ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය සංගමය විරෝධතා ව්‍යාපාරය තුල මිථ්‍යාවන් වපුරයි

Sri Lankan students’ union promotes illusions in protest campaign

සසජාතශි වාර්තාකරුවන් විසිනි, 2014 ජූනි 16

නිදහස් අධ්‍යාපනයට හා ප්‍රජාතාන්ත්‍රීය අයිතීන්ට ආන්ඩුව එල්ල කරන පුලුල් පරිමානයේ ප්‍රහාරවලට එරෙහිව පසුගිය 10දා 2000ක පමන සිසු පිරිසක් කොලඹට රැස්වූහ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබ) විසින් සංවිධානය කල මෙම විරෝධතාව පැවැත්වුනේ, පේරාදෙනිය හා අනෙකුත් විශ්වවිද්‍යාලවල සමසෞඛ්‍ය විද්‍යා (ඒඑච්එස්) උපාධි අපෙක්ෂක සිසුන් ඔවුන්ගේ අධ්‍යයන කාලය වසර 4 සිට 3දක්වා වසරකින් කපා දැමීමට එරෙහිව දින 170ක් පුරා ගෙන ගිය වාඩිලාගත් උද්ඝෝෂනය හා පන්ති වර්ජනය අත්හිටුවීමෙන් පසුව ය. පසුගිය මාස කීපයේදී, පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට හා සිසුන් සිය ගනනකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එරෙහිව සිසුන් දහස් ගනනක් සම්බන්ධවූ විරෝධතාවන් කොලඹ හා අවට නගරවල පැවත්විනි.

ශිෂ්‍ය විරෝධතාවෙන් කොටසක්

සිංහල වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) බිඳී ගිය කන්ඩායමක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) අධිකාරය දරන අවිශිබ විසින් පසුගිය 10දා පැවැත්වූ රැලියේ අරමුන, ආන්ඩුවේ පෞද්ගලීකරන වැඩපිලිවෙල හා අධ්‍යාපන කප්පාදුවට එරෙහිව සටනක් දියත් කිරීම නොවේ. එය වනාහී සිසු අරගලය අත්හිටුවීමට අවිශිබය සූදානම් වන අවස්ථාවේදී සිදු කෙරනු දේශාපාලන රංගනයක හිස් ජවනිකාවකි.

“සිසු-ජන පෙලගැස්ම” නමින් පුම්බනු ලැබූ මෙම රංඟනය, අධ්‍යාපන කප්පාදු හෙලා දුටු අතර අතුරුදහන් කිරීම් හා මර්දනය නතර කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටි අතර ධීවරයන්ගේ සහනාධාර යලි ලබාදෙන ලෙස ඉල්ලුවේ ය. කෙසේ නමුත් එහි කේන්ද්‍රීය අරමුන වූයේ, අවිශිබය හා විවිධාකාර ව්‍යාජ වම්මුන් විසින් පාලනය කරන වෘත්තීය සමිති අතර සන්ධානයකින් ආන්ඩුවේ ධනේශ්වර “ නිදහස් වෙලඳපොල” පිලිවෙත අත්හැර දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට බලපෑම් කල හැකිය යන මිත්‍යාව තොරොම්බල් කිරීම ය.

විශ්වවිද්‍යාල සිසුන් අතර සිය මූලික පදනම දමාගෙන සිටින පෙසප, නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තීය සමිති හා අනෙකුත් ධනපති කන්ඩායම් සමඟ කාන්ඩ ගැසීමට මේ වන විට උත්සාහ දරමින් සිටියි.

නසසප පාලනය කරන වෘත්තීය සමිති සමඟ රැලියට සහභාගී වූ අනෙකුත් සංවිධාන අතර ජවිපෙට අනුබද්ධ ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය හා සුව සේවා වෘත්තීය සමිති සම්මේලනය ද විය. වැටුප් සහ යහපත් සේවා කොන්දේසි ඉල්ලා කම්කරුවන් දියත් කල අරගලවලට හොරිකඩකම් කිරීම සම්බන්ධයෙන් මෙම වෘත්තීය සමිති කුප්‍රකට ය.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ වැඩෙන බලපෑම යටපත් කිරීමට ද අවිශිබය වෑයම් කරමින් සිටී. ආන්ඩුවේ ප්‍රහාර මෙහෙයවන්නේ ජාත්‍යත්තර මූල්‍ය ප්‍රාග්ධනය විසින් බවත්, නිදහස් අධ්‍යාපනය හා අනෙකුත් මූලික අයිතීන් ආරක්ෂා කරගැනීම සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයක කොටසක් වන බවත් පැහැදිලි කරන අත්පත්‍රිකාවක් බෙදාහරිමින් සසජාතශි සාමාජිකයෝ රැස්වීම තුල මැදිහත් වූහ.

ශිෂ්‍ය විරෝධතා අවසන් කිරීමට ගත් තීන්දුව පිලිබඳව සිසුන් නොමඟ යැවීම සඳහා අවිශිබය විරෝධතා රැලිය යොදා ගත්තේ ය. රැස්වීම සමන්විත වූයේ ශිෂ්‍යයන්ගේ සීමිත විරෝධතා ව්‍යාජ ලෙස උත්කර්ෂයට නැංවූ වෘත්තීය සමිති නිලධරයන්ගෙනි.

අවශිබ නායක සරත් සිල්වා රැලියේදී කියා සිටියේ, අධ්‍යාපනය හා සමාජ සේවාවන්ට එරෙහි ප්‍රහාරවල “මූලය, නව-ලිබරල් ධනවාදය” බව යි. මෙහිදී “නව-ලිබරල්” යන්න යොදා ගැනෙන්නේ, ධනවාදයේ යටතේ වෙනස් ප්‍රතිපත්ති මගින් අධ්‍යාපන කප්පාදුව නතර කල හැකිය යන මිත්‍යාව වැපිරවීමට ය. සත්‍යය නම්, මොන දේශපාලන මුහුනුවරකින් පෙනී සිටියත් ලෝකයේ ඇති ඕනෑම ආන්ඩුවක්, ක්‍රියාත්මක කරන්නේ එකම කප්පාදු න්‍යාය පත්‍රයක් බවයි..

“ජයග්‍රාහී සම සෞඛ්‍ය ශිෂ්‍යන්ගේ අරගලයේදී පෙන්නුම් කල ආකාරයට, ශිෂ්‍ය විරෝධතා මගින් ආන්ඩුවට පියවරක් පිටුපසට ගැනීමට බලකෙරුනේ” යයි සිල්වා කීවේ ය. ඔහුගේ “ජයග්‍රහනය” පිලිබඳ ප්‍රකාශය පදනම් වූයේ, සම සෞඛ්‍ය විද්‍යා උපාධියේ අධ්‍යයන කාලය අඩු කිරීමට කලින් ගෙන තිබූ තීන්දුව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත සුලු වශයෙන් වෙනස් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් (යූජීසී) සභාව මෑතදී ගත් තීන්දුව මතය.

මෙම සීමිත හා බෙහෙවින් පාරම්බාන ලද ජයග්‍රහනය කෙටි ආයුෂ ඇති දෙයක් බව පෙනෙන්ට තිබේ. අධ්‍යයන කාලය වසරකින් කපා දමනවා වෙනුවට යූජීසීය දැන් ලකුනු 120ක් ලබා දෙන ක්‍රමයක් යොදා ගනු ඇත. පසුගිය සතියේදී පේරාදෙනිය විශ්වවිද්‍යාලීය සම සෞඛ්‍ය විද්‍යා පීඨාධිපති ලෝක සමාජවාදී වෙබ් අඩවියට සඳහන් කලේ, ශිෂ්‍යයන්ට ලකුනු 120ක් වසර 4කින් ලබා ගත හැකි බවත් වසර 4ක අධ්‍යයන කාලයක් ශිෂ්‍යන්ට ලබා දෙනු ඇති බවත් ය. කෙසේ වෙතත් යූජීසීය ප්‍රකාශ කර ඇති පරිදි, උපාධිය පිරිනැමීමේදී පදනම් කර ගන්නේ “ඉගෙන ගන්නා ප්‍රමානය මිස කාල පරිච්ඡේදය නොවේ” යන්න උපාධි වැඩසටහන කප්පාදු කිරීමට අනාගතයේදී යොදා ගන්නවා ඇත.

“අනෙකුත් බලවේග වත්මන් තත්වයට මුහුන දෙන්නේ කෙසේද යන්න ගැන සෑම විටම විස්සෝප වන” බව සඳහන් කරමින් අවිශිබ කැඳවුම්කරු නජිත් ඉන්දික කීවේ, ඉතිහාසයේ සෑම තීරනාත්මක මොහොතකදීම ශිෂ්‍ය ව්‍යාපාරය අනාගතය නියෝජනය කර තිබෙන බව යි. උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක අවිශිබය කම්මුතු බව පැවසුවත් අපගේ මෑත කාලීන ජයග්‍රහන පෙන්වා දී ඇත්තේ අවසන් වී ඇත්තේ ආන්ඩුවේ න්‍යාය පත්‍රය බව” යයි ඉන්දික පැවසී ය.

සසජාතශි ව්‍යාපාරය පිලිබඳව වක්‍ර ලෙස සඳහන් කරමින්, “ශිෂ්‍ය අරගල වාඩිලාගැනීමේ විරෝධතාවලට සීමාකිරීම පිලිබඳව අවශිබය විවේචනයට ලක්ව ඇති නමුත් [ශිෂ්‍ය] අරගල මඟින් අපට ජයග්‍රහනය කරන්න පුලුවන් බව අපි ඔප්පු කලා” ඉන්දික කීවේ ය.

නසසපට අනුබද්ධ එක්සත් කම්කරු සම්මේලනයේ නායක ලීනස් ජයතිලක, “කිසිදු යටත්වීමකට හෝ මොනම මර්දනයකටවත් යටත් නොවී ධෛර්ය සම්පන්නව ඉදිරියට ගෙන ගිය බැවින් සම සෞඛ්‍ය සිසුන් “වැඩකරන ජනතාවට ආදර්ශයක්” බව පැවසීය. අවිශිබයේ සිසු ජන පෙලගැස්ම “අනෙකුත් අරගලවලට ‍හොඳ ආදර්ශයක්” ය”යි සඳහන් කරමින් ඔහු එයට හුරේ දැම්මේ ය.

මෙකී ප්‍රකාශ, අවිශිබය හා සිසුන් ලංකාවේ දෙවන ධනපති පාර්ලි‍මේන්තු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) අත යටට ගෙන ඒම සඳහා නසසප යොදන උපාමාරු සමඟ එකට පිහිටයි.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නායක සමන් රත්නප්‍රිය 10දා රැලියට සහභාගී වීමට පැය කීපයකට පෙරාතුව එජාප නායක රනිල් වික්‍රමසිංහ සමඟ පැවැති ඉහල මට්ටමේ සාකච්ඡාවකට සම්බන්ධ විය. ඔහු වාචාල ලෙස ප්‍රකාශ කලේ, රාජපක්ෂ ආන්ඩුව “ බියකරු ආර්ථික අර්බුදයක බරක් මහජනයා මත පටවා ඇති අතර ප්‍රජාතාන්ත්‍රවාදය වලදමා ඇති” බව ය.

ආන්ඩු බලය පැවති සමයේ කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කල ප්‍රහාර පිලිබඳව කුප්‍රකට එජාපය සමඟ එකට සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත හැකි වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට එම සමිති නායකයා අසමත් විය. රැස්වීම ආමන්ත්‍රනය කලවුන් අතර 2012 වසරේදී මාස තුනක් තිස්සේ දියත් වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය පාවාදීම කරා මෙහෙයවූ ෆූටාවේ හිටපු සභාපති නිර්මාල් රංජිත් ‍දේවසිරි ද විය.

රැලියේ සැබෑ අරමුන වූයේ, අව්‍යාජ සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත රාජපක්ෂ ආන්ඩුවට එරෙහි එක්සත් දේශපාලන අරගලයක කොටසක් ලෙස, සිසුන් කම්කරු පන්තිය වෙත හැරීම වැලක්වීම යි. මහජන පීඩනය ආන්ඩුවට එහි “නිදහස් වෙලඳපොල” පිලිවෙත් ඉල්ලා අස්කරගැනීමට බල කරනු ඇතැයි යන ව්‍යාජ කියාපෑම් මඟින් ශිෂ්‍යයන් හා වැඩකරන ජනතාවට උගුලක් ඇටවීමට අවිශිබ හා එහි ව්‍යාජ වාම අනුචරයෝ සූදානම් වෙති. මෙය ලාභ පද්ධතිය ආරක්ෂා කරදීමේ වෑයමක් මිස අනෙකක් නොවේ.

අධ්‍යාපනය රැකගැනීමට සහ සිසුන්, කම්කරුවන් හා ගොවීන්ට එරෙහිව ආන්ඩුව දියත් කර ඇති පුලුල් පරිමාන ප්‍රහාර පරාජය කල හැකි සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කිරීමට සසප සමඟ එක්ව සසජාතශි මෙම සතියේ කොලඹදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.

රැස්වීම ජූනි 19 වැනි බ්‍රහස්පතින්දා සවස 3ට කොලඹ 8, එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවත් වේ. මෙයට සහභාගී වෙන ලෙස අපි ශිෂ්‍යයන් හා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: