මූල්‍ය බුබුලේ ආර්ථිකය

The financial bubble economy

2014 ජූලි 28

එක්සත් ජනපද කොටස් වෙලඳපොලවල දෙමසකට ආසන්න කාලයකදී සතියක් තුල ඇතිවූ විශාලතම පිරිහීම සලකුනු කරමින්, ප‍්‍රධාන කොටස් දර්ශක තුනම පහත වැටුනි. එදින සිදුවූ කොටස් විකුනා දැමීම, පාරිභෝගික වියදම් සමග සමීපව බැඳුනු සමාගම් තුනෙහි දුබල අලෙවි වාර්තා හා ප‍්‍රක්ෂේපන කෙරෙහි පලවූ ප‍්‍රතිචාරයකි. එම සමාගම් නම්, විශාලතම අන්තර්ජාල විකිනුම්කාර ඇමසොන්, විශාලතම සිල්ලර වෙලඳ ආයතනය වන වොල්-මාර්ට්, හර හා බැර ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුකාර වීසා ය.

වඩාත් පුලුල්ව ගත් කල කොටස් වෙලඳපොලවල චලනය, 2009 පැවති පහලම මට්ටමේ සිට දෙගුනයක් හා සමහර තත්වයන්හිදී තෙගුනයක් ඉහල නැගි කොටස් වටිනාකම්, තවත් ඓතිහාසික බිඳ වැටීමක් අද්දර පවතින බවට පාලක පන්තිය තුල වැඩෙන කනස්සල්ල ප‍්‍රකාශ කරයි.

එජ ආර්ථිකයේ ඇති විවෘත රහස, කොටස් වෙලඳපොලවල අසාමාන්‍ය නැගීම, නිෂ්පාදන ක‍්‍රියාවලියෙන් මුලුමනින්ම විතැන්වී තිබිමයි. ආර්ථික වර්ධනය, පසුගිය වසර තුනේම සාමාන්‍යයට වඩා පහත, සියයට 1.8 ක්ව තිබියදී එස්ඇන්ඩ්පී 500 දර්ශකය පෙන්වන කොටස් අගය සියයට 20න් ඉහල නැගුනි. මේ වසරේ පලමු කාර්තුවෙහි ආර්ථිකය සියයට තුනකට ආසන්න අනුපාතයකින් හැකිලුනු අතර එජ කොටස් දර්ශක අඛන්ඩව ඉහල ගියේය.

කොටස් වෙලඳපොලේ රැලිවීම, අන්තර් සම්බන්ධිත කාරනා දෙකක් මත පදනම් වේ. එනම්, ක‍්‍රමානුකූලව ධනය වැඩකරන ජනතාව වෙතින් මූල්‍ය වංශාධිපතියන් කරා මාරුවීම හා ෆෙඩරල් මහ බැංකුව විසින් මූල්‍ය ක‍්‍රමය තුලට අවශ්‍යයෙන්ම සීමාන්තික ලෙස මුදල් ගලායාමට සැලැස්වීමයි.

තවදුරටත් ආර්ථික වර්ධනයේ හුස්ම හිරකරමින් කොටස් වෙලඳපොල බුබුල, සමූහ දොට්ට දැමීම් හා වියදම කැපීම මගින් සංගත කොටස් මිල ගනන් පිම්බීම අරමුනුකරගත් ඒකාබද්ධවීම් හා අත්පත්කර ගැනීම් සඳහා ඉඩ සලසාදී තිබේ. පසුගිය වසර තුලදී එවන් ඒකාබද්ධවීම් හා අත්පත්කර ගැනීම් සියයට 50න් තරම් වැඩිවී ඇත. ඩොලර් බිලියන 7ක් වන නොකියා ජංගම දුරකථන අංශය, මයික්‍රොසොෆ්ට් විසින් අත්පත්කර ගැනීමෙන් පසුව, ලෝකය පුරා එහි සේවකයින් 18,000ක් ඉවත් කරන බව නිවේදනය කිරීම පෙන්වාදිය හැකි එක් කරුනකි.

1940 ගනන් අග දක්වා දිවෙන වාර්තා සටහන් කිරීමේ ඉතිහාසය තුල, එජ දල දේශීය නිෂ්පාදිතයේ පංගුවක් ලෙස සමාගම් ලාභ, පසුගිය වසරේ තරම් ඉහල ගිය වෙනත් කාලයක් නැත. ව්‍යාපාරික ඇමරිකාව යලි වතාවක් සමපේක්ෂන උන රෝගය මගින් ග‍්‍රහනයට ගෙන ඇත. එනම්, සමාගම් මෙම ලාභය ආයෝජන සඳහා නොයොදවමින්, විධායකයින්ගේ වැටුප් තර කිරීමට, ප‍්‍රතිලාභ නැංවීමට හා තම කොටස්ම යලි මිලට ගැනීමට යෙදවීම ය. වාර්තාගතව ඇති පරිදි කොටස් යලි මිලට ගැනීම්, මූල්‍ය බිඳවැටීම ආසන්නයේ 2007 දෙවන කාර්තුවට පමනක් දෙවැනි වන මට්ටමකට මේ වසරේ පලමු කාර්තුවේදී ඉහල නැගුනි.

පැහැදිලිවම කොටස් වෙලඳපොලේ රැලිවීම අස්ථාවරය යන කාරනය, සමහර අංශ වලින් නැගෙන මැසිවිල්ලක් නිර්මානය කර තිබේ. මේ මාසය මුලදී ෆිච් වර්ගීකරන ආයතනය, “කොටස් අගැයීම පෙන්නුම් කරන්නේ, විශාල මුදල් සම්භාරයක් ආදායම් උපදවන සුලු වත්කම් ප‍්‍රමානයක් පිටුපස හඹා යන බවට ආයෝජකයින් අතර නැගෙන කනස්සල්ලක්” පවතින බවට අනතුරු ඇඟවීය. “ප‍්‍රතිලාභයන්හි හා කූපන්වල අඛන්ඩ වැටීම හමුවේ වුව ද වෙලඳපොලට එන කුමක හෝ දෙයක ආයෝජනය කිරීමට වඩා තමන්ට වෙනත් තේරීමක් නැති බව ආයෝජකයින්ට දැනී ඇත” යනුවෙන් ද එය පැවසීය.

“පැහැදිලිවම පවතින ලාභ වත්කම් ස්වල්පය තුල හැම දෙයක්ම බුබුලකි.” යනුවෙන් මේ මාසයේ නිව් යෝර්ක් ටයිම්ස්/em> පත‍්‍රයේ වාර්තාවක් තුල අනතුරු අඟවා තිබුනි. මෙම අනතුරු ඇඟවීම්, ජාත්‍යන්තර සමත බැංකුව මතුකර තිබූ කනස්සල්ල ප‍්‍රතිරාවය කරයි. පසුගිය මාසය අවසානයේ බැංකුව මෙසේ නිගමනය කර තිබුනි. “ආර්ථිකයේ යටින් දිවෙන වර්ධනයන් හා වෙලඳපොලවල උද්දාමය අතර විසංන්ධියක් පැවතීම ගැන ගැටලු සහගත හැඟීමක් ඇතිවීම අමතක නොකල හැකිය.”

වඩාත්ම නියත අනතුරු ඇඟවීමක් කර තිබුනේ හිටපු මිචිගන් මහාචාර්යවරයෙක් හා දැනට ආයෝජන අරමුදල් කලමනාකරුවෙකු වන ජෝන් පී හස්මන්, “ඔව් මෙය යුක්තිසහගත බුබුලකි” යන ශීර්ෂයෙන් මේ සතියේ පලකොට තිබූ සටහනකිනි. ඔහු මෙසේ නිගමනය කරයි. “පටලවා නොගන්න, මෙය සාධාරන බුබුලකි, ඉතා වැඩි දියුනු එකකි. ඓතිහාසිකව ඉතා විශ්වාස කටයුතු මිනුම් වලට අනුව එය 1972 හා 1987න් ද 1929 හා 2007න් ද ඔබ්බට යන්නකි. එය දැන් 2000 ආන්තිකයෙන් සියයට 15 පමන තුල පිහිටයි. ෆෙඩරල් මහ බැංකුවට මෙම බුබුල බිඳවැටීම කල් පමාකල හැකිය, එහෙත් අවසන් ප‍්‍රතිපලය ඊටත් වඩා නරක තත්වයකට පත්කරමින් පමනි.”

ව්‍යාපාරික ලාභ හා කොටස් වටිනාකම් පිම්මේ ඉහල යද්දී, එජ ජනතාවගෙන් අති මහත් බහුතරයකගේ සමාජ තත්වය ඉමහත් ලෙස ඛාදනය වී ගොසින්ය. මෑත අධ්‍යයනයකට අනුව, එජ සාමාන්‍ය කුටුම්භයක උද්ධමනයට ගැලපූ ශුද්ධ අගය 2003 හා 2014 අතර කාලයේ සියයට 36න් ද මධ්‍යම තරමේ එජ කුටුම්භයක ආදායම 2007 හා 2012 අතර සියයට 8.3න් ද පහත වැටී තිබේ. ආහාර මුද්දර ලබාගන්නා ජන සංඛ්‍යාව 2008 වසරේ පටන් සියයට 70න් ඉහල ගොස් තිබේ.

ඇමරිකානු සමාජයේ දැවැන්ත සමාජ අවගමනය එක් සංඛ්‍යාලේඛනයකින් පමනක් වුව ද පෙන්වාදිය හැකිය. එජ ලමුන්ගෙන් හතරෙන් එක් අයෙක් නිල දරිද්‍රතා සීමාවට යටින් සිටින අතර පහකට එක් අයෙක් කුසගින්නෙන් සිටීමේ අවදානමට මුහුනපා ඇත.

2008 බිඳවැටීම සමස්ත ලෝක මූල්‍ය පද්ධතියම ඇද වැටීමේ අද්දරට පැමිනවූ අතර යලි ගොඩඒමක් නොදකින ගෝලීය පසුබෑමක් මුදා හැරියේය. බැංකුවලට නොමිලයේ මුදල් කරා ප‍්‍රවිෂ්ටයක් සලසමින්, වසර හයක් පමන දිගට පැවතීගෙන යන ශුන්‍යයක තරම් පහත පොලී අනුපාතයක්, ෆෙඩරල් මහ බැංකුව හඳුන්වා දුන්නේය. විවිධාංගික වත්කම් මිලට ගැනීමේ වැඩසටහන් තුලින් මහ බැංකුව සිය ශේෂ පත‍්‍රයේ ප‍්‍රමානය, 2008 වසරේ පටන් තුන්ගුනයකින් වැඩිකරගෙන තිබේ. කම්කරු පන්තියට එරෙහි පෙර නොවූ විරූ රුදුරු කප්පාදු පියවර සමග මෙම පිලිවෙත ජාත්‍යන්තරවම අනුකරනය කර ඇත.

මේ සෙල්ලම දිගටම ගෙනයා නොහැකිය. අවසානයේදී මූල්‍ය වත්කම් අගැයීම කඩාගෙන වැටෙනු ඇත. එවන් කඩාවැටීමක ප‍්‍රතිවිපාක 2008 මූල්‍ය අර්බුදයට වඩා නාටකාකාර වනු ඇත.

එජ පාලක පැලැන්තිය ඓතිහාසික අවෘත අන්තරයකට මුහුනපා සිටියි. එය එක් අර්බුදයකින් තවෙකකට ලුහුටා යයි. එය පෙට‍්‍රල් වක්කර ගින්නක් මැඩපැවැත්වීමට දරන උත්සාහයකට සමානය. එජ, අර්බුදය කෙරේ පිවිසෙන මෙම තත්කාර්යවාදී, අදූරදර්ශී හා පරපුටු ස්වභාවය, මූල්‍ය වංශාධිපතිත්වයේ මූලික රූපකායේ ප‍්‍රකාශනයයි. මේ වනාහි නිෂ්පාදන ක‍්‍රියාවලිය තුලින් නොව සමාජය කොල්ලකෑමෙන් සිය ධනය ගොඩගසාගෙන සිටින සමාජ ස්ථරයකි. එනම්, විශ‍්‍රාමික අරමුදල් ගසා කෑම, වැටුප් කැපීම කාර්මික සංකීර්න වසාදැමීම හා කම්කරුවන් දොට්ට දැමීමෙනි.

දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ නියෝජිතයින් ලෝකය මුලුල්ලේ ගැටුම් අවුලුවන තතු හමුවේ, ඇමරිකානු ධනවාදයේ මෙම අභ්‍යන්තර සමාජආර්ථික අර්බුදය, පෙර නොවූ විරූ අදූරදර්ශී පිලිවෙත් අනුයන එජ විදෙස් ප‍්‍රතිපත්තියේ වැදගත් සාධකයක් බවට පත්ව තිබේ.

රට තුල ආර්ථික හා දේශපාලන ව්‍යසනයකට මුහුන දෙමින් එජ පාලක පැලැන්තිය, දේශීයව පවතින සමාජ කෝපය, විදේශයන්හි මැදිහත්වීම් හා යුද්ධ තුලට හරවා , ගෝලීය ආර්ථිකය තුල සිය තත්වය නංවා ගැනීමට මංමුලා සහගත ලෙස යුද්ධයේ මාධ්‍යයන් උපයෝගී කර ගැනීමට උත්සාහ කරයි. ආර්ථීක අර්බුදයේ සෑම අදියරක් සමගම අත්වැල් බැඳගෙන, අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වයේ වඩාත් දැඩි ප‍්‍රකම්පන ගමන් ගනියි.

දැඩි අර්ථයෙන් ගත් කල්හි ඇමරිකානු පාලක පන්තියේ ප‍්‍රතිපත්තිය උමතුසහගතය. කෙසේ වෙතත් එය, සමාජීයව කොන්දේසි ගතකරන ලද උමතුවකි. එය වනාහි, විප්ලවය ආසන්නයේ, ආර්ථික පද්ධතියක හා සමාජ පර්යායක බංකොලොත්කම ප‍්‍රකාශයට පත්කරන උමතුවකි.

ඇන්ඩි‍්‍ර ඩැමොන්

Share this article: