වැටුප් වර්ධක කප්පාදුවට එරෙහිව දෙනුවර ගුරුවරුන් අධ්‍යාපන කාර්යාලය වටලයි

ගාමිනී කරුනාතිලක විසිනි , 2014 ජූලි 24

මධ්‍යම පලාතේ මහනුවර දිස්ත‍්‍රික්කයට අයත් දෙනුවර අධ්‍යාපන කලාපයේ ගුරුවර ගුරුවරියන් 2500 කට ආසන්න ප‍්‍රමානයක් පසුගිය 16 දා පෙරවරුවේ පිලිමතලාව නගරයේ ඔරලෝසු කනුව අසලට රැස්ව උද්ඝෝෂනයක යෙදී ගත්හ. ගුරුවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක කප්පාදු කිරීමේ එල්ලය සහිතව, දෙනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් මෑතදී හඳුන්වා දී ඇති නව වැටුප් වර්ධක ඉල්ලීම් ආකෘති පත‍්‍රය අහෝසි කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කීපයක් පාදක කර ගනිමින් පැවති මෙම උද්ඝෝෂනය කැඳවා තිබුනේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය විසිනි.

උද්ඝෝෂනයක යෙදී ගත් ගුරුවරුන්ගෙන් කොටසක්

පසුව කලාප අධ්‍යාපන කාර්යාලය වැටලූ උද්ඝෝෂකයෝ, නව වැටුප් වර්ධක ඉල්ලුම් ආකෘති පත‍්‍රය හඳුන්වා දෙමින් සහ වැටුප් වර්ධක ඉල්ලුම්පත් ප‍්‍රමාද ගුරුවරුන්ගේ වැටුප් අත්හිටවන බවට ප‍්‍රකාශ කරමින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය ඉවත් කර ගන්නා ලෙස ද අවිධිමත් ගුරුමාරු අහෝසි කරන ලෙස ද ඉල්ලමින් සටන් පාඨ කීහ. උද්ඝෝෂනය මධ්‍යයේ වෘත්තීය සංගම් නියෝජිතයන් කිහිපදෙනෙකු අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡාවක් සඳහා උත්සාහ කල ද ඇය එය ප‍්‍රතික්ෂේප කලාය.

කලාප අධ්‍යාපන කාර්යාලය වැටලූ උද්ඝෝෂකයන්ගෙන් කොටසක්

1990 දශකය මැද වන තෙක් සෑම ගුරුවරයෙකුටම වසරක් පාසා ගුරු වැටුප් වර්ධක නිතැතින්ම හිමි විය. නමුදු ගුරු වැටුප් වර්ධක කප්පාදු කිරීමේ සහ ගුරුවරුන්ගේ කර මත වැඩි කාර්යභාරයක් පැටවීමේ පියවරක් ලෙස, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ ඊනියා ගුරු කාර්ය සාධන පති‍්‍රකාව නම්වූ ක‍්‍රමවේදයක් හඳුන්වා දුනි. වැටුප් වර්ධක ඉල්ලුම්පතත් සමග මෙම කාර්ය සාධන පති‍්‍රකාව ද ඉදිරිපත් කල යුතු විය. මෙම නව ක‍්‍රමයට අනුව යම් ගුරුවරයෙකුගේ සේවය අධීක්ෂනය කිරීමට විදුහල්පති විසින් ගුරු මන්ඩලයෙන් කෙනෙකු පත් කෙරෙන අතර ඔහු හෝ ඇය අදාල ගුරුවරයාගේ සේවය සාධනීය බැව් කාර්ය සාධන පති‍්‍රකාවේ තහවුරු කලහොත් පමනක් විදුහල්පති විසින් වැටුප් වර්ධක නිර්දේශ කරනු ලැබේ. මෙය පසුගිය කාලය පුරා ජාතික මට්ටමින් ක‍්‍රියාත්මක විය.

කෙසේ නමුදු, අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් නිකුත් කර ඇති නව චක‍්‍රලේඛයට අනුව, වැටුප් වර්ධක ඉල්ලුම් පත‍්‍රය සමග, විදුහල්පති නිර්දේශය සඳහා තවත් විශේෂ පති‍්‍රකාවක් ඉදිරිපත් කල යුතුය. මෙම විශේෂ පත‍්‍රිකාවේ විදුහල්පති විසින් සම්පූර්න කලයුතු සිව්වන ඡේදයට අනුව, යම් ගුරුවරයකුගෙන් ඉගෙනුම ලබන සියලු සිසුන්ගේ ලකුනු මට්ටම් සියයට 40 ඉක්මවා නොමැති නම් අදාල ගුරුවරයා වැටුප් උපයා ගැනීමට අසමත් වුවකු ලෙස සැලකේ. එවන් අවස්ථාවක තමා වැටුප් වර්ධක සඳහා නුසුදුසු බව ප‍්‍රකාශ කොට ගුරුවරයා විසින්ම එහි අත්සන් කල යුතුය. ගුරුවරුන් විරුද්ධ වී ඇත්තේ තමාගේ අතින් තමාගේම වැටුප් වර්ධක කපා ගැනීමට තල්ලු කෙරෙන මෙම ක‍්‍රමවේදයටයි.

රාජ්‍ය සේවාවේ වැටුප් කැටිකිරීමේ පිලිවෙත රාජපක්ෂ ආන්ඩුව විසින් 2006 සිට ක‍්‍රියාවට නැඟුනු අතර එමඟින් මූලික වැටුප් වැඩි කිරීම් අත්හිටවා ඇත. 2008 සිට ක‍්‍රියාත්මක වන ලෝක ආර්ථික අවපාතයේ ප‍්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ඉහත වැටුප් වර්ධක කප්පාදුව පෙරට ගෙන ඇති අතර, දෙනුවර කලාපයේ නියාමක මට්ටමෙන් ආරම්භ කර ඇති මෙය ජාතික මට්ටමින් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. මෙය ගුරුවරුන්ට පමනක් නොව සියලුම රාජ්‍ය සේවකයන්ට එරෙහිව කි‍්‍රයාවට නැගෙනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කල එක් ගුරුවරියක් ප‍්‍රකාශ කලේ “පරක්තෙරක් නොමැති” වැඩ ඔවුනට පවරන බවත් සොච්චම් වැටුප් වර්ධක පවා කපා දැමීමට ආන්ඩුව දරන උත්සාහය පරාජය කල යුතු බවත්ය.

පිලිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන බී. මැනිකේ ගුරුවරිය ප‍්‍රකාශ කලේ මෙම කාර්ය සාධන පත‍්‍රිකාව “ඉතාමත් අසාධාරන” එකක් බවයි. පාසැලේ විෂය ඉගැන්වීම සහ නොයෙකුත් ප‍්‍රතිකාර්ය වැඩ සටහන් ක‍්‍රියාත්මක කලත් තම විෂය සඳහා බොහෝ ලමුන්ගේ ලකුනු මට්ටම් සියයට 40 නොඉක්මවන බවයි. මේ නිසා බොහෝ ගුරුවරුන් මෙතෙක් ලබාගත් වැටුප් වර්ධකය ලබා ගැනීම සිහිනයක් වන බව ඇය පැවසුවාය.

තවත් ගුරුවරයෙක් මෙසේ අදහස් දැක් වූවේය: ”අපි වහල්ලුවගේ ආතතියෙන් සිටින්නේ. එක එක ප්‍රොජෙක්ට් වගේම විවිධ වගකීම් දිනපතා ඉහලින් සකස් කරලා එවනවා. සමහර ඒවායෙ නම් මතකත් නැහැ. මේ අයට ඔලුවක් නැද්ද. එක පුද්ගලයෙකුට මේ තරම් වැඩ පවරන්න. පරිපාලන විද්‍යාවේ සීමිත හැදෑරීම් පිලිබඳ න්‍යායන්වත් දන්නේ නැහැ. මම උගන්වන්නේ ඉංග‍්‍රිසි විෂයයි. ඇතැම්විට සියයට 40 පෙන්වීමට අපහසු වෙනවා. ඒත් අපි අමතර පන්ති පවා කරලා ලමයි ඉහල මට්ටමට ගන්න උත්සාහ කරනවා. ඒ වුනාට සියලුම ලමයි එක වගේ සාධන මට්ටමක නැහැ. එහෙම තිබුනානම් සියලු දෙනාටම අයිසැක් නිව්ටන් වෙන්නත් අයින්ස්ටයින්ලා, ස්ටීවන් හෝකින්ස්ලා වෙන්නත් තිබුනානේ. ඒ අයගේ බුද්ධි පලස විවිධයි. ඒක මේ අධ්‍යාපන ලොක්කන්ට නොතේරෙන එකයි පුදුමේ.”

මෙය අධ්‍යාපන බලධාරීන්ගේ නොවැටහීම පිලිබඳ ප‍්‍රශ්නයක් නොවන බවත් නිදහස් අධ්‍යාපනය මුලුමනින්ම වලලා අධ්‍යාපනය ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලේ කොටසක් බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔහුට පැහැදිලි කලහ.

මෙම උද්ඝෝෂනයට කලාපයේ ගුරුවරුන් බහුතරයක් සහභාගිවීම, රාජපක්ෂ ආන්ඩුව තමජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට දිගින් දිගටම එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව සමස්ත කම්කරු හා පීඩිත ජනතාව අතර ලියලමින් වැඩෙන විරෝධයේ ප‍්‍රකාශනයකි. අධ්‍යාපන කප්පාදුවලට සහ පුද්ගලීකරනයට එරෙහිව සිසුන් අතර ද, වැඩි වැටුප් සහ වෙනත් ඉල්ලීම් මත කම්කරුවන් අතර ද, තෙල් සහ පොහොර සහනාධාර කප්පාදුවට එරෙහිව ධීවරයන් සහ ගොවීන් අතර ද නොකඩවා වැඩෙන අරගල මගින් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුවට එරෙහිව වැඩෙන මෙම විරෝධය සහ එයින් ජනිත කර ඇති රැඩිකලීකරනයයි.

පසුගිය වසර අවසන්වන විට දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 6.5 ක් වූ අයවැය පරතරය, 2016 අවසන් වන විට 3.8 දක්වා පහත හෙලීමට මූල්‍ය අරමුදල පනවා ඇති නියෝග මත කි‍්‍රයාත්මක වන රාජපක්ෂ ආන්ඩුව අධ්‍යාපනය ඇතුලු සියලු සුබසාධන ක්ෂේත‍්‍රයන්ට එල්ල කරමින් පවත්නා ප‍්‍රහාරය වඩාත් ගැඹුරු කරනු ඇත.

වැටුප් කප්පාදු ඇතුලු ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව දේශපාලන ප‍්‍රතිප‍්‍රහාරයක් සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට ඉඳුරා විරුද්ධ වන වෘත්තීය සංගම් නිලධරය, ආන්ඩුවට බලපෑම් දැමීමේ උගුල්වල කම්කරුවන් සිරකොට ඔවුනගේ සටන්කාමිත්වය දියකර හැරීම තම වෘත්තිය බවට පත් කරගෙන සිටී.

අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් උද්ඝෝෂනය අවසානයේ ගුරුවරුන් අමතමින් මෙම බලපෑම් දැමීමේ වැඩපිලිවෙල තොරොම්බල් කලේ මෙසේය: “අප කියන්නේ මේ සටන මෙතනින් නවත්වන්නේ නැහැ. මේ කලාපයේ පමනක් නොව මුලු රටේම ගුරුවරුන් කැඳවනවා. සතියක් ඇතුලත විසඳුමක් දිය යුතුයි. එසේ නොවුනහොත් මීටවඩා මහා පරිමානයෙන් උද්ඝෝෂනයකට එනවා”.

අනෙකුත් ගුරුවරුන් ද මෙම අරගලය වටා ඒකාබද්ධ වේ ය යන උත්සුකය මත මෙම චක‍්‍රලේඛය හකුලා ගැනීමට දැන් පියවර ගෙන ඇත. නමුදු සමස්ත අධ්‍යාපන කප්පාදුව යටතේ වක‍්‍ර මාර්ගයකින් මෙය නැවත ක‍්‍රියාවට දැමෙනු ඇත.

Share this article: