එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ආර්ජන්ටිනාවට විරුද්ධව ආරක්ෂක අරමුදලට සහාය පලකරයි

US Supreme Court backs hedge fund against Argentina

රෆායල් අසූල් විසිනි, 2014 ජූනි 24

ආර්ජන්ටිනාවට එරෙහිව එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ජූනි 16දා, කල්පසුවූ නය ගෙවීම පිනිස තහනමට ලක්කල හැකි පරිදි, එරට මූල්‍ය හා භෞතික වත්කම් පිලිබඳව සොයා බැලීමේ අයිතිය නය හිමියන් වෙත පවරන තීන්දුවක් ලබා දුන්නේය.

එක්සත් ජනපද (එජ) ප‍්‍රකෝටිපති පෝල් සංගර් විසින් පාලිත, එලියට් ඇසෝසියේට්ස් ආරක්ෂන අරමුදලේ අනු ආයතනයක් වන එන්එම්එල් ප‍්‍රාග්ධන අරමුදලට පක්ෂව, 7ට 1ක් ලෙස මෙම තීන්දුව ලබාදී ඇත. මේ අනුව, එජ තුල නොපවතින තාක් දුරට, කුමන හෝ ආර්ජන්ටිනියානු වත්කමක්, අත්පත්කර ගැනීම සඳහා සොයාගැනීමේ අයිතිය එන්එම්එල් කැපිටල් වෙත පැවරෙයි.

මේ ආකාරයට එජ ශ්‍රේෂ්ඨාධිකරනය, මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා පරිදි ආර්ජන්ටිනාව සලාක මත තැබීමට මග පාදා දුන්නේය.

මෙම තීරනය, නයගැති රටවල් කෙරෙහි දුරදිග යන ඇඟවුම් සහිතය. මේ වනාහි, සිය දේශසීමාවන්ගෙන් පිටත ඇති වත්කම් පිලිබඳව නය හිමියන්ගේ ඇඟිලි ගැසීම් හා තොරතුරු රැස් කිරීමෙන් මේ දක්වා ස්වෛරී රාජ්‍යයන් ආරක්ෂා කරන ලද එජ විදේශ ස්වෛරී නිර්මුක්ති පනතේ (Foreign Sovereign Immunities Act) නව අර්ථකතනයකි. ස්වෛරී ජාතීන්ගේ වත්කම් පැහැරගැනීම සම්බන්ධයෙන් පනතේ ඇති සීමා පිලිගන්නා නමුත් අධිකරනය, නීතියෙන් “ගවේෂනය” ලෙස දක්වා ඇති, පරීක්ෂන පැවැත්වීමේ ක‍්‍රියාවලිය මත පැනවී ඇති සීමා නොතකා හැර තිබේ.

මෙම ශ්‍රේෂ්ඨාධිකරන තීරනයේ බලය යටතේ එන්එම්එල් කැපිටල් රක්ෂන අරමුදල, වයිපීඑෆ් යන ආර්ජන්ටිනියානු තෙල් සමාගම සතු වත්කම් අත්පත්කරගත හැකි තැනකට පත්කර ඇති බව එජ බ්ලූම්බර්ග් ප‍්‍රවෘත්ති සේවය වාර්තා කලේය. එන්එම්එල් හා අනෙකුත් රක්ෂන අරමුදල් සෑම එකක්ම සුදුසු පරිදි හඳුන්වනු ලබන්නේ උකුසු අරමුදල් ලෙසය. ඒවා, ආර්ජන්ටිනාවේ මූල්‍ය වත්කම් පිලිබඳ තොරතුරු ලබාදෙන ලෙස බැංකු වලට හා වෙනත් මූල්‍ය ආයතන වලට බලපෑම් කිරීමේ හැකියාව ද සතුකර ගනියි.

නය හුවමාරුව පිලි නොගත් හා තවමත් මුල් බැඳුම්කරයන් අතැතිව සිටින උකුසු අරමුදල් හා අනෙකුත් නය හිමියන්ට නොගෙවා, ආර්ජන්ටිනාව 2005 හා 2010 වසරවල නය හුවමාරුවේදී නිකුත් කල බැඳුම්කර සඳහා අයිතිකරුවන්ට ගෙවීම් සිදුකිරීම වලක්වමින්, නිව් යෝර්ක් අභියාචනා අධිකරනය විසින් දුන් තීන්දුවක් ද වෙනම තීන්දුවකදී ශ්‍රේෂ්ඨාධිකරනය ගෙනහැර දක්වා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරන තීරනය ආර්ජන්ටිනාව මූල්‍ය අර්බුදයකට ඇද දමා ඇත.

ඉහල උසාවියේ නියෝගයත් සමග අදාල ප‍්‍රශ්න වේගයෙන් ඉස්මතු වෙමින් තිබේ. බුවනෝස් අයර්ස්හි අර්ධ නිල “නිල් ඩොලර්” වෙලඳපොල වටා ජනාතව ඩොලර් මිලට ගැනීම සඳහා පෙලගැසී සිටින අතර ආන්ඩුවේ නය සේවාවන්හි හීන වන පරිමාව හේතුකොටගෙන විදේශ මුදලින් ගෙවීම් කරන නය, පැහැරහැරීමේ වැඩි අවදානම සටහන් කරමින්, ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස්, ආර්ජන්ටිනාවේ බැඳුම්කර වර්ගීකරනය සීසීසී - සිට සීසීසී + දක්වා පහත හෙලීය. මෙම වර්ගීකරනය නිසා ආර්ජන්ටිනාවට ඩොලර් හෝ යුරෝ මුදලට ගැටගැසුනු නය නිකුතුව කල නොහැකි දෙයක් බවට පත්කර තිබේ.

ආන්ඩුවේ බැඳුම්කර මිල ගනන් හැකිලී ගිය අතර ආර්ජන්ටිනාවේ කොටස් වෙලඳපොල සියයට 10න් පහත වැටුනි.

24දා නිව් යෝර්ක් දිස්ත‍්‍රික් විනිශ්චයකාර තෝමස් ග‍්‍රීසා, නව බැඳුම්කර හිමියන්ට ගෙවීමේ අවසරය අත්හිටුවීය. මෙම තීන්දුව කිසිවෙකුත් මවිතයට පත් නොකල අතර අධිකරන නියෝගය මගින් ජූනි 30දාට සැලසුම් කර තිබූ ඩොලර් මිලියන 900ක ගෙවීම් සිදුකිරීමෙන් ආර්ජන්ටිනා ආන්ඩුව වැලැක්වූ අතර ආන්ඩුව නය පැහැර හැරීමේ තැනකට තල්ලූකර තිබේ.

2001 වසරේ ආර්ජන්ටිනාවේ මූල්‍ය බිඳවැටීමෙන් ඉක්බිත්තේ, හා එහි ප‍්‍රතිපලය වශයෙන් හටගත් ගෙවුම් ශේෂ අර්බුදය ද එහි ප‍්‍රතිවිපාක වශයෙන් ඇතිවූ ආර්ථික අවපාතය ද හමුවේ ආන්ඩුවේ බැඳුම්කර මිලටගත් බොහෝ දෙනෙක් ඩොලර් බිලියන 95ක පැහැරහැරීමේ වගකීම මත සාකච්ඡාමය විසඳුමකට එකඟ වූහ. එම නය හිමියෝ පැහැර හැරීමට ලක්වූ සිය බැඳුම්කර, ආන්ඩුව අලූතෙන් නිකුත්කල බැඳුම්කරයන් සඳහා වට්ටම් කල මිලකට ගනුදෙනු කිරීමට එකඟ වූහ.

මෙම නය හුවමාරුව ක‍්‍රියාත්මක කලේ, වියදම් කප්පාදු, කම්කරුවන්ගේ විශ‍්‍රාමික අරමුදල් ගසාකෑම හා අනෙකුත් කප්පාදු පියවර සමගින්ය.

නය හිමියන්ගෙන් සියයට 7ක් මෙම ගිවිසුම කිසිවිටෙක් නොපිලිගත් අතර වඩා හොඳ ගනුදෙනුවක් ඉල්ලා සිටියේය. බිලියන 1.5 පමන පැහැර හැරි බැඳුම්කර හිමිකරගෙන සිටි එන්එම්එල් කැපිටල් හා අඋරිලියස් කැපිටල්, නය ආපසු ගෙවීම අත්හිටුවා එතෙක් ගෙවිය යුතු පොලිය ද සමග, තමන් සතු බැඳුම්කරයන්හි මතුපිට වටිනාකම තමන්ට ගෙවිය යුතු යයි ඉල්ලා නඩුවක් ගොනුකලහ. ග‍්‍රීසා විනිසුරුවරයා පලමුව ඔවුන්ට වාසිවන නියෝගයක් පැනවූ නමුත් ආර්ජන්ටිනාව ඉදිරිපත් කල අභියාචනාවේ තීරනය ලැබෙන තෙක් එය අත්හිටුවීය.

ගෝලීය ඇඟවුම් ගැබ්කරගත් මෙම තීන්දුව, තම මූල්‍ය කටයුතු කලමනාකරනයේදී ආරක්ෂන අරමුදල්, සමපේක්ෂකයින් හා මූල්‍ය උකුස්සන්, ජාතික රාජ්‍යයන්ගේ අධිකාරයට ඉහලින් තබන ලදී. මෙම තීන්දු දෙක මගින්, ඩිට්‍රොයිට් නගරය මත කෙවින් ඔර් දරන තැන මෙන්, ආන්ඩුවේ මූල්‍ය කටයුතු වලදී උකුසු අරමුදල්, මූල්‍ය සාර්වරුන්ගේ තැනට පත්වෙයි.

ආර්ජන්ටිනාවේ බැඳුම්කර නය, එජ අධිකරනයේ තීරනයට යටත් කිරීමට 1994දී එරට එකඟ වීමත් සමග මෙම සිදුවීම් මාලාව දියත් විය. නෙස්ටෝ කච්නර්ගේ 2005 සාකච්ඡා ද ක‍්‍රිස්ටිනා ෆර්නෑන්ඩෙස්ගේ 2010 සාකච්ඡා ද හමුවේ, බලයට පත් ආර්ජන්ටිනාවේ ආන්ඩු, නය මූල්‍යකරනයේ හා ආපසු ගෙවීමේ අවසාන තීරකවරයා වනු ඇත්තේ වෝල් වීදිය බවට පිලිගනිමින් සිටියේය. මෙහි ප‍්‍රතිපල වශයෙන් සෞඛ්‍ය, අධ්‍යාපනය, විශ‍්‍රාමික සහන හා සියලු සමාජ වියදම්, වෝල් වීදියේ කතිපයාධිකාරයින්ගේ අවශ්‍යතාවන්ට යටත් කරනු ලැබිනි.

ශ්‍රේෂ්ඨාධිකරනයේ තීරනයන්ට ප‍්‍රතිචාර වශයෙන් ආර්ජන්ටිනාවේ ආන්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීති ආයතනය ආරම්භයේදී තම සේවාදායකයා උකුස්සන් සමග සාකච්ඡා ඇරඹීමට සූදානම් බව ඇඟවුම් කලේය. එදිනම ආර්ජන්ටිනාවේ ආර්ථික ඇමති, ගෙවීම් කටයුතු අවශ්‍ය ආයෝජකයින්ට, එජ නීතියෙන් ස්වාධීන නව බැඳුම්කරයන් සඳහා තමන් සතු බැඳුම්කර හුවමාරු කිරීමට ඉදිරිපත්විය හැකි බව පැවසීය.

නිව් යෝර්ක් නියෝග කෙරෙහි දැක්වූ සිය පලමු ප‍්‍රතිචාරයේදී ෆර්නැන්ඩේස් එය “කොල්ලකෑමක්” ලෙස හෙලාදුටුවාය. අධිකරන නියෝගය නොසලකා හරින බව එහි අර්ථය විය. උකුස්සන්ට එරෙහිව ආර්ජන්ටිනාව ජාතියක් ලෙස එක්සත් විය යුතුය යන, දේශපාලන සංස්ථාපිතයේ අදහස් ඇගේ ද තේමාව වී තිබුනි. සතියක් ගතවන විට පැහැදිලි වන්නේ, ෆර්නැන්ඩේස්ගේ වචන දේශපාලන මවාපෑමක් බව සනාථ කරමින් ආන්ඩුව සාකච්ඡාවලට බැසගෙන ඇති බවයි.

ආර්ථික කටයුතු පිලිබඳ ඇමති සිය එජ නීතිඥයින්ට පටහැනිව යමින්, ගෙවීම් ප‍්‍රාන ඇපයට ගනිමින් දැනටමත් එකඟව ඇති කොන්දේසි යටතේ සාකච්ඡා නොපැවැත්වෙනු ඇති බවට 26දා රාත‍්‍රියේ කල නිල ප‍්‍රකාශය ද එවැනිම ආපසු හැරීමක් සනිටුහන් කලේය. නය හිමියන්ගේ විශ්වාසය නැංවීමේ අරමුන ඇතිව පලමුව ගත් පියවර ආර්ජන්ටිනාවේ මූල්‍ය ස්ථාවරත්වය ට තර්ජනයක් බවට පත්ව තිබේ.

27දා ජනාධිපති ෆර්නැන්ඩේස්, රොසයිරෝ නගරයේ කොඩි දිනය සැමරීමේ උත්සවයේදී කල කථාවේදී, සිය පාලනය නිවැරදි කොන්දේසි යටතේ පමනක් ගෙවීම් කිරීමට සූදානම්ව සිටින බව සනාථ කලාය.

ෆර්නැන්ඬේස්ගේ ආස්ථානය යලි ප‍්‍රකාශ කල දැන්වීමක් මේ සති අන්තයේ වෝල් ස්ටී‍්‍රට් ජර්නලයෙහි “ආර්ජන්ටිනාවට නය ගෙවාගෙන යාමට අවශ්‍ය නමුත් ඔවුන් එයට ඉඩ දෙන්නේ නැත” යන ශීර්ෂයෙන් පලකොට තිබුනි.

එරට මහ බැංකුව හමුවේ පවතින අනතුර වන්නේ, නෙස්ටර් කර්ෂ්නර්ගේ ආන්ඩුව විසින් 2005දී සම්මත කල පනත යටතේ ප‍්‍රමාදයන් පිලිබඳ ඕනෑම සංශෝධනයක කොන්දේසි මුල් ගිවිසුම පිලිගත් සියලු දෙනාට ද අදාල වීමය. ප‍්‍රතිව්‍යුහකරනය කල බැඳුම්කර හිමි ඉතාලි ජාතිකයන්, ඕනෑම නව ගිවිසුමකට තමන් ද ඇතුලත් විය යුතු බව පවසා ඇත.

බැඳුම්කර හිමියන් සතු වටිනාකම ඩොලර් බිලියන 18ක් වන අතර එය ආර්ජන්ටිනාවේ මහ බැංකුව සතු ඩොලර් සංචිතවලින් අඩකට සමානය. ප‍්‍රතිව්‍යුහකරනය කල බැඳුම්කරයන්ගේ අගය බිලියන 120කි.

එජ අධිකරන තීන්දුව දී ඇත්තේ ආර්ජන්ටිනාව නරකම අර්බුදයකට මුහුනදී සිටියදීය. 2011දී එරට සතුව පැවති විදේශ සංචිත බිලියන 52.8 මේ වනවිට ඩොලර් බිලියන 28දක්වා පහත වැටී ඇත. උද්ධමනය හා විරැකියාව ඉහල යමින් තිබේ. විදේශ ආයෝජන වියැකී යද්දී විවෘත වෙලඳපොලේ පෙසෝ මුදලෙහි අගය පහත වැටෙමින් තිබේ.

නය අවදානම මගහරවා ගැනීමේ හා ප‍්‍රාග්ධන වෙලඳපොල වලින් අරමුදල් ලබාගැනීම යථා තත්වයට ගෙන ඒමේ අවශ්‍යතාවය හමුවේ සාකච්ඡාකරුවෝ, පැරිස් ක්ලබ් යන යුරෝපීය නය හිමියන් සමග ඩොලර් බිලියන 9.7ක් ආපසු ගෙවීමේ එකඟතාවක් ඇතිකරගෙන තිබේ. නයෙන් බිලියන 6.5ක්ම ස්පාඤ්ඤයේ රෙප්සොල් තෙල් සමාගමට ගෙවීමටය. ඉහත උසාවි තීන්දුව නිසා ආර්ජන්ටිනාවේ වගකීම් වලට එකතුවී ගෙවීමට සිදුවන අමතර මුදල ඩොලර් බිලියන 35කි.

2001 සිට නය හිමියන්ට ගෙවා දමා ඇති නය ප‍්‍රමානය ඩොලර් බිලියන 174ක් බවත්, 2005 හා 2010 නව බැඳුම්කර මිලට ගත් අයගේ ගෙවීම් කිසිවිටෙකත් පැහැරහැර නැති බවටත් ෆර්නැන්ඩේස් පාලනය කයිවාරු ගසයි. මෙය වංචාවකි. ගෙවිය යුතු දිනය කල් දමා ගනිමින් ආර්ජන්ටිනාව එකක් උඩ තවෙකක් වශයෙන් නය කඳුගසා ගන්නේ, බංකොලොත් පුද්ගලයෙක් එක් නයක් ගෙවීමට තවත් ක්‍රෙඩිට් කාඩ් පතක් යොදාගන්නා ආකාරයටය.

සියල්ල කීමෙන් හා කිරීමෙන් පසුව ආර්ජන්ටිනාව, ඩොලර් බිලියන 250ක සමස්ත නය සම්භාරයකට මුහුනපා සිටින බව බුවනොස් අයර්ස්හි ක්ලැරින් දිනපතා පුවත්පත වාර්තා කලේය. මෙයට ගොඩගැසී ඇති පොලී හා දඩ මුදල් ඇතුලත් වන නමුත් යලි සලකා බැලීමේ හැකියාවක් නැති නය ඇතුලත් නොවන්නේය. මෙම ප‍්‍රමානය 2001 තිබුනාට වඩා බිලියන 100න් වැඩි මුදල් ප‍්‍රමානයකි. නය පැහැර හැරීමේ හුවමාරු ව්‍යුත්පන්නයන් දැනටමත් සිය බැඳුම්කරයන්ගේ මුලු අගයම රක්ෂනය කර තිබේ.

සිතාගත හැකි පරිද්දෙන්ම පෙරොන්වාදී තරුනයෝ, කම්කරු ව්‍යාපාරය හා ව්‍යාජ වම්මු යන සියල්ලන්ම, උකුසු අරමුදල් වලට එරෙහිව ජාතික එකමුතුවක් සඳහා ෆර්නැන්ඩේස්ගේ කැඳවුමට සතුටුදායක ලෙස ප‍්‍රතිචාර දක්වා ඇත.

ගුරුවරුන්, රජයේ සේවකයන් යනාදී අයගෙන් සමන්විත වඩාත් “වාම” සීටීඒය එජ උසාවි නියෝගයට විරෝධය පලකොට තිබේ. සීටීඒ නායක හියුගෝ යැන්ස්කි, නය ගෙවීම නිසා සාගින්න හා සමාජ කාලකන්නිකම ඇතිවේ යයි පවසා ඇත. නය කටුගා දැමීම ගැන ඔහු සඳහන් කර නැත. ආන්ඩුව සමග වඩාත් සමීපව බැඳී සිටින ජීජීටී ඇසොපාර්ඩෝ යන කම්කරු සංගමය, තමන් ආන්ඩුවේ නය ආපසු ගෙවීමේ මූලෝපායට සහාය දක්වන බව ඇඟවුම් කර තිබේ.

ෆර්නැන්ඩෙස්ගේ තරුන ව්‍යාපාරය වන ලා කැම්පෝරා ද සිය හඬ නංවා ඇත. “එක්කෝ උකුස්සන් නැතිනම් ආර්ජන්ටිනාව” යන සටන්පාඨය යටතේ ඔවුන් ජාතික එකමුතුවක් සඳහා හඬ නගමින් ජනමත විචාරනයක් කැඳවුම් කලේය.

එක්සත් සමාජවාදී කම්කරු පක්ෂය ඇවැන්සඩා සෝෂලිස්ටා පුවත්පතෙහි ජාතිකවාදී පදනමක එම ප‍්‍රශ්නය ගැන කථා කරයි. ඔවුන් ජනාධිපති ෆර්නැන්ඩෙස්ට විරුද්ධ වන්නේ ජාතික ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමට ඇති තරම් වීරිය නොකරන නිසාය.

පී ඕ යන ව්‍යාජ වාම කම්කරු පක්ෂය සිය පුවත් පතෙහි එවැනිම හඬක් නගමින්, ජනමත විමසුමක් සමග ජාතික එකමුතුවක් ගොඩනැගීමට කැඳවුම් කරයි.

එහි නායක ජෝර්ජ් ඇල්ටමිරා, රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින්, කොන්දේසි අවම කිරීමට නය හිමියන්ට බලකිරීමේ ජර්මානු ආන්ඩුවේ පිලිවෙත අනුව ග‍්‍රීක විසඳුම සඳහා කැඳවුම් කිරීම විශ්මය ජනකය. ජර්මන් චාන්සලර් ග‍්‍රීක හා සයිප‍්‍රස් නය පිලිබඳව කටයුතු කල ආකාරයට ආර්ජන්ටිනාව සඳහා ද හොඳ කොන්දේසි පිලිගන්නා ලෙස නය හිමියන්ට බලකරන “ජාතික සහයෝගිතාව” අවශ්‍ය බව ඔහු කියා ඇත.

ඔහුගේ ප‍්‍රකාශයන්හි තර්කනයට අනුව, උකුසු අරමුදල්, බැංකු හා වෝල් වීදියට ද යම් ආකාරයක බලපෑමක් කල හැකි ජාතික එකමුතුවක් අවශ්‍ය කෙරේ. නැතිනම්, ග‍්‍රීසිය හෝ ඩෙට්රොයිට් ආකාරයේ දෙයක්, එනම්, තමන්ට කිරීමට බලකෙරෙන කවර හෝ කැපකිරීම් හා පීඩාවන් සියල්ල තරුනයින් හා දුගී ජනතාව විසින් පිලිගත යුතුව ඇති බවයි.

Share this article: