එංගලන්ත මහ බැංකු අධිපති ධනවාදයට එල්ලවන තර්ජන පිලිබඳව අනතුරු අඟවයි

Bank of England governor warns of threat to capitalism

ජෝර්ඩන් ෂිල්ටන්, 2014 ජූනි 16

පසුගිය මාසයේදී එංගලන්ත මහ බැංකු අධිපති මාර්ක් කානි, ලන්ඩනයේ පැවති සමුලුවකදී “ඇතුලට නැඹුරුවූ ධනවාදය” යන මැයෙන් කථාවක් පැවැත්වීය. ලාභ පද්ධතිය මුහුනදෙන අනතුරු පිලිබඳව ඔහු කරුනු ගනනාවක් ගෙනහැර දැක්වීය.

බැංකුකරුවන් තම සදාචාරමය වගකීම් සැලකිල්ලට නොගන්නේ නම්, ධනවාදය තෙමේම විනාශයට පත්වනු ඇතැයි කානි ප්‍රකාශ කලේය. “ඒසා ප්‍රමානයක් විසඳුම් ඉදිරිපත් කරන ධනවාදය හුදෙක් ඒ හැටියෙන්ම ගැනීමට අපට නොපුලුවන. සෞභාග්‍ය සඳහා හුදෙක් ආර්ථික ප්‍රාග්ධනය පමනක් නොව සමාජ ප්‍රාග්ධනය ද ආයෝජනය කිරීම අවශ්‍ය කෙරේ. ” සමුලුවේදී ඔහු පැවසීය.

“වෙලඳපොල මූලධර්ම පාලනය නොකලහොත්, විප්ලවය තමන්ගේ දරුවන් කා දමන ආකාරයටම, ධනවාදයේ දිගු කාලීන ගතිකය සඳහා අත්‍යවශ්‍ය වන සමාජ ප්‍රාග්ධනය ද එය විසින්ම ගිල දමනු ඇත. මෙම ප්‍රවනතාවය වැලැක්වීමට නම්, පුද්ගලයින් හා ඔවුන්ගේ ආයතන වලට පුලුල් පද්ධතියක් සඳහා අවශ්‍ය කෙරෙන, සිය වගකීම් පිලිබඳ හැඟීමක් තිබිය යුතුය. එහි ප්‍රතිපල වශයෙන් සාධාරන, සුවිශේෂී වෙලඳපොලවල් සඳහා චර්යා ධර්ම සංග්‍රහයක් හා මෙම රාමුව තුල පවත්වාගත යුතු නියාමන වගකීම් සමුදායක් පවා පිහිටුවීම අවශ්‍ය කෙරේ. ” කානි එසේ පැවසීය.

බ්‍රිතාන්‍යයේ මෙන්ම ජාත්‍යන්තරව ද සැබවින්ම පවතින දැවැන්ත අසමානතාවය විස්තර කරන වාර්තා තොගයක සන්දර්භය තුල තබා ඉදිරිපත් කල කානිගේ ප්‍රකාශන, තම සමාජ පර්යායේ වැඩෙන අනිස්තිර ස්වභාවය හා නොවරදවාම පැන නඟිනු ඇති සමාජ ප්‍රතිරෝධය පිලිබඳව පාලක පන්තියට කෙරෙන තියුනු අනතුරු ඇඟවීමකි.

මෙම කථාවට යන්තම් සතියකට පෙර සන්ඩේ ටයිම්ස් පත්‍රයේ වාර්ෂිකව පල කෙරෙන ධනවතුන්ගේ ලැයිස්තුව පෙන්නුම් කලේ, එක්සත් රාජධානියේ පොහොසත්ම පුද්ගලයින් 1000, සමස්ත දල දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් එකකට සමාන ඩොලර් ට්‍රිලියන 30ක ධනයක් සතුකරගන්නා බවය. ගෝලීය වශයෙන් ධනවතුන් හා දුප්පතුන් අතර වැඩන ආගාධය හෙලිදරව් කෙරෙන වාර්තා පසුගිය තෙසතියෙහි එත්සත් ජනපදය තුලත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසිනුත් පලකරන ලදී.

ස්මාරක වශයෙන් පවතින එවන් අසාධාරනයන් පිලිබඳව කානිගෙන් පලවන කනස්සල්ල අභූතයකි. ඔහු සිය කථාව පැවැත්වූයේ, නව කොන්සවේටිව් (තත්වාරක්ෂක) හෙන්රි ජැක්සන් සමාජය විසින් පටන්ගන්නා ලද ව්‍යාපෘතියක් වන “ඇතුලට නැඹුරුවූ ධනවාදයේ වැඩසටහනෙහි” (අයිසීඅයි) කොටස්කරුවන් සමූහයක් ඉදිරියේය. මෙම වැඩසටහනේ සම අනුග්‍රාහකයින් වුනේ, ලන්ඩන් නගර සංස්ථාව හා ආයෝජන සමාගමක් වන රොත්ස්චයිල්ඩ් ය. සහභාගී වූවන්ගේ ලැයිස්තුවට, ආයෝජනය කල හැකි සමස්ත වත්කම් ප්‍රමානයෙන් තුනෙන් එකක් නැතහොත් ඩොලර් ට්‍රිලියන 30ක් පාලනය කරන පුද්ගලයෝ ද වූහ.

කඳු ගැසෙන අසමානතාවයේ සමාජ ප්‍රතිවිපාක පිලිබඳ ඔහුගේ පෙනෙන්නට තිබුනු කනස්සල්ල තිබියේ වුව ද කානි, මූල්‍ය වංශාධිපතියන්ට බාධාවකින් තොරව සිය සමපේක්ෂන කටයුතු යලි ඇරඹීමට ඉඩ සලසමින් මෑත වසරවල මූල්‍ය පද්ධතිය තුලට පවුම් බිලියන ගනනින් පොම්ප කල මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කර තිබේ. ඔවුන් අනුගමනය කල, එජ ෆෙඩරල් රිසව් මහ බැංකුවේ ප්‍රමානාත්මක ලිහිල් කිරීම හා වත්කම් මිලට ගැනීමේ වැඩසටහන් වැනි ප්‍රතිපත්ති මගින්, ආන්ඩුව ක්‍රියාත්මක කල ඇපදීම්වලට අමතරව බැංකුවලට තවත් බිලියන ගනනක වාසියක් සැලසුනි. එමගින් කොටස් වෙලඳපොලවල වාර්තාගත ඉහල මට්ටම් සලකුනු කලේ, මහජන සේවාවන්ගේ හා වැටුප් කප්පාදුවේ ව්‍යසනකාරී තත්වයන් හමුවේය.

මහා අවපාතයේ පටන් ධනේශ්වර ක්‍රමයේ ගැඹුරුම අර්බුදය හටගැනීමට සම්මාදම් වෙමින් ඔවුන් ඉටුකල වැඩ කොටස සඳහා වගකිවයුතු එකදු ප්‍රමුඛ පුද්ගලයෙකුට හෝ දඬුවම්කර නැති තත්වයක් තුල, මූල්‍ය අංශයට තමන්ගේ සදාචාරමය හෘද සාක්ෂිය සොයාගන්නා ලෙස කියා සිටීම ඊටත් වඩා අභූතයකි. දූෂිත භාවිතයන් පිලිබඳ දිගු ලැයිස්තුවක් එලිමහනට පැමින ඇත ද බැංකුකරුවන්ට විරුද්ධව කිසිදු සාපරාධී චෝදනාවක් හෝ ඉදිරිපත් නොකර, නියාමකයින් විසින් මූල්‍ය ආයතනයන්ට සුලු කෙනිත්තීමකට වැඩි නොවන ආකාරයේ දඩ නියම කිරීම පමනක් සිදුව ඇත.

දැන් ජනතාවට පවසන්නේ, සමාජය පුරා පැතිර පවතින කාලකන්නි තත්වයට වගකිවයුතු එම සමපේක්ෂකයින්, සමස්ත සමාජයම වෙනුවෙන් තෙමේම නියාමනය වනු ඇතැයි විශ්වාස කරන ලෙසය.

අවපාත කාල පරිච්ඡේදය තුල ක්‍රියාත්මක කල ප්‍රධාන මූල්‍ය රෙගුලාසි අහෝසිකර දැමූ පාලන කාලයේ මුල් පුටුව අරා සිටි, හිටපු එජ ජනාධිපති බිල් ක්ලින්ටන් ද සහභාගී වූ අය අතර විය. වානිජ්‍ය හා ආයෝජන බැංකු ක්‍රමය එකිනෙකින් වෙන්කල ග්ලාස් ස්කාගිල් පනත අහෝසි කිරීම, 2008 මූල්‍ය කඩාවැටීම කුලුගැන්වූ සමපේක්ෂන නාඩගමේ ප්‍රමුඛ භූමිකාවක් ඉටුකරනු ලැබුනි.

න්‍යාය පත්‍රයට ඇතුලත්වූ, ධනවාදය නඟාසිටුවීමේදී ශ්‍රම කලමනාකරනය හා ව්‍යාපාර එක්ව වැඩකල හැක්කේ කෙසේ ද යන අයිතමය පිලිබඳ සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් ද ඊට සහභාගී විය. මෑතකදී ජර්මානු වෘත්තීය සමිති සම්මේලනයේ නායකත්වයෙන් ඉවත්වූ මයිකල් සොමර් විසින් සාකච්ඡාව හඳුවාදෙනු ලැබිය.

වැඩකරන ජනතාවගේ ප්‍රතිරෝධයට එරෙහිව පාලක පන්තියේ අන ක්‍රියාවට නැඟීමට තමන් සැපයූ තීරනාත්මක දායකත්වය පිලිබඳ සාක්ෂියක් වෘත්තීය සමිතිවල සහභාගිත්වය මගින් සැපයුවා පමනි.

සමුලුව තුල කථා කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ක්‍රිස්ටීන් ලැගාඩි, එහි කාර්යක්ෂමතාව ඉහල නැංවීමට නම් ධනවාදය වඩාත් තිරසාර විය යුතු බවට අනතුරු ඇඟවීය. සුපිරි ධනපති ප්‍රභූවට දැවැන්ත ධන සම්භාරයක් යලි බෙදාහැරීම ප්‍රතිපලය බවට පත්ව තිබෙන විනාශකාරී කප්පාදු වැඩසටහන් යුරෝපය පුරා වැඩකරන ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමට මුල්වූ සංවිධානයේ නායකත්වය උසුලන්නේ ලැගාඩි විසිනි.

බ්‍රිතාන්‍යයේ පවුම් බහු බිලියන ඇපදීම් ක්‍රියාත්මක කලා වූ ද පසුකාලයේදී කොන්සවේටිව්-ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සභාගය විසින් ක්‍රියාත්මක කල මහා කප්පාදු වඩසටහන් හඳුන්වාදුන්නා වූ ද ලේබර් පක්ෂයෙන් සමුලුව කෙරේ පල කෙරුනේ උද්වේගකර ප්‍රතිචාරයකි.

“සියල්ලන්ට බලපාන, ධනවාදය සඳහා ලේබර් පක්ෂයේ සැලැස්මය” යන හිසින් සවස ටයිම්ස් පත්‍රයේ ලිපියකින්, පක්ෂයේ ඡායා කැබිනට්ටුවේ විශ්වවිද්‍යාල ඇමති ලියම් බයිනි හා එහි ප්‍රතිපත්ති විමර්ෂක ජෝව් කෘඩාස් යන පක්ෂයේ දක්ෂිනාංශිකයින් දෙදෙන සමුලුවට ඉදිරිපත් කල අදහස් උපුටා දැක්වීය. සමුලුව නියෝජනය කරන්නේ, “ව්‍යාපාරිකයන්ට හා දේශපාලකයින්ට ජයගත හැකි න්‍යායපත්‍රයක්” බවත් “ජාතික පුනර්ජීවනය සඳහා සැලැස්මක්” බවත් ඔවුහු කියා සිටියහ.

“ව්‍යාපර හිතවත් හා කම්කරු හිතවත් සමාගමක් නිර්මානය කිරීම මගින්, ව්‍යාපාර, වෘත්තීය සමිති, ආන්ඩුව හා සිවිල් සමාජය අතර නව සන්ධානයක් ගොඩනැඟීමෙන්” ආර්ථික වර්ධනය ඉහල නැංවීමට එක්ව වැඩකරනු ඇත.

මෙම ආර්ථික “ප්‍රකෘතිය” මූල්‍ය ක්ෂේත්‍රය සමග මුලුමනින්ම පාහේ බැඳී ඇත.

බ්‍රිතාන්‍යයේ මූල්‍ය කර්මාන්තය දදේනි සියයට 40ට වග කියයි. එහි වාසිය මුලුමනින්ම පාහේ ගලා යන්නේ අල්පතරයක් වන සුපිරි ධනපතියන් අතටය. ලාභය නැංවීම පිනිස වැටුප් හා ජීවන තත්වයන් කප්පාදු කිරීමට ලක්වන වැඩකරන ජනතාවගේ වියදමින් මෙම ධනවත් ස්ථරය තව තවත් ධනයෙන් ආඪ්‍ය කිරීම, කම්කරු පක්ෂයේ ආර්ථික වර්ධන සැලැස්ම මගින් පූර්ව කථනය කෙරේ. අයිසීඅයි වෙත මෙම තත්වය මූලික වශයෙන් වෙනස් කිරීමේ අදහසක් පැහැදිලිවම ඇත්තේ නැති අතර එය හුදෙක්ම උත්සාහ කරන්නේ මහජන කෝපය තුනී කිරීම පිනිස නාමික සහන ස්වල්පයක් පිරිනැමීම වෙනුවෙන් මූල්‍ය පැලැන්තියට කරුනු කියාපෑමට පමනි. ඩොයිෂ් වෙලි යන ජර්මානු ප්‍රවෘති සඟරාව නිවැරදි ලෙස සඳහන්කල පරිදි, “අයිසීඅයි හඬ යම් උත්කෘෂ්ඨ නොවන කරුනාවක් බව පෙනී“ යයි.

එහෙත්, ධනවාදයේ නරකම අන්තයන් පාලනය කිරීම සඳහා වන ප්‍රතිසංස්කරන වෙනුවෙන් කෙරෙන ආයාචන, වැදගත් වන නමුදු, අද දිනයේ වංශාධිපතිත්වය තම ධනයෙන් හා වරප්‍රසාදයන්ගෙන් කිසිවක් අහිමිකර ගැනීමට දක්වන ආත්මීය විරුද්ධත්වය ගැන සාකච්ඡා නොකරයි. එවන් තුච්ඡ මට්ටමකට නැඟී ඇති අසමානතාවය, මූල්‍ය පැලැන්තියේ නිරන්තර සාපරාධී හැසිරීමේ හා අදූරදර්ශ කමේ ප්‍රතිපලය පමනක් නොවේ. එය වනාහි වසර 150ට පෙර කාල් මාක්ස් විසින් සොයාගත් ධනවාදයේ වෛෂයික ක්‍රියාවලීන්ගේ සෘජු නිමැවුමකි.

තරඟයේ හා ප්‍රාග්ධන සමුච්ඡකරනයේ එම ක්‍රියාවලියේම නොවැලැක්විය හැකි ප්‍රතිපලය වශයෙන්, ප්‍රාග්ධනය ස්වල්ප දෙනෙකුගේ අතෙහි එක්රැස්වීමත් සමග ඒකාධිකාරය හා මධ්‍යගතවීම දෙසට වන ප්‍රවනතාවක් නිර්මානය වන්නේ කෙසේ ද යන්න මාක්ස් කැපිටාල් කෘතියේ පලමු වෙලුමේදීම පැහැදිලි කර තිබේ. 25 වන පරිච්ඡේදය තුල මාක්ස්, “මධ්‍යගතවීමේ වඩාත්ම බලගතු ලීවරයන් දෙක, තරඟය හා නය” බව හඳුනාගත්තේය.

“එබැවින් අද දිනයේදී ආකර්ෂනය කර ගැනීමේ බලය, පෞද්ගලික ප්‍රාග්ධනය එකට ඇද ගැනීම හා මධ්‍යගතවීමේ ප්‍රවනතාවය අන් කවරදාකටත් වඩා ශක්තිමත්ය. ” මාක්ස් එසේ නිගමනය කලේය.

මාක්ස් විසින් විස්තරකල ක්‍රියාවලිය පසුගිය සියවස් එක හමාර තුල නාටකාකාර ලෙස උත්සන්නවී තිබේ. තව ද ධන රාශිකරනය, නිෂ්පාදන ක්‍රියාවලියෙන් දික්කසාදවී ඇත. පසුගිය දශක තුනක කාලය පුරා ප්‍රමුඛ ආර්ථිකයන්හි පුපුරන සුලු මූල්‍යකරනය හා අයිඑස්අයි සමලුව තුල නියෝජනය වූ සුපිරි ධනපති ස්ථරයේ මතුවීම මෙයට නිදසුනයි.

මෙම ක්‍රමය ප්‍රතිසංස්කරනයට හෝ නියාමනය කිරීමට දරන ඕනෑම වෑයමක් අසාර්ථකත්වය උරුමකර ගනියි.

ධනවාදයේ ඓන්ද්‍රීය ලක්ෂනයක් වන දැවැන්ත සමාජ අසමානතාවය අහෝසි කල හැක්කේ ලාභ පද්ධතිය අහෝසි කර සමාජවාදය පිහිටුවීමට කැපවූ දේශපාලන ව්‍යාපාරයක් තුලින් පමනි.

Share this article: