ලිබියානු ව්‍යසනය

The Libyan catastrophe

2014 ජූලි 29

එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කාර්යමන්ඬලය, ලිබියාවේ ට්‍රිපොලි නුවර සිට බය බිරාන්තයට පත්ව අසල්වැසි ටියුනිසියාව කරා ඉවත්කර ගැනීම, තෙවසරකට පෙර එරටට එරෙහිව මුදාහල එජ-නේටෝ විනාශයේ කුලුගැන්විමයි.

එකිනෙකාට සතුරු මිලිෂියාවන් අතර ලිබියානු අගනුවර සිදුවන ගැටුම් කෙතරම් උත්සන්නවී ද යත් අසල පිහිටි ට්‍රිපොලි ගුවන්තොටුපලේ සිට එජ නිලධාරීන් ඉවත් කරගත නොහැකි විය. ඒ වෙනුවට තානාපති නිලධාරීන් හා ඔවුන්ගේ දැඩිලෙස සන්නද්ධ ආරක්ෂකයින් ගොඩබිමෙන් පලා ගියේ බස්, කැරවෑන් හා ආධාරක වාහන වලිනි. ඩ්‍රෝන් යානා හා ප්‍රහාරක ජෙට් යානා ඉහලින් පියාසර කල අතර ඩිස්ට්‍රෝයර් ප්‍රහාරක නෞකාවක් වෙරලාසන්නයේ රඳවා තැබුනේ ඔවුන්ගේ මඟ අවහිර කරන ඕනෑම කෙනෙක් පුපුරවා හැරීමේ සූදානමෙනි.

මෙකී මිලිෂියාවන්ම සන්නද්ධ කරනු ලැබුවේ, වොෂින්ටනය හා ඔවුන්ගේ අධිරාජ්‍යවාදී සහචරයෝ, කර්නල් මුවම්මර් ගඩාෆි පෙරලා, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ගෙනගිය යුද්ධයේ කොටසක් ලෙස 2011දීය. කැබලි වලට පුපුරා, පැතිර යන සිවිල් යුද්ධයකින් ඇලලී ගොස් තිබෙන ලිබියාව නමැති රට හා බිඳවැටීමේ තත්වයකට මුහුනපා තිබෙන එහි හදවත වන තෙල් කර්මාන්තය අතහැර ඔවුහු පලා ගියහ.

එවකදී ලෝසවෙඅ අනතුරු ඇඟවූ පරිදි යුද්ධය, අනාරක්ෂිත පැරනි යටත් විජිතයක් කොල්ලකෑමකි. එජ, බ්‍රිතාන්‍ය, ප්‍රන්ස හා ඔවුන්ගේ මැදපෙරදිග සහචරයින් ලිබියාවට බෝම්බ හෙලීමත්, අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය මිලිෂියාවන්, ගෝත්‍රික බලවේග හා ගඩාෆි තන්ත්‍රයේ සිට පිල් මාරු කල කොටස් සන්නද්ධ කිරීමත් හමුවේ දස දහස් ගනනක් ලිබියානුවන් මරුමුවට පත්විය.

“එජ කුලී හමුදා විසින් සුන්බුන් බවට පත්ව තිබූ තමන්ගේ උපන් ගම වන සර්ටි ප්‍රදේශයේදී ගඩාෆි අල්ලාගෙන වධ දී මරා දැමීමෙන් පසුව සීබීඑස් ප්‍රවෘති සේවයේ පෙනීසිටි එජ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සිනාසෙමින් පාරම් බෑවේ, “ඔහු මියගිය බව අපි දැක්කෙමු” යනුවෙනි.

ලිබියාවට පෙර ඇෆ්ගනිස්ථානයේදී හා ඉරාකයේදී මෙන්ම අධිරාජ්‍යවාදී ආක්‍රමනයේ මුල් වටයේම මුදා හැරියේ බිහිසුනු ඝාතනය හා විනාශයයි. තව තවත් විනාශයයි. එකිනෙකා සමග කුලල්කාගන්නා ඉස්ලාමීය හා ගෝත්‍රික මිලිෂියාවන් විසින් පාලනය කරන විනාශයට පත් රටේ මුදුනෙහි බටහිර ගැති රූකඩ පාලනයක් ඇටවීමේ උත්සාහය නින්දිත ලෙසින් අසාර්ථක විය. ට්‍රිපොලියේ එජ තානාපති සේවය දැන් තුච්ඡ ලෙස පලා යාමට පෙරාතුව, එජ පිටුබලය දුන් අගමැති අලි සේඩන්ට එරෙහි කුමන්ත්‍රනයෙන් පසුව මාර්තුවේදී ඔහුට රට හැර පලායාමට සිදුවූ අතර 2012දී බෙන්ගාසිහි ඉස්ලාමිය මිලිෂියාවරු, එජ තානාපති ක්‍රිස්ටෝපර් ස්ටීවන්ස් ඇතුලු නිලධාරීන් ගනනාවක් මරා දැමූහ.

මෙම සිදුවීම් පෙල, එජ හා යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ මැද පෙරදිග සමස්ත හා ලේවැකි මැදිහත්වීම පිලිබඳ එල්ල කෙරෙන චෝදනාවකි. ඔවුන්ගේ විදෙස් පිලිවෙත සකස් කරන්නේ දේශපාලන මැර කල්ලියක් හා තෙල් කර්මාන්තයේ ද මූල්‍ය ප්‍රාග්ධනයේ ද අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින අය විසිනි. පෙනී යන පරිදි බටහිර ආන්ඩු හා තෙල් සමාගම් ගනන් බලන්නට ඇත්තේ, ලිබියාවේ රුධිර ස්නානය දිගහැරෙද්දී අවසානයේ මුදුනට පැන ගන්නා කුමන හෝ ප්‍රාදේශීය මිලිෂියා කන්ඬායමක් සමග හෝ සිය ගනුදෙනු පවත්වාගත හැකි වනු ඇත කියාය.

තම පිලිකුල් සහගත මෙහෙයුම්වල කොටසක් ලෙස එජ හා එහි සහචරයෝ, අබ්දෙල් හකිම් බෙල්හාජ් වැනි අල් කයිඩාවට සම්බන්ධ බලවේග සමග යලි යලිත් සබඳකම් පවත්වා ඇත. සීඅයිඒ සංවිධානය ඔහු පැහැරගෙන ගොස් “අසාමාන්‍ය වධබන්ධනයට” ලක්කර ත්‍රස්තවාදි කටයුතු පිලිබඳ චෝදනා මත සිරගත කිරීම සඳහා ආපසු ලිබියාවට එවීමට පෙර, ගඩාෆිට එරෙහිවත් පසුව සිරියාවේ අසාද් පාලනයට එරෙහිවත් යොදවන ලදී.

2003-2011 එජ වාඩිලෑම යටතේ අටවන ලද ඉරාක පාලන තන්ත්‍රය, අල් කයිඩාවට සම්බන්ධ සිරියානු සුන්නි මිලිෂියාවන්ගේ ප්‍රහාර හමුවේ බිඳ වැටීමට ආසන්න බව දැක්වෙන වාර්තා ඊයේ දිනය තුල පලවිය. බැග්ඩෑඩයේ මිලිටරි නායකයෝ පලායාමට සිදුවුවහොත් ඒ සඳහා “තම ගමන් මලු පුරවාගෙන” ලෑස්තියෙන් සිටිති. ලිබියාව මෙන්ම ඉරාකය ද විනාශයට පත්ව පැතිර යන සිවිල් යුද්ධය හමුවේ පැති තුනකට කැඩී ගොස් තිබේ. එනම්, සුන්නි බටහිර, ඉරානයට සමීපව ෂියා අරාබි කොටස හා උතුරේ කුර්දිවරුන් සියතට ගෙන ඇති කොටස වශයෙනි. එජ මූලිකත්වයෙන් සිදුවූ මිලිටරි වාඩිලාගැනීම මගින් නිර්මානය කල කොල්ලකෑමේ හා බෙදා පාලනය කිරීමේ පිලිවෙතෙහි අවසන් ප්‍රතිපලය වී ඇත්තේ මෙයයි.

මෙම පිලිවෙත අධිරාජ්‍යවාදී පාලක පන්තියේම ස්වභාවය පෙන්නුම් කරයි. එනම්, විශේෂයෙන්ම දුබල, තෙල් සම්පතෙන් පොහොසත් රටවල, අලුතෙන් කිසිවක් නිර්මානය නොකර කොල්ලකෑම, සොරකම් කිරීම හා පැහැර ගැනීමයි. ධනේශ්වර ජාතිකවාදියෙක් වූ ගඩාෆි, 1970දී තෙල් කර්මාන්තය ජනසතු කිරීමෙන් පසුව ජනතාවගේ ජීවන තත්වයෙහි සැලකිය යුතු වර්ධනයක් ඇතිවිය. ඔහුගේ පාලනය අධිරාජ්‍යවාදීන්ට බාධකයක් බවට පත්ව තිබුනි. ඔවුන්ගේ ආස්ථානයට අනුව, ඉරාකයේ මෙන්ම ලිබියාවේ ද දස දහස් ගනනකගේ ජීවිත බිලිගත් සිවිල් යුද්ධය හුදෙක්, කලාපයේ තෙල් සම්පත ලාභදායී ලෙස කොල්ලකෑමට අදාල ආරම්භක පිරිවැයයි.

මානව අයිතීන්ගේ වංචනික ධජය යටතේ මෙම ලේවැකි මෙහෙයුම ගොනුකර ජනතාවට අලෙවි කලේ කෙසේදැයි සිහියට නඟා ගැනීම වටනේය. 2011දී ටියුනීසියාවේ හා ඊජිප්තුවේ බටහිර ගැති ආඥාදායකත්වයන් පෙරලාගෙන නැඟී ආ කම්කරු පන්තියේ පෙරලිකාරිත්වයෙන් කම්පාවට හා බියට පත් අධිරාජ්‍යවාදී බලවතුන්, ඒ රටවල් දෙක අතර පැවති ලිබියාව තුල, එජට යටත් රූකඩ පාලනයක් ඇටවීමේ අරමුනෙන් පාලනය වෙනස් කිරීම සඳහා යුද්ධය යොදාගැනීමට අරමුනු කලේය.

යුද පිලිවෙත අලෙවි කිරීම පිනිස පාලක පන්තිය, අපරාධයේ හවුල්කරුවන් ලෙස මධ්‍යම පන්තික ව්‍යාජ වාම පක්ෂ හා ශාස්ත්‍රාලිකයින් පෙලක් සේවයේ යෙදවීය. ලිබියාව ‍කොල්ලකෑ‍මේ ව්‍යාපෘතියට “වාම” මුහුනුවරක් දීම සඳහා ‍පෙරට පිනූ ‍මොවුහු, ගඩාෆිට එ‍රෙහි ප්‍රජාතන්ත්‍ර විප්ලවයක් ‍ගෙනයාම මගින් මර්දන‍යේ අවදානමට මුහුනපෑ අය ‍ලෙස විපක්ෂ බල‍වේග හඳුන්වමින්, එම ‍කොටස් ආරක්ෂා කිරීම පිනිස එය මානවවාදී යුද්ධයක් බව කියා සිටියහ. නේ‍ටො‍වේ යුද්ධය පටන්ගනිද්දී ප්‍රන්ස‍යේ නව ධනනේශ්වර වි‍රෝධී පක්ෂය (එන්පීඒ) ප්‍රකාශයක් නිකුත් ක‍ලේය. “ලිබියානු විප්ලවයට සහාය ‍දෙනු! ගඩාෆි ‍‍පෙරලා දමනු, ලිබියා‍වේ ජනතාව හා ආඥාදායකත්වය අතර මරනය දක්වා සටන” ‍ලෙස ඔවුහු එය හැඳින්වූහ.

එජ දී මිචිගන් විශ්ව විද්‍යාල‍යේ මහාචාර්ය ජුආන් ‍කෝලි, ලිබියා‍වේ අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එ‍රෙහිව මූලධර්මාත්මක ආස්ථානයක් ගත් ‍ලෝස‍‍වෙඅ වැනි ‍කොටස් ‍හෙලාදුටු‍වේය. “අධිරාජ්‍ය වි‍රෝධී තුරුම්පුව ‍යොදාගැනීමට අ‍‍නෙකුත් සියලුම වටිනාකම් හිතුවක්කාරී ‍ලෙස ඉවතලීම තුඩු‍දෙන්‍‍නේ අවංකවම අභූත ආස්ථානයන්ටය. ‍නේ‍ටෝවට මා අවශ්‍ය නම් මම එහි සිටින්‍‍නෙමි.” ‍කෝල් ලිවීය.

එවකදී ‍ලෝස‍වෙඅ ලිබියානු ත්‍රස්තවාද‍යේ දක්ෂිනාංශික ස්වභාවය වසං කිරීම හා අධිරාජ්‍යවාද‍ය ‍වෙනු‍වෙන් ‍ඔවුන්ගේ බං‍කො‍ලොත් ක්ෂමාලාපය ‍හෙලිදරව් කිරීමට ඉදිරිපත් විය. එන්පීඒ හා මහාචාර්ය ‍කෝල් ‍දේශපාලන වගකීම දරන ලිබියා‍වේ ‍ලේවැකි ව්‍යසනය මගින් ‍ලෝස‍වෙඅ මූලධර්මාත්මකව අධිරාජ්‍යවාදයට දැක්වූ විරුද්ධත්වය මුලුමනින්ම සනාථ කර ඇත.

2012දී ‍වොෂින්ටනය ‍‍කෙටි ආයුෂ සහිතවූ සෙයිඩාන්‍ගේ රූකඩ පාලනය ඇටවූ විට ‍කෝල් යුද්ධයට විරුද්ධවූවන්ට සමච්චල් කරමින්, ඔවුන් ගඩාෆි‍ගේ ආධාරකරුවන් යයි මඩගැසූ අතර ඒවා‍යේ ප්‍රතිවිපාක පිලිබඳව අනතුරු ඇඟවීය. ඔහු ලිබියාවට කල සංචාරයකදී ට්‍රිපොලි ගුවන් ‍තොටුප‍ලේදී ලිබියානු මිලිෂියාවන් විසින් සංවිධානය කර තිබූ වි‍රෝධතාවකට මුහුනපෑ‍මෙන් යාන්තමින් ‍බේරුනු අතර එම සිද්ධිය හාස්‍යයෙන් බැහැර කරමින් ඔහු ලිබියාව ‍කොල්ලකෑම වර්නවත් පාටින් පින්තාරු ක‍ලේය.

කෝල් ‍මෙසේ ලිවීය. “ලිබියාව පිලිබඳව එහි ඇත්‍තේ අඳුරු කථාන්තරයකි. එය අසාර්ථක රාජ්‍යයක් බවට පත්ව ති‍බේ. සැම තැනකම සන්නද්ධ මිලිෂියාවරු දක්නට ඇත. සෑම අ‍යෙක්ම ‍බෙදුම්වාදි‍යෙකි. අන්තර්වාර ආන්ඩුව කිසිවක් කරන්‍‍නේ නැත. උප සහරානු අප්‍රිකා සම්භවයක් ඇති මිනිසුන්ට වීදි වලදී අතවර සිදු‍වේ.” යනාදි වශ‍යෙනි. අඳුරු කථාන්තරය ප්‍රචාරය කරන්‍‍නේ ගඩාෆි‍ගේ ඉතිරිව ඇති අය හා බටහිර දී ඔහු අගය කරන අය විසිනි. ලිබියාව සෝමාලියාව ‍මෙන් ‍නොවේ. එය ‍යේමනය ද ‍නොවන්‍‍නේය.

පශ්චාත් යුද්ධ ලිබියාව තුල ඇති බිහිසුනු යථාර්තය මුසාකරනය කිරීම, වරප්‍රසාදිත, අධිරාජ්‍ය ගැති ඉහල මධ්‍යම පන්ති‍යේ අවශ්‍යතා නි‍යෝජනය කරන ව්‍යාජ වාම ‍දේශපාලන‍යේ බියගුලුකම හා මුග්ධත්ව‍යේ ප්‍රකාශනයකි. තමන් නිර්මානය කල විවිධ ව්‍යසනයන් තුලින් පවා කිසිවක් ඉ‍ගෙන ‍නොගන්නා ‍මෙම බල‍වේග, දැන් සිරියා‍වේ හා යු‍ක්‍රේන‍යේ ලේවැකි අධිරාජ්‍යවාදී මැදිහත්වීම්, ප්‍රජාතන්ත්‍රවාදී හා මානවවාදී ව්‍යවසායන් ‍ලෙස හුවා දක්වති.

ඇ‍ලෙක්ස් ලැන්ටියර්

ලේඛකයා අනුමත කරන ලිපි:

ලිබියාව, අධිරාජ්‍යවාදය සහ "වාම” බුද්ධිමතුන්ගේ දනගැසීම:මහාචාර්ය ජුවාන් කෝල්ගේ උදාහරනය
[2011 අප්‍රේල් 7]

Share this article: