ශ‍්‍රී ලංකා ආන්ඩුව ශිෂ්‍යයන්ට එරෙහි ප‍්‍රහාර උත්සන්න කරයි

Sri Lankan government intensifies attacks on students

කපිල ප‍්‍රනාන්දු සහ පානිනී විජේසිරිවර්ධන විසිනි, 2014 ජූලි 17

මහින්ද රාජපක්ෂ ආන්ඩුව, තමා විසින් කි‍්‍රයාවට දමමින් සිටින නිදහස් අධ්‍යාපන විනාශයට හා විශ්ව විද්‍යාල පුද්ගලීකරනයට එරෙහිව වැඩෙන විරෝධය මැඩ පැවැත්වීමේ ප‍්‍රයත්නයක් තුල ශිෂ්‍යයන්ට එරෙහි මර්දන පියවරයන් දැඩි කරමින් සිටී.

නව වටයක ප‍්‍රහාරවලදී උතුරු මැද පලාතේ පිහිටි රජරට සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති ඇතුලු සිසුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබේ. ජූලි 10 දා අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් යලි බන්ධනාගාරගත කරන ලදී. තවත් සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අතර පොලිසිය ඔවුන් ලුහුබඳිමින් සිටී. සිසුන් 23 දෙනෙකුගේ පන්ති තහනම් අවලංගු කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජරට සරසවි සිසුන් මාස ගනනාවක් පුරා සත්‍යග‍්‍රහයක යෙදී සිටි අතර ඔවුන් සිය දීර්ඝ අරගලය අතරතුරේ දී පොලිස් මර්දනයට හා මැර ප‍්‍රහාරවලට ලක්විය.

ජූනි 26 දා ශිෂ්‍යයන් සරසවියේ පරිපාලන ගොඩනැගිල්ල වැටලුවේ ය. ශිෂ්‍ය සංගමය විසින් වටලෑම අවසන් කලේ, එදින වටලෑම සංවිධානය කිරීමට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග නොගන්නා බවට, පෙර පන්ති තහනම් කිරීම් ඉවත් කිරීමට සාකච්ඡාවක් ලබා දෙන බවට හා සරසවිය වසා නො දමන බවට පරිපාලනයෙන් ලබා ගත් ලිඛිත පොරොන්දුවක් ලබා ගත් බව පවසමිනි,

එසේවුවද පරිපාලනය විසින් ජුලි 02 දා සරසවිය දින නියමයකින් තොරව වසා දැමීය. පරිපාලන ගොඩනැගිල්ල වටලෑම “ප‍්‍රාන ඇපයට ගැනීමක්” යයි චෝදනා එල්ල කරමින් සිසුන්ට එරෙහිව පොලිස් දඩයමක් ක‍්‍රියාත්මක කොට තිබේ.

ගිය වසරේ දී සිසුන් 23 ගේ පන්ති තහනම් කොට තිබුනේ අධ්‍යාපන පුද්ගලීකරනයට එරෙහි විරෝධතාවලට හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසින් වසරක් පාසා සංවිධානය කරන “සිසු විරු දිනයට” සහභාගී වීම නිසා ය.

අවිශිබමය දේශපාලනිකව පාලනය වන්නේ සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) බිඳී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ ය. එය “සිසු විරු දිනය” යොදා ගනු ලබන්නේ, අධ්‍යාපන කප්පාදුවට එරෙහි අරගලය තුල දී සිසුන් මුහුන දී සිටින දේශපාලන ප‍්‍රශ්න වෙනතකට යොමු කිරීමේ කොටසක් ලෙස, ආන්ඩුවේ ආරක්ෂක අංශ විසින් හෝ ඊට සම්බන්ධ මැර කන්ඩායම් විසින් ඝාතනය කරන ලද එහි හිටපු නායකයන් හා ක‍්‍රියාකාරීන් උත්කර්ෂයට නැංවීමටයි.

රජරට සිද්ධියට සමානව පසුගිය සති කිහිපය පුරා පේරාදෙනිය, කැලනිය හා රුහුනු යන සරසවිවල ශිෂ්‍යයන් ද අත්අඩංගුවට ගැනීම්, විනය පරීක්ෂන පැවැත්වීම්, මැර ප‍්‍රහාර හා සරසවි වසා දැමීම වැනි ප‍්‍රහාරවලට මුහුන පෑවේ ය.

ජූනි 19 දා පේරාදෙනිය සරසවි ආරක්ෂක අංශයට තර්ජනය කලේය යන චෝදනා මත පොලීසිය විසින් අවිශිබමය හිටපු කැඳවුම්කරු සංජීව බන්ඩාර හා පේරාදෙනිය ශිෂ්‍ය සංගමයේ හා සම සෞඛ්‍ය පීඨයේ සභාපතිවරුන් ද අත්අඩංගුවට ගැනින. ජූනි 30 දා නේවාසිකාගාරය බලා යමින් සිටි රුහුනු සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති ඇතුලු සිසුන් පිරිසකට ආයුධ සන්නද්ධව පැමිනි පිරිසක් එල්ල කර ප‍්‍රහාරයකින් තුවාල ලැබූ සිසුන් මාතර මහ රෝහලට ඇතුලත් කෙරින.

අවිශිබමයේ වෙබ් අඩවියට අනුව කැලනිය සරසවිය තුල ශිෂ්‍ය කි‍්‍රයාකාරිනියන් තිදෙනෙකුට එරෙහිව විනය පරීක්ෂන කැඳවා ඇත්තේ නේවාසිකාගාර තුල ශිෂ්‍ය රැස්වීම් පැවැත්වීම යන චෝදනා මතය. සිසුන් සංවිධානය වීම වැලැක්වීම සඳහා එහි නේවාසිකාගාර තුල රාත‍්‍රී නවයෙන් පසු විදුලිය භාවිතා කිරීම හා නාන කාමර භාවිතා කිරීම තහනම් කර තිබේ. එසේම කැලනිය සරසවි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිනියට සරසවිය තහනම් කලාපයක් බවට පත් කොට තිබේ.

රාජපක්ෂ ආන්ඩුව ශිෂ්‍යයන්ගේ සියලු දේශපාලනික ක‍්‍රියාකාරම්වලට වැටබැඳ ඇත. පසුගිය සිව් වසර තුල සිසුන් දහසකට අධික පිරිසක් පන්ති හා ශිෂ්‍ය භාවය අහෝසි කිරීම්වලට ලක් කොට ඇති අතර ශිෂ්‍ය සංගම් ගනනාවක් තහනම් කොට තිබේ.

මෙම මර්දනයට මාධ්‍ය මගින් පිටුබලය දී තිබේ. දක්ෂිනාංශික ද අයිලන්ඩ් පත‍්‍රය ජුනි 30 හා ජූලි 03 දිනයන් හි “අපරාධකාරයන් යුක්තිය ඉදිරියට පමුනුවනු” සහ “ප‍්‍රාන ඇපයට ගැනීමේ යෙදුනවුන් නීතියට ඉහලද?” යනුවෙන් කතු වැකි දෙකක් පල කලේය. 03 දා කතුවැකිය රජරට සිසුන් “මැරයන්” ලෙස නම් කොට තිබුනි. “මොවුන්ට සමාව දිය යුතුයැයි හෝ ලදරුවන් සේ සැලකිය යුතුයයි කියන කිසිවෙකුටත් නීතියේ ආධිපත්‍යය පිහිටුවිය යුතු යයි කියා සිටීමට සදාචාරාත්මක අයිතියක් නැත” යනුවෙන් එහි ප‍්‍රකාශ කෙරින.

ඒ අතරවාරයේ දී අධ්‍යාපන පුද්ගලීකරනය වේගවත් කර තිබේ. ජූලි 04 දා නුවරදී පැවති උත්සවයේදී උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක විදේශ විශ්ව විද්‍යාල 51 ක අධ්‍යන කටයුතු ආරම්භ කිරීම සඳහා අවසර ලබා දී ඇති බව නිවේදනය කලේය.

පුද්ගලීකරනයට හා නේවාසිකාගාර, දේශන ශාලා, විද්‍යාගාර හා ආචාර්වරුන්ගේ පවා හිඟයට එරෙහිව රටපුරා සරසවි ශිෂ්‍යයෝ විරෝධතාවලට සම්බන්ධ වූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) මගින් පනවා ඇති රජයේ කප්පාදු පිලිවෙත්වල කොටසක් ලෙස මහජන අධ්‍යාපන වියදම් කප්පාදු කොට තිබේ.

වැඩකරන ජනතාව අතර ද විරෝධතාවයන් වර්ධනය වීමක් තිබේ. වැටුප් වැඩිවීම් ඇතුලු තවත් ඉල්ලීම් මුල් කරගෙන බලශක්ති අංශයේ, දුම්රිය හා සෞඛ්‍ය අංශයේ කම්කරුවෝ සටන්වලට අවතීර්න වී ඇත. තෙල් සහනාධාරය හා තවත් අත්‍යාවශ්‍ය සහනාධාර කප්පාදුවට එරෙහි පුලුල් පරිමාන විරෝධතා ධීවරයන් හා ගොවිජනයා අතර පැන නැගින.

රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රතිචාර දක්වා ඇත්තේ පොලිස් හා මිලිටරි මර්දනයන් මගිනි. ආන්ඩුව එහි ව්‍යාපාරික ගැති වැඩපිලිවෙලට එරෙහි පලල් මහජන විරෝධය මැඩීම සඳහා පොලිස්-මිලිටරි රාජ්‍ය සැලසුම් මත වාරු වී සිටී.

ආන්ඩුවට එරෙහිව සිදුකරන දේශපාලන අරගලයක් තුල සිසුන් කම්කරු පන්තිය දෙසට හැරී ගැනීමට මුලුමනින්ම විරුද්ධ අවිශිබම, ආන්ඩුව හෝ සරසවි පරිපාලනය ලබා දෙන තාවකාලික උපාමාරු “විශාල ජයග‍්‍රහන” ලෙස වගවර්නනා කරමින් සිටී, ජයවර්ධනපුර සරසවියේ 200 අධික ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් කිරීම් ඉවත් කිරීම ඒ සඳහා මෑතම උදාහරනයයි.

එබඳු උපමාරු සැලසුම් කොට ඇත්තේ නිදහස් අධ්‍යාපනයට සහ ශිෂ්‍යයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට තවදුරටත් දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීම සඳහා කාලය ලබා ගැනීමට ය. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ක්ෂනිකා හිරිඹුරේගම මෑතකදී නිවේදනය කලේ ශිෂ්‍ය රැඩිකලීකරනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන බවයි.

අවිශිබම, ආන්ඩුවට එරෙහි කම්කරු පන්ති අරගල මර්දනය කිරීමේ කුප‍්‍රකට වාර්තා සතු වෘත්තීය සමිති කිහිපයක් සමග සිසු ජන පෙල ගැස්ම නම් ව්‍යාපාරය දියත් කරමින් ශිෂ්‍යයන්ට නව දේශපාලන උගුලක් අටවා තිබේ. එමෙන්ම මෙයට සම්බන්ධ වී සිටින්නන් අතර දක්ෂිනාංශික විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමග පෙල ගැසී සිටින නව සම සමාජ පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වම්මුන් ද සිටී.

මේ සන්ධානයේ අරමුන වනුයේ ආන්ඩුවට හා ධනේශ්වර ලාභ පද්ධතියටමත් එරෙහිව කම්කරු පන්තියේ කවර හෝ දේශපාලන ව්‍යාපාරයක් පැන නැංවීම වැලැක්වීම ය. සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ එනම් සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන අංශය, ආන්ඩුවටත්, නිදහස් අධ්‍යාපනය ඇතුලු මූලික සමාජ අයිතීන්ට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ටත් එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලක් යටතේ කම්කරුවන් සහ ශිෂ්‍යයන් බලමුලු ගැන්වීමේ අරගලයක යෙදී සිටී.

Share this article: