ඊස්රායල් සමාජයේ විසකුරු අර්බුදය

The toxic crisis of Israeli society

2014 ජූලි 12

ගාසාවේ ඊස්රායල් බෝම්බ හෙලීමෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා යද්දී, පසුගිය සතියේ ජාතිකවාදී ඊස්රායල් යුදෙව්වන් විසින් නැගෙනහිර ජෙරුසලමේදී 16 හැවිරිදි මොහමඞ් අබු කෙඩියර් පැහැරගෙන ගොස් ඔහුගේ උගුරෙන් පහලට පැට්ට‍්‍රල් වක්කර ගිනිතැබූ බව වාර්තා විය.

ගාසා තීරුවෙහි අනාරක්ෂිත ජනතාවට එරෙහිව ඊස්රායල් ආන්ඩුව සිදුකරන ප‍්‍රචන්ඩ ක‍්‍රියා හා එවන් බිහිසුනු අපරාධ සිදුකල හැකි, ඊස්රායලය තුල ක‍්‍රියාත්මක වන ෆැසිස්ට්වාදී කොටස්වල මතුවීම අතර සමීප බැඳීමක් තිබේ.

එවන් සිදුවීම්, ඊස්රායලය තුලම පවත්නා දැවැන්ත සමාජ හා දේශපාලන අර්බුදයක පෙරනිමිති වන්නේය. නිමක් නැතිව පැතිර යන පලස්තීනුවන්ට එරෙහි මර්දනය, අතිශයින්ම ප‍්‍රතිගාමී බලවේග ඒකරාශි කිරීමක් ඉල්ලා සිටියි. ඊස්රායල් සමාජය බෙහෙවින් ද්‍රවාන්තගතවී ඇත. ඊස්රායල් සමාජයේ පුලූල් කොටස්, සදාචාරාත්මකව යුක්තිසහගත කල නොහැකි හා දේශපාලනිකව බංකොලොත්, පලස්තීනුවන්ට එරෙහි නිමක් නැති මර්දනයට විරුද්ධ නමුත් ඔවුන්ට ඊස්රායලයේ ප‍්‍රතිගාමී දේශපාලන සංස්ථාපිතය තුලින් කිසිදු නියෝජනයක් ලබාගත නොහැකිය. සෑම වසරකම දහස් ගනන් ඊස්රායල් වැසියෝ ඡන්දයට පයින් ගසා රට හැර යති.

ගාසාවට එල්ල කරන බෝම්බ ප‍්‍රහාරය, පලස්තීන ජනතාවට එරෙහි වසර 66ක් පැරනි ඉතිහාසයේ අලුත්ම පරිච්ඡෙදය යි. ඊස්රායලය පිහිටවූයේ, පලස්තීන භූමි ප‍්‍රදේශ අත්පත්කරගෙන එහි වැසියන් පලවා හැරීමෙනි. දෙවන ලෝක යුද්ධ සමයේ ෆැසිස්ට්වාදී යුරෝපය තුල ඔවුන්ට එරෙහිව සිදුකරන ලද බිහිසුනු අපරාධ වලින් බේරීමට බොහෝ යුදෙව් ජනයා ඊස්රායලයට පැමිනි අතර සියොන්වාදී ව්‍යාපෘතියේ ඛේදජනක ප‍්‍රතිපලය, නාසීන් විසින් යොදාගත් බොහෝ ක‍්‍රමෝපායන් පලස්තීනුවන්ට එරෙහි අපරාධ සඳහා ද පාවිච්චි කරන රාජ්‍යයකි.

බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම, ගාසා තීරුව, සිරියාවේ ගෝලාන් කඳුකරය හා තවත් අරාබි භූමි භාගයන්හි පාලනය අත්කරගත් 1967 ජූනියේ සය දින යුද්ධයේ පටන් සියවස් භාගයක් පමන ගතවී තිබේ. මෙම යුද්ධය මගින් මුදාහල යුද්ධය, වාඩිලෑම හා මර්දනයේ තොරක් නැති චක‍්‍රයක් සමගින් සියොන්වාදී පාලනය සංලක්ෂිතය. දස දහස් ගනන් පලස්තීනුවන් මරා දැමුනි. ඊස්රායලය විසින් මිලියන ගනනක් පලස්තීනුවන් ස්ථිර සරනාගත තත්වයේ තබා පරම්පරා ගනනක ජනතාව දුප්පත්කමට හා මර්දනයට යටත්කොට ඇත.

මෙම ඉතිහාසය, කලාපයෙහි යුදෙව් හා අරාබි දෙකොට්ඨාශයේම ජනතාවට බිහිසුනු ප‍්‍රතිවිපාක අත්කරදී තිබේ.

මැද පෙරදිග එකම “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” රට එය බවට ඊස්රායල් නායකයෝ කයිවාරු ගසති. මෙය මුසාවකි. එය වනාහි, මිලිටරීකරනයට ලක්කර ඇති මුරපොලවල් හා වාඩිලාගත් භූමි ප‍්‍රදේශ හරහා දිවෙන තාප්ප වලින් මිලියන ගනනක් පලස්තීනුවන් මර්දනය කරන හා, ප‍්‍රකෝටිපති කතිපයාධිකාරීන් අතලොස්සක් හා ඔවුන්ගේ හෙංචයියන් විසින් සාමාන්‍ය ජන ජීවිතය අරක්ගත් රටකි.

ඊස්රායලය ලෝකයේ ඇති වඩාත්ම අසමානවූ සමාජයක් සහිත රටකි. 1995 හා 2011 අතර කාලයේ, ඊස්රායලයේ ජාතික ආදායමේ ශ‍්‍රම පංගුව එක්සත් ජනපදයට වඩා තියුනු ලෙස පහත වැටී ඇත. පසුගිය දශක දෙක තුල ඊස්රායලයේ වැටුප් බරපතල ලෙස පහත වැටී ඇත. මිලියන 7.9ක ජනගහනයක් සහිත එරටෙහි, එක්සත් ජනපදයට වඩා ඒක ජන ප‍්‍රකෝටිපතියන් සංඛ්‍යාව සැලකියයුතු ලෙස ඉහලය. 18 දෙනෙකි. දුප්පත්කම වැඞී ගිය අතර පොහොසත්ම ඊස්රායල්වරු 500 දෙනා පසුගිය 12 වසර තුල සිය ධනය තුන්ගුනයකින් වැඩිකරගෙන ඇත.

පාලක පැලැන්තිය, ඊස්රායලයේ අභ්‍යන්තර සමාජය තුල පවතින ඉමහත් සමාජ ආතතිය පිටතට, එනම් අරාබි ජනතාවට එරෙහි මර්දනය හා යුද්ධය වෙත, හරවා යැවීමට උත්සාහ කරති.

ඊජිප්තු විප්ලවය පුපුරා යාමෙන් මාස කිහිපයකට පසුව 2011 ග‍්‍රීෂ්මයේදී, දුප්පත්කමට, අසමානතාවයට හා අධ්‍යාපනය, නිවාස හා සෞඛ්‍ය පහසුකම් කපා හැරීමට එරෙහිව විරෝධතාකරුවන් ලක්ෂ ගනනක් ඒකරාශී වූ මහජන පෙලපාලි ඊස්රායලය තුල හටගත්තේය. තෙමසක් ඇතුලත ආන්ඩුව, ගාසාවට එරෙහිව දින අටක් පුරා ගෙන ගිය යුද්ධයක් දියත් කල අතර 100ට වැඩි පලස්තීනුවන් එහිදී මිය ගියේය.

ඊස්රායල් පාලක පන්තිය ඉදිරිපත් කරන්නේ කුමන අනාගතයක් ද? නව හා වඩාත් ම්ලේච්ඡ යුද්ධ පමනි. අරාබි ජනතාවගේ ප‍්‍රතිරෝධය බිඳීම සඳහා දරන ප‍්‍රචන්ඩ උත්සාහයේදී ඊස්රායලය, සැබවින්ම සමූල ඝාතන ස්වරූපයක් ගත් මාවතකට පිවිසී ඇත. එහි ප‍්‍රතිවිපාක අරාබි හා යුදෙව් දෙකොටසේම ජනතාවට විනාශකාරී වන්නේය.

වැඩකරන ජනතාව එවැන්නක් ඇතිවීම වැලැක්විය යුතුය. යුදෙව් කම්කරු පන්තියට ඇති එකම මාවත, සියොන් ජාතිකවාදයෙන් බිඳී වෙන්වීමයි. සියොන්වාදී සංස්ථාපිතයේ නා නාවිධ දක්ෂිනාංශික පක්ෂ තුලින් ඊස්රායල් කම්කරුවන් හා තරුනයන්ගේ සමාජ අභිලාශයන් සපුරා ගැනීමේ මාවතක් සොයාගත නොහැකිය. එසේම ඔවුන්ට සියොන්වාදී හා ජාතිකවාදී ආකෘතියට ගැටගැසුනු බෙහෙවින්ම අභාවයට පත්ව ඇති “සාම” ව්‍යාපාර තුලින් ද එවැන්නක් සොයාගත නොහැකිය.

පලස්තීන කම්කරුවන් හා පීඩිත ජනතාව බිහිසුනු මර්දනයක ගොදුරු බවට පත්ව සිටිති. එසේම ඔවුහු බංකොලොත් දේශපාලන ඉදිරිදර්ශනයක ද ගොදුරු වෙති. වසර 47ට පෙර පලස්තීන ව්‍යාපාරය නැගී ආ කල අරාබි ධනේශ්වරය කියා සිටියේ, එය අධිරාජ්‍යවාදයට එරෙහිව එක්සත් ජාතික ව්‍යාපාරයක් නියෝජනය කරන බවකි. ගතවූ දශක ගනනාව තුල එම ප‍්‍රකාශ අමූලික මුසාවාද බව හෙලිදරව් කෙරී ඇත.

විවිධ ධනපති ආන්ඩු විසින් පලස්තීන ජනතාව යලි යලිත් පාවාදී තිබේ. පලස්තීන විමුක්ති ව්‍යාපාරයේ ම විවිධ කන්ඩායම්වල හා ඒවායේ ප‍්‍රතිවාදී ඉස්ලාමීය සංවිධාන වල නායකයින් සියල්ලෝ ම අධිරාජ්‍යවාදයට ගැටගැසී සිටිති. ගාසාහි පලස්තීන ජනතාව යලි වතාවක් හුදෙකලා වීම පෙන්නුම් කරන්නේ, ජාතික ඉදිරිදර්ශනයේ බංකොලොත් කමයි. ගාසාහි හමාස් සංවිධානයේ නායකත්වයෙන් යුත් ආන්ඩුව සහයෝගය තකා යොමු වන්නේ, පලස්තීනුවන් මර්දනය කිරීමේ ඊස්රායල් ව්‍යාපාරයට බැඳුනු අරාබි ධනපති ආන්ඩු වෙතය. එජ හවුල්කරුවෙකු වන, කුමන්ත‍්‍රන නායක ජෙනරාල් අබ්දෙල් සිසි විසින් නායකත්වය දෙන වත්මන් ඊජිප්තු පාලන තන්ත‍්‍රය, පලස්තීනුවන් ඊස්රායල් බෝම්බ වරුසාවට හිරකොට තබා ගාසා දේශසීමාව වසා දැමීය.

ඒ සමග ම, නිරායුධ හා අභ්‍යන්තරිකව එකිනෙකින් වෙන්වූ පලස්තීන රාජ්‍ය කැබැල්ලක් පසෙකින් සියොන්වාදී රාජ්‍යයක් පවතින ඊනියා “රාජ්‍ය දෙකක” ප‍්‍රතිපත්තිය සලකුනු කරන ජාතිකවාදී ඉදිරිදර්ශනයේ බංකොලොත්කම ද සනාථ කෙරී ඇත.

භාතෘ හාරක හා විනාශකාරී එජ ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිපලයක් වශයෙන් කලාපීය පරිමානයේ යුද්ධයක් තුලට මුලු මැද පෙරදිගම ඇද වැටීමේ තර්ජනය හමුවේ කම්කරු පන්තිය හා පීඩිත ජනතාවට නව දේශපාලන ඉදිරිදර්ශනයක අවශ්‍යතාවය ක්ෂනිකව ම මතු කරයි.

පලස්තීනුවන්ගේ සැබෑ මිතුරන් වන්නේ, ලෝකයේ කම්කරුවන්ය. ඊට එජ මෙන්ම ඊස්රායලයේ ද කම්කරුවන් ඇතුලත්ය. ලෝකයේ සෑම අස්සක මුල්ලකම කම්කරුවෝ, වැඩෙන සමාජ අසමානතාවය පසෙකින් සිය ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කෙරෙන දැවැන්ත ප‍්‍රහාරයකට මුහුනපා සිටිති. නව න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනය එල්ල කරන, යුරෝපයේදී රුසියාවට විරුද්ධවත්, ආසියාවේදී චීනයට විරුද්ධවත්, මැද පෙරදිගදී සිරියාවට හා ඉරානයට විරුද්ධවත් ප‍්‍රධාන බලවතුන් ගෙන යන යුදවාදයට හා මිලිටරිවාදයට ඔවුන් ගැඹුරෙන්ම සතුරුය.

එකම ප‍්‍රගතිශීලී විසඳුම නම්, සමාජවාදය සඳහා සටන මත පදනම්වූ, අධිරාජ්‍යවාදයට, සියොන්වාදයට හා අරාබි ධනේශ්වරයට එරෙහිව කලාපයේම කම්කරුවන්ගේ ඒකාබද්ධ පන්ති අරගලය මත පදනම්වූ විසඳුමක් පමනි. සියොන්වාදී ධනපති ඊස්රායලය වෙනුවට, මැද පෙරදිග එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමානතා පදනමක් මත සියලු ජනතාව එක්සත් කරන කම්කරු රාජ්‍යයක් පිහිටුවිය යුතුය.

සමාජවාදී ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක් සඳහා ද අරාබි හා යුදෙව් කම්කරු පන්තියේ එක්සත්කම සඳහා ද ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි පොදු අරගලයකට ද කැපවූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ලෙස නව දේශපාලන පක්ෂ ගොඩනැගීම මත අනාගතය රැඳී ඇත.

බැරී ගේ‍්‍ර

Share this article: