මුස්ලිම්‐විරෝධී ප‍්‍රචන්ඩ ක‍්‍රියාවලට තම සම්බන්ධය හෙලිකිරීමට එරෙහිව ශ‍්‍රී ලංකා මිලිටරිය අනතුරු අඟවයි

Sri Lankan military warns against exposing its involvement in anti-Muslim violence

වසන්ත රූපසිංහ විසිනි, 2014 ජූලි 3

පසුගිය සතියේ මිලිටරි ප‍්‍රකාශකයෙක් සිදුකල සුවිශේෂි ප‍්‍රකාශයකින් ඇඟවුම් කෙරුනේ ලංකාවේ දකුනු පලාතේ අලුත්ගම සහ බේරුවල නගරවලදී බොදු බල සේනා (බොබසේ) සංවිධානය විසින් මෑතදී අවුලුවන ලද මුස්ලිම්‐විරෝධී ප‍්‍රහාරවලදී මිලිටරි බුද්ධි අංශ ඒවාට හවුල් වී ඇති බව යි. ඔහුගේ සැඳහුම්වලින් ප‍්‍රකාශ වෙන අනෙක් කාරනය වන්නේ, කම්කරු පන්තියට එරෙහිව මිලිටරිය විසින් යෝධ පොලිස්-රාජ්‍ය යාන්ත‍්‍රනයක් තනා ඇති බව යි.

බොබසේ ජූනි 15දා අලුත්ගම නගරය මධ්‍යයේදී පවත්වන ලද මුස්ලිම්-විරෝධී රැස්වීමකින් අනතුරුව බෞද්ධ අන්තවාදීහු මුස්ලිම් ජනයාගේ නිවාස හා කඩසාප්පු ගිනි තබමින් ද මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් හා දමිල ජාතිකයෙක් ඝාතනය කරමින් හා තවත් 60කට පමන තුවාල සිදුකරමින් වියරු රංගයට අවතීර්න වූහ. මෙම ප‍්‍රචන්ඩ ක‍්‍රියා සෑම එකක්ම සිදුවූයේ ආන්ඩුව විසින් ප‍්‍රදේශයේ දිගේලි කර තිබූ ආරක්ෂක අංශ බලා සිටියදී ම ය.

ජූනි 24දා පැවැති මාධ්‍ය සාකච්ඡවේදී මිලිටරි ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මෙසේ කීවේ ය: "අපිට ඉතා විශ්වාසනීය ආරංචිමාර්ගවලින් දැනගැනීමට ලැබිලා තියෙනවා එක්තරා දේශපාලනඥයින් පිරිසක් ඔවුන්ගේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද යොදා ගනිමින් රටේ බුද්ධි අංශ පලිබඳව රහස් තොරතුරු හෙලි කිරීමේ වෑයමක් තියෙනවා කියලා." බුද්ධි නිලධාරීන්ගේ නම් හෙලි කිරීම "ඔවුන්ගේ ජීවිත අනතුරේ දමනු ඇතැ" යි සඳහන් කරමින් "එවැනි හෙලිදරව් කිරීමක් නොකරන්න" යැයි වනිගසූරිය අනතුරු ඇඟවූයේ ය.

වනිගසූරියගේ මෙම මැදිහත්වීම, මුස්ලිම්‐විරෝධී ප‍්‍රහාර දියත් කිරීමේදී බොබසේ හා අනෙකුත් බෞද්ධ ස්වෝත්තමවාදී කල්ලි සමඟ මිලිටරි බුද්ධි අංශ නිලධාරීන්ගේ සම්බන්ධය පිලිබඳ කවර හෝ හෙලිදරව්වක් වැලැක්වීමට කල්තියා කෙරුනු මැදිහත්වීමක් විය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව හා මිලිටරිය එවැනි අන්තවාදී කල්ලි සමඟ ඔවුන්ගේ සම්බන්ධය පිලිබඳ කවර හෝ අනාවරනයක් කෙරෙහි කම්පිත ය. කෙසේ නමුත් වනිගසූරියගේ අනතුරු ඇඟවීමට පුලුල් පනිවුඩයක් ගැබ් කර ගනී. හුදෙක් දේශපාලනඥයින්ට පමනක් නොව, මිලිටරිය හා එහි බුද්ධි අංශ දේශපාලන විරුද්ධවාදීන්ට හා වැඩකරන ජනයාට එරෙහිව ගෙනයන මෙහෙයුම් පිලිබඳ ඕනෑම හෙලිදරව් කිරීමකට එරෙහිව එය එල්ල කෙරී ඇත.

අන්තවාදී කල්ලි සමග මිලිටරි බුද්ධි අංශවල පවතින සබඳතාව එලිපිට පිලිගන්නා ප‍්‍රකාශයකින් වනිගසූරිය තවදුරටත් මෙසේ කීවේ ය: "විවිධාකාර පාර්ශව සමග ගනුදෙනු කරන අපේ ඇතම් අංශ තියෙනවා. හැම පාර්ශවයක්ම අතර තිබෙන සංනිවේදනයක් අවශ්‍යය යි. එම සංනිවේදනයට අවශ්‍ය පසුබිම සකස් කිරීමට අපේ නිලධාරීන් කටයුතු කරනවා. ඒ අය ඒ කරගෙන යන ක‍්‍රියාමාර්ග නිසා තමයි අපි අලුත්ගමින් පසුව ඇතිවීමට ගිය තත්වය වලක්වා ගත්තේ."

මෙම අනුමානයකින් තොර ප‍්‍රකාශ බොහෝ ප‍්‍රශ්න ඉස්මතු කරයි. බුද්ධි අංශ "ගනුදෙනු කරන" මෙම "විවිධ කන්ඩායම්" මොනවාද? වනිගසූරිය ඒවා නම් නොකලත්, වත්මන් මුස්ලිම්‐විරෝධී ප‍්‍රහාරවල අත්දැකීම සැලකූ කල, ඔවුහු කවරහුද යන්න විශද ය. මුස්ලිම් ජනයාට එරෙහිව බෞද්ධ දාමරිකයන් කුපිත කල ප‍්‍රකෝපකාරී රැලියක් පැවත්වීමෙන් බොබසේ නතර කිරීමට මේ කියන බුද්ධි අංශ නිලධාරීන් මැදිහත් නොවුනේ ඇයි? පැහැදිලි කාරනාව වන්නේ, බොබසේ, රාවනා බලය හා සිංහල රාවය වැනි සිංහල-බෞද්ධ වර්ගික කල්ලි සමග බුද්ධි අංශ සහයෝගීව කටයුතු කරමින් සිටින බව යි.

වනිගසූරියගේ සැඳහුම් ඇඟවුම් කරන්නේ, මිලිටරිය දේශපාලන ක්ෂේත‍්‍රය තුලට කෙතරම් නම් දුරට ව්‍යාප්තව ඇති ද යන්න යි. සමාජ දේහය තුලට ක‍්‍රමයෙන් විනිවිදි දැවන්ත බුද්ධි යාන්ත‍්‍රනයක් මිලිටරිය වර්ධනය කර තිබේ. දේශපාලන ප‍්‍රකාශ සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එරෙහිව වනිගසූරිය ප‍්‍රසිද්ධියේ ඉදිරියට ඒමෙන් ප‍්‍රකාශ කෙරන්නේ කොලඹ සංස්ථාපිතය තුල තම අධිකාරිත්වය තහවුරු කර ගැනීමට මිලිටරිය ආක‍්‍රමනකාරී ලෙස වැඩකරමින් සිටින බව යි. 2009 වසරේදී පරාජය කරන ලද බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව දශක තුනකට ආසන්න යුද්ධයේදී පාලක කවතුල මිලිටරියේ ස්ථානය ශක්තිමත් කර ගැනිනි.

"ඇතම් දේශපාලඥයින්ට" බුද්ධි නිලධාරීන් "හෙලිදරව්" නොකරන ලෙස අවධාරනය කිරීමෙන් අනතුරුව, වනිගසූරිය මෙසේ ද කීවේ ය: "එවැන්නක් සිදුවුවහොත්, එය, 2002 වසරේ මිලේනියම් සිටිහි පවත්වාගෙන ගිය බුද්ධි අංශ රහස් තොරතුරු මධ්‍යස්ථානයක් හෙලිකිරීමෙන් පසුව බුද්ධි අංශ නිලධාරීන් 21ක් දෙනෙකුට ඔවුන්ගේ ජීවිත පූජාකිරීමට සිදුවූ ඒ අවසනාවත්ත සිදුවීමෙන් සිදුවෙන දෙවැනි සිදුවීම වෙනු ඇත".

"මිලේනියම් සිටි රහස් තොරතුරු මධ්‍යස්ථානය පිලිබඳ හෙලිදරව්ව" ගැන කෙරුනු මෙම සඳහන වැදගත් ය. 2001 වසරේ දෙසැම්බර් 5දා මැතිවරන දිනයකදී තරුනයින් 10දෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධව සිදුකෙරෙමින් පැවති විමර්ශනයක් අතරතුර 2002 ජනවාරි 2දා කොලඹට යාබදව රහසේ පවත්වා ගෙන ගිය හමුදා "ආරක්ෂිත නිවහනක්" පොලිසිය මගින් වැටලීමත් සමග හමුදාවේ ජුගුප්සාජනක මෙහෙයුම් පිලිබඳ ඉඟියක් සම්පාදනය කලේ ය. මිලිටරි බුද්ධි අංශ අධිකාරියේ පාලනය යටතේ මෙම "ආරක්ෂිත නිවහනේ" සිට ක‍්‍රියාත්මක වූ ඒකකය එල්ටීටීඊයට එරෙහිව යුද්ධයේදී රහසිගත මෙහෙයුම් සිදුකර තිබින. එහිදී හෙලිවූයේ, එවැනි මිලිටරි ඒකක දිගේලි කර තිබුනේ හුදෙක් එල්ටීටීයට එරෙහිව පමනක් නොව රටේ දකුනේ වෙසෙන ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ටද එරෙහිව බව යි.

මිලිටරියේ ක‍්‍රියාවන් කවර ආකාරයකින් හෝ හෙලිකිරීමට එරෙහිව ඔහුගේ තර්ජනය යුක්තියුක්ත කිරීමට වෑයම් කරමින් වනිගසූරිය, රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව නිරන්තර වමාරා ඇති ව්‍යාජ "ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක" කතාවේ පිලිසරන සෙවී ය. "එක්තරා බටහිර තානාපති කාර්යාලයක් තවත් පාර්ශවයකින් විමසා තිබෙනවා, ඔබට සිදුවූ දේ [අලුත්ගම] ප‍්‍රමානවත් නැත් ද ඔබට අපි කියන ආකාරයට ඉතුරු ටික කරන්න කියලා. රට ගැන මගෙන් අහන්න එපා පාර්ශවය ගැන අහන්නත් එපා". රාජපක්ෂ මෙන්ම වනිගසූරිය ද "විදේශීය බලවේගය" ගැන නම් නොකල අතර මොනම සාක්ෂියක් නොසපයමින්, "මේ රටේ විවිධ පාර්ශ්වයන් උපයෝගි කරගෙන මේ රට ගිනිතියන්නනට විදේශීය බලවේග කටයුතු කරන්නට සැදී පැහැදී සිටිනවා" යැයි කීවේ ය.

වනිගසූරියගේ අනතුරු ඇඟවීමේ ආසන්නතම ඉලක්කය වූයේ, විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ (යූඇන්පී) පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර ය. වනිගසූරියගේ ප‍්‍රකාශයෙන් පැය කිහිපයක් ඇතුලත සමරවීර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන විට තර්ජනය වැඩකර තිබෙන සැටි පැහැදිලි විය. මුස්ලිම්‐විරෝධී ප‍්‍රහාර ඇවිස්සීමට බොබසේට දිරි දුන්නේ යැයි ඔහුගේ චෝදනාවට ලක්වූ ප‍්‍රධාන මිලිටරි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකු සමරවීර නම් කලේ ය. එහෙත් ඒ තිදෙනා -ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක ජෙනරාල් (විශ‍්‍රාමික) කපිල හෙන්දාවිතාරන, කර්නල් සුරේෂ් සාලි හා රාජ්‍ය බුද්ධි සේවා ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති (ඩීඅයිජී) චන්ද්‍රා වාකිෂ්ඨ- ප‍්‍රසිද්ධියේ දන්නා පුද්ගලයින් ය. බිම් මට්ටමේදී වර්ගභේදවාදී කන්ඩායම් සමග සෘජුවම සම්බන්ධවූ එකදු බුද්ධි නිලධාරියෙකුගේ නමක්වත් සමරවීර හෙලි නොකලේ ය.

කෙසේවෙතත්, සමරවීරගේ මාධ්‍ය සාකච්ඡාව ආන්ඩුව හා මිලිටරිය කෝපගැන්වූ අතර එය ඔහුට එරෙහිව උමතු සහගත මාධ්‍ය මෙහෙයුමක් මුදාහැරියේ ය. ජූනි 25දා පොලිස් ප‍්‍රකාශක අජිත් රෝහන නිවේදනය කලේ, 1955 රාජ්‍ය රහස් පනත යටතේ "නිල රහස් හෙලිකිරීම" ගැන සමරවීරට එරෙහිව විමර්ශනයක් සිදුකෙරන බව යි. පොලිසිය "අරම්භක විමර්ශනවලින් අනතුරුව ඔහුට [සමරවීරට] එරෙහිව වැඩිදුර ක‍්‍රියාකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව" රෝහන තවදුරටත් කීවේ ය.

පොලිස්-මිලිටරි තර්ජනයට හා සිදුවීමට ඉඩ ඇති පැමිනිල්ලකට ආරක්ෂාකාරී ලෙස ප‍්‍රතිචාර දක්වමින්, සමරවීර කිසිදු රාජ්‍ය රහසක් හෙලිකර ඇතැයි යන්න යූඇන්පිය විසින් ප‍්‍රතික්ෂේප කෙරින. යූඇන්පී පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා ජූනි 27දා මාධ්‍යයට මෙසේ කීවේ ය: "රටේ වත්මන් සිදුවීම් පිලිබඳ දන්න හැම කෙනෙක්ම ඔහු [සමරවීර] විසින් සඳහන් කරන ලද නම් සහිත පුද්ගලයින් රටේ ආරක්ෂක අංශයට සම්බන්ධ බව දැනුවත්".

ජනාධිපතිගේ සොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුව සමරවීරගේ නම සඳහන් කරමින්ම අනතුරු ඇඟවුවේ ය. ජූනි 29දා කලම්බු පේජ් වෙබ් අඩවිය වාර්තා කලේ, "එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර ඔහුගේ කටට 'තිරිංග දමා ගැනීමට අසමත් වුවහොත්' ජනතාවට ඔහුට පිලිතුරු දෙනු ඇතැ" යි රාජපක්ෂ ප‍්‍රකාශ කල බව යි. ඔහුගේ තර්ජනය ඉතා පැහැදිලිය. "ජනතාව" ලෙස මෙහිදී අදහස් කර ඇත්තේ, මිලිටරියේ ඝාතක කල්ලි හා ෆැසිස්ට් දාමරිකයන් ය. ආන්ඩුව එහි විවේචකයන් නිහඬ කරන්නේ එලෙස ය.

Share this article: