජිතහරනය මගින් නිර්මානය කරන ලද කෘතිම ජාතික රාජ්‍යයන්ගේ විවිධ දේපොල හිමි කල්ලි, ඔවුන්ගේ තරගකරුවන්ට එරෙහිව ධනය හා වරප‍්‍රසාද සඳහා සිය අයිතිය තහවුරු කර ගැනීමට දරන උත්සායේ දී, ලෝකය පුරා නිකායික හෝ වාර්ගිකව පාදකව ඇති බෙදීම් ගසා කති.

රටක් රටක් පාසා සිදුකරන ජන ඝාතන, සිවිල් යුද්ධ හා යටිකූට්ටු අධිරාජ්‍යවාදී උගුල් ඇදීම් මධ්‍යයේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, තුන්වැනි ලෝක යුද්ධයක වැඩෙන අනතුරු පිලිබඳව “අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන හා සමාජවාදය” නම්වූ සිය යෝජනාව තුල අනතුරු ඇඟවී ය. කෙසේ නමුත්, එම ක‍්‍රියාවලීන් ම වුවත් කම්කරු පන්තිය සමාජවාදය දෙසට යොමුකරව යි.

මෙම ප‍්‍රවනතාව බලගතු ලෙස දක්නට ලැබුනේ 2011 ඊජිප්තු විප්ලවය තුල ය. විප්ලවය ගබ්සා නොවී පැවතුනේ නම් මැද පෙරදිග තත්වය අද පවතිනවාට වඩා බොහෝ වෙනස් වනු ඇත. එය පිටුපසින් සිටි ඊජිප්තු පාලක පන්තියට හා අධිරාජ්‍යවාදී බලයන්ට එය පාලනය කිරීමට ලැබුනු හැකියාව අවධාරනය කරන්නේ, මැද පෙරදිග හා ජාත්‍යන්තරව පවතින කේන්ද‍්‍රීය ඓතිහාසික ගැටලුව යි. එනම් ඉදිරිදර්ශනයේ හා නායකත්වයේ අර්බුදය යි.

සෑම රටකම ධනේශ්වර පන්තියට එරෙහි දැවන්ත අරගලයන් සඳහා කොන්දේසි නිර්මානය වෙමින් පවතින්නේය යන විශ්වාසයෙන් යුතුව ලෝසවෙඅ හා හජාජක, මෙම අර්බුදය විසඳීම සඳහා දෛනිකව සටන් වදියි.

කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව හා සමාජවාදය සඳහා සටනේ අවශ්‍යතාව මැද පෙරදිග දී තරම් පැහදිලිව දර්ශනය වන වෙනත් තැනක් නැති තරම්ය. ධනවාදය හා ජාතික රාජ්‍ය පද්ධතිය මගින් නිර්මානය කෙරෙන විනාසයට විසඳුම වන්නේ, ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස මැද පෙරදිග එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් පිහිටුවීම හරහා, මේ දෙකම අහෝසි කර දැමීම යි.

මේ මොහොතේ මූලෝපායාත්මක කර්තව්‍යය වන්නේ, කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවන්ගේ නව නායකත්වය ලෙස, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමට සටන් කිරීම යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩලය

Share this article: