ඩව් ජෝන්ස් ඒකක 17000: ව්‍යසනයක් කරා නැඟීම

The 17,000 Dow: Surging towards a disaster

2014 ජූලි 07

පසුගිය සතියේදී වෝල් විදියේ ඩව් ජෝන්ස් කාර්මික දර්ශකයේ සාමාන්‍යය, ඒකක 17000ක පෙර නොවූ විරූ මුදුනකට නැඟීම, ඇමරිකානු හා ගෝලීය මූල්‍ය ක්‍රමය තුල ගොඩනැ‍ඟෙමින් ඇති පුපුරන සුලු ප්‍රතිවිරෝධයන් පිලිබඳ ඇඟවුමකි.

2008 සැප්තැම්බරයේ මූල්‍ය කඩාවැටීමෙන් පසුව, 2009 මාර්තු 09දා ඒකක 6547ක පහත් මට්ටමකට ඇද වැටුනු දර්ශකය, යන්තම් වසර පහක් තුල ඒකක 10000න් හෙවත් සියයට 250ක් ඉහල නැඟ තිබේ.

ඒ අතරතුර, 2007 දෙසැම්බරයේ සිට 2009 ජූනි දක්වා පැවති නිල පසුබෑමෙන් ඉක්බිතිව එක්සත් ජනපදයේ දල දේශීය නිෂ්පාදිතය, දෙවන ලෝක යුද්ධයෙන් පසුව සැසඳිය හැකි නරකම “ප්‍රකෘතිය” අත්විඳිමින් මේ වසරේ පලමු කාර්තුවේදී සියයට 3ක් තරම් පහත වැටුනු නිමැවුමෙන් සලකුනු කෙරුනි. සංගත, නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රසාරනය කරනවාට වඩා මුදල් ගොඩගසා ගැනීමත්, එම මුදල් කොටස් යලි මිලට ගැනීමට ද ඒකාබද්ධ වීම, අත්පත්කර ගැනීම් හා අවශ්‍යයෙන්ම පරපුටු ස්වභාවයක් ගන්නා අනෙකුත් මූල්‍ය මෙහෙයුම් සඳහා යොදාගැනීම හමුවේ, සමස්ත ආර්ථිකයේ ආයෝජන එකතැන පල්වෙයි.

ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ තත්වය ඊට වඩා හොඳක් නොපෙන්වන අතර සමහර තත්වයන්හිදී ඊටත් වඩා නරක අතට හැරී තිබේ. දියුනු රටවල ආර්ථිකයන්හි විශාල පදාස එක්කෝ එකතැන පල්වීම ‍නැතිනම් සහමුලින්ම පසුබෑමකට මුහුනපා සිටියි. යුරෝ කලාපයේ නිමැවුම 2007 මට්ටම් කරා තවමත් ලඟාවී නැත.

ලෝකයේ මහ බැංකුවල සම්මේලනය ලෙස සැලකෙන ජාත්‍යන්තර සමත බැංකුවේ (ජාසබැ) ගනන් හිලව් වලට අනුව ප්‍රමුඛ ආර්ථිකයන්හි නිමැවුම, 2008 පූර්ව ප්‍රවනතා දිගටම පැවතියේ නම් තිබිය යුතු මට්ටමට වඩා සියයට 8ක් පහතින් පවතියි.

වරෙක ලෝක ආර්ථිකයේ ගැලවුම්කරුවන් ලෙස හුවා දක්වන ලද ඊනියා “නැඟී එන වෙලඳපොලවල්,” දියුනු ආර්ථිකයන්හි පොලී අනුපාතයන්ගේ කුමන හෝ වැඩිවීමක් කෙරෙහි අතිශයින්ම සංවේදී “ඌෂ්න මුදල්” (“hot money”) වල ප්‍රධාන ආපසු හැරීමක් පිලිබඳ භීතිය හමුවේ මූල්‍ය වෙලඳපොලවල තත්වය, තවත් ගෝලීය මූල්‍ය බිඳවැටීමකට තුඩුදෙනු ඇති බවට එන්ට එන්ටම වැඩිවන කනස්සල්ලට හේතුවී ඇත.

තවමත් සියයට 7.5ක පමන වර්ධන අනුපාතයක් පවත්වාගෙන යන චීනය, 2008න් පසුව ඇතිව තිබෙන දැවැන්ත නය ප්‍රසාරනය මගින් නිර්මානය කල මූල්‍ය බුබුල පුපුරා යාමකට බෙහෙවින්ම නිරාවරනය වන බව පුලුල් පිලිගැනීම වී තිබේ. පසුගිය සය වසර තුල නය ප්‍රසාරනය වීම, එජ සමස්ත බැංකු පද්ධතියේ මූල්‍ය අගයට සමාන වටිනාකමක් ගන්නා බවට ගනන් බලා තිබේ.

නරක අතට හැරෙමින් ඇති තත්වය තුල වුවත් තවමත්, එජ හා ගෝලීය කොටස් වෙලඳපොලවල්, ප්‍රධාන මහ බැංකු මගින් එන්නත් කරන ලාභ මුදල් මගින් දහනය කර ඉහල නංවනු ලැබේ.

මෙම ක්‍රියාවලිය අනියත කාලයකට පවත්වාගත නොහේ. ආශ්චර්යකින් මෙන් මුදල් තෙමේම තවත් මුදල් සම්භාරයක් බවට පරිවර්තනය වන බව පෙනී යද්දී, නිමක් නැතිව සිදුවන ධන සමුච්ඡයකරනය, නිසැකවම තිරසාර නැත. දැවැන්ත මූල්‍ය ධනසම්භාරයක්, හැකිලෙන සමස්ත ආර්ථික පදනමක් මත පිහිටා ඇති උඩු යටිකුරු කල පිරමිඩයකට සමාන ආකාරයෙන් සමස්ත මූල්‍ය පද්ධතිය පිහිටා ඇති අතර එය, සුලු කඩාකප්පල් වීමකින් මුලුමහත් පද්ධතියම අතිශය අස්ථාවර තත්වයකට පත් කරයි.

මෙම හැකියාව වැඩිවෙද්දී, මහ බැංකුවල ප්‍රතිපත්ති සේවය කරන්නේ මූල්‍ය ව්‍යසනය වැලැක්වීමට නොව, අනිවාර්යයෙන්ම එවැන්නකට තුඩුදෙන්නාවූ කොන්දේසිම තීව්ර කිරීමටය.

පසුගිය සතියේ සිදුවීම් බෙහෙවින්ම හෙලිදරව්කාරීය. සමස්ත ලෝක ආර්ථිකය, රැකියාවන්, සමාජ කොන්දේසි හා බිලියන ගනනක් වැඩකරන ජනතාවගේ ජීවනෝපායන්, තුනී මූල්‍ය වංශාධිපතියන් තීරුවකගේ අනසකට යටත්ව ඇති තරම පෙන්නුම් කරයි.

සතිය ආරම්භ වුනේ, වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති 2008 සැප්තැම්බරයක් යලි ඇතිවීමේ කොන්දේසි නිර්මානය කරනු ඇති බවට කෙරුනු ජාසබැ අනතුරු ඇඟවීමක් ද සමගය. පරිමාවෙන් එවැන්නක් ඊටත් වඩා විශාල විය හැකිය. එහෙත් මෙය, අතිශයින්ම ලාභ මුදල් සම්පාදනය අවසන් කිරීම මගින් සමපේක්ෂනය නතර කිරීමේ කුමන හෝ උත්සාහයක්, ආර්ථික බිඳවැටීමකට තුඩු දිය හැකි යයි අවධාරනය කරමින් වහාම පසුබැස්සවීය. විනාශයකට යොමුවී තිබෙනවාය යන කාරනය නොසලකා වත්මන් පිලිවෙත් දිගටම ගෙනයනු ඇත.

පෙබරවාරියේදී තනතුර බාරගැනීමෙන් පසුව එජ ෆෙඩරල් මහ බැංකු අධිපති ජැනට් යෙලන් කල වැදගත්ම ප්‍රසිද්ධ ප්‍රකාශය තුල පසුගිය 02දා, මූල්‍ය වෙලඳපොලවලට නිමක් නැතිව මුදල් සම්පාදනය කිරීමේ වත්මන් පිලිවෙත අනියත අනාගත කාලයකට ක්‍රියාත්මක වන බව අවධාරනය කලාය.

විරැකියාව වැඩිවීමට තුඩු දෙමින්, ආර්ථිකයට දැරිය නොහැකි අලාභ හානි සිදුකරනු ඇතැයි යන පදනම මත, 2008 බිඳවැටීමට මුල්වූ පරපුටු හා අමුලික සාපරාධී පිලිවෙත් වැනි දේ හා අන්තරායකාරී වත්කම් බුබුලු හටගැනීම වලක්වන, මූල්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් ඇති කිරීම ඇය බැහැර කලාය. මූල්‍ය පද්ධතිය පාලනය කිරීමට “සාර්වඥානාන්විත නියාමනය” (“Macroprudential regulation”) යොදාගනු ඇති බව ඇය අවධාරනය කලාය.

කෙසේ වුව ද එවන් ඕනෑම නියාමනයක් අවසානයේදී රඳා පවතිනුයේ බලගැන්වීමේ ක්‍රියාපටිපාටිය මතය. සියල්ලටත් වඩා, සාපරාධී කටයුතුවල නියුතුවූ බවට, එජ සෙනේට් සභාවේ ස්ථාවර උප කමිටුවක 2011 වාර්තාවෙන් පෙන්වා දුන් විශාලතම මූල්‍ය හා ආයෝජන සමාගම්වලට එරෙහිවය. කෙසේ වෙතත්, නීතිපති එරික් හෝල්ඩර් 2013 මාර්තුවේදී, විශාල ආයතන වලට එරෙහිව චෝදනා ඉදිරිපත් කලහොත්, එමගින් “ජාතික ආර්ථිකයට හා සමහරවිට ලෝක ආර්ථිකයටම රිනාත්මක බලපෑමක් ඇතිකල” හැකි බව පවසමින් චෝදනා ගොනුකිරීම නිෂ්ප්‍රභා කලේය.

වෙනත් වචන වලින් කිවහොත්, එජ මූල්‍ය හා අධිකරන බලධාරීන්, බැංකුවලට හා මූල්‍ය සමාගම් වලට නයගැතිය.

නියාමකයින්ගේ සෝදිසි කිරීම් වලින් පිටස්තර ඡායා බැංකු ක්‍රමයක්, එනම්, “සමාන්තර විශ්වයක්” (“parallel universe”) නිර්මානය කිරීමට බැංකුවලට හැකියාවක් ඇද්දැයි විමසූ කල යෙලන්, එම ප්‍රශ්නයට දියහැකි “නියම පිලිතුරක්” තමා සතුව නැති බව පිලිගත්තාය. එහෙත් ‍බංකොලොත් කමේ මෙම පිලිගැනීම, ඇගේ ප්‍රකාශ අනුමත කිරීමෙන් අනෙකුන් වැලැක්වූයේ නැත.

මෑතකදී පොලී අනුපාත ශුන්‍යයට හා ඉනුත් පහලට දැමූ, යුරෝපීය මහ බැංකු සභාපති මාරියෝ ඩ්‍රාගි සිය ඇමරිකානු සහචරයාගේ ආස්ථානයට පිටුබලය දුන්නේය. “සාර්වඥානාන්විත” පියවර වනාහි හුදෙක් මූල්‍ය ප්‍රතිපත්ති පමනක් නොව, “මූල්‍ය ස්ථාවරත්වයේ අවදානමට එරෙහි පලමු ආරක්ෂක වැට ද විය යුතු” යයි ඔහු අවධාරනය කලේය.

අනෙකුත් අය ද වහාම සිය හඬ අවදි කලහ. එංගලන්ත මහ බැංකු නියෝජ්‍ය අධිපති ජෝන් කියුන්ලිෆ්, වත්කම් අගය සීමා කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම, ආර්ථිකයට හානි පැමිනවීමේ අවදානම මතුකරන බැවින් එය දැකගත යුත්තේ “අවසාන ආරක්ෂක වැට ලෙස” බව පැවසීය.

පාලක මන්ඬලය තුල පැවති ගැටුමකින් පසුව රිස්බෑන්ක් යන ස්වීඩන් මහ බැංකුව, ක්‍රියාව වචන වලට වඩා හඬින් වැඩි විය යුතු බවත් එය යෙදෙන්නේ, ඉහල යන කුටුම්භ නය හා නිවාස වෙලඳපොලවල් කලමනාකරනය වැනි “අනෙකුත් ප්‍රතිපත්ති ක්ෂේත්‍රයන්ට” බව පවසමින් පොලී අනුපාතය ඒකක 50න් කපා හැරියේය.

“සාර්වඥානාන්විත” ප්‍රතිපත්ති, මූල්‍ය ස්ථාවරත්වයේ කුමන හෝ අවදානමක් පිලිබඳව කටයුතු කිරීම මුල්කරගෙන, ෆෙඩරල් මහ බැංකුව, යුමබැ හා රිස්බෑන්ක් විසින් නිකුත්කර ඇති පනිවිඩය, මූල්‍ය පිලිවෙත ලිහිල්ව තිබිය යුතු බව යයි කියා සිටිමින් ධනයේ වාසි දිගටම හිමිකර ගැනීමේ ඉඩ ප්‍රස්ථා පිලිබඳව ඇමරිකානු බැංකුවේ මූලෝපායඥයින් ප්‍රමෝදයට පත් විය.

දැනටමත් සුපිරි ධනවතුන් බවට පත්ව ඇති අයගේ ධනය තව තවත් වැඩිකරන පරිදි මූල්‍ය පරපුටුකම නිල ප්‍රතිපත්තිය ලෙස සිංහාසනාරූඪ කරන අතර තුර කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර උත්සන්න කෙරේ.

කප්පාදු පියවරයන්ගේ අවශ්‍යතාවය සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියාවේ භාන්ඬාගාරික ජෝ හොකී පැවසුවේ, ලෝකය “මුදල් ප්‍රවාහයේ ගසා‍ගෙන යද්දී” ආන්ඩුවට මුදල් නැති බවයි. මෙම සංසිද්ධිය එකම කාසියේ දෙපැත්තයි. ජීවන තත්වයන් පහතට ඇද දැමීම හා සමූහ දුප්පත්කම වගා කිරීම පාදකවී ඇත්තේ, අවසාන විග්‍රහයේදී මූල්‍ය වත්කම් වලට වටිනාකම් එකතුකල හැකි එකම මඟ, එය කම්කරු පන්තියෙන් උපුටා ගැනීම පමනක්ය යන වැටහීම මතය.

“සාර්වඥානාන්විත” නියාමනයට ව්‍යසනයක් වැලැක්විය හැකිය යන අදහස කුරිරු විජ්ජාවකි. එවන් නියාමනයන් වර්ධනය කිරීමත් සමගම මූල්‍ය වෙලඳපොලවල් ඒවා මගහැර යාමේ ක්‍රම සොයාගන්නේය යන කාරනයට අමතරව, නියාමකයින්ම පිලිබඳ ප්‍රශ්නය ද පවතී. ගෝලීය මූල්‍ය පද්ධතියේ හදවත වන එජ දී ඔවුන් සෘජුවම බඳවා ගැනෙන්නේ, ක්‍රියාත්මක කරන රෙගුලාසි මඟහැරීමේ අරමුනෙන් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන බැංකු ‍හා මූල්‍ය ආයතන හෝ නීති ආයතන වෙතින්ය. සංගත මූල්‍ය ක්ෂේත්‍රය තුලින් මිලියන ගනනක් උපයා ගැනීමේ අරමුනෙන් ඔවුන් එම ක්ෂේත්‍රයට පිවිසෙන විට හුදෙක්ම සිය “වෙලඳපොල අගය” වැඩිකර ගැනීම සඳහා මාධ්‍යයක් ලෙස “රාජ්‍ය සේවය” ඔවුන්ට ආධාරකයක් වෙයි.

ඉහල තනතුරු කරා නැඟී යද්දී ඔවුන් සිය රැකියා කාලය දැක ගන්නේ, “සමාන්තර විශ්වය” කරා යන එලිපත්ත ලෙසය. නියාමනය පිලිබඳව සැබවින්ම විශ්වාසය තබන යමෙක් අහම්බෙන් මෙන් එතැනට නැඟ ගත්ත ද ඔවුන් ලිංගික නිරාවරනය වීම හෝ වෙනත් වර්ගයක සෝලි තුල පහසුවෙන්ම ගිලී යා හැකිය.

අනෙක් තැන්වල ද තත්වය එයමය. ගෝල්ඩ්මන් සැක්ස්හි හිටපු ජාත්‍යන්තර උප සභාපති මාරියෝ ඩ්‍රාගී, යුමබැ ප්‍රධානියා ලෙස පත්වීම පිලිබඳ කාරනය ඉස්මතු කරන්නේ එයයි.

යමෙක් තෝරාගන්නා මග කුමක් වුවත්, වත්මන් ආර්ථික හා මූල්‍ය පද්ධතියේ පෙරලීම් හා හැරීම් හමුවේ, එය මුලුමනින්ම අත්පත්කරගෙන පොදු අයිතියට පත්කිරීමෙන් හා සමාජවාදී ක්‍රියාමාර්ගයක් දියත් කිරීමෙන් තොරව විනාශය නතර කල හැකි අන් මගක් නැත.

නික් බීම්ස්

Share this article: