ඉරාක රාජ්‍යය බිඳී විසිර යද්දී කලාපීය පරිමාන යුද්ධයක තර්ජනය මතුවේ

Region-wide war threatens as Iraqi state disintegrates

ජේම්ස් කෝගන් විසිනි, 2014 ජූනි 27

අයිසීස් නමින් හඳුන්වන ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑස්) සංවිධානයේ ඉස්ලාම් අන්තවාදීන් හා බැග්ඩෑඩයේ ෂියාවරුන් අධිකාරය දරන ආන්ඩුව අතර බුර බුරා නැගෙන යුද්ධය මධ්‍යයේ ඉරාක ජාතික රාජ්‍යය කැබලිවීයාම, එක්සත් ජනපදය පමනක් නොව, මැද පෙරදිග ද ලෝකය පුරා ද රටවල් ඇදගන්නා නොවැලැක්විය හැකි තත්වයක් උද්ගතකර තිබේ.

යුදවාදී ඉරාක මිලිටරියට උපදෙස් දීමට බව පෙනීයන, ඇමරිකානු විශේෂ කාර්ය බලකායේ 300ක් ඉරාකය වෙත පැමිනි අතර උතුරු හා බටහිර ඉරාකයේ විශාල කොටසක ආන්ඩුවේ පාලනය බිඳවැටී අයිසීස් හා සුන්නි කැරැල්ල යටතට පත්වීම පිලිබඳව ඔබාමා පාලනයෙන් හා ඇමරිකානු විදෙස් පිලිවෙත් සංස්ථාපිතයෙන් නොකඩවා එල්ලවන චෝදනා අගමැති මලිකි විසින් ඉවත දමා ඇත. සිය තන්ත්‍රය සුන්නි දේශපාලන පක්ෂ මර්දනය කිරීම පිලිබඳව වොෂින්ටනය නඟන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කලේය. එසේම “ජාතික එකමුතුවේ” ආන්ඩුවක් පිහිටුවීමට හැකිවන පරිදි ඔහු අගමැති කමින් ඉල්ලා අස්විය යුතු බවට එජ යොදන පීඩනය ද ඔහු බැහැර කරයි. ඒ වෙනුවට ඔහු හැරී ඇත්තේ, ඉරාකය තුල ෂියා සටන්කරුවන් හමුදාවට බඳවැගැනීම, ඉරාන ෂියා පාලන තන්ත්‍රය හා රුසියාව වෙතය.

ඔබාමා පාලනය කෙරෙහි මලිකි දක්වන විරුද්ධත්වය, 23දා ඔහු එජ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසුව කටුක අතට හැරී ඇත. 25දා ඔහු “ජාතික එකමුතුවේ” ආන්ඩුවක් වෙනුවෙන් කෙරෙන එජ ඉල්ලීම “කුමන්ත්‍රන” සැලැස්මක් යයි හංවඩු ගැසීය. මලිකි හෝ වෙනත් අයෙකු විසින් නායකත්වය දෙන ෂියා අධිකාරය යටතේ වන තවත් ආන්ඩුවක් නිර්මානය කිරීම පිනිස ජූලි1දා ඉරාක පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන ෂියා දේශපාලන කන්ඬායම් වෙත සියල්ල යොමුවී ඇත. බෙහෝ සුන්නි දේශපාලඥයින් ඊට සහභාගී නොවනු ඇත. කුර්දි වරු අති බහුතරය වන උතුරු ඉරාකය ස්වාධීන කලාපයක් ලෙස පාලනය කරන ජාතිකවාදී පක්ෂ නියෝජිතයින්, තමන් බොහෝ දුරට පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ඉඩ ඇති බව පවසා තිබේ.

2011දී එජ මිලිටරිය ඉවත්කර ගැනීමෙන් පසුව ඉරාකය ඇනවුම් කර තිබෙන එෆ්-16 ප්‍රහාරක ජෙට් යානා සැපයිමට අසමත්වීම සම්බන්ධයෙන්, 26දා බීබීසියේ අරාබි සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මලිකි එජ හෙලා දැකිය. “කොන්ත්‍රාත්තුව අත්සන් තබන විටදී අප රැවටීමට ලක්වූ බව මම අවංකව කිව යුතුය. අපගේ හමුදාවන් සඳහා ගුවන් රැකවරන සැපයීමට බ්‍රිතාන්‍ය, ප්‍රන්ස හා රුසියානු වැනි වෙනත් රටවල ප්‍රහාරක යානා මිලට ගැනීමට අප උත්සාහ කල යුතුව තිබුනි. අපට ගුවන් රැකවරන තිබුනේ නම් පැනනැඟී ඇති තත්වය මඟහරවාගත හැකිව තිබුනි.” මලිකි එසේ පැවසීය.

තම ආන්ඩුව රුසියාවෙන් හා බෙලරුස් වෙතින් ප්‍රහාරක ජෙට් යානා හදිසියේ මිලට ගැනීමට කටයුතු කර තිබෙන බවත් ඒවා “දින දෙකකදී හෝ තුනකදී මෙහි ලඟාවනු” ඇති බවත් මලිකි පැවසීය. සිරියානු ගුවන් හමුදාව විසින් බටහිර ඉරාකයේ අන්බාර් ප්‍රදේශය තුල පිහිටි ඉරාක සිරියානු දේශසීමාවේ ක්වයිම් ප්‍රධාන හමුදා මුරපොල අත්පත් කරගෙන සිටින අයිසීස් හමුදාවන්ට එරෙහිව සිදු කල ගුවන් ප්‍රහාර පිලිබඳව ඔහු ප්‍රසාදය පල කලේය. ගුවන් ප්‍රහාර එල්ල වූයේ දේශසීමාවේ සිරියානු පාර්ශවයෙන් පමනක් යයි අවධාරනය කල ඔහු, තම ආන්ඩුව එවැනි ඉල්ලීමක් කර නොතිබුනු බව ද කියා සිටියේය. එහෙත් අපි “මෙම ක්‍රියාව සාදරයෙන් පිලිගනිමු. මෙම කන්ඬායම ඉරාක හා සිරියාව යන දෙපැත්තම ඉලක්ක කරගෙන ඇති නිසා අයිසිස්ට එරෙහි සිරියානු ගුවන් ප්‍රහාර අපි සාදරයෙන් පිලිගනිමු...අවසන් ජයග්‍රාහකයන් වන්නේ අප දෙරටයි.”

වසර ආරම්භයේ පටන්ම ඉරාකයට ඇතුල්කර තිබූ සුන්නි අන්තවාදී අයිසිස් සටන්කරුවන් පුහුනුකර සන්නද්ධ කර ඇත්තේ සිරියාවේදීය. ඔවුන්, ඉරානය පිටුබලය සපයන ජනාධිපති බෂර් අල් අසාද්ගේ තන්ත්‍රය පෙරලා දැමීම සඳහා එජ, යුරෝපීය බලවතුන්, තුර්කිය, සව්දි අරාබිය හා ගල්ෆ් රටවල් විසින් උපයෝගී කර ගන්නා හමුදාවන්ගේ කොටසකි. සිරියාවේ විශාල අලවයිට් සුලුතරය අතර අසාද්ගේ සම්ප්‍රධායික සහයෝගිතා පදනම පිහිටියේය. අයිසිස් හා අනෙකුත් සුන්නි පදනම් සහිත කැරලිකරුවන් තම ත්‍රස්තවාදි කටයුතු ගෙනයන්නේ, අලවයිට් නිකාය බලයෙන් පහකිරීමේ විවෘත නිකායික ඉදිරිදර්ශනය සහිතවය.

අසාද් ආන්ඩුවට එරෙහි ඉස්ලාමීය මිලිටරි ව්‍යාපාරයේ “මධ්‍යස්ථ” මිලිෂියාවන් පුහුනු කර සන්නද්ධ කිරීම සඳහා එජ කොන්ග්‍රසයෙන් ඩොලර් මිලියන 500ක් ඉල්ලා සිටීමට 26දා ඔබාමා පාලනය ගත් තීරනය, වර්ධනය වන කලාපීය පරිමානයේ යුද්ධයක ගිනිදැල් මෙලවීමට පමනක් දායක වෙයි.

සිරියාවේ හා ලෙබනනයේ වැඩි කොටසක් ද ඇතුලත් වන ඉස්ලාමීය රාජ්‍යයක් තුලට ඇතුලත්කර ගැනීමට අයිසිස් උත්සාහ කරන ඉරාකයේ ෂියාවරුන් ජීවත්වන ප්‍රදේශවල, දේවස්ථාන විනාශ කර ෂියා ජනතාව සමූලඝාතනය කිරීමට ඔවුන් තර්ජන එල්ල කර ඇත.

මෙය “ත්‍රස්තවාදයට එරෙහි ශුද්ධවූ යුද්ධයක්” බව කියා සිටිමින් 25දා මලිකි, අයිසිස්ට එරෙහි අරගලය ඊට නොදෙවෙනි පරිදි නිකායික අදහස් වලින් සන්නද්ධ කලේය. ලෙබනනයේ හිස්බොල්ලා ව්‍යාපාරය හා සිරියානු හමුදාව සමග සටන්වැදී සිටි දහස් ගනන් ෂියා මූලධර්මවාදී මිලිෂියා සටන්කරුවන් සිරියාවේ සිට ඉරාකයට ඇදී එමින් සිටින අතර දස දහස් ගනන් තවත් සටන්කරුවෝ සමාරා, බැග්ඩෑඩ්, නජාෆ් හා කර්බාලාහි ෂියා දේවස්ථාන රැක ගැනීම පිනිස බලමුලු ගැන්වෙමින් සිටිති. බැග්ඩෑඩයෙන් උතුරට, බටහිරට හා නැ‍ඟෙනහිරට වන්නට සුන්නි කැරලිකරුවන්ට යටත්වූ ඉරාක හමුදා ඒකක මුලුමනින්ම පාහේ සැදී තිබුනේ ෂියාවරුන්ගෙනි. ඉරානයේ කුඩ්ස් විශේෂ බලකායේ මිලිටරි උපදේශකයින් පෙරමුනේ හමුදා ඒකක සමග සිටින බව වාර්තාවේ.

වඩාත්ම ශුද්ධවූ ෂියා දේවස්ථානයක් වන සමාරාහි අල් අස්කිරියා පල්ලිය අවට මිලිටරි තත්වය, තවත් විශාල ඉරාන මැදිහත්වීමක් පිලිබඳ ඉඩ ප්‍රස්ථා විවර කර තිබේ. 2006 පෙබරවාරියේදී සුන්නි අන්තවාදීන් බවට සැක කරන කන්ඬායමක් එම පල්ලියට බෝම්බ තැබූ විට දරුනු නිකායික ප්‍රචන්ඬත්වයක් ඇවිල ගියේය. ඉරානය දේවස්ථාන ආරක්ෂාකිරීමට “නොපැකිලෙන බව” ජනාධිපති හසාන් රවුහානි ප්‍රසිද්ධියේ පවසා ඇත. නගරයට දැඩි රැකවල් යොදා ඇති නමුත් අවට ප්‍රදේශවල සටන් ඇවිල යයි. සමාරාව අයිසිස් හා සුන්නි හමුදා අතට පත්වුවහොත් හෝ පල්ලියට තවදුරටත් හානි සිදුවුවහොත්, විශාල පරිමානයෙන් ඉරාන හමුදා ඉරාකය තුලට මැදිහත්වනු නොඅනුමානය. ෂියා දෙවස්ථාන තර්ජනයට ලක්වුවහොත් ඒවායේ ආරක්ෂාව සඳහා දහස් ගනනක සටන්කරුවන් යොදවන බව ලෙබනනය ද පවසා ඇත.

සමස්ත තත්වය කලාපීය යුද්ධයක් ඇවිල යාමේ අන්තරාය ගැබ්කරගෙන ඇත. ඉරාකයේ සුන්නි නැඟිටීම ගැන උත්සුකවන හා අයිසිස් ද ඇතුලු සිරියානු සුන්නි කැරලිකරුවන් සන්නද්ධ කර ඇති සුන්නිවාදී රාජාන්ඩු ද සිය මිලිටරි ශක්තිය යොදවා ඇත.

ජෝර්දානය සිය ඉරාක දේශසීමාව වෙත යුද්ධ ටැංකි හා දහස් ගනන් හමුදා භටයින් යොදවා ඇත. ඒ, දේශසීමා කපොලු අයිසිස් මිලිෂියාවන් අතට පත්වීම වැලැක්වීමේ කඩතුරාව යටතේය. ඩෙබ්කා ෆයිල් යන ඊස්රායල් මිලිටරි බුද්ධි අංශ වෙබ් අඩවියට අනුව සව්දි මිලිටරිය ද සිය ඉරාක දේශසීමාව කරා හමුදාව මෙහෙයවා ඇත. පසුගිය සති අන්තයේ සිදුවූ කෙරීගේ ඊජිප්තු සංචාරයත්, එරට ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසිගේ කුමන්ත්‍රන තන්ත්‍රය වැලඳගැනීමත් සමග ඊජිප්තු විශේෂ කාර්ය බලකාය ද ඉරාක සව්දි දේශසීමාව වෙත යවා ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කලේය. ඉරාක සිරියා දේශසීමා මුරකපොල්ල අල්ලාගෙන සිටින සුන්නි ඉස්ලාම්වාදී සටන්කරුවන්ට ගුවන් යානාවලින් සැපයුම් පිටත්කර හැරීමට සව්දි අරාබිය උපයෝගී කරගන්නා ගුවන්පථයක් විනාශකිරීම ක්වායිම් ආසන්නයේ සිදුකල සිරියානු ගුවන් ප්‍රහාරවල උත්සාහය වූ බව වෙබ් අඩවිය පවසා ඇත.

ඉරාකය බිඳී යාම ගසාකමින් තම මූලෝපායික අවශ්‍යතා පෙරට ගෙනයාමට අනෙක් කලාපීය රටවල්ද උත්සාහ දරයි. රොයිටර් වාර්තාවකට අනුව 26දා පැරිසියේදී ඊස්රායල් විදේශ ඇමති ලිබර්මාන් රාජ්‍ය ලේකම් කෙරී හමුවු විට, ස්වාධීන කුර්දි ප්‍රාදේශීය ආන්ඩුව ඉරාකයෙන් වෙන්වීම “නොවැලැක්විය හැකි නිගමනයක්”බවත් එය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම ඊස්රායලය විසින් පිලිගනු ඇති බවත් පවසා ඇත.

දෙරටේම මූලෝපායිකව වැදගත් ප්‍රදේශවල කුර්දි සුලුතරයක් පදිංචිව සිටින අතර 2003 වසරේ පටන් ඊශ්‍රායලය, ඉරානය හා සිරියාවට එරෙහිව කුර්දි සංස්ථාපිතය සමග සමීප මිලිටරි හා ඔත්තු සේවා පහසුකම් ගොඩනඟාගෙන ඇත. ප්‍රකෝපකරනයන්ට යොදාගත හැකි මධ්‍යස්ථානයක් මෙන්ම ඉරාක කුර්දි ප්‍රදේශ දැන් ඊස්රායලය දැක ගන්නේ, තෙල් සැපයුමේ වාසිදායක මූලාශ්‍රයක් ද සේය. දැනටමත් තුර්කියේ සීහාන් වරායේ සිට තෙල් නැව් පැමිනීමට පටන්ගෙන ඇති බව ද වාර්තාවී ඇත. ඊස්රායල් ජනාධිපති ෂිමොන් පෙරෙස් 25දා වොෂින්ටනයේදී ඔබාමා හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ, “කුර්දිවරු දැනටමත් තමන්ගේම රාජ්‍ය පිහිටුවාගෙන අවසන්” බවයි. තුර්කි ආන්ඩුව හා කුර්දි කලාපය අතර සමීප සම්බන්ධයක් ගොඩනැඟී ඇත්තේ උතුරු ඉරාකයේ තෙල් අපනයනය මත බව ඔහු අවධාරනයෙන් පවසා ඇත.

තමන්ගේම ප්‍රතිවිරෝධී හා ව්‍යාකූල විදෙස් ප්‍රතිපත්ති හමුවේ මැද පෙරදිග තුල මුහුනපා ඇති දරුනු වින්නැහිය සම්බන්ධයෙන් එජ අධිරාජ්‍යවාදයේ ප්‍රතිචාරය මෙම තත්වයේ වඩාත්ම අනිශ්චිත සාධකය බවට පත්ව තිබේ. එක දෙයක් පැහැදිලිය. වොෂින්ටනය ගන්නා කවර පියවරක් මගින් වුවත් සිදුවනු ඇත්තේ, කලාපය තුල දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදය වසින් සිදුකර ඇති ජීවිත හානි, විනාශය හා වධ වේදනාවන් තවත් උත්සන්න කිරීමක් පමනි.

Share this article: